රජ සමය, බුදු සමය හා ඊටත් පෙර සමය ඇසුරු කර ගත් සිනමාපට මාදිලියක් වසර ගණනාවක සිට සිරිලක සිනමාව විෂයෙහි බලපෑම් සහගත මැදිහත්වීමක් පෙන්නුම් කරන්නේ රසික ප්‍රතිචාර එකඟතා සහිතව ලැබීම පළමු හේතුවක් කර ගනිමිනි. එනම් රසික එකඟතා අපේක්ෂිත අයුරින් නොලැබෙන්නේනම් කවර සිනමාපට මාදිලියකට හෝ නොබිඳුණු පැවැත්මක් සරි කර ගත නොහැකි බවය. උක්ත සිනමාපට මාදිලියට අදාළව රසික ප්‍රතිචාර එකඟතා සහිතව නොලැබුණු අවස්ථා සමහරක්ද හඳුනා ගන්නට පුළුවන. එහෙත් මෙය එහි පැවැත්ම දුබල කරන තරමට සක්‍රිය නොවූයේ යැයි සිතේ.
මෙසේ රජ සමය, බුදුසමය හා ඊටත් පෙර සමය ඇසුරු කරගත් සිනමාපට මාදිලිය හා පොදුවේ එකඟ වන්නේ සිනමා රසික බහුතරයක්ය යන්නත් සිනමාව යනු රසික දිවි පොහොසත් කරලන මඟක් සේ දකින සුළුතරයක් වන රසිකයන් ඒ හා නොබැඳෙන වගත් නොපමාව දත් හැක්කකි. සම්මත විචාර ප්‍රතිචාරද බොහෝ කොටම පෙනී සිටින්නේ මෙම විද්වත් රසික සුළුතරය සමඟය.
සරත් වීරසේකරගේ අභිනව සිනමා නිර්මාණය වන ‘ශ්‍රී සිද්ධා’ මෙසමයේ සිනමාශාලා ගත වන්නේ උක්ත තතු පිළිබඳ අවධානය තීව්‍ර කරමිනි. රජ සමය, බුදු සමය හා ඊටත් පෙර සමය විෂය කර ගැනීම සපුරාම හෝ මඳ පමණින් නොතැකීම අයුක්ති සහගතය. එබඳු තෝරා ගැනීමකින් සිනමාවේ ප්‍රකාශන සමත්කම කුළුගන්වන, නිපැයුම් ප්‍රමිතිය ඔප් නංවන, රසික දිවි පොහොසත් කරවන, එතෙර ඇස පවා යොමු කරවන සිනමාපට නිර්මාණය කළ නොහැකි නොවේ. සිරිලක සිනමාවද මෙයට අදාළ නිදසුන් සැපයූ වාර ගණනාවකි. කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක සිනමාකරණයෙහි නන් අයුරින් නියැළුණු සිනමාකරුවන් පවා මේ තෝරා ගැනීම කෙරෙහි ආසක්ත වූයේ ඉන් නවමු කියැවීමක් සපයා ගත හැකිය යන විශ්වාසයෙනි. මේ අනුව අගතිගාමීව රජසමය, බුදු සමය හා ඊටත් පෙර සමය ඇසුරු කරගත් සිනමාපට මාදිලිය සමස්තයක් ලෙස ගෙන සිදු කරන අරුත් ගැන්වීම් අරබයා විචක්ෂණශීලී විය යුතුමය.
මෙබඳු සිනමාපටයක් නිර්මාණයේදී සිනමාකරුවකු, නිපැයුම් පාර්ශ්වය හා ශිල්පීන් මුහුණ දෙන බරපතළම ගැටලුවක් වනුයේ අදාළ සමය නිසිව හා තාර්කිකව සනිටුහන් කිරීමයි. මෙය චරිත ලකුණු, ඇඟළුම්,රජ මාළිගා හා නිවාස සේම මානව සබඳතා හා උද්වේගකර ගැටුම් ආදිය වෙතින් උචිත විශ්වාසනීයත්වයකින් සහතික කර ගත යුතුය. පළපුරුදු සිනමාකරුවන් පවා මෙතැනදී අර්බුද උත්සන්න කර ගත් අයුරු දක්නට ලැබේ. සැබැවින්ම මෙවැනි මොහොතක සිනමාකරුවකුගේ පිහිටට පැමිණෙන්නේ උපකල්පන ආදියයි. ඒ මත රැඳෙන ප්‍රකාශන විලාස ආදියයි. මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමරත්න දිසානායක වැනි පළපුරුදු සිනමාකරුවන් මේ පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ බව සිහිකටයුතුය. ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’, ‘කදිර දිව්‍යරාජ’ හා ‘සිංහබාහු’ නිසැක නිදසුන්ය.
‘ශ්‍රී සිද්ධා’ නිර්මාණයේදී සිනමාකරු සරත් විරසේකරද මේ පිළිවෙත මත පිහිටීම වඩා සුදුසුය යන අදහස දැරූ බව පෙනේ. ඔහු තෝරා ගන්නේ පළමුවැනි විජයබා රජුගේ ගැටවර විය හා තරුණ වියයි. අනතුරුව මැදි වියයි. චෝල බලයට එරෙහිව කළ සටනයි. මෙයට සමගාමීව තවත් චරිතද, සිදුවීම්ද නිරූපණයට ඔහු උත්සුක වන්නේ සිනමාපටයේ වෘත්තාන්තමය බව රැක ගනිමිනි.
උක්ත තෝරා ගැනීම පරයා ඉස්මතු වන සටන් ජවනිකා හේතුවෙන් නව රසික පිරිසක් ආසක්ත කර ගැනීමේ යම් අරමුණක්ද විද්‍යමාන වෙයි. මේ මෙබඳු සිනමාපට නොතකන හා විදෙස් සිනමාපට විඳීන තරුණ රසික පාර්ශ්වයයි. ඔවුන’තර ත්‍රාසය, භීතිය සිනමාවෙන් දකින්නට රුචි අයවලුන් සිටින වග නොරහසකි. කෙසේ වුවත් මෙතැනදී ඉන්දියානු හෝ බටහිර පළමු පෙළේ ක්‍රියාදාම සිනමාපට සතු මට්ටම කරා යාමට උනන්දු වීම නැණවත්ය. සිනමාකරු සරත් මේ සඳහා වෙසෙස් උනන්දුවක් දක්වන්නේ පුරුෂ චරිත පමණක් නොව ස්ත්‍රී චරිතද සමඟය. වියපත් චරිත අතළොස්සක් හැර අන් සියලු චරිත කවර මොහොතකදී වුව සටනකට පැටලෙති. දුදන පිල වුව වරෙක සටන් වදින්නේ විරුවන් හා කරට කරය. අංගම් පොර සටන් විලාසයද, කදඩු හා දුනු ශිල්පයද හරි හරියට භාවිත කෙරේ.
සටන් ජවනිකා බහුල වීමෙන් උපදින වෙහෙස පලවා හරිනු පිණිස පෙම් පුවත් ද්විත්වයක්ද, හාස්‍යමය අවස්ථා කිහිපයක්ද රැගෙන ඒමට සිනමාකරු දක්වන මනාපය සීමා ඉක්මවා ඇතැයි ඇතැම් රසිකයකු සිතන්නට පුළුවන. මෙහිලා විශ්වාසනීයත්වය කඩවන අවස්ථා දක්නට නොලබෙනවාම නොවේ. විටෙක සිතෙන්නේ සිනමාපටය අන් මඟක ගමන් කරන්නේය යන්නයි.
කල්පිත එක් කිරීම් ආදිය රජු හා ගැමි යුවතියක අතර ගොඩනැංවෙන පෙම් පුවත ඔස්සේද දත හැකිය. යුවතියගේ චරිතය නිරූපණය කරන උදාරි වර්ණකුලසූරියව වෙස් ගන්වා ඇත්තේ මෙදවස සිහිගන්වමිනි. මොවුනගේ ප්‍රේම චාරිකා වසර දහසකට පෙර සිරිලක සමය කරා කිසිවිටෙකත් නොයයි. කෙසේ නමුදු සිනමාපටය හා රසිකයා අතර සබඳතා තහවුරු කරලනු පිණිස මෙබඳු නිරූපණද පිටිවහලක් වන වග පැහැදිලිය.
උද්වේගකර සටන් ජවනිකා නිර්මාණයේදී දිනෙත් ද සිල්වා හා රිටිගල සුමේධ දක්වන දායකත්වය නොසලකා හැරිය යුතු නොවේ. වෙසෙසින්ම සටන් ජවනිකා සංස්කරණයේදී පිහිටන පිළිවෙත සිනමාපටයට යම් ජවසම්පන්න බවක් එක්කරයි.
සිනමාපටය නිමා කෙරෙන්නේ බුදල්නා නැමැති සෙන්පතියාගේ සහයෙන් රණ සූරයකු වන විජයබා රජු චෝල බලය පරයා සිරිලක එක්සේසත් කිරීම සමඟය. මේ වන විට විජයබා රජ විරුවකු බවට පත්කරලීමේ සිනමාකරුවාගේ පළමු අරමුණ සාක්ෂාත් වේ. විජයබා රජුගේ චරිතයට පණ දෙන දිනෙත් ද සිල්වා ඊට ලබා දෙන අනුප්‍රාණය අපමණය.
සිනමාකරු සරත් සිනමාපටය අරඹන අවස්ථාව විෂයෙහි ජනිත කරන අපූර්වත්වයකින් යුතු කුතුහලය සටන් ජවනිකා නිසා වෙනතකට යාම පිළිබඳ කල්පනාකාරී වීම රසිකයාගේ වගකීමකි. ගෙවුණු සියවසේ සිව්වැනි දශකයේ දිනෙක දකුණු ලක මාතර පෙදෙසේ විසූ තරුණ ගොවියකු හට ඉපැරණි තඹ තහඩු ත්‍රයක් හමුවේ. අනතුරුව මේවා ප්‍රදේශයේ පුරා විද්‍යා බලධාරියාගේ පිරික්සුමට ලක් කෙරේ. මේ වසර දහසකට පමණ පෙර පොළොන්නරු යුගය ඇරැඹු පළමුවැනි විජයබා රජු විසින් තමාට තුරුණු වියේදී රැකවරණය හා අත්වැල සැපයූ බුදල්නා නැමැති සෙන්පතියා වෙත සුවිසෙස් වරප්‍රසාද හා වටිනාකම් පිරිනමමින් කළ නියමය දැක්වෙන තඹ සන්නසයි. සටන් මැදින් යමින් සිනමාකරු වැර දරන්නේ මැදිවියේ විජයබා රජු විසින් වියපත් බුදල්නා වෙත මෙය පිරිනමන මොහොත උත්කර්ෂයට නංවන්නටයි. මෙම අත්දැකීම රසිකයා විඳීන්නේ සටන් හා ඝාතන දැක අතිශය වෙහෙස වූ පසුබිමකය. දිනෙත් මේ වෙහෙස යම්තාක් දුරකට හෝ පලවා හරින්නට තැත් කරන්නේ තමා සටනට පමණක්ම සමත් අයකු නොවන වග ඉඟි කරමිනි.
උපකල්පන මත රැඳී සිටින්නට සිදුවීමත්, විචිත්‍ර ලකුණු එක්කර ගැනීමත් නිසා වසර දහසකට පෙර සිරිලක නිසිව නිරූපණය කිරීමේ අභියෝගය මඟ හැර යන්නට සිනමාකරු සමත් වෙයි. මෙය සිනමාකරුගේ නිර්මාණ අවගමනයක් සේ පැවසීම අනුචිතය. පුරා විද්‍යා පර්යේෂණ, නිරීක්ෂණ හා නිගමන භාවිතයෙන් වසර දහසකට පෙර සිරිලක නිරූපණයට පියවර ගත්තේ නම් මෙබඳු උද්වේගකර සිනමාපටයක් නිමවීම අසීරු වන්නටද ඉඩ තිබිණි. එවැනි විටෙක උද්ගත විය හැකි වාර්තාමය ලකුණු සමඟ නව අරගලයක් උපදින්නටද ඉඩ තිබිණි.
මේ අනුව ‘ශ්‍රී සිද්ධා’ හඳුනා ගත යුත්තේ රජ සමය, බුදු සමය හා ඊටත් පෙර සමය ඇසුරු කරගත් සිනමාපට මාදිලියේ වඩා පසුගාමී අවස්ථා සමඟ සමීප සබඳතා පවත්වන සිනමාපටයක් වශයෙන් නොවේ. ඒ මත රැඳී සිටිමින් ආකර්ෂණීය සිනමාපටයක් වෙහෙස වී නිමවීමට දැරූ වෑයමක් වශයෙනි. විජයබා රජ සමය හෝ තඹ සන්නස පිළිබඳ සිනමානුරූපී කියැවීමකට නොපැමිණි, ඒ අරබයා වූ වාචික සඳහන් කිරීමකින් පමණක් සමන්විත, හෝරා දෙකහමාරකට ආසන්න ධාවන කාලයකින් යුතු වෘත්තාන්ත සිනමාපටයක් වශයෙනි.
තුසිත ජයසුන්දර