බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ගීත ගායනය වාදන තරගාවලියේ අයදුම් පත් කැඳවීම මේ වන විට ආරම්භ කොට ඇත.
එහි මූලික කරුණු සහ කොන්දේසි
මෙම තරග සඳහා අයදුම් කල හැක්කේ ආබාධ සහිත පුද්ගලයන්ට චලන ආබාධ, දෘශ්‍යාබාධ, කථනාබාධ, ශ්‍රවණාබාධ, බුද්ධිමය ඌණතා සහ මිහිමිත් ප්‍රජාව (උසින් අඩු ප්‍රජාව) පමණි. බුද්ධිමය ඌණතා / ගැටලු පවතින පුද්ගලයන් සඳහා “විශේෂ” ශීර්ෂය යටතේ වෙනම ගායන සහ වාදන තරගයක් පවත්වනු ලැබේ.
තරගකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත / ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙන හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / ගමන් බලපත්‍රය, /තැපැල් හැඳුනුම්පත /වැඩිහිටි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි තරගකරුවන් උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් සමඟ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ ඡායාරූපයක් ඉදිරිපත් කළ හැකිය. මෙම තරගාවලිය පළාත් මට්ටමින් පැවැත්වේ. පළාත් තරඟයේදී ප්‍රථම ස්ථානය ලබා ගන්නා තරගකරුවා පමණක් ජාතික තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.
ගීත ගායන තරගයේදී ඕනෑම භාෂාවකින් ගීත ගායනා කිරීමට හැකියාව පවතින අතර, වාදන තරගයේදී ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට හැකියාව පවති. එක් පුද්ගලයෙකුට උපරිම වශයෙන් සංගීත භාණ්ඩ 03ක් වාදනය කළ හැකිය. (එක් සංගීත භාණ්ඩයක් වාදනය කිරීම උපරිම විනාඩි 03ක කාලයක් ලබා දේ.) ගායන සහ වාදන යන තරග අංශ දෙකටම ඉදිරිපත්වන තරගකරුවන් එක් එක් අංශය සඳහා වෙන් වෙන්ව අයදුම්පත් එවිය යුතුය. තරඟ සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයන් සම්පූර්ණ කරන ලද අයදුම්පතෙහි ඡායා පිටපතක් තමා ළඟ තබා ගත යුතු අතර ඉල්ලන ඕනෑම අවස්ථාවකදී එය ඉදිරිපත් කළ යුතුය.තරගකරුගේ නම මුලකුරු සහිතව නිවැරදිව අයදුම්පතේ සඳහන් කළ යුතු අතර සහතිකපත් නිකුත් කරනු ලබන්නේ එම නමට පමණි. ප්‍රවීණ විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කටයුතු කරනු ලබණ අතර මෙම චක්‍රලේඛය හෝ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් ඒ පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ තීරණය අවසන් තීරණය බව සඳහන් වේ.
අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2025.07.20 වේ.
අයදුම්පත මම සබැඳීය මගින් ඩවුන්ලෝඩ් කරගත හැකියි. https://mbrc.gov.lk/images/
අයදුම්පත් ඉහත දිනට පෙර සාමාන්‍ය තැපෑලෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බත්තරමුල්ල, සෙත්සිරිපාය (අදියර 1), 8 වන මහළේ පිහිටි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සංස්කෘතික අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ කාර්යංශය වෙත බාර දිය යුතුය.
අයදුම්පත් එවිය යුතු ලිපිනය ලේකම්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, 8 වන මහළ, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල ලෙස සටහන් කළ යුතුය. ලියුම්කවරයේ ඉහළ වම් කෙළවරෙහි “ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ගීත ගායන / වාදන තරගාවලිය – 2025” යනුවෙන් සඳහන් කළ යුතුය.
ආබාධ සහිතභාවය තහවුරු කිරිම සඳහා
ආබාධ සහිතභාවය සහතික කිරීම වෛද්‍යවරයෙකු හෝ සාමදාන විනිශ්‍චයකාරයෙකු හෝ ග්‍රාම නිලධාරී හෝ සමාජ සේවා නිලධාරී හෝ සංස්කෘතික නිලධාරී හෝ ආගමික ආයතනයක ප්‍රධානියෙකු විසින් කළ යුතුය. පාසල් අයදුම්කරුවෙකු නම් අදාල පාසලේ විදුහල්පති විසින් තරගකරු ආබාධ සහිත පාසල් දරුවෙකු ලෙස සහතික කිරීම කළ යුතුය. තරඟයට ඉදිරිපත් වන පුද්ගලයා රාජ්‍ය ආයතනයක සේවය කරන්නෙක් නම් එම ආයතන ප්‍රධානියා විසින් ද මෙම සහතික කිරීම සිදුකර ගත හැකිය. තරඟකරුවා ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ රැකවරණ නිවාසයක වෙසෙන්නෙක් නම් ස්ථාන භාරකරු විසින් එම නිර්දේශය ලබා දිය යුතුය.
තරඟය සඳහා වයස් සීමාවන්
කනිෂ්ඨ අංශය සඳහා ඉදිරිපත්වන තරගකරුවන්ගේ වයස අවුරුදු 11ත් 16ත් අතර විය යුතුය. (උපන්දිනය 2009.06.30 දින සිට 2014.06.30 දක්වා එම දින දෙක ද ඇතුළත්ව යෙදී තිබිය යුතුය), ජ්‍යෙෂ්ඨ අංශයට ඉදිරිපත්වන තරගකරුවන්ගේ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුය (උපන්දිනය 2000.06.30 දින සිට 2009.06.29 දක්වා එම දින දෙක ද ඇතුළත්ව යෙදී තිබිය යුතුය.) විවෘත අංශයට ඉදිරිපත්වන තරගකරුවන්ගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතුය. (උපන්දිනය 2000.06.29 දින හෝ ඊට පෙර දිනයක යෙදී තිබිය යුතුය.) විශේෂ ගායන/වාදන තරගයට වයස අවුරුදු 11ත් 35ත් අතර පුද්ගලයන්ට පමණක් සහභාගී විය හැක. (උපන්දිනය 1990.06.30 දින සිට 2014.06.30 දක්වා එම දින දෙක ද ඇතුළත්ව යෙදී තිබිය යුතුය.) තරඟ සදහා වයස් සීමාව 2025.06.30 දිනට සලකා බලනු ලැබේ.
තරග ශීර්ෂ
ගීත ගායන තරගය
කනිෂ්ඨ, ජ්‍යේෂ්ඨ,
විවෘත, විශේෂ) (බුද්ධිමය ආබාධ/සෙමෙන් මනස වැඩෙන, ඔටිසම් වැනි)අංශ ඇතුළත් වේ.
වාදන තරග අංශයන් ලෙස
වාදන තරඟය (කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, විවෘත, විශේෂ) (බුද්ධිමය ආබාධ/සෙමෙන් මනස වැඩෙන, ඔටිසම් වැනි) ලෙස ඉදිරිපත් වීමට හැකිය.
ජයග්‍රහයකයන් සඳහා සම්මාන සහතිකපත් සහ මුදල් ත්‍යාග
පළාත් මට්ටමින් පැවැත්වෙන තරගයක, පළමු ස්ථානය සඳහා රු.8,000/ක මුදල් ත්‍යාගයක් ද, දෙවන ස්ථානය සඳහා රු.6,000/ක මුදල් ත්‍යාගයක් ද, තෙවන ස්ථානය සඳහා රු.4,000/ක මුදල් ත්‍යාගයක් ද හිමිවේ.
ජාතික මට්ටමේ පළමු ස්ථානය සඳහා පදක්කමක් සහ රු.20,000/ක මුදල් ත්‍යාගයක් හිමිවේ. ජාතික මට්ටමේ දෙවන ස්ථානය සඳහා රු.15,000/ක මුදල් ත්‍යාගයක් ද තෙවන ස්ථාන සඳහා රු. 10,000/ක මුදල් ත්‍යාගයක් ද හිමිවේ. පළාත් /ජාතික මට්ටමේ සියලු තරගවල පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහාත් කුසලතා ස්ථාන 05ක් සඳහාත් සහතිකපත් හිමිවේ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු www.mbrc.gov.lk වෙබ් අඩවියෙන් සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ සංස්කෘතික අයිතීන් ප්‍රවර්ධන කාර්යංශයේ දුරකතන අංකය 011- 2877541න් හෝ පහත සඳහන් දුරකතන ඔස්සේ ලබාගත හැක. ඉනෝකා බෝගොඩ මිය, සංවර්ධන නිලධාරී , දු.අංක – 0711354361 ,අසංක ඉෂාන් දයාපාල මයා, සංවර්ධන නිලධාරී, දු.අංක – 0776110446 අමතා වැඩි විස්තර ලබාගත හැකිය.
- නිශ්ශංක විජේරත්න