Home » ෂූටින් ඉවර වෙලා ගෙදර යන්න බැහැ කියලා ඇඬුවා‍

ෂූටින් ඉවර වෙලා ගෙදර යන්න බැහැ කියලා ඇඬුවා‍

- ළමා රංගන ශිල්පිනී සනුලි දුල්සේයා

by Thanushika
March 27, 2025 10:24 am 0 comment

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය කපුටු කොහෝ මෙම මස 27 වැනිදා ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලා ප්‍රමුඛකොට තිරගතවීමට නියමිතව ඇති මොහොතක අපිට හමුවුණා. චිත්‍රපටයේ කපුටු පැටියෙකුට රඟපාන පුංචි දැරිවියක් චිත්‍රපටයේ කපුටු පැටවු දෙන්නාගෙන් එක් අයකු වන ඈ නමින් සනුලි දුල්සේයා විජේරත්න අපි කතා කරමු සනුලි දුල්සේයා සමඟ.

දුවගෙ ගම් පළාත එහෙම කොහෙද?

පොළොන්නරුව දිඹුලාගල නව මිල්ලාන.

මේ වෙනකොට අධ්‍යාපනය ලබන්නේ?

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

සනුලි එතකොට කවුරු හැටියට ද කපුටු කොහෝ චිත්‍රපටයේ රඟපාන්නේ?

කපුටු පැටියෙක් ගේ චරිතයක්.

සෝමරත්න දිසානායක සිනමාවේදියාගේ චිත්‍රපටයකට ඔබට දායක වෙන්න ලැබෙන්නේ කොයි ආකාරයෙන් ද?

‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරන්නේ මහාචාර්ය සමන් පනාපිටිය සර්. එතුමා දවසක් මට කතා කරල කිව්වා. චිත්‍රපටයක වැඩක් තියනවා. කැමැති නම් සහභාගි වෙන්න පුළුවන් කියලා මාව මුලින් මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ පනාපිටිය සර් ගායනයට එහෙම සම්බන්ධ කරගෙන ඉන්නකොට මම නිකන් ඉන්න වෙලාවට සිංදු කියමින් නටන්න පටන් ගත්තා. මෙහෙම නටනවා කීප දවසක් බලන් හිටිය ආචාර්ය සෝමරත්න මාමා මගෙන් විමසීමක් කළා රඟපාන්න කැමැතිද කියලා කොහොම හරි චිත්‍රපටයේ ගීත ගායනයට සම්බන්ධ කරගෙන හිටිය මහාචාර්ය පනාපිටිය සර්ගේ කැමැත්ත අරගෙන සෝමරත්ත මාමා මාව රඟපාන්න ගත්තා.

කොළඹ තැනුණු චිත්‍රපටයකට පොළොන්නරුවේ සනුලි සම්බන්ධවීම හරි පුදුම සහගතයිනේ?

පුදුම වෙන්න දෙයක් නෑ. මගේ අම්මා රුවනි වාසනා ජයසුන්දර සංගීත ගුරුවරියක් ලෙස පොළොන්නරුවේ විලයාය ජාතික පාසලේ රැකියාව කරනවා. අම්මා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සමන් පනාපිටිය සර්ව දැනගෙන ඉදල තියනවා. දවසක් සමන් පනාපිටිය සර් ආවා උතුරුමැද පළාතේ කලා උලෙළ විනිශ්චය කරන්න. එතැනදී මමත් රංගනය ගායනය ඉදිරිපත් කළා. මගේ දක්ෂතා දැකපු සමන් පනාපිටිය සර් අම්මාට කතා කරල අහල තිබුණා සෝමරත්න දිසානායකයන්ගේ චිත්‍රපටයකට ළමයෙක් හොයනවා කැමති නම් දුවව අහවල් දවසේ ඔඩිෂන් එකට එක්ක එන්න කියලා. මුලින්ම තෝරාගත්තේ ගීත ගායනයට. මම අනික් අය කියන සිංදු වලට එතනදී නැටුවා. මේක බලන් හිටිය සෝමරත්න මාමා තවත් දවසක මට එන්න කියලා පණිවිඩයක් දුන්නා. එදා ආපු මට රඟපාන්න කියල පරීක්ෂණයක් තියල ගායනා කරන එක පැත්තක තියල මාව ගත්තා චිත්‍රපටයේ කපුටු පැටියෙකුගේ චරිතයකට.

කපුටු කොහෝ රඟපාන කොට දුව කීවෙනි ශ්‍රේණියේ දැරියක්ද?

හයවන ශ්‍රේණියේ මම ඉගෙන ගනිමින් හිටියා. එතකොට මට වයස අවුරුදු දහයයි.

ගායන හැකියාවෙන් ඉදිරියට ගිය දරුවෙක් ඔබ.

මම පාසලේ පළවෙනි පන්තියේ ඉන්නකොට සමස්ත ලංකා ස්වතන්ත්‍ර ගායන තරගයෙන් සරස්වතී සම්මානය දිනාගනු ලැබුවා. ඊට පස්සේ උතුරු මැද කලා උලෙළේ පිට පිට අවුරුදු දෙකක් හොඳම ළමා ගායිකාව ලෙස ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවා.

පොඩියට හිටියත් සනුලි දුල්සේයා දුව විශාරදවරියක් කියලත් ආරංචියි?

ඔව්. මම පළවෙනි ශ්‍රේණියේ පාසලේ ඉගෙන ගන්න කොටම තමයි විශාරද විභාගයට ඉගෙන ගන්න පටන් ගත්තේ සංගීත අංශයෙන් අද වෙනකොට මම විශාරද ගායිකාවක්. විශාරද විභාගයේ සියලු කඩයිම් මම සමත් වුණා. කපුටු කොහෝ චිත්‍රපටයේ රඟපාන්න එනකොට මම ගායනය පැත්තෙන් විශාරදවරියක්.

විශාරද සනුලි දුල්සේයා විජේරත්න කියල අපි කතා කළාට ප්‍රශ්නයක් නෑනේ?

කැමති නම් කියන්න මොන දේ ලැබුණත් මම ආසයි සනුලි දුල්සේයා කියන නමට.

විශාරදවරියක් වෙලත් ස්වතන්ත්‍ර ගීතයක් එළිදක්වන්න තවමත් ඔබ ප්‍රමාද?

මම ප්‍රමාද නෑ… මම පළවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න කොට සමස්ත ලංකා ගායන අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබු මගේ ස්වතන්ත්‍ර ගීතය.

ළාසඳ ගිනිගත් ගෙයි මිදුලේ..

තරු එළියකිනුත් පාර අසා…

කියන ගීතය මම තුන්වෙනි ශ්‍රේණියේ ඉන්නකොට රෙකෝඩ් කරල යුටියුබ් එකට මුදාහැරිමක් සිදු කළා. මගේ නම යුටියුබ් එකේ සර්ච් කළාම පහසුවෙන් මේ ගීතය ඕිනෙම කෙනෙක්ට රසවිදින්න පුළුවන්. ඊට පස්සේ තවත් ගීතයක් කළා මනුදම් පිරි මිනිස් සිතක මනුදම් පිරිහුණු යුගයක…. කියල මේ ගීත දෙකම අදවෙනකොට සමාජ මාධ්‍ය තුළත් ගුවන් විදුලි මාධ්‍යයෙත් ශ්‍රවණය වෙනවා. ළාසඳ ගිනිගත් ගීතය යුටියුබ් එකේ නම් කරලා තියෙන්නේ අප්පච්චි කියලා. මේ ගීතය ලිව්වේ ඉන්දීරා කහගාල්ල මහත්මිය. මගේ අම්මා රුවනි වාසනා ජයසුන්දර ගීතයට මෙලඩිය දැම්මා. කවීන් රූපසිංහ මහත්තමයා සංගීතය අධ්‍යක්ෂණය කළා. මනුදම් පිරි…. ගීතය මගේ පළමු ගීතය ප්‍රචාරයත් සමඟ ආරාධනයත් ලැබිලා තමයි මම ගායනා කළේ. ඒ ගීතය රසික ඩී දුමින්ද මහතා තමයි ලිව්වේ. මාලක රත්නායක මහත්තයා තමයි සංගීතය අධ්‍යක්ෂණය කළේ.

ඔබ ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායිකාවක්?

ඔව් මම ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක්.

කපුටු කොහෝ චිත්‍රපට රංගනය ඔබේ රංගනයේ තිඹිරිගෙයද?

මුල්ම චිත්‍රපට රංගනය කපුටු කොහෝ මීට කලින් මම පෝය ටෙලි නාට්‍ය කීපයක් රඟපාල තිබුණා. අරලගංවිල නයන රූ කලා සංසදය තියනවා. මගේ අම්මත් එහි ක්‍රියාකාරිව කටයුතු කරනවා. එහි අධිපති තාරක නඳුන් ජයතිස්ස මහත්මයා තමයි මට පෝය ටෙලි නාට්‍ය රඟපෑමට අවකාශ උදාකරල දුන්නේ. රංගන ශිල්පී කුමුදු නිශාන්ත මහත්තත් මේ සංසදයේ ක්‍රියාකාරි සාමාජිකයෙක් එතුමන් මාර්ගයෙන් මට රඟපාන්න අවස්ථාව උදා වුණා. මගේ පළමු ටෙලි නාට්‍ය සත්‍ය අවබෝධය. කපුටු කොහෝ චිත්‍රපටය රඟපෑවට පස්සේ ඝාතකයෝ කියල ඒකාංගික ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපෑවා.

ගායිකාවක් රංග ශිල්පිනියක් වූ දුව ඉදිරියටත් රංගන ක්ෂේත්‍රයේ ගමනක් යන්නද කැමැති?

මම අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන යනවා. ඒ අතරේ රංගනයේත් නියැළෙනවා. රඟපෑමට ගියා කියල අධ්‍යාපන කටයුතු අතපසු වෙලා නෑ. මම ශිෂ්‍යත්වයත් පාස් වුණා. ඉදිරියටත් චිත්‍රපටවල ටෙලිනාට්‍ය වල රඟපාන්න කවුරුන් හෝ ආරාධනය කළොත් මට සුදුසු චරිතයක් නම් මම සතුටින් භාර ගන්නවා.

සනුලි දුව කවදා හෝ වෘත්තීමය නිළියක් වෙන්නද කැමති?

එහෙම කියලම නෑ. මම නිළියක් වෙන්න කැමතියි. ගායිකාවක් වෙන්න කැමැතියි. මේ දෙයාකාරයේම හැකියාවක් මට තියනවා. හැකියාවන් කොහොම වෙතත් මගේ ආශාවක් තියනවා ඩොක්ටර් කෙනෙක් වෙන්න. එතකොට මට ලෙඩ්ඩු සුවපත් කරන්නත් ඉඩක් ලැබෙන කොට රඟපාන්නත් සිංදු කියන්නත් පුළුවන්.

කපුටු කොහෝ රඟපාන්න ගිහින් අකර තැබ්බ එහෙම වුණේ නැද්ද?

මුලින් මුලින් මට බයක් දැනුණා. පස්සේ ඒ බය ඉබේම නැතිවෙලා ගියා. සෝමේ මාමා හරිම හොඳ කෙනෙක්. චුට්ටක්වත් සැර නෑ. ලස්සනට වැඩ කරනවා. හරිම ආදරණීයයි. සෝමේ මාමා අපිට හරිම සුන්දරව අපිව තුරුලු කරගෙන තමයි අපිට පිටපතේ ඕනේ දේ කියල දුන්නේ. අපි රිහසල් කළා. ටේක් එකට ගියා ඒත් වැරදි වුණා. ආයෙත් රිහසල් කළා. ආයෙත් ටේක් එකට ගියා. අපෙන් වෙන වැරදි වලට සෝමේ මාමා තරහගන්නේ නැතුව අපිට ආදරයෙන් කියලා දුන්නා.

මේ චිත්‍රපටයේ පළවෙනි රඟපෑම වුණේ?

කොහෝ පැටව් දෙන්නාත් කාක් පැටව් දෙන්නාත් අපි හතර දෙනාම එකට ඉන්න සීන් එකක් මුල්ම දෙබස වුණේ මම.

දුව කොහොමද ෂුටින් ආවේ ගියේ?

ෂුටින් තිබුණේ දෙහිවල. මම ආච්චි එක්ක තමයි ෂුටින් ගියේ. ගල්කිස්සේ අපේ නෑදැ වන කෙනෙක් ගේ ගෙදර නැවතිලා. දවස් පහළොවක් විතර ෂුටින් තිබුණා. හරිම විනෝදෙන් අපි ඒ කාලය ගත කළා. අපි ඉඩ ලැබෙන හැම වෙලේම සිංදු කිව්වා. ටික් ටොක් කළා. අපි හැමෝම නැටුවා. සිංදු කිව්වා. අපි හතර දෙනාගෙන් රදීන් රන්දිව්ට රඟපාල තිබුණු අත්දැකීම් කලින්ම තිබුණා. අපි එයාගෙනුත් යම් යම් දේ අහල ඉගෙන ගත්තා.

කපුටු කොහෝ චිත්‍රපටයේ ගායනයන්ට එක්වන්න ආ ඔබ අවසානයේ නැවතුණේ එහි රඟපෑමෙන්?

මුලින්ම මම ගායනයට ආවත් මාසයක් විතර මම අසනීප වී සිටි නිසා මගෙ කටේ හඬ පවා වෙනස් වෙලා තිබුණා. ඒ නිසාම මාව කෝරස් කියන්න තෝරගෙන තිබුණා. මම කෝරස් කියනකොට නටමින් ඒ දේ කරනකොට සෝමෙ මාමාට මම ගැන පැහැදීමක් ඇති වුණා.

චිත්‍රපටයක් රඟපාන්න ආශාව තිබු ණට එකම දර්ශන තලයක රඟපාන්න වීම ගැන මොකද හිතෙන්නේ?

මම ආශා කළේ විවිධ විවිධ තැන්වල ලස්සන තැන්වල රඟපාන චිත්‍රපටයකට. නමුත් චිත්‍රපටය කරනකොට තමයි මට වැටහුණේ වේදිකාවක වේදිකා නාට්‍ය ස්වරූපයෙන් ක් කෙරෙනවා කියලා. චිත්‍රපටය කරනකොට හුඟාක්ම අපහසු වුණේ කොන්ඩා මෝස්තරය. ඒක දැම්මට පස්සේ ගැලෙව්වේම නෑ. ස්කාප් එකක් බැදගෙන තමයි නිදාගන්නත් සිදුවුණේ. හරිම අමාරුම දේ වුණේ ඔළුවට දාපු කොන්ඩ මෝස්තරය. සමහර දවස්වලට මම ඇඩුවා. ඔළුව රිදිල හෙයාස්ටයිල් එක පරෙස්සම් කරන්න වුණ හින්දා නාන්නත් නෑ. හිනාවෙන්නත් බෑ ඔළුව හිර වෙලාවගේ.

මීට කලින් ඔබ සෝමේ මාමා කළ සිනමා නිර්මාණ බලල තිබුණාද?

ඔව්. සරෝජා, සිරිපැරකුම්, සූරිය අරණ චිත්‍රපට මම මීට කලින් බලලා තිබුණා. රේණු නැන්දා හරිම හොඳයි අපි ගැන හොයල බැලුවා. අපිට බඩිගින්න දැනුණ ගමන් නැන්දා අපිට මොනව හරි කන්න දෙනවා. අපි හතර දෙනාට වෙනම කෑම වර්ග ගෙනත් දුන්නා.

පාසලේ යාළුවන්ගෙන් කොයි වගේ ප්‍රතිචාරයක් ද දැනට ලැබෙන්නේ?

ෆිල්ම් එක එන්නැද්ද කියලා අහනවා කවදද එන්නේ අහනවා. දැනටමත් ට්‍රේලර් එක බලල යාළුවෝ මට ආ…. කපුටු කොහෝ කියල විහිළුත් කරනවා. පාසලේදී පිරිමි ළමයි නම් දැනටමත් මට කපුටි කියල විහිළු කරනවා. මම යනකොට කාක් කාක් කියල කියන වෙලාවලුත් තියනවා. චිත්‍රපටය තිරගතවෙන්න පටන් ගත්තට පස්සේ මට පාරෙ බස් එකක යන්න පුළුවන් වෙයිද දන්නේනෑ. කාක් කාක් කියන්න ගත්තොත්. ඒකත් හොඳයි.

ඇත්තද මේ සනුලි දුව ආච්චිටයි සිීයටයි අම්මා තාත්තා කියල අමන්ත්‍රණය කරනවා කියන්නේ?

ඔව්. මගේ ආචිචි ජී.ආර්. සුමනලතා. සීයා අජිත් ශාන්ත ජයසුන්දර. මම පුදුම ආදරයක් දක්වනවා. මගේ ආච්චිට සීයට. මගේ අම්මාට මම කියන්නේ අනික් අම්මා කියලා. ආච්චියි සීයයි මට පණ ඇරලා කිව්වොත් හරි.

ෂුටින් ඉවර වෙලා ගෙදර යන්න බෑ කියල ඇඩුව කියලත් ආරංචියි?

ඔව්. අපි එකට ඉදල වෙන්වෙලා යනකොට හරියට දුක හිතුණා. ඒ තරමට අපි යාළුවෝ වෙලා හිටියේ.

අම්මත් සංගීත ගුරුවරියක් නිසාවෙන් දුවත් අම්මාත් එකතුව ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් නේද?

එහෙම අදහසක් තියනවා. මටත් ආසයි අම්මා සමඟ ගීතයක් කරන්න.

 

සේයාරූ – මාලන් කරුණාරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT