Home » පළමු වතාවට විජය නමින් සිනමා ශාලාවක්

පළමු වතාවට විජය නමින් සිනමා ශාලාවක්

විජය සමුගෙන වසර 37යි

by Thanushika
February 13, 2025 10:35 am 0 comment

සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පියකු ද, දේශපාලනඥයකු මෙන්ම, මානව හිතවාදියෙකු ලෙස ජනාදරයට පත් වූ විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව සිනමා ශාලාවක් විවෘත වේ. පළමු වතාවට ඔහු නමින් සිනමා ශාලාවක් විවෘත වනුයේ ඔහුට ආදරය කළ, ඔහුට පෙම් බැඳී, සිනමා ලෝලියකු වන වීරසිරි අධිකාරිගේ අර්ථපතීත්වයෙන් 16 වැනි දින සන්ධ්‍යාවේ ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන මිනුවන්ගොඩ ගල්ලොලුවදී විවෘත වනු ඇත.

කොළඹින් ඔබ්බට ඉදි වූ V.V.I.P ආසන 30ක්ද සාමාන්‍ය ආසන 186 සමග ආසන 216ක් සහ Dolby 7.1 sound system සහ දැනට ලංකාවේ පවතින දෙවැනි 2k projector සමඟ සිල්වර් ස්ක්‍රීන් තිරය පවතින තම සිනමා අංගණය වන ‘විජය සිනමා’ ශාලාවේ රසස්වාදය විඳීන්නට හෘදයාංගම ඇරැයුමක් ප්‍රේක්ෂකයා වෙත වීරසිරි රැගෙන යයි. වීරසිරි අධිකාරිගේ ජීවිත චාරිකාවත් ග්‍රීක මහා කවි හෝමර්ගේ ‘ඔඩිසි’ වගේය. ඔහු ළඟ විච්චූරණ නැත. ඉතාම සරලය. ඔහු සමීපයට එන සහෘද ප්‍රේක්ෂකයා වසඟයට ගන්නා සුලුය. ඔහුගේ කට වහරත් ප්‍රකාශනයත් ඔහුටම ආවේණික සමාජ පිළිවෙත් නිසා ඔහු කරා ඇදී එන පිරිසද දිනෙන් දින වැඩි වේ. මව සහ සහෝදරියන් දෙදෙනා සමඟ පළමු වතාවට ගම්පහ ජයන්තා පබ්ලික් හෝල් සිනමා ශාලාවේ රෑන ගිරවි, සිනමා පටය නැරඹීමත්. සිනමා පටයක අභ්‍යන්තර ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියා සොයා බැලීමටත් යුහු සුලු වූ ඔහු කඳුළු මිටියාවත සිනා නිම්න, සිහින කලාප ඔස්සේ වීරසිරි අධිකාරී කළ චාරිකාව වීර ජීවන චාරිකාවක් බඳුය.රස්සාවක් නැතිනම් කුමක් හෝ කරනවා යනුවෙන් ඇතැමෙක් අවඥා සහගත ප්‍රකාශ ඉදිරිපත් කළත් ඒ වෙනුවට අධිකාරී අධිෂ්ඨානයට ගිලිහෙන්න ඉඩ දුන්නේ නැත. කටු කොහොල් බාධක පෙරලාගෙන ඉදිරියටම ගියේය. ඒ වීර ජීවිත චාරිකාවේදී ඔහුට විවිධාකාර මිනිස්සුන් මුණගැහුණේය. ඒ අතර සමහර පඬිවරු, ගුරුවරු. මුනිවරු වැනි මිනිසුන් වූහ. ඒ අතර මුනිවරයෙකුටත් වැඩියි දෙවිවරයෙක් වගේ මිනිසකු ලෙස විජය ඔහු හැඳීන්වූයේය. අදටත් ඔහුගේ සිතතුල පැළපදියම් වි සිටින එකම දෙවිවරයාත් මුනිවරයාත් විජය කුමාරතුංගයන්ය. විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගේ නම් අතර මානව හිතවාදියෙකු සිටියා නම් ඒ වෙන කවුරුත් නොවේ විජය කුමාරතුංග පමණක් බවයි. වීරසිරි අධිකාරිගේ හිත ඇතුළේ අදටත් සනිටුහන් වන්නේ. ඔහු පාසල් වියේදී පටන්ම දැඩි සිනමා ලෝලියකු ය. ඒ චාරිකාවේ එක්තරා කලාපයක ඔහුගේ සමීපතම අත්දැකීම් නිර්ලෝභීව ප්‍රේක්ෂකයා සමඟ බෙදා ගන්නට තිබෙන ඒකායන ප්‍රාර්ථනය වුණේ කවදා හෝ විජය නමින් සිනමා ශාලාවක් ස්ථාපිත කිරීමය.

ආදරණීය මිනිසකු, හිතවතෙකු, ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියකු, කුසලතා පිරි ගායන ශිල්පියකු, මෙන්ම සෙසු අයට ආදර්ශවත් මානව හිතවාදී ජන නායකයෙකු ලෙස එළඹෙන 16 වැනි දිනට ඔහු වියෝ වී වසර 37ක් ගතවේ. මේ වසර 37 තුළදීම මෙතෙක් ඉදි වූ කිසිදු සිනමා මණ්ඩලයකට හෝ තනි අයිතිකරුවකුට හෝ ශාලාවකට විජයගේ නම යොදන්නට නොහැකි විය. නමුත් අධිකාරිගේ වාසනාවට එය පවුලේ සියලු දෙනාගේ එකමුතුවෙන් ඔහුටම කරන්නට හැකිවීම මෙරට සිනමා ඉතිහාසයේ ඔහු ලද භාග්‍යයකි. ජීවන් සහ සෝනියා නමින් සිනමා ශාලා දෙකක් ඉදිවුණත්, අදාළ ශිල්පීන් ජීවතුන් අතර සිටියදී මියගිය කලාකරුවකු වෙනුවෙන් මෙතෙක් මෙරට සිනමා ශාලාවන් ඉදිවී නොමැත. විජය නමින් මෙසේ ඉදි වනුුයේ මියගිය කලාකවරුවකුටද රංගන ශිල්පියකු වෙනුවෙන් මෙරට නම් කරන පළමු සිනමාහලය.

විජය ගෙන ගිය දේශපාලන වැඩ පිළිවෙළ තදින්ම හිත් තුළ කාවද්දා ගත්තේ වීරසිංහ ඔහුගේ මානව හිතවාදී ගුණයට දැඩි ලෙස ඇලුම් කළේය.

අධිකාරී යනු රසවතෙකි. ප්‍රදේශයේ තිබූ සිනමා ශාලා දෙකක් වැසී ගොස් හමාර වූ පසු කොවිඩ් සමයේ ඉදිවෙන මෙම සිනමා ශාලාව අද ගල්ලෝලුව හන්දියේ තිබෙන එකම සිනමාශාලාව බවට පත්වේ.

වීරසිරි අධිකාරී වැනි සිනමා ලෝලියකු ,විජය වැනි ප්‍රතිභා පූර්ණ සිනමාවේදියෙකුට කරනු ලබන මේ ගෞරවය සදා අමරණීයය. මිලියන ගණනක් තම ධන පරිත්‍යාගය කර නමින් කොළඹ නගරයෙන්‍ ඔබ්බට ග්‍රාමීය ප්‍රදේශයක ඉදි කළ අති සුඛෝපභෝගී අංග සම්පූර්ණ සිනමා ශාලාවක් වන මෙය නගරයෙන් ඔබ්බට ගමට ගොස් ප්‍රේක්ෂකයාට සිනමාව රස විඳීන්නට ඉඩ සැලසීමම අගය කළ යුත්තකි. ඔහු විජය නමින් සිතුවම් රාශියක් නිර්මාණය කළේය. විජයගේ පුවත්පත්වල පළ වූ සේයාරූ සුරක්ෂිතව ආරක්ෂා කළේය, ඔහුගේ සිනමා පෝස්ටර් සිනමාපට ඔහු නැරඹූ වාර සංඛ්‍යාව කියා නිම කළ නොහැකිය. ඔහු විජේ රසකාමියකු පමණක් නොව විවිධ කලා අංශයන් කෙරෙහි ළැබදි බැඳීමක් ඇතිව ප්‍රේක්ෂකයා රසකාමියකුය, නව ආරකට සිනමාව රස විඳීමට ඉඩ සැලසෙන පුරෝගාමී නිර්මාණකරුවෙකි. සැමටම වඩා මිනිස් කමින් පිරිපුන් මිනිසෙකි.

ඔහු ස්වෝත්සහයෙන් සිතුවම් කලාවේ යෙදුණේය. කොටු ගසා විජයගේ පින්තූර නිතර නිතර අඳීන්නට ගත්තේය. ඔහු ශාස්ත්‍රීය ශිල්පියකු නොවුනත් විජයට තිබුණු දැඩි ආශාව නිසා සිතුවමට නැගුවේය. අනාගතේ යම් දිනෙක තමා ගොඩනඟන සිනමා ශාලාවේ දෙපැත්තේ සිතුවම් කරනුයේ මේ රූපය. සිනමා ශාලාවේ වම් පස සහ දකුණු පස සිතුවම් දහයකින් සමන්විතය. විජයගේ දේශපාලන ව්‍යුහය තුළ ඔහුගේ වර්ණයන් සිනමා ශාලාවේ ඇතුළත Interior design බවට පත් කර ඇත. සිනමා ශාලාවේ ඇතුළත ඇති සියලූම ආසන දම් සහා අළු වර්ණය ආලෝකයෙන් දීප්ති වර්ණ රටා ගෙන දේමින් සිනමා ශාලාවට ඇතුළුවන ප්‍රේක්ෂකයාගේ සිත ඇද බැඳ ගැනීමට හැකි අයුරින් නිර්මාණය කර ඇත.

හෙට 14 වැනිදා සිට දින පහක් එක් දර්ශන වාරයක් ‘මහා රජ ගැමුණු’ චිත්‍රපටය තම සේවකයන්ට ගම්වාසින්ට සහ හිතවතුන්ට නැරඹීමට අවස්ථාව ඔහු සලසා දී තිබේ නොමිලයේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවක් බවට ස්ථාපිත මෙම විජය සිනමා ශාලාවේ ප්‍රේක්ෂකයෙකුගේ ප්‍රවේශ පත්‍රය රුපියල් 1000/= සිට 800 දක්වා මිලකට අලෙවි කරනු ඇත. එය අනිත් සිනමා ශාලා සමඟ ගත් විට සහනදායී ප්‍රවේශ පත්‍රයක් වේ. කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් තොරව මෙම සිනමා ශාලාව ප්‍රේක්ෂකයාට දායාද කරන වීරසිරි අධිකාරී. ප්‍රේක්ෂකයාට සිනමා පටයක් නැරඹීමේ දි තිබිය යුතු සියලු පහසුකම් සපයා තිබීම විශේෂත්වයකි. සිනමා ශාලාව ප්‍රේක්ෂකයාට දායාද කිරීමටත් ප්‍රථම විවිධ පුද්ගලයන්ගෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාර සහ පල නොකියා පලා බෙදීම් ද නොතිබුණා නොවේ. වසර පහළොවක් විස්සක් ගත වුවත් සිනමා ශාලාව ගොඩනැගීමට යට කළ මුදල් ඉපය නොහැකි බව ඔහු සඳහන් කරයි.

මේ ස්ථානය ස්ථාපිත කිරීමට සැරසෙන විට බැංකු ණයකර ඔහු සොයා ආවේ ඔහු ණය මුදල් ඉල්ලීමටත් ප්‍රථමය. ඒත් තම පියා පවත්වාගෙන ආ ව්‍යාපාරවලින් උපයා ගත් මුදලින් හා තම බිරිඳ ඇතුළු දරුවන්ගෙන් ලැබුණු මුදල්වලින් ඔහු⁣ගේ ආශාව ඉටු කර ගන්නට වීරසිරි අධිකාරිට පවුලෙන් ලැබුණු සහයෝගය වීම විශේෂත්වයකි. සිනමා ශාලාවේ මංගල දර්ශනය සඳහා විජය කුමාරතුංගයන් රඟපෑ මරුවා සමඟ වාසේ හෝ බඹරු ඇවිත් සිනමා පටය තිරගත කිරීමට බලාපොරොත්තු වේ. මංගල දර්ශන වාරයෙන් පසු සාමාන්‍ය ප්‍රදර්ශනය දැනට තිරගතවන සිනමා පට තිරගත කිරීමෙනි. දැනට ලෝක සිනමාවේ පවතින සියලුම භාෂාවලින් නිෂ්පාදිත හොඳ සිනමාපට ප්‍රදර්ශනය ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම ඔහුගේ අරමුණ වේ. තම ව්‍යාපාරයේ සේවකයන් තුන්සීයක් පමණ සිටියත් නව විජේ සිනමා ශාලාව වෙනුවෙන් දහ දෙනෙකු අලුතෙන් සිනමාව ගැන අවබෝධයක් තිබෙන බඳවා ගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි. ඕනෑම ව්‍යාපාරයක් පටන් ගන්නා විට තම හිමිකරුවා සූදානම් වන්නේ තම ළඟම දරුවා හෝ බිරිඳගේ නම යෙදිමටයි. ඒත් වීරසිරි අධිකාරිගේ ව්‍යාපාරයට සියලු දෙනාම ඔහුගේ කැමැත්තට ඉඩ දුන්නේ, කුඩා කළ ඔහුගේ ජීවිතයේ සිහිනය වූ නිසාය. මේ අලුතෙන් ඉදි වූ සිනමා සිනමා ශාලාවේ හිමිකරුවා වන්නේ ඔහුගෙන් පසුව කවුරුන්ද? එහි හිමිකරුවා වන්නේ ඔහුගේ දරුවකුගේ මුනුපුරෙකුය. ඒ මුනුපුරා විජය නමින් නම් වුවහොත් පමණි.

කෙසේ නමුත් එළැඹෙන 16 වැනිදා ඇරැඹෙන ‘විජය’ සිනමා ශාලාව මෙරට සිනමාලෝලී ප්‍රේක්ෂක රසවතුන්ගේ සිනමා සිහිනයට අනගි මෙහෙවරක් ඉටු කරනු නියතය. තම ශ්‍රමය, ධනය වැය කර තමන් ආදරය කළ සිනමා නරඹන්නන් නමින් මෙතෙක් සිනමාශාලාවක් ඇරඹීමට ගත් පරර්ථකාමි චින්තනමය හේතුකොටගෙන විජය සිනමාශාලාව මෙරට සිනමා අම්ඹරයේ සදාකල් දිලෙනු ඇත.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT