දේශමාන්‍ය චිත්‍රසේනයන්ගෙන් නර්තන කලාවට, සාහිත්‍යයට සිදු වූ විශිෂ්ට කලා මෙහෙවරට උපහාර වශයෙන් ප්‍රංශ රජය විසින් “Chevalier Dans I’ Ordvedes Arts” නමැති සම්මානය 2005දී එතුමන්ට පිරිනැමිණ. ඉන් දෙදිනකට පසුව චිත්‍රසේන සූරීන් අභාවප්‍රාප්ත විය. මෙම සංවාදය වජිරාවන් සමග සිදු කළේ ඔහුගේ අභාවයට දින කිහිපයකට පූර්වයෙනි.
එවකට නර්තනය හුදෙක් යාතුකර්මයකට (RITUAL) සීමා වී පැවතිණි. අපට පාරම්පරිකව උරුම වූ උඩරට පහතරට සබරගමු නර්තන ශෛලීන් මනාව ප්‍රගුණ කළ මොරිස් ඩයස් 40 දශකයේ මුල් භාගයේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගොස් කථකලී, මනිපුරි ප්‍රමුඛ භරත නැටුම් ශෛලීන් රාශියක් හැදෑරුවේය. එසේම බටහිර නර්තනයද විචාර බුද්ධියෙන් සේවනය කළ ඔහු නර්තනයෙහි ප්‍රාසංගික බව තීව්‍ර කරනු පිණිස අපරදිග ජාතීන් සතුව පවත්නා ශික්ෂණය පමණක් උකහා ගත්තේය. ඉක්බිතිව පෙරළා මව් රටට පැමිණ එතෙක් යාතු කර්මයක වෙසින් පැවති නර්තනය තීව්‍ර ලෙස මනෝභාවයන් පළ කළ හැකි ප්‍රාසංගික ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් කරන ලද්දේ මෙකී තරුණයා විසිනි. ඔහු අන් කවරෙකුවත් නොව දේශීය නර්තන කලාවේ පුරෝගාමියකු වූ අග්‍රගණ්‍ය නර්තනවේදී චිත්‍රසේනයන්ය.
ඔහුගේ ගමන් මඟෙහි අඩසියවසක කාලයක් පුරා සෙවණැල්ලක් විලස සිටින්නිය වජිරාවන්ය. “චිත්‍රසේන – වජිරා” යන්න එකම නාමයක් සේ එදා මෙදා දනන් මුවග රැව් දුන්නේ මෙකී අවියෝජනීය ජීවන හා නර්තන සබැඳීයාව නිසාවෙනි. වජිරා මුල්වරට චිත්‍රසේනයන් හමු වූයේ මින් වසර 78කට ඉහතදීය. මේ ඇයගේ අතීතාවර්ජනයකි.
චිත්‍රසේනගේ පවුලේ අය අපි හඳුනන්නේ දීර්ඝ කාලයක සිටයි.චිත්‍රසේනත් ඔහුගේ නැටුම් කණ්ඩායමත් පළමුවරට දකින විට මට අවුරුදු හතයි. මගේ මවත්, පියාත් නැටුම් කලාවට සම්බන්ධ නොවුණත් ඔවුන් මා මේ ක්ෂේත්‍රයට යොමු කරන්න ප්‍රිය කළා. ඒ කාලයේ යාතු කර්මයකට සීමා වී පැවති නැටුම් කලාව පළමුවෙන් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවේ චිත්‍රසේනයි. නැටුම් ශෛලිය පමණක් නොව මනෝභාවය, පසුතල නිර්මාණය, ඇඳුම් පැලඳුම්, වෙස් මෝස්තර රචනය ආදිය මීට අනුරූප වන පරිදි සකස් කිරීමෙහි පුරෝගාමියා ඔහුයි. චිත්‍රසේනගේ පියා සීබට් ඩයස් මහතා ඒ වකවානුවේ ප්‍රකට නාට්‍ය ශිල්පියෙක්. චිත්‍රසේන මුලින් රඟපෑවේත් ඔහුගේ පියාගේ සිරි සඟබෝ නාට්‍යයෙයි. නමුත් චිත්‍රසේන නාට්‍ය කලාවට වඩා ප්‍රිය කළේ නැටුම් කලාවටයි. 1940 දී ඔහු ඉන්දියාවට ගිහින් භාරත නැටුම් කලාවන් ප්‍රගුණ කරලා ඇවිත් ගෝලයන් රාශියකට මේ දැනුම බෙදා දුන්නා. මම ඔහුගේ නැටුම් කණ්ඩායමට සම්බන්ධ වුණේ 1946 දියි. ඒ වන විට මට වයස අවුරුදු 15ක් පමණ ඇති. ප්‍රේමකුමාර එපිටවල, ශේෂා පලිහක්කාර, ගංගානාථ, සේන වලවේ ආදීන් අයත් වූයේ ඔහුගේ පළමු ගෝල පරම්පරාවටයි. චිත්‍රසේනගේ නැගණිය මුනිරාණිත් එවකට නැටුම් ශිල්පිනියක්. මා අයත් වුණේ දෙවෙනි ගෝල පරම්පරාවටයි. චිත්‍රසේන තම නැටුම් පන්තිය පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පැවති ඉඩම අයිති වුණේ ඊ.පී. ප්‍රනාන්දු මහතාට. ඒ මහතා චිත්‍රසේනගේ කලා කටයුතුවලට විශාල සහයක් දැක්වූවා. ඔහුගේ අභාවයෙන් පසු එහි අයිතිය චිත්‍රසේනට අහිමි වී ගියා.
ඔබ අභිනව නර්තන ආයතනයක් ඇරඹීමට මේ දිනවල කටයුතු සැලසුම් කරන බව අපට දැන ගන්න ලැබුණා.
“ඔව්. එවක රජයේ අනුග්‍රහයෙන් අපට මේ සඳහා නාරාහේන්පිට ප්‍රදේශයෙන් ඉඩමක් ලැබුණා. මමත්, අපේ දියණියන් වන උපේකා, අංජලිකා දෙපළත්, අපේ මුනුබුරන් හා ගෝලයිනුත් මේ මූලික කටයුතු සඳහා සහාය වෙනවා. චිත්‍රසේනගේ ගෝලයන් වූ රවිබන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන ආදීන්ට තමන්ගේම නර්තන පාසලක් තිබුණත් ඔවුන්ගේ සහය වරින් වර මෙහි කටයුතු සඳහා ලැබෙනවා.”
චිත්‍රසේනයන්ගේ පුරෝගාමී මුද්‍රා නාට්‍යවල ඔබ සුවිශේෂ භූමිකා නිරූපණය කළා.
චිත්‍රසේනයන්ගේ මුද්‍රා නාට්‍යවල අතුරු රංග හැටියට මං කුඩා මුද්‍රා නාට්‍ය නිර්මාණය කළා. මේවා ළමා මුද්‍රා නාට්‍ය කීවොත් නිවැරැදියි. ‘කුමුදුනි’, ‘බාඳුරා මල්’ වැනි මුද්‍රා නාට්‍ය මේ අතරින් විශේෂයි. 1947 චිත්‍රසේන නිර්මාණය කළ“PAGEANT OF LANKA” මුද්‍රා නාට්‍යයේ මං රඟපෑවේ මුවාට. චිත්‍රසේන මෙහි රාවණා ලෙස රැඟූ අතර සීතා වූයේ අයිරාංගනී මීදෙනිය (සේරසිංහ) යි. ඔහුගේ විදුර නාටකයේ මං කුඩා නාග කන්‍යාවක් ලෙස රැඟුවා.
චිත්‍රසේනයන්ගේ ‘කරදිය’ ඔබගේ නර්තන දිවියේ සුවිසෙස් කඩඉමක්.
1961 කරදිය මුද්‍රා නාට්‍ය චිත්‍රසේන නිර්මාණය කරන සමයේ මගේ සිරුර නර්තනයට ගැළපෙන ලෙස සකස් වී තිබුණා. එහි ප්‍රධාන නිළි භූමිකාව මට පැවරුණා. කරදිය යුරෝපයේ රටවල් ගණනාවක වේදිකාගත කරමින් ඉහළම ජනතා ප්‍රතිචාරය ලබා ගැනීමට අපට හැකි වුණා. අනෙක චිත්‍රසේනගේ “නෘත්‍යාංජලී” මෙරටට ආවේණික උඩරට, පහතරට, සබරගමු නැටුම් සම්ප්‍රදායන්ගෙන් සැදුම්ලත් ප්‍රසංගයක්. මෙය යුරෝපයේ සෑම රටකම පාහේ ප්‍රකට වුණා. ‘නල දමයන්ති’, ‘රාමායණය’, ‘චණ්ඩාලි’, ‘විජය කුවේණි’ ‘කිංකිණි කෝලම’ ආදී චිත්‍රසේනගේ ප්‍රකට මුද්‍රා නාට්‍ය ඉතා ආදරයෙන් ජනතාව වැලඳ ගත්තා.
පසුකාලයේ ඔබත් මුද්‍රා නාට්‍ය රාශියක් නිර්මාණය කළා.
“චිත්‍රසේනගේ ආභාසයෙන් පසු කාලයේ මා ‘චණ්ඩාලිකා’, ‘හපනා’, ‘ගුරු පූජා’, ‘ගිනිහොරා’, ‘වනමල්’ යනාදී මුද්‍රා නාට්‍ය නිර්මාණය කළා. තවමත් අපේ මුද්‍රා නාට්‍යවලට ජන ප්‍රසාදය එක ලෙසම පැවතීම පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගය පැවැති දිනයේ කලබලකාරී තත්ත්වයක් යටතේත් එදින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවති චිත්‍රසේනගේ ‘නෘත්‍යාංජලී’ මුද්‍රා නාට්‍ය නැරැඹීමට ජනකාය පිරී ඉතිරී සිටියා. මෙය අපේ නිර්මාණ කෙරෙහි කාලාන්තරයක් පුරා ජනතාව තුළ තිබූ විශ්වාසය පෙන්නුම් කිරීමක්.
මා වේදිකාවට පිවිසිලා වසර 50 සපිරුණදා මගේ මුද්‍රා නාට්‍ය බොහොමයක් යළි වේදිකාගත කළා. ලබන වර්ෂයේ යළි මගේ මුද්‍රා නාට්‍ය උලෙළක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.”
මෙරටට ආවේණික නර්තන ක්‍රම බොහොමයක් තිබුණත් මනෝභාවයන් ප්‍රකට කරන මුද්‍රා ක්‍රම වඩාත් දක්නට ලැබෙන්නේ භාරතීය නර්තන සම්ප්‍රදායන් තුළ බව මා කීවොත්?
“චිත්‍රසේන ඉන්දියාවේදී හැදෑරූ නර්තන ක්‍රම ඔහු මුද්‍රා නාට්‍ය සඳහා උපයෝගී කර ගැනීමේදී භාරතීය මුද්‍රාවන්ගේ ආභාසය ලැබුවා. එහෙත් ඔහු සැලකුවේ මානව වර්ගයාට පොදු ස්වාභාවික මුද්‍රා විශේෂ පවතින බවයි. බටහිර නර්තන කලාවෙන් ඔහු උකහා ගත්තේ එහි පවතින ශික්ෂණයයි. වේදිකාවට පිවිසෙන ආකාරය, ඉන් පිටවන ආකාරය, වේදිකාව තුළ නර්තන ශිල්පීන් සිටිය යුතු ස්ථාන, එහි සමබරතාව, මේ ආදී ඔවුන් අපට පෙර උපයෝගී කරගත් නර්තන හැසිරීම් චිත්‍රසේන හැදෑරුවා. මේ හැර කිසිවිටක ඔහු බටහිර නර්තන ක්‍රම අවිචාරයෙන් වැලඳගෙන අපගේ සංස්කෘතියට හානියක් කළේ නැහැ. අපගේ නර්තනවලින් විදහා පෑවේ අපේකමයි. චිත්‍රසේන තමාගේ නර්තන කලාවේ පදනම සකස් කර ගත්තේ අපට ආවේණික උඩරට, පහතරට, සබරගමු නැටුම් කලාවන් ඔස්සේයි.
චිත්‍රසේනයන් සම්ප්‍රදාය හොඳීන් හැඳීන ගෙන නූතනයට ගමන් ගත් නර්තනවේදියෙක්. අද ඇතැම් නර්තන ශිල්පීන් තුළ දක්නට ලැබෙන්නේ සම්ප්‍රදාය නොදැන නූතනය සොයා යෑමක්.
“මේ පිරිහීම අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. තවම අපි ඉන්නවා. අපේ නිර්මාණත් තියෙනවා. ඔහු කවදාවත් නර්තනය සංකර කළේ නැහැ. නර්තනය වාණිජ මාධ්‍යයක් ලෙස භාවිත නොකළ යුතුයි යන උපදේශය ඔහු අපට මුල සිටම ලබා දුන්නා.
සෑහෙන කාලයක් ඔහු තම සිසු සිසුවියන්ට නැටුම් ඉගැන්නුවේ නොමිලයේ. ඊට මුදල් අය කළේ පසු කාලයකදී. තම ගුරුවරයාට දෙපා නැමද ආචාර කිරීම වැනි අපේ සංස්කෘතික සාරධර්ම නර්තන කලාවට එක් කළේ ඔහුගේ ගෝල පරපුර හරහායි. අනෙක ගුරුවරයා සාරධර්ම රකින්නෙක් වුණොත් පමණයි; සිසු පරපුර එයට අනුව හැඩ ගැසෙන්නේ. චිත්‍රසේනත් මාත් විශාල ගෝල පිරිසක් බිහි කළා. ඔවුන් අපේ නැටුම් කලාව ඉදිරියට ගෙන යාවි. අපේ දියණියන් දෙදෙනා උපේඛා හා අංජලිකාත් දිගටම මේ කලාව ගෙනයාවි. අපේ පුතා අනුදත්ත නැටුම් කලාව හැදෑරුවේ නැතත් ඔහුට මේ පිළිබඳ හොඳ රසඥතාවයක් තිබෙනවා. ඔහු මගේ මුද්‍රා නාට්‍ය සඳහා සංගීතය පටිගත කිරීමට නිබඳව සහාය වෙනවා. අපේ පුතාගේ ක්ෂේත්‍රය ඉලෙක්ට්‍රොනික් විද්‍යාවයි. නර්තනය එහෙන් මෙහෙන් අහුලාගෙන ඉගෙන ගන්න පුළුවන් කලාවක් නෙවෙයි. එය එම විෂයට ආවේණික ශික්ෂණයෙන් ප්‍රගුණ කළ යුතුයි. අපේ පැරණි නැටුම් ගුරුන්නාන්සේලා නැටුමට ආවේණික ලෙස මාත්‍රා එකිනෙකින් වෙන් කොට ඉගැන්නුවේ නැහැ. මුද්‍රා නාට්‍ය නිර්මාණයේදී චිත්‍රසේන මෙම තිත් ක්‍රමය මුල් වරට එකිනෙකට වෙන්කොට හඳුන්වා දුන්නා. මේ මඟින් දේශීය නැටුමට ස්වාධීන හැඩයක් ලබා දෙන්න ඔහුට හැකි වුණා. මුද්‍රා නාට්‍යයකට උචිත කතාව, උචිත ඇඳුම් පැලඳුම්, වෙස් ගැන්වීම්, සංගීතය, මනෝභාවයන් තෝරා ගැනීමේදී චිත්‍රසේනයන් තුළ හොඳ විවේක බුද්ධියක් තිබුණා. ඔහුගේ මෙහෙවර නිවැරදිව හැදෑරුවොත්, අනාගත පරපුරට කාලානුරූපව අපේ නැටුම් කලාව සංකර නොකොට පවත්වාගෙන යෑමට අවශ්‍ය ගුරුහරුකම් ලැබේවි. අනෙක් කලාවන් වගේම නර්තනයත් කාලානුරූපීව වෙනස් විය යුතුයි. නමුත් එම වෙනස දේශීය සංස්කෘතික අනන්‍යතාවට හානිදායක නොවිය යුතුයි. චිත්‍රසේන අපට කියා දෙන්නේ මේ පාඩමයි.”
සංරක්ෂිත ඡායාරූප – විනීතා කරුණාරත්න
ආචාර්ය නුවන් නයනජිත් කුමාර