තම සොහොයුරු ශිවන්ත අර්ථසාද් මහතාගේ මඟපෙන්වීම මත වයසින් අවුරුදු 17 දී පමණ දේශිය සිනමාවට අවතීර්ණව කාටූන් චිත්‍රපටකරුවකු ලෙස සිනමාවට අතපොත් තැබූ මේ තෙමේ කැමරා භාවිතයෙන් තොරව කාටූන් චිත්‍රපට මි.මී 35 දළසේයා පටලයේ කටු පෑනෙන් චිත්‍රණය කරමින් කදාවළලු..ලංගම සහ ලෝකයා වැනි කෙටි චිත්‍රපට කිහිපයක් ගැටවරවියේදී නිර්මාණය කරමින් කාගේත් කතාබහට ලක්වූයේය.. පසුව හෙතෙම කාටූන් චිත්‍රපට රූ ගැන්විය හැකි කැමරාවක් ද තනා තම සොහොයුරු ගිවන්තයන්ගේ ප්‍රධාන තාක්ෂණවේදියා ලෙසින්ද ප්‍රකට වූයේය..
විශේෂ දර්ශන ප්‍රයෝගයේහි සමත් විශිෂ්ටයකු ලෙසින්ද නමක් තැබූ ඔහු සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු තිර නාටක රචකයකු..කැමරා අධ්‍යක්ෂවරයකු හා සංස්කරණයෙහිද සමතකුව අද්විතීය මෙහෙවරක යෙදුණේය..
අමතක නොවන රස මතක තුළින් හමුවන මේ ප්‍රකට නිර්මාණකරුවා අවස්ථා රැසකදීම තම විසල් මෙහෙවර වෙනුවෙන් සම්මාන රැසකින් සම්මානිත වූ පෙරළිකාරයෝ..නොම්මර එකයි…වරදට දඬුවම්..දෙමෝදර පාලම..අපායේ තත්පර අසූහාරදහසක්…ආදි තවත් ජනකාන්ත සිනමා නිර්මාණ රැසක්ම සිනමා රසිකයාට තිළිණ කළේය. ඔහු නමින් දිනේෂ් ප්‍රියසාද්ය…
අමතක නොවන රස මතක වෙනුවෙන් ඔහු සමඟ කළ ආදරණීය සංලාපයයි මේ!
” කියන්න රස මතක නම් එමටයි….අපි කතා කරමුකො යැයි මුව නැගුණු සිනාවෙන් යුතුව සිය අසුනේ තවත් හරිබරි ගැසුණු දිනේෂ් ප්‍රියසාද් නිහඬවම බිම බලා සිටින්නේය..
මම පෙරළිකාරයෝ චිත්‍රපටය කළානෙ.. ඒ චිත්‍රපටයෙ කොල්ලාගෙ චරිතය කළේ අපේ විජය කුමාරතුංගනෙ…ප්‍රධාන නිළිය තමයි ඉන්දියාවේ ජනප්‍රිය නිළිය තනූජා…ඒ කියන්නෙ කාජල්ගෙ අම්මා..අපි රූපගත කිරීම් කලේ මීගොඩ පැත්තෙ වලව්වක…දැන් සියල්ල සූදානම්…පෙරළිකාරයෝ තිර රචනයත් මගේ..දැන් මම කැමරාවත් සූදානම් කරගෙන ඇක්ෂන් කියල ඕඩරය දෙන්නත් ඉස්සෙල්ලා තනූජා ඉදිරියට දුවගෙන ආවා..මං පුදුම වුණා..මේ මොකද කියලා..දුවගෙන ආපු තනූජා මං ළඟ නතර වෙලා මට වැන්දා..ඇත්තටම මම පුදුම වුණා..තනූජා කියන්නෙ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක්නෙ..මම පුදුම වුණා…එයට මම අකැමැත්ත පෙන්නුවාම තනූජා ” එහෙම කියන්න එපා…අපේ අමිතාබ් බච්චන් වුණත් අධ්‍යක්ෂකවරයාට වඳීන්නෙ නැතිව රඟපාන්න පටන් ගන්නෙ නැහැ කියලා කිව්වා…ඒ ටික අහපු මම පුදුමයටත් පත්වුණා..”
ඉන්දියාවේ සිනමා උළෙලකදි අසුනක පසුවූ අමිතාබ් බච්චන් දිලිප් කුමාර් උත්සව ශාලාවට ඇතුළු වනු දැක වහා හුනස්නෙන් නැගිට ගොස් දිලිප් කුමාර්ට භක්තිමත්ව වැන්දේය..
ඒ ටික කීවේද අපේ කතා නායකයා ” ඒවා අහන්න තරම් සතුටු දේවල් ” යැයිද කියමිනි.
අපේ සිනමාවෙහි ‘වැඩකාරයෙකු” ලෙසින් කීර්තිමත් නාමයක් දිනූ දිනේෂ් ප්‍රියසාද්ගේ මුහුණට සිනාවක් නැගී එන්නේය..හේ දෑතේ දෑඟිලි පටලමින් ඒ සිනාවෙන්ම පසුවන්නේය..
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ අපේ කතා නායකයා අතර තිබූ බැඳීම අතිශයින් සමීපය…ගාමිණී ගත් තීරණයක් නැවත වෙනසක් නොකරන තැනැත්තකු බව ප්‍රකට කරුණක් වුවද මේ දෙදෙනාගේ මිත්‍රත්වය ගැඹුරැති නිසාදෝ ඇතැම් අවස්ථාවලදී දිනේෂ්ගේ බසට ගාමිණී සවන්දුන් අවස්ථාද නැත්තේ නොවේ..
තම කිසියම් අවශ්‍යතාවකට ගාමිණි ෆොන්සේකා පුත්තලම ප්‍රදේශයට ගියේය..එම ගමන ගියේද තනිවම නොවේ..ගාමිණීගේ ජිවිතයේ අන්තිම මොහොතේදීත් ගාමිණී ළඟම පසුවූ ගාමිණීගේ නිවසේම පසුවෙමින් හැමදෙයක්ම ඉටුකරදුන් ඔහුගේ සේවක ජයලත් ද සමඟිනි..ගිය කාරිය කරගෙන ආපසු එන අතරේදී
” ජයලත්…අපිට තේ එකක් බොන්න පොඩි කඩයක් බලපන්….” ගාමිණී කීවේය..
තවත් මඳදුරක් ගිය රථය ටකරන් සෙවිලි කළ කඩයක් ළඟ නැවැත්විණි. ජයලත් සමඟම ගාමිණී කඩයට ඇතුළු වූයේය…උණු උණුවේ ආප්පද කා තේ දෙකකින් ද සප්පායම් වූ ඔවුහු අසුනින් නැගිට එන්නට සූදානම් වූවා පමණි…තේ බීමට කඩයට පැමිණ සිටි තරුණයන් රංචුවක් ගාමිණී දෙසම බලා සිටියහ.. පසුව ගාමිණීට ඇහෙන්නට අනම් මනම් කියන්නට ද වූහ….තම අසුනින් නැඟිට යන ගාමිණී පෙරට තැබූ පියවර එකතැනම තබා නැවතුණේය.. තම සාක්කුවට අතක් දැමුවේය..”
බෙන්සන්” සිගරට් පැකැට්ටුව අතටගත් ගාමිණී එය විවර කර ජයලත් දෙසට දිගු කළේය..
” ජයලත්…මුන් හතර දෙනාගෙන් බිම වැටෙන වැටෙන එකාට එක එක සිගරට් එක ගානෙ දීපන්..හරිද..”
ජයලත් ද “හා ” යැයි කියා වෙන්නට යන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව තූෂ්ණීම්භූතව මෙන් බලා සිටියේය..
තමන්ට අරියාදු පෙන්වූ තරුණයන් අතරට ගිය ගාමිණීගේ අතින් පහර කෑ තරුණයන් හතර දෙනා තැන තැන බිම වැටෙද්දී තම හාම්පුතා කියූ ලෙසටම ජයලත් සිගරට් පැකැට්ටුවෙන් එක සිගරැට්ටුව ගානේ උන්ට බෙදා දුන්නේය…
පසුදා ඒ පහරදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු පැමිණියේ ගාමිණීගේ නිවසටය..
” බලන්ඩකො කරල තියෙන දේ..ඒ තරුණයන්ගෙ එක්කෙනෙක්ගෙ කටේ ඉදිරි දත් නැහැ..තව කෙනකුට මුහුණට තුවාලයි… අනිත් අයටත් හොඳටම තුවාලයි..”
” ඇත්තද..”
” ඔහොම ගැහුවෙ අතට නකල් සෙට් එකක් දාගෙනද…” පොලිස් නිලධාරියා ගාමිණිගෙන් ඇසූ එම ප්‍රශ්නය එසේ අසා නොසිටියානම් හොඳයි කියාද ඔහුට පසුව සිතෙන්නට ඇත.
පොලිස් නිලධාරියා දෙස සෘජු බැල්මෙන් බලා හුන් ගාමිණී..
“තමුසෙ ආව නම් තමුසෙගෙ ආපු වැඩේ කරගෙන යනවා…” යැයි කීයේය…තවත් එතැන නොරැඳී නැගී සිටි පොලිස් නිලධාරියා තමන් ලබාගන්නට පැමිණි ගාමිණීගේ කටඋත්තරයද පසෙක ලා අඩියට දෙකට ගේට්ටුවෙන් පිටවී ගියේලු.
අපේ කතා නායක දිනේෂ් ප්‍රියසාද් මහතා ප්‍රීතියෙනි. ඔහු යමක් මතක් කරන්නේය…
” මේ කියන කාලයේ ගාමිණී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක..ගාමිණී ළඟ තිබිච්ච නිහතමානී ගුණය මම කවදත් අගය කරනවා…” යැයි කී හේ අපේ රස මතක අතරට මේ කතාවද කියන්නේය..
අපායේ තත්පර අසූහාරදහසක් සිනමා සිත්තම ද අපේ කතා නායකයාගේය..එහි රූපගත කිරීම් එදින යොදාගෙන තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ ගබඩාවක වැනි විශාල ශාලාවකය.. රූපගත කිරීමට අවශ්‍ය පසුතල නිර්මාණය (සෙට් එක) තවමත් හදා ඉවර නැත.
හරියටම කලට වෙලාවට පැමිණෙන සිරිතකින් හෙබි ගාමිණී ෆොන්සේකා මහතා පෙරවරු අට පමණ වනවිට පැමිණෙන බව කී විටදී සෙට් එක සාදන්නා අපේ කතා නායකයාට කීයේ මේ වැඩේට තව වෙලාව යන බවකි…අව් කණ්ණාඩියක්ද පැළැඳී ගාමිණී පැමිණියේය…සෙට් එක තවම හදන බව දිනේෂ් ප්‍රියසාද් මහතා ගාමිණී ට කීයේය..
” මට කොළ වගයකට අස්සන් කරන්න තියෙනවා. මම පාර්ලිමේන්තුවට ගිහින් ඒ වැඩේ කරලම එන්නද…කියලා ගාමිණී මගෙන් ඇහුවාම මම ගාමිණී දිහා බැලුවෙ අහන්නත් දෙයක්ද කියන බැල්මෙන්…එතැනදි ගාමිණි වටිනා කතාවක් කිව්වා…
” මේක සමූහ කටයුත්තක්..කියල කිව්වා..ඒක ලොකු කතාවක්..ලොකු පාඩමක්..කියල දුන්නා. කෙහොම හරි ගාමිණී පාර්ලිමේන්තුවට ගිහින් එයාගෙ වැඩෙත් කරගෙන එද්දි අපේ සෙට් එකත් හදල සූදානමින් තිබුණා..”
අපේ දිනේෂ් කියන්නේය..
ලාංකේය සිනමාවේ යුග මෙහෙවරක යෙදුණු අපේ ආදරණිය කතා නායකයා සමඟ තවමත් අමතක නොවන රස මතක අතෙර්ය…ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න ද එක එක තාලෙට ඡායාරූපකරණයේය…
ඔහුට වඩාත් සමීපතමයකු වු ගාමිණී පිළිබඳ කතා කරන්නට ඔහුගේ ලොකුම සතුටක් වුවත් විජය කුමාරතුංගයන් ගැනද හෙතෙම කතා කළේය..
අපේ සිනමාවෙ තිබුණු දෙයක් තමයි එකිනෙකා කෙටවිල්ල.. ඒක හරිම වැරදි වැඩක්…එක්කෙනාට එක්කෙනා ගැන කේලම් කියලා තරහ කරවනවා..කොටවනවා. මතකද…ගාමිණී හා මාලිනී දෙන්න තරහයි..කියල කතාවක් තිබුණා.. මේ චිත්‍රපටයෙ ගාමිණී එක්ක රඟපාන්න තියෙන්නෙ මාලිනීටයි..මේකෙ මාලනී රඟපාන්නෙ ගණිකාවකගෙ චරිතයක්..ඉතින්..කොහොමද මාලනීව මේකට ගෙන්වන්නෙ…මගෙ අයත් එක්කත් මං මේ ගැන කතා කරද්දි එයාල මට කියන්නෙත් ” එපා..එපා..දන්නවනෙ..ඒ දෙන්නගෙ වලියක් තියෙනවනෙ කියලමයි..
හැමෝම මට කිවෙ එපා..එපා..අහන්න නම් එපා කියලමයි..”
හෙට තමයි ගණිකාවකගෙ චරිතය ෂූට් කරන්න තියෙන්නෙ..ඒකට ඉන්නෙ මාලිනී ෆොන්සේකා ..මම ඉතිං දහඅතේ කල්පනා කරනවා..ගාමිණී ඕනම නිළියක් එක්ක රඟපාන්න කැමතියි…ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ නිළියට ගැළපෙන හැටියට හරවලා රඟපානවා..ඒක ගාමිණී දන්නවා…මම ගාමිණී ළඟට ගියා…මට ගාමිණී මුකුත් නොකියන බවත් මට විස්වාසයි..ඒත් මේ දෙන්නා තරහ නිසා තමයි හිතට ටිකක් අවුල්..මම ගාමිණී එක්ක කතාවට වැටිලා…මං වැඩ දාලා..ඉතින් ගාණට ගාමිණීට දැනෙන්න නොදැනෙන්න කීවා ..මේ සීන් එකට ගන්න ඉන්නෙ මාලිනී කියලත් කීවා…මට සැකයි දැන් මාලනී ගැන කිව්වාම ගාමිණී කොහොම වේවිද කියලා…
අනේ එහෙම මුකුත් කීවෙ නැහැ…මාලිනී ඒවිද කියල විතරයි ගාමිණී මගෙන් ඇහුවෙ..මමත් ඉතින්…කිව්ව ඒ වෙලාවෙ..
බලමුකො..කොහොම හරි මාලිනීව ගෙන්වා ගන්න කියලා…
පස්සෙ මම මාලිනීට කතා කරපු ගමන් මාලනී මගෙන් ඇහුවෙ “ගාමිණී දන්නවද මම එන බව” කියලයි..මාලිනී ඇවිත් මරු එකට ඇක්ට් කළා. එහෙමයි තරහයි කියල හිටපු ගාමිණී මාලිනී එකට රඟපෑවෙ…පිටස්තර අය තමයි ගාමිණී මාලිනී කොටවල තියෙන්නෙ…”
ගාමිණී විජය අතරත් කෙටවිල්ල කළා…ගාමිණී විජය එයාලගෙ ඒවාට ගන්න බැරිවුණාම ඔන්න කොටවනවා..කෙටවිල්ල තමයි කරුමය…”
අපේ කතා නායක තෙමෙ කියන්නේය..
ගාමිණී කවදාවත් මගේ වැඩවලදි මුකුත් අහන්නෙ කරන්නෙ නැහැ…කැමරාව කොහෙද තියන්නෙ…මේ මුකුත්ම මගෙන් අහන්නෙ නැහැ…සීන් එක පෙන්නුවාම ඒක ඕ.කේ කරනව මිසක් ගාමිණී කවදාවත් මට වැරැද්දක් කියලා නැහැ…ඒ ගැන අද හිතෙද්දිත් හරි පුදුමයි…”
දිනේෂ් ප්‍රියසාද් කියන්නේය.
මෙහෙමත් සිද්ධියක් වුණානෙ…
අපේ කතා නායකයා අලුත් කතාවකට මුල පුරන්නේය..
දෙමෝදර පාලම මගේ චිත්‍රපටයට ගාමිණී ව ගන්න එපායැ…ගාමිණී එන්න බැහැ කිව්වා…මම ඒ බව නිෂ්පාදකටත් කිවා..ඒත් නිෂ්පාදක මගෙ අතට රුපියල් පනස්දහක් ඇඩ්වාන්ස් කියල දුන්නා..ඉතිං මම මේ ඇඩ්වාන්ස් 50.000ත් අරන් ජා ඇල ගාමිණී ඉන්න ගෙදරටත් ගියා..අපි දෙන්නා ඉතින් වල් පල් කතා කර කර හිටියා..මම අදාළ මාතෘකාවට ආවත් මට ගාමිණී උත්තරයක් දෙන්නෙ නැහැ..මම දවස් තුනක් කතා කළා…උත්තරයක් දෙන්නේම නැහැ…අපි දෙන්නා කෑමට වාඩිවුණා..මොන කෑමක්ද මට…මේක විසඳගෙන ඉන්න එපායැ…මමත් කෑම නොකා කෑම අහුල අහුලා හිටියා…මට උත්තරයක් ගාමිණී දෙන්නේම නැහැ..
පස්සෙ මම මෙහෙම ගාමිණී ට කිව්වා..හිතේ බරකින් වගේ..මං මේ ස්ක්‍රිප්ට් එක පුච්චලා දමනවා…වෙන නළුවකු දමලා මම මේක කරන්නෙවත් නැහැ…වෙන කාටවත් අතට මේක මම දෙන්නෙත් නෑ..මම කිව්වා..ගාමිණී දැන් සිගරට් එක අතේ තියන් කල්පනාවක ඉන්නව වගේ මට පේනවා..සද්දයක් නැතිව හිටපු ගාමිණී එකපාරටම මගෙන් අහනව ” තමුසෙ කවද්ද ඕක පටන් ගන්නෙ කියලා.
ගාමිණී අයියා දැන් වචනෙ දුන්නොත් මං හෙට උදේ ඉඳන් ෆිල්ම් ප්‍රඩක්ෂන් කියල මම කිව්වා.
“කයිවාරු නැතිව වාඩිවෙනවා..” කියල මගෙන් බේරෙන්ඩ බැරිකමට කේන්තියෙන් වගෙ එහෙම කිව්වා..
තවත් ටිකකින් ගාමිණී කිව්වා…එන අවුරුද්දෙ අගෝස්තු පළමුවැනිදාට දාගන්න කිව්වා..මේ යන්නෙ 88 දෙසැම්බර් මාසෙ..”
“ඔන්න ඔහොමයි මම දෙමෝදර පාලමට ගාමිණීව කැමති කරවාගත්තේ..”
අපේ කතා නායකයාගේ මුවෙහි පිරුණු සිනහවකි.
ජයන්ත ධර්මදාස මහතා චිත්‍රපට සංස්ථාවේ සභාපති අසුනට පත් වී ආයේය..නළු නිළියෝ වැල නොකැඩී සභාපතිවරයාට සුබ පතන්නට ගියද එහි නොගිය එකම තැනැත්තා ගාමිණී පමණෙකි.
එය සභාපතිවරයාගේ හිතට හරි නැති. ඒ බව දත් දිනේෂ් ප්‍රියසාද්ගේ හිතවත් ලාල් වීරසිංහ සභාපතිවරයාට කීයේ ගාමිණී ව ගෙන්වාගන්න වැඩේ අපි දිනේෂ් ප්‍රියසාද්ට පවරමු කියාය..
ඒ එක්කම සභාපතිවරයා යෝජනා කළේ අපි ගාමිණී ව දාල චිත්‍රපටයක් කරමු කියාය..
” ඉතින්..ජයන්ත ධර්මදාස මහත්තයා මාවත් එක්කරගෙන එයාගෙ ගෙදරට ගියා..අපි ගාමිණීව දමල චිත්‍රපටයක් කරන්ඩ ඕනා…කියන කතාවත් මා එක්කල කීවා. ඒ එක්කම ඇහුවෙ ගාමිණීගෙ ගණන කීයද කියලත්..
මං කිව්ව ලක්ෂ 15ක් විතර කියලා..ගත්කටටම ධර්මදාස මහත්තයා කිව්වෙ ලක්ෂ 15 ක් නෙමෙයි..ගාමිණී කෝටි 15ක් වුණත් වටිනවා කියලයි..
” ඉතිං ඔන්න මම ජාඇල ගාමිණීගෙ ගෙදරට ගියා. මේ චිත්‍රපටය හදන්නෙ චිත්‍රපට සංස්ථාවයි කියල මට කියන්නත් බයයි. මොකද ගාමිණී සංස්ථාවට කැමති නැහැනෙ..ඉතිං මම එහෙන් මෙහෙන් ගාමිණීට මගෙ කතාව දානවා..ජයන්ත ධර්මදාස වගේම චිත්‍රපට සංස්ථාව කියලත් වැටේවි කීවාම ගාමිණී එකපාරටම මගෙන් ඇහුවෙ තමුසෙ දන්නවනෙ මම සංස්ථාවට එන්නෙ නැහැ කියලා..චිත්‍රපටය යකඩ යකා කියලත් කිව්වා..
ගාමිණී නිහඬය..ඔහුගේ ඊළඟ පිළිතුර දෙස දිනේෂ් බලා හිඳී.
” ඒක හොඳා..අස්සන් කරන්න සංස්ථාව නැතිව වෙන තැනක් දාගන්න කියනවා…”
ගාමිණී කීවේය.
ගාමිණී සමඟ දිනේෂ් දැන් කෑම මේසයේය…ඉඳීආප්පද කමින් කතාව ගියද තවමත් ආ කාරණය පිළිබඳ කතාව අතරමගය..ඒ ගැන අපේ කතා නායකයා අසතුටිනි.
“මගෙ කඳුළු විතරයි නැත්තෙ. මං මෙහෙමත් කිව්වා..වෙන අධ්‍යක්ෂක කෙනෙක් වෙන නළුවකුත් දාල මේක කළොත් එහෙම මටත් මුකුත් ම නැතිව යනවා..”
“හරි දිනේෂ් ජයන්ත ධර්මදාසට කියනව මම විනාඩි පහකට සංස්ථාවට ඇවිත් යන්න එනව කියලා. ”
කවදාවත් වචනය වෙනස් නොකරන ගාමිණීගේ මේ වෙනස් කතාව ඇසූ අපේ කතා නායකයාට කිසිවක්ම සිතාගත නොහැකිව ගාමිණීගේ මුහුණ දෙසම බලාගත්වනම සිටියේය.
“ගත් තීරණයක්…දුන් වචනයක් වෙනස් නොකරන ගාමිණී මගේ වචනයට සැලකූ හැටි ගැන ආපසු එන අතරෙදිත් මම කල්පනා කළා..”
” වචනයක් වෙනස් නොකරන ගාමිණි මට වචනය වෙනස් කළා..ධර්මදාස මහත්තයා මට රු.ලක්ෂ පහක් දුන්නා..ඒකත් අරන් ගියා..ලාල් වීරසිංහත් ළඟ ඉන්නවා..ගාමිණී කඩදාසියකුයි පෑනකුයි අතට අරන් කණ්ණාඩි දෙකත් දාගෙන ආවා.
” එම්.ජි. ආර් ට ගිවිසුමින් මුදල් ගෙවනකොට යටින් අස්සන විතරයි දාල දෙන්නෙ..කැමති ගණනක් එයාටම දාගන්න..අපේ ගාමිණී ලක්ෂ 5ක් ගත්තා කියල රිසිට් එකක් එපා..කියල මම කිව්වෙ”
” ඒ මගෙ කතාවට ගාමිණී බොහොම සංවේදි වුණා..ගාමිණීගෙ ඇස්වල කඳුළු..ඒ කඳුළු දැකල මගෙ ඇස් දෙකත් බොඳ වෙලා..යකඩ යකා චිත්‍රපටයෙ ගිවිසුම් අස්සන් කරන දා ගාමිණීට මල්මාලා දාල පිළිගත්තෙ.. ආණ්ඩුව මාරු වුණා..යකඩ යකා විසිවුණා..අන්තිමට ජයන්ත ධර්මදාසත් සභාපති පුටුවෙන් ගියා..”
සේයාරූ – මාලන් කරුණාරත්න
අමල් යශෝමන් ජයසිංහ