Home » වසන්තය එනවා සත්තකින්ම මම දැක්කා

වසන්තය එනවා සත්තකින්ම මම දැක්කා

ගුරු ගීතය චිත්‍රපටයේ අල්තීනයිට ජීවය දෙන රංගන ශිල්පිනී කල්පනී ජයසිංහ

by Thanushika
January 30, 2025 10:35 am 0 comment

හැම ජීව ප්‍රාණයකටම තමාගේම වසන්තයකුත් තමාගේම සරත් සමයකුත් තිබෙනවා. මා ඉදිරිපිට සිටින්නේ අල්තීනායි සුලෙයි මානවා පඬිවරිය නොව, දුකේදී හඬා වැලපෙන, සැපෙහි දී සිනාසී ප්‍රීති වන, කිර්ගිස් ගැහැනියක් බව සැණෙකින් මට පෙනී ගියේය. ඉතාම උස කඳුන් මුදුන්වලට පමණක් නොඇසෙන අපේ ගීතයන් ගයන ඒ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ හැටියකි මට දැනුණේ. පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සූදානම් වූ නමුදු නිහඬ වූවාය.

“මොස්කව් යන දුම්රිය මෙතනින් යන්නේ එකොළහටද”( පිටුව 15)

දැන් මොස්කව් වෙලාව රෑ දෙකය. මා නවාතැන් ගෙන සිටින මොස්කව් හෝටලේ සඳළුතලයේ හිඳ නිවී යන පහන් දෙස බලමින් මා සිතන්නේ. අයිලයට ගොස් ගුරුතුමා හමුව ඔහුගේ සුදු පැහැති යටි රැවුල සිපන සැටිය…

මම ජනේලය හැරෙමි. සිසිල් සුළං කාමරයට වදියි.හිමිදිරි පාන්දර ආලෝකයේ ආධාරයෙන් මගේ දර්ශන දෙස බලමි. අඳීන ලද දර්ශන බොහෝය. හිමිදිරි පාන්දර අරුණෝදය නිසා පිබිද ඇවිදින මම කල්පනා කරමි. එසේ කල්පනා කරන හැම විටකදීම මට හැඟී යන්නේ මගේ දර්ශන තවමත් සිතිවිලි දාමයකට පමණක් සීමා වී තිබෙන බවය.

එසේ වුණ ද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතා කිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳීන චිත්‍රය පළවෙනි ගුරුවරයාට,අපේ අයිලේ පළමුවෙනි කොමියුනිස්ට්වාදියාට, දුයිෂේන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඈතයි මම සිතමි. සටන් වලින් පිරියේ අසීරු ජීවිතයත්, විවිධ ඉරියව්වලට කැපවූ මිනිස් හැඟීම් සහ බලාපොරොත්තු තෙලි තුඩින් හා සායම්වලින් පිළිබිඹු කළ හැකිදැයි මම නොදනිමි. සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද?මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ. ඔබ මා සමග එක් වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරයකු විය යුතුය. (උපුටා ගැනීම චිංගීස් අයිත්මාතව් 1928-2008 ගුරුගීතය පරිච්ඡේද 97,98 අවසන්)

මේ දවස්වල කා අතරත් කතා බහට ලක්වන ගුරු ගීතය සිනමා පටයේ අල්තිනායි චරිතයට පණ පොවන කල්පනී ජයසිංහ කියන්නේ අපට කවදත් අමතක කරන්න බැරි අමතක වෙන්නෙත් නැති චරිතයක්ය. ඒ තරම්ම කලා ලෝකය ඇතුළේ ඇය විශේෂයි.අද වන විට වේදිකාවට පමණක් නොව සිනමාව දක්වා එයට විශේෂත්වය වී ඇත්තේ ඇගේ රංගන වින්‍යාසයයි. කල්පනී චරිතයකට පිවිසීමේදී තමන්ව අංශු මාත්‍රයකින්වත් තමන් ළඟ ඉතිරි නොකර සම්පූර්ණයෙන්ම චරිතයේ හැඩතලය බවට පත්වන කල්පනී ජයසිංහ අල්තීනායි සුලෙයිමානවා චරිතයත් සමඟ සරසවිය සමග කතා බහක යෙදුනු මොහොතයි.

ඔබේ ගමන සිදු වෙන්නේ හරිම නිදහස් මාවතක නේද ?

මගේ ජීවිතේ මම හරිම නිදහස් මාවතක ගමන් කරන කෙනෙක්. මගේ ජීවිතේ මම ආරම්භ කරන්නේම කලාව තුළ ජීවත්වන පවුල් පසුබිමකයි. මව සහ පියා දෙදෙනාම කලාවට නැඹුරුතාවයකින් වැඩ කරපු දෙපළක්. දෙමාපියන්ගේ ඒ ආභාසය තුළ මම ජීවිතයේ හැමදාමත් කලාවට දැඩි ආසාවක් පෑවා.

මගේ මූලික අධ්‍යාපනය සිදුවෙන්නේ වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලෙන්. මේ කාලවකවානුවේදී පාසල් වේදිකාව මගේ රංගන ජීවිතයේ ඉදිරි පිම්මක් පැන්නා. කුඩා කල සිටම වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් වීම මගේ මූලික අරමුණ වුණා. ඒ නිසා එයට අවශ්‍ය වටපිටාව සකසා ගන්නට මම පාසල් කාල සීමාව තුළදීම දැඩි වෙහෙසක් දැරුවා. පාසල් යන කාලය තුළ සංස්කෘතික මධ්‍යස්ථානයකට සම්බන්ධ වෙලා ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා ගත්තා. ඒ ලබාගත් දැනුම තුළ නාට්‍ය හා රංග කලාව කියන විෂය හදාරන්නට පටන් ගන්නේ. සාමාන්‍ය පෙළ විෂය ධාරාවේ ඒ10 ගත්තත් මගේ දැඩි ආශාව තිබ්බේ කලා විෂය ධාරාව පැත්තටයි. විවිධ විෂය පථයට සම්බන්ධ ගුරුවරු මම කලාව හදාරන්නට සූදානම් වන විට දක්ෂතා තියෙන ළමයෙක් ඇයි ඒ පැත්තට නැඹුරු වෙන්නේ කියලා නිතර මගෙන් අහන්න ගත්තා.

ඉන් පසු මම නර්තන පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරන්නට බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට සම්බන්ධ වෙන්නට අවස්ථාව හිමිවෙනවා. ඒ ඩිප්ලෝමාව අවසන් වීමත් සමග ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගන පාසලට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවෙනවා.ඒ ගමන මගේ ජීවිතේ වෙනස්ම මාවතක් කරා ගෙන යාමට අඩිතාලම වැටෙන්නේ. නාට්‍ය හා රංග කලාව පිළිබඳ තරුණ සේවා සභාවේ ඩිප්ලෝමාව හදාරන වකවානුවේදී යෞවන සම්මාන සහ රාජ්‍ය සම්මාන තරගවලට ඉදිරිපත් වෙන්නට අවස්ථාව හිමිවෙනවා.

කෙටි නාට්‍ය උළෙලවලට සම්බන්ධ වීම සිදුවන්නේ මේ හරහාද?

ඔබ කිව් දේ හරියටම හරි. ⁣නෙරංජන් චන්ද්‍රදිත්‍යගේ “රියලිට් කෙටි නාට්‍යය හරහා වේදිකා නාට්‍යයේ පසුබිම මම සකසා ගත්තා.මේ නාට්‍ය හරහා මම හොඳම නිළියට හිමි සම්මානයට 2011 දී නිර්දේශ වෙනවා. හොඳම නිළිය වීමේ සම්මානය මට හිමි නොවුණත් ජූරියේ විශේෂ සම්මානයක් එහිදී පිරිනැමෙනවා. ඉන්පසු ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය කණ්ඩායමට එකතුවීමත් සමඟ රට පුරා රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමිවෙනවා. වීදි නාට්‍ය කණ්ඩායමත් සමඟ ඉන් අනතුරුව ප්‍රසන්නජිත් අබේසූරියගේ පහුර විදි නාට්‍ය කණ්ඩායම සමඟද සම්බන්ධ වීමට අවස්ථාව හිමිවුණා. ඉන් පසුවද අර විදිහටම රට වටේ මේ නාට්‍ය කණ්ඩායමත් සමගත් යන්නට අවස්ථාව හිමිවෙනවා. කෙට් සහ දිගු නාට්‍යයට ද පිවිසීමට අවස්ථාව හිමිවෙනවා .

අල්තීනායි සුලෙයිමානවා වීමට අවස්ථාව හිමි වෙන්නේ කොහොමද?

උපාලි ගම්ලත් මහත්තයා රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේදී කෙටි නාට්‍ය දෙකක රංගනයේ දැකලා තමයි එහිදී මාව තෝරාගන්නේ. මගේ මුල්ම සිනමා රංගනයද වන්නේ ගුරු ගීතයේ අල්තීනයි. අල්තීනායිට මාව තෝරාගන්න විට මගේ වයස අවුරුදු විසි පහයි. ඒත් උපාලි ගම්ලත් මහත්තයා තෝරා ගෙන තිබෙන්නේ වයස අවුරුදු 14ක දියණියක් බවයි සිනමා පටය බලන හැමෝම දැම්මට කියන්නේ.

ඔබේ පළමු සිනමා පටය අල්තීනායිට ඔබ ආදරය කරනවද?

සැබැවින්ම මම ආදරේ කරනවා. අල්තීනායිගේ වයස අවුරුදු 14යි. මගේ වයස අවුරුදු 14 වැනි උපන්දිනයට මගේ අම්මාගේ තෑග්ග වුණේ ගුරු ගීතය පොතයි. එවිට මම නව යොවුන් වියේ පසුවූ තරුණියක් වුණා. ඒ ජීවිතයේ තිබුණු අත්දැකීම මගේ ජීවිතය මේ චරිතයට පණ පොවන්නට අවස්ථාව ලැබුණා. ඊට අවුරුදු ගණනාවකට පසු මගේ ජීවිතේ තිබ්බ හීනයකට එදා උපාලි ගම්ලත් මහත්තයා ඒ චරිතයට මට කතා කරන විට මට දැනුණ දේ හැඟීම් වලින් හා වචන වලින් විස්තර කරන්නට බැහැ. ගුරු ගීතයේ එන ප්‍රධාන භූමිකාවට ජීවිතය මම ආසාම කරපු නළුවෙක් සමඟ හොඳම අධ්‍යක්ෂකවරයකු යටතේ ඒ චරිතයට සාධාරණයක් කරන්නට මට දුන්නු අවස්ථාව මගේ ජීවිතයේ මම හීනයක් සැබෑ කරගත්තා හා සමානයි.

ගුරු ගීතයේ එන අල්තීනායී සුලෙයිමානවා ප්‍රේක්ෂකයාට සමීප කරන්නට ඔබ සමත් වුණාද?

මේ චරිතය මට දෙන විට පොඩි බයක් හිතට දැනුණා. එක එක පාඨකයා අල්තීනායි දකින විදිහ වෙනස් නිසා. මම වයස අවුරුදු 14 දී කියවපු මගේම වයසේ හිටපු අල්තීනයි හිතේ ඇඳුණු අල්තීනායි මා කරන චරිතයෙන් ප්‍රේක්ෂකයාට දනවන්නේ කොහොමද කියන එක සැබෑ ලෝකයට ඇවිත් මම ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ අනුව අධ්‍යක්ෂකවරයාගේ හිතේ ඇඳීලා තිබ්බ අල්තීනායි සහ මා පොත කියවද්දී දැකපු අල්තීනායි එක හා සමාන වුණා. ඒ නිසා පොතේ හිටිය අල්තීනයි මගේ චරිතය තුළින් මම ගෙනාපු ප්‍රේක්ෂකයාට, නිර්මාණ අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදකවරයාට මගේ පැත්තෙන් සාධාරණයක් කරා කියලා මම හිතනවා. වයස අවුරුදු දාහතරේදී පොත කියවද්දි දකින අල්තීනායි අවුරුදු විසිපහේදී දකින්නට ලැබෙන අල්තීනායි අතර මට අවුරුදු දහයක ගැප් එකක් තිබුණා. යොවුන් වියයි තරුණ වියයි අතර දෝලනය වන චරිතයක් ගැනීම නෙවෙයි මගේ අරමුණ වුණේ නව යොවුන් වියේ පසුවන අල්තීනායි ගෙන ඒම පමණයි. ඒකායනම අරමුණ වුණේ.

පොතේ ඉන්න අල්තීනායි, තිර පිටපතේ ඉන්න අල්තීනායි අතර වෙනසක් තිබුණාද?

පොතේ හිටපු අල්තීනායි සහ තිර පිටපතේ හිටපු අල්තිනායි අතර වෙනසක් තිබුණේ නැහැ.තිර පිටපතේ රචනා කරල තිබ්බ ඒ සියලු චරිත එයට සමාන බවක් ගෙන දුන්නා. එනිසා තිර පිටපත සමඟ ඒ චරිත සංසන්දනය කරන විට එහි රංගනයේ යෙදුණු සියලූම දෙනා ඒ චරිත වලට සාධාරණයක් කරපු නිසා අද වන විට සාර්ථක නිර්මාණයක් ලෙස තිරගත වීම සතුටට කරුණක් වෙනවා.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ විවරණය කරන්නේ කුමක්ද?

රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් කියන්නේ අපිට ලැබෙන චරිතය තුළ එහි ගැඹුරට ගොස් අපි ජීවත් විය යුතුයි.යම් චරිතයක ස්වභාවයක් දැනගත්තාට පසුව අපි එහි ජීවත් විය යුතුයි. මම කළෙත් අන්න ඒ දේ පමණයි. අල්තීනායිගේ චරිතය මව නැතිවීම මාමා කෙනෙකුගේ සෙවණේ ජීවත්වීම, භාව ප්‍රකාශයන් තුළින් ගෙනහැර දැක්වීම, ප්‍රේක්ෂකයාට අවධාරණය කිරීම රංගන ශිල්පියාගේ ශිල්පිනියගේ දක්ෂතාවය විය යුතුයි.හැම දෙයක්ම කැමරා කෝණ තුළින් පෙන්වීමට බැහැ. එය රස විඳීන ප්‍රේක්ෂකයාත් අවබෝධ කරගත යුතු වෙනවා. (ගුරු ගීතය පිටුව27, 28! එයා අම්මා අප්ප නැති අනාථ කෙල්ලක්. මාමලාගේ ගෙදර ජීවත් වෙන්නේ යයි යෙහෙළියෝ කීහ.

“අල්තීනායි”කී දුයිෂෙන් මා වෙත නැවත වරක් බලා උණුසුම් ලෙස සිනාසුණේය. උඹ අනිත් ළමයින්ව අඩගසාගෙන ස්කෝලෙට වරෙන්. මේ ළමයිනුත් ස්කෝලේ එන්නට ඕන. තේරුණාද? උපුටා ගැනීම අවසන්)පොතේ මෙවැනි ආකාරයට පවසන්නේ හැම චරිතයකම ගැඹුරු ස්වභාවය වටහා දීමට රූප තුළින් පෙන්වීමට නොහැකි නිසයි.

ඔබේ පළමු සිනමාත්මක වෑයම මේ නේද?

දිගු සිනමා පටයක පළමු සිනමාත්මක නිර්මාණය වෙනවා. ඒත් එක්කම ආධුනික සිනමා නිර්මාණ ශිල්පිනියක්ද වෙනවා. දිගු සිනමා නිර්මාණ කාර්යයේ ආධුනික ශිල්පිනියක් වුණාට මීට ප්‍රථම මම කෙටි සිනමා පට කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. කැමරාව ඉදිරියේ අලුත් චරිතයක් නොවේ. මේ චරිතයට මම තෝරාගන්නේ කිසිදු තිර පරීක්ෂණයක්වත් නොකරයි. මම හිතන විදිහට ඒ චරිතයට උපාලි ගම්ලත් අධ්‍යක්ෂකවරයාට මා කෙරේ දැඩි විශ්වාසයක් තිබුණා විය හැකියි. ඕනෑම නිර්මාණ කාර්යයකදී ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ චරිතය පිළිබඳ තිබෙන විශ්වාසනියත්වය දැඩි ලෙස චරිතයට බලපානවා. ඒ නිසා මා මා කෙරෙහි තිබූ දැඩි විශ්වාසය අල්තිනායිට කරන සාධාරණය වෙනුවෙන් සිනමා පටය පුරාවටම මා අවසාන වන තෙක් රැගෙන ගියා. එහි අවසානය වසන්තේ එනවා සත්තකින් මම දැක්කා.

මෙහි රූපගත කිරීම් සිදුවුණුණේ කෙසේද?

ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉන්දියාව බලා පියාසර කරනවා. ඉන් අනතුරුව ඉන්දියාවේ සිට මනාලි දක්වා අපි දුම්රියෙන් ගමන් කරනවා. ඒ යන අතරතුරේ අල්තීනායි නගරයට ගොස් දෙවැනි වර ගමට එන රූප රාමු රූපගත කිරීම් සිදුකරේ දුම්රියේ. මේ දර්ශනය තමයි ගුරු ගීතයේ පළමු රූප ගත කිරීම සිදුවුණු අවස්ථාව වන්නේ. ඉන්පසු දුම්රියේ අපි කත්මණ්ඩු දක්වා ගමන් කරනවා. කත්මණ්ඩු සිට දවස් දෙකක් අපි බස් රථවලින් ප්‍රධාන දර්ශන තලය වෙත යන්න පැමිණියා. බස් රථවලින් පැමිණෙන ගමනාන්තය දක්වා පැමිණියා දවස් දෙකක්. ඉන් අනතුරුව සිදුවන්නේ දුෂ්කර සහ පටු මාර්ග නිසා ජිප් රථවලින් දවසක් පමණ ගමන් කිරීමයි. මේ ගමනේ සිදුවුණු සුවිශේෂීම දේ සිදුවන්නේ පා ගමනින් ගමන් ආරම්භ කිරීමයි. රුගෙන ගිය බඩු වලින් පටවන්න පුළුවන් ප්‍රමාණයක් බූරුවන්ගේ පිටේ පැටවා ඉතුරු බඩු රැගෙනගිය අනෙකුත් දේවල් රැගෙන දවස් නවයක් රෑ බෝ වන විට තැන් තැන්වල නැවති නැවතී ප්‍රධාන දර්ශන තලය තිබුණු අන්නපුර්ණ කඳුවැටිය පාමුල තිබේන මනන් නැමති දුෂ්කර ගම්මානයකට අපි පා ගමනින් ගමන් කළා. ගමනාන්තය හරිම දුෂ්කර වුවත් අපේ ඒකායන බලාපොරොත්තුව ඒකම නම් අපේ ගමන අපි කොහොම හරි ජයගත යුතුයි කියලයි අපි සියලු දෙනාම හිතුවේ. මෙ ආකාරයට හිතලා අපි සිනමා පටයට අවශ්‍ය ගීතයක රූපගත කිරීම් ද මේ යන අතරතුරේදී සිදුකළා.

කොපමණ කාලයක් මනන්වල ගත කළාද?

මාස එකහමාරක් වැනි කාලසීමාවක් දැඩි දුෂ්කරතා මැද කාලය ගත කළා. මුහුදු මට්ටමේ සිට අපි ඉහළට යන්න යන්න ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. අධික සීතල දරා ගැනීමේ අපහසුතාවය බලපෑවා. අපේ ගමන අපි වේගවත් වුණත් යා ගැනීමට නොහැකි තත්ත්වයක පසු වුණා. එයට මූලිකම කරුණු වුණේ දැඩි සීතලත් ඔක්සිජන් අඩුතාවයයි. ලංකාවේ කිලෝමීටර පහක් යනවා කියන්නේ හරිම ලේසියි. නමුත් එහි කිලෝමීටර් පහක් යනවා කියන්නේ එය දරා ගැනීමට නොහැකි හරිම වෙහෙසකර තත්වයක් බවට පත්වෙනවා. මේ ගමනට එක්වුණු තවත් රංගන ශිල්පීන් ප්‍රමාණයක් දරා ගැනීමට නොහැකි හිම කුණාටු, සීතල නිසා, අසනීප වීම නැවත හැරී එන්නට වුණා. කෝකියාගේ සිට සියලු දෙනා නැවත ලංකාව බලා පැමිණියා. මා ඇතුළුව ප්‍රධාන දර්ශන තලය වෙත ගියේ අධ්‍යක්ෂවරයා සහ සහය අධ්‍යක්ෂකවරයා, ප්‍රධාන භූමිකාව කරන රොෂාන් රවින්ද්‍ර අයියයි, කැමරා අධ්‍යක්ෂවරයා සහ සහාය කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂවරයා යන හත්දෙනෙක් පමණයි. නේපාලයේ සියලු දර්ශන රූපගත කිරීම් සිදුවුණේ අපි හත් දෙනාගේ සහයෝගය මතයි.

ඔබේ වයස අවුරුදු 14 දී කියවපු ගුරු ගීතයේ ගමද ඒ දැක්කේ?

ඒ ගමම ඒ අයිලේම තමයි ඒ ජීවිතේ මම සැබැවින්ම දුටුවේ. වයස අවුරුදු දාහතරේදී කියවපු පොතත් වයස අවුරුදු 25දී එය සැබැවින් දකින්නට ලැබෙන්නේ මහා පිනක් කියලයි මම හිතන්නේ. අති දුෂ්කර ගමනාන්තයකින් පසු එවැනි ලස්සන සුන්දර ගම්මානයක් දකින්න ලැබෙනවා කියන එකත් මහා ආශ්චර්යයක් හැටියටයි මම එදා දැක්කේ. ඒ ජීවිතයේ මම පළමු වතාවට තමයි හිම පතනය වැටෙන ප්‍රදේශයකට ළඟා වුණේ. එය මට ජීවිතේ කවදාවත් ආයෙ අත්විඳීන්නට ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. මිනිසුන් අතරින් හැංගිච්ච ගම්මාන බොහෝමයක් රටවල්වල තියෙනවා. එවැනි ගම්මානයක් තමයි මනන් කියන්නෙත් කියලා මගේ මනසේ ඇඳුනේ. ඒ ඇඳපු සේයාරුව මගේ හදවතේ සදාකාලිකවම තැන්පත් වුණා. වචනයෙන් විස්තර කරන්න බැරි කටුක බව තුළ සුන්දරත්වය අපි අත්වින්දා එහිදී. (ගුරු ගීතය පිටුව 32 අපේ පැල්පත පිහිටියේ එක් කෙළවරකය. නැන්දාත් මාත් පිටි කොටමින් සිටියෙමු. මාමා පැල්පත අසල ලී මඩුවේ වළෙක බහා තිබූ තිරිඟු ගොඩගැනීමෙහි යෙදී සිටියේය. තිරිඟු කඩපලට ගෙනයාමට ඔහු සූදානම් විය. උපුටා ගැනීම අවසන්) මේ ඔවුන්ගේ සැබෑ ජීවන රටාව එදත් අදටත් සමානකම් පවතිනවා.

ආහාර පාන සකසා ගැනීම සහ එහි සංස්කෘතිය මොන ආකාරයෙන්ද ඔබ දැක්කේ?

අපි දවස් නවයක් තිස්සේ බුරුවන්ගේ පිටේ ගෙන ගිය ආහාර පාන පිරිමහා ගත්තා.ගිය කණ්ඩායමේ කෝකියාත් ගිය නිසා අවසානයේ අධ්‍යක්ෂවරයාට සිදුවුණා උදේ පාන්දරට නැගිටලා උදේට සහ දවාල්ට ආහාර පානද පිළියෙල කරන්න. ඔහු කළ කැපකිරීම නම් අපි සියලු දෙනාම අගය කළ යුතුම වෙනවා. පරිප්පුයි බතුයි අලයි කරවලයි තමයි අපි එකම ජීවන රටාවකට හුරු වෙලා ඒ කාලසීමාව තුළදී වැඩි හරියක් ආහාර සඳහා ගත්තේ. මනන්වල ඔවුන්ගේ ප්‍රධාන ආහාරයද ඩාල් බත්ය.පරිප්පු සමඟ බත් මිශ්‍ර කර හදන බතක්. අපේ රටේ සංස්කෘතිය අනුව අපි මිරිස් සැරට කන්න පුරුදු වෙලා සිටියත් ඔවුන්ගේ ආහාරවෙල එවැනි ගතියක් දක්නට ලැබෙන්නේ නැහැ. රෑට අපි සියලු දෙනාම එකතුවෙලා ආහාර පිළියෙල කරගත්තා. අපි සියලු දෙනාම එකිනෙකාට එකතුවෙලා සාමූහික ප්‍රයත්නයකයි මේ යෙදුනේ. තම තමන්ගේ කාර්යය පමණක් කර නිහඬ වුණේ නෑ. විශේෂයෙන් කිව යුතුම දෙය තමයි මා පොතේ දැක්ක සංස්කෘතික රටාවන් ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් ආහාර රටාවන් සියල්ල ඒ හා සමානයි. වෙනසක් ලෙස සිදුවී තිබෙන්නේ සියයට එකක් දෙකක් පමණයි. අපි අයිලේ දැකපු ජීවන රටාව ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම දැකගන්නට ලැබුණා. ඔවුන් සතා සිවුපාවට ස්වභාව දහමට ආදරේ කරන ආගන්තුක සත්කාර අතින් හරිම පොහොසත් හරිම සුන්දර මිනිස්සු කොට්ඨාසයක් ඔවුන් එවැනි ආකාරයේ මිනිසුන් නොවුණානම් ගුරු ගීතය මෙතරම් සුන්දර වෙයි කියලා හිතන්න අමාරුයි. ඔවුන් ශාක්‍ය වංශික පරම්පරාවෙන් පැවත එන මානුෂීය ගුණ ධර්ම වලට ගරු කරන අන්‍යොන්‍යය අවබෝධය තුළින් උදව් උපකාර කරන තව කෙනෙකුට පිහිටවීමේ පරමාර්ථයෙන්ම ජීවත් වෙන කොට්ඨාසයක් වෙනවා. අපි සැබැවින්ම දුටුවා.

අද මනන් හි නව පරම්පරාව අල්තීනාටම සමානද? නව ජීවන රටාවත් සමඟ ඔවුන් අත්වැල් බැඳගෙනද?

තරුණ ප්‍රජාවත්, වැඩිහිටියන් බවට පත්වන විට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ ප්‍රවණතාවයට හුරු වෙනවා. ඔවුන්ගේ ජීවන උපාය මාර්ගයෙන් එක් පියවරක් තමයි මනන් ගම්මානය හරහා එවරස්ට් කදු මුදුණ තරණයට එකතු වන සංචාරකයින් සඳහා කුඩා කුඩා කඩ, ආහාර පාන අලවිය. නවාතැන් පහසුකම් ලබාදීම ඒ නිසා ඔවුන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට දැඩි උනන්දුවක් දක්වනවා මේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා. ලංකාවේ ළමයින්ගෙන් දකින්නැති ළමා කාලයක් මම මනන් ගම්මානේ ජීවත්වෙන ළමයින්ගෙන් මේ කෙටි කාලය තුළදී දැක්කා. හිම මත දුව පනිමින් ඔවුන්ගේ ළමා කාලය හරිම සුන්දර ලෙස ඔවුන් ඒ පරිසරයට අනුගත වෙලා ජීවිතය ගත කරනවා. වයස අවුරුදු විසිපහක මමත් ඔවුන් සමඟ එකතුවෙලා ජීවිතය ගත කරා ඒ දවස් ටිකේ මේ සිනමා පටය වෙනුවෙන්. අවුරුදු 14ක අල්තීනායි ලෙස. හරි ලස්සන මතක සටහන් ටිකක් මගේ ජීවිතයට එකතු කරන්නට ඔවුන්ද සමත් වුණා. ඔවුන්ගේ භාෂාව ද මාස එකහමාරක් තුළ හුරු වෙන්නට අවස්ථාවක් ලැබුණා. එදා ගුරු ගීතයේ තිබුණු පාසල නොවේ අද නව රටාවන්වලින් හෙබි පාසලක් බවට මෙහි ස්ථාපිත වෙලයි තියෙන්නේ. සමහරක් ළමයි අල්තීනායි වගේමයි. ගමේ පාසලෙන් ඉගෙනගෙන කත්මණ්ඩු නුවර නව පාසල් කරා ඇදී යනවා. නගරයට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඔවුන්ගේ ජීවන පැවැත්ම ඉහළට රැගෙන යනවා. ඒවාගේ පිරිස් සමඟ කතා කරන්නටත් අවස්ථාව හිමි වුණා.

(පිටුව 26 කොල්ලනේ නුඔලා කොහේ ඉඳලද?

වියළි ගොම පුරවා ගත් මළු ළඟ වාඩිවී සිටි අපි ලැජ්ජාවෙන් එබිකම් කර බැලුවෙමු. අප ලජ්ජාව නිසා ගොළුවි සිටින බැව් දුටු දුයිෂෙන් දිරි ගැන්වීමක් ලෙස එක ඇසක් හකුළුවා ගත්තේය.

මලු නොබලාට වැඩිය ලොකුයි නෙවැ.මෙහෙ ආව එක බොහොම හොඳයි. නුඹලා ඉගෙන ගන්නට. උපුටා ගැනීම අවසන්)

අයිලයේ හිටපු පරම්පරාවට හාත්පසින්ම වෙනස් නව පරම්පරාව හැම විටම ජීවිතේ දිනන්න උත්සාහ දරන පරම්පරාවක් බව අපි එදා දැක්කා. ගුරු ගීතය දකින ගොම රිටි එකතු කරන එක දර එකතු කරන එක ඒවා තවමත් වෙනස් නොවී පවතිනවා. කඳු පාමුල සිට ඉහළට ගැහැනු පිරිමි භේදයකින් තොරව බර ඉසිලීමට පුළුවන් හරිම ශක්තිවන්ත මිනිස් කොට්ඨාසයක් නේපාල ජාතිකයන් කියන්නේ. නව තාක්ෂණයත් සමඟ ඔවුන්ගේ ගම්මානයට එන්න නව මං මාවත්ද ඉදිවෙමින් පැවතුණා. අද වන විට අපි ගිය පා ගමන ජිප් රථවලින් එන්නට උදා වී ඇතැයි සිතනවා.

චිංගිස් අයිත්මාතව් පෙන්නු ගෘහයන්මද සිනමා පටයට යොදා ගත්තේ?

ඔවුන්ගේ ගෘහ නිර්මාණයෙත් පවතින්නේ හරිම සරල ක්‍රමවේදයකටයි. තෙල් සහ මැටි භාවිතා කරමින් සහ ලී පාවිච්චි කරමින් ඔවුන්ගේ ගෙවල් සාදා ගැනීම සිදුවෙනවා. චිංගීස් අයිත්මාතව් ලියූ ඒ සුන්දර වැකිවල අල්ප මාත්‍රයක්වත් වෙනස් නොවන ලෙස ඒ රූප රාමු දර්ශනය ඒ ආකාරයෙන්ම සිනමාපටය පුරාවටම දිවෙනවා. අද ද ඔවුන්ගේ ගෘහය තුළ පවතින්නේ යටම තට්ටුව සතුන්ටද ගහක කඳෙන් කපන ලද පඩිපෙළක් ආධාරයෙන් දෙවන තට්ටුවට පිවිසිය හැකිය. එය ඔවුන්ගේ ජීවන රටාවටද ඊළඟ තට්ටුව යම් ආරාධිතයකුට නවාතැන් ගැනීමට නිර්මාණය කර ඇත.

ඔබේ ජීවිතයේ පළමුවතාවට කඳුළක් හැලවුවේ ගුරු ගීතය කියන්නේ ඇත්තද?

එය සැබෑවක් වෙනවා. මම වයස අවුරුදු 14 දී මේ පොත කියවද්දී අල්තීනායි මුදලට රැගෙන ගොස් දූෂණයට ලක්වන විට එදා මට දැනුණ හැඟීම මටත් එහෙම වුණොත් ජීවිතයේ මොන තත්ත්වයක් උදාවේදී කියන හැඟීම මා තුළ පැන නැග්ගා. මගේ දෙනෙත් වලින් කඳුළු සැලුණේ අල්තීනායිව මම වුණ නිසයි ජීවිතයේ පළමු වතාවට අම්මා තාත්තා නැති. කිසිවෙකු ආදරේ නොකරන ඇයට පළමු වතාවට ආදරය කරන පිරිමියකු හමුවෙනවා. ඔහු කවුද කියලා සොයා බලන විට ඔහු ගුරුවරයෙක් බව ඇය වටහා ගන්නවා. ඒ ඇතිවෙන බැඳීම සදාකාලිකවම ඇය මැරෙනතුරු පවතිනවා. ගුරුවරයෙකු හට පුද කරන උත්තරීතර ආදරය කිසි දිනක බොද නොවන සායමක් හා සමානය අප්‍රකාශිත ආදරය තුළ පවතින්නේ සැබෑ ලෝකයේ මිනිසුන්ගේ කතාවක් ලෙස මට දැනුණා. අදත් අල්තිනාලයි දුයිෂෙන්ලා මේ පොළෝ තලය මත ජීවත්වෙන බව දැනෙනවා (.පිටුව77 මා වාඩිවී සිටියේ මියගිය එකීයක මෙන් විය යුතුය. කෑ ගැසීමට පවා මා තුළ ශක්තියක් නොතිබිණි. සැණෙකින් මගේ හදවත ප්‍රීතියෙන් ඉපිල ගියේය. ගුරුතුමා ජීවත්ව ඉන්නවා. එහෙත් මගේ සිත පාළු වී ගොස් තිබිණ. මා විනාශයට හා දූෂණයට ගොදුරු වී සිටින්නියකී. උපුටා ගැනීම අවසන්)

ගිය මාවතේ ඔබ පා සටහන් පමණයිද ඉතිරිකර ආවේ.?

ඇත්ත වශයෙන්ම අපේ මේ පා සටහන් පමණයි අද ඉතිරි වී තිබෙන්නේ. අධ්‍යක්ෂවරයාගේ කීම නොඅසා මගේ පෙරැත්ත කිරීම මත ඒක්රූපගත කිරීමකදී දරාගත නොහැකි සීතල නිසා මාව ඇද වැටී තිබෙනවා රූපගත කිරීමේදී එවිට එහි හිටිය සියලූම දෙනා මාව කකුල් පිරිමදිමින් ළඟම ඇති ගෙයක් ගාවට රැගෙන ගිහින් තිබෙනවා. ඉන්පසු මගේ මුළු ඇඟේම බටර් ගා ගිනි රශ්මියෙන් රත් කරලා තමා නැවත ශරීර උෂ්ණත්වයට රැගෙන තිබෙන්නේ. ඔවුන්ගේ වෙද හෙදකම් නිසා මම අද ජීවතුන් අතර එහෙම නොවුණානම් මගේ ජීවිතයේ අවසන් වෙන්න තිබුණා. මේ සිදුවීමත් මේ සිනමා පටයේ අමතක නොවන සිදුවීම් ගොන්නේ තවත් සටහනක් ලෙස මට ඉතිරි කරන්නට ලැබුණා. මට වයස අවුරුදු අටේදී මගේ අප්පච්චි නැතිවෙන්නේ. ඔහු කියා දුන් සියලු දේවල් දෛවෝපගත ලෙස මගේ ජීවිතයට එකතු කරගත්තා. ඔහු මගේ ප්‍රාණ වායුව ලෙස මම දැක්ක හැමතැනම. ඒ නිසා මේ සිනමා පටයට මාව තෝරාගන්න ඇති කියලත් මට හිතෙනවා අනන්තයි. ගොයම් ගසේ කරල බර වෙන්න බර වෙන්න පහළට නැවෙනවා. බොල් වී සුළඟේ පාවී යනවා. ඒ නිසා කවදා හරි ඔබත් එලෙස වෙන්න කියා අප්පච්චි මට කිව්වාරද අනන්තය. ජීවිතයේ සැම විටම එසේ විය යුතුයි කියන එක මම සදාකාලිකවම සිහි තබාගෙන සිටින්නේ. ඒ නිසා මගේ ගමන පැහැදිලියි කියල මට දැනෙනවා. මේ සිනමා පටය හරහා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරද මට ලැබෙමින් පවතිනවා. සමහර අය මම දුර බැහැර ගමන් කරන විට අල්තීනායී නේද කියලා අහනවා. නෑ මම වෙන කෙනෙක් වෙන්න ඇති වැරදිලා ඔයාට කිව්වා. මම චරිතයට සාධාරණයක් කළ නිසා මේ වන විට මට නිර්මාණ කිහිපයකටම කතා කරලත් තිබෙනවා. චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් ඒ තුළ හොඳ රංග පරාසයක් තිබෙනවා නම් මම වැඩේ බාර ගන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. මගේ ජීවිතේට මේ ගමන එන්න උදව් උපකාර කළ සියලු දෙනාටමත් මාව අල්තිනායි ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙනා අධ්‍යක්ෂවරයා ඇතුළු මගේ සහෘද සියලු දෙනාටම පවුලේ සියලු දෙනාටමත් සුබ පතන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා. පොරොන්දුවක් දී ආ මම මනන් දරුවන් වෙනුවෙන් නැවත අන්න පූර්ණ කඳු පාමුල ඇති පුංචි ලස්සන කඳු ගැටවලින් වටවුණු ඇලේ දොලේ ගංගාවේ හමා ගිය අල්තීනායිගේ සුවඳ රැගෙන නැවත එක වරක් හෝ එහි ගොස් පැමිණෙන්නට බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතයට සැමදාම අල්තීනායීලා, දුයිෂේන්ලා ඒ සරල ජීවිතේට එකතුවන සියලූම මනුෂ්‍ය සංහතියම සත්‍ය තුළ සිට ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT