Home » වසර 2500කට පසු කොන්ෆියුසියස් වේදිකාවේ දී යළි පණ ලබනවා

වසර 2500කට පසු කොන්ෆියුසියස් වේදිකාවේ දී යළි පණ ලබනවා

සම්මානිත ජේ්‍ය්ෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

by Mahesh
June 19, 2025 12:30 am 0 comment

සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලාංකේය නාට්‍ය කලාවට අමිල මෙහෙයක් කළ සරසවි ඇදුරෙකි. හෙතෙම ගත්කතුවරයෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි. ශාස්ත්‍රාලිකයෙකි. ලාංකේය සන්නිවේදන අධ්‍යාපනයේ නිර්මාතෘවරයෙකි. මෙරට වේදිකා නාට්‍ය කලාවට ‘බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්’ නම් සුපතළ නාට්‍යකරුවා ස්ථාපිත කිරීමේ ගෞරවය නාට්‍යවේදී හෙන්රි ජයසේනට හිමිවෙයි. එලෙසම නූතන යථාර්ථවාදී නාට්‍යය කලාවේ පියා වන ‘හෙන්රික් ඉබ්සන්’ මෙරට වේදිකා නාට්‍ය කලාව වෙත හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රටයි. ලාංකේය නාට්‍ය කලාව තුළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර බොහෝ ප්‍රමාණයක් නාට්‍ය අධ්‍යක්ෂණය කර ඇත. වේදිකාවට නංවන ලද ප්‍රථම ඉබ්සන් නාට්‍යය ‘ගැහැනියක්’ මහාචාර්ය සුනන්දගේ අනුවර්තනයක් හා නිෂ්පාදනයක් විය.

මහාචාර්ය සුනන්ද ඉබ්සන්ගේ නාට්‍යවලට වඩාක් ආසක්ත වුවෙකි. ඉබ්සන්ගේ නාට්‍ය ත්‍රිත්වයක්ම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් නිෂ්පාදනය කර ඇත. ඒ ‘ගැහැනියක්’, ‘සයුරෙන් ආ ළඳ’ හා ‘ජන හතුරා’ය. ‘පිටස්තරයෝ’, ‘පොකුරු වැස්ස’, ‘සොක්‍රටීස්’ වැනි නාට්‍ය ගණනාවක් ඔහුගේ නිර්මාණාත්මක ශක්තියෙන් වේදිකාගත විය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘කොන්ෆියුසියස්’ නම් වූ වේදිකා නාට්‍ය ජූනි 21 දා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත වීමට නියමිතයි. වසර 34 කට පසුව ඔහු නිර්මාණය කරන ⁣’කොන්ෆියුසියස්’ වේදිකා නාට්‍යය තේමා කරගන්නේ චීන මහා දාර්ශනික කොන්ෆියුසියස්ගේ චරිතාපදානයයි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ වත්මන් වයස අවුරුදු 87කි. ගතින් වියපත් වුවත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ නාට්‍ය නිර්මාණයට ඇති දැඩි ආශාව වියපත් වී නොමැත. ඔහුගේ මේ නාට්‍ය නිර්මාණය කිරීමේ ආයාසය ලාංකේය නූතන නාට්‍යකරුවන්ගේ කියවීමට සහ අවධානයට ලක් විය යුතුය. මන්ද අවුරුදු 87ක් වැනි අසාමාන්‍ය වයස් අවධියක ‘කොන්ෆියුසියස්’ වැනි අපදානාත්මක නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට දරන සමත්කම ප්‍රශංසාවට ලක් කළ යුතුය. චීනයේ විසූ මහා දාර්ශනික ‘කොන්ෆියුසියස්’ චරිතය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ ජීවිතයේ ඔහු වඩාත් ඇලුම් කළ චරිතයකි. ඔහු පවසන පරිදි කොන්ෆියුසියස් කවියෙකි. මහා ශිෂ්‍ය පරම්පරාවක් ගොඩනැඟු ගුරුවරයකු නොව ශිෂ්‍ය පරමිපරාවක් ඔහු වටා ඉබේ මෙන් ගොඩනැඟුණේ ඔහු සතු අපරිමිත දැනුම් සම්භාරය නිසා බව හෙතෙම පවසයි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවසන පරිදි කොන්ෆියුසියස් උපත ලබන විට කඟවෙිණකුගේ උපත ද ඒ හා සමගාමීව සිදුවෙයි. එය සංකේතවාදයට (symbolism) අනුව ආශ්චර්ය පිළිබිඹු කිරීමට වඩා මෙලොවට නව දැක්මක් සහිත පුද්ගලයෙකුගේ බිහිවීමේ සංකේතයක් බව එතුමාගේ අදහසයි. කොන්ෆියුසියස්ගේ උපත සිදුවන්නේ කි.පූ 500දී පමණය. එවැනි ඈත අතීත යුගයක විසු කොන්ෆියුසියස් දාර්ශනිකයාගේ දේශපාලනික-සාමාජීය අදහස් වර්තමාන සමාජයට ද අතිශයින් කාලෝචිතය වේ.

‘කොන්ෆියුසියස්’ නාට්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ අනුග්‍රහයෙන් නවරත්න ගමගේ නිර්මාශීලී සංගීතයෙන්, බුද්ධදාස ගලප්පත්තිගේ අංග රචනයෙන් හැඩ ගැන්වෙන අතර ජ්‍යෙෂ්ඨ රංගවේදියකු වන කිංස්ලි ලෝස් කොන්ෆියුසියස් ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කරයි. දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ, මෙන්සියස් ලෙසත්, නිහාරි සෝමසිරි කොන්ෆියුසියස්ගේ මව ලෙසත් අනුර දහනායක, ජයනි සරච්චන්ද්‍ර, සරත් චන්ද්‍රරත්න, ජනිත් විපුලගුණ, කිත්සිරි හේවාගමගේ, නයනි රාජපක්ෂ, ප්‍රියන්ත කුලතුංග යන නළු නිළියෝ ‘කොන්ෆියුසියස්’ වේදිකා නාට්‍ය සඳහා ප්‍රාණය ලබා දෙති. ‘කොන්ෆියුසියස්’ නම් ශ්‍රේෂ්ඨ ආපදානය (The Great
Profile) වේදිකා නාට්‍යය අනුවර්තනයක්⁣ ලෙස ප්‍රදර්ශනය වීම වැදගත් ය. මන්ද කොන්ෆියුසියස්ගේ දේශනා පඨිතයක් (Text) ලෙස කියවීමට සහ විමර්ශනය කිරීමට මෙි සෞන්දර්යත්මක අවස්ථාව සහ කල්පනා ලෝකය පුබුදු කරන්න සහ විඥානය අවදි කරවනුවස් ලාංකේය ප්‍රේක්ෂකාගාරයට ඉඩ අවකාශය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් විවර කර දී තිබෙි.

 

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

editor.sarasaviya@lakehouse.lk

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT