නිවස විශේෂාංග වීණා අදත් මා දුටුවාම ‘හැංගි හොරා’ කියනවා

වීණා අදත් මා දුටුවාම ‘හැංගි හොරා’ කියනවා

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී රංජන් ජයතිලක

by Mahesh
August 15, 2024 12:30 am 0 comment

– අද රටේ තරුණ පරපුර සහ සංගීතය දෙස බලනවිට මගේ දරුවන් දෙදෙනා සංගීත කලාවට යොමු නොකිරීමට මම ගත් තීරණය ගැන අදටත් මම සතුටු වෙනවා
– ජෝතිපාල මහත්තයා මගෙ ගීත ගොඩාක් අගය කළා
– සම්මාන නම් ගෙයි තියාගන්නත් ඉඩක් නැති තරමට ලැබුණා
– දැන් කලාව වෙනස් වෙලා

” අද රටේ තරුණ පරපුර සහ සංගීතය දෙස බලනවිට මගේ දරුවන් දෙදෙනා සංගීත කලාවට යොමු නොකිරීමට මම ගත් තීරණය ගැන අදටත් මම සතුටු වෙනවා…”

මෙවර අපේ කතාබහට එක්වන සොඳුරු කතා නායකයා සිය ජීවිතයේ සැඳෑ සමයේය…එහෙත් හෙතෙම ගතින් හා සිතින් තවමත් තරුණයකු යැයි සිතෙන තරමට අප කළ ආදරණිය සංලාපයේදී මට සියවර හැඟෙයි…එය ඇත්තක්ම යැයි වරක් හෝ ඔබටද සිතෙනු නොඅනුමානය ..

එදා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙසින් තම ගැයුම් සිරිතෙන් රසික හද සිරිමත් කළ ඔහු ගැයූ ගීත අදටත් ගීත ලෝලීනට අමතකව නැති තරමි…

“පොල් කට්ටට වතුර අරන් මුහුණ සෝදලා විගහට…
හීල් බත් මිටෙන් සෑහී කහට උගුර බී හනිකට…
පස්ස ඉරුණු කලිසම හැඳ අකුරු කරන්නට ගිය හැටි..
මල් නොපිපුණු බව සැබෑය මගේ පුංචි පා සිඹින්න..”

මෙවන් රසාලිප්ත ගීත සේම යුග ගීතයෙන්ද රටක් මෝහනීය කළ අපේ ආදරණිය කතා නායකයාගේ උප්පැන්නයේ සඳහන් නාමය වන්නේ මැණික්පුරගේ දොන් රංජන් ජයතිලකය…ගම්පොළ…. කීරපනේ ගම් පියසේ යමක් කමක් හිමි මෝටර් රථ පහකට හිමිකම් කියනා රියදුරු මුදලාලි කෙනකු වූ එම්.ඩී. සැම්සෝනි මහතා ඔහුගේ ආදරණිය පියාණන් ය..ආර්.එම් ලීලාවතී මැණිකේ ඔහුගේ මවය.. තම සන්තකයේ ඇති වාහන පහ තාත්තා කුලියට දෙන්නේය..

ඒ මවුපිය යුවළට දූ දරුවන් සය දෙනකු වූ අතර අපේ කතා නායකයාණෝ පවුලේ දෙවැන්නාය.. ඔහුට මල්ලි කෙනකු සහ නංගිලා තිදෙනෙකි.

1944ක්වූ අගොස්තු මස 21 වනදා මෙලොව එළිය දුටු අපේ රංජන් ඉගෙනුමට පාසල් කිහිපයකටම ගියේය..ගම්පොල කොන්වන්ට් එකට මුලින්ම ගිය හේ ශාන්ත ජෝශප් මිශ්‍ර පාසලටද..පසුව ශාන්ත ජෝශප් විදුහලටද ගියේය..

අපේ ආදරණිය කතා නායක තෙමේ මා සමීපයේ තවමත් සිනාපිරි මුවිනි..

ඔහු ප්‍රථමයෙන් සරසවිය පුවත්පතය තම කෘතවේදි බව පළකරමින් සිය කටහඬ අවදි කරන්නේය…

” මං පාසල් යන කාලෙ හරිම දඟයි.. ඒ වගේම ඉගෙනුමටත් දක්ෂයි… හැම වතාවෙදිම පන්තියෙ මමයි පළමුවැනියා…ඉතිං.. මට අවුරුදු අටක් වයස ඇති. දවසක් පන්තියෙ වේවැල නැතිවෙලා මොනිටර් ලීලා වේවැල හැංගුවෙ මමයි කියල ඉලුක්කුඹුර අපේ ගුරුතුමියට කීවා..ගුරුතුමිය ප්‍රශ්න කළා. මං නොදන්න බව කීවා. ඒකමයි ඇත්ත . මොනිටර් ලවා මිරිස් කුඩු ගෙන්වාගත් ගුරුතුමිය මගෙ කටපුරා මිරිස් ගෑවනෙ…දැවි දැවී මං හිටගෙනම උන්නා..අන්තිමේදී කොහේදෝ තැනෙක දාල තිබ්බ වේවැල හම්බ වුණා. මං නිකරුනේ දඬුවම් වින්දා…”

ඉගෙනුමට සමතකු වූ නිසාම ඔහුට පන්තියක් හැර පන්තියකට සමත් බව (ඩබල් ප්‍රමෝෂන්) ලැබුණිද ඔහුගේ මවුපියන් ඊට විරුද්ධ වූයෙන් එය ඔහුට නොලැබී ගියේය..

“මගෙ අම්මා තාත්තා ගැන කියන්නම වටිනවා.ඒ දෙන්නා දනට පිනට තිබුණු කැමැත්ත නම් කියා නිම කරන්න බැහැ.. අනුනට දීමෙන් එයාලා පුදුම සතුටක් ලැබුවා.. එයාලගෙ දරුවන් වන අපිව නිතර වන්දනාවෙ එක්කගෙන යනවා..පින් වැඩටමයි හිත. අම්මා මාව පන්සලට එක්ක යනවා. මං ගණදෙවි හෑල්ල කියෝනවා..පන්සලේ ලොකු හාමුදුරුවෝ මාව මහණ කරවන්නත් අම්මාගෙන් ඉල්ලා සිටියා. අම්මා කැමති වුණේ නැති හින්දා ටික දවසක් උන්නාන්සේ තරහ වෙලාත් හිටියනෙ..”

අපේ ආදරණිය රංජන් හිඳ සිටි අසුනේ මඳක් හරිබරි ගැසී මෙසේද කියන්නේය.

” අමල්..ඒ කාලෙ තිබුණා චන්ද්‍රලේඛා කියල චිත්‍රපට හෝල් එකක්…ඒකෙ චිත්‍රපට බලලා එළියට එනකොට චිත්‍රපටයෙ තිබිච්ච සින්දු ඔක්කෝම මට කටපාඩම් ..ඉතින් ..ඔය ගායන කලාවට මට අවස්ථාව ලැබුනෙ මගෙ පොඩි කාලෙදිමයි.. මං ඔය පොඩි පොඩි සාදවල…උත්සවවලදි ගීත ගයනවා..ඒ කාලෙ තිබුනෙ ගුවන් විදුලියනෙ..ඒකෙ අපේ ජෝති මිල්ටන් පෙරේරාගෙ ගීත ඇහෙනකොට මට දහස්වරක් හිතෙනව අනේ මං කවදාද ගුවන් විදුලියේ ගීතයක් ගයන්නෙ කියලා..””

පාසල් වියේදී ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද සමත්කම් පෙන්වූ අපේ කතා නායක තෙමේ ඉන් පාසලට කීර්තිය..ජයග්‍රහණය ලැබ දුන්නේය..ඒ ක්‍රිකට් වලිනි. 1963 වසරේදී තරමය.එහි කණ්ඩායම් නායකයාද ඔහුමය..ඔහු සතුටින් සිනාසෙන්නට වන්නේය.

“ඒ කාලෙ අමල් ක්‍රිකට් ගහල දිනපුවාම අප්..පා.. ක්‍රීඩා ලෝලියො…ක්‍රීඩකයො මාව ඔසවාගෙනම හුරේ දම දමා ගම්පොළ වටේම එක්ක යනවා..ගම්පොළ විද්‍යාලයෙ මලල ක්‍රීඩා අංශයෙනුත් මම ඉදිරියෙන් උන්නා…මේ නිසාම පාසලේ ගුරුවරුන් මට පුදුම ආදරයක් දැක්වූවා.. ඒ කාලෙ ඉංග්‍රීසි පත්තරවල පිටරට ක්‍රිකට් ක්‍රීඩකයන් බැට් කරන..බෝල් කරන..විකට් රකින විදිහෙ පින්තූර පළවෙනවනේ..රූපවාහිනී නැහැනෙ..ආන්න ඒ පින්තූරවල ඉරියව් බල බලා තමයි මම පුහුණු වුණේ…”

හෙතෙම තවත් සතුටින් හිනැහෙන්නේය…ගායනයට නොතිත් ඇල්මෙන් පසුවන අපේ රංජන් ජයතිලක වඩාත් රැඳී පසුවන්නේ ගෙදර ඇති පිලිප්ස් රේඩියෝව සමීපයේය..කොතැනක වුව ගැයුවද ඔහුට ඒ වෙනුවෙන් ලැබෙන්නේ රුපියලකි. එය ඔහුට ලොකු සවියකි. සතුටකි.

” ඔව්..ඒ කාලෙ මම ගැයුවෙ ධර්මදාස වල්පොල මහත්තයාගෙ ගීත..ගෙදර තිබුණු කන්නාඩි මේසය තමයි මගෙ තාල වාද්‍ය භාණ්ඩය…අදටත් ඒකෙ මම ගහපු පාරවල් තියෙනවා…සර්පිනාව වයන්න පුරුදු වුණේ අනුන් වයනව බලන් ඉඳලා. ”

ඒ මවුපියන් දරුවන් තනන්නේ මනා ශික්ෂයකිනි..දරුවකු කටින් විසිල් ගසනු දුටුවහොත් එය වහා තහනම් වෙයි. සින්දු කියන එකද නරකයි කියන මතයක් තම මවුපියන් ළඟ තිබුණු බවද ඔහු කියන්නේය..

තම සගයන් ගෙදරට නෑවිත් ඇසෙන මානයේ රැඳී විසිල් ගසති. ඒ තමන් කැඳවුම බව දන්නා හේ නිවසේ තමන් නිදනා ඉහළ තට්ටුවේ කාමරයේ ජනේලයට සමීපව ඇති ගස දිගේ පහළට රූටා විත් සගයන් හා එකතු වෙයි. නිවසේ සැවොම නින්දේය.

“එහෙම යාළුවො එක්ක ගිහින් විමෝද වෙලා පාන්දර හතරට විතර හොරෙන් ම ඇවිත් ගහදිගේ නැගල කාමරයට වැදිල නිදාගෙන ඉන්නවා..අම්මලා දන්නෙ නැහැ. ඒත් දවසක අම්මා ට මාව අහුවුණානෙ…”

අපේ කතා නායකයාණෝ කියන්නේය..

කොළඹ සිට ඔහුගේ නිවසට සමීප ඥාතියෙක් නිතර එයි. ඒ හේමපාල අයියා දවසක් මෙසේ කීයේය.

“කටේ සින්දුවමයි නේද. විභාගෙ පාස්වුණොත් මම මල්ලි ට ගුවන් විදුලියේ ගීතයක් ගයන්න අවස්ථාව අරන් දෙනවාමයි..”

ඒ පුවතින් ඔහු පිනා ගියේය. එපමණක් ද නොව අපේ සොඳුරු කතා නායකයාණෝ සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූයේය…

හේමපාල අයියාද දුන් පොරොන්දුවට අනුව යමින් රංජන් සමඟ කොළඹට පැමිණ එකල ප්‍රකට සංගීතඥයකු වන ලාල් හීනටිගල මහතා හඳුන්වා දුන්නේය. කොළඹ මරදානේ ජෝති ..මිල්ටන් ආදී එකල පරසිදු තවත් ගායක ගායිකාවන් බොහෝ පිරිසක් එකතුපහදු වන “සින්දු කාමරේ” පසුකලෙක අපේ කතා නායකයාගේද සුපුරුදු තැනක්ම වූයේය..

“ඉතිං…කොළඹ සින්දු කියන්න අවස්ථා ලැබුණත් ගම්පොළ ඉඳල කොළඹ නිතර එන්න මට සල්ලිත් නැහැනෙ…මං ගෙදර හිටිය කුකුල්ලු දෙන්නෙක්ව විකුණල කොළඹ ආවෙ..”

ලාල් හීනටිගල සංගීතඥයා ඔහුට සමීප බව කෙතරම් ද කිවහොත් ඔහුගේ නිවසේම ඔහුට නවාතැන් දුන්නේය..දැන් ඔහු සමග අපේ රංජන් සංගීත සංදර්ශනවලට යන්නේය.

“අපේ පාසල් ජීවිතය තමා කවුරුත් ප්‍රිය කරනා” තැපැල් ස්ථානාධිපතිවරයකු වූ එඩ්මන්ඩ් පුංචිහේවා රචනා කළ ගුවන් විදුලියේ ආධුනික වැඩසටහනකට යුග ගීයක් ලෙසින් එය ඔහු මුල් වරට ගැයුවේය.

ඒ 1966 දීය.

“ඔය අද වගේ දහස් ගණන් ගායකයො එදා නම් නැහැ. ඉතින් ..පස්සෙ මම එඩී..රුක්මණී සමඟ..ජෝති .මිල්ටන් සමගත් මම ගීත තුනක් ගුවන් විදුලියට ගැයුවා. ඒ කාලෙ දවස පත්තරෙන් දිය කිඳුරි කියල සංදර්ශන මාලාවක් කළා..ඒ ගීත ලියුවේ සිරිල් ඒ. සීලවිමල මහත්තයා. ඒ දිය කිඳුරි ප්‍රසංග ගම්පොළටත් ආවා. ඒවාට උදුලා දාබරේ ..රෝහිණි ජයකොඩි..නෙතලී නානායක්කාර ආදී නළු නිළියන්ද සහභාගි වුණා”

මහවැලි ගං ඉවුරේ පැවැති සංගීත සංදර්ශන වේදිකාවේ අපේ කතා නායකයා ද ගී ගැයූ අතර අනතුරුව රෝහිණී ජයකොඩි මහත්මිය ඔහු අතට පැණි බීම බෝතලයක්ද පෑවේය..

“තරුණ නෙත් ජය මංගලේ” ගීතය ගයා අවසන් වූ විගස එහි සිටි වොලී නානායක්කාරයන් එම ගීතය නැවතත් ගායනා කරන ලෙසට ඉල්ලීමක්ද කළේය..ඔහු එය නැවත ගැයුවේය.. සිනාමුසු මුහුණින් පැමිණි වොලී අපේ රංජන් රෝහිණී වෙතට කැඳවා ගියේය..

“මගෙ හැංගි හොරා චිත්‍රපටයෙ ගයන්න අවස්ථාවක් මං ඔයාට දෙනවා රංජන්…” රෝහිණී සිනාසී කීවාය..

ඩ්ඪඵ ර්චඵබඥප ඍධඪජඥ තැටියකට දලුගම චිත්‍රාගාරයේදී 1967ක්වූ අප්‍රේල් මස 9 වනදා ගැයූ එම චිත්‍රපට ගීතය වන්නේ සිතක පෙම්බර සිතිවිලි..නම් නිමලා අතපත්තු ගායිකාව සමඟින් ගැයූ යුග ගීතයය.

“අද දැක්කත් එතුමියගෙ දියණිය වීණා මට කියන්නෙ හැංගි හොරා කියලයි.. ඒ ගීත මම ගැයුවෙ ඩොමී ජයවර්ධන නළුවාටයි. පස්සෙ එය මම සී.ඩී තැටියක් කළා..එහි සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නගෙ..”

අපේ ආදරණිය රංජන් ජයතිලකයන් ගැයූ ගී සංඛ්‍යාව 60- 70 පමණ වන බව ඔහු කියයි.

පොල්කට්ටට වතුර අරන්..” ගීතය ජාතික අධ්‍යාපන ආයතනය විසින් පස්වන පන්තියේ ගුරු අත්පොතට එකතු කර ඇති බවද ඔහු කීයේ සතුටු වදනිනි..

“කුඹුකෙ ලිඳේ සීතල සෙවනේ…”(1967) තවත් ගීත දෙකක්ද සුජාතා අත්තනායක මහත්මිය සමඟ ගැයූ “බුදුන් දැක නිවන් දකිනූ ප්‍රිය සොඳුර ” ගීතයට අදටත් රසික සිත් ඇඳබැඳ ඇත.

“ඒ ගීතය ගයන විට සුජාතා මහත්මිය විවාහ වූ මුල් අවදියේ…එතුමිය වෙළෙඳ සේවා වැඩ සටහනකට ගැයුවෙ.”

“රුවන් නිදන හෙළ බිමයි” ඔහු වික්ටර් සමඟ ගැයුමින් එක්වූයේය..

“ජෝතිපාල මහත්තයා මගෙ ගීත ගොඩාක් අගය කළා.. හමුවුණාම කියනව මල්ලි අර සින්දුව අර සින්දුව ගයන්න කියලා. විජයරත්න රණතුංග මහත්තයාත් බොහෝ උදව් කළා..”

අපේ සොඳුරු කතා නායකයාණෝ හිස් බැල්මෙන් බලා සිටී.

“දැන් කලාව වෙනස් වෙලා. ඒ කාලෙ ඔය කැපිලි කෙටිලි ඇත්තේම නැහැ. මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ටවර් හෝල් එකේ කරපු වෙලාවෙ අපේ කරුණාරත්න අබේසේකර මහත්තයා මා වෙනුවෙන් කතා කළ සැටි මට අදත් මතකයි. ඒ 1991.09. 01 දින. ලලිත් එස්.මෛත්‍රීපාල මහත්තයාත් සමීපයි.

” අපේ ලාල් හීනටිගල මහත්තයාගෙ ගෙදරට කලාකරුවන් එනවා. හරුන් ලන්ත්‍රා ආවෙ ලාල් ගෙන් උදව්වක් ගන්න. එදා ලාල් අයියාගෙ මෝනා නන්දා අක්කා මට වටින උපදෙසක් දුන්නා. ඉගෙන ගෙන ඇති නිසා රස්සාවක් කරන්න කියලා..”

අපේ කතා නායක තෙමේ කියන්නේය.

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ තනතුරකට ඉල්ලුම් කළේය. කලාකරුවකු වීම නිසාවෙන්ම පොලිසිය විසින් ඔහු රැකියාවට යොමු කරවූයේ පොලිස් ඇඟිලි සලකුණු අංශයටය.

එහිදී සුබසාධන සංගමය පිහිටුවීමත් සමඟ පොලිස් මෙහෙවර අළලා ඔහු ගීතයක් රචනා කරමින් එය ගායනයද කළේය..එහි සංගීතය විශාරද සුනිල් අමරසිංහයන්ය.

“ලක්ජන මෙහෙවර වෙත කැපවී…

සතර දිශාවම ජය ගත්තෝ..”

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයේ පොලිස් පරීක්ෂකවරයකු වූ හෙතෙම ගායක ගායිකා සංගමයේ ගිණුම් විගණන නිලධාරි තනතුරද වැඩිම කලක් හෙබවූයේය.

මේ වනවිට සම්මාන…රාජ්‍ය සම්මාන කලා භූෂණ ..ඇතුළු සම්මාන රැසකින්ම පිදුම් ලද අපේ ආදරණිය කතා නායක තෙමේ මෙසේ ද කියන්නේය.

“සම්මාන නම් ගෙයි තියාගන්නත් ඉඩක් නැති තරමට ලැබුණා..පොලිස් සේවයෙත් වසර 36 කින් පසුව මං විශ්‍රාමිකයි…දැන් මට වයස අවුරුදු 80ක්..ජිවිතයේ අන්තිම කාලයනෙ..පැමිණි ගමන ගැන මං හදවතින් ම තෘප්තිමත්…”

සිය ජීවන සහකාරිය සමග ඔහු අතිනත ගත්තේ 1971 දීය..එය යෝජිත විවාහයකි. ගුරුතුමියක වන ඕ තොමෝ අරනායක..පන්නල නන්දා ජයතිලක මෙනවියය.

එම විවාහයෙන් හෙතෙම ආදරණිය පිය පදවියෙන් පිදුම් ලැබීය.

පාලි හා සංස්කෘත විද්‍යාලයේ උපාධිධාරිනියක වන එකම දියණිය දිලූපා කුමාරි ජයතිලක ආගම දහමින් සිත පෙරටුව තම මවුපිය සෙවණේ පසුවන්නීය.. ඕ දහම් පාසලේ ගුරුතුමියකද වන්නීය.

එකම පුතු මහාචාර්ය රුවන් කුමාර ජයතිලක ය.

අපේ කතා නායක තෙමේ අපේ ආදරණිය පිළිසඳරට නව අරුතක් එකතු කරන්නේය.

” අමල් දන්නවද..මම වයසින් 75- 80 අතර වැඩිහිටි දිවීමේ තරඟාදියෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එකම දවසේ මීටර් 400..800…1500 න් වාර්තා තුනක්ම තැබූ බව… මගෙ රැකෝඩ් එකක් තවම තියෙනවා..ඔව් මම වියපත් වුණත් තවමත් මම දක්ෂ මලල ක්‍රීඩකයෙක්… හොඳට මට දුවන්න පුළුවන්…හැබැයි වයස අනුව එහෙම කරන්න එපා කියා දැන් මට වෛද්‍ය උපදෙස් ලැබී තියෙනවා..ඒත් මගෙ හිත ගත තවම තරුණයි…”

මැලේසියාව…ස්පාඤ්ඤය ..ආදී රටවල පැවැති ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා උළෙල හෙතෙම 2019 වසරේදී නියෝජනය කළේය..2020දී ආසියාතික මලල ක්‍රීඩා උළෙලටද ඔහු එක්වූයේය…මැලේසියාවේ සටනින් හොඳම ක්‍රීඩකයන් 8 දෙනා අතරටද තේරුනේ අපේ ආදරණිය ප්‍රකට ගායන ශිල්පී රංජන් ජයතිලකයන්මය.

” ආඩම්බරකමකට කියනව හෙම නෙවෙයි අමල් .හොරෙක් අල්ලනවා කීවොත් මම අල්ලලාමයි පස්ස බලන්නෙ..පොලිස් සේවයේ ප්‍රථම වරට තේමා ගීතයක් කළේද මමයි…පොලීසියේ කෙනෙක්ම හැටියට එම ගීතය ගායනා කළේද මමයි.”

මම අපේ කතා නායක රංජන් ජයතිලකයන්ගෙන් සමුගන්නට මොහොතක් තිබියදී ඔහු කී කතාවේ සත්‍යයක් ඇතැයි දැනුදු මට හැඟේ.

“තම දරුවන්ගේ කුසලතා හඳුනා නොගෙන හිතුමතයේ කුසලතාව නැතිනම් දරුවන් ට උදව් කරන්න එපා කියා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන්නම්..මොකද…ඉන් වල්මත් වන්නේ තමන්ගේ දරුවාමයි.

ඒ වගේම විශේෂයෙන් කෘතවේදිව කියන්නම ඕනා මගෙ ගායන ජීවිතයටත් ක්‍රීඩා ජීවිතයටත් එකසේ සරසවිය වගේම ලේක්හවුස් ආයතනයත් මට උදව් කළා…”

ඔහු මුහුණේ පළ වූ කෘතවේදි ප්‍රසන්න සිනහවට පිළිතුරු සිනාවකින් මම ඔහුට ආදරයෙන් චිර ජීවනයම පැතුවෙමි.

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT