Home » විවිධ රසයෙන් වර්ණයෙන් සුසැදි ‘කොක්ටේල්’

විවිධ රසයෙන් වර්ණයෙන් සුසැදි ‘කොක්ටේල්’

නාට්‍යවේදී සංජීව බෝගහවත්තගේ

by Thanushika
March 27, 2025 10:40 am 0 comment

කොක්ටේල් රසවිඳීන්න ඔබත් කැමැතියි ද..? එසේනම් ඒ සඳහා අවස්ථාවක් පසුගියදා ඔබට ලැබිණි. කෙටි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සංජීව බෝගහවත්තගේ ගේ නාට්‍ය නිර්මාණ රැසක් එකපොකුරට රසවිඳීන්න පසුගිය 22 වැනිදා ඔබට අවස්ථාව ලැබිණි. එය ඔබට නැවුම් අත්දැකීමක් වේවි. ‘කොක්ටේල් 02’ ලෙස නම් කර තිබූ මෙම කෙටි නාට්‍ය උළෙල පිළිබඳවත් සිය නිර්මාණ පිළිබඳත් කතා කිරීමට සංජීව බෝගහවත්තගේ සරසවිය හා මෙසේ සම්මුඛ විය.

මොකද්ද මේ “කොක්ටේල් 02” කියන්නේ …?

අපි මුල්වරට 2024 පසුගිය වසරේ “කොක්ටේල්” නමින් කෙටි වේදිකා නාට්‍ය පොකුර ඉදිරිපත් කරනවා. පසුගිය වසරේ “කොක්ටේල්” වේදිකා නාට්‍ය පොකුර සඳහා මම ඉදිරිපත් කළේ “මංමුළා” නමැති කෙටි වේදිකා නාට්‍යය විතරයි . මෙවර “කොක්ටේල් 02” සඳහා “මංමුළා, අයන් හාර්ට්, වෙලාවට කලින් කලාවට” යන කෙටි වේදිකා නාට්‍ය ත්‍රිත්වයම ඉදිරිපත් කළා. එයට මම අසංක සායක්කාරගේ “නයන ලලන” නමැති කෙටි වේදිකා නාට්‍යයත් ඉදිරිපත් කළා. මෙහි එන වේදිකා නාට්‍ය හතරම එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුත් නිර්මාණයි..

මේ කෙටි වේදිකා නාට්‍ය උළෙලට “කොක්ටේල්” නම යොදන්න විශේෂ හේතුවක් තිබුණද….?

කුකුළාගේ පිහාටු විවිධ වර්ණයන්ගෙන් සමන්විතයිනේ. කොක්ටේල් නමැති බීම වර්ගයට ඒ නම යොදාගෙන තියෙන්නේ විවිධ වර්ණයන්ගේ, විවිධ රසයන්ගේ සංකලනයන් නිසා. මේ නාට්‍ය පොකුරට විවිධ රසයෙන්, විවිධ අර්ථයෙන් යුතු නාට්‍ය 04ක් ඇතුළත් වුණා. එම නිසා අපිත් කල්පනා කළේ මේ නාට්‍ය පොකුර සඳහා “කොක්ටේල්” නම ඉතා උචිතයි කියලාත්.

මේ උළෙලට වේදිකා නාට්‍ය තෝරාගන්නේ කුමන පදනමකින්ද…..?

මගේ නාට්‍ය ත්‍රිත්වය “මංමුලා, අයන් හාර්ට්, වෙලාවට නැතත් කලාවට” නාට්‍ය තුන එකකට එකක් වෙනස් ආකාරයේ නාට්‍යයි. මම තීරණය කළා ඒ නාට්‍ය ත්‍රිත්වයට වඩා වෙනස් අර්ථයක් සහිත නාට්‍යයක් එකතු කරන්න. ඒ හින්දා මම තීරණය කළා අසංක සායක්කාරගේ “නයන ලලන” වේදිකා නාට්‍යය කොක්ටේල් නාට්‍ය පොකුරට එකතු කරන්න…

අසංක සායක්කාරගේ “නයන ලලන” තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද…..? අසංක සායක්කාරගේ වේදිකා නාට්‍ය මම මීට කලින් නරඹා තිබුණා . “නයන ලලන” වේදිකා නාට්‍යය ගැඹුරු අරුතක් සහිත වෙනස්ම මාදිලියේ නාට්‍යයක් විදිහට මට හැඟී ගියා. විවිධ රසයෙන් යුක්ත නාට්‍ය තෝරාගැනීමේදී “නයන ලලන” තුළ මා ඒ විශේෂත්වය දුටුවා

මෙවර පවත්වුයේ “කොක්ටේල් 02” යි. “කොක්ටේල් 01” මතකය මොනවගේද …..?

“කොක්ටේල් 01” මගේ ප්‍රථම නාට්‍ය පොකුරයි…එය මගේ මූලික පියවරයි. මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මම ඒක ඉදිරිපත් කළා. මා එහිදීද වඩාත් යොමුවූයේ විවිධ රසයෙන් යුක්ත යම් දෙයක් ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා ලබාදීමටයි. මගේ පළමු වෑයම පිළිබඳ සතුටක් තිබෙන්නේ . ප්‍රථමයෙන් “කොක්ටේල් 01” වේදිකා නාට්‍ය පොකුර කරද්දි මම නිර්මාණය කර තිබුණේ එක් වේදිකා නාට්‍යයක් විතරයි . ඒ “මංමුළා” වේදිකා නාට්‍යයයි. ඊට අමතරව “කොක්ටේල් 01” සඳහා වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ වේදිකා නාට්‍ය ත්‍රිත්වයක් ඉදිරිපත් කර තිබුණා. ඒ අමිල චින්තක ගමගේගේ “මරණය අරහං”, පූර්ණජිත් අනුරාධගේ “තුංතුඹ මල්”, සංජීව ගුණරත්නගේ “ස්නයිපර්” යන නාට්‍ය ත්‍රිත්වයයි….

ඔබේ නිර්මාණ ත්‍රිත්වය “කොක්ටේල් 02” නාට්‍ය පොකුරට එක් කරගන්න විශේෂ හේතුවක් තිබුණද….?

මගේ මේ නාට්‍ය ත්‍රිත්වය එකිනෙකට වෙනස් අරුතක් සහිත නාට්‍ය. “මංමුළා” කෙටි වේදිකා නාට්‍යයෙක් කියවෙන්නේ අනෙකා මංමුළා කර රවටමින් තමනුත් රැවටෙමින් මංමුළාවීම ගැනයි. එය සමාජයට පණිවිඩයක් දෙන අර්ථවත් නිර්මාණයක් . “අයන් හාර්ට්” නාට්‍ය ගතහොත් නවීන තාක්ෂණය මිනිසා අබිබවා යෑම ගැනයි එයින් කතා කරන්නේ. එසේම ප්‍රේමයෙන් සක්‍රිය වූ යකඩ හදවත් පිළිබඳව ද එයින් නිරූපණය කෙරෙනවා. “වෙලාවට නැතත් කලාවට” නාට්‍යයෙන් කියවෙන්නේ සපතේරු කර්මාන්තය හෙවත් පාවහන් කර්මාන්තය ගැනයි. සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් පාවහන් කර්මාන්තයේ නියැළෙන්නන් පිළිබඳ හාස්‍ය රසයෙන් යුත් නාට්‍යයක් ලෙස එය හඳුන්වා දිය හැකියි..මේවා එකිනෙකට වෙනස් රසයෙන් යුතු නිසා “කොක්ටේල් 02” සඳහා යොදාගැනීමට තීරණය කළා

කලා ලොවේ ඔබේ ගුරුවරුන් ලෙස සැලකිය හැකි පිරිස ගැන මතක් කරනවා නම් ….?

මම රංගනය හදාරන්නේ අනුර වරාගොඩ ගුරුවරයා යටතේයි. ඉන්පසු සුදර්ශි ආයතනයේ දී මහේන්ද්‍ර පෙරේරා , සුගත් සමරකෝන් , හර්ෂණ වික්‍රමසිංහ යන පිරිසගෙනුත් ඊට අමතරව සිනමා විද්‍යාඥ ගිවන්ත අර්ථසාද්, කිත්සිරිමෙවන් ජයසේන, ලලිත් කළුබෝවිල යන අයගෙනුත් රංගනය පිළිබඳ හදාරා තිබෙනවා. තවද එම ගුරුවරුන් යටතේ සටන් කලාව, ඔරු පැදීම, අසුන් පැදීම ආදී රංගනයට අවශ්‍ය ක්‍රියාකාරකම් පුහුණු වෙනවා. ඒ අතරතුර මම වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට රූපරචනය සඳහා රංගනයෙන් දායක වෙනවා. කලාව පිළිබඳ හැදෑරීමෙන් පසුව පසුතල නිර්මාණයට, රංග භාණ්ඩ නිර්මාණයට ද පිටපත් රචනයට ද මම පසුකාලීනව යොමුවෙනවා.

වේදිකා නාට්‍ය කලාව තුළ ඔබේ භූමිකාව කෙටියෙන් කීවොත් ……?

වේදිකා නාට්‍ය කලාව තුළ අධ්‍යක්ෂණය, පිටපත් රචනය, ගීත රචනය, පසුතල නිර්මාණය, රංග භාණ්ඩ නිර්මාණය යනාදී භූමිකා මා නියෝජනය කරනවා

වත්මන් වේදිකා නාට්‍ය කලාව ගැන මොකද සරලවම සිතෙන්නේ…..?

වර්තමානයෙහි නව අත්හදාබැලීම් , පර්යේෂණ සහිත වේදිකා නාට්‍ය නැතිවාම නෙවෙයි. එහෙත් සමහර පිරිසක් මුදල් ඉපයීමේ පටු අරමුණින් නාට්‍ය කියා කුමක් හෝ දෙයක් නිර්මාණය කර ප්‍රේක්ෂකයාට පෙන්වනවා. ඉන් ප්‍රේක්ෂක රසවින්දනය මොටවීමකුයි වෙන්නේ. ඒවගේම නව පරපුර තුළ සෑහීමකට පත්විය හැකි තරුණ නාට්‍යකරුවන්, රංගන ශිල්පීන් අපට දැකගන්නට ලැබෙනවා. නාට්‍ය කලාවේ අනාගතය පිළිබඳ එය සතුටට කරුණක්

මෙරට වේදිකාව හා ප්‍රේක්ෂකයා අතර ගනුදෙනුව කෙසේ සිදුවිය යුතුදැයි ඔබ සිතන්නේද…..?

මෙරට වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයා බුද්ධිමත් . එහෙත් ඔවුන්ට විශාල මුදලක් වියදම් කර නාට්‍ය නැරඹීමට තරම් ආර්ථික ශක්තියක් නැහැ. එනිසා ප්‍රේක්ෂකයාට දැරිය හැකි මිලකට ටිකට්පත් නිකුත් කිරීම සිදුවිය යුතුයි කියා මා සිතනවා. එමෙන්ම නිර්මාණාත්මක මෙන්ම ගුණාත්මක බවින් පරිපූර්ණ, අර්ථ රසයෙන් යුක්ත නිර්මාණ වේදිකාගත කිරීමට නාට්‍යකරුවන් උත්සාහ කළයුතුයි. අද ප්‍රේක්ෂකයා බොහෝ බුද්ධිමත්. එබැවින් නිර්මාණකරුවා සවිඥානිකව තම නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත මුදාහැරිය යුතුයි

වේදිකාවේ ප්‍රේක්ෂක ආගමනය එදා සහ අද වෙනස ඔබ කෙසේද දකින්නේ …..?

මීට වසර කිහිපයකට පෙර රංග ශාලාවල ප්‍රේක්ෂකයා පිරීඉතිරී යන බවක් අපි දකිනවා. වේදිකා නාට්‍ය කලාවේ ඉතිහාසය අධ්‍යයනයේදී අපට ඒ සඳහා සාක්ෂි සපයනවා. අද රටේ ආර්ථික අවපාතය හේතුවෙන් ඒකපුද්ගල ආදායම පහළ ගිහින්නේ. අද වේදිකාව වෙනුවෙන් මුදලක් වැයකිරීම ගැන ප්‍රේක්ෂකයාට දෙවරක්ම සිතන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය නාට්‍යකරුවාටත් තදින්ම බලපානවා. විශේෂයෙන් නිෂ්පාදකවරයාට. මෙහිදී බාල, සරල, බොළඳ නිර්මාණ බිහිවීමකුත් දකින්න ලැබෙනවා. ඒ පිළිබඳ රාජ්‍ය මට්ටමින් හෝ වගකිවයුතු ආයතන යම් පියවරක් ගන්නේ නම් එය ඉතා අගය කොට සලකනවා.

චිත්‍රපට සහ ටෙලිනාට්‍යවලට ඔබේ දායකත්වය මොනවගේද …..?

චිත්‍රපට කිහිපයකට රංගනයෙන් මම දායක වී තිබෙනවා. “ද නිව්ස් පේපර්” චිත්‍රපටයේ යාචකයකුගේ චරිතයක් නිරූපණය කළා. “ෆේස් ටු ෆේස්” චිත්‍රපටයේ සටන් ජවනිකාවක් කළා. “පෝරිසාදයා” චිත්‍රපටයේත් සටන් ජවනිකාවකට රංගනයෙන් දායක වුණා. මගේ ප්‍රථම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය “සේෆ්ටි ෆස්ට්” දහදිය සිත්තම් උළෙලට ඉදිරිපත් කළා. “කඳුළු මල්” නමින් දෙවැනි කෙටි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා. “දඩබ්බරයෝ” චිත්‍රපටයේ පිටපත රචනා කළා මගේ යහළුවෙක් වෙනුවෙන් . මගේ සිනමා තිර රචනයක් වන “සන්ධි” සඳහා ගිවන්ත අර්ථසාද් මහතා මට උදව් කළා. මේ චිත්‍රපටය නිෂ්පාදනයට මේ දිනවල නිෂ්පාදකවරයෙක් සොයමින් ඉන්නේ. පුංචිතිරයේත් ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන්, සටන් අධ්‍යක්ෂණයෙන් දායක වුණා…

ඩිජිටල් ලෝකයේ ශාස්ත්‍රීය නිර්මාණ ප්‍රේක්ෂකයාට ගෝචර වේ දැයි ඔබ සිතනවද….?

නවීන තාක්ෂණය සමඟ ඩිජිටල්කරණය වූ ලොවක ශාස්ත්‍රීය, ගුණාත්මක කලාව නවීකරණයට ලක්විය යුතුයි කියා මට සිතෙනවා . ඒ සඳහා යම් යම් පර්යේෂණ, අත්හදාබැලීම් කරන්න ඕනේ. කලාවේ ගුණය තබාගනිමින් නව නිර්මාණ බිහිකළහොත් ප්‍රේක්ෂකයා ඒ වටා රැඳීසිටීවි. ඒවා වැලඳගනීවි

ඔබ ගී පද රචකයෙක් ද වෙනවා….?

මම කලාවට මුලින්ම යොමුවෙන්නේ ගී පද රචකයෙක් විදිහටයි. ඒ වෙනුවෙන් ලලිත් කළුබෝවිල මහතාව සිහිපත් කළ යුතුයි. මගේ “අයන් හර්ට්” කෙටි වේදිකා නාට්‍යය සඳහා “අසම්මතයේ සම්මතය තවරා” නමැති ගීතය මා විසින් රචනා කළා….එකී ගීතය ඕඉ ර්‍ණඬ ර්‍ථපධඤභජබඪධද යූ ටියුබ් චැනලය වෙත මුදාහැර තිබෙනවා. ඒවගේම “වෙලාවට නැතත් කලාවට” කෙටි වේදිකා නාට්‍යය සඳහා ද මා “හත් දිග් භාගේ” නමින් ගීතයක් ද රචනා කළා… ඒ ගීතයට රූප රචනාවක් නුදුරේදීම සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

“කොක්ටේල් 03” ත් අපට දකින්න ලැබේවිද…..?

අනිවාර්යයෙන්ම. මගේ 04 වැනි නිර්මාණය සඳහා අවශ්‍ය මූලාශ්‍ර දැනටමත් සොයමින් ඉන්නේ. “කොක්ටේල් 03” සඳහා මගේ 04 වැනි නාට්‍යයත් සමඟ මගේම නාට්‍ය 04ක රස බැලීමට 2026 වසරේදී ඔබට හැකිවනු ඇතැයි මා සිතනවා

ඉදිරි නිර්මාණ මොනවාද …….?

මා රචනා කළ සිනමා තිර පිටපත වන “සන්ධි” රූගතකිරීමට සැලසුම් කරනවා. ඒ සඳහා නිෂ්පාදකවරයකු සොයමින් ඉන්නවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීම මගේ අනාගත සිහිනයක්.

 

[email protected]

 

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT