කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වු හේ පාසලේ කලා කටයුතු මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වල නිරත වූ දක්ෂ ශිෂ්‍යයකු විය. ද්විතීක අධ්‍යාපනය ආනන්ද විද්‍යාලයෙන් නිම කිරීමත් පසු 1990 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ මැල්බන්හිදී උසස් අධ්‍යාපනය හදාරන ඔහු පසුව එහි ප්‍රධාන පෙළේ ආයතනයක් වන එරික්සන් ටෙලි කොමියුනිකේෂන් ආයතනයට එක්වී රැකියාවේ නිරත වේ. වසර ගණනාවක රැකියාවෙන් පසු පෙරළා ලංකාවට පැමිණෙන්නේ තමා මව් රටට සේවය කිරීම සඳහයි. ඒ පැමිණි ගමන් මගේදී ඔහු විවිධ රජයන් යටතේ තම විෂය පථය තුළ රාජකාරිවල නිරත විය. පසුව කලා කටයුතුවල නිරත වන ඔහු සිනමා සහ වේදිකාව ටෙලි නාට්‍ය යන ත්‍රිත්වය තුළම නිෂ්පාදකවරයෙකු බවට පත්විය. එහිදී ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන සිනමා පට දාහතක්ද, ටෙලි නාට්‍ය හයක් ද, වේදිකා නාට්‍ය දෙකක්ද ප්‍රේක්ෂකයා වෙත තිළිණ කිරීමට ඔහුට හැකි විය. කලා කටයුතු වල නිරත වන අතරතුරේම 2005 වසරේ සිට දේශපාලනික වශයෙන්ද කටයුතු කරන අතර එයින්ද විශාල පන්නරයක් ඔහු ලබා ගනී. මේ ගමන් මගේ පැමිණි ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ධුරයටද රැගෙන ගියේය. ඒත් මේ කාල වකවානුවේදී ඔහු ගැන වැඩියෙන්ම කතා කරන්නට හේතු සාධක වී ඇත්තේ උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුරු ගීතයේ සිනමාපටයේ නිෂ්පාදකවරයා ලෙසයි. ඔහු නමින් අරෝෂ ප්‍රනාන්දුයි මේ ගුරු ගීතය සිනමාපටය සහ ඔහුගේ කලා කටයුතු සම්බන්ධ සරසවිය සමග කළ කතාබහයි.
ගුරු ගීතය සිනමාපටයේ නිෂ්පාදකවරයා වෙන්නේ කොහොමද?
ගුරු ගීතය සිනමා පටය නිෂ්පාදනය කරන්නට ප්‍රථම මම සිනමාපට තුනක් නිෂ්පාදනය කරලා තිබුණා. අනිත්‍යා, රූපාන්තරණය, ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ, මේ සිනමා පට තුන ප්‍රදර්ශනය සඳහා මම චිත්‍රපට සංස්ථාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට යන අතරතුරේදී තමයි ගුරු ගීතයේ සිනමා පටයට නිෂ්පාදකවරයෙක් අවශ්‍යතාවය චිත්‍රපටි සංස්ථාව මට සඳහන් කරන්නේ. මම ගුරු ගීතයේ පොත කියවලා තිබුණත්, කොහොමද ගුරු ගීතය සිනමා පටයකට ගෙන එන්නේ කියන ප්‍රස්තුතය මට මතුවුණා. පොතේ තිබෙන සියලු දේ සිනමාවට ගේනවා කියන එක ලොකු කර්තව්‍යක් නිසා ප්‍රේක්ෂකයාට පොතේ ඉන්නම චරිත සහ එහි ඇතුළත් දර්ශන රූප මාධ්‍යයෙන් ගෙන එම ලෙහෙසි පහසු නොවන බව මගේ යටි සිත හැම වෙලෙදිම මේ සිනමා පටය ගැන චිත්‍රපටි සංස්ථාව මතක් කරන හැම මොහොතකදීම මට දැනුණා. ඒත් ඒ වන විට අධ්‍යක්ෂකවරයා සහ එයට සම්බන්ධ වන කාර්මික ශිල්පීන් අතින් දර්ශන තලවල රූප රාමු ඡායාරූපගත කර තිබෙන බවත් මට ඒ ඡායාරූප බැලීමට හැකි බවයි සඳහන් කළේ. ඒ ඡායාරූප බැලීමේදී මට හිතාගන්න බැරි වුණා. මේ දර්ශනතලවලදි මේ විදිහට ෂූට් කළ අධ්‍යක්ෂකවරයා කවුරුන්ද කියන ප්‍රශ්නය හා ඔහුව මුණ ගැහීමේ අරමුණ මගේ හිතට පැමිණියා. ඒ මොහොතේම මම දෙපාරක් නොසිතා මුදල ගැනවත් නොසිතා මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නට එකඟතාවයකට පැමිණියා. මේ එකගතාවය මත උපාලි ගම්ලත් අධ්‍යක්ෂකවරයා සහ මම මුණගැහිලා මේ සම්බන්ධව දීර්ඝ කතා කිරීමකින් පසුව සිනමා පටය නිෂ්පාදනය කරන්නට මම තීරණය කළා. මේ ආකාරයට තමයි මම ගුරු ගීතයේ සිනමා පටයට සම්බන්ධ වෙන්නේ.
ගුරුගීතය පොතේ තිබෙන දර්ශනම සිනමා පටයට ගෙන ආ යුතු බව අධ්‍යක්ෂකවරයාට සඳහන් කළාද?
ඔහුත් මාත් අතර ඇතිවූ එකඟතාවය මත හරිම සුහදශීලී ලෙස සිනමා පටයේ වැඩකටයුතු අවසන් කිරීමට හැකි වුණා. මම භාර ගත්ත අභියෝගයට හොඳ අය වැයකට සිනමා පටයේ වැඩකටයුතු කරදෙන්නට ඔහු සුහදශීලී වීම මේ සිනමා පටයේ සාර්ථකත්වයට හේතුවක් වුණා. රූපගත කළ නේපාලයේ සුන්දර මනස්කාන්ත ප්‍රදේශයක් වන මනන් ප්‍රදේශය ප්‍රේක්ෂකයාගේ සිත් සතන් ඇද බැඳගන්න සුලු වුණා. එදා සහ අද සංසන්දනය කරලා බලන විට ලේඛකයත් එක්ක අධ්‍යක්ෂකවරයා නියම ස්වරූපය රූප රාමුවෙත ගෙනත් තිබෙනවා. මම කිසිම ආකාරයකින් අධ්‍යක්ෂවරයාගේ භූමිකාව රංගනයේ යෙදෙන්නට කැමැති වුණේ නැහැ. නිෂ්පාදකවරයාගේ භූමිකාව පමණයි ඉටු කළේ.
විශාල පිරිවැයක් දරා ගුරු ගීතය සිනමා පටය තිරයට එන විට මොකද හිතුණේ?
සිනමා පටය රූපගත කිරීම් සිට නිෂ්පාදනය ඉතාම දුෂ්කර කාර්යයක් බවට පත්වුණා. විශේෂයෙන් මේ අධ්‍යක්ෂකවරයා ලෙස උපාලි ගම්ලත් මහත්තයාගේ උත්සාහය සහ එයට එක් වූ කණ්ඩායමේ කැප කිරීම මේ අවස්ථාවේදී අගය කළ යුතුයි මා නිෂ්පාදකවරයා හැටියට. අනිත් සිනමා පටවලට ප්‍රදර්ශනයේදී මුහුණපෑමට එන අභියෝගම මේ සිනමාපටයටත් පැමිණියා. රූපගත කිරීම් කර වසර දොළහකට පසුවයි මෙය තිරගත වෙන්නේ. මේ වන විට ඉතාම සාර්ථක ලෙස දින හැටපසු කරමින් සිනමා පටය ප්‍රදර්ශනය වෙනවා දිවයින පුරාම. විශාල අභියෝග රැසකට මුහුණ දීලා තමයි මේ සිනමා පටය ඉදිරියට රැගෙන යන්නේ. ප්‍රදර්ශනයේදී ගුරු ගීතයට පමණක් නොව අනිත් සිනමා පටවලටත් තියෙන ප්‍රශ්න මේ කාලසීමාවේදී බලපානවා. වසර දහයක් තිස්සේ මේ ගැටලුව ක්ෂේත්‍රයේ තුළ පවතින බව අදාළ වගකීවයුත්තන්ට සඳහන් කළත් තවම එයට විසඳුමක් ලැබී නැහැ.
සිනමා පටයක් ප්‍රදර්ශනයේ දි සිනමා ශාලාවල පවතින අඩුපාඩු සම්බන්ධව විධිමත් පියවරක් ඉදිරියට ගනීද?
ඒත් නව රජයේ විෂය භාර අමාත්‍යවරයා මේ බව කඩිනමින් සොයා බලා කටයුතු කරන බවද සිනමා පටය මංගල දර්ශනය දා සඳහන් කළා. දැන් රජයට සම්බන්ධ වෙලා ඉන්න විෂය පථයට අදාළ සියලූම දෙනා මේ තාක් පැන නැගී ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙයි කියලා විමසිලිමත්ව බලාගෙන ඉන්නවා.
මේ වන විට දින හැට පසු කරන විට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
මේ වන විට දිවයින පුරා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරයි.
මෙම සිනමා පටය දිවයිනේ ප්‍රදර්ශනය නොවන තැන්වල පවා ප්‍රදර්ශනය කිරීමට ඔවුන් වග බලා ගත්තා. බෙදා හැරීමේ මණ්ඩල සමග කතාකරලා ප්‍රදර්ශනය නොවන ප්‍රදේශවලට පවා මේ වන විට සිනමා පටය ප්‍රදර්ශනය ආරම්භ කරලයි තියෙන්නේ. රිද්මා මණ්ඩලේ ප්‍රදර්ශනයක් ලෙසයි ගුරු ගීතය ප්‍රදර්ශනය වන්නේ මේ වන විට
සිනමා පටයට දායක වන නළු නිළියන් තෝරා ගැනීම සිදු කළේ කෙසේද?
මේ වන විට සිනමා පට දාහතක් මම නිෂ්පාදනය කරල තියෙනවා. ඒ කිසිදු නිර්මාණයකට මම නළු නිළියන් තෝරා ගැනීමට මැදිහත් වෙලා නෑ. මම සිනමාපටයන් නිෂ්පාදනය කරනවා නම් එහි තිර පිටපත සහ අධ්‍යක්ෂකවරයා මෙන්ම එයට දායක වන නිෂ්පාදක කණ්ඩායම ගැනයි මගේ පූර්ණ විශ්වාසය පවතින්නේ. ක්ෂේත්‍රය තුළ විශ්වාසය රඳා පවතින්නේ. මම නිෂ්පාදනය කළ සිනමා පට දාහත අතුරින් මේ වන විට සිනමාපට දහයක් ප්‍රදර්ශනය වී හමාරයි. ඒ සියලු සිනමාපට අතුරෙන් පසුවටත් අදටත් කතා කරන එකම සිනමාපටය බවට ගුරුගීය සිනමාපටය පත් වී හමාරය.අධ්‍යක්ෂකවරයා සිනමා පටයේ චරිත වලට අදාළ චූටි චූටි චරිත වලට පවා අවශ්‍ය හොඳම කෙනා පමණයි තෝරාගෙන යොදාගෙන තිබෙන්නේ.. මගේ ජීවිතයේ මම කියවූ පොත් අතරින් සුන්දරම පොතක් වෙන්නෙත් ගුරු ගීතයයි. එහි එන සියලුම චරිත මගේ මනසේ චිත්‍රණය කොට තිබෙන්නේ.
පාසල් ළමුන් සඳහා නිර්දේශිත සිනමා පටයක් බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ කළා නේද?
ලෝකප්‍රසිද්ධ මෙම නවකතාව රටවල් ගණනාවක විවිධ භාෂාවලින් නිර්මාණකරණයේ යෙදිලා තිබෙනවා. ළමයාගේ කුඩා කාලයේ ජීවිතය සුන්දරව ගෙවීමටත් මූලික අධ්‍යාපනය ලබාදීමටත් වැඩිහිටියන් වශයෙන් වග බලා ගත යුතුයි. ඒත් ඒ සියල්ල පසෙකලා දරුවාගේ ලෝකය බිඳ දමන වැඩිහිටියන්.ඔවුන්ගේ අභිප්‍රායන් ඉටුකර ගැනීමටයි දරුවා යොදාගන්නේ. එවැනි කතා තේමාවල් හරි දුර්ලභ නිසාත් ළමයාට එවැනි ලෝකවල් සිනමාව තුළින් හරි පෙන්වීම වටින නිසාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙයට ළමයින්ට පෙන්විය යුතු සිනමාපටයක් බවට නිර්දේශ කළ හමාරයි. ඒ නිසා සිනමා පටය පාසල්වල ප්‍රදර්ශනය කිරීමට තව නොබෝ දිනකින් ආරම්භ කරනවා. දින හැට සම්පූර්ණ කරන විට පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එම උත්සවයට සහභාගී වුණා.එහිදී ඔවුන්ගේ ඉල්ලීම ද වුණේ දරුවාට මේ පෙන්විය යුතු බවයි.
මේ වන විට ප්‍රේක්ෂකයා නරඹන්නට එන සිනමා පට නොවී වෙනත් සිනමා පටයක් සිනමාහලේ ප්‍රදර්ශනය වෙන්නේ. එයට හේතුව කුමක්ද?
මම එක් මණ්ඩලයක අධ්‍යක්ෂක ධූරයක් දැරුවාට තනි පුද්ගලයෙක් හැටියට මට තීන්දු තීරණ ගැනීමේ අපහසුතාවල් තියෙනවා. ඒත් මෙවැනි ප්‍රශ්න ගැන අපි සෘජුව මණ්ඩලවල කතා කරමින් සිටින්නේ. එවැනි ප්‍රශ්න වලට කුමන හෝ මාර්ගයකින් ප්‍රේක්ෂකයාට විසඳුම් ගෙනදීමේ මගේ එකායන අරමුණයි. රජයක යුතුකම වන්නේ මේවාට නියාමනයක් පැනවීමයි. එසේ නියාමනයක් ගෙන ආවොත් ප්‍රේක්ෂකයාට අවශ්‍යය සිනමාපටය නැරඹීමේ අවස්ථාව උදාවෙයි. එතකන් මේ විදිහටම තමයි ප්‍රේක්ෂකයාට සිනමාපට බලන්න වෙන්නේ. ඕනෑම කර්තව්‍යයකට ඒ විෂය පථයට සම්බන්ධ පාලන අධිකාරිය විසින් මැදිහත් විය යුතුයි. එසේම මාසෙකට නිකුත් කරන සිනමාපට ප්‍රමාණයක් සීමා විය යුතුයි. නිෂ්පාදකවරයාටත්, අධ්‍යක්ෂකවරයාටත් මණ්ඩලවලටත් සාධාරණයක් ඒ හරහා ඉටු වෙනවා. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම කොතනද තියෙන්නේ කියලා අපි සොයාගත යුතුයි.
වසර 12 වැන කාලයක් ගතවෙනවා ගුරුගීතය නිෂ්පාදන කටයුතු අවසන් කළ නිෂ්පාදකවරයෙකුට පුළුවන්ද වසර ගණනාවක් යනතුරු තම නිර්මාණය තිරගත වනතුරු බලා ඉන්න?
ගුරු ගීතයේ සිනමාපටයට පමණක් නොවේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන්නේ චිත්‍රපට ගණනාවකට මේ ප්‍රශ්නයට අද මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපි මෙහි නිෂ්පාදන කටයුතු අවසන් කරලා පොරකෑමේ ක්‍රියාවලියේ යෙදුණේ නැහැ. මොකද ගුරු ගීතයේ කියන සිනමා පටය වසර ගණනාවක් ගත වුණත් ප්‍රේක්ෂකයාට නරඹන්න පුළුවන් ආකාරයෙන් සහ රසවිඳීන්න පුළුවන් හැකියාවෙන් අපි නිෂ්පාදන කටයුතු අවසන් කළේ.මේ කතාව දීර්ඝ ඉතිහාසයකට දිවෙන නිසා කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වාම රස විඳීන්නට කැමතියි. මේ ප්‍රශ්නයට කියන්න තියෙන්නේ අර මම මුලින් කිව්වා වගේ ක්‍රමවේදයක් නොමැතිකම නිසා තමයි ප්‍රමාදයට හේතු වුණේ.ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය හරියට සිදුවෙනවා නම් චිත්‍රපටි වල මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදු වෙන්නේ නෑ.
සිනමා පටයට දර්ශනතල තෝරා ගැනිම සිදුවුණේ කොහොමද?
මේ සිනමාපටය දර්ශනතල සෙවීමේ පුර්ණ ගෞරවය අධ්‍යක්ෂවරයාට හිමි විය යුතුයි.ඔහුගේ මනසේ ඇදුන චිත්ත රුප තමා සිනමා පටය පුරාවටම දිස්වන්නේ. උපාලි ගම්ලත්ගේ විනෝදාංශය තමා කඳු නැඟීම ඒ ගිය ගමනකදි හිමාලය කදු වැටියේ උසම තැනක එක් ප්‍රදේශයක් වන නේපාලයේ මනස්කාන්ත ප්‍රදේශයක් තම මේ දර්ශන තලයට තොරාගෙන තිබේන්නේ. පළමු වතාවට බැලු කෙනකු මේ මනස්කාන්ත මනන් ගම්මානය සෝයාගෙන යනවා නිසැකවම. හැම මොහොතකම ගුරු ගිතය පොත කියවද්දි වින්ද ඒ සුන්දර කම සිනමා පටය අවසන් වනතුරුම අධ්‍යක්ෂකවරයා රුගෙන ගිහින් තිබෙනවා. එය සිනමා පටයක් කිරිමේදි ලෙහෙසි පහසු නොවෙනවා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රෙක්ෂකයාට උසස් තත්වයෙන් යුතු සිනමා පටයක් තිරයට ගෙන එන්න එයට සහභාගි වු සියලු දෙනාට පුළුවන් වුණා. අධ්‍යක්ෂකවරයා මුලින්ම මෙහි රුපගත කිරිම් නුවරඑළිය ප්‍රදේශයේ කරන්නයි තිරණය කරලා තියෙන්නේ. පසුව ඔහු තීරණය කරලා තියෙනවා නුවරඑළිය ප්‍රදේශයේ තෝරා ගත්තොත් පොතට කරන සාධාරණයන් නිසා තමයි මේ හිමාලය ප්‍රදේශයේම තෝරාගෙන තිබෙන්නේ. මම නිෂ්පාදනයට එකතුවුණාම ඒ සියල්ල වෙනස් වුණා. ඔහුට ඕන විදිහට නිර්මාණය කරන්නට මම ඉඩ හැරියා. මම දකින්න අය වෙනත් අධ්‍යක්ෂකවරයකුට මේ වගේ පසුතල හොයාගන්නට පුළුවන් උණාද කියලා නිර්මාණයක් වෙනුවෙන් තමන්ගේ.
සමහරක් දෙවල් නිර්මාණය තුළ අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වෙනස් කරන්න සිදුවෙනවා. එය යහපතට හෝ අයහපතටද බලපානවා. මම නිර්මාණයක යෙදෙන්නේ ලාභ ලබන්නම නෙවේ.
නිර්මාණයට එකතු වුණු රංගන ශිල්පීන් හා කාර්මික ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වය ගැන මොකද හිතෙන්නේ?
මම හිතන්නෑ මෙතෙක් නිර්මාණය කළ නිර්මාණයකට කිසි තැනක මෙවැනි දායකත්වයක් එයට එකතු වුණ ශිල්පීන් ලබා දීලා තියෙනවා කියලා. දින නවයක් පුරාවට කිලෝමීටර් අනූවක් පයින් ඇවිදගෙන, බූරුවන්ගේ පිටේ බඩු පටවාගෙන ගොස් හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් කළ මේ ක්‍රියාන්විත මෙහෙයුමක් වැනි සිනමාපටයක් ලෝකයේ කිසිදු තැනක නිර්මාණය වුණා කියලා මම හිතන්නේ නැහැ මේ වනවිට. විශේෂයෙන් අධ්‍යක්ෂකවරයාගේ තියෙන ප්‍රායෝගික දැනුම තමයි මේ හැම දේකටම කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කිරීම තුළ හේතු සාධක වුණේ ඔහුගේ කැප කිරීම මේ නිර්මාණය වෙනුවෙන් මම අගය කරනවා. මේ නිර්මාණය වෙනුවෙන් ගිය තවත් ශිල්පින් පිරිසක් සීතල, ප්‍රදේශයේ තියෙන දුෂ්කරතාවය උහුලගන්න බැරුව නැවත හැරිලා ආවා. අවසානයේ ගිය ප්‍රධාන නළුවා හා නිළිය රොෂාන් රවින්ද්‍ර හා කල්පනී ජයසිංහ ඇතුළු හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායම තමයි එදා අපි ඒ කියවපු දුෂේන් දරපු උත්සාහයටත් අල්තීනාට සාධාරණය ඉෂ්ට සිද්ධ කළේ. ඒ ගියේ සියලු දෙනාම ඒකායන ප්‍රාර්ථනය වුණේ නිර්මාණය අවසන් කර පැමිණීමයි.
සිනමා පට දාහතක් නිෂ්පාදනය කළ ඔබ සම්මානනීය නිෂ්පාදකවරයෙක් බවට පත්වෙලාද?
මම නිර්මාණය කළ සිනමා පට ගණනාවකට පත් සම්මානයෙන් පිදුම් ලබල තිබෙනවා. ඒත් මේ වන විට වැඩිම සම්මාන සංඛ්‍යාවක් අන්තර්ජාතික මට්ටමෙන් හිමිවෙලා තියෙන්නේ ගුරු ගීතය සිනමාපටයටයි. මෙවැනි සිනමාපටයකට සම්මාන හිමිවෙන්නේ එදා ජීවිතේ පරදුවට තබලා හයදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් කළ මෙහෙවර වෙනුවෙන් කියන එක සියලූම දෙනා කතා කරනවා. එක පැත්තකින් මම හිතන්නේ අවුරුදු දොළහක් සිනමාපටයේ තිරගත නොවී මම මේ සම්මාන හිමිවීමට හේතු සාධක වෙන්න ඇති කියලත් හිතනවා. තවත් වසර ගණනාවක් ගත වුණා නම් මීට වැඩිය සම්මාන සංඛ්‍යාවක් මේ සිනමා පටයට හිමිවෙයි. ලෝකය පුරාම සිටින ප්‍රේක්ෂකයන් කල්පනීටත් රොෂාන්ටත් ආදරය කළා ඒ චරිත දෙක වෙනුවෙන්. ඒ සියලු දෙනා වෙනුවෙන් ලාංකික නිර්මාණකරුවන් හැටියට අපි තුති පිදිය යුතුයි. කිසි දිනක මම නිෂ්පාදන කටයුත්තකට අත ගහලා නෑ සම්මාන බලාපොරොත්තුවෙන්.
වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයම නිෂ්පාදකවරයකු බවට ඔබ පත්වෙනවා නේද?
මේ වන විට මම සිනමාපට දාහතක්ද ටෙලි නාට්‍ය හයක්ද වේදිකා නාට්‍යය දෙකක්ද නිෂ්පාදනය කර තිබෙනවා. මේ අංශ ත්‍රිත්වයටම මම එක හා සමානව කැමැත්තක් දක්වනවා. නිෂ්පාදකවරයෙක් හැටියට පක්ෂ පාට භේද තියාගෙන මම නිෂ්පාදන කටයුතු වලට අත ගසන්නේ නැහැ.හොඳ තිර පිටපතක් තියෙනවා නම් හැම වෙලේම මම නිෂ්පාදකවරයෙක් හැටියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රේක්ෂකයාට ගුණාත්මක බවින් යුතුව සමාජයට පණිවිඩයක් ගෙන එන ඕනෑම නිර්මාණයක් තුළ අරෝෂ ප්‍රනාන්දු කියන නිෂ්පාදකවරයා ඉන්නවා.
නිර්මාණ වෙනුවෙන් පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
හැම නිර්මාණයක් වෙනුවෙන්ම බිරිඳ ඇතුළු පවුලෙන් ලැබෙන සහයෝගය මට අගය කළ යුතු වෙනවා. ඔවුන්ගෙන් මේ වෙනුවෙන් සහයෝගය නොලැබුණා නම් මෙච්චර නිර්මාණකරණයකට මට දායක වෙන්නට ලැබෙන්නේ නැතිවෙයි. මගේ ව්‍යාපාර කටයුතු සහ අනෙකුත් කටයුතු සමබරව කරගෙන සමාජයට යහපත් දෙයක් ගෙනෙන්නට මට හැකිවුණා නම් ඒ සියලූම කර්තව්‍ය පිටුපස සිටින්නේ මා ළඟින් සිටි පිරිසයි.
ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?
මේ වන විට සිනමා පට සහ ටෙලිනාට්‍ය වේදිකා නාට්‍යයේ කිහිපයක්ම නිෂ්පාදන කටයුතු අවසන් කරලයි තිබෙන්නේ. බුද්ධික දමයන්ත අධ්‍යක්ෂණය කළ චේගුවේරා වේදිකා නාට්‍ය මැයි මාසෙත්, ලකී ඩයස් අධ්‍යක්ෂණය කළ Breaking News Cinama පටය ජූලි මාසෙත් තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ටෙලි නාට්‍ය නිෂ්පාදන පැත්තෙන් ගත්තොත් අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ සමනලුන්ට එන්න කියන්න, කැලුම් පාලිත මහීරත්න අධ්‍යක්ෂණය කළ විහාරා ටෙලි නාට්‍ය දෙකක් මේ වසරේ විකාශය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ. මේ වසර හරිම කාර්ය බහුල වසරක් ලෙසයි මම දකින්නේ. ඒ සියලු දේවල්ම කරන අතරතුරේ ව්‍යාපාරික පැත්තත්, දේශපාලනික වශයෙන් මේවන විට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපතිත්වය දරනවා. මේ සියලු දේවල් සමගින් ජීවිතය හරිම සතුටින් ගතකරනවා.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න