නිවස ලාංකිය සිනමාව විද්වත් රසිකයා සෑහීමකට පත් නොකරයි

විද්වත් රසිකයා සෑහීමකට පත් නොකරයි

by Thanushika
September 19, 2024 9:02 am 0 comment

සිනමාව රසික ජන දිවිය පොහොසත් කරවන කලාත්මක මැදිහත්වීමක් විය යුතු යැයි තරයේ හෝ කාලානුරූපව ඇදහූ සිනමාකරුවන් පසුකාලීනව ඊට ප්‍රතිපක්ෂ හෝ වෙනස් ආකාරයේ සිනමා භාවිතයක් කරා යොමු වන අවස්ථා සිනමා ඉතිහාසය පිරික්සන කල්හි සුලබව හමුවන බව නොරහසකි. මෙහිලා විචාරක පාර්ශ්ව හැසිරිය යුත්තේ විවෘත හා තුලනාත්මක දැක්මකින්ය යන්න තවදුරටත් අවධාරණය කරන්නට සිදුවේ. ඒ විචාරක පාර්ශ්ව සිනමාවේ ප්‍රබල ප්‍රකාශන සමත්කම සේම රසික දිවි පෙවෙත පොහොසත් කරලීමට එය සතු සමත්කම මත නිරන්තරයෙන්ම වාගේ රැඳී සිටින නිසාවෙනි. එනමුදු යථා තතු ඉන් දුරස්ව හඳුනා ගත හැකිය යන්න පැහැදිලිය. එනම් සිනමාව අද දවසේදීත් රසාලිප්ත මාධ්‍යයක් සේ ලොව පුරා දත හැකි වීමයි.

මෙසමයේ ප්‍රදර්ශනය කෙරෙන ‘මන්දාරා‘ සිනමාපටය නිමවූ ප්‍රියන්ත කොළඹගේ පළමු කොටම හඳුනා ගැනෙන්නේ යට කී මාදිලියේ සිනමාකරුවකු වශයෙනි. මෙතැනට එක්වන නවතම සිනමාකරුවා වන්නේ ශමීර නාඔටුන්නයි. ශමීර වසර කිහිපයකට පෙරාතුව සිය පළමු සිනමාපටය වෙසෙසින්ම රැගෙන ආවේ විද්වත් සිනමා රසිකයා කරාය. මේ සිරිලක සිනමාවේ තරුණ හා නවක ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන් පිරිසකගේ ආයාසකර සපැමිණීමක එක් අවස්ථාවක් වන ‘මෝටර් බයිසිකල්’ සිනමාපටයයි. මෙහිලා ශමීර පළ කළ සමාජ හා දේශපාලන සවිඥානකත්වය විසින් ජනිත කරනු ලැබූ අපේක්ෂා බොහොමයකි. එනමුදු මෙබඳු සිනමාපට සමඟම අඛණ්ඩ සිනමා නිර්මාණ පිළිවෙතක පිහිටීම අසීරු වග පැවසූ තරුණ හා නවක ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන් අතරට ශමීරද දැන් එක්ව සිටී. ඒ ඔහුගේ නවතම සිනමාපටය වන ‘සිහින නෙළුම් මල්’ සමඟිනි.

‘සිහින නෙළුම් මල්’ පහසුවෙන්ම රැඳවිය හැක්කේ රසාලිප්ත සිනමා පිවිසුම මතය. මෙහිදී නන් අයුරින් දත හැකි අනු පිවිසුම් තිබෙන වග අමතක නොකළ යුතුය. ඉන් ‘සිහින නෙළුම් මල්’ වඩා සමීප වන්නේ සම්මත පවුලේ රසික පාර්ශ්ව අමතන පිවිසුමටයි. වත්මනෙහි හඳුනා ගත හැක්කේ මීට දශක තුන හතරකට පෙරාතුව සිටි අන්දමේ පවුලේ සිනමා රසික පාර්ශ්ව නොවන බවද සිහිකටයුතුය.

‘මෝටර් බයිසිකල්’ බඳු සිනමාපටයකින් විචාරක පාර්ශ්වයේ හා විද්වත් රසික පාර්ශ්වයේ අපේක්ෂා කුළු ගන්වන්නට උත්සුක වූ ශමීර ‘සිහින නෙළුම් මල්’ බඳු රසාලිප්ත සිනමාපටයක් නිර්මාණය කිරීම අනුචිත හෝ නොවැදගත් කර්යයක් සේ නිර්වචනය සහේතුක නොවේ. ඒ සඳහා ඔහුට ඇති අවකාශය හා අයිතිය අවහිර නොකළ යුතුය. කෙසේ වුවද ඉවතලිය නොහැක්කේ ප්‍රමාණවත් ප්‍රමිතියක් මෙහිලා පවතින්නේද යන කාරණයයි. මෙසේ ප්‍රමාණවත් ප්‍රමිතියක් ‘සිහින නෙළුම් මල්’ වෙත ලබා දීම සඳහා ශමීර සතුව නොහැකියාවක් නොපවතින බව මුසාවක් නොවේ. මේ අනුව ‘සිහින නෙළුම් මල්’ යන ඔහුගේ නවතම සිනමාපටය විනිශ්චය කළ යුත්තේ මෙම ප්‍රමිතිය යන්න මුල් කොට ගෙනයි. ඉන් සිනමාකරු ශමීරට කිසිදු අවැඩක් සිදු නොවන බව සහතිකය. එමෙන්ම ‘සිහින නෙළුම් මල්’සිනමාපටයටද ඉන් කිසිදු අවැඩක් සිදු නොවේ.

‘සිහින නෙළුම් මල්’ වෙනුවෙන් ශමීර උපයෝගී කොට ගන්නේ අතිශය සුලබ පුවතකි. මෙපුවත සිනමාව විෂයෙහි සේම අන් මාධ්‍ය ඔස්සේද නොයෙක් වර ප්‍රකාශයට පත්ව ඇත. අග නගරයේ සුවදායී දිවියක් ගෙවන තරුණ විවාහක යුවළකට දරු සම්පත් නොලැබීම, දෙමාපියන් හා ඥාතීන් ඒ පිළිබඳ නිරතුරුවම විමසීම, යම් අතවරයකට පත් තරුණ කතකගේ දරුවා උපන් පසු තමන් වෙත ලබා ගැනීමට ඔවුන් දරන වෑයම, එම කතගේ සහකරු අනපේක්ෂිතව පැමිණීම හා දරුවා තමනට ඇවැසි බව පැවසීම, ඉන් වික්ෂිප්ත වන බිරිඳ සිහි විසඥව රෝහල් ගත කිරීම, දැන් ඇය ගැබිනියක බව වෛද්‍යවරු පැවසීම මෙපුවතේ සංක්ෂිප්තයයි. සිනමාපටයේ මැද භාගය කරා පැමිණීමට පෙරාතුවම එහි නිල නිමාව පිළිබඳ අදහසක් සරි කර ගැනීම රසිකයාට පහසුය.

රසික නිරීක්ෂණ ආකාර කිහිපයක් ගනී. පළමුවැන්න දරු ප්‍රසූතියේදී කත මියයෑම හා ගැටලුවකින් තොරව දරුවා විවාහක යුවළ භාරයට පත්වීමය. දෙවැන්න කත දරුවා තමාට ඇවැසි බව තරයේ පැවසීම හා ඊට විවාහක යුවළ අකමැත්තෙන් හෝ කැමැත්තෙන් එකඟ වීමය. තෙවැන්න මේ තිදෙනාම එකම වහලක් යට දිවි ගෙවන්නට මනාප වීමය. සිව්වැන්න මේ උපදින්නට යන්නේ තම සැමියාගේම දරුවකුය යන්න අනාවරණය වීම හා ඊට බිරිඳගේ විරෝධය උත්සන්න නොවීමය. පස්වැන්න එකඟ වූ පරිදි කත සිය දරුවා විවාහක යුවළ වෙත භාරදී අදාළ වන්දි මුදලද රැගෙන පිටව යෑමය. සයවැන්න කතගේ සහකරු පැමිණ දරුවා ඇවැසි බව පැවසීම , ඊට එකඟ වනවා හැරෙන්නට අන් විසඳුමක් යුවළ සතුව නොමැතිවීම හා බිරිඳ දැන් ගැබිනියක බව අනාවරණය වීමය.

ශමීර මෙයින් සය වැන්න තෝරා ගනී. එසේම සියලු ගැටලු මුළුමනින්ම හෝ අඩ වශයෙන් විසඳාලීමටද ඔහු සමත් වෙයි. රසිකයා සැනසුම් සුසුම් හෙලමින් නික්ම යනු දැකීම ඔහුගේ පැතුමක් වන්නටද ඇත. එහෙත් මෙහි එන සුලබ ලකුණු යම් අනතුරක් සේ දකින්නට ඔහු අදි මදි නොකරයි. ‘මෝටර් බයිසිකල්’ හි ශමීර ‘සිහින නෙළුම් මල්’ හිදී හමුවන එකම ස්ථානය වන්නේ මෙය බැව් සිහිකටයුතුය.

ගැබිණි කත හඳුනා ගැනීම සම්බන්ධ සිදුවීම් පෙළ දිග හැරෙන්නේ සෑම රසිකයකුම අන්ද මන්ද කරමිනි. පිවිසුම් පතක් මිලට ගෙන සිනමා ශාලාවට වැදුණු රසිකයකු මෙවැනි විටෙක ඉන් පිටව නොයන බව පැහැදිලිය. ශමීර මෙහි වාසිය බාධාවකින් තොරව අත් පත් කර ගනී

මේ අනුව ශමීර පියවර ගන්නේ මේ සිදුවීම් දිග හැරෙන සමාජ පරිසරයේ චර්යා හඳුනා ගන්නටයි. ඉන් සිනමාපටයේ සුලබ හා මුහුණුවර හා අන්තර්ගතය සඟවා තබන්නට හැකිය යන ඔහුගේ විශ්වාසය රූප රාමු කරා පැමිණෙන්නේ නව ගැටලු හා නොඑකඟතාද සමඟය.

ශමීර මෙසමය සිරිලක ජන දිවිය උඩු යටිකුරු කරලන සිදුවීම් ආදියෙන් ගහනය යන්න පවසයි. රට පුරා ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟය රට පුරාමය. පන්ති භේදයකින් තොරව මහපාරට බැස සිය විරෝධය පළ කරන්නට ජනයා සූදානම්ය. තරුණ යුවළද මේ අරගලයට පක්ෂපාතීය යන්න ශමීර පවසයි. උද්ඝෝෂණයට සූදානම් වන ඔවුන් දෙදෙනා සුනඛ සුරතලා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක නොකරන බව පෙනේ.

කෙසේ වුවද මේ හුදු ඔවුන් දෙදෙනා පමණක් දකින ව්‍යාජයක්ය බව රසිකයාට වැටහෙන්නේ සැණෙකිනි. සැබැවින්ම සිරිලක ජන දිවිය කැලඹෙන ආණ්ඩු විරෝධී හෝ රාජ්‍ය විරෝධී මහජන අරගලයක් නැත. ඉන්ධන පෝලිම් ඇත්තේ ඔවුනගේ නිවසේ රූපවාහිනියෙන් විකාශය කෙරෙන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පමණි. අග නගරයේ ඉහළ මහලක සිට ඔවුන් හා රසිකයා දකින්නේ සුපුරුදු දසුනක්මය. රථ වාහන පෙර පරිදිම ධාවනය කෙරේ. ජනයාද තම තමන්ගේ වැඩකටයුතුවලය. අරගලය යන්න නිරූපිතව ඇත්තේ තැන් කිහිපයක දෙතුන් දෙනා බැගින් එක්ව විරෝධතා පුවරු ඔසවා ගෙන සිටින කාර්යයක් සේය. ඉන්ධන හිඟයක් කෙසේවත් නොමැති තරම්ය. යුවළ දිවා ආහාර ගන්න අවස්ථාවකදී අරගලය දැක්වෙන්නේ තරුණයක් කිහිප දෙනෙකු හා පොලිස් නිලධරයන් කිහිප දෙනෙකු අතර පමණ ඉක්මවූ බහින් බස් වීමක් ලෙසය. පිවිසුම අනෙකක් වුවද මේ ‘මෝටර් බයිසිකල්’ නිමවූ ශමීරගේ සිනමාපටයක් වීම සම්බන්ධයෙන් ඇතිවන්නේ විමතියකි.

මේ අරගලය පළමු පුවත හා බැඳෙන්නට සලස්වන ආකාරය සම්බන්ධයෙන් මතුවන ගැටලු මඟ හැර යා හැකි නොවේ. ඒ ‘අරගලය’ මැද සොරාගත් රජය සතු වටිනා භාණ්ඩ කිහිපයක් තරුණ සැමියා සතුව තිබියදී පොලිස් භාරයට ගැනීමයි. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි. නොපමාවම ඔහු ඉන් නිදහස් වන්නේ සිනමාකරු ශමීර නිසාමය. නොඑසේනම් පළමු පුවත ගෙන හැර පෑම ඔහුට අසීරු වනු නියතය.

‘සිහින නෙළුම් මල්’ විද්වත් රසිකයා සෑහීමකට පත් නොකරන සෙසු රසික පාර්ශ්ව වෙත ආනන්දයක් රැගෙන එන සිනමාපටයක්ම වේ. දීප්තිමත් වර්ණ, තරුණ යුවළගේ කුඩා එහෙත් සුවදායී නිවසේ විසිතුරු බව, ඔවුනගේ ප්‍රේමනීය ඇවතුම් පැවතුම් යනාදිය රසාලිප්ත සිනමාවම ප්‍රිය කරන, එහි විශ්වාසනීයත්වයට අභියෝග නොකරන රසිකයන් වෙත ආනන්දයක් සපයන මූලිකාංගය. ඒවා අවධාරණය කරන්නේ තරුණ යුවළගේ චරිත නිරූපණය කරන හේමාල් රණසිංහ හා දුශේනි ද සිල්වායි. ඔවුන් දෙදෙනා සිනමාපටය තුළ රඳවා තබා ගැනීමට ශමීර දරන මහන්සිය අපමණය. හේමාල් පමණ ඉක්මවූ සැහැල්ලු බවක් සනිටුහන් කිරීමට යත්න දරයි. දුශේනි උත්සුක වන්නේ නොපැසුණු ටෙලි නාටක රූපණය තහවුරු කරන්නටයි. මේ වග ඉස්මතුවන්නේ උමාලි තිලකරත්න ගැබිණි කත සේ තිරය මතට පැමිණීමත් සමඟය. සිනමාපටයේ රසාලිප්ත අරමුණු වෙත තාර්කික ප්‍රතිචාර රූපණයෙන් දක්වන්නේ ඇය පමණි.

සිය අනුශාංගික අංග කෙරෙහි ශමීර දක්වා ඇති සැලකිල්ල ඔහුගේ පූර්ව සමත්කම් සිහිපත් කරන රසිකයා තුළ ඇති කරන කනස්සල්ල නොතකා හැරීම නුසුදුසුය. ඉහළ ප්‍රමිතියකින් යුතු රසාලිප්ත සිනමාකරුවකු වීමට මෙවැනි ප්‍රතිචාර බාධා පමුණුවන බව සැබෑවකි. මෙය සමීර පමණක්ම මුහුණ දෙමින් සිටින අභියෝගයක් නොවේ. උචිත කතා පුවතක් සරි කර ගැනීමේ සිටම ඉහළ ප්‍රමිතියක් උදෙසා වෙහෙස විය යුතුය. සිරිලක සිනමාවේ පැවැත්ම වෙනුවෙන් මනාව දායක විය හැක්කේ එවිටය.

 

[email protected]

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT