Home » ශ්‍රී ලාංකේය සිනමාවේ ස්ථානගත කළ යුත්තේ කොතැනද?

ශ්‍රී ලාංකේය සිනමාවේ ස්ථානගත කළ යුත්තේ කොතැනද?

by Thanushika
February 13, 2025 12:01 pm 0 comment

වත්මනෙහි වෙසෙන හා අතීතයේ විසූ දේශපාලනඥයන්ගේ චරිත හා වත්මනෙහි සිදුවන හා අතීතයේ සිදුවූ දේශපාලනික සිදුවීම් ඇසුරු කර ගැනීමෙන් හෝ විෂය කර ගැනීමෙන් සපුරාම දේශපාලනික වූ සිනමාපටයක් නිර්මාණය කරලීම සහේතුක නොවන්නටද ඉඩ තිබේ. සැබැවින්ම අවැසි වනුයේ උක්ත මතුපිට ලකුණු පරයා ගොස් අදාළ තතු සතු දේශපාලනික හැඩය පමණක් නොව එහි ඇතුළාන්තයත්, ඒ ඒ චලනය වීම් හා සංකීර්ණ පෙළ ගැසීම් ආදියත් හසු කර ගත් විමසුම් සිනමානුරූපී ලකුණු සහිතව ප්‍රකාශයට පත්කරලීමයි. මේ අනුව දේශපාලනික සිනමාව යන්න නොපමාව නිශ්චය කර ගැනීම සම්බන්ධයන් වෙසෙස් සැලකිල්ලක් දැක්වීම අත්‍යන්තයෙන්ම වැදගත් වේ. මෙහිලා විචාර කාර්යයන් නොපමාවම විචක්ෂණශීලි විය යුතු වන්නේ ව්‍යාජ, නොගැඹුරු හා විකෘති සිනමාපටද හමුවිය හැකි නිසාවෙනි. එසේම යට කී පරිදි දේශපාලනඥයන්ගේ චරිත හා දේශපාලනික සිදුවීම් සමඟ සිනමානුරූපී ලකුණු අන්තර්ගත රසාලිප්ත මුහුණුවරැති සිනමාපටද දක්නට ලැබේ. විචාර කාර්යයන් මෙබඳු සිනමාපට අරභයා නිහඬ පිළිවෙත් අනුගමනය කරන අවස්ථා ලාංකේය සිනමාව ඇසුරෙන් දත හැකිවූ අවස්ථා කිහිපයකි. මෙය ඉහළ ප්‍රමිතියකින් යුතු දේශපාලනික සිනමා භාවිතයක් නිසැක ප්‍රවණතාවක් සේ සහතික කරලීම පමා කරවන්නක් වේ.

අශෝක හඳගම වත්මන් සමයේදී හඳුනා ගත හැක්කේ හුදු දේශපාලනික සිනමාකරුවකු වශයෙන්ම නොවේ. කෙසේ නමුදු ඔහුගේ සිනමා භාවිතය මූලික වශයෙන් විමසා බලන කල දේශපාලනික අරුත් ජනය කරන වග පෙනේ. ‘මේ මගේ සඳයි’, ‘අක්ෂරය’ හා ‘ඉනි අවන්’ යන සිනමාපට ත්‍රයේදීයි ඔහු දේශපාලනික සිනමාකරුවකු සේ පෙනී සිටින්නට ඇති මනාපය වඩා නිරවුල්ව ප්‍රකාශයට පත් කරන්නේ. ‘රාණි’ හඳුනා ගැනෙන්නේ මෙහි නවතම අවස්ථාව ලෙසින්ද, නොඑසේනම් එහි වර්ධනීය අවස්ථාවක් ලෙසින්ද යන පැන විසඳීිම මේ මොහොතට අදාළ වන්නේ විචාරක – රසික පාර්ශ්ව පමණක්ම නොපැමිණෙන හෙයිනි. එනම් ‘රාණි’ යනු සිනමාව සමඟ එක එල්ලේ සබඳතා නොපවත්වන පාර්ශ්වද අමතන මාදිලියේ සිනමාපටයක් බවට පත්ව ඇති නිසාය.

‘රාණි’ ට විෂය වන්නේ අදින් වසර තිස් පහකට පෙරාතුව සිදුවූ දේශපාලනික ඝාතනයක්ය යන්න නොපැකිළව පවසන හෙයින් උපකල්පන මත එහෙම පිටින්ම රැඳී සිටින්නට සිනමාකරු හඳගම අදහස් නොකරන බව පෙනේ. ඔහු ප්‍රමුඛ චරිත සියල්ලම පාහේ හඳුන්වා දෙන්නේ සැබෑ චරිත හඳුන්වා දෙන පරිදිමය. මෙනිසාම රසිකයා පළමු කොටම ඔවුන් සමඟ සිනමාපටය නැරඹීම සඳහා සූදානම් වෙයි. කල්පිත අතීතයක් මෙතැනට නොපැමිණෙන හෙයින් ඔහුගේ වෑයම වඩා පහසුය. ඇතැම් රසිකයකු එදවස පිළිබඳ මතකය අලුත් කර ගනී. තවෙකෙකු එදවස අමුතුවෙන්ම සොයා බැලීමේ වුවමනාවකද නිරත වෙති. පසුකාලීනව උපන්නවුන් සඳහාද එදවස දත හැකි මං විවරව පවතින වග නොරහසකි.

මේ සියලු දෙනාම සිදුකරන පොදු කටයුත්තක් කෙරෙහි විමසිලිමත් වීම අවැසිය. එනම් අදාළ ඝාතනයද, ඒ හා බැඳුණු චරිතද, සමකාලීන දේශපාලනික පරිසරයද , පසුකාලීන විමර්ශන හා අවසන් තීන්දුද විමසීමයි. මෙහිලා එකම දැක්මක් රජයන වග පැවසීම අනුචිතය. රසික සමාජය ආකාර කිහිපයකින් මෙකරුණු විවරණයට උත්සුක වනු ඇත්තේ එදවසට සාපේක්ෂව සේම වත්මනෙහි අනුදත් දේශපාලනික පිළිවෙත් ආදියටද සාපේක්ෂවය. සිනමාකරු හඳගම අපේක්ෂා කළේ මෙයින් ජනිත වන කතිකා සමඟ සිය සිනමා භාවිතය දේශපාලනිකව තවදුරටත් උද්දීපනය කරන්නට විය හැකිය. සිනමාපටයක පළමු වගකිවයුත්තා වනුයේ සිනමාකරුවා වුවද නිපැයුම් පාර්ශ්වයේ අරමුණු නොතකා හැරීම සුදුසු නොවේ. ඇතැම් සිනමාකරුවකු සිය බලය සිනමාපටය පුරාම පවත්වා ගන්නේ ඉන් පැන නැඟිය හැකි පෙරට ඒම්ද, පසුබෑම්ද පිළිබඳ වගකීම සමඟ බැඳෙමිනි. නිපැයුම් පාර්ශ්ව හා එකඟතා සහිතව ඉහළ ප්‍රමිතියකින් යුතු සිනමාපට නිර්මාණයට සූදානම් සිනමාකරුවන්ද හඳුනා ගැනීම අපහසු නොවේ. මෙතැනදී හඳගම හමුවිය හැකි දැයි කියා විමසන්නටද ‘රාණි’ ද සහභාගී කර ගත හැකිය. මන්ද මේ හඳගමගේ ධන ආයෝජනයක ඵලයක් නොවන නිසාවෙනි.

‘රාණි’ සඳහා ඇසුරු කරගත් හා විෂය කර ගත් දේශපාලනික ඝාතනයට ගොදුරු වන්නා හඳුනා ගැනෙන ආකාර කිහිපයකි. මාධ්‍යවේදියකු, සිනමා හා රූපවාහිනී රංගන ශිල්පියකු හා දේශපාලන ක්‍රියාධරයකු වශයෙනි. සිනමාකරු හඳගම මෙම ආකාර ත්‍රය එදවස සේම මෙදවසද කියැවෙන සුලබ ලකුණු සමඟම තිරය මත සනිටුහන් කරයි. මෙයට සමගාමීව ඔහුගේ මවගේ දිවියද තිරය මත සනිටුහන් කරන්නේ එලෙසින්මය. රසිකයා සමඟ ඉක්මන් සබඳතාවක් සහතික කර ගැනීමට මෙය අගනා පිළිවෙතක් වේ. මන්ද මේ හා බැඳෙන සියලු චරිත හා සිදුවීම් ඔවුනට දුරස්ථ නොවීම හේතු කොට ගෙනය.

සිනමාකරු හඳගම මෙහිලා සිය සිනමාකරණ නිපුණතාව අවධාරණය කරන්නේ ඇතැම් පළපුරුදු සිනමාකරුවන්ගේද දෑස් අරවමිනි. එසේම නවක සිනමාකරුවන් වෙත කිසියම් ආදර්ශයක් වෙමිනි. එදවස පරිසරය වත්මන් ලකුණු රහිතව නිරූපණයට ඔහු දරන තැත සැලකිය යුතු තරම්ය. කලා අධ්‍යක්ෂවරයාගේ වැටහීම හා දක්ෂතාව මැනැවින්ම සහතික කර ගැනුමට ඔහු සමත් වෙයි. මෙය ඇඳුම් ආයිත්තම්, ගෘහ භාණ්ඩ, සෙසු උපකරණ, රෝහල් පසුබිම, යාන වාහන වෙතින් පමණක්ම විද්‍යමාන නොවන බව කිව යුතුය. රූපණයද එදවස ප්‍රතිනිර්මාණය වෙනුවෙන් සියුම්ව උපයෝගී කර ගන්නට ඔහු උත්සුක වෙයි. එදවස හා වත්මන මුසුවීමකදී සිදුවිය හැකි විශ්වාසනීයත්වය බිඳ වැටීමක් සම්බන්ධයෙන් ඔහු දැක්වූ අවධානය සිනමාපටය පුරාම සාපේක්ෂ සාර්ථක වීම් සහිතව දක්නට ලැබේ.

රූපණ කාර්යයේදී නිරනුමානවම පෙරට එන්නට ස්වර්ණා මල්ලවආරච්චි සමත් වෙයි. ඝාතනයට ලක් වන තම එකම පුතු – රිචඩ් නිසා පමණක්ම ඇය කඳුළු නොසලයි. ඇගේ කඳුළු රසිකයා දකින්නේ මතුපිටින්ම නොවේ. ඇගේ හදින් ගලන කඳුළු දකින්නටද සිනමාකරු හඳගම ඉඩ කඩ සලසා දෙයි. ඇගේ චරිතයට නව වටිනාකමක් සිනමාකරු හඳගම එක් කරලන්නේ ආදරණීය සබඳතාවක් පවත්වාගෙන ගිය ප්‍රබල ඇමැතිවරයකුද දේශපාලනික ඝාතනයකට ලක් වීමෙන් අනතුරුවය. අනතුරුව ඇය එහෙම පිටින්ම වාගේ තනිවන වග පැහැදිලිය. ස්වර්ණා පමණටම මේ ඇමැතිවරයාගේ චරිතය නිරූපණය කරන සනත් ගුණතිලක කැපී පෙනේ. සිනමාකරු හඳගම ස්වර්ණාගේ රූපණ ආධිපත්‍යය අවධාරණය කරන නිසාවෙන් සනත්ට සිදුව ඇත්තේ සිය සීමාවේ තදින් රැඳී සිටින්නටය. මයුර කාංචන, අශාන් ඩයස් ද සනත් අසලට කැඳවීම සහේතුක වේ. බිමල් ජයකොඩි හා සජිත අනුත්තර සිනමාකරුගේ මෙහෙයවීමෙන් තොරව සිටින බවද සඳහන් කළ යුතුය.

පුතුගේ හා පෙම්වතාගේ සමුගැනීමෙන් පසු රට හැර යන ඇය යළි පැමිණ සමකාලීන ප්‍රතිපක්ෂ දේශපාලනික පෙරමුණු සමඟ එක්ව දේශපාලනික ඝාතන ආදියට එරෙහිව නඟන හඬ නිරූපණයේදී සමස්ත සිනමා තිරයම භාවිත නොකරන්නට සිනමාකරු හඳගම ගත් පියවර රසික බහුතරයකගේ අපේක්ෂාව නොවේ. ඔවුනගේ අපේක්ෂාව වනුයේ ඇය යුක්තිය රජයන නවයුගයක් උදා කරලීම වෙනුවෙන් මැදහත් සිතින් පෙරට එන සවිමත් ගැහැනියක වනවා දැකීමය. නමුත් හඳගම එදවස සැබෑවම පුනරුච්චාරණය කරමින් ඇගේ එළැඹුම ලඝු කොට දක්වන්නේ කිසියම් වේදනාවක් බොහෝ රසිකයන් තුළ ඇති කරමිනි. ඇයව සම්මත විරු ගැහැනියක සේ ඔසවා තැබීමක් සිදු නොවන තැන බිහිවන හිස්තැන පුරවාලීම සඳහා අපූර්ව ප්‍රබන්ධයක් ගෙන හැර පෑමට සිනමාකරු හඳගම දක්වන උනන්දුව සිනමාපටයේ ආකර්ෂණිය බව ඔප්‍ නංවයි.

මේ ප්‍රබන්ධයේ එන්නේ රිචඩ්ගේ මව – මනෝරාණි සමඟ අනවරතයෙන්ම බැඳෙන එක්දරු තරුණ වැන්දඹුවගේ චරිතයයි.සිනමාපටය ඇරඹෙන්නේද මේ තරුණ ගැහැනිය සිය කුලුඳුල් දරුවා ප්‍රසූත කරන අවස්ථාවෙනි. සිනමාපටය පුරාම ඇය සැරිසරන්නේ ප්‍රමුඛ චරිතයක් සේය.සිනමාකරු හඳගම ඇගේ චරිතය ගොඩ නංවන්නේ කල්පිත නිරීක්ෂකාවක මෙනි. සියලු තැන්හි ඇය රැඳී සිටියි. රිචඩ්ගේ අවමඟුල මැද , ඔහු පුවත් ගෙන එන රූපවාහිනිය අබියස, මව – මනෝරාණි සමඟ වශයෙනි. රිතිකා කොඩිතුවක්කු මනා පාලනයකින් යුතුව මේ චරිතය නිරූපණය කරන්නේ සිනමාපටයේ ඒකමිතිය කෙරෙහි දැඩි සේ සැලකිලිමත් වන අතරතුරය. මනෝරාණි යටපත් වීම වළක්වාලන ක්‍රමෝපාය බවට අවසනදී ඇය පත්වන සැටියකි.

සැබවින්ම සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම් හා උක්ත ප්‍රබන්ධය නිරූපණයෙන් අනතුරුව සිනමාකරු හඳගම අභිනව කියැවීමකට අවැසි පරිසරය සකස් කර ගන්නේ පෙරට වඩා පරිණත අන්දමිනි. රිචඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් සෘජුවම වරද පැටවෙන්නේ ජනපති වෙතය. ඔහුගේ නිර්බාධිත පැවැත්ම වෙනුවෙන් සැදී පැහැදී සිටින පාර්ශ්ව වෙතය. රිචඩ් වෙත අවසන් ගෞරව දක්වනු පිණිස පැමිණෙන ජනපති හමුවේ මනෝරාණි හැසිරෙන දරඳඩු විලාසය තවදුරටත් මෙකරුණ පසක් කරයි.

මනෝරාණිගේ වියෝවද සනිටුහන් කිරීමෙන් අනතුරුවයි හඳගමගේ අභිනව කියැවීම තිරය මත දිග හැරෙන්නේ. ඝාතක කණ්ඩායම බීමතින් ජීප් රථයේ ගමන් කරන්නේ රිචඩ් පැහැර ගෙන යෑමට හෝ එසේ කොට ඔහුව ඝාතනය කරන්නටම නොවේ. එහෙත් රිචඩ් සිය ප්‍රධානියාට හිසරදයක් වී ඇති බවද ඔවුහු පවසති. මේ ප්‍රධානියා යනු ජනපති නොවන්නටද පුළුවන. ඝාතන කණ්ඩායම් පවත්වාගෙන යන්නේ ජනපති නොවූවද එම වගකීමෙන් ගැලවෙන්නට ඔහුට හැකි නොවේ. මේ අතර සඳහන් වන රිචඩ්ගේ සමරිසි සබඳතා පිළිබඳ කතාබහද පැහැර ගෙන යෑමට යම් නිමිත්තකි. වරෙක සිනමාකරු හඳගම ඉඟි කරන්නේ ඝාතන කණ්ඩායමේ හදිසි තීන්දුවක් මත රිචඩ්ව පැහැර ගෙන ගිය බවයි. සමහර විට ඔහුව නිරුවත් කොට ඝාතනය කරන්නේ ජනපති හෝ පාලක පක්ෂය නොදන්නා පුද්ගලික හේතුවක් නිසා යැයිද සිතේ. ජනපති හෝ පාලක පක්ෂය නිදොස් කරන්නට හඳගම කටයුතු කර ඇතැයි යන්න චෝදනාවක් සේ පැවසෙන්නේ මෙහෙයිනි. අනෙක් අතට හරි හැටි අනාවරණය නොවූ සිදුවීමක් පිළිබඳ තමාගේම නිර්වචනයක් සැපයීමට නිර්මාණකරුවකු සතු අයිතිය හඳගම භුක්ති විඳී බවද පෙනේ. සුලබව නැඟෙන චෝදනාවකට එරෙහිව යමින් වෙනත් පාර්ශ්වයක් වෙත චෝදනා එල්ල කිරීමට මෙම අයිතිය අවකාශ සලසයි. කිසිදු විටෙක හඳගම ඔහුගේ ඛේදනීය ඉරණම අනුමත නොකරන බවද පැහැදිලිය .

මෙයින් පෙනී යන්නේ හඳගම සංකීර්ණ පටලැවිල්ලකට රසිකයා හසු කර ඇති බවයි. එමෙන්ම රසිකයාගේ විචක්ෂණශීලි දැක්ම තියුණු කළ බවයි. ආපසු හැරී දේශපාලනික මුහුණුවරැති සුලබ සිදුවීම් විවරණයට ඔවුන්ව පොලොඹවන බවයි. දේශපාලනික මුහුණුවර තුළ නිසැකවම දේශපාලනික බවක් තිබේදැයි යන්න සොයා බැලීමේ අරමුණ කුළුගන්වන බවයි.

‘රාණි’ ලාංකේය සිනමාව විෂයෙහි ස්ථාන ගත කළ යුත්තේ කොතැනකදැයි යන පැනයට පිළිතුරු සෙවීමද විචාරක – රසික දෙපාර්ශ්වය මත පැටවෙන වගකීමකි. දේශපාලනික සිනමාපටයක මූලිකාංග හා පෙළ ගැසීම් ‘රාණි’ සතුව තිබේ. සිය සමීපතම සමකාලීනයා වන ප්‍රසන්න විතානගේ හා එක්ව ගමන් කිරීම තමාට දැන් නුපුළුවන් බවත් හඳගම ‘රාණි’ හිදී පවසයි. මෙය ස්වීය හුදෙකලා විමක එක් ඇරඹුමක් වන්නටද පුළුවන. මන්ද හඳගම සමඟ තාර්කිකව ගමන් කරන්නට උත්සුක වන අන් සිනමාකරුවකු හඳුනා ගැනීම අපහසු නිසාවෙනි.

[email protected]

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT