Home » වනචරකමෙන්, මත්පැනෙන් පරිස්සම් වුණොත් හොඳ ගමනක් තියෙනවා කියලා තාත්තා කීවා

වනචරකමෙන්, මත්පැනෙන් පරිස්සම් වුණොත් හොඳ ගමනක් තියෙනවා කියලා තාත්තා කීවා

ජ්‍යෙෂ්ඨ රූපණවේදී බන්දු සමරසිංහ

by Thanushika
December 5, 2024 11:30 am 0 comment

වසර 1967 ගායන ශිල්පියෙක් ලෙස කලඑළි බසින ඔහු ඒක පුද්ගල ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත. සිනමාවේ විකට රජු ලෙස අද හඳුන්වන වෙන කිසිවකු දැන් නොමැත. අධ්‍යක්ෂකවරයකුගේ භූමිකාවද මැනවින් ඉටු කළේය. සිනමා පට සීයකට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී මද ඔහු ලද භාග්‍යයකි. සිනමා දිවියට වසර පනහක් ගත වන මොහොතක. වසර හතකට පසු ඔහුගේ සිනමා ආගමනය නැවත සිදුවේ. දම්මිත් ෆෝන්සේකාගේ කුලුඳුල් සිනමා පටය වන බෆලෝ ට්‍රැවල් සමඟින්. ආතර් ගේ රංගනය සුවහසක් ප්‍රේක්ෂක ජනතාව ඔල්වරසන් දෙමින් නරඹන සිනමා පටයක් බවට අද බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටය ඔහු රැගෙන ගොස් හමාරය. මේ ඔහුගේ වසර පනහක සිනමා දිවිය සහ අලුත්ම සිනමා පටය පිළිබඳව සරසවිය සමඟ කළ කතාබහයි. ඔහු නමින් ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහයි.

අවුරුදු පනහක සිනමා ක්ෂේත්‍රයේ ආපූ ගමන ආපසු හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

ඒ ආපු ගමන් මගේ ආපස්සට හැරිලා බලන විට හැම මොහොතකම මට සිහි වෙන්නේ මගේ තාත්තයි. එදා තාත්තා කියපු දේ අහලා මම පාරේ ඇවිද්ද නිසා මගේ ගමන මම ආවා. ඒ ආපු ගමන් මගේ අත්දැකීම් සමඟ ජීවත් වන විට වෙන්න තිබූණ සියල්ලම මටද සිදුවුණේ කියලාත් හිතෙනවා. සතුට, දුක, දොම්නස එකට එකතු වෙලා අවසානයේ මනුෂ්‍යය ජීවිතය ඉවර වෙනවා. මම හිතනවා තව බාගයක් තියෙනවා මේ ගමනේ යන්න කියලා.ඕනෑම ආගමක බෞද්ධ පදනම අනුව කියන්නේ අපේ පෙර කර්ම ශක්තිය තුළ අපි ගෙනෙන ආයුෂ ප්‍රමාණය අනුව අපි ඒ තාක්කල් අපේ ගමන යයි කියන එක පමණයි. ඕනෑම කෙනෙකු ජීවිතේ ගෙවනවා නම් වනචරකමෙන් හා කෘර ගති ලක්‍ෂණ බැහැර කරලා සැහැල්ලු ජීවිතයක් ගත කිරීම තමයි නිවැරදි මඟ කියලා මම දකින්නේ. එවිට අපි ආපූ ගමන් මඟ ආපස්සට හැරිලා බලපුවාම හරියටම නිර්වචනය කරගන්න පුළුවන් වෙනවා අද අපි ඉන්නේ කොතනද කියන එක. එදා ගැමි ජීවිත හැමෝම අත්වින්ඳේ හරිම සැහැල්ලු ජීවිතයක්. ගමෙන් නගරයට ආපු තරුණ කොල්ලෙක් හැටියට මගේ ඒ සාමාන්‍ය ජීවිතය අදටත් වලංගුයි. එදා මගේ ජීවිතයයි අද මගේ ජීවිතයයි ගැන හිතන විට හැම මොහොතකම නැවත නැවත මට සිහි වෙන්නේ මගේ තාත්තා.මට කියපු සුන්දරම වචන ටික තමයි ඔහු එදා මට කිව්වේ “උඹේ හැටියට නම් මට කියන්න තියෙන්නේ පාරේ ඇවිදලා මොන මොනා හරි ඉගෙන ගනින්. ජීවිතයට මොනයම් දෙයක් හරි ඉගෙන ගන්න යමක් උඹේ ජීවිතේට එකතු වෙයි. ඒ ඇවිදින අඩියක් පාසාම උඹට ජීවිතේ තේරෙයි.මනුෂ්‍යයෙක් වෙන්න නම් හොඳට පාරේ ඇවිදපන්, මිනිසුන්ගේ ජීවන චක්‍රය තියෙන්නේ පාරේයි. පොත පතේවත්, පදක්කම්, සම්මානවල නෙවෙයි. අද දකින දේ නෙවෙයි උඹට හෙට දකින්න ලැබෙන්නේ. අද හොයන දේ නෙවෙයි උඹ හෙට හොයන්නේ. උඹට ඒ ගමනෙදි වනචරකමයි, මත්පැන් පානය නොකළොත් උඹේ ගමනේ උඹ ඇවිදපු මාවත උඹට ලැබෙයි. හැබැයි ඇවිද්දට උඹට කවදාවත් සල්ලි හම්බවෙන්නේ නෑ කියන එක විතරක් මතක තියාගනින්. ඇවිදිනකොට උඹ සල්ලි හම්බ කරන විදිහ ඉගෙන ගනින්. මම මේ කියපු ටික කවදා හරි දවසක උඹට කියන්න හම්බවෙයි කියලා උඹ හොදට මතක තියාගනින්.මම පාරේ ඇවිදපු හින්දා වනචරකමයි මත්පැන් පානයයි නැති වුණා. ඒ ගමන් මඟ නිසා අද බන්දු සමරසිංහ වුණා.

හැත්තෑව දශකයේ ස්වර්ණමය යුගයක ඔබ කලා ක්ෂේත්‍රයට එන්නේ ඒ ගැන මොකද හිතන්නේ?

සේන සමරසිංහත් එක්ක මම කොළඹ එන විට මොනවත් දැනගෙන නෙවෙයි මම එන්නේ. ඒ කාලයේ බයිස්කෝප් බැලුවට බයිස්කෝප් කියන්නේ මොකක්ද කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. මේ යන්නේ නළුවෙක් වෙන්න කියලවත් මම දන්නෑ, මේ බයිස්කෝප්වල ඉන්නේ නළුවෝද කියලා දැනගෙන හිටියෙත් නැහැ. මෙහෙම දේකටද කතා කරන්නෙද කියලා මගේ අම්ම පල්ලා මම දැනගෙන හිටියේ නෑ මේ නළුවෙක් වෙන්න ද යන්නේ කියලා. කොහොමහරි මට කිව්වා පොඩි කොමඩි කෑල්ලක් තියෙනවා පිච්චර් එක පියන්කෙනකුගේ ඇඳුමක් මහගෙන එන්න කිව්වා. කොහොම හරි ජෝන් වයට් සපත්තු දෙකකුත් හොයාගෙන දෙමාපියන්ටත් නොකියා එන්න ආවා. ගිනි නිවන හමුදාව ගාව තියෙන මහරජා ගොඩනැඟිල්ලටයි මට එන්න කිව්වේ. කවදාවත් කොළඹ හතර වටේ ඇවිදලා නැති මට එදා තරූ පෙනුණා. කොහොම හරි ගේමක් ගහලා තාත්තා පාරෙ ඇවිදපන් කියපු හින්දා තැන හොයාගත්තා. ගොඩනැගිල්ලේ හිටපු ආරක්ෂක නිලධාරියා මාව හඳුනා ගත්තා. කෑගල්ලේ රොයල් ගරාජ් එකේ ලොකු පොඩි මහත්තයාගේ පුතා නේද කියලා ඇහුවා. මාර සතුටක් ඒ වෙලාවේ දැනුණේ.කාත් කවුරුවත් දන්නැති පළාතක තාත්තා අඳුරන හින්දා පොඩි සැලකුමක් තියෙනවා කියලා දැනුණා. ඔහු නමින් සැමුවෙල් මට පොඩි පුටුවක් දීලා ඔතනින් ඉඳගන්න කිව්වා වැඩේ පටන් ගන්නකන්. අවතේවකරු හා ඔහු මට හොඳට සැලකුවා. ගෙනාපු ඇඳුම ඇදගෙන සපත්තු දෙකයි දාගෙන මගේ වෙලා වෙනකම් ඉතින් පැය ගාණක් කට්ට කෑවා එදා. ඒ වැඩෙන් පස්සේ සේනත් එක්ක මම බම්බලපිටියේ සේන නැවතිලා ඉන්න තැනට යන් කියපු නිසා සතියක් විතර එහේ නැවතිලා හිටියා. සේන නැවතිලා හිටිය බම්බලපිටියේ නිමල් පාරේ ඇනෙක්ස් එකේදී ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයන් මට හඳුනාගන්නට ලැබුණා. සදහටම ඔබ මගේ සිනමා පටයේ ගීතයක් සේනගේ ඇනෙක්ස් එකේ ඉන්නකොට මට අහන්න ලැබුණා. සේනගෙන් ඇහුවට පස්සේ කියනවා එච්.ආර්.ජෝතිපාල සහ එම්.එස්.ප්‍රනාන්දු කියන “වාසනාව දොර ඇරලා බලනවා” සරත් දසනායක තමයි එහි සංගීත අධ්‍යක්ෂවරයා වෙන්නේ මාලිනී ජෝ, ගාමිණී, රඟපානවා කියලා. ඒ වෙලාවේ මේ චිත්‍රපටයේ මටත් නටන්න තිබුණනම් කොච්චර හොඳයිද කියල එදා මට හිතුණා. ඒත් ඒ වෙනකුට චිත්‍රපටය පසු නිෂ්පාදන කටයුතු තමයි සිදුවුණේ. එදා පළමු වතාවට බම්බලපිටියේ තෝසේ කඩේකට හවස 03.00 ට වාහනේ අරගෙන ගිහිල්ලා කෑම ගෙන්න පාර හොයාගන්න බැරුව රාත්‍රි 7 වෙනකම් සේන ඉන්න නිමල් පාර පහෙව්වා. සේනයි මිල්ටන් ජයවර්ධනයි කෑගහලා තමයි මාව ගෙන්න ගත්තේ වාහනේ පාරේ යනවා දැකලා. ඒ වෙකොට මට හීන්දාඩිය දාලායි තිබුණේ. සේන ගෙදර යන විට කෑගල්ලෙන් මාවත් බස්සගෙන ගියා. ඒ විදිහට තමයි ඒ ගමන සිදුවුණේ.

මේ ආපු ගමනේදී එදා හිටපු නළුවන්ගෙන් ඔබට ඇතිවුණු අභියෝග කොහොමද?

එඩී ජයමාන්න, ඇන්තනී.සී පෙරේරා, දොන් සිරිසේන, බී.එස්.පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, ෆ්‍රෙඩි සිල්වා අලුතින් ආපු අපිට කිසි විටෙකත් ස්ථාවරත්වයකට එන්න හිතන්නවත් බැරි යුගයක් එදා තිබුණේ. ඔවුන් සියලු දෙනාම ඇත්තටම දක්ෂ රංගන ශිල්පීන්. පොඩි චරිතයක් ලැබුණෙත් හරිම අමාරුවෙන්. එදා අපිට තිබුණේ රේඩියෝවයි, පුළුල් තිරයයි විතරයි. බයිස්කෝප් එකක් බලන්න ඕන නම් බයිස්කෝප් හෝල් එකට යන්න ඕන. අධ්‍යක්ෂවරයා කියන දේ අහගෙන පමණයි අපිට කරන්න තිබුණේ. ඒ කට්ට කාලා ආපු ගමන අද කෙල්ලෝ කොල්ලොන්ට නෑ. තියෙන පහසු කම් දැකපුවම, අහසේ යන සරුංගල් වලට වැඩිය අද අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ කාලේ නළුවෙකුට තියා අධ්‍යක්ෂකවරයෙකුටවත් වාහනයක් හරියට තිබුණේ නැහැ. මම තවම පාව්ච්ච් කරන්නේ එදා බොහොම අමාරුවෙන් ගත්ත EL 61 A 30  කාර් එකයි වයස 41 වන චැලි බයිසිකලයයි නීත්‍යානුකූල වාහන දෙක වෙන්නේ.

දකුණේ මාලිම්බඩ සහ තිහගොඩ ඉපදුණු හැදුණු වැඩුණු පරම්පරාවකින් මගේ පරම්පරාවේ මුල් බීජ බවට පත්වන්නේ. අත්තා, කිරිකිත්තගේන් ඇහුණ කවි සී පදවලින් පමණයි මම ඒ කාලේ යම්තාක් කුඩා කල කලාවට නැඹුරු වෙලා හිටියනම් නැඹුරු වෙලා තිබුණේ. මම ඇරුණාම මේ තාක් හත්මුතු පරම්පරාවකවත් රංගන ශිල්පියෙක් ඉන්නවා කියලා කියන්න නැහැ. ඒකෙන් කියන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් පරම්පරාවක් අපේ පරම්පරාව කියලා විතරයි.

අද කලා ක්ෂේත්‍රය ගොඩක් ඉදිරියට ඇවිල්ලා ඒ හැම දේකින්ම. එදා සහ අද සංසන්දනය කරපුවාම දක්ෂයන්ට ඕන තරම් ඉඩකඩ තියෙනවා ඉදිරියට එන්න. ඒත් ක්ෂේත්‍රය තුළ දක්ෂයන් දකින්න ලැබෙන්නේ නැහැ.හැත්තෑව අසූව අනූව මුල හරියේ ආපු පිරිස ඇරෙන්න ගිරා පෝතකයෝ වගේ කියවන හා පියාඹන පිරිසක් පමණයි දකින්න ලැබෙන්නේ.

80 දශකය වන විට ඔබ කලා ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයකට පැමිණිලා නේද සිටියේ?

ෆ්‍රෙඩී සිල්වා, විමල් කුමාර ද කොස්තා, ජයසේකර අපොන්සු සමඟ මම යම් ස්ථාවරත්වයකට පත් වෙනවා. මේ කාලවකවානුවේදී තමයි යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ ‘ටක් ටික් ටුක්’ පස්වෙනි නිර්මාණය ලෙස මම එකතු වෙනවා.ඉන්පස්සේ සේනගේ යකඩයා, චණ්ඩි ශ්‍යාමා, ජීවිතයෙන් ජීවිතයක් විමල් කුමාරද කොස්තා සමඟ රංගනයෙන් එකතු වෙන්නට ලැබුණා. විමල් මට හැම මොහතකම කිව්වේ හොඳ දක්ෂයෙක් උඹ පරිස්සමෙන් ගමන යන්න කියලා. එදා ක්ෂේත්‍රයේ හිටපු සියලු දෙනාම මගේ ගමනට උදව් කළා. මගේ දක්ෂතාවය නිසා මට හොඳ සහතිකයක් ලැබුණා. ඒ සියලු දෙනාගේන්ම මේ වන විටත් මම සිනමාපට හතළිහකට විතර රංගනයෙන් දායක වෙලා තිබුණා.

රෝයි ද සිල්වාගේ රෑ දැනියෙල් දවල් මිගෙල් හරහා ප්‍රේක්ෂකයන් ඔබව හොඳ තැනකට ගෙන ගියා නේද?

හැත්තෑඑකේ සිට අනූ එක දක්වා ප්‍රධාන චරිත මට ලැබුණේ නැහැ. කවුද බොලේ ඇලිස්, පිස්සු පූසා චිත්‍රපට තමයි මගේ ප්‍රධාන චරිත බවට පත්වුණේ. ඊට පසු මගේ වාසනාවේ දොර ඇරෙනවා. රෝයි මට හමුවෙන්නේ අසූව අග භාගයේ. ඉන්පසු ඔහු සමඟ මම ෆිල්ම් කිහිපයක්ම කරන්නට අවස්ථාව ලැබුණා. චෙරියෝ කැප්ටන්, හිත හොඳ පුතෙක්, චෙරියොේ ඩොක්ටර්, චෙරියෝ ඩාලින් ඒ ෆිල්ම් වෙනවා, EAP  සභාපතිනිය වූ සෝමා එදිරිසිංහ මහත්මියට උවමනාවක් ඇතිවෙනවා අර සිනමාපට ටික බලලා ඉවර වෙලා අලුත් සිනමාපටයක් නිෂ්පාදනය කරන්න.ඉන් පස්සේ රෝයි සමඟ එකතුවෙලා ‘රෑ ඩැනියෙල් දවල් මිගෙල්’ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ. ඒ ආපු ගමන මගේ ස්ථාවරත්වය මම එහෙමම දිගටම අරගෙන යනවා.

නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා බන්දු සමරසිංහ ගායකයෙක් කියන කතාව මොකක්ද?

මම නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා ඇත්තටම ගායකයෙක්. ඒ 1967 වර්ෂයේ තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. පාසල් යන කාලේ ඉඳන්ම සංගීතයට තමා මගේ වැඩි නැඹරුතාවයක් තිබුණේ. ගම්පහ ස්ට්‍රේන්ජස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් බවට මම පාසල් යන කාලේ දිම එකතුවුණා. එකාලේ මිලිටෝනියන් ගෲප් එක සහ ගම්පහ සුනිල් පෙරාගේ ස්ට්‍රේන්ජස් ගෲප් එකතමා කරට කර සංගීතයෙන් රසිකයන් අතර නමක් දිනාගෙන සිටියේ. ස්ට්‍රේන්ජස් නායක සුනිල් පෙරේරා පාසල් කාලේ මගේ දක්ෂතාවන් දැකලා ගීත ගායනා කරන්න එන්න කිව්වා. කොහොම හරි මේ ගමනේදී අමතක නොවන සිදුවීම් කිහිපයකුත් තියෙනවා. ගම්පහ නගරයේ තියෙන වටරවුම ඉදිරිපිට ස්ට්‍රේන්ජස් සංගීත සංදර්ශනයක් පැවැත්වුවා. එදා ගම්පහ ප්‍රදේශයේ පවත්වන පෙරහැරකුත් තිබුණා. පෙරහැරේ ආපු ශිල්පීන් පෙරහැර යන්නැතුව සංගීතය රස විඳීන්දා. මම තමයි එදා ගීත ගායනා කරමින් හිටියේ ඒ වෙලාවේ. මට හිතාගන්න බැරි වුණා මොකද වුණේ මේ පෙරහැරට කියලා. ගම්පහ ප්‍රදේශයේම හොල්ලගෙන හිටපු සංගීත කණ්ඩායමක් බවට ස්ට්‍රේන්ජස් අපි පත්වුණා.ඉන් පස්සේ සරත් දසනායක යටතේ සහාය ගායන ශිල්පියෙක් ලෙස පොඩි පොඩි දේවල් ලැබුණා. ඉන්පස්සෙ චිත්‍රපට නිෂ්පාදක තිලක් අතපත්තු ගීත දහසයක කැසට් එකක් කරනවා කියලා මටත් කතා කළා. ඒකෙ ගීත ගායනා කරන්න. හේමපාල රත්නායක, උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති අල්විස්, සෝමපාල ලීලානන්ද වැනි ප්‍රවිණ ගීත රචකයන් මෙහි පද රචනා කළේ. එහි ගීත දෙකක් මට ගායනා කරන්න ලැබෙනවා. ඉන්පසු 1991 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පවත්වන ඔඩිෂන් එකකදී ඕ ශ්‍රේණියේ ගායකයෙක් බවට මම තෙරි පත්වෙනවා. 2006 B.M.I.C.H. හිදි බන්දු Live in concert ප්‍රසංගය පවත්වනවා ටොරානා මියුසික් බොක්ස් එක යටතේ සරත් කොතලාවල සමඟ එකතුවෙලා. චන්න විජේවර්ධන නර්තන කණ්ඩායමේ ළමයින් තිස් හය දෙනෙකු සමඟ දැවැන්ත ප්‍රසංගයක් බවට මෙය පත් කරනවා. එදා ප්‍රසංගයේ අතුරු සිදුරු නැතුව B.M.I.C.H.  එක පිරී ඉතිරි යනවා. පෙර සහ පසු කාලයේ එකතු වෙච්ච දේවල් එක්ක එකතුවෙලා සංගීත ලෝකයේ ගමන මම යනවා. එය තමා මගේ මූලාරම්භය වෙන්නේ. වසර හතකට පසු මේ දිනවල තිරගත වෙන දම්මිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටයද ගීත දෙකක් මම ගායනා කරනවා.

රෝදය සිනමා පටය අධ්‍යක්ෂණය කරමින් ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙනවානේද?

මේ සිනමා පටය මම නිර්මාණය කරන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. බන්ඩත්තර ප්‍රදේශයේ වැලිගොඩ ගොඩ දාන තරුණයෙක්ගේ ජීවිත කතාව මේ සිනමා පටය පුරාම දිවෙන්නේ.අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය මම කරනවා කිවිවාම ක්ෂේත්‍රයේ සිටි ගොඩක් දෙනෙක් කිව්වේ කොමඩියක් කරගෙන පැත්තකට වෙලා ඉන්නැතුව නොදන්න දේවල්වලට අතගහන්න යනවා කියලයි. ඒත් මම ගැන දන්න ගොඩක් දෙනෙක් මේ වැඩේ හරියට කරයි කියලා හැම තැනම කිව්වා. සරත් දසනායක සංගීත අධ්‍යක්ෂණය කළ සිනමා පටයට මිල්ටන් මල්ලවාරච්චි, ලතා වල්පොල, නිහාල් නේල්සන් ඊට ගීත ගායනා කළා. වැඩ කටයුතු අවසන් කරලා සාර්ථක චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කළා. ඒක මම කලා ක්ෂේත්‍රයේ ලබපු ලොකු ජයග්‍රහණයක් බවට පත්වුණා.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමග රංගනයේ නිරත වූ ඔබ ඔහුගේ පුත් දම්මිත් ෆෝන්සේකාගේ පළමු සිනමා පටයේ ප්‍රධාන චරිතය බවට පත්වෙනවා නේද?

මේ සිනමාපටයට මම සම්බන්ධ වීම ඇත්තටම අහඹු සිදුවීමක් වෙනවා. හිතපු නැති විදිහේ චරිතයක් මට ලැබෙන්නේ. නිහඬ වෙලා හිටපු කාලය මට ලැබුණු දඬුවමක් හා සමානයි. ඒ ලැබුණ දඩුවම හොඳ දෙයකට වුණ නිසා ආයෙත් අවුරුදු හතකට පස්සේ මට හිතුණා හොඳ නිර්මාණයකට දායක වුණා කියලා. මේ සිනමා පටය නරඹපු සියලු දෙනාම මට කිව්වේ කාලෙකට පස්සේ ආපහු හිනාවෙන්න ලැබුණා කියන එකයි. හිරවෙලා මිරිකිලා ඉන්න ප්‍රේක්ෂකයාට කොමඩියක් කරනවා කියන එක මාරම ත්‍රිල් එකක්.

විදේශීය රංගන ශිල්පියකු සමඟ රංගනයේ නිරත වන ආතර් නම් ටැක්සි ඩ්‍රයිවර්ගේ චරිතයට අභියෝගයක් වුණේ නැද්ද?

මේකත් හරියට වැස්සක් නැති කාලෙ ඉඳලා ඉඳලා අකුණක් වැදුණා හා සමානයි. මේ කතාව කියන විට මම අධ්‍යක්ෂකවරයාගෙන් සහ සහය අධ්‍යක්ෂකවරයාගෙන් අහනවා මට දින දෙන්න කියලා. දම්මිත් ඊට පස්සේ කියන්නේ අන්කල් දින විස්සකට හරියන්න ඇදුම් ටික විතරක් අරගෙන එන්නකෝ අපිත් එක්ක සීගිරියේ යමු කියනවා. ඔය ටික විතරමයි කිව්වේ. විදේශීය රංගන ශිල්පීන් ඉන්නවා ඒ ශිල්පින් කතා කරන්නේ ඉංග්‍රීසියෙන් ඔය මඟුල් මොනවත් මට කිව්වේ නෑ. මම චරිතය දන්නෙත් නෑ. පිටපත ලැබුණෙත් නෑ. කොහොමහරි සීගිරියට ගියා. රූපගත කිරීම් පටන් ගන්න දවසේ චරිතය මොකක්ද කියලවත් මම හරියට දැනගෙන හිටියේ නැහැ. කොළඹ ඉඳන් දවස් එකහමාරක් තිස්සේ ආපු මොරිස් මයිනර් කාර් එකක් මට පෙන්නලා කිව්වා අන්කල් මේකේ පොඩ්ඩක් ඩ්‍රයිවින් කරලා බලන්නකෝ කියලා. එහාට මෙහාට දෙපාරක් තුන් පාරක් එලවලා බලලා ගෙනාවට පස්සේ මට කිව්වා බැනියමකුයි සරමකුයි දීලා මේ දෙක ඇඳගන්න. ඔයාගේ නම ආතර් මේක තමයි චිත්‍රපටයේ ඔයාගේ ප්‍රධාන චරිතය කරන වාහනය කියලා.එතකොට තමයි මම දන්නේ මගේ චරිතය ප්‍රධාන චරිතය ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියලා. හත්දෙයියනේ එහෙම නළුවෙකුට රඟපාන්න පුළුවන්ද කියන්නකෝ. මම අහන්නේ. මෙලොව යකෙක් මේවා ගෙවැඩක් කරනවද කියන්නකෝ. මොනා නැතත් ඉන්දියාවෙන් ආපු සුපිරි වැඩකරුවෙක් වූ කැමරා අධ්‍යක්ෂ වෙළෙඳ දැන්වීම් කරපු අති දක්ෂයෙක්. ඔහු ළඟ කිසිම විටක ටෙක් ටු එකක් තිබුණේ නෑ. ඒ වගේම තමයි විදේශීය රංගන ශිල්පියා සමග රංගනයේ යෙදිම අභියෝගයට වැඩිය නිර්මාණශීලීත්වයක් ගෙන දුන්නා සිනමාපටයට මට රංගනයේ යෙදෙන්න. ඔහු සැබැවින්ම දක්ෂයෙක්. ඔහු සමග වැවේ අමුඩය ගසාගෙන රංගනයේ යෙදෙන විට අමුඩය ගැලවිලායාමේදි සිදුවුණ සිදුවීම් ටික විතරක් සිනමා පටයට ගෙනාවනම් පුදුම විදිහට හිනාවෙයි කියලා මට හිතෙනවා. ඒ දර්ශනය සිනමා පටය අමතක නොවන දර්ශනයක් බවට මට පත්වුණා අවුරුදු හතකට පස්සේ. හරිම සුන්දර රූපගත කිරීමක් බවට සීගිරිය හිටපු දවස් ටික පත්වුණා.

සිනමා දිවියට වසර 50ක් වන විට පුළුල් තිරයට නැවත ප්‍රේක්ෂකයා රුගෙන යන්නට ඔබට හැකි වෙනවා නේද?

ගොඩක් ප්‍රේක්ෂකයන් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි වසර 7ක් මොකද රඟපැවේ නැත්තෙ කියන එකයි. බෆලෝ ට්‍රැවල්ස් සිනමා පටය තිරගත වීමත් සමඟ මගේ සිනමා දිවියට වසර පනහක් සපිරෙනවා.ආපහු රඟපාන්නේ නැත්තේ නෑ කියන්න පිළිතුර මේ සිනමා පටයෙන් මම දී තිබෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ සතුට වෙනුවෙන් ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නවා. ඉදිරියේදී සිනමා අපට කිහිපයක්ම තිරගත වීමට තියෙනවා. සූරිය අමරසේකර අධ්‍යක්ෂණය කරන පදරි චිත්‍රපට සමාගම නිෂ්පාදනය කරන තරුණ සිනමා අධ්‍යක්ෂවරයකු සමඟ සම්බන්ධ වෙලා හොඳ වැඩක් මේ වන විට කරගෙන යනවා. බෆලෝ ට්‍රැවල්ස් සිනමා පටය තිරගත වීමට ප්‍රථම තමයි එහි රූපගත කිරීම් ඇරඹුණේ. මම ඕනෑම වැඩක් කරද්දි එදා ඉඳන්ම දර්ශනතලවලදි කෝසස් කෑවේ නෑ. නිෂ්පාදන කළමනාකරු දුන්න කෑම එක තමයි මම කෑවේ. අදත් එහෙමමයි. ඒ නිසා ප්‍රේක්ෂකයන් මාව වැලඳ ගන්නවා. ආදරය, අව්‍යාජත්වය, භක්තිය අපි ඉදිරියට ගේන ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන්නම් වෙන දෙයක් මේ සිනමා ක්ෂේත්‍රයේ නෑ කියලයි මම හිතන්නේ. ඔවුන්ගේ ලෝකයේ අපි ඉන්නවා නම්, දින වකවානු වැඩක් නැහැ. ඒක තමයි ප්‍රේක්ෂකයා හා නළුවා අතර තියෙන බැඳීම. ඔවුන් මට ආදරේ නිසා මම දකින හැම මොහොතකම ඇයි රංගනේ නැත්තෙ කියලා අහන්නේ ඒකයි. ක්ෂේත්‍රයට මාව වටින්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ප්‍රේක්ෂකයා මාව බලාපොරොත්තු වෙනවා නම් මම නිහඬ වෙලා ඉන්න එක වටින්නේ නෑ කියලා මම තේරුම් ගත්තා. මගේ තාත්තා කියපු විදිහට මේ පාරේ බල්ටි ගගහා ඇවිදිනකම් ප්‍රේක්ෂකයෙනුත් ඒ පාරේ ඇවිදිනකම් මම ගමන යනවා.

සිනමා පටයට දායක වූ නවක ශිල්පීන් සමඟ රංගනයෙන් නිරතවීම දැනුණේ කොහොමද?

මට මෙහි රංගනයේ යෙදුණු කිසිදු ශිල්පියකු ආධුනික බව දැනුණේ නැහැ. ඒ සිටිය සියලු දෙනාම දක්ෂ ශිල්පීන් ලෙසයි දැක්කේ. ආධුනික ද ප්‍රවීණද කියන දේ නෙවෙයි අපි එතැනදී බලාපොරොත්තු වෙන්න ඕනේ. නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් දායක කරන්නයි එකට එකතු වුණේ කියන එක විතරයි. ඒ නිසා සියලු දෙනාම එකම මතයක ඉඳගෙන අපි නිර්මාණයට දායක වුණා. අධ්‍යක්ෂකවරයා අපෙන් බලාපොරොත්තු වුණු දේ අපි නිර්මාණයට අපේ ශක්ති ප්‍රමාණයෙන් එකතු කරලා තියෙනවා.

දින විස්සක් වගේ කෙටි කාලයක් තුළ රූපගත කිරීම්වල විශේෂ සිදුවීම් එහෙම ඇති නේද?

කිසිදු පිටපතක්වත් බලලා හා කියවලාවත් නැතුව, චරිතයවත් නොදැන රඟපෑ පළමු සිනමා පටය බවටපත් වෙනවා. මේ තාක්කල් සිනමා පටයක නාන්ඩ දුන්න කෙටිම ඇඳුම බවට අමුඩය වීම විශේෂත්වයක් වුණා. මගේ කිරි පාට සුදු හම සම්පූර්ණයෙන්ම පෙනෙන්න දුන්නා. විලිලැජ්ජාවන් නැතුව එදා දෙනෝදාහක් බලාගෙන ඉද්දි මුළු ශරීරයම පෙන්නන්න වුණා. ජීවිතය අසීරුම වේදනාවල් ටික එදා විඳීන්න වුණා. මොනා නැතත් අමුඩේ වටිනාකම නම් එදා හොඳටම දැනුණා. ඒ දර්ශන ටික රූපගත කරන්න ගිහිල්ලා බඩ අල්ලගෙන හිනා වුණා. මීට ඉස්සෙල්ලා මම සඳහන් කළා ඒ ආකාරයට සුද්දගෙ අමුඩය ගලවාගෙන යෑමත් අමතක නොවන සිදුවීම් අතරට එකතු වෙනවා. සිනමා පටය හොඳම දර්ශන ටික අවසාන හරියේ සිදුවීම නිසා සියලු දෙනාටම හොඳ රස වින්දනයක් ගෙනෙන්නට හැකි වුණා.

ගෙදරින් ලැබෙන සහයෝගය සහ ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?

අලුත් නිර්මාණ කිහිපයකටම මේ වන විට දායක වෙමින් සිටිනවා. විවාහ දිවියට එළඹුන දා සිට මේ තාක් කල් මගේ ජීවිතයට නොපිරි හෙළා සහයෝගය දුන් බිරිඳ ඇතුළු දරුවන් ටික මේ සඳහා හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඒ සියලු දෙනාම මගේ ප්‍රේක්ෂකයන් නිසා මට මේ ගමන හරිම පහසු වෙලයි තියෙන්නේ. මේ සිනමා පටය තිරගත වී අවසන් වුණාම තව සිනමා මට කිහිපයක් තිරයට එන්න තියෙනවා. එතකම් ප්‍රේක්ෂකයන්ට නොවිසිල්ලෙන් ඉන්න කියන එක තමයි අවසානයේ කියන්නේ. තව වෙනකම් බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටය නැරඹුවේ නැත්නම් අදම ඔබේ පවුලේ අයත් සමඟ සිනමා ශාලාවට යන්න කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා. මේ ගමන එන්න මට අත්වැලක් වුණු මගේ මවුපියන්ට සහ සේන ඇතුළු සියලූම දෙනාට මගේ ස්තුතිය පූදකරනවා.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT