ගාමිණී මහතා නිසැකවම එදින තමා මිය යන බව දැන සිටින්නට ඇත. එතුමා මගේ ජීවිතයේ ඉදිරියට තිබෙන අභියෝග කල් තියා අනාගත වක්තෘවරයකු සේ දැනුම්වත් කොට ඒවාට නොසැලී මුහුණ දිය යුතු ආකාරය ගැනද කියා දුන්නේය.
දිනය මීට 20 වසරකට එපිට එනම් වර්ෂ 2004 සැප්තැම්බර් 30 වැනිදාය. මවිසින් දිගු කලක් පුරා රචනා කරන ලද ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයෙහි සෝදුපත් (Proof) බලමින් සිටි අවධියයි, ඒ. ඊට පෙර දිනයෙහි මැදියම ද ඉක්මවා නිදිවරමින් එකී කාර්යයෙහි
නියැළී සිට වෙහෙසට පත් වූ මම එදින අලුයම අවදි නොවූයෙමි. හිමිදිරි පාන්දර අප නිවසෙහි දුරකථනය නාද වූයෙන් රිසීවරය එසවූයේ මා පියාණන්ය (ඒ.ඩී.රන්ජිත් කුමාර). ඇමතුවේ ගාමිණි ෆොන්සේකා සූරීන්ය.
මා අවදි වී ඉක්මනින් ලක ලෑස්ති වී කාර්යාලයට පිටත්වීමට සැරසෙද්දී තාත්තා මෙසේ කීවේය.
“දැන් කතා කළේ ගාමිණී අන්කල්. කෝ මගේ කොල්ලා කියලා පුතා ගැන ඇහුවා. මං කිව්වා ඊයෙ රෑ දෙගොඩ හරිය වෙනකන් සිනමාවංශය පොතේ වැඩ කරලා තවම නිදි කියලා. එහෙනම් පුතාට කියන්න, මේ නිදාගන්න ඕන වෙලාව නෙවෙයි. නැගිටලා ඉන්න ඕන වෙලාව කියල කිව්වා. ගාමිණී අන්කල්ට හොඳටම හෙම්බිරිසාව කටහඬත් වෙනස් වෙලා. මට දුක හිතුණා. මං කිව්වා හොඳ කොත්තමල්ලි එකක් හදාගෙන බීලා, විවේක ගන්න කියලා. ග්‍රෙගරි පෙක් ලංකාවට ආපු වෙලාවෙත් හෙම්බිරිස්සාව හැදිලා කොත්තමල්ලි බීලා හොඳ වුණා කියලා මං මතක් කළා. ඔයා ඔෆිස් යන්න කලින් දැන් ගාමිණී අන්කල්ට කෝල් කරන්න.”
මම අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙමි.
දැන් ගාමිණී අන්කල්ට කෝල් කළොත් මට ඔෆිස් යන්න බැරි වේවි. මං හවස ගෙදර ඇවිත් රෑට නිදහසේ කෝල් කරන්නම් තාත්තේ” යැයි කියමින් මම ඉක්මනින් කාර්යාලයට පිටත් වූයෙමි. ගාමිණී ෆොන්සේකා සූරීන් සමඟ දුරකථනයෙන් කතා කරන්නට නම් අඩුම ගණනේ පැයක පමණවත් කාලයක් මා මිඩංගු කළ යුතුය. ඒ සෑම අවස්ථාවකදීම එතුමා මට රිසීවරය තබන්න යැයි කියා නැවත අමතන්නේ මගේ දුරකථන බිල ගැන සිතීම නිසාම පමණක් නොවේ. එතුමාට නිදහසේ මා සමඟ ස්වකීය සිතුම් පැතුම් බෙදා හදා ගැනීමද අවැසි වූ හෙයිනි. එතුමාගේ ජීවිතයේ අවසන් සමය වන විට තමා සමීප ලෙස ඇසුරු කළ අතිශයින් ආදරය කළ මිතුරන් දෙතුන් දෙනාගෙන් මමද එක් අයෙකු වීමි. ගාමිණී සූරීන් ලියූ කවි සංකල්පනා, ගීත කුරුටු ගෑ සැණින් මට ඇසෙන්නට කියවීම ඔහුගේ සිරිතකි. විටෙක බුදු දහමෙන් පටන් ගෙන හින්දු සමය කිතුනු සමය හරහා අනේකවිධ දර්ශනවාද, ආගම් අරභයා කතා කරන එතුමෝ කලාව, දේශපාලනය, ජ්‍යෝතිෂ්‍යය, ආයුර්වේදය යනාදී නොයෙකුත් විෂයන්ට ඉක්බිතිව අවතීර්ණ වෙති. ඒ සංලාප ඔස්සේ මා ජංගම විශ්වවිද්‍යාලයකට ප්‍රවිෂ්ට වූවා වැන්න.
පෙර කී 2004 සැප්තැම්බර් 30 වැනිදා දිනය වෙත මම යළිත් මනසෙන් පිවිසියෙමි. එවක මා සේවය කළේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශන සංස්කාරක ලෙසිනි. දහවල අසුනට බර වී යමක් ලියමින් සිටි මට මා සේවය කළ ප්‍රචාරක අංශයේ සගයකු වූ දයානන්ද රත්නසිරි සොයුරා ඉතා කලබලයෙන් මානසික පරිපීඩිත මුහුණකින් මවෙත එනු ඈතදීම මම දුටුවෙමි. ගාමිණී සූරීන් මා සමඟ පැවති සමීප ඇසුර රත්නසිරි හොඳීන් දැන සිටියේය.
“නුවන්… නරක ආරංචියක් …. ගාමිණී ෆොන්සේකා මහත්තයා ….” ඔහුට කියාගත හැකි වූයේ එපමණකි! නැගිට්ටා නොව එකවර අසුනින් මට නැගිටුණි.
එකෙනොහිම කාර්යාලය මා වටා භ්‍රමණය වී උඩු යටිකුරු වන්නාක් මෙන් මට දැනුණි. දුරකථනය වෙත පානැඟූ මම එතුමාගේ ජාඇල නිවසට (2236988) ඇමතීමට උත්සාහ කළෙමි. ඒ අංකය කාර්යබහුලය. ඉක්බිති මගේ නිවසට ඇමතූ විට රිසිවරයේ එසවූයේ අම්මාය. ” අම්මේ…. ගාමිණී අන්කල් …. ” මට කියාගත හැකි වූයේ එපමණකි. “පුතා කලබල නොවී ගෙදර එන්න” යැයි කියා පමණක් අම්මා පැවසුවාය.
මා මෙකල භාවිත කරන මගේ මෝටර් රථය එවක තිබුණේ නැත. එහෙයින්ම කාර්යාලයේ සිට දෛනිකව නිවසට ගියේ පොදු ජන ප්‍රවාහන සේවයෙනි. එදින මට බස් නැවතුම්පොළ ගැනවත් නිනව්වක් නොතිබුණි. ‘හිස ඇරුණු අත යනවා’ යන්නෙන් කුමක් අදහස් වන්නේදැයි මට ප්‍රත්‍යක්ෂ වූයේ එදිනය. එලෙස ගමන් කරද්දී අසල නවතා තිබූ වාහනයකින් මගේ නම කීපවරක් කිසිවකු විසින් අමතන ලදුව මට ඇසිණ. ඒ මගේ පරපුරේ සුප්‍රකට පූරකයකු වූ උදිත චන්දිමාල් සොහොයුරාය. “මොකෝ මේ අවුලකින් වගේ. ඔයා දැන් ගෙදරද යන්නේ? මාත් මොරටුව පැත්තට තමයි යන්නේ. මං ඔයාට ලිෆ්ට් එකක් දෙන්නම්. ඔයාට වගේම මගේ ආච්චිටත් හරිම කනගාටුයි. ගාමිණී මහත්තයාගේ වෙන්වීම ගැන” යැයි ඔහු කීවේය. උදිත සඳහන් කළේ තම ආච්චි අම්මා වූ එවක ජීවත්ව සිටි විදෙස්ගත වූ ප්‍රවීණ නිළි ශාන්ති ලේඛා මහත්මිය ගැනය. එදින උදිත මා නිවසටම ගොස් ඇරලීම ගාමිණී මහතාගේ ආශීර්වාදයෙන්ම සිදුවූවකැ’යි අදත් මම විශ්වාස කරමි.
ගාමිණී මහතා නිසැකවම එදින තමා මිය යන බව දැන සිටින්නට ඇත. එතුමා මගේ ජීවිතයේ ඉදිරියට තිබෙන අභියෝග කල් තියා අනාගත වක්තෘවරයකු සේ දැනුම්වත් කොට ඒවාට නොසැලී මුහුණ දිය යුතු ආකාරය ගැනද කියා දුන්නේය.
එතුමා මිය යෑමට සතියකට පෙර ජාඇල නිවසේ එක් පසෙක වහලය කඩා වැටීමත්, ඒ ආසන්න දිනවල රාත්‍රියේ ඔහු නිදන විට තම සමීප සුරතලා වන සුනඛයා වරින්වර එතුමාගේ යටි පතුල් ලෙවකා ඉව ඇල්ලීමෙනුත්, මෙය දැනෙන්නට ඇත. පියවි ඇසට නොපෙනෙන විවිධ සියුම් බලවේග ගැන ගැඹුරු වැටහීමක් ගාමිණී මහතාට තිබූ බව දන්නේ, ඔහු සමීපව ඇසුරු කළ අල්ප දෙනෙකු පමණි. එතුමා ඒ දිනවල බහුලව කතා කළේ පුනර්භවය ගැන බව මට පැවසුවේ දමිත්ය.
2004 සැප්තැම්බර් 30 වැනිදා උදෑසන ඔහු තමා සමීප මිතුරන් ලෙස සැලකූ අල්ප දෙනාගේ නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබා දී ඇත. ඒ අනුව අප නිවසටද කතා කොට තාත්තා ලවා පෙර කී සදූපදේශය මට දුන්නේය. මඳ අසනීප ගතියකින් සෙම් පීඩා විඳීමින් සිටි ගාමිණී මහතා එදින දහවල් තම සමීප උපස්ථායක ජයලත් ද සමඟ දිවා ආහාර ගෙන සුරතල් සතුන්ට ද කෑම කවා පුවත්පත් රැගෙන ඒමට ජයලත්ට නියම කළේය. ඔහු පුවත්පත් රැගෙන එන විට ගාමිණී මහතා උඩුමහලේ තම නිදන කාමරයේ සයනයේ ඇලවී දෙනෙත් පියාගෙන සිටියේය.
“සර්, මෙන්න පත්තර” යැයි ජයලත් එය ඇඳ මත තැබූ විට ඔහු දෙනෙත් වසාගෙනම “හ්ම්” යනුවෙන් පවසා ඔහුට එතැනින් යෑමට අවසර දුන්නේය. නිසි වේලාවට අවදි නොවූ හෙයින් ජයලත් සොයා බලන විට මේ මහා කලාකරුවා නින්දෙන්ම මියගොස් තිබිණ. මරණයට හේතුව නින්දෙන්ම ඔහුට නොදැනී පැමිණි හෘදයාබාධයකි. (Silent Heart Attack) එක්තරා අතකින් සිතන විට මෙය බොහෝ මිනිසුන්ට ලේසියෙන් නොලැබෙන සැනසිලිදායක මරණයකි.
එතුමා මිනිස් සිංහයකු ලෙස ඉපදී, එලෙසින්ම ජීවත් වී, ඒ අනුව මියගිය මහා කලාකරුවෙකි. ඔහුගේ ‘පරසතුමල්’ චිත්‍රපටයේ තමා රැඟු බොනී මහත්තයාගේ චරිතය අවසානයේ සයනයේ ඔහු මියගොස් සිටින විට දේහය අසල සමීප සේවක අමාරිස් (ඩී. ආර්. නානායක්කාර) වැලපුණාක් මෙන් ගාමිණිගේ දේහය ඉදිරිපිට ප්‍රිය උපස්ථායක ජයලත් වැලපුණේය. ජීවිතයද එක අතකින් සිනමාව වැන්න. නොඑසේ නම් සිනමාව ද විටෙක ජීවිතය වැන්න.
මා විසින් රචනා කොට 2004 වසරේ මුල් වරට පළ කරන ලද 2012 වසරේ යළිත් මුද්‍රණය කෙරුණු ‘ගාමිණි – විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා’ ග්‍රන්ථය එතුමා ජීවත්ව සිටියදී මට ලබා දිය හැකිවූ උසස්ම උපහාරය’යැයි මම සිතමි.
මේ ග්‍රන්ථය 2004 මාර්තු 22 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විණ. ගාමිණීගේ 68 වැනි ජන්ම දිනය (එනම් ඔහු ජීවමාන කල සැමරූ අවසන් උපන් දිනය) යෙදී තිබුණේ එදිනට පෙර (මාර්තු 21 වැනිදාය) දිනයෙහිය. ඒ නිමිති කොට ඔහුට උපහාර පිණිස ‘ගාමිණි ෆොන්සේකා අභිනන්දන ප්‍රණාම උලෙළ’ මාර්තු 22 වැනිදා අති උත්කර්ෂවයෙන් පැවැත්විණ.
මා ලියූ ග්‍රන්ථය එළිදැක්වීමට ප්‍රථම ගාමිණී මහතාගේ බිරිය සුමිත්‍රා ෆොන්සේකා මහත්මියට හා පුත් දමිත් ෆොන්සේකා සොහොයුරාට මම පොරොන්දුවක් දුන්නෙමි. එනම් මේ ග්‍රන්ථයේ එක් පිටපතක් එදින උලෙළ අවසානයේ සියලු දෙනා පුදුමයට පත්කරමින් සුමිත්‍රාවන් විසින් ගාමිණී මහතාට පිරිනැමිය යුතු බවත්, මා ඊට මැදිහත් වන බවත්ය. 1983 වසරේ දිනක ගාමිණී මහතා රත්මලානේ නිවසෙන් පිටවී ගිය තැන සිට ඔහුගේ කාමරයේ සුළු හෝ වෙනසක් සිදු නොකොට ඒ වනතෙක් පවත්වාගෙන ගිය බවත්, යළිත් ඔහු කෙදිනක හෝ නිවසට පැමිණේ යැයි තමා අපේක්ෂාවෙන් සිටින බවත් ඇය මා හට ඒ කාමරයද පෙන්වා පැවසුවාය. සුමිත්‍රාවන්ගේ මේ කියුම මා තුළ බලවත් සංවේගයක් ඇති කළේය. විවිධ හේතූන් මත එක් කලකදී දුරස්ථ වූ මේ අඹුසැමි යුවළ යළිත් සමීප කිරීමට මගේ ග්‍රන්ථය ශක්තිමත් පාලමක් වේ’යැයි මම සිතුවෙමි. එහෙත් දෙනෝදාහක් මැද වේදිකාවේ මෙයට ගාමිණී මහතා කෙබඳු ප්‍රතිචාරයක් දක්වාවිද යන බිය සුමිත්‍රා මහත්මියගේත් දමිත්ගේත් මතු නොව මා
සිත තුළත් පැවතිණ. එහෙත් චේතනාව හොඳ නම්, පවිත්‍ර නම් තමන්ට සේම අන්‍යයන්ටත් යහපතක් වේ නම්, කවර බාධක පැමිණියත් ඒවා තුට්ටුවකටවත් නොතකා ඉදිරියට යෑමට ආත්ම ශක්තියක් මට තිබුණි.
ගාමිණී මහතා මෙවැනි ග්‍රන්ථයක් මා ලියන බැව් දනිතත් එදින ඔහුට පිළිගන්වන තෙක් මේ ග්‍රන්ථය කෙබඳුදැයි කිසිවක් දැන සිටියේ නැත. නියමිත දිනය එළඹිණ. පොත ප්‍රකාශනයට පත් කළ ප්‍රේම් දිසානායකයන් මට පිරිනැමූ මේ ග්‍රන්ථයේ මුල් පිටපත මම කලාකරුවන් වට කොට ගෙන වේදිකාවේ සිටි ගාමිණී මහතාට දෙපා නමැද ගෞරවයෙන් පිරිනැමුවෙමි. ඉනික්බිතිව වේදිකාවෙන් පහතට බැස ප්‍රේක්ෂකාගාරයෙහි සිටි සුමිත්‍රාවන්ට මගේ පොතේ පිටපතක් පිරිනමා ඇයටත්, දම්මිත්ටත් වේදිකාවට ආරාධනා කළ මුත් ඔවුන් මඳක් පැකිළෙනු පෙනිණ. දමිත්ගේ හදවතේ ගැස්ම ද මට දැනිණ. කෙසේ හෝ ඔවුන් කැටුව මම පෙරමුණ ගතිමි. ඔවුන් සමඟ වේදිකාවට නැග මඳක් පසෙකට වී සිටින්නට මා ඔවුන්ට නියම කොට මේ සුවිශේෂී අවස්ථාව නිවේදනය කරන ලෙස උළෙලෙහි පූරක කාර්යයෙහි නියැළී සිටි ප්‍රවීණ රූපණවේදී ජයලත් මනෝරත්නයන්ගෙන් මම ඉල්ලා සිටියෙමි. ඔහු ඊට මැළි වූයේ මේ කාර්යයේදී ගාමිණී මහතාගේ ප්‍රතිචාරය කෙබඳු වේද යන බිය ඔහු තුළද පැවති බැවිනි. ඉනික්බිතිව මම වේදිකාවේ සිටි ගාමිණී මහතාගේ පැරැණිතම මිතුරකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාට මේ කරුණ පැවසීමි. ඔහුද එක්වරම කැලඹිල්ලට පත්වනු පෙනිණ. මම දැඩි තීරණයක් ගතිමි. එනම් එහි නිවේදන කාර්යය මා විසින්ම ඉටු කළ යුතු බවය. ඊට මා සූදානම් වී මයික්‍රෆෝන් අසලට යත්ම ගමගේ මහතා මා වළක්වා ඒ කාර්යය භාර ගත්තේය. “මෙන්න දැන් සුවිශේෂ අවස්ථාවක්. ගාමිණී මහතාගේ ආදරණීය බිරිඳ සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය නුවන් නයනජිත් කුමාර ලියූ ග්‍රන්ථය එතුමන්ට පිරිනමන අවස්ථාව.”
ඇය දමිත් සමඟ වේදිකාවට පිය නැඟ ගාමිණී මහතාට මගේ කෘතිය පිරිනමා (මේ එකම ග්‍රන්ථය එකම පුද්ගලයකුට දෙවරක් පිරිනැමූ අවස්ථාවකි) ඔහුගේ දෙකම්මුල් මහත් සෙනෙහසින් සිප ගත්තාය. ඊට ප්‍රතිචාර ලෙස ඔහු තමා ඇඳ
සිටි කෝට් කමිසයේ පැලඳී රෝස මල ගලවා ඇයට දී ඉක්බිතිව මගේ පොත අත් දෙකෙන් ඔසවා ප්‍රේක්ෂකාගාරයට පෙන්වීය. මෙය උලෙළට සහභාගී වූ කොයි කාටත් අතිශය සංවේදී හැඟීම් දනවන දර්ශනයක්මැ විය. මම ජය ගතිමි. චේතනාව යහපත් වූ පරිදි ප්‍රතිඵලයද යහපත් විය.
ගාමිණී මහතා ස්වකීය අභිනන්දන උලෙළේදී පැවැත් වූ ආන්දෝලනාත්මක දේශනයේදී (මෙය එතුමාගේ අවසන් දේශනය විය) මා ගැන කළ ඇගැයීම මගේ ඉදිරි ගමනට ඉමහත් ආශිර්වාදයක් විය. උපහාර උලෙළ සාර්ථකව නිමවී දෙසතියක් ගතවිය. කිසිදු ඇමතුමක් ගාමිණී මහතාගෙන් මට ලැබුණේ නැත. මගේ කෘතිය ගැන ඔහුගේ මතය කෙබඳුදැයි දැනගැනීමට මම නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. අපේක්ෂා කළ පරිදිම දිනක් ඔහු දුරකථනයෙන් මා ඇමතුවේය.
“තමා මේ පොතෙන් කර තිබෙන්නේ සුළුපටු දෙයක් නොවේ. මිනිසෙක් අශ්වයෙක් පිට නැඟලා, විශාල උස ගේට්ටුවකින් ඒ අශ්වයා සමඟ උගේ කකුල් හතර ගේට්ටුවේ නොවැදී උඩින් සාර්ථකව අනිත් පැත්තට පැන්නාක් වැනි දෙයක් මේක. මේ පොතේ තමා මා ගැන දරන අලුත් මතය (ගාමිණී ආසියානු සිනමාවට යථාර්ථවාදී රූපණය හඳුන්වා දුන් පුරෝගාමී රූපණවේදියා බව) කෙතරම් සත්‍යයක් වුවත්, ඔබ තවම හිසේ කෙස් පැහිලා නැති පොඩි කොල්ලෙක්. ඒ නිසා ඒ මතය බොහෝ දෙනා දැන්ම පිළිගන්නේ නැති බවක් අඟවාවි.
නමුත් ඔබේ කෙස් පැසුණු කාලෙක ඔවුන් මෙය පිළිගනීවි.” යැයි පැවසුවේය. මේ අරභයා අවසානයේ එතුමා පැවසූ කියුම අර්ධ සත්‍යයක් විය. එනම් ගාමිණී මහතා සිතූ සේම මගේ නව මතවාදය තහනම් වචනය කොට ගෙන එය විචාරයට ලක් නොකොට බොහෝ උගත්තු විචාරකයෝ ඔහු ගැන කතා කළහ. ලිපි ලියූහ. එහෙත්, ගත වූයේ මඳ කලකි. මෙරට අග්‍රගණ්‍ය සිනමාවේදියාණන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ඉභදඤචර ර්‍ණඡඵඥපමඥප’ පුවත්පතට (2004 ජූලි 18 වැනිදා) මේ පොත ගැන ලියූ විචාරයෙන් (මෙහි සිංහල පරිවර්තනය සිළුමිණ පුවත්පතේ 2004 අගෝස්තු 15 වැනිදා පළවිය.) මගේ මතය සත්‍යයක් බව තහවුරු කළේය. මේ ලිපි දුටු ගාමිණී මහතා “මේ පොතෙන් මා යළිත් උපත ලැබූ බව” දුරකථනයෙන් මට පැවසුවේය.
“මේ පොත කියවන්න. කියවලා ඔයගොල්ලෝ මට දැන් සලකනවට වඩා තවත් වැඩියෙන් සලකන්න. මමවත් දැනගෙන සිටියේ නැහැ. මගෙන් මේ රටට, ලෝකයට මේ වගේ සේවයක් ඉටු වෙලා තිබෙන බව” යැයි තම දූ දරුවන් අමතා ගාමිණී මහතා පැවසූ බව මට පසු කලෙක කීවේ ඔහුගේ දියණියක වන තනූජා ෆොන්සේකා සොහොයුරියයි. මේ ග්‍රන්ථය එළිදැක්වූ දිනට පසුව ගාමිණී මහතා ජීවත් වූයේ මාස 06ක් හා දින 08ක් පමණකි.
මගේ කෘතිය ජනගත වී ආසන්න දිනක එතුමා මට හමුවිය. “තව තව හොඳ දේවල් තමාගේ පොතේ තිබුණේ ….” යැයි පවසමින් ඔහු අමුතු සිනහවක් පෑවේය. එතුමා ඉන් අදහස් කළ දේ මට වහා වැටහිණ. එනම් 1983 වසරේ ගාමිණී සුමිත්‍රාවන්ගෙන් දුරස්ථ වූ කල පටන් 2004 වසර දක්වා ගෙවුණු 21 වසරක කාලයේ මේ යුවළ එකට සිටින සේයාරුවක් කිසිදු පුවත්පතක හෝ සඟරාවක පළ නොවුණි. මගේ කෘතියෙහි ඔවුන්ගේ මංගල සේයාරුව මතු නොව ඒ සුන්දර අතීතයේ බොහෝ සේයාරූ දිගු කලකට පසුව පළවී තිබුණි.
මා එසේ පළ කළේ එතුමාගේ කිසිදු පූර්ව විමසීමකින් තොරව හුදෙක් මාගේ අභිමතය පරිදිය. එය ගාමිණී මහතා මට මුවින් නොකීවාට යටි සිතෙන් අපේක්ෂා කළ අප්‍රමාණ ප්‍රේමයක් බව මම ඒ වන විට එතුමාගේ සිත් මඩිය කියවා පසක් කොට ගෙන සිටියෙමි. ගාමිණී සුමිත්‍රා යුවළගේ සේයාරූ යළිත් පුවත්පත්වල පළවීමට පටන් ගත්තේ ඉන්පසුවය.
ගාමිණී ෆොන්සේකා නමැති මහා රූපණවේදියා මුල්වරට සැබෑ ලෙසින් මට දැකගන්නට ලැබුණේ අසූව දශකයේ මුල් භාගයේ පැවති සරසවිය සම්මාන උළෙලකදීය. එතුමා උපත ලබා ඇත්තේ 1936 මාර්තු 21 වැනිදාය. මා උපන්නේ හරියටම ඊට හතළිස් වසරකට පසු එනම් 1976 මාර්තු 21 වැනිදාකමය. අහඹු ලෙස හෝ ගාමිණී ෆොන්සේකා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකුගේ ජන්ම දිනය දා උපත ලැබීමට මම භාග්‍යය ලැබූවෙමි. එය වඩා සුවිශේෂ කරුණක් වන්නේ පසුකලක එතුමගේ කලා දිවිය අලළා මා අතින් ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථය ඒ ජන්ම දිනය සමරමින් එළිදැක්වීම හේතුවෙනි. ෆොන්සේකා මහතා පිළිබඳව විධිමත් පර්යේෂණයක් කළ හැකි ආස්ථානයකට මා පත් කළ කුසල කර්මය එතුමා උපත ලැබූ දිනයෙහි උපදින්නට මා හට වරම් දුන්නේය. උපන්දිනේදා මා ගාමිණී මහතාට සුබ පැතූ කල්හි එතුමා “ඔබටත් එසේම වේවා”යි පැවසූ අයුරු කිසිදා අමතක නොවේ.
ඔහු තම ජීවිතයේ 50 වැනි වියට එළඹීම නිමිතිකොට (1986 මාර්තු 21) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැති විශේෂ පින්කමට තාත්තා මාද (දස හැවිරිදි) කැටුව ගියේය. ඉන් නොබෝ දිනකට පසුව ගාමිණී මහතාගේ ජා ඇල නිවසෙහි පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට අපට ඇරැයුම් ලැබිණ. එතුමා සමීපව දැක ගැනීමට මට අවකාශ ලැබුණේ මේ අවස්ථාවේදීය.
” ගාමිණී අයියේ, මේ මගේ පුතා උපන්නෙත් මාර්තු 21 වැනිදාමයි” කියමින් තාත්තා හඳුන්වා දුන් කල ගාමිණී මහතා මුල්වරට මා දෙස බැලුවේය. සුපුරුදු සිනහවෙන් මා හට සංග්‍රහ කළ එතුමා “ආ…. බලමු මේකාගේ අත” යැයි කියා මගේ සුරත ගෙන එහි රේඛා පරීක්ෂා කොට බලා අනාවැකියක් කීවේය. ඒ අනාවැකි මෙහිදී සඳහන් නොකරන්නේ එය මා පිළිබඳ ආත්ම වර්ණනාවක් විය හැකි බැවිනි.
මේ මහා රංගවේදියාගෙන් මා ලැබූ ප්‍රථම ආශීර්වාදය එය විය.
පියා විසින් සංස්කරණය කරන ලද හෙළ සිනමාවේ සක්විති ග්‍රන්ථය 1986 අප්‍රේල් 9 වැනිදා එළි දුටු දිනයත්, ඉන් නොබෝ දිනකට පසු අප එවක පදිංචිව සිටි දෙමටගොඩ මහල් නිවාසයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ගාමිණී මහතා හා එකී ග්‍රන්ථය මුද්‍රණය කළ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ලොකුමාන මහතා සහභාගී වූ අවස්ථාවත්, මගේ සුවිශේෂ සැමරුම් අතර තිබේ.
මා කලක් ප්‍රකාශන සංස්කාරක ලෙස සේවය කළ, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ වකවානුවේ එහි ප්‍රධාන නිලයකට සම්මුඛ පරීක්ෂණයකින් පසුව තාත්තා තෝරාගෙන තිබේ. එහෙත් පසුව තාත්තාට එය අහිමිව ගියේ ෆොන්සේකා මහතා සමඟ ඔහු පැවැත්වූ සමීප මිත්‍ර සබඳතාව එකල එහි බලධාරීන්ට වහ කදුරක් වූ බැවිනි. මේ සිද්ධිය තාත්තා ලියූ “කොස්ගස් හන්දිය” කෘතියෙහි සඳහන් වේ. ගාමිණී මහතා කෙරෙහි මගේ මව්පියන් තුළ පැවතියේ අසීමිත ගෞරවාදරයෙකි. 1989 දී මගේ මව් (දමයන්ති ජයසූරිය) බලවත් සේ රෝගාතුර වූ අවස්ථාවේ එතුමා ඊට සුදුසු විශේෂඥ වෛද්‍යවරයකුද (වෛද්‍ය බෙන් සෙල්වදුෙරෙ) නිර්දේශ කරමින් අපට පිහිට වූයේය. සෑම අවස්ථාවකදීම එතුමා සමඟ කතාබස් කිරීමට මම විශාල ඇල්මකින් පසු වුණෙමි.
එතුමා කෙබඳු ගති පැවතුම් ඇති පුද්ගලයකු දැයි මම විමසීමි. ඔහු යම් කෙනෙක් සමඟ ලෙහෙසියෙන් මිතුරු නොවන, තමාගේ හිතට අල්ලනතුරු කතා බස් නොකරන, තාත්තාට කෙතරම් සමීප මිත්‍රයකු වූවත් ඒ හේතු කොට මා සමඟ මිතුරු නොවන, ගණයේ පුද්ගලයෙකු බැව් මට ක්‍රමයෙන් පසක් විය. ගාමිණී මහතා ක්ෂේත්‍රය තුළ කළ කී දෑ ඇසීමෙන් හා දැකීමෙන් අදීන කලාකරුවකු ලෙස ඔහු අනුදත් සෘජු ප්‍රතිපත්ති පිළිබඳව මා තුළ බලවත් පැහැදීමක් ඇති විණ.
මගේ කුලුඳුල් ග්‍රන්ථය වූ ‘ අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණතාව’ (1999) හි පිටපතක් තාත්තා අත එතුමා වෙත යැවීමට අවශ්‍ය විය. එහෙත් ෆොන්සේකා මහතා එය ඉතා ඉක්මනින් කියවා බලා ඒ පිළිබඳව යමක් පවසතැයි මම සිහිනයකිනුදු නොසිතුවෙමි. නොබෝ දිනකින් මට දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ ගැඹුරු ස්වරය මම හඳුනාගතිමි.
“අර පොත හොඳා. හැබැයි මීට පස්සේ පොත් ලියනකොට, උගතුන්ට විතරක් නෙවෙයි; හැමෝටම කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්න.’
මගේ පොත පිළිබඳ එතුමාගේ විචාරයෙහි එලෙස ඔවදනක් ගැබ් වී තිබිණ.
2000 වසරේ අග භාගයේදී විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සෙනෙහසේ නවාතැන’ වැඩසටහන සඳහා මම ෆොන්සේකා මහතා සම්බන්ධ කොට ගතිමි. එහි පිටපත ලියා මෙහෙයවන ලද්දේ මා විසිනි. ඉන් දස වසරකට ඉහත එනම් 1990දී මා පියාණන් පිටපත ලියා මෙහෙයවූ (ජනක මල්ලිමාරච්චි අධ්‍යක්ෂණය කළ) ශිල්පි සඳැල්ල’ රූපවාහිනි වැඩසටහන සඳහාද එතුමා සහභාගී වූයේය.
‘සෙනෙහසේ නවාතැන’ රූගත කරනු සඳහා ගාමිණී මහතාගේ ජාඇල නිවසට ගිය අවස්ථාවේ සිගරට්ටුවක් දල්වා ගත් ඔහු මගෙන් මෙසේ ඇසුවේය.
“දැන් මොනවද තමා මගෙන් අහන්නේ”. මම වැඩසටහනේදී ඔහුගෙන් ඇසීමට අපේක්‍ෂා කළ ප්‍රශ්න එක දිගට කියාගෙන ගියෙමි.
“ම්…. හොඳයි. අපි වැඩේ කරමු. හැබැයි මම ඔයාගේ සර් නෙවෙයි, අන්කල්.” ඔහු එසේ කීවේ මා එතුමන්ට “සර්” කියා ඇමතු හෙයිනි.
“ඒ වුණාත් සර්, අපි පිදිය යුත්තන් පුදන්න ඕනෑ නේද?” එවිට මා කීයෙන්,
“පිදිය යුත්තෝ? කොහෙද එයාලා ඉන්නේ? ” යැයි විහිළුවක් කරමින් ගාමිණී මහතා ඇසුවේය.
සෙනෙහසේ නවාතැන විකාශය වී නොබෝ දිනකින් පසුව මම ෆොන්සේකා මහතා හමුවීමට ජාඇල ගියෙමි.
“”How was the Programme”” එතුමා මගෙන් විමසීය.
” I think we have done well, sir.” මම පැවසීමි. එවිට එතුමා ” No Dear, I think it is an unusual interview ” යනුවෙන් සඳහන් කරමින් වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය පළ කළේය.
එදින ෆොන්සේකා මහතා දෙවැනිවර මගේ සුරත ගෙන එහි රේඛා පිරික්සා බැලීය. වසර 14කට ඉහත මුල්වරට මගේ අත බැලූ අවස්ථාවට වඩා එදින මා දුටු එකම වෙනස එතුමා ඒ සඳහා උපැස් යුවළක් පැලඳ ගැනීමය. ගාමිණී මහතා මා පිළිබඳව කී දෙවැනි අනාවැකිය ද ආත්ම වර්ණනාවක් විය හැකි බැවින් මම නොදක්වමි.
එදින මා ඔහුගේ දෙපා නමැද නිවසින් පිටත්වන අවස්ථාවේදී ගාමිණී මහතා “Come here, you are my son” යැයි කියමින් මා තුරුලු කොට ගත්තේය. සැබැවින්ම එවක් පටන් එතුමා මට සැලකුවේ තමාගේ දරුවකු පරිද්දෙනි.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව සඳහා මා ගාමිණීගේ රූපණවේදය අධ්‍යයනය කිරීමට ව්‍යාවෘත වූ සමයේ එතුමාගේ නිවසට මම කිහිපවරක් ගියෙමි. සිගරට්ටුවකින් භාගයක් උරා එය ඇඟිලි දෙකෙන් කරකවා වීසි කොට නැවත සිගරට්ටුවක් දල්වා ගනිමින් ගාමිණී මහතා මුළු දවසම මා සමඟ කතා කළේය. ඔහු මට සංග්‍රහ කළේද පියකු පරිද්දෙනි.
විටෙක එතුමා තම මුවට ඇඟිලි තබා මා දෙසවන්හි දෝංකාර දෙන විසිල් නාදයක් නිකුත් කරනු දක්නට ලැබේ. ඒ හඬින් නිවසේ සේවකයෙකු හෝ සේවිකාවක පැමිණ මා හට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම ස්වභාවයකි. නොඑසේ නම් ගාමිණී මහතාට ප්‍රාණය මෙන් ආදරය කළ ‘මැගී’ හෝ ඒ වර්ගයේ සුරතල් සුනඛයෙකු පැමිණ එතුමාගේ පාද ස්පර්ශයෙහි පහස විඳීමින් මහත් ස්නේහයෙන් දැවටෙන අයුරු දැක්ක හැකිය.
2002 වසරේ හෘදයාබාධයකින් පීඩා ලැබ රෝහල්ගත වූ ගාමිණී මහතාට බයි පාස් සැත්කමක් කිරීමට වෛද්‍යවරුන් සූදානම් වූ නමුත් ඔහු තරයේ එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ‘ටිකට් එක ආ දාට තමා යා යුතු’ බවය.
මගේ ග්‍රන්ථය මුද්‍රණය සඳහා සූදානම් කෙරෙමින් තිබිණ.
මෙතෙක් අප අතින් ඉටු නොවුණු යුතුකමක් එතුමා වෙනුවෙන් ඉටු කළ යුතුව තිබිණ. මේ ජාතික වස්තුව රැක දෙන ලෙස මම දෛනිකව බුද්ධ වන්දනා කොට දෙවියන්ට පින් දී ඉල්ලා සිටියෙමි. කලාකරුවකුට උපහාර දැක්විය යුත්තේ ඔහු හෝ ඇය ජීවත්ව සිටින විටදීය.
එවර ගාමිණී මහතා සුවපත්වීම ජාතියේ භාග්‍යයෙකි. එතුමා සුවපත්වීමෙන් පසු ඔහු බැලීමට ගිය අවස්ථාවේ මම මෙසේ ඉල්ලීමක් කළෙමි.
“සර් අපට ආදරේ නම් ආයේ කවදාවත් සිගරට් බොන්න එපා. සර් අයිති සර්ට නෙවෙයි. මේ රටට. මේ ලෝකයටම. සර්ගේ වටිනාකම සර් තවම දන්නේ නැද්ද? එවිට මා ඇසූ කල ගාමිණී මහතා සිනාසෙමින් නිහඬව සිටියේය. ඔහුගේ දෙනෙතට කඳුළු පිරී ඇති බව මම දුටිමි. මගේ කෘතිය මුද්‍රණය වනතෙක් කියවීමට නොඉල්ලීමෙන් එතුමා මගේ ස්වාධීනත්වයට ගරු කළේය.
එතුමා පිළිබඳ ග්‍රන්ථයක් මා ලියන වගේ ඇසූ ප්‍රවීණ අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතා (ගාමිණිගේ දියණිය තනූජා හා විවාහ වූ) මට වැදගත් කරුණක් හෙළි කළේය. ඒ අනුව මම සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය (ගාමිණී ගේ බිරිය) හමුවීමට ගියෙමි.
“මං ගාමිණීගේ පින්තුර ඉල්ලුවට කාටවත් දෙන්නේ නැහැ. නමුත් ඔයාව මට විශ්වාසයි.” කී ඇය එතෙක් කිසිවකු උදෙසා විවෘත නොවූ කළුවර ලීයෙන් කළ පෙට්ටගම විවෘත කළාය. අසල සිටි දමිත්ද දැඩි අවධානයකින් ඒ දෙස බලා සිටියේ ඔහුටද කලකින් එහි තිබූ දුර්ලභ ඡායාරූප දැකගත නොහැකි වූ නිසාය. ගණනය කිරීමකින් තොරව එතුමිය මේ ඡායාරූප විශාල සංඛ්‍යාව මට භාර කරද්දී “තාත්තාගේ හොඳම පින්තූර ජධතතඥජබඪධද එක දැන් තියෙන්නේ ඔයා ළඟ” යැයි දමිත් කීවේය. මම ඒ සියලු සේයා රූ වෙනත් ඡායාරූප ද සමඟ මගේ ග්‍රන්ථයට ඇතුළත් කොට ඉතා සුරක්ෂිතව යළිත් සුමිත්‍රා මහත්මියට පැවරුවෙමි.
2004 වසරේ අවසන් වරට ගාමිණී මහතා සිය ජාඇල නිවසේදී හමුවූ දිනය මහත් සංවේගයක් දනවමින් මා හට
සිහිපත් වේ. මා ඒ වනවිට එළිදැක්වීමට සූදානම් වෙමින් සිටි ‘ ශ්‍රී ලාංකේය සිනමා වංශය’ ග්‍රන්ථයට එතුමා අනර්ඝ පෙරවදනක් ලියා දුන්නේය. එය ගාමිණී මහතා තම 68 වසරක ශ්‍රේෂ්ඨ ජීවන සමය තුළ ග්‍රන්ථයක් උදෙසා ලියූ ප්‍රථම හා එකම පෙරවදන විය.
ඒ ග්‍රන්ථයේ සෝදුපත් පෙරළා බැලූ එතුමා මේ පිළිබඳ අතිශයින් සතුටට පත්ව එය හැකි ඉක්මනින් එළිදක්වන්න යැයි මට කීවේය. (ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය එළි දුටුවේ 2005 වසරේදීය. ඒ වනවිට ගාමිණි මහතා ජීවිතයෙන් සමුගෙන තිබිණ. ) එදින ගාමිණී මහතාගේ දෙපා නමැද මා සමුගත් අවස්ථාවේදී ඔහු නිවස ඉදිරිපිට තිබූ සමන්පිච්ච මල් ගසෙන් මල් කඩා මා අත තැබුවේය. ඔහුගේ දෙනතෙහි කඳුළු පිරී තිබෙනු මම දුටිමි. හුදෙකලාව වසන වරෙක සිංහයකු, විටෙක සංවේදී කුඩා දරුවකු, බඳු මේ මහා කලාකරුවා තනිකොට යාම මට මහත් වේදනාවක් ගෙන දුන්නේය. මම අවසන් වරට වාහනය පසුපස වීදුරුවෙන් ජාඇල නිවසේ සමන් පිච්ච මල් ගස ළඟ සෘජුව සිටගෙන සිටින ප්‍රතාපවත් මේ මහා රූපණවේදියා දෙස බැලුවෙමි. ජීවමානව මා එතුමා දුටු අවසන් වතාව එය විය.
ගාමිණී ෆොන්සේකා රංගේශයාණන් කීර්තිශේෂ භාවෝපගතවී පසුගිය 30 වැනිදාට 20 වසරකි.
එනම් සිනමා සක්විති නික්ම ගොසින් වසර විස්සකි. තවමත් ඒ අසුන හිස්ව එලෙසින්මය.
“මේ අවදියෙන් සිටිය යුතු වේලාවයි”. ගම්භීර හඬෙන් එතුමා මට දුන් අවසන් උපදෙස මගේ දෙසවන දිවි ඇති තුරා දෝංකාර දෙනු නිරනුමානය.
සංරක්ෂිත ඡායාරූප – විනීතා කරුණාරත්න
ආචාර්ය නුවන් නයනජිත් කුමාර