මේ දිනවල තිරගත වන විශ්ම සිනමාපටය බොහෝ දෙනකුගේ අවධානය ට ලක්වන සිනමා නිර්මාණයක් ලෙස හඳුනා ගත හැකි වන්නෙ එහි වෙනස් කතා තේමාව නිසාය. අතිශය මායා ගුණයක් සහිත කතා තේමාවකින් ඇරැඹි ඒ ඔස්සේ යන මේ සිනමා නිර්මාණය සිනමාවට අදාළ ගුණාංග රාශියක් පරිපූර්ණ කරමින් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබේ .මේ ඒ පිළිබඳ එහි අධ්යක්ෂ රන්දික විජේමාන්න සමඟ කළ කතා බහකි
විශ්ම ඔබේ පළමු සිනමා නිර්මාණය. ඒ අත්දැකීම් ගැන කතා කරමු.
විශ්ම ටිකක් වෙනස් කතාවක්. ටිකක් මායා කතාවක් වගෙත් පේන, හැබැයි වෙනස් කතාවක්. කුඩා දරුවකු වටා ගෙතෙන කතාවක් ලෙස ඔබ එය දකින්න පටන් ගන්නේ. ටිකක් අභියෝගාත්මක අවස්ථාවක් නිර්මාණයක් විදිහට. හැබැයි එය සාර්ථක යි කියල විශ්වාස කරනවා.
මෙය යම් විදියක පරිකල්පිත කතාවක්. මොකක්ද මෙයින් අරමුණු කළේ ?
මෙහි පිටපත ලියවෙන්නෙ මෙහි නිෂ්පාදකවරුන් අතින්මයි. ඒක විශේෂයි. රුහුණගේ සඳමාලි හා ශිරාජ් රසීන් අතින්. එතනදී මම නිතරම ම විශ්වාස කරන දෙයක් තමයි ෆිල්ම් කියල කියන්නේ ෆැන්ටසි එකක් කියන දේ. අපි සාමාන්‍යයෙන් ලෝකයේ දකින දේම එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන දේවල් ම ෆිල්ම් වෙන්න ඕන නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නෙ. එතකොට මේ කතාව ඇතුළෙත් ඒ ෆැන්ටසිය එහෙම ම තිබුණා. එහෙම නැත්නම් ඒ මායා ගුණය තිබුණ. එතකොට ප්‍රේක්ෂකයෙක් සිනමා හලකට එන්නෙ විවේකයක් ගන්න, එහෙම නැත්නම් වෙනසකට. එතකොට ප්‍රේක්ෂකයා එළියට එන්න ඕන වින්දනයක් ලබාගෙන කියන තැන මම හිටියේ. ඉතින් මේ චිත්‍රපටයේ ඒ ප්‍රේක්ෂකයා අපේක්ෂා කරන ගුණය තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ වෙනස තමයි මේ චිත්‍රපටය පුරාම ඒ සතුට වින්දනය තියෙනවා. නමුත් මේක කොමඩි ගණයේ චිත්‍රපටයක් ද නොවේ. ඉතින් ගොඩක් අය මේ වෙනස මත මේ කතාවට කැමතියි. ඒ වගේම මෙහි නිරූපණයට දායක වූ සියලු ම ශිල්පීන් ඔවුන්ගේ උපරිම දායකත්වයත් මීට දී තියෙනවා. ඒ සියලු දායකත්වයන් එක්ක ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂකයන් ට දෙන්න පුළුවන් වුණා. මේ වන විට ඊ ඒ පී ඇතුළු සිනමාහල් ගනණාවක විශ්ම තිරගත වෙනවා.
නිර්මාණකරුවකු ලෙස වැඩ කටයුතු කරද්දී අත්දකින ගැටලු මොනවාද ?
මේ මගෙ පළමු චිත්‍රපටය. එතකොට මම අවුරුදු විස්සකට ආසන්න වූ කාලයක් සංස්කාරකවරයකු විදිහට විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහිතයි. ඒ වගේම ශබ්ද ඉංජිනේරුවකු විදියටත්. ඒ අත්දැකීම් එක්ක මට හැඟෙන්නේ තාක්ෂණික පැත්තෙන් චිත්‍රපට කරන්න අපට ලොකු බාධාවක් නැහැ. නමුත් අනිකුත් අංශවල ගැටලු යම් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්.
එකක් තමයි චිත්‍රපට නිදහස් කර ගැනීමේ ගැටලුව. ඒක බෙදා හැරීම හා සම්බන්ධ ගැටලුව සමග හඳුනා ගන්න පුළුවන් දෙයක්. ඊළඟට කොළඹ සිනමාහල්වල තිබෙන ගුණාත්මක අංග කොළඹින් පිටත දී අපි ට අත්දකින්න අමාරුයි. කොළඹ අපි අත්විඳීන ශබ්දයේ ගුණාත්මක බව, රූප දසුන්වල ගුණාත්මක බව ඉතා අඩුයි. ඒක ගොඩක් විශේෂ යි. නමුත් ඒ පළාත්වලත් ඉන්නෙත් අපි වගේම සෙනඟක්නෙ. ඒ නිසා ඔවුන්ටත් ඒ සිනමා අත්දැකීම ම ලබාගන්න අවස්ථාවක් තිබිය යුතුයි. ඒ නිසා ඒ සිනමාශාලා ඒ ඒ අංශ ඔස්සේ නවීකරණය විය යුතුයි.
ප්‍රේක්ෂකයන් සිනමාහලකට යන්න වඩා බලපාන කාරණා මොනවාද ?
පසුගිය සමයේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවෙන් ඈත් වී සිටියත් දැන් ඒ තත්ත්වය වෙනස්. ප්‍රේක්ෂකයන් සිනමා සිනමා ශාලාවට එන්න පටන් ගෙන තියෙනවා. සිනමාව කෙරේ ඔවුන්ගේ පිබිදීමක් තියෙනවා. ඉතා දීර්ඝකාලයකට පසු සිනමා ශාලාවට පැමිණි ප්‍රේක්ෂකයන් මට හමුවුණා. මිලි මීටර් තිස්පහේ චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂකයන් පසුකාලීනව ඉන් ඈත් වීමක් සිදු වුණා. නමුත් අද ඉතා දියුණු තාක්ෂණයක් සහිතව චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඇත්තටම සිනමාපටයක් නැරැඹිය යුත්තේ ඒ අදාළ වටපිටාවක් තුළමයි. මොකද සිනමාපටයකට අදාළ අංශ ගණනාවක අත්දැකීම් පෙළ නිවසේ රූපවාහිනිය හෝ වෙනත් කුඩා තිරයක් ඔස්සේ නැරැඹීමෙන් ගන්න බැහැ. තාක්ෂණය හඬ දසුන් මේ සියලු දේ හරිම ගුණාත්මකව විඳීන්න පුළුවන් විදිහේ තාක්ෂණ පහසුකම් ඇති සිනමාහල් අප සතුයි. හැබැයි ප්‍රශ්නෙ සමහර විට ප්‍රේක්ෂකයන් මේ දේවල් ගැන දන්නෙ නැහැ. ඒ අය එක පාරක් හරි ඒ වගෙ සිනමාහලකට ගියොත් තමයි මේ දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නෙ. මොකද ලෝකයේ දියුණු ම තාක්ෂණය එක්ක සමගාමීව ගොඩනැඟුණු සිනමා නිර්මාණ මෙහි විඳීන්න අවස්ථාව තියෙනවා. හැබැයි දැන් මිනිස්සු මේ ගැන යම් අවබෝධයක් ඇතිව සිනමහලකට එනව. ඉතින් ඒ අය දිගටම ඊට නැඹුරු වෙනව. විශේෂයෙන් මම කලිනුත් කිව්වා වගෙ කොළඹින් පිට පළාත්වල සිනමාහල්වල තත්ත්වයත් සමගාමී ව ඉහළට ගෙන ඒමෙන් මේ තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන්. ඒ එක්ක ම කියන්න කැමතියි මේ වාගෙ හොඳ ගුණාත්මක බවින් පවත්වාගෙන යන ඉතා දුර බැහැර සිනමාහලුත් මට හමුවී තියෙනවා. ඒක සතුටක්. ඉතින් ප්‍රධාන ම දේ නූතනයේ ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම් ගන්න පුළුවන් කියන දේත් මනාව සන්නිවේදනය විය යුතුයි. සිනමා නිර්මාණයේ වගේම ඒ ඒ සිනමාහල්වල ඇති විශේෂත්ව තාක්ෂණික පහසුකම් ගැන ප්‍රේක්ෂකයන් ට අවබෝධය ලබාදීම හරි වැදගත්.
මේ අවධියේ දක්නට ලැබෙන නිර්මාණ පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?
ඕනෑම නිර්මාණයක මූලික ම දේ තමයි පිටපත. එකත් පිටපත. දෙකත් පිටපත. තුනත් පිටපතයි. පිටපත හරියාකාරව ලියැවුණොත් ඕනම නිර්මාණයක් සාර්ථකයි. ඒ නිසා පිටපත හරියට ම තියෙන්න ඕන.
ඊළඟට ටෙලි නිර්මාණය හා සිනමාව කියන්නෙ නිර්මාණ විධි දෙකක්. ඒක කවදාවත් එකට ළං නොවන හා යානොවන දෙකක්. එය හරියට තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. ඒ වගේම පිටපත් ගත්තහම හොඳ පිටපත්වල ගැටලුවක් නැහැ. හොඳ පිටපත් තියෙනවා. දකින ලොකුම ගැටලුව තමයි මේ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට යවා ගැනීමේ ගැටලුව. නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්න බාධා වන ගැටලු ටික හඳුනා ගෙන ඒවා නිරාකරණය කර ගන්න පුළුවන් නම් නිර්මාණ ප්‍රේක්ෂකයන් ට සමීප කරන්න පුළුවන් .
ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද ?
තව නිර්මාණ දෙකක් ඉදිරියට එන්න තියෙනවා. චිත්‍රපට දෙකක්. එකක් ළමා චිත්‍රපටයක්. අනික පවුලේ සියලු දෙනාටම නැරැඹිය හැකි චිත්‍රපටයක්. ඒ නිසා සිනමාවට වැඩි අවධානයක් දෙමින් මේ අවධියේ කටයුතු කරනවා. මගෙ මූලික අවධානය යොමු වෙන්නෙ පිටපතක් කොච්චර සිනමාත්මක ගුණයෙන් පූර්ණ ද කියන දේට. එය කොයිතරම් දුරට සිනමාවට ගළපගන්න පුළුවන් ද කියන කාරණය මත නිර්මාණකරණයට ප්‍රවේශ වෙනවා
දැන් විශ්ම ගත්තම ඒ කතාවෙම තිබුණ ඒ ෆැන්ටසිය. ඒ වගේම මේ පිටපත ලිව්වෙත් මෙහි නිෂ්පාදකවරු. ඉතින් ඒ හැම අංශයකින්ම මට ලොකු සහයක් ලැබුණ. ඒත් එක්ක මගෙ දැනුමත් අදාළ කර ගත් විට විශ්ම කියන සිනමා නිර්මාණය ගැන සතුටුයි.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල