නිවස සංවාද වෘත්තියෙන් දැනෙන වෙහෙස කලාවෙන් දුරුවෙනවා

වෘත්තියෙන් දැනෙන වෙහෙස කලාවෙන් දුරුවෙනවා

ගී පද රචිකා-රංගන ශිල්පිනි-සිවිල් ඉංංජිනේරු රෙයාෂිනි ශාක්‍යා මුණසිංහ

by Thanushika
June 27, 2024 11:39 am 0 comment

නිර්මාණ ක්ෂේත්‍රයේ අංශ ගණනාවකින් සිය නිර්මාණ හැකියා එළිදැක්වූ නිර්මාණවේදිනියක ලෙස රෙයාෂිනී ශාක්‍යා මුණසිංහ හඳුනාගත හැකිය. මේ වනවිට ගී පද රචිකාවක ලෙස වැඩි අවධානයක් ලබාගෙන ඇති ඇය වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරයි. ගී පද රචිකාවක් මෙන්ම ගායිකවක් හා රංගන ශිල්පිනියක ලෙසින් ද නිර්මාණ කටයුතු ගණනාවකට සම්බන්ධ වී ඇති ඈ මේ දිනවල වැඩිපුරම කතා බහට ලක් වන්නේ ඈ අතින් රචනා වූ අජිත් මුතුකුමාරණ ගායනා කරන ඇස යොමන තැනක ගීතය ඔස්සේ ය. මේ ඒ පිළිබඳ කළ කතා බහකි.

ඔබේ නිර්මාණ දිවිය ඔප වැටෙන්නේ කාර්‍යබහුල පරිසරයන් මැද. සියුමැලි ද නොවූ දැවැන්ත ගොඩනැගිලි ආදි අතරේ දිනය පුරා ගැටෙනා සිතක මේ තරම් සියුම් නිර්මාණ පිබිදුණේ කොහොමද ?

මගේ වෘත්තියයි. කලාවයි බැලුවොත් එකිනෙකට සම්බන්ධතාවක් නොපෙන්වන දෙකක් දෙකක් තමයි හැබැයි ඒ අවස්ථා දෙක ආකර්ෂණය කරගන්න උත්සාහ කිරීම මගේ පැතුම කියලා හිතෙනවා. ඉංජිනේරුවරියක් විදිහට ගොඩනැගිලි එක්ක වැඩ කිරීම මනසට පහසු නැහැ. එතකොට සංවේදී නැති ඒ කටයුතු එක්ක ඇතිවෙන මහන්සිය මම අඩු කරගත්තේ මේ කලාව ඇසුරෙන්. පාසල් යන කාලයේදී මම ගොඩක්ම දක්ෂ ගණිතයට සහ විද්‍යාවට. ඒ නිසා තාත්තාට ඕනෑ වුණේ මම ඊට සම්බන්ධ අංශයක් ඔස්සේ ඉදිරි අධ්‍යාපනය ලබනවා දකින්න.

ඒ අතර පාසැල් ගුරුවරු මා තුළ වූ කලා නිපුණතාවන් හඳුනාගෙන තිබුණා. ගුරුවරු මාව කලාව සඳහා දිරිමත් කරද්දී මගේ තාත්තා මාව දිරිමත් කළේ තවත් අංශයකින්. එතකොට මම කල්පනා කළා, මේ දෙකම සමාන්තරව පවත්වාගන්න. තාත්තාගේ තීරණයට ගරු කරන්නත්, නමුත් කලාවෙන් දුරස්නොවන්නත්. ඒ තීරණය අද මල්ඵල ගැන්වී තිබීම ඇත්තෙන්ම මට ලොකු සතුටක්. මේ ගමන්

කාලයත් එක්ක ගීත රචිකාවක් විදියට මතුවන අතරේ තවත් අංශයකින් ගායනය හා තබ්ලා වාදනය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ ත් ඒ වගේම කීර්ති පැස්කුවල් මහතා යටතේ තවදුරටත් ගායනය හදාරන්නටත් යොමු වුණා. ඇත්තටම ඒ අපූරු සෞන්දර්ය ගමනේ නිරත වෙන්න කීර්ති පැස්කුවල් මහතාගෙන් ලැබුණු සහාය ඉහළයි.

ඇස යොමන තැනක පදමාලාව ඔබේ නිර්මාණ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වැනියි. එය ඔබේ නිර්මාණකරණයේ හරඹයක් ද එහෙම නැතිනම් සංවේදී මිනිස් හදවතක නැගුණ ආත්ම ප්‍රකාශනයක් ලෙසින් ද තේරුම් ගන්නේ ?

මේ දෙකේම සංකලනයක් විදියට. ඇත්තටම මේකෙ වචනවලටත් ලොකු අවධානයක් යොමු වුණා.

ඒත් එක්කම සංගීතය. මේ දෙකම හරි ලස්සනට ගැළපුණු නිසා තමයි මෙච්චර ලස්සන ගීතයක් බිහිවුණේ කියන එක යි මගෙ හැඟීම. මෙහි සංගීතය නිර්මාණය කළේ ජෝර්ජ් සේනානායක සංගීතවේදියාටත් ස්තුතිය පුද කළ යුතුයි.

ඒ වගේම මේ ගීතය පොදු ජනයා අතරට ගිහින් තියෙනවා. විශේෂයෙන් මේ ගීතය මුලින්ම කරළියට එන අවධියේ ගොඩක් ම ජනප්‍රිය වෙන්නෙ බස් එකේ. ඒ අවධියේ යූ ටියුබ් එක හෝ මේ නූතන තාක්ෂණය ගොඩක් දියුණු අවධියකුත් නෙවෙයි නෙ. එතකොට ඇත්තටම මගෙ මේ ගීතය ප්‍රචලිත වන්න ලොකුම පසුබිමක් වුණෙ බස් එක. ඒ සියලු සාධක මේ ගීතය ගොඩක් ජනප්‍රිය වෙන්න බලපෑ විශේෂ සාධක විදියට මම දකින්නේ. ඉතින් මේ සියලු කාරණා තේරුම් ගත් විට මේ ගීතය ඇත්තටම සුවිශේෂ යි. මගෙ පද මාලාවත්, එය පසුබිම්ව සැකසුණ අනිත් බොහෝ සාධකත් එක්ක.

ඔබේ සම්පූර්ණ ගීත එකතුවෙන් යුතු පොත ගැනත් කතා කරමු.

ඔව්. ඒ පොත මගේ ගී පද රචනා තුන්සීයයක විතර එකතුවක්. නමුත් මේ හැම ගීතයකටම පදනම් වුණ කාරණා මගේ අත්දැකීම් ම නෙවෙයි. නමුත් මම උපකල්පනය කරනවා; බොහෝ දේවල් ගැන නිතරම. මම ලියන්නෙ ඒවා ඇත්තටම මගෙ ගීත එකතුව සංරක්ෂණය කරගන්න මේ පොත පිටිවහලක් වේවි.

ඔබ නිර්මාණකරණයේ යෙදෙන්න බලපාන කාරණාත් විමසමු.

එකක් මගේ සතුට වෙනුවෙන් ඒක විශේෂයි මොකද මගේ රැකියාවේ කටයුතුත් එක්ක කලා කටයුතු සහ නිර්මාණ කියලා කියන්නෙ එකිනෙකට පරස්පර දෙකක්. මගේ රැකියාව ගත්තොත් හරිම කාර්යබහුල ගොඩක් වෙහෙස දැනෙන රැකියාවක්. එහෙම වෙද්දි අපට ලොකු මානසික නිදහසක් අවශ්‍ය වෙනවා. ඒ නිදහස මම ලබාගන්නේ මගේ නිර්මාණ හා අනිකුත් කලා කටයුතුවල නියැළීම ඔස්සේ. ඊළඟ කාරණය මම ලියන දෙයකින් සමාජයට හෝ යම් පුද්ගලයෙකුට හෝ යම් පණිවිඩයක් දෙන්න පුළුවන් කියන දේ සහ මේ ඔස්සේ තවත් යම් අයෙකුට අත්දැකීමක් ගන්න පුළුවන් වේවි කියන දේ මම විශ්වාස කරනවා ඒක හරියට බෙදා ගැනීමක් වගේ දෙයක්. මගේ නිර්මාණකරණයේ අරමුණු තුළ මුලිකව තියෙන්නෙ ඒ කාරණයයි.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

තව තවත් හොඳ නිර්මාණ බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. ලිවීමට අමතරව රංගනයට නැඹුරු වීම තවත් අභිලාසයක්. ලිවීම රංගනය හෝ ඕනෑම අයුරක කලාව පැත්තෙන් ලැබෙන හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් එහි උපරිමය කරන්න මම උත්සුක වෙනවා. මේ ගමනෙදි මට ගොඩක් සහාය දෙන සැමියා සහ පුතාවත් මතක් කරන්න කැමැතියි.

ඔබේ රංගන දායකත්වයට සම්බන්ධ නිර්මාණ ගැනත් කතා කරමු.

පාන් බට්ටා, ඉතින් ඊට පස්සේ, යශෝදරා කියන නිර්මාණවලට මේවන විට මම රංගනයෙන් දායක වී තිබෙනවා. ටෙලි නිර්මාණවලට අමතරව වෙළඳ දැන්වීම් කීපයකටත් මගේ රංගන දායකත්වය ලබා දී තියෙනවා.

 

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT