– එදා රසිකයන්ගෙන් අපෙ අම්මාට තාත්තාට ලැබුණු ගෞරවය ආදරය තවමත් හොඳින් මතකයි
– අම්මාගෙ උපන්දිනයට තවමත් පැරණි රසිකයන්ගෙන් සුභාසිරි ලැබෙනවා
– ඒ කාලෙ අපෙ අම්මායි තාත්තයි දෙන්නම කලා භූෂණ රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණා
– අපෙ තාත්තා අපට සැරපරුෂයි…ඒ වුණාට අපෙ තාත්තා හරි හොඳයි..
” එදා ගුවන් විදුලියේ වගේම රටපුරාම රසිකයන්ගෙන් අපෙ අම්මාට තාත්තා ට එදා ලැබුණු ගෞරවය ආදරය අපට තවමත් හොඳීන් මතකයි….”
අපේ එදා ගුවන් විදුලියෙන් දවස පුරාම වාගේ විරිදු ගායනා හා ජන ගී ගැයුම් සිරිතෙන් අසන්නට ලැබුණු ප්‍රකට නම් පෙළ අතරින් සේන ෆොන්සේකා සහ දයා නෙල්ලම්පිටිය දෙදෙනාට හිමිවූයේ නොදෙවැනි තැනක් යැයි කිවහොත් එය වඩාත් නිවැරදි යැයි හැඟේ….
එදා ගුවන් විදුලියේ විරිදු සහ ජන ගී වැඩසටහන් අදටත් මතකය…කාලයාගේ ඇවෑමෙන් එදා ජන සමාජය සමඟ බද්ධව තිබූ එම කලා මාධ්‍යයයන් අද ගුවන් විදුලියෙන් නෑසෙයි. එයට නෑකම් කියන පරපුරක්ද නොමැති අවධියක විරිදුව ජන ගායනය වෙනුවෙන් ගුවන් විදුලියේ සමීප ඥාතීන්සේ ඉහළින්ම කියැවුණු එම ශිල්පීන් සොයා ගිය ගමනකදී අහඹුව මෙන් අපට හමුවූයේ විරිදු ගායන සිරිත අසිරිමත් කළ සේන සහ දයා දෙපළගේ එක් පුතණුවෙකි…
සරසවිය වෙනුවෙන් සුහද කතාබහකට එක්වූයේ සේන ෆොන්සේකා මහතාගේද දයා නෙල්ලම්පිටිය මහත්මියගේද දූ පුතුන් තිදෙනාගෙන් බාල පුත් නන්දික ෆොන්සේකා මහතා ය…
එදා ගුවන් විදුලිය තුළින් රටක් විරිදුවෙන් හා ජන ගායනයෙන් රසවත් කළ දයා නෙල්ලම්පිටිය මහත්මිය මේ වනවිට පසුවන්නේ ජීවන මංපෙතෙහි වයසින් 90 වන වියේය….ඇයගේ ආදරණිය සැමියා වූ සේන ෆොන්සේකා මහතා මේ වනවිට ජීවතුන් අතර නැති.
අපේ ආදරණිය නන්දික ෆොන්සේකා මහතා සිය කටහඬ අවදි කළේ මෙසේයැ..
” අද ඉතිං ගුවන් විදුලියේ විතරක් නෙවි බොහෝ කලා නිර්මාණ ගිලිහී ඈතටම ගිහින්නෙ…අපෙ තාත්තා අපට නැතිවෙලා දැන් අවුරුදු 13ක් විතර වෙනවා… තාත්තා ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිණුම් අංශයේ රස්සාව කළේ…ඒ එක්කම තමයි ගුවන් විදුලියේත් කටයුතු කළේ…අපෙ අම්මාගෙ උපන්දිනයට නම් තවමත් පැරණි රසිකයන්ගෙන් සුභාසිරි ලැබෙනවා. අපෙ අම්මාට දැනටත් ඉස්සර වගේ විරිදු ගයන්නට ආරාධනා ලැබෙනවා…ඒත් අම්මාට දැන් සෞඛ්‍ය තත්ත්වය යහපත් නැති නිසා ඒ කිසිවකට අම්මා යන්නේ නැහැ…”
පුතු නන්දික කියන්නේය.
මාතර..ප්‍රදේශයේ උපන් අපේ ආදරණිය සේනගේ උප්පැන්නයේ නාමය වනුයේ වන්නි අච්චිගේ දියසේන ෆොන්සේකා ය… එහෙත් ඔහුගේ ප්‍රකට වූ නාමය වූයේ සේන ෆොන්සේකා ය.. ළමා වියේදීම කොළඹ ..කළුබෝවිල පදිංචියට පැමිණි අපේ සේනයන් පාසල් අධ්‍යාපනයට ගියේ කෝට්ටේ පාසලටය..පාසල් වියෙහිදී කලා කටයුතුවලදී ඉදිරියෙන්ම පසුවූ හෙතෙම ය ඉන් තිළිණ හරසරද ලැබුවේය..
අපේ ආදරණිය සේන ෆොන්සේකා එදා ගුවන් විදුලියේ දී ගැයූ රසවත් විරිදු පන්තියක් එවක ළමාවියෙහි පසුවෙමින් හුන් මටද අදත් මතකයට එයි.
“බුද්ධ රත්නයේ සරණින්
ආයු ලැබේවා…
ධම්ම රත්නයේ සරණින් නුවණ ලැබේවා…
සංඝ රත්නයේ සරණින්
ඉසුරු වසීවා…
තිසරණ සරණේ සරණින් ලෝසත
සුවපත් වේවා…!”
මම මා සමීපයේම පසුවන අපේ නන්දික මහතා දෙස බලමි. ඔහු අසලටම වී හිඳ පසුවන්නේ එදා ගුවන් විදුලියේ ප්‍රකට විරිදු හා ජන ගී ගායිකා දයා නෙල්ලම්පිටිය නමැති තම වියපත් මාතාවය.
“අපෙ තාත්තා අපට සැරපරුෂයි…ඒ වුණාට අපෙ තාත්තා හරි හොඳයි…අපට මේ දෙන්නම හොඳට සැලකුවා.. කිසිම අඩුපාඩුවක් කළේ නැහැ.. අපට හොඳට ඉගැන්නුවා.
අපෙ තාත්තා අම්මා හොඳට හරිහම්බ කළා. තාත්තා නම් හරිම විමෝදකාමී ජීවිතයක් ගතකළේ..අද දවසේ හොඳට කාලා බීලා සතුටින් ඉන්න එක තමයි තාත්තාගෙ හැටි. හෙට මොනව වුණත් එකයි කියල වගේ.
ඉතින් අමල් ..අපෙ තාත්තා අපට වරදකදි දඬුවම් කරන සැරගති නිසා මම බොහොම එකතුව උන්නේ මගෙ අම්මාත් එක්කමයි..අපෙ තාත්තා මීට අවුරුදු දහතුනකට උඩදී අපගෙන් සදහටම වෙන්වී ගියා…අපෙ අම්මාට නම් දැන් වයස 90 ක්..ඒ වුණත් අම්මාට ඉස්සර ගොඩක් දේ අදටත් හොඳීන් මතකයි…”
අපේ ආදරණිය දයා නෙල්ලම්පිටිය මහත්මිය තම පුතුගේ කතා අසා හිඳීමින් ඒවා අනුමත කරන්නාසේ ආශක්ත සිනාවකින් මුව සරසාගෙන හිස සලන්නීය.
මම අපේ දයා නෙල්ලම්පිටිය මහත්මිය පිළිසඳරට එකතුකර ගත්තෙමි…
“කුස තුළ පිළිසිඳ ගත් දින
පහන් දැල් වූ අම්මා
රස කිරිබත් පැණි අතිරස බුදිනට දුන් අම්මා ..
පොල්තෙල් පහනේ එළියෙන්
අකුරු කියූ අම්මා
සතර අපාවල නොඉපිද
නිවන් දකිම් අම්මා ..”
ඒ ඇය එදා හාපුරා කියා ගුවන් විදුලියෙන් ගැයූ විරිදු පන්තියකි. තවමත් ඇයට එහි පද සිරිතද ගැයුම් සිරිතද මැනවින් මතකය.
“අනේ එදා ගුවන් විදුලියෙන් මිනිසුන්ට අහන්න විඳීන්න කෙතරම් දේවල් තිබුණාද…අද ඉතින් හැමදේම නැතිවෙලා…අපිත් එක්ක ගුවන් විදුලියේ හිටපු මගේ නැටුම් කලාවේ මගෙ ගුරුතුමා පණිභාරත මහත්තයාගෙ නංගි චිත්‍රා ..එතකොට ධර්මසිරි ගමගේ මහත්තයාගෙ සීතා මෝනා…අමරදේව මහත්තයාගෙ මෝනා විමලා අමරදේව වගෙ තවත් අය අප එක්ක ගුවන් විදුලියේ එකට හිටියෙ..අපි කරපු වැඩ සටහන් තවමත් ගුවන් විදුලියේ තියෙනවා. ඒ වුණාට එදා අප කළ මෙහෙවර කරන අය අද කවුරුත්ම නැති එකනෙ කනගාටුව..”
1937 ක්වූ සැප්තැම්බර් මස 27 වනදින කළුබෝවිලදී උපත ලද අපේ ආදරණිය දයා නෙල්ලම්පිටියගේ මවුපියන් වූයේ මෝනාහාමි සහ අන්දිරිස් අප්පුහාමිය… ඇයගේ උප්පැන්නයේ නම නෙල්ලම්පිටිය පතිරණ ආරච්චිගේ දයාවතීය…පසුව ගුවන් විදුලියට පැමිණීමෙන් අනතුරුව මඩවල මහතාගේ යෝජනාවකට අනුව දයා නෙල්ලම්පිටිය වූවාය…
” මගෙ මහත්තයා සේන ෆොන්සේකා මහත්තයායි මමයි තමා ඒ කාලෙ එකට ගුවන් විදුලියේ වැඩ සටහන් වලට යන්නේ…අපි දෙන්නාට එදා ජනප්‍රිය නමක් තිබුණා ..
ඉගෙනුමට ගියේ කළුබෝවිල බුද්ධඝෝෂ විදුහලටය..ඒදා පාසලේ කීර්තිමත් සිසුවියක වූ ඇය සමස්ත ලංකා මට්ටමින් පැවැති මහා පද්‍ය ගායනා තරඟාවලියකින් ඉහළම ලකුණු ලැබූ ඕ තොමෝ පසුව ගුවන් විදුලියේ ගායන අංශයෙන් ඉදිරියටම පැමිණියාය..
පාසලේ දීප්තිමත් සිසුවියකව නමක් දිනූ ඇය තුළ කුඩාවියේ සිට පැලපදියම්ව තිබූ නැටුම් ගුරුවරියක වීමේ ආශාව මුදුන්පත් කරගන්නට තමන් සමත්වීම පිළිබඳව අදටත් ඈ තුළ ඇත්තේ උතුරා යන සතුටකි.
“අපෙ අම්මා අවුරුදු 27ක් නුගේගොඩ අනුලා විද්‍යාලයේ නැටුම් ගුරු වෘත්තියේ යෙදී සිටියා.. ඉන්පස්සේ මියුසියස් බාලිකා විද්‍යාලයේත් නැටුම් ආචාරිණියක වුණා. ”
තම පුතු නන්දිකගේ කතාවට සවන් දී සිටි ඕ අවසන සිනාවෙන් යුතුව කීයේ මගෙ අම්මා තාත්තා තමයි මට අතහිත දීල නැටුම් ගුරුවරියක් වෙන්න මග පෑදුවෙ…”,
දෙදෙනාම කළුබෝවිලය…යන්නේද කිට්ටු පාසලටය…අපේ ආදරණිය කතා නායකයාණෝ සේන ෆොන්සේකා සහ දයා නෙල්ලම්පිටිය මුණගැසුණේ පාසල් වියේදීමය…එය පසුව ආදරයකට පෙරැළිණි. දැන් දෙදෙනාම ගුවන් විදුලියේ සේවයටද ගියේ එකටමය. ගුවන් විදුලියේ පමණක් නොව තොරණ ආදී විවිධ පටිගත කිරීම් වලට සේම රටතොටම හඳුනාගත් යුග නාමයන් වූයේද සේන ෆොන්සේකා සමග දයා නෙල්ලම්පිටිය යනුවෙනි.
දෙහදක බැඳී ස්නේහය මල්ඵල ගන්වමින් සේන- දයා අතිනත ගැනිණි…එම යුග දිවි සිරිතෙන් ඔවුනට හිමිවූ වැඩිමහල් දියණිය පමුදිතා කුමාරි ෆොන්සේකා ය. දෙවැන්නා මා සමඟ සංලාපයේ පසුවන නන්දික ය. ඔහු පෞද්ගලික සමාගමක වරාය කටයුතු සම්බන්ධව හා බැංකු කටයුතු පිළිබඳ නිලධාරියෙකි. ලොකු පුතු චන්දන ෆොන්සේකා විදෙස්ගතව සිරි ලංකාවට පැමිණ මේ වනවිට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක කටයුතු කරයි. පමුදිතා ලංකාදීප පුවත්පත් විජය ප්‍රකාශනයේහි ගිණුම් කටයුතු නිලධාරිනියකි.
ඇතැම් අවස්ථාවලදී මවට ලැබෙන ආරාධනාවලටද අනුව ඊට සහභාගි වන්නේ අපේ ආදරණිය නන්දිකය.
” ඉස්සර මගෙ මහත්තයා එක්ක ගුවන් විදුලියේ වැඩ සටහන්වලට අමතරව අපි දෙන්නා වෙනත් ආරාධනා වලටත් ගයන්න යනවා…තොරණ් වලට විරිදු ගායනා කළා..ප්‍රසංග වලටත් සහභාගි වුණා…
හිඳ සිටි අසුනේ තවත් හරිබරි ගැසුණු අපේ දයා මහත්මිය මෙසේද කියන්නීය..
“ඒ කාලෙ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය මතක ඇති නේද..අනේ එතුමියත් අප සමගම ගුවන් විදුලියේ කටයුතු කළේ..සුමනා කියන්නෙ මගෙ ලොකු අයියාගෙ ලොකු දුව…එතුමිය නැතිවෙලා දැනට මාසයක් විතර වෙනවා…”
අපේ ආදරණිය දයා නෙල්ලම්පිටිය නිහඬව බිම බිමබලාගත්වනම සිටින්නීය..
“අපෙ අම්මා කලා භූෂණ රාජ්‍ය සම්මානයට ඒ කාලෙ පාත්‍ර වුණා..තාත්තාත් එහෙමයි.. අදටත් ආරාධනා ලැබුණත් අපෙ අම්මා හරි දුර්වලයි…”
පුතු නන්දික කියන්නේය..
ඒ කාලෙ කෙතරම් හොඳ වැඩ සටහන් ගුවන් විදුලියේ තිබුණාද..අද ඒ මොකවත්ම නැහැ…ඉස්සර ගුවන් විදුලියට හිටපු අසන්නන් ස්වල්ප දෙනෙක්ද. අද කෝ..කලින් කලට සියල්ල වෙනස් වෙලා ගිහින්…”
නන්දික පුතු මුවින් කතාවට අම්මා හූ මිටි තබයි. නැතිනම් ඇයගේද අදහසක් එකතු කරයි. ”
“අද විරිදු…ජන ගී කියල දේවල් අද දරුවන් දන්නවද මන්දා…”
ඕ කියන්නීය.
අපේ ආදරණිය කතාබහට වරින්වර එකතුවන අපේ නන්දික මහතාගේ ප්‍රිය බිරිඳ චමිලා අල්විස් මහත්මිය සුහද සිනාවකින් පසුවන්නීය..
” මගෙ පුතාලා දෙන්නගෙන් දෙවැනි පුතා තවම සිසුවෙක්..එයා නම් ආත්තම්මා ගිය මග යමින් නැටුම් ශිල්පය හදාරනවා…”
විද්‍යාලීය නැටුම් ආචාරිණියක මෙන්ම ගුවන් විදුලියේ නම දිනූ ගායන ශිල්පිනියක වන අපේ සොඳුරු කතා නායිකාව දයා නෙල්ලම්පිටිය මහත්මිය සරසවිය පුවත්පතට කෘතවේදි වන්නට අමතක නොකළාය…
අම්මා ගැන සේම තම පියාණන් සේන ෆොන්සේකා මහතා පිළිබඳව කතාබහ කරන්නට පැමිණීම” ගැන අපේ නන්දික ෆොන්සේකා මුවපුරා සතුට කියාපෑවේය.
රටක් විරිදු ගායනයෙන් මෝහනීය කළ අපේ ආදරණිය දයා නෙල්ලම්පිටිය මහත්මියට සරසවිය වෙනුවෙන් චිර ජීවනයම ප්‍රාර්ථනය කරමු!
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ