Home » වේදනාබර අතීත සිදුවීම මගේ හැරවුම් ලක්ෂ්‍යයි

වේදනාබර අතීත සිදුවීම මගේ හැරවුම් ලක්ෂ්‍යයි

by Thanushika
September 25, 2025 9:45 am 0 comment

මෙරට දැනට සක්‍රියව පවතින එකම කාන්තා වාද්‍ය වෘන්ද්‍ය වූ ‘වීනස්’ සංගීත කණ්ඩායමේ තත්සර වලින් හැඩගැන්වන නාද රූ රටා සංගීත ප්‍රසංගය ඔක්තෝබර් මස 04 වැනිදා රාත්‍රී 7.00ට මරදාන ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වේ. ප්‍රවීණ ගායිකා නිරෝෂා විරාජිනී. ප්‍රවීණ ගායක ෂර්ලි වෛජයන්ත මෙදින නාද රූ රටා ගායනයෙන් විචිත්‍රවත් කරන අතර ජනප්‍රිය රංග ශිල්පියකු වූ ධනංජය සිරිවර්ධන මෙම ප්‍රසංගය සඳහා නිවේදනයෙන් දායක වේ.

මෙරට ප්‍රවීණ ලීඩ් ගිටාර් වාදකයකු මෙන්ම තනු නිර්මාණකරුවකු සංගීත අධ්‍යක්ෂවරයකු වන චානක සේනාධීර මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරන අතර Melodioas Chimes Events අධිපති ජෙහාන් වික්‍රමසිංහගේ සංවිධායකත්වයෙන් ඉදිරිපත් කෙරෙන නාද රූ රටා වීනස් වාද්‍ය වෘන්දයේ ගායනයෙන් ද හැඩගැන්වේ.

මේ නිමිත්තෙන් අද අපේ කතාබහ දැනට මෙරට සක්‍රියව පවතින එකම කාන්තා නියෝජනය රැගත් වාද්‍ය වෘන්දය වූ වීනස් නිර්මාතෘ සංගීත අධ්‍යක්ෂ චානක සේනාධීර සමඟිනි.

තනු නිර්මාණකරුවකු සංගීත අධ්‍යක්ෂවරයකු වන ඔබ සංගීත ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ලීඩ් ගිටාර් වාදකයෙක් ලෙස නේද?

ඔව්. මම මෙරට ප්‍රසංග කලාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ ලීඩ් චානක ලෙසින්.

ලීඩ් චානක ලෙසින් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වන්න ඔබ ගමනක් අරඹන්නේ මොන වකවානුවේද?

1994, 1995 වසරවල සිට එවක ලංකාවේ ප්‍රසිද්ධියක් ඉසිලූ නාමල් උඩුගම ඉදල ලංකාවේ ප්‍රසිද්ධියක් ඉසීලූ සෑම ගායක ගායිකාවකගේම සී.ඩී. තැටිවලට ලීඩ් ගිටාර් ගැහුවේ මම. රූකාන්ත ගුණතිලක, නන්දාමාලිනී, අමරදේව මාස්ටර් ඇතුළු සෑම පිරිසකගේම ගීත ඇල්බම් ගායනා වෙනුවෙන් කොතරම් ප්‍රමාණයකට මම ලීඩ් ගිටාර් ගහල තියනවද කියල මම දන්නේ නෑ. අදටත් අලුත් පරම්පරාවේ ගොඩක් අයගේ ජනපි‍්‍රය ගීත වල බොහෝ විට ලීඩ් ගිටාර් එක ගහල තියෙන්නේ මම. නාමල් උඩුගමගේ සමුගෙන යාදෝ…. සුදුමල්… සමදරා… රෝසමල්…. ගීත මම කියන දේට හොඳම උදාහරණ.

ලීඩ් ගිටාර් වාදකයකු ලෙසින් ගමනක් අරඹන ඔබ සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත්වන්නේ කොහොමද?

මම සරත් ද අල්විස් මහත්තයාගේ බෑන්ඩ් එකේ අවුරුදු දහ අටක් විතර වැඩ කරනවා ගිටාර් ශිල්පියෙක් ලෙසින්. මට කුඩා කල ඉඳල ලොකු ආශාවක් තිබුණා. වෙනස්ම කෙනෙක් වෙන්න වෙනස්ම දෙයක් කරන්න පේ‍්‍රමසිරි කේමදාස මාස්ටර් වගේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගේ ක්‍රියාකාරකම් මම රසවින්දා. මගෙත් මුල්ම ප්‍රධාන ඉන්ස්ටෘමන්ට් දෙක වුණේ ට්‍රම්පට් එකයි ට්‍රම්බෝල් එකයි. කොහොමහරි දෛවයේ සරදමක් නිසා මම ගිටාරිස් කෙනෙක් බවට පත්වෙනවා. නමුත් මම වාදන භාණ්ඩ කීපයක් පමණක් වාදනය කරනවා දැක්කත් ඇත්තෙන්ම මට වාදන භාණ්ඩ 15ක් වාදනය කිරීමේ සුවිශේෂී හැකියාවක් තියනවා ඒ බව දන්නෝ දනිති.

පාසල් අවධියේ පටන් ඔබ සංගීතයට පි‍්‍රය කළ චරිතයක්?

මගේ පාසල වුණේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය. මගේ පාසල තමයි මගේ සංගීතයේ තිඹිරිගෙය. පාසලේ සංගීත ආචාර්යතුමා වූ පිලිප් සර් තමයි මගේ ගමනේ නියුවා ගුරුවරයා. අවුරුදු 17 විතර ඉඳල මම ට්‍රම්පට් ගැහුවා. ඒක තමයි මගේ මුල්ම ඉන්ස්ටෘමන්ට් එක. පාසලේ වාද්‍ය වෘන්දයේ කැපී පෙනෙන සාමාජිකයෙක් බවට මම පත්වෙන්නේ මටත් හිතාගන්න බැරි විධියට. ඒකට හේතුවක් වෙන්න ඇති මගේ පියා ගාමිණි සේනාධීර. ඔහුත් හොඳ පියානෝ වාදකයෙක්. ඒ කාලේ තිබුණු ජෙට් ලයිනර් වාදක කණ්ඩායමේ තාත්තා කැපී පෙනෙන චරිතයක්. ඒ තාත්තාගේ තිබුණු සංගීතයට ලැදිකම මටත් ලේ උරුමයෙන් එන්න ඇති.

රටේ නම ගිය ලීඩ් ගිටාර් වාදක ශිල්පියෙකු වීමේ කූටප්ප්‍රාප්තිය කොයි ආකාරයෙන් ද ඔබව සොයාගෙන එන්නේ?

ඒ ගමනේ ආරම්භය බොහොම වේදනාකාරී සිත් රිදිමක් මත ඇතිවන සිද්්ධියක ප්‍රතිඵලයක් දෛවයේ සරදමක් විධියට තමයි මට මේ තලෙන්තුව දෙවියෝ ලබාදෙන්නේ. මට කෙනෙක් චැලෙන්ජ් කළා. ඒ චැලෙන්ජ් එක හින්ද තමයි මම ගිටාරිස් කෙනෙක් වුණේ. මට ගිටාර් වලට ගුරුවරයෙක් නෑ. මම තනියෙන් කට්ට කාලා පොතපත බලලා කියවලා වීඩියෝ බලලා තනියෙන් පුහුණුව ලබල තමයි මේ දේ ඉගෙන ගත්තේ. පාසලේ පිලිප් සර් කියල දුන්න තියරිය මම ළඟ තිබුණා.

ලීඩ් ගිටාර් වාදනයේ කිරුළ පැලඳි ඔබේ ඒ වේදනාකාරී අතීත සිදුවීම මතකයට රැගෙන ආවොත්?

එක්තරා පාටියක් තිබුණ. ඒ පාටියට ඇවිත් හිටියා සංගීත ක්ෂේත්‍රයේ අදත් නම් දැරූ පුද්ගලයෙක්. ඒ දවස්වල මට ගිටාර් ගහන්න බෑ. කෝඩ් තුන හතරයි මම දන්නේ. ඒත් මට ගිටාරයක් වාදනය කිරීමේ සිහිනයක් හිතේ තිබුණා. මම ගිටාරය අතට අරන් වාදනය කළා. දන්න කෝඩ් එකකින් ඒ මොහොතේ මම කලින් කිව්ව පුද්ගලයා එතනදි මට පුදුම විධියට මිනිස්සු ඉස්සරහ මට ලැජ්ජා කළා. එතනදී මම හිතාගත්තා තොට මම කවදාහරි ගිටාර් ගහල පෙන්වනවා. කියල. එදා ඉඳල මම තනියම දවසට පැය දහයක් දොළහක් එක දිගට පොත් බල බල වීඩියෝ බල බල පුහුණු වුණා. ගිටාරිස් කෙනෙක් වෙන්න විශේෂයක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒකේ විශේෂ පුද්ගලයෙක් වෙන්න බෑ. එදා මට ඇති කළ ඒ වේදනාබර ලැජ්ජා කිරිම හිත්රිදිම මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.

ලීඩ් චානක සංගීත අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙන්නෙත් මේ වගේ වේදනාබර සිද්ධියක් සමඟින්ද?

කොළඹ විශාඛා විද්‍යාලයේ මියැසි විශාඛා කොන්සට් එකට මම ගිටාර් ට්‍රේනින් එක දෙන්න යනවා සරත් ද අල්විස් මහත්තයා තමයි මාව ඒ සඳහා රැගෙන යන්නේ මම තමයි මියැසි විශාඛා රස ගැන් වූ දරුවන්ට ගිටාර් ට්‍රේනින් එක ලබාදුන්නේ ඔය කාලයේ 2018 වසරේ මට අවස්ථාවක් උදාවුණා සංගීත අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ඕස්ටේ‍්‍රලියාවට යන්න පි‍්‍රයා සූරියසේන කොන්සට් හතරක් වෙනුවෙන්. ඒ තමයි මම සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ගමනක් අරඹන මුල්ම පියවර.

ඕස්ට්‍රේලියා සංචාරය නිමාකර මෙරටට පැමිණෙන ඔබ තවත් පියවරක් ඉදිරියට තබමින් ඔකෙස්ට්‍රා එකක් තනන්නත් මුල පුරනවා නොවේද?

මුලින්ම මම සී.එස්.ෆීමේල් ඔකෙස්ට්‍රා කියල කණ්ඩායමක් පටන් ගත්තා. සී.එස්. කිව්වේ චානක සේනාධීර කියන මගේ නමේ අකුරු දෙක අරන්. ඒ ආරම්භක ඔකෙස්ට්‍රා එකෙන් රයිනි ශනුක කොන්සට් ටෝන් පොයම් ප්‍රෝග්‍රෑම් වගේ මතක හිටින වැඩ කීපයක්ම කළා. ඔය අතරේ මුලින්ම හිටිය ළමයි කීප දෙනෙක්ම කණ්ඩායමෙන් මාරු වුණා.

සී.එස්. ෆී මේල් ඔකෙස්ට්‍රා නම ද පසුව වීනස් ෆීමේල් ඔකෙස්ට්‍රා වෙන්නේ?

ඔව්. මෑතකදී අපි නම වෙනස් කළා වීනස් නමින්. වීනස් කියන නම හරිම ලකී නමක් අපි හොයල බැලුවහම ඒ තුළ තිබුණා. මීට අවුරුදු දෙකකට කලින් අපේ කණ්ඩායම වීනස් නමින් ආරම්භ කළාට පස්සේ අපි නාද රූ රටා නමින් පවත්වන තෙවන ෂෝ එක තමයි එළඹෙන හතරවෙනිදා නිරෝෂා විරාජිනී ෂර්ලී වෛජයන්ත සමඟ පවත්වන්නේ මීට කලින් අපි නාද රූ රටා පලවෙනි ෂෝ එක කළා. වීනස් සමඟින් දයාරත්න රණතුංග, විජය බණ්ඩාර වැලිතුඩුව, සාධනා රණතුංග සමඟ ඊට පස්සේ දෙවන ෂෝ එක කළා සේනානායක වේරලියැද්ද, ෂර්ලි වෛජයන්ත අංජලී හේරත් සමඟ.

මෙවර පැවැත්වෙන නාද රූ රටා වෙනස්ම මුහුණුවරක ප්‍රාසංගික අත්දැකීමක්ද?

ඔව්. ඔක්තෝම්බර් 04 වැනිදා පවත්වන ප්‍රාසගයත් සමඟ ඒ ක්‍රම්සෙට් එකේ ෂෝ දහයක් රටපුරා කරන්න සැලසුම් කරලා තියෙනවා. නිරෝෂා විරාජිනී ෂර්ලි වෛජයන්ත සමඟ ඒ ෂෝ දහයේ ක්‍රම්සෙට් එකේ පළවෙනි ෂෝ එක ඔක්ොතීම්බර් 04 වැනිදා අපි කරනවා. ඉදිරියේදී කසුන් කල්හාර අපිත් සමඟ එකතුවෙන්න නියමිතයි. නාද රූ රටා අපි නව උත්පාදකයක් හැටියට තමයි කරන්නේ. වීනස් සමඟ නිරෝෂා ෂර්ලි එකතුව යන ෂෝ දහයක මංගල පියවර.

කොලොම් තොටින් ගමනක් යන්න ආරම්භ කරන නාද රූ රටා රටපුරා වගේම විදෙස්ගතවත් සංවිධානය කරන්න ද ඔබලාගේ උත්සාහය?

ගම්පහ, කුලියාපිටිය, කුරුණෑගල ආදී ප්‍රදේශවල දැනටමත් තියන්න සැලසුම් සකස් කරල හමාරයි. විශේෂයෙන් වීනස් බෑන්ඩ් එකේ තියන කොලිටිය නිසාම ප්‍රවීණ ගායක ගායිකාවන් අපිත් සමඟ එකතු වෙලා ඉන්නවා ගීත ගායනා කරන්න. වීනස් කියන්නේ ඇහින්දාස් බෑන්ඩ් එකක් නොවෙයි. මෙහි ඉන්න හැම ශිල්පිනියක්ම හැම පැත්තෙන්ම ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක්. ඔවුන්ට ලස්සන කටහඬක් තියෙනවා. වයලීන් තබ්ලා ෆ්ලූට් සක්‍රියව යන ඔකෙස්ට්‍රා එකක් තමයි වීනස් කොටින්ම කිව්වොත් පෙර අපරදිග සුසංයෝගයක් තමයි වීනස් ලබන වසරේ යුරෝපා සංචාරයකටත් දැනමටත් අපිට ආරාධනයක් ලැබිල තියනවා.

ඔබ විසින් පවසන දැනට ලංකාවේ සක්‍රියව පවතින එකම කාන්තා වාද්‍ය වෘන්දයේ සාමාජිකාවන් ගැනත් මතක් කලොත්?

රිදම් ගිටාර් වාදනයෙන් ලිශානි අක්ෂලා, කී බෝර්ඩිස්ට් – නිරාශා කටුගම්පළ, ලීඩ් ගිටාර් – චත්‍රී සහශ්‍රා, තබ්ලා – හසිකා දමයන්ති, බටනළා – චතු මහිමි, ඩ්‍රම්ස් – අමායා ජයරත්න, බේස් ගිටාර් – අනුත්තරා පාටලී, වයලීන් වාදනයෙන් චතුරිකා පෙරේරා මගේ සංගීත අධ්‍යක්ෂණයත් සමඟ වීනස් වර්ණවත් කරනවා.

මාධ්‍ය තුළ ඔබ වඩාත් විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය තුළ සමාජමාධ්‍ය තුළ කතාබහක් ඇති කළේ ටෝන්පොයම් වැඩසටහනත් සමඟ?

මම අවුරුදු දෙකක් විතර ටෝන් පොයම් වැඩසටහනීන් සජීවීව ප්ලේ කළා දිනේෂ් සුබසිංහ සමඟ මම ඒ වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කළා. වෛරල් වන පාට්ස් ගහල මම ගොඩක් ජනපි‍්‍රය වුණේ ටෝන්පොයම් වැඩසටහන හරහා.

දෛවයේ සරදමින් දක්ෂ ගිටාර් වාදකයකු වූ ඔබව මුලින් සරදමට ලක්කළ පුද්ගලයාට අභියෝගයක් එල්ල කරන්න තරම් දෛවය ඔබව පසුකලෙක රැගෙන ගියාද?

එහෙම දෙයකුත් වුණා. මාව සරදමට ලක්කර වසර ගණනක් ගියාට පස්සේ දවසක් මම මෝදර ප්‍රදීපා හෝල් එකේ වෙඩින් එකක ගිටාර් එක පිටුපසට පවා තියමින් වැඩ දමමින් ප්ලේ කළා. ඒ වෙනකොට මගේ ස්වරූපයත් වෙනස්. එතනට ආපු කෙනෙක් මට කතා කළා. ඔහු ඇහුවා ඔය වගේ ටෙක්නික් දාල කොහොමද ගහන්නේ ඔය ස්පීඩ් එක කොහොමද හදා ගත්තේ කියලා. මම බැලුවා ඒ පුද්ගලයා දිහා හොඳට මේ ඇවිත් මගෙන් මෙහෙම අහන්නේ අර එදා මට සරදම් කරපු කෙනා කියල මම හඳුනාගත්තා. මම කිව්වා ඔයා නිසා කියල. ඒ කියන්නේ කියල ඔහු නැවත මගෙන් ප්‍රශ්න කළා. මම මුල ඉදල අගට ඔහුට අතීතය මතක් කළා. මගේ කතාව ඉවර වෙනකොට ඒ පුද්ගලයා අඩනවා. ඇස්වලින් කඳුළු බේරෙනවා. ඒ පාර මම කිව්වා අඬන්න එපා අයියේ ඔයා නැත්නම් අද මම ගිටාරිස් කෙනෙක් නෙමේ කියල. කොහොම හරි පසුකලෙක ඒ පුද්ගලයා එයාගේ ගිටාර් රෙකෝඩින් පවා මට දීල කරගන්න තත්ත්වයට පත්වුණා. දෛවයේ සරදමින් උත්සාහවන්ත ධෛර්යවන්ත ගමනක් හරහා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මට තිබුණ ගට වෙන කෙනෙක්ට තිබුණේ නැත්නම් ඔහුගේ මියුසික් ලයිෆ් එක එතනින්ම ඉවරයි.

ප්‍රසංග කලාවේ අපුර්වත්වයක් රැගෙන සංගීත රසකාමී ප්‍රේක්ෂක හමුවට ඔබ රැගෙන එන නාද රූ රටා පිළිබඳ ඔබට දෙන්න තියෙන්නේ මොන වගේ පණිවිඩයක් ද?

පිරිම් වගේ ජවයකින් තම හැකියාවන් පෙන්වන කාන්තාවන්ගේ එකතුවකින් විචිත්‍රවත්වන නාද රූ රටා පැය තුනක ෂෝ එකක්. මේ ෂෝ එක පුරාවට කවදාවත් අමතක නොවන අමුතුම සංගීත ආශ්වාදයක් විදින්න පුළුවන්. මම ලංකාව පුරා විසිරී සිටින සෑම දෙනාටම බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. නාද රූ රටා සමඟ ඔක්තෝබර් 04 වැනිදා සවස් යාමයේ දැහැන්ගත වෙන්න එන්න කියලා.

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT