Home » වාරියපොළ අනුනාහිමි අපදානය සිනමාවට

වාරියපොළ අනුනාහිමි අපදානය සිනමාවට

by Thanushika
February 6, 2025 10:15 am 0 comment

උතුම් දළදා වහන්සේත්, සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් රැකගැනීමට වනගත වී සිට සිර අඩස්සියට නියමවූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහා වීරවර බුද්ධ පුත්‍ර වාරියපොළ අනුනාහිමිපාණන් වහන්සේගේ අපදානය සිනමාවට ගෙන ඒමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.

‘වාරියපොළ අනුනාහිමි’ නමින් නම්කොට ඇති මෙම සිනමාපටය මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමිපාණන් වහන්සේ විසින් රචිත වාරියපොළ මාහිමි කෘතිය ඇසුරෙන් නිර්මාණය වේ. ‘වාරියපොළ අනුනාහිමි’ සිනමාපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කලා කීර්ති ශ්‍රී සනත් අබේසේකරයන් විසිනි. මහින්දාගමනය (2011), ශ්‍රී දළදාගමනය (2014), අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ (2014), මහරජ අජාසත් ( 2015), ගුත්තිල (2023) මින්පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමාපට වේ.

මෙහි අර්ථපති වශයෙන් කටයුතු කරනු ලබන්නේ ආචාර්ය සුමින්ද ලෝව්ය. ‘වාරියපොළ අනුනාහිමි’ ඔහුගේ දෙවෙනි සිනමා නිෂ්පාදනය වේ.

මෙහි මූලික වැඩකටයුතු පසුගියදා කන්ද උඩරට මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනා සහ ආශිර්වාද මැද ආරම්භ කෙරිණ.

විශ්ව ලංකා, පබෝධා සංදීපනී, නිලන්ති ඩයස් ඇතුළු රංගන ශිල්පීහු රැසක් මෙහි රංගනයෙන් දායකවෙති.

වාරියපොළ අනුනාහිමි සිනමාපටයේ ප්‍රධාන චරිතයක් වන්නේ කපුවත්තේ මහා අදිකාරම්වරයාගේ චරිතයයි. එම චරිතය නිරූපණය කරනු ලබන්නේ එතුමාගේ මී මුනුබුරා වන ශ්‍රීමත් විෂ්වකීර්ති සර් ජයන්ත කපුවත්තයි.ඔහු ගෝලීය රාජ්‍යත්‍රාන්තික කවුන්සිලයේ ජ්‍යේෂ්ඨ උපදේශක වශයෙන් කටයුතු කරනු ලබයි.

– නයනාංජලී

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT