Home » ශ්‍රී ලාංකික සංගීත තඩාගයේ පිපි අරවින්දය

ශ්‍රී ලාංකික සංගීත තඩාගයේ පිපි අරවින්දය

ප්‍රවීණ සංගීතවේදී ජයන්ත අරවින්ද

by Thanushika
January 16, 2025 11:20 am 0 comment

1937 නොවැම්බර් 27 දින පානදුර කෙසෙල්වත්ත සරිකාමුල්ලේ නිවසෙහි අපූරු දරු උපතක් සිදුවිණි. හෙළ සංගීතයේ මහා වෘක්ෂයක් බඳු වූ සංගීතවේදී වින්සන්ට් සෝමපාලයන්ට සහ සිසිලියා පෙරේරා විජේරත්න මැතිනියට දාව පුත් රුවනක් මෙලොව එළිය දකින්නේ එදිනය.

පුංචි දෙපා තබමින් ගේ පුරා දිවයන මේ පුංචි පුතාගේ දෙසවනට නිතර ඇසෙන්නට වූයේ මිහිරි සංගීත ස්වරයන්ය. වින්සන්ට් සෝම පාලියන් වයන සංගීත භාණ්ඩවල මිහිරි නාදයට කන්දී එහි සාරය තම පුංචි සිත තුළ තබා ගන්නට මේ පුංචි කොලු පැංචා සමත් විය. නිවසට අරවින්දයක් බඳු වූ පුංචි පුතුට දෙමාපියන් විසින් ජයන්ත අරවින්ද යනුවෙන් නම් තබන ලදි.

සංගීත ස්වර අතර සැරිසරමින් සිටි ජයන්ත අරවින්ද ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නට පිය නගන්නේ පානදුර ශ්‍රී ජන ධර්මදාන මිශ්‍ර පාසලටය. ඒ 1942 වසරේදීය. ඔහුගේ පියා වූ වින්සන්ට් සෝමපාලයන් සංගීත ගුරුවරයකු ලෙස රැකියාව ඇරඹීම පිණිස වැඩ භාර ගැනීමට පැමිණෙන්නේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයටය. ඒ හේතුවෙන් පුංචි ජයන්තට තමා අකුරු කෙරූ මුල් පාසල හැරදා 1946 දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට සිදුවේ. ඒ 3 ශ්‍රේණියටය. එතැන් සිට ජයන්ත අරවින්දයන් ජීවත් වන්නේ පිළියන්දල මධ්‍යම මහා විද්‍යාලයට ආසන්නයේම නිවසකයි.

එතැන් සිට ජයන්ත අරවින්දයන් තම ජීවිත ගීතය සරසවිය හමුවේ ගයන්නට පටන් ගත්තේය.

“මම තාත්තා එක්ක පිළියන්දල නිවසට ආවේ තාත්තගේ ගුරු වෘත්තිය නිසා. තාත්තා මාවත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. අපි ජීවත් වුණේ පාසලට ඉතා කිට්ටුවම නිවසකයි. ඒ ගෙදරට ලස්සන නමක් දාලා තිබුණා තාත්තා. ‘සරමිහිර’ ස්වරයේ මිහිර කියන අර්ථය තමයි එහි ගැබ්වෙලා තියෙන්නේ. සති අන්තයේ අපේ නිවසට කලාකරුවන් පැමිණෙනවා. ඩබ්ලිව්. ඩී. අමරදේව, එදිරිවීර සරච්චන්ද්‍ර, ප්‍රේමදාස මුදුන්කොටුව, සීමන් ලොකුලියන, ආනන්ද ජයසිංහ වැනි අය අපේ සරමිහිරට ගොඩ වැදුණා. ඔවුන් සියලු දෙනා පැමිණියේ තාත්තාගෙන් සංගීතය ඉගෙන ගන්න. තාත්තා උගන්වන වේලාවට මම ඉතා ඕනෑකමින් ඒවාට කන් දීගෙන ඉන්නවා. ඔවුන් ගායනා කරන ස්වර, රාග ආදියට මම හරි කැමැත්තක් දැක්වූවා.

ඒ හැම දෙයක්ම හරිම ඉක්මනින් මතක තබා ගැනීමේ ශක්තියක් මට තිබුණා.

ධා ධී නා ධා තු නා ඇසෙන විට මට කියන්න පුළුවන් ඒ දාධරා තාලය කියලා. තාත්තා සංගීතය උගන්වන හැටි දැකලා මටත් ආසාවක් ඇති වුණා සංගීතය ඉගෙන ගන්න. ඔහු මට විශේෂයෙන් ඉගැන්වූයේ නැහැ. තාත්තා මට නිතරම කියපු දෙයක් තමයි ‘පුතා සංගීතය ඉගෙන ගන්න හැබැයි විශ්ව විද්‍යාලයේ යන්න ඕන’ කියලා. ඒ කියමනත් මම හොඳට හිතට ගත්තා. මට සංගීතය ගැන හොඳ දැනුමක් ඇතිවුණේ තාත්තා සංගීතය උගන්වනකොට මම ඒ දේවල් නිරායාසයෙන්ම හුරු වූ නිසා. කෙනෙක්ට යමක් ඉගෙන ගන්න සුදුසුම තැන තමයි ඔහු හෝ ඇය ජීවත් වන වටපිටාව.”

කෙනෙකු යම් විෂයක් ගැන තිබෙන උනන්දුව ආසාව වැඩිවීමට ප්‍රධාන හේතුවක් වනුයේ ඒ විෂය පිළිබඳ දැනුමක් ඇත්ත වුන්ගේ ඇසුර ලැබීමයි. ජයන්ත අරවින්දයන්ටද ඒ ඇසුර ලැබී ඇත. ඔහුගේ හඬින්ම ඒ බව සඳහන් කළේය.

“මම පුංචි කාලේ ගෙදරට සංගීතය ඉගෙනගන්න ආපු චරිත මට ගොඩක් වැදගත් වුණා. අමරදේවයන් වයලීනය වාදනය කළේ මගේ ඇඳ උඩ ඉඳන්. ඒ 1951, 1952 දී වගේ. එතුමා ගාන්ධාර විභාගවලට ඉගෙන ගනිමින් සිටියේ.

ඒ කාලේ තිබුණා ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යනුවෙන් සංගීත විභාග. වයලීනය, සිතාරය වගේ වාදන භාණ්ඩ උපයෝගී කරගෙන. මටත් ඒ හැකියාව තිබුණ නිසා මමත් අමරදේවයන් සමඟින් විභාග වලට ඉදිරිපත් වුණා. මරදානේ පැත්තේ පාසැලක තමයි විභාග තිබුණේ. ඒ වගේ හරි ලස්සන අතීතයක් තමයි අපිට තිබුණේ.

අමරදේව, මුදුන්කොටුව, වැනි අය අපේ ගෙදර ඇවිත් ගියාම මම ඒ සංගීත භාණ්ඩ අරගෙන වාදනය කළා. බොහොම ඉක්මනින් මම සර්පිනාව වාදනය කරන්න ඉගෙන ගත්තා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඒ කාලේ එනවා අපේ තාත්තව හම්බවෙන්න. සඳැස් ගැන කතා කරන්න. සිළුමිණ පත්තරේ පළවුණු ඒ සම්බන්ධ ලිපි තාම තියෙනවා. එතුමාට සංග්‍රහ කරන්න අම්මා තේ හැදුවාම මම තමයි තේ එක අරගෙන ගිහින් දෙන්නේ.

මට මේ සිද්ධිය හොඳට මතකයි. දවසක් සරච්චන්ද්‍රයන් අපේ ගෙදර ආපු දවසක තාත්තා මට කතා කළා.

“පුතේ එන්න, ඇවිත් මේ ඩොක්ටර්ට ඇහෙන්න වයලින් එක ගහන්න.”

ඩොක්ටර් කියලා තමයි තාත්තා සරච්චන්ද්‍රයන්ට කතා කළේ.

මමත් හරි ආසාවෙන් එතුමා ඉස්සරහ වයලීනය වාදනය කළා. මම රාගයක් වාදනය කළා.

කතාබහ ගලාගෙන යන අතරේ ජයන්ත අරවින්දයන් තමාගේ සර්පිනාවෙන් එම රාගයේ ස්වර වයන්නට විය.

ඔහුගේ අතැඟිලි සර්පිනාව මත දිව යන්නේ ඔහු වාදනය කරන ස්වරයක් ස්වරයක් පාසා වින්දනය කරමින්ය. ජයන්ත අරවින්දයන් සංගීතය තුළ ජීවත්වනවා කිවහොත් නිවැරදිය. නැවතත් ඔහු වාදනය නවතා කියමින් සිටි කතාවේ ඉතිරිය නැවතත් රිද්මයකට ගලා යන්නට සැලැස්සුවේය.

“ඉතින් මම බොහොම අපූරුවට කළ වාදනය අහල සරච්චන්ද්‍රයන් බොහෝ සතුටට පත්වුණා.

ආ …. පුතාට බොහොම හොඳට වයලින් එක වාදනය කරනවානේ කියලා සද්දෙන් කිව්වා. මටත් ඉතින් ඒක අහල හරිම සතුටක් දැනුණේ.

ඒ අවස්ථාව ජයන්ත අරවින්දයන්ගේ සංගීත දිවියේ වෙනසක් ඇති කිරීමට මුල් වූ සිද්ධියක් විය.

“එතුමා මාවයි තාත්තවයි ගුවන් විදුලියට එක්ක ගියා.

ගුවන් විදුලියේ සවස 6.30ට ප්‍රචාරණය වුණ රසවින්දන කියන වැඩසටහනට තාත්තවයි මාවයි සම්බන්ධ කරගත්තා. සරච්චන්ද්‍ර මහත්මයා තමයි ප්‍රශ්න අහන්නේ තාත්තාගෙන් රාග පිළිබඳ තමයි අහන්නේ.

ඒ වැඩසටහනේ අන්තිම විනාඩි හත මට ලැබෙනවා. අදාළ රාගය වයලීනයෙන් වයනවා මම. මම මේ කියන්නේ 1951 සහ 1952 කාල වකවානුව ගැන.

ඉතින් මට මේ වගේ විශිෂ්ට පුද්ගලයින්ගේ ඇසුර ලබන්න හැකිවුණා කුඩා කාලයේ සිටම.

මට මතකයි මම හතරේ පන්තියේ ඉන්න කොට සංගීතවේදී ලයනල් එදිරිසිංහයන් මුණගැසුණා පාසලේදී. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේදී. එතුමා මාව හඳුනාගෙන ගීතයක් කියන්න කිව්වා. මමත් කිව්වා. පී. බී. ඉලංගසිංහයන්ගේ ‘ගීත ද්වාරය’ පොතේ තිබුණ ගීතයක්.

ජයන්ත අරවින්දයන් මදකට කතාබහ නවතා ඔහුගේ සර්පිනාවෙන් එම ගීතය වාදනය කරන්නට විය.

අපේ තාත්තා ගාව තිබුණා පුස්තකාලයක වගේ පොත්. ඒවයින් තමයි මම ඒ ගීත හොයා ගන්නේ. තාත්තාගේ ගෝලයින්ට පොත් අවශ්‍ය වුණාම මම තමයි පොත් හොයලා දෙන්නේ.

ජයන්ත අරවින්දයන්ගේ රසබර කතා අතරට ප්‍රශ්න ඇසීම් වලින් වැළකී ඔහුටම ඔහුගේ ජීවිත රාගය ගයන්නට ඉඩ සැලසීම සරසවියේ අරමුණ විය.

මට සරච්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබෙන විදිහත් හරි අපූරුයි.

පිළියන්දල මධ්‍යම හා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරලා 1958 මම යන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට.

දවසක් මම ඇවිදගෙන යනකොට මට මුණගැහුනේ සරත්චන්ද්‍ර මහත්මයාව. ඔහු කතා කළා මට.

ජයන්ත පොඩ්ඩක් ඉන්න. අපි මේ ළමයින්ට සංගීතය උගන්වන්න ඕන.

හොඳයි සර්… ඒත්…. ඉඩ පහසුකම් කොහේද තියෙන්නේ?….

මං එහෙම ඇහුවා එතුමාගෙන්.

“අපි මේ සංඝමිත්තා හෝල් එක ගමු. එතන බැරි නම් අපේ ගෙදර හරි ගමු.

එතුමාට එතරම් කැපවීමක් තිබුණා ගෝලයින්ට සංගීත ඥානය දෙන්න. මට පුදුම හිතුණා. සරත්චන්ද්‍ර මහත්මයා හිටියේ සංඝමිත්තා හෝල් එක එහා පැත්තේ ගෙදර.

සරච්චන්ද්‍ර මහත්මයා අපිට ඒ කාලේ නාට්‍යයත් ඉගැන්නුවා. ‘රත්නාවලි‘

රත්නාවලී ලිව්වේ කිවිසුරු පියදාස නිශ්ශංක. එතුමා ඉඳලා තියෙන්නෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ.

රත්නාවලී, රාමායණය, සකුන්තලා, උත්තර රාම චරිතය වගේ තවත් පොත් රාශියක් එතුමා විසින් රචනා කරලා තියෙනවා. එයින් බොහොමයක් සංස්කරණය කරලා තියෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයා.

ඉතින් සරච්චන්ද්‍ර මහත්මයාට අවශ්‍ය වුණා අපිට කියලා රත්නාවලී නාට්‍ය රඟ දක්වන්න. එතුමාට ඕන වුණේ රත්නාවලී නාට්‍යයක් විදියට නිර්මාණය කරන්න.

අපිට සිංහලවලට ඉගැන්නුවෙත් ඒ නාට්‍යය. මට ඉගෙන ගත්තෙ සිංහල, පාලි, සංස්කෘත හැබැයි ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

සරච්චන්ද්‍ර මහත්මයා අපිව වේදිකාවට ගෙනල්ල රඟපාන්න කියනවා.

එතුමාට අවශ්‍ය වුණා රත්නාවලී නාට්‍ය සඳහා ගීත.

මගෙන් ඉල්ලීමක් කළා ඒ සඳහා ගීත සකසා දෙන්න කියලා. මටත් බොහොම ආසාවෙන් ඒ දේ ඉෂ්ට කළා.

ඉන් පසු එතුමාට අවශ්‍ය වුණා අධ්‍යාපනය පැවරුමක් විදියට රත්නාවලී නාට්‍යය නිර්මාණය කරන්න. ඒ සඳහා හොඳ දක්ෂ ශිෂ්‍ය කණ්ඩායමකුත් හිටියා.

සරත් අමුණුගම, ජේ.බී. දිසානායක, සයිමන් නවගත්තේගම, සෝමලතා සුභසිංහ, ලයනල් පෙරේරා, සුචරිත ගම්ලත්. මෙන්න මේ අය එකතු කරගෙන පේරාදෙණිය ‘වලේ’ තමයි පුහුණුවීම් කළේ.

ඉන්පසුව පේරාදෙණිය සරසවියේම හිල්ඩා ඔබේසේකර ශාලාවේ රත්නාවලී වේදිකා ගත කළා. 1959 දී. විශාල පිරිසක් ආවා බලන්න.

රත්නාවලී ගීත නාටකය සඳහා මම ගීත 30ක් පමණ නිර්මාණය කළා. පේරාදෙණිය සරසවියේම ජයතිලක හෝල් එකේ 8වෙනි කාමරය තමයි මම ගීත නිර්මාණය කළේ.

ඒ සියල්ල රාගධාරී ගීත.

ඒ මම නිර්මාණය කරපු ගීත අහල සරච්චන්ද්‍ර මහත්මයා ගොඩක් සතුටු වුණා. එතුමා නැවත නැවත ඒ ගීත ඇහුවා. ඒ වගේම ගීත ජනප්‍රිය වුණා.

නාට්‍යයට පමණක් නෙමෙයි මේ ගීත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් උගන්වන්න කියලා සරච්චන්ද්‍ර මහත්මයා මට උපදෙස් දුන්නා.

ඒ අනුව මම සංඝමිත්තා හෝල් එකේදී ශිෂ්‍යයින්ට ගීත පුහුණුවීම් කටයුතු සිදු කළා. පේරාදෙණිය සරසවියේ අළු විහාරයේ මැතිනිය අපිට ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා.

සරච්චන්ද්‍ර මහත්මයා හවසට ඇවිත් බලනවා අපේ පුහුණුවීම්වල තත්ත්වය.

පුහුණුවීම් බලලා එතුමා මට තවත් යෝජනාවක් ගෙනාවා.

මේ ගීත ටික යොදාගෙන ප්‍රසංගයක් කරන්න.

අපි ඒ ගීත සියල්ල එකතු කරලා ‘රත්නාවලී ගී ප්‍රසංගය’ කළා.

එම ප්‍රසංගය බලන්න දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා ඇවිත් සිටියා.

නැවතත් ජයන්ත අරවින්දයන් තම සුන්දර කලා ජීවිතයේ රස මුසු තැන්වලට නව ජීවයක් දීමට තම අතැඟිලි සර්පිනාව මත තබා හරඹ පාන්නට වූයේය.

සරච්චන්ද්‍ර මහත්මයාට මම මගේ ප්‍රණාමය පුද කරනවා. පොතපතේ දැනුම පමණක් නොවේ එතුමා විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් ඉඩක් දීම ගැන.

රත්නාවලී ප්‍රසංගයක් බලන්න දවසක් පී. වැලිකල මහත්මයා ආවා.

ප්‍රසංගය බලලා එතුමා මෙහෙම කිව්වා.

“ I said crazy “

ගීත ටික අහලා මට පිස්සු හැදෙනවා කියලා එතුමා කිව්වා.

ඉන්පසුව සරත්චන්ද්‍ර මහත්මයාට ඕන වුණා හොඳ නළු නිළියො ටිකක් සම්බන්ධ කරගෙන කොළඹදී මේ නාට්‍යය රඟ දක්වන්න.

1961 දී රත්නවලි නාට්‍යයේ ප්‍රසිද්ධ වේදිකාවට ගෙනාවා.

මට ඒ ගීත ටික එකතු කරගෙන ‘රත්නාවලී නාට්‍ය ගී සංග්‍රහය’ නමින් පොතක් මුද්‍රණය කළා. දැන් අවුරුදු 20ක් විතර වෙනවා.

මගේ හිතේ හීනයක් තිබුණා;ගීත කණ්ඩායමක් හදන්න. ඉස්සර මට ගීත කණ්ඩායමක් හැදුවා. චමත්කාර, රස දහර වගේ නම් වලින් මම ප්‍රසංග පැවැත්තුවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යක්ෂ වෙලා ඉඳලා 1998 දී මම විශ්‍රාම ගත්තා. ඒ විශ්‍රාම ගත්තට පස්සේ තමයි මම ප්‍රසංගයක් කළේ රත්නාවලී ගී වලට තමයි මම මුල්තැන දුන්නේ.

මනමේ, සිංහබාහු, පේමති ජායති සෝකෝ වැනි නාට්‍යවල ගීත සංගීතවත් කළේ මට වයලින් වාදකයෙක් විදිහටත් ඒවට සම්බන්ධ වුණා.

පේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ ගීතවලට සංගීත සපයන්න කියල සරච්චන්ද්‍ර මහත්මයා ගෙදරටම ඇවිත් ඉල්ලීමක් කළා.

මම ඒ ඉල්ලීම ඉටු කළේ සරච්චන්ද්‍ර මහත්මයාගේ ගෙදර නැවතිලා. මට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දුන්නා එතුමා.

මම ගීත ටික සංගීතවත් කලාට පස්සේ ගැහැණු ළමයෙක් ලවා ඒ ගීත ගායනා කෙරෙව්වා. ඒ ගැහැනු ළමයාගේ නම මනුලා බටුගෙදර. ඒ කාලේ සරච්චන්ද්‍ර මහත්මයාගේ ගෙදරට හවසට එනවා සුන්දර මිනිස්සු. ජයලත් මනෝරත්න, පාදෙණිය, මහින්ද සමරසිංහ, නිශ්ශංක දිද්දෙනිය වගේ අය. හරිම සුන්දරව ගෙවිලා ගිය කාලයක් තමයි ඒ කාලෙ.

ජයන්ත අරවින්දයන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සමඟින් ගෙවුණු කාලය ගැන රසබර මතකයන් අවදි කළේ එක හුස්මටය.

තමා අසල ඇති සර්පිනාවට නැවතත් අවධානය යොමු කළ ඔහු ස්වර රටා කිහිපයක් වාදනය කිරීමෙන් අනතුරුව නැවතත් තම හඬ අවදි කළේය.

මම ගුවන්විදුලියේත් වාදන ශිල්පියෙක් විදිහට වැඩ කළා.

ඒකත් බොහොම රසවත් කතාවක්.

මගේ දක්ෂතා හඳුනාගෙන තිබුණ අය මට කිව්වා ගුවන් විදුලි ශිල්පීන් තෝරාගන්නා

පරීක්ෂණයට යන්න කියලා. ඒත් මගේ තාත්තා කිව්වා පුතාට බෑ යන්න එපා කියලා. ඒත් මම ගියා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රතන සංකර් තමයි ඇවිත් හිටියේ තෝරාගන්න.

මම රාගයක් වයලීනයෙන් වාදනය කළා.

ඉන්පසු එතුමා මට කිව්වා ගායනය කරන්න දුන්නා. ඒත් මට හම්බ වුණේ අමාරු රාගයක් නිසා මට ගායනා කරගන්න බැරි වුණා.

අමරදේවයන්, රූපසිංහ මහත්මයා වගේ අය ඒ ශ්‍රේණියට තේරුණා. මට ලැබුණේ බී ශ්‍රේණිය.

ඒ විදිහට තමයි මම ගුවන් විදුලියේ වාදන ශිල්පියෙක් විදිහට සම්බන්ධ වෙන්නේ.

ඉන්පසුව මාව වැඩසටහන්වලට සහභාගී කරවා ගත්තා.

රුපියල් 35ක වගේ මුදලක් ලැබුණා මට එක වැඩසටහනකට. අවුරුදු කිහිපයකින් පස්සේ මම ඒ ශ්‍රේණියේ ශිල්පියෙක් බවට උසස් වුණා.

මට හොඳට වාදනය කරන්න පුළුවන් වයලීනය. සර්පිනාවත් පුළුවන්.

1961ඉඳන් මම පාසැල් වල වැඩ කළා. 1971 දී මට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට මාරු වීමක් හම්බ වුණා.

හැබැයි සංගීත විෂයට නෙවෙයි මාව ගත්තේ. මම ඉගැන්වූයේ පාලි, සිංහල, සංස්කෘත, බුද්ධාගම සහ ඉංග්‍රීසි විෂයන්. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ආසන්නවම මගේ නිවස පිහිටා තිබීම නිසා මට පාසලේ වැඩ කටයුතු කරගෙන යන්න පහසුවක් වුණා.

පාසලේ පුස්තකාලේ භාරව හිටියෙත් මම.

පාසලේ ඉගැන්වීම් කටයුතු කරන ගමන් මට හිතුණා නැවතත් ඉගෙන ගන්න.

සංගීතය පැත්තෙන් විභාග කරන්න අවශ්‍ය වුණා. පාසල් නිවාඩු කාලයේ මම ඉන්දියාවට ගියා ලක්නව්වල භාත්ඛණ්ඩයේ විශ්වවිද්‍යාලයට.

1966 දී මම ඩිප්ලෝමාව ලබා ගත්තේ වයලීන් වාදනයෙන්. 1968 දී විශාරද සමත් වුණා. 1969 දී සංගීත නිපුන් ප්‍රථම කොටසත් 1970 දී සංගීත නිපුන් දෙවන කොටසත් සමත් වුණා.

මේ සියල්ල සම්පූර්ණ කරලා මම නැවත ලංකාවට ආවා.

ඔය අතරේ ගිරාගම ගුරු විද්‍යාලයෙන් ඉල්ලුම්පත් කැඳවලා තිබුණා කථිකාචාර්යවරුන් සඳහා. මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. දින පහුවෙලා දැම්මේ. ඒත් මට කථිකාචාර්ය තනතුරක් ලැබුණා. 1973 දී. මට අධ්‍යාපන ඩිප්ලෝමා එකක් තිබුණේ නැහැ.

පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා ගත්තා. 1978 අවුරුද්දේ මට ශිෂ්‍යත්වයක් ලැබුණා එංගලන්තයට යන්න පශ්චාත් උපාධිය සඳහා සංගීත සෞන්දර්ය විද්‍යාව විදිහට තමයි එය හඳුන්වා තිබුණේ. මට කලින් සුචරිත ගම්ලත් එංගලන්තයට ගිහින් පශ්චාත් උපාධිය ලබාගෙන තිබුණා සාහිත්‍ය අංශයෙන්. එය නිම කරලා නැවතත් ලංකාවට ඇවිත් කොළඹ අධ්‍යාපන පීඨයට සම්බන්ධ වුණා අනුයුක්ත කථිකාචාර්ය කෙනෙක් විදියට. එය ස්ථිර පත්වීමක් නෙවෙයි.

අවුරුදු දෙකක් එහෙම සේවය කරල පසුව ගිරාගම ගුරු විද්‍යාලයට ගියා උප විදුහල්පති හැටියට. 1964 දී මට විදුහල්පති තනතුරු ලැබුණා.

ඔය විදිහට වැඩ කරගෙන ඉන්නකොට මට දවසක් වී.ජ.මු. ලොකුබණ්ඩාර මුණගැහුණා.

මාව දැක්ක ගමන් ඔහු මෙහෙම කිව්වා.

“ජයන්ත, ඔය කැලෑවට වෙලා ඉන්න එපා එන්න අධ්‍යාපන අමාත්‍යංශයට.”

එවකට ඔහු සංස්කෘතික සහ අධ්‍යාපන ඇමැති 1980 ගණන්වල.

එහි ප්‍රතිඵලයක් විදිහට 1989 දී මම අධ්‍යාපන අමාත්‍යංශය සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්වුණා.

ඒ කාලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්යයට කියලා විශේෂයෙන් වෙන් වූ අංශයක් තිබුණේ නැහැ. කලා කටයුතු සිදු කළේ ක්‍රීඩා කටයුතු සිදු කරන අංශයෙන්මයි.

මම අධ්‍යක්ෂ ධුරයේ වැඩ භාරගත්තට පස්සේ සෞන්දර්ය අංශය ආරම්භ කළා.

ජයන්ත අරවින්දයන් තම දිවියේ එක් එක් සන්ධිස්ථාන හරි අපූරුවට විස්තර කළේ රංගන ශිල්පියෙක් රඟපාමින් දෙබස් කියන්නාක් මෙනි. විටෙක හඬ නගා සිනා සී විටෙක මුහුණේ විවිධ ඉරියව් පාමින් කතා කළේය. විටෙක තම සර්පිනාව ගෙන නාට්‍ය ගීතයක් වාදනය කළේය.

සර්පිනාව වාදනය කර අවසන් වූ සැණින් නැවතත් තම ජීවිත ගීතය ඔහු සරසවි ඉදිරියේ ගැයීමට හඬ අවදි කළේය.

අධ්‍යක්ෂ තනතුරට පත්වූ විගස මම මගේ වැඩ පටන් ගත්තා. එවකට සංගීත විෂය පාසැල්වල දියුණු මට්ටමක පැවතියේ නැහැ.

පාසල්වල සංගීත විෂය දියුණු කිරීමේ අරමුණින් මම ව්‍යාපෘතියක් පටන් ගත්තා ‘ශනිදා පාසල්’ යන නමින්. සෙනසුරාදාට සංගීත විෂයට හපන්කම් දක්වන ළමුන් ගෙන්වලා ඔවුන්ට උගන්වන වැඩපිළිවෙළක් ඒක. පාසලේ සංගීත ගුරුවරුම තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ.

ඒත් ගුරුවරයෙකුට රුපියල් 150ක් මුදලක් ගෙව්වා ඒ වෙනුවෙන්.

උපතින්ම සංගීතයට හැකියාව ඇති දරුවන් සංගීතයට යොමු වුණා.

ඒ දරුවන් අප හැඳීන්වූයේ ‘සුබග ශිෂ්‍යයන්’ විදිහට.

ඔවුන්ව කවදා හෝ ශිල්පීය මට්ටමට ගෙන ඒම තමයි අපේ එකම අරමුණ වුණේ. එවැනි ශනිදා පාසල් 100ක් ලංකාව පුරා ඇති කළා.

උතුර, දකුණ, බටහිර, නැගෙනහිර මේ සෑම පළාතක්ම ආවරණය වෙන්න තමයි අපි එම ව්‍යාපෘතිය ආරම්භ කළේ.

1998 දී මම විශ්‍රාම ගත්තා. අවුරුදු 10ක් පමණ අපි ඒ ව්‍යාපෘතිය කළා.

දැන් නම් එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

විශ්‍රාම සුවයෙන් හිටියත් ජයන්ත අරවින්ද කලාකරුවාණන් තමා පණ මෙන් ආදරය කරන සංගීතයෙන් දුරස් වී නොමැත. ඔහු තවමත් සංගීත අධ්‍යක්ෂණය, නිර්මාණය කරමින් සිටියි.

අපේ රටේ අති දක්ෂ රංගනවේදියෙක් වන නාමෙල් වීරමුණි සමඟ එක්ව රාවණ සීතාභිලාශය වේදිකා නාට්‍ය සඳහා සංගීත නිර්මාණය කිරීමට භාරව ඇත්තේ ජයන්ත අරවින්දයන්ටය.

නාමෙලුයි මමයි එකට ඉගෙන ගත්තා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඔහු පසුව පිටරට පදිංචියට ගියා.

කාලයක් එහි ගත කර නාමෙල් නැවතත් ලංකාවට පැමිණ බොරැල්ලේ පුංචි තියටර් එක ආරම්භ කළා. ඒකට මුල්ගල තියන උත්සවයට මමත් ගිහින් ගලක් තිබ්බා.

නාමෙල්, ජේ. බී. දිසානායක සමග එක්ව රාවණ සීතාභිලාෂය රචනා කළා. ඒක මුලින්ම ලිව්වේ ජේ.බී. දිසානායක කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. රාවණ නමින් තමයි ඒ කාලේ නම.

නාමෙල් නැවතත් එය රාවණ සීතාභිලාෂය ලෙස වේදිකා ගත කළා. මම තමයි එහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ.

ඒ කාලේ හොඳ කණ්ඩායමක් හිටියා. කොවිඩ් වසංගතය ආවට පස්සේ එය වේදිකාගත කර ගන්න ප්‍රශ්න ආවා. හේතුව තමයි එහි ප්‍රධාන භූමිකා රඟන අය පිටරටවලට ගියා. සමහර අය රැකියා කරන නිසා ආවේ නැහැ. අපි මුලින් දර්ශන වාර 30ට අධික ප්‍රමාණයක් වේදිකාගත කළා.

මේ දිනවල නවක ශිල්පීන් තෝරා ගනිමින් ඉන්නේ.

බලාපොරොත්තු වෙනවා නැවතත් ඉක්මනින් රාවණා සීතාභිලාශය වේදිකාගත කරන්න.

ජයන්ත අරවින්දයන් වයසට නොයන තැනැත්තෙකි. විවේකී සුවයෙන් ගත කළ යුතු කාලයේදී ද ඔහු සංගීතය, කලාව වෙනුවෙන් කාලය ශ්‍රමය වෙන් කිරීම කොතරම් නම් අපූරුද?

ඔහු මේ දිනවලත් අතිශයින් කාර්ය බහුලයි. ඒ ඔහුගේ ආශාවන් සැබෑ කරගැනීම වෙනුවෙනි.

මට හරිම ආසාවක් තියෙනවා ගීත කණ්ඩායමක් හදන්න.

පරණ නාට්‍ය ගීත එකතු කරලා ප්‍රසංගයක් කරන්න ඒත් ඒකට දක්ෂ ශිල්පීන් අවශ්‍යයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙන්, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් පොරොන්දු වෙලා තියෙනවා දක්ෂ ශිෂ්‍යයෙන් තෝරා දෙන්න ප්‍රසංගය සඳහා.

මම ගිහින් තෝරාගැනීම් සිදුකරලා තියෙනවා. දක්ෂ පිරිස ඉන්නවා.

කවදා හෝ අපෙන් පසු පරපුරට පැරණි නාට්‍ය ගීත දායාද කළ යුතුයි. ඒවා නොනැසී පැවතිය යුතුයි. ඒ නිසා මට හැකි ඉක්මනින් එය ආරම්භ කරනවා.

ජයන්ත අරවින්දයන් සමඟ විශේෂයෙන් ප්‍රශ්න අසා ඔහු ගැන ලිවීමට අවශ්‍ය වූයේ නැත. ඔහු ඔහුගේ කුඩා කල සිට ඉතාමත් පැහැදිලිව සියලු විස්තර සරසවිය හමුවේ අනාවරණය කළේය.

ජයන්ත අරවින්දයන්ට තම සංගීත දිවියේ වැඩකටයුතු කරගෙන යාමට නිහඬව ශක්තිය රැකවරණය ලබා දෙන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වන මල්ලිකා අරවින්ද මහත්මියයි. ඔහුගේ වැඩිමහල් පුත් වජිරපානී අරවින්ද ගණිත ගුරුවරයෙකි. දෙටුපුත් වරදත්ත අරවින්ද කවුරුත් හඳුනන ජනප්‍රිය ගායකයෙකි.

දියණිය සමන්තා අරවින්දය. ඔහුගේ හඬ තවමත් තරුණය. කන්කලුය. ඔහු සතු සංගීත ඥානය මෙතෙකැයි කියා කිව නොහැක.

පරම්පරා ගණනකට අපේ සංගීතය රැකගන්නට පෙරමං කියාදුන් සංගීතඥ ජයන්ත අරවින්ද රටට මහඟු සම්පතකි. ශ්‍රී ලංකාවේ පහළ වූ මහා සංගීතඥයෙකු වූ විල්සන්ට් සෝමපාලයෙන් දැයට දායාද කළ තම පුතු ජයන්ත අරවින්ද කලාව වෙනුවෙන් කළ සේවය අතිමහත්ය.

සංගීත විලක සුපිපුණු අරවින්දය …..

ජයන්ත අරවින්ද සොඳුරු සංගීතඥයාට දීර්ඝායුෂ, නිරෝගී සුව පතමු.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT