Home » වර්ණභේදයෙන් බැට කෑ ජීවිතවල නොදුටු ඛේදය

වර්ණභේදයෙන් බැට කෑ ජීවිතවල නොදුටු ඛේදය

-Nickel Boys

by Thanushika
March 6, 2025 2:05 pm 0 comment

අනාදිතමත් කාලයක සිට ඇමරිකානු සමාජය දැඩි සේ පීඬා විඳීන එක් අර්බුදයක් තිබේ. ඒ කළු – සුදු වර්ණභේදවාදයයි. ඇමරිකාවේ වෙසෙන සුළුතරය වූ කළු ජාතික ප්‍රජාව සහ බහුතරය වූ සුදු ජාතික ප්‍රජාව අතර ගැටුම පිළිබඳ ඇමරිකානු සිනමාව හෙවත් හොලිවුඩයේ වඩාත් අවධානයට ලක් විය. එය හොලිවුඩ් සිනමා කර්මාන්තය වෙතට තීරණාත්මක ලෙස බලපෑම් කරමින් සිටින දෘෂ්ටිවාදයක් ආකාරයෙන් ද ක්‍රියා කරයි. මේ නිසාම වසරක් පාසා හොලිවුඩි සිනමාවෙන් කළු සුදු වර්ණභේදවාදය පිළිබඳ චිත්‍රපට බොහෝමයක් නිර්මාණය වෙයි. වර්ණභේදවාදය පිළිබඳ චිත්‍රපට බහුල ලෙස නිර්මාණය වීමේ හේතුව ලෙස නිරීක්ෂණය වන්නේ කළු – සුදු ජාතිකයන්ගේ ගැටුම වර්තමානය දක්වාම ඔඩු දුවමින් පවතින බවයි. 2024 වසරට අදාළව කළු – සුදු වර්ණභේදවාදය තේමා වූ සුවිශේෂ චිත්‍රපටයක් ලෙස ‘Nickel Boys හැඳීන්විය හැකිය. ඓතිහාසික – නාට්‍ය ශානරයේ චිත්‍රපටයක් වන ‘Nickel Boys’ 1960 දශකයේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයේ අපයෝජන ප්‍රතිසංස්කරණ පාසලක සිටින අප්‍රිකානු – ඇමරිකානු පිරිමි ළමයින් දෙදෙනෙකු වන එල්වුඩ් සහ ටර්නර්ගේ දෘෂ්ටිකෝණයෙන් කතාව ගෙතී ඇත.

‘එල්වුඩ් කර්ටිස්’ නම් කළු ජාතික තරුණයාගේ පවුල් පසුබිම එතරම් යහපත් එකක් නොවේ. දෙමාපිය සෙනෙහස ගිලිහී ගිය එල්වුඩ් ජීවත් වන්නේ මිත්තණියගේ ඇසුරෙහි ය. ඇගේ සෙවණෙහි හැදී වැඩෙමින් පාසල් අධ්‍යාපනය ද ලබයි. ඔහුගේ දිවිය නිදැල්ලේ ගසා ගෙන යන සරුංගලයක් මෙනි. ඔහුට ජීවිතය පිළිබඳ සතුටුදායක ප්‍රතිචාරයක් නොමැත. දිනක් ඔහු පොලිසියේ අත්අඩංගුවට පත්වන්නේ වරදකරුවකු සමඟ සිටීම හේතුාවනි. දඬුවම ලෙස පොලිසිය විසින් එල්වුඩ්ව ‘මෙල්වින් ග්‍රිග්ස් ප්‍රතිසංස්කරණ පාසලක්’ වෙත යැවෙයි. එහිදී ඔහුට අටෝරාසියක කරදර වෙත මුහුණ දෙන්නට සිදු වෙයි. චිත්‍රපටයේ විවිධ අවස්ථාවලදී කළු – සුදු වර්ණභේදවාදය වෙනුවෙන් හඬ නැඟු මාර්ටින් ලූතර් කිං වැන්නන්ගේ විප්ලවකාරී හඬ සහ හොලිවුඩයේ සුප්‍රකට කළු ජාතික නළුවකු වන ‘සිඩිනි පොයිටියර්ගේ’ රූප අතරින්පතර සංස්කරණය වෙයි. එය චිත්‍රපටයේ තේමාව සහ කතාව තීව්‍ර කරන සාධකයකි.

‘Nickel Boys’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘රේමෙල් රෝස්’ නමැති කළු ජාතික අධ්‍යක්ෂවරයායි. ඔහු ඇමරිකානු ජාතිකයෙක් නොවේ. ජර්මන් ජාතිකයෙකි. ඇමරිකාවට සංක්‍රමණය වන ‘රේමෙල්’ සිනමාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේ ය. ඔහුගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය මෙය වීම ද සුවිශේෂිත්වයකි.’Nickel Boys’ චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ඇමරිකානු කළු ජාතික නවකතාකරුවකු වන ‘Colson Whitehead’ විසින් 2019 වසරේ ප්‍රකාශයට පත් කළ ‘ඊඩඥ ව්ඪජඬඥත ඕධරඵ’ නවකතාව ඇසුරිනි. මෙම නවකතාවේ අන්තර්ගත වූයේ වසර 111ක් පුරා ක්‍රියාත්මක වූ ෆ්ලොරිඩාවේ පුනරුත්ථාපන පාසලක් වන ඓතිහාසික ‘ඩොසියර්’ පාසලෙහි සැඟවුණු ඉතිහාසයකි. මෙම පාසල හරහා ඝාතන සහ අපයෝජන සිදුවීමි ගණනාවක් සිදු වී ඇති බව අනාවරණය විය. පරීක්ෂණවලින් වාර්තා නොකළ අභිරහස් මරණ සහ සලකුණු නොකළ සොහොන් රාශියක් සහ 20 වන සියවසේ අගභාගයේ සිසුන්ට එල්ල වූ චිත්තවේගීය හා ශාරීරික අපයෝජන පිළිබඳ බොහෝ සිදුවීමි ගණනාවක් කෘතියෙහි ලියවී ඇත. මෙම කෘතිය සුප්‍රකට ටයිම් සඟරාව විසින් මෙම දශකයේ හොඳම කෘතිවලින් එකක් ලෙස නමි කළේය. ‘The Nickel Boys’ නවකතාව සඳහා 2020 වසරේදී හොඳම ප්‍රබන්ධ කෘතිය සඳහා පිරිනැමෙන පුලිටිසර් ත්‍යාගය ද හිමි විය.

සිනමාපටයේ කැමරාකරණය (cinematography) වඩාත් අවධානයට ලක්වන කලාපයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘එල්වුඩ් කර්ටිස්’ ⁣ප්‍රේක්ෂකයා දකින්නේ ප්‍රථම පුද්ගල දෘෂ්ටිකෝණය (First person narrative) නමැති දුලභ ගණයේ කැමරා කෝණයෙනි. සිනමා කැමරාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙයි. මෙම කතන්දර කීමෙි ක්‍රමය බහුල ලෙස භාවිතා වන්නේ නවකතා සහ කෙටිකතා මාධ්‍යය ද්විත්වයෙහි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් (මම) කතා කීමේ කලාව සිනමාවෙහි භාවිතා කරන්නේ ඉතාම අල්ප වශයෙනි. නළු නිළියන් වෙත වැඩි අවධානයක් යොමුවන්නේ නැත. මුහුණේ හැඟිමි, ප්‍රතික්‍රියා සාම්ප්‍රදායික කැමරා කෝණවලින් ග්‍රහණ නොවේ. චලනය වන කැමරා ⁣කෝණ හරහා චිත්‍රපටයේ දැක්වෙන යථාර්ථය අපි දකින්නෙමු. චිත්‍රපටයේ ප්‍රධාන සිනමා ලක්ෂණයක් ලෙස සමෝධානිත රූප සංස්කරණයක් භාවිත කර ඇත. වාර්තා චිත්‍රපටයක මෙන් ‘මෙල්වින් ග්‍රිග්ස්’ ප්‍රතිසංස්කරණ පාසලේ වින්දිතභාවයට ලක් වූවන්ගේ පැරණි කළු සුදු ජායාරූප විටින් විට සංස්කරණය වෙයි.

විශිෂ්ට චිත්‍රපට තේරීමේ සුප්‍රකට සඟරාවක් වන ‘Sight & Sound’ සඟරාව විසින් ‘Nickel Boys’ චිත්‍රපටය 2024 හොඳම චිත්‍රපට 50 ලැයිස්තුවේ දසවැනි ස්ථානයේ ⁣පෙළගැස්වන ලදී. ඇමරිකානු චිත්‍රපට ආයතනය විසින් 2024 වසරේ හොඳම චිත්‍රපට 10න් එකක් ලෙස ‘Nickel Boys’ නම් කළේය. 40 වැනි ‘Independence Spirit’ සම්මාන උලෙළේදී හොඳම කැමරාකරණය සඳහා වන සම්මානය, 82වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය සහ 97 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය සහ හොඳම අනුවර්තනය කරන ලද තිර රචනය සඳහා නාමයෝජනා දෙකක් ඇතුළු සිනමා සම්මාන උත්සව බොහෝමයක ඇගැයුම් දිනා ගැනීමට හැකි විය. කෙසේවෙතත් ‘Nickel Boys’ වැනි චිත්‍රපටයක් වැදගත්වන කාරණා කිහිපයක් ප්‍රේක්ෂකයා වෙත සිතන්නට පොලඹවයි. හිංසා පීඬා, ප්‍රචණ්ඩත්වය ඉදිරියේ මනුෂ්‍යත්වය දියවීම කෙතරම් ඛේදනීය ක්‍රියාවක්ද? සහ ඇමරිකාවේ අතීත ඉතිහාසයහි වැළලී ගිය ඝාතන සහ අතුරුදන්වීමි කෙතරම් ප්‍රමාණයකින් සමන්විත තිබේද? යන්න චිත්‍රපටයේ ප්‍රේක්ෂකය වෙත ඉස්මතු කරන ප්‍රශ්නාර්ථ ද්විත්වයකි.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT