Home » වේදිකාවෙන් පටන්ගත්තොත් වරදින්නේ නැහැ

වේදිකාවෙන් පටන්ගත්තොත් වරදින්නේ නැහැ

ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල

by Thanushika
July 31, 2025 11:50 am 0 comment

රොඩ්ඩාගේ වර්ණකුලය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ දිනයේ (30) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ. සාම්ප්‍රදායික පොත් දොරට වැඩීමකින් එහාට ගිය සොඳුරු වර්ණවත් ආස්වාදනීය අවස්ථාවක් විඳීිමට හැකිවන අයුරින් එය සංවිධානය කොට තිබීම කාගේත් පැසසුමට ලක් විය. රොඩ්ඩා යනුවෙන් හඳුන්වනුයේ අප කාගේත් ආදරය දිනාගත් රොඩ්නි වර්ණකුලය. මේ ග්‍රන්ථයට යෙදූ නම එක්තරා අන්දමකින් රොඩ්නිගේ නමට සමපාත වන අන්දමින් යෙදීම ද කාගේත් කතාබහට ලක්විණ.

රොඩ්නි වර්ණකුළ මෙතෙක් අප හඳුනාගෙන සිටියේ විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය ශිල්පියකු ගායකයකු ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවකු ලෙසිනි. එහෙත් රොඩ්ඩාගේ වර්ණ කුලය එළිදැක්වීමෙන් පසු ඔහු ලේඛකයකු වශයෙන්ද මෙරට කලාකෙත තුළ පැළපදියම් විය. රොඩ්නිගේ ලේඛනයත් ඔහුගේ කලා දිවියේ නව තොරතුරුත් පිළිබඳ කතාබහකට පසුගිය දිනක ඔහු අපි සරසවියට කැඳවා ගත්තෙමු. මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම හාස්‍යෝත්පාදක නළුවා ලෙසින් අපේ නිර්දේශිත නම් අතරට ඔහුගේ නාමය ද එක්වී තිබිණි. එසේම සරසවියේ ජනප්‍රිය සම්මාන අතරින් මෙවර ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ ජනප්‍රිය චිත්‍රපට ගීතය සඳහා හිමි සම්මානය එස් එම් එස් මගින් හිමිකර ගත්තේ ද රොඩ්නි ඇතුළු පිරිසක් ගායනා කරනු ලැබූ වීර්යයා චිත්‍රපටයේ ආ ගීතයකටය. මෙකී කාරණා සියල්ල එක්තැන් කරගෙන රොඩ්නි අප හා කතා බහට එක් වූයේය.

රොඩ්ඩාගේ වර්ණ කුලය කියන්නේ ඔබේ ස්වයං ලිඛිත චරිතාපදානය. මේ පොත ලියන්න අරමුණ වුණේ කුමක්ද?

මීට අවුරුදු ගණනාවකට ඉහතදී මම හිතා ගත්තා මගේ ජීවන අත්දැකීම් පොතකට එකතු කරනවා කියලා. ඒ පොත ජනගත කිරීම සඳහාත් මගේ නාට්‍ය කලා ජීවිතයට අවුරුදු හතලිස් පහක් පිරීම සමරන්නත් නාට්‍ය දැක්මකුත් සමඟ කිසියම් උත්සව අවස්ථාවක් සංවිධානය කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණා. මේ වැඩේ මම කරන්න හිතාගෙන හිටියේ 2021 වර්ෂයේ. නමුත් කොවිඩ් වසංගතය ඇවිදින් මුළු රටම විතරක් නොවෙයි. මුළු ලෝකයම වසා ගත්තට පස්සේ මගේ ඒ බලාපොරොත්තු සුන් වුණා. නමුත් ගෙවුණ කාලය ඇතුළත මගේ ජීවන වෘත්තාන්තය අලුතින් ලියමින් හදමින් මගේ කතාව තුළම හිටියා. අවුරුදු පහකට පස්සේ මේ පොත මට මුද්‍රණය කරගැනීමට පුළුවන් වුණා. ඒක තමයි ඊයේ ජනගත කලේ.

මේ පොත රචනා කිරීම ඔබට ඔබේ ජීවිතයේ දිහා ආපසු හැරී බැලීමක් වෙන්න ඇති. ඒ අත්දැකීම කොහොමද?

මම කුඩා දරුවකුව ඒ කියන්නෙ අවුරුදු තුනක් හතරක් පමණ වයස කාලයේ සිට මගේ ජීවිතය මට මතක තැන් මේ දක්වා මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. මම මොන්ටිසෝරියට ඇතුළත් කරලා යන්න බෑ කියලා අඬන අවස්ථාව මට මතකයි. ඒ කාලේ වගේම කෝන් ගහ කියලා ගමේ තිබුණු ලොකු කෝන් ගහේ මතකයෙන්

තමයි මේ පොත පටන් ගන්නේ. මගේ උපන් ගම බෝපිටිය. තවමත් මම ජීවත් වෙන්නේ බෝපිටිය ගමේ. ඒ ගම හා බැඳුණු සිද්ධි ගොඩක් මේ පොතට ඇතුළත් වෙනවා. අපේ ගමේ හැම දෙනාම සමඟ බැඳුණු සංස්කෘතියක් තිබුණා. මම හැදී වැඩෙන්නෙත් මේ සංස්කෘතියත් එක්ක බැඳීලා.

මගේ ජීවිතයේ ළමා කාලයෙන් පස්සේ මගේ පාසල් කාලය. මම නාට්‍ය වලට සම්බන්ධ වෙන හැටි, ගමේ නාට්‍ය කණ්ඩායම කැරොල් කණ්ඩායම පල්ලියේ කණ්ඩායම අම්මා තාත්තාගේ විස්තර මේ හැම දෙයක්ම මේ පොතට අඩංගුයි.

මේක එක පැත්තකින් බලනකොට පොඩි චිත්‍රපටයක් වගේ නේද?

අනිවාර්යයෙන්. මා කියන පුද්ගලයා ගොඩනැගුණේ කොහොමද කියන එකයි මේකෙන් කියවෙන්නේ. අපි අපේ ජීවිත ගොඩනගා ගත්ත හැටි අපි මුහුණ දුන්න දුෂ්කරතා අභියෝග මේ සියල්ල ඉදිරි පරපුරකට පාඩමක්, ආදර්ශයක් වෙයි කියලා හිතල තමයි මම මේවා ලියන්න තීරණය කළේ. මේ පොතේ ඇතුළත් වෙන්නේ මගේ ජීවිතය සතුටුදායක දේවල් විතරක් නෙවෙයි කොහොමත් මම ආවේ රෝස මල් අතුරපු මාවතක නොවෙයි. මම වින්ද දුක් කම්කටුළු අභියෝග කැපිලි කෙටිලි මේ හැම දෙයක්ම දරාගෙන මේ ගමන මම ආවේ. ජීවිතේ කියන්නේ හැල හැප්පීම් ගොඩක්. දුක්ඛ දෝමනස්ස ලාභ අලාභ හැමදේම තියෙනවා. ඒ ඔක්කොම මේ පොතේ අඩංගුයි. මේක ලිව්වට පස්සේ මට හිතුණා මට තවත් ලියන්න හැකියි. තවත් ලිවිය යුතුයි කියලා.

 මේ පොතේ ඔබේ ජීවිතය නවතින්නේ කුමන පරිච්ඡේදයෙන්ද?

මම රාජකාරී කළේ මැනුම් දෙපාර්තමේන්තුවේ. අවුරුදු තිහක් මම එහි රාජකාරි කළා. සැලසුම් ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ මම එතනින් නික්මෙනවා. ඒ නික්මෙන තැනින් තමයි මේ පොත ඉවර වෙන්නේ. නාට්‍ය කලා ජීවිතය මම ‘සාරංගා නැවෙන් ඇවිත්’ මගේ නාට්‍ය නිර්මාණයෙන් ඉවර කළා. මේ පොත ඇත්තටම මට පන්නරයක් වුණා තවත් පොත් ලියන්න. මේක මගේ ජීවිතේ මම ලිව්ව පළමුවෙනි පොත.

ඔබ වඩා තෘප්තිමත් වෙනවා ඇත්තේ ඔබේ නාට්‍ය කලා ජීවිතය පිළිබඳ වෙන්න ඇති?

අනිවාර්යයෙන්ම ඔව්. මගේ ජීවිතයේ මට හමුවුණ නාට්‍යවේදීන් ගැන හිතද්දි මම හරිම තෘප්තිමත්. ලූෂන් බුලත්සිංහල හරහා දයානන්ද ගුණවර්ධන ජයලත් මනෝරත්නයන් සෝමරත්න දිසානායකයන් වැන්නන් මගේ සමීප ආශ්‍රයට ලැබෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවා මම ළඟින් ඇසුරු කරන්නට නොලැබුණත් මට කීප වරක් මුණගැහෙන්න අවස්ථාව ලැබුණා. ගුවන් විදුලියේදී සුගතපාල ද සිල්වා අමරදේව මහත්මයා ඩෝල්ටන් අල්විස් ඇතුළු මහා සාහිත්‍යධරයෝ මට මුණගැසුණා. විශේෂයෙන්ම නාට්‍ය ලෝකයේ බන්දුල විතානගේ පරාක්‍රම නිරිඇල්ල, උපාලි අත්තනායක වැන්නන් ජැක්සන් ඇන්තනී ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි ශිල්පියෝ විජයනන්ද සිරිලා නීල් අලස්ලා සුමින්ද සිරිසේනලා මේ හැමෝම මුණගැහීමෙන් ජීවිතයට ලොකු පන්නරයක් ලැබුණා. ඔවුන් සමඟ ආශ්‍රය කිරීමෙන් ලද ඥානනය ගැන වචනයෙන් කියන්න අමාරුයි. මේ හැමෝම ශ්‍රේෂ්ඨ චරිත. මෙවැන්නෝ සමඟ

ඇසුරු කරනකොට අපේ ජීවිතත් ශ්‍රේෂ්ඨත්වය සොයාගෙන යනවා.

ඔබ උපදින්නේ වේදිකාවේ. නමුත් ඔබට ඊට පස්සේ සිනමාව ටෙලි නාට්‍යත් මුණගැහෙනවා නේද?

ඔව්. ඒකටත් මට අවස්ථාව ලැබුණා. රූපවාහිනිය සිනමාව මම ඇසුරු කළා තමයි. නමුත් අදටත් මම රැඳීලා ඉන්නේ වේදිකාවේ තමයි. වේදිකා නාට්‍ය හැටක් විතර මේ වෙනකොට මම රඟපාලා තිබෙනවා. ඒකෙන් මම කවදාවත් වෙන් වෙන්නේ නෑ. ඊට සමගාමීව ටෙලි නාට්‍යයත් සිනමාවේත් මට සැලකිය යුතු ප්‍රමාණයකින් දායකත්වය දක්වන්න හැකි වුණා. සිනමාවට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ බහුභූතයෝ චිත්‍රපටයෙන්. 2002 වර්ෂයේ. නමුත් ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ 1988 දී. ඒකාලේ බොහෝ රූපවාහිනි නිර්මාණවලට නළු නිළියන් ගත්තෙ වේදිකාවෙන්. ළාහිරු දහසක්, බෝඩිම, පළිඟු මැණිකේ, කඩුල්ල වැනි මුල් යුගයේ ටෙලිනාට්‍ය ගත්තම බොහෝ විට රඟපෑවේ වේදිකාවෙන් ආපු නළු නිළියෝ. මම විශ්වාස කරන හැටියට වේදිකාවේ නළු නිළියන්ගේ අමුද්‍රව්‍ය වැඩියි. ඒ අයට පුළුවන් ඒක අවශ්‍ය වෙලාවට ප්‍රසාරණය කරගන්න. අවශ්‍ය වෙලාවට හකුළාගන්නත්.

ඔබේ ජීවන රිද්මය තිබෙන්නේ වේදිකාවේ ද?

සත්තකින්ම. මම හරිම සන්තෝසයි මට වේදිකාවෙන් එන්න ලැබීම ගැන. අදටත් මම තරුණ පරපුරට කියන්නේ වේදිකාවෙන් පටන් ගන්න කියලයි. වේදිකාවෙන් පටන් ගත්තොත් යන ගමන බොහොම හෙමින් වුණත් ස්ථිරසාරව යන්න පුළුවන්. වේදිකාව කියන්නේ සුර යහනක් නොවේ. දුක් කරදර බාධක විඳීන්න ඕනා තමයි. ලංකාවේ නාට්‍ය කලාවේ හැටියට. නමුත් අපි හැමදාම දුකම උරුම කරගෙන ඉන්න ඕන නෑ. නමුත් වේදිකා නාට්‍ය කරනවා නම් ඒ කට්ට කන්න ඕනෑ. අනාගතයේදිවත් මම බලාපොරොත්තු වෙනවා නාට්‍ය කලාවටත් හොඳ කාලයක් උදා වෙයි කියලා.

ඔබ මෙවර සරසවිය සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර හිටියා. ඒ වගේම ඔබ ගායනා කළ ගීතයත් ජනප්‍රියම ගීතය අතරට එක් වූවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ජනප්‍රිය ගීතයට සම්මානය ලැබුණා. ඒක ඉතින් SMS වලින් ලැබුණු දෙයක්. අනිත් පැත්තෙන් හාත්ස්‍යෝත්පාදක නළුවාට නිර්දේශ වුණා. සරසවිය උලෙළේ නිර්දේශිත නාමයන් අතරට එන එකත් ලොකු දෙයක්. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඉස්සර නම් හාත්ස්‍යෝත්පාදනය කියන කැටගරි එක ගැන ඒ තරම් තැකීමක් තිබුණේ නෑ. කොහොම වුණත් සම්මාන කියන දේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ ගැන මගේ ලොකු බලාපොරොත්තුවක් නෑ. ජන සම්මානය එදත් අදත් අපට තිබෙනවා. වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණාම ලොකු ආත්ම තෘප්තියක් අපි ලබනවා. කොතැනකදී උනත් මම මාව

හඳුන්වන්නේ වේදිකා නාට්‍ය නළුවෙක් විදිහට තමයි.

රොඩ්ඩාගේ වර්ණ කුලය කියන පොතේ නම දැම්මේ කවුද?

මම ඔය කතාව ලියලා නම දාලා තිබුණේ රොඩ්ඩාගේ කතා පොඩ්ඩ කියල. මට මේ වැඩේට මුල ඉඳලම අජිත් මෙන්ඩිස්, කුමාර ලියනගේ, අජන්තා රාජකරුණා වැන්නන් උදව් කළා. අජිත් මෙන්ඩිස් තමයි මට කිව්වේ රොඩ්ඩාගේ කතා පොඩ්ඩ කියනවාට වඩා රොඩ්ඩාගේ වර්ණ කුලය කියල දැම්මනම් හොඳයි නේද කියලා යෝජනා කළේ. මටත් හිතුණා ඒක හොඳයි කියලා ඒ නිසා ඒ නම දැම්මා.

ඉස්සරහට මොනවද කරන්නේ?

රොඩ්ඩාගේ කතා පොඩ්ඩටත් ඉඩ දෙන්න ඕන නිසා කෙටි කතා වගයක් ලියමින් යනවා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT