” මම මට ආදරය කරමි. ඔබටද ආදරය කරමි. ඔබ සිනාසෙන විටද කඳුළු සලන විටද කලාකරුවා එතැන සිටින්නේය.”
අපේ කාලයේ මේ සමාජයේ, විරෝධකාල්පනිකයකු වූ ද ප්‍රේමනීය වූ සිත්තරකුගේ මේ හැඟීම නූතන සමාජය දැඩිව සිප, විඳගත යුතු යැයි හැඟේ. ඒ ඔහු රේඛාවෙන් ඉතා සියුම්ව එනම් අතිශය ක්ෂුද්‍ර ලෙස, සිය තෙලි තුඩින් ඇඳී, අඳීන්නාවූ අනේක රේඛා ඔස්සේ මානව සමාජය ගැඹුරට බැස එහි ගති සොබාව අපට දකින්ට සැලැස්සූ වෙසෙස් සිත්තරකු වන බැවිනි.
ඔහු සිය ජීවන මඟේ අනේක මං පෙත් ඔස්සේ කළ අසීරු සැරිසර ම වෙසෙස් සිතුවමක් වැන්න.
ඒ ඔස්සේ අද ඔහු සුවිශේෂ ග්‍රන්ථයක් ජනගත කර තිබේ.
‘ එන්න යන්න මාත් එක්ක’ ඊට ඔහු දුන් අනන්‍යතාව යි.
මෙය හුදු ජීවන තොරතුරු ඇතුළත් පොතකට එහා ගිය සමාජ කාලින ආර්ථික කියැවීමක් ද වැන්න. මේ ඊට හිත නෙත පෙවීමකි. නොඑසේ නම් ප්‍රවීණ චිත්‍ර ශිල්පී කොල්වින් සෙට්ටිනායක සිත්තර දිවියට එබී බැලීමකි.
කලාකරුවකු වීමට මට පෙර ගමන්කරුවකු වුණේ පීඩාවට නිවාස වූ විඳවීම වින්දනයක් කරගත් ජීවිතාවබෝධයයි. ඔහු කියයි.ඒ වචන පරිදිම
මේ ග්‍රන්ථය පුරා හේ අකුරින් සිත්තම් කරන්නේ ඒ වෙහෙසකර මුත් ඔහු සැමදා විඳීමක් ම කරගත්, විටෙක අපමණ වේදනාකාරි වූද, නිරන්තරයෙන් අභියෝගාත්මක වූද සිය ජීවන අත්දැකීම් පෙළය.
දකුණු කළුතර දුෂ්කර ජීවන රටාවකට මැදිව ජීවිතය ඉදිරියට ගෙන ගිය පවුලක පුතකු වූ ඔහුගේ පවුලේ වැඩිමහල්ලෝ ද විචිත්‍ර කැටයම් කරුවෝ වූහ.නමුත් ඔහුගේ මඟ පෙරටු කොට ගෙන ආලෝකවත් කළේ චිත්‍ර කර්මයය.
කළුතර ඤාණෝදය විදුහලෙන් අකුරට පිවිස
පොතුපිටිය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ මුත් චිත්‍ර කලාව ඔහු තදින් අල්ලා ගත්තේ ඒ පිළිබඳ වූ දැඩි ඇල්ම නිසාම විය යුතුය. එනමුත් ඔහුට චිත්‍ර කලාව කියා දුන් අයකු ද හඳුනා ගන්ට නැත. ඇසුරු කළ ගුරු කුලයක් ද වාර්තා නොවේ. නමුත් කුඩා අවධියේ සිට මව්පිය ඇසුරෙන් ලද ආභාසයත්, ඇසුරු කළ බෞද්ධ පත පොතත් , විහාරස්ථානයේ ඇසුරත්, හික්මුණු දිවිපෙවෙතක් ගොඩනඟා ගැනීමට මතු නොව දැහැමි කලාකරුවකු වීමේ මඟ ද විවර කර දී ඇති බව අපට හොඳීන්ම හඳුනාගත හැකිය.
මේ අපූරු සිත්තරා එදා සේම අදත් ගැමි සුවඳම විඳීන කලාකරුවෙකි. ඒ සුවඳ බෙදන මිනිසෙකි. එබඳු මිනිසුන් ස්වකීය කලාවේ නියැළෙනු මිස වැඩිදුර හැදෑරීම් ගැන වෙහෙස නොවේ. ප්‍රසිද්ධිය පසු පස හඹා යනු ද හඳුනාගත හැකි නොවේ. මේවා සුවිශේෂ කලාකරුවකු වෙතින් ප්‍රකට වන ඉතා සියුම් කාරණාය. සිත්තර කොල්වින් සෙට්ටිනායක ද මේ කරුණු ඉතා මැනවින් සමාජය ඉදිරියේ ප්‍රකට කළ කලාකරුවෙකි. එක්දහස් නවසිය හැටේ දශකයේ ඔහු සිත්තරකු ලෙස රැකියාවට ප්‍රවේශ වන්නේ ‘ලස්සන’ නම් වූ සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පත ඔස්සේය. ඉනික්බිති ඔහු ‘ඇත්‍ත’ පුවත්පතට සම්බන්ධ වන්නේය. ඒ අවධියේ ඔහුගේ සමීප මිතුරුකම් ගොඩනැඟෙන්නේ සුවිශේෂ සාහිත්‍යයවේදීන් වන සයිමන් නවගත්තේගම, සිරිලාල් කොඩිකාර ආදීන් ඇතුළු දක්ෂ සාහිත්‍යයවේදීන් ඇසුරේ ය. සයිමන් නවගත්තේගම ලියු, පසුකාලිනව සුද්දිලාගේ කතාවට පෙරැළූ කතාව, ඇත්ත පුවත්පතේ චිත්‍ර කතාවක් ලෙස ඔහුගේ සියුම් රේඛාවෙන් ඇඳුණේ අයි.ආර්. සී. කාරයෝ නමිනි. හදත් මනසත් යා කොට ඇඳී ඔහුගේ රේඛාවල හැඩතල ඔස්සේ පීඩනයත් ප්‍රහර්ෂයත් ඉතා සියුම්ව පාඨක නෙත හමුවේ තැබීමට ඔහු රුසිසෙකි. අද ද හෙතෙම සිය වචනයෙන් පවා ඒ ගැන කියන්නේ ලියන්නේ සංවේදී වියමන් ඔස්සේය.
“ගාලු පාර පළල් කරල අධිවේගී මාර්ගයකුත් එක්ක පාරවල් තුනක් හැදුණෙ මේ දවස්වල. පාර දෙපැත්තෙ තිබුණු පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කළාට පස්සෙ තට්ටු දෙක තුනේ ගොඩනැඟිලි ගොඩනැගුණ. ඒ අතරෙ විදුලි ආලෝකයෙන් බබළන ජුවලරි සාප්පු කීපයක් ම විවෘත වුණා. අපේ පට්ටලෙන් කනකර හදාගත්ත උදවිය ටවුමෙ සාප්පුවලින් මැෂින් කට් ක්‍රමයට හැදූ කනකර ආභරණ ගන්න පුරුදු වුණා.
අපේ රන් රිදී පට්ටලයට හෙනහුරු දසාව ලැබුවෙ ඉන් පස්සෙ. ඉඳහිට පට්ටලයට ලැබෙන වැඩක් ඇරෙන්නට හරිහමන් ආදායමක් ලැබුණෙ නැහැ තාත්තලට.
තාත්ත පට්ටලයට වෙලා බලා ඉඳල සැරෙන් සැරේ ගෙදර ඇවිත් ඇඳී පුටුවේ වාඩි වෙලා කල්පනා කරනව. ඒත් එක්කම ගජමන් නෝනගෙ කවියක් මතක් වෙලා කියනව.
සඳ මෙන කවා දැඩි කළ ළම පැටවුන්ට
අද දින පමණ බත නැත උන් රැකගන්ට
සොඳ ගුණ ජොන් ඩොයිලි ගරුතර මැතිඳුන්ට
වැඳගෙන දුක කියමි පිහිටක් ලැබ ගන්ට
(එන්න යන්න මාත් එක්ක පිටුව 70)
සිත්තර තෙලිතුඩකින් ඇඳෙන රේඛාවක් තරම්ම මේ ලියැවිලි ද ප්‍රබලය. හද දවන තරම් තියුණුය.
කොල්වින් සෙට්ටිනායක නම් ඒ කුඩා සිත්තරා අපට ජීවිතයේ විශාල ඉම කියා දෙන්නේ මෙලෙසිනි. සිය කුඩා අවධිය අසීමිත කැපකිරීම් සහිත දුක් පීඩාවන්ට ඔහු මුහුණ දුන්නේ කෙසේද යන්න සේම ඊට බලපෑ සමාජ ආර්ථික විපරීතයන් කෙසේ වීද යන්නත් ඔහු සන්සුන්ව පාඨකයාට කියා දෙයි.
ඔහු තවත් තැනෙක මෙසේ කියයි.
“නැති බැරිකම නිසාදෝ ඇඟපත ඇඳුම නොසෝදා අඳීන ඔහුගෙන් කිළිටි දුගඳක් දැනුණත් ළෙන්ගතුකමේ අඩුවක් දැනුණෙ නැහැ මට.”
(පිටුව 19)
සම්මත සමාජයේ දිලිඳුබවේ පතුලේ ගිළුණු කටුක දිවියක් ගෙවූ සිය මිතුරා ගැන ඔහු ශෝක වේ. ඒ දුගඳ ඉවසා දරාගැනීම තුළ ඔහු පෙන්නුම් කළේ මිතුරා කෙරේ නැඟි සැබෑ ළෙන්ගතුකමය. ඔහු ඊට ගර්හා කළේ නැත. එහි ඔහුගේ උණුසුම් වදන්වල තැවරී ඇත්තේම ආදරයයි. එමතු ද නොව එදා නොකිළිටි සුවඳවත් හා සාරවත් වූ සමාජ ක්‍රමයේ පිළිබිඹුවයි.
චිත්‍ර ශිල්පියකු ලෙස පුවත්පත්කලාවේ කොල්වීනියානු ලකුණ තැබූ ඔහු අද වනවිට පොත් පිටකවර නිමැවුම් කලාවේද නොමැකෙන මං සලකුණු තබා ඇත.
බර්ටි බී. කුඩාහෙට්ටිගේ සින්ඩරෙල්ලා හා සියොළඟ දූලි ගාලා, සිරිලාල් කොඩිකාර රචනා කළ කණේරු මල්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කෝමළ රේඛා (දෙවනි මුද්‍රණය )
අමරදේවයන් හා නන්දා මාලිනියන්ගේ ‘ශ්‍රවණ ආරාධනා’ සමරු පිටකවරය ආදි ඉන් කීපයක් පමණි. තව බොහෝ ඇත්තේය.
ඇත්ත පුවත්පතින් පසු ඔහු මහවැව බුද්ධි බතික් ආයතනයේ චිත්‍ර ශිල්පියා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. ඒ යුගය පිළිබඳ ද ඔහු මෙහි බොහෝ පරිච්ඡේදයන් හි සටහන් තබන්නේ ද තුටු සිතින්මය.
ඔහුගේ සෑම නිර්මාණයකටම පාහේ වස්තු විෂය වූයේ ද ඔහුගේ හාත්පස දිළිඳු සමාජය ය.
දුක තෘප්තියක් කරගන්නා උදවියගේ ජීවිතය සරලය. සුන්දර ය. ඔහු හිතින් දුප්පත් ය. එහෙත් ඔහු ආත්ම තෘප්තියෙන් පිපෙන්නේ මෝරා පුබුදු මල ලෙසය.
ඔහු කියයි.
ඔහු මෙසේද කියයි. කලාකරුවකුට අවැසි විඳවීම වින්දනයක් කරගත් ජීවිතාවබෝධය මම උරුම කරගත්තේ ජීවිතය අතපත ගා ලැබුණු දැනුම කන්දරාවෙන්.
(එන්න යන්න මාත් එක්ක
පිටුව 9)
ප්‍රවීණ සාහිත්‍යයවේදී සිරිල් බී. පෙරේරා ඔහුගේ චිත්‍ර අරබයා ඔහු හැඳීන්වූයේ ‘විරෝධකාල්පනිකයා’ ලෙසය. නමුත් ඒ අදාළ වන්නේ ඔහුගේ චිත්‍රවලට පමණි. ඔහු සැහැල්ලු මිනිසෙකි. තුටු මිනිසෙකි.
කළු සුදු වේවා, වර්ණ රේඛාවන් ඔස්සේ වේවා ඔහු අඳීන්නේ මානව ඛේදයන්හි හැඩය බවත්, එහි භාවයන් ඉතා සියුම්ව ඉදිරිපත් කිරීමට සමත් වෙසෙස් චිත්‍ර ශිල්පියකු බවත් විචාරක මතයය.
ගැහැනියක නිරුවත් කොට කටු අකුල් කැලෑවකට රැගෙන යන මිනිසුන් හතර දෙනකු පාදක කරගනිමින් ඔහු නිර්මාණය කළ
‘ දූෂණයට පෙර ‘ යන හිසින් ඔහු ඇඳී සිතුවම ඒ විචාරක මතය මනාව සාක්ෂාත් කරයි.
කොල්වින් නම් අපූරු සිත්තරා අදටත් සිතින් අතිශය ධනවත් සිත්තරෙකි. එනමුදු ඔහුගේ භෞතික වටපිටාව පොහොසත් නැත.
එදා සේම අදටත් ඔහුගේම වූ නිස්කලංක කුඩා වටපිටාවක් ‘අඳීන්න’ ඔහුට ඉහටත් උඩින් අනුග්‍රහය ලබා දෙන්නේයැයි ඔහු කියයි. ඔහු මිල අධික කළමනා හෝ පොහොසත් භෞතික වටපිටාවක් සිතුවම් නිර්මාණය වෙනුවෙන් නොසොයයි. මිල මුදල ගැන කතා බහ පෙරටු කොට නොගනියි. මුදල් නැතැයි නෝක්කඩු නොකියයි. එයම සතුටක් සේ ඔහු විඳීයි. ඔහු අසාමාන්‍ය සිත්තරකු වන්නේය.
‘ මොන තරම් දුෂ්කරකම් තිබුණත් මම මිහිර පත්තරේට නිර්මාණ යවන කාරිය නතර කළේ නැහැ. මට මතකයි ගෙයි ඉඩකඩ මදි හින්ද මිහිර පත්තරේට ‘ඇලඩින් සහ පුදුම පහන ‘ චිත්‍ර කතාව ඇන්දෙ කෙහෙල් පඳුර යට පොඩි ‘ ස්ටූල් ‘ එකක් තියාගෙන. මැදියම් රෑටත් ලියන්නට යමක් මතක් වුණාම පැදුරෙන් නැගිටල කුප්පි ලාම්පුව ළඟට යනව මම. ගිහින් මතක් වුණු දේ ලියා තියල ඇවිත් නිදා ගන්නව.’
(පිටු 21- 22)
ඔහු සිත්තර දිවියට හා පුරා කියා ප්‍රවේශ වූ ළමා අවධියේදී ඒ වෙනුවෙන් විඳී පීඩා ගැන කම්පා නොවෙයි.
ඒ අතීතයේ දී මෙන්ම අදටත් ඔහුගේ කුඩා ඉඩකඩවල ඔහු පොහොසත් චිත්‍ර අඳීයි. ඒ දුෂ්කරතා ඔහුගේ සිතුවම් බලවත් කරයි. ලොවට විශාල පණිවිඩයක් ලබා දෙයි.
අංකුර නිර්මාණවේදීන් මතු නොව අප සැම මේ සුවිශේෂ සිත්තරා, ලේඛකයා, හා ඔහු තුළ තවමත් හිඳීන ගීත රචකයාද කියවා ගැනීම බොහෝ වැදගත් වනු ඇත.
අඹ මල් වියනට බඹරුන් ඇවිදින් සුවඳයි ගහ ගාව
මගෙ පෙම් උයනට සොඳුරිය ඇවිදින් සිසිලයි මා ගාව
වැටකොටු අවුරා නවතාලනු බෑ ගලනා ගංගාව
වක්කඩ කැඩුවා වාගෙයි සෙනෙහස උතුරන ලීලාව
මේ සුවිශේෂ සිත්තරා තුළ හිඳීන ගීත රචකයා තවමත් ඒ ඇතුළු ගුහාවේ ම හිඳ කුමක් කරනවාදැයි විමතියට පත් වෙමි . ඒ ඉමිහිරි රස සුවඳත් සඟවාගෙන.
‘ එන්න යන්න මාත් එක්ක”
වෙසෙස් චිත්‍ර ශිල්පියකු ගේ විශාල සමාජ කියැවීමකි.
යාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල