නිවස විශේෂාංග ලෝකය දිනූ කාන්තාවන් අතර මමත් එක්තරා ගැහැනියක්

ලෝකය දිනූ කාන්තාවන් අතර මමත් එක්තරා ගැහැනියක්

ප්‍රවීණ රංගනවේදිනී ආචාර්ය ලක්ෂ්මි දමයන්ති

by Mahesh
July 18, 2024 12:30 am 0 comment

– අවුරුදු 16ක් වේදිකාවේ ‘ගමදුව’ වුණු මම දැන් අමෙරිකාවේ බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාර්යවරියක්
– මගේ සිනමා ගමන ඇරඹෙන්නේ ‘ගරිල්ලා මාර්කටින්’ වලින්
– සමබර මනසක් පවත්වා ගැනීමට සෞන්දර්ය විෂයන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි
– කලාව උදෙසා ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ. රාජ්‍ය ප්‍රතිපාදන මතම කලාව පවතින්නේ නැහැ
– ලාංකේය නාට්‍ය කලාව ගැන ඉංග්‍රීසි බසින් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් අමෙරිකාවේදී මම එළිදැක්වූවා
– ‘ට්‍රෝජන් කාන්තාවෝ ’ කියන්නේ නාට්‍ය පාසලක්

දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා’ වේදිකා නාට්‍යයේ ගමදුවගේ චරිතය තුළින් වේදිකාවේ නොමැකෙන මතකයක් තැබූ ඇය අද වනවිට අමෙරිකාවේ බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ ආචාර්යවරියක ලෙස කටයුතු කරමින් සිටින්නීය. රංගන ශිල්පිනියක, නිෂ්පාදිකාවක, ලේඛිකාවක මෙන්ම ආචාර්යවරියක ආදී භූමිකා රැසකට ජීවය දෙන ඇය ලක්ෂ්මි දමයන්තිය. සිය කලා දිවිය පිළිබඳවත් අමෙරිකාවේ ගතකරන දිවිය පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් ලක්ෂ්මි දමයන්ති මෙසේ සරසවිය හා එක්වූවාය

මේ දිනවල ඔබේ නවතම නිර්මාණ කාර්යයන් මොනවාද ….?  

ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “දේවි කුසුමාසන” චිත්‍රපටයට පසුගිය දිනවල රංගනයෙන් දායකවුණා. ඊට අමතරව “බෙරහඬ” වේදිකා නාට්‍යය අමෙරිකාවේ නිව්යෝර්ක්හි බින්හැම්ටන් යුනිවර්සිටි එකේ ඉංග්‍රීසියෙන් මම නිෂ්පාදනය කළා. එහි අධ්‍යක්ෂණය සහ නර්තන නිර්මාණය කළේත් මම. එය ඉතා සාර්ථක නිර්මාණයක්. ලංකාවේ සංගීතමය වේදිකා නාට්‍යයක් ඉංග්‍රිසි නළුනිළියන් යොදා කළ ප්‍රථම අවස්ථාවත් මෙයයි. ඒවගේම මම නිෂ්පාදනය කළ සුදත් දේවප්‍රිය මහතා අධ්‍යක්ෂණය කළ “සුළඟ නුඹ ඇවිදින්” චිත්‍රපටයේ සියලු වැඩ මේවෙද්දී අවසන්. එය මේ වසර අවසානයට පෙර තිරගත කරන්න හිතාගෙන ඉන්නවා. එහි වැඩකටයුතුත් මේ දිනවල කෙරෙනවා .

ඔබේ නිෂ්පාදනයක් වූ “සුළඟ නුඹ ඇවිදින්” සඳහා දායකවූ පිරිස සිහිකළොත් …..?

අධ්‍යක්ෂණය සුදත් දේවප්‍රිය, රංගනයෙන් මම, ශ්‍යාම් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, චමිලා පීරිස්, ආනන්ද වික්‍රමගේ, ආනන්ද අතුකෝරළ, මාධනී මල්වත්තගේ, ධර්මප්‍රිය ඩයස්, තරින්දි ප්‍රනාන්දු, අංජුලා රාජපක්ෂ, හෙන්රි ජයසේන මහතාගේ පුත් සුධාරක ජයසේන, නිමල් ජයසිංහ, සමන් ගුණවර්ධන ආදීන් එක්වෙනවා. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, කැමරාකරණය සිසිකිරණ පරණවිතාන, කලා අධ්‍යක්ෂණය චන්දන නිශාන්ත, සහය අධ්‍යක්ෂණය සුසන්ත හේමචන්ද්‍ර, අංගරචනය ශානක විරාජ්, ඇඳුම් නිර්මාණය ගයනි චතුරිකා, විධායක නිෂ්පාදනය සිසිර බුලත්සිංහල, තිරරචනය සහ අධ්‍යක්ෂණය සුදත් දේවප්‍රිය

පසුගිය සමයේ ඔබ දැඩි නිහැඬියාවකින් නේද හිටියේ….?

ඇත්තෙන්ම මම නිහඬව හිටියා කියා කියන්නත් බැහැ. මම රටින් බැහැරව ඉන්න නිසා නිහඬ බවක් දැනෙනවා ඇති. මම දැන් අමෙරිකාවේ නිව්යෝර්ක්හි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන බින්හැම්ටන් හි නාට්‍ය හා රංගකලාව උගන්වන ආචාර්යවරියක ලෙස සේවය කරනවා. මම ලංකාවට ආවම කලා නිර්මාණවලට දායක වෙනවා. ඒවා දිගින් දිගටම විකාශය වන නිර්මාණ නෙවෙයි. ඒ නිසා ප්‍රේක්ෂකයාගෙන් දුරස්වෙලා කීවත් එය බොරුවක් නෙවෙයි. හැබැයි කලාවට තිබෙන ආදරය, ළැදියාව පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ

මීට වසර කිහිපයකට පෙර විදෙස්ගතවෙන්න තීරණය කළේ ඇයි….?

මම ඇමෙරිකාවට යන්නේ මීට වසර 16කට පෙර. ඒ කියන්නේ 2008දී. එයට බලපෑ පෞද්ගලික හේතු තියෙනවා. කලා කටයුතු කෙරෙහි ඇතිවූ යම් යම් තත්ත්වයන් සේම මට අධ්‍යාපනයට තිබූ උනන්දුවත් එයට බලපෑවා. අමෙරිකාවට යන්න විශේෂ හේතුවක් වෙන්නේ සර්වෝදය නිසා මට මුණගැසෙන රූත් පෙල්හම් නමැති ගායිකාවක් නිසා. ඇය නිව්යෝර්ක්හි ඔල්බරි නගරයේ ගායිකාවක් ලෙස කටයුතු කරනවා. ඇය කුඩාළමුන්ට වැඩමුළු පවත්වනවා. ඇය සර්වෝදය සම්බන්ධ දරුවන්ට සංගීතය හා නර්තනය ඉගැන්වීම් කටයුතුවල නිරතවෙලා ඔවුන් එක්ක රට වටා චාරිකාවක් යනවා. ඒකට රූත් පෙල්හම් සම්බන්ධ වෙනවා. ඒ නිසා මට ඇය සමඟ වැඩකරන්න අවස්ථාව ලැබෙනවා. ඇය මට කියනවා අමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කරන්න කියලා. ඒ ඔස්සේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේ මාස්ටර් ඩිග්‍රියට මම ඉල්ලුම් කරනවා. එහිදී මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. එසේ ඇරඹි ගමන තමා දිගටම ගියේ. මාස්ටර් එකෙන් මම නවතින්නේ නැහැ. මම මගේ ආචාර්ය උපාධියත් කරනවා. ඉන්පසු ඒ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් ලෙස මම වැඩකරනවා.

කලාවට අවතීර්ණ වූ ආකාරය කිව්වොත්….?

මම කලාවට අවතීර්ණ වෙන්නේ දයානන්ද ගුණවර්ධන මහතාගේ “ආනන්ද ජවනිකා” වේදිකා නාට්‍යයෙන්. එයට සම්බන්ධ වෙන්න ලැබුණේ තිලෝකසුන්දරී කාරියවසම් මහත්මිය මාර්ගයෙන්. ආනන්ද විද්‍යාලය බිහිවීම ගැනයි එහි කතාකරන්නේ. මම තිලෝකසුන්දරී මහත්මියගේ ගුවන්විදුලි වැඩසටහන්වලට දායකවී තිබෙනවා. “ආනන්ද ජවනිකා” වේදිකාගත වෙන්න දින ගණනකට පෙර එහි නිළියක් විදෙස්ගත වෙනවා. ඒ අඩුව පුරවන්න මාව තෝරාගන්නේ. “ආනන්ද ජවනිකා” රංගනය දැක්ක දුටු අය දයානන්ද ගුණවර්ධන මහතාට කියනවා “ඔන්න ගමදුවට නිළියක් ඉන්නවා” කියලා. ඒ අනුවයි “නරිබෑනා”ට දායක වෙන්නේ. අවුරුදු 16ක් මම ගමදුව චරිතය නිරූපණය කළා.

සිනමා දිවිය තුළ ඔබේ ආරම්භය පැහැදිලි කළොත් ….?

මගේ සිනමාගමන ආරම්භ වෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “ගරිල්ලා මාර්කටින්” චිත්‍රපටය සමඟයි. ඊට අමතරව උදයකාන්ත වර්ණසූරිය, ගිරිරාජ් කෞශල්‍ය, සිවගුරුනාදන් අධ්‍යක්ෂවරුන් මතක් කළ යුතුයි.

ඔබේ වේදිකා රංගන දිවියේ සුවිශේෂී කඩඉම් මොනවාදැයි පැහැදිලි කළොත් සහ විශේෂිත චරිත නිරූපණයම් සිහිපත් කළොත්…..?

“නරිබෑනා”හි ගමදුව චරිතය විශේෂයි. අවුරුදු 16ක් මම ගමදුව වුණා. මෙහි මුලින්ම ලෙස්ලි රත්නායක මා සමඟ රඟපෑවේ. පසුව රොඩ්නි වර්ණකුල එක්ක රඟපෑවා.. ලූෂන් බුලත්සිංහල මහතාගේ “රතු හැට්ටකාරි” සහ “බෙරහඬ” වේදිකා නාට්‍ය ද්විත්වය් එකට නිෂ්පාදනය වෙනවා 1998දී. “රතු හැට්ටකාරි” හි රතු හැට්ටකාරි චරිතයත් “බෙරහඬ”හි සිඳගනා චරිතයත් මට ලැබුණා. එකවර නාට්‍ය දෙකක රඟපෑම විශාල අභියෝගයක් වුණා. ලූෂන් මහතාගේ ගුරුහරුකම් වටිනවා. ඔහු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, ගුරුවරයෙක්. වේදිකාවේ මට වැඩියෙන්ම රඟපාන්න ලැබුණේ රොඩ්නි වර්ණකුල එක්ක. ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ “ට්‍රෝජන් කාන්තාවෝ” කියන්නේ නාට්‍ය පාසලක්. රංගනය අපි හැදෑරුවේ රංගනය කිරීම තුළින්මයි.

විශිෂ්ට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ සඳහා ඔබ දායකවුණා. එවැනි අධ්‍යක්ෂවරයකු පිළිබඳ ඔබේ අර්ථකථනය සහ ඔහු සමඟ රංගන ගනුදෙනුව සිදුවූ ආකාරය කෙසේද….?

ඔහුගේ නිර්මාණවලට මම දායක වෙන්නේ අහම්බයක් ලෙස. එක්තරා නිළියකගේ අඩුවක් පිරවීමටයි මම “දඬුබස්නාමානය” ට එක්වන්නේ. මෑතකදී ජයන්තගේ “දේවි කුසුමාසන”හිත් රඟපෑවා. ඒ හරහා ජයන්ත සමඟ ගොඩනැඟුණු හිතවත්කම නිසාම ඔහුගේ නිර්මාණ කිහිපයකට මම දායකවෙන්නේ. අපේ පවුල් අතරත් ඉතා සමීප ගනුදෙනුවක් තිබෙන්නේ.

රංගන කාර්යය සඳහා ඔබට සුවිශේෂීවූ අධ්‍යක්ෂවරුන් කවුරුන් ද…….?

මම රඟපෑ සියලු වේදිකා නාට්‍යවල අධ්‍යක්ෂවරුන් මෙහිදී සඳහන් කළ හැකියි. දයානන්ද ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල, ධර්මසිරි බණ්ඩාරනායක වැනි පිරිස විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඔවුන් වේදිකාවේ පුස්තකාල වැනි පුදුමාකාර දැනුම් සම්භාරයක් තිබෙන අයයි.තමන්ගේ ශෛලීන් තුළ ඔවුන් ඉන්නේ අතිශය ඉහළ මට්ටමක

1990 දශකයේ බිහිවූ ටෙලිනාට්‍ය කලාව සහ අද පවතින මෙගා ටෙලිනාට්‍ය රැල්ල ගැන ඔබේ අදහස මොනවගේද …..?

90 දශකයේ බිහිවූ ටෙලිනාට්‍ය ඒ කාලයට විශේෂයි. ඒ කාලය හා මේ කාලය වෙනස්. මෙගා ටෙලිනාට්‍ය නිසා අනෙක් ටෙලිනාට්‍ය මැකීයනවා කියන තර්කය මම පිළිගන්නේ නැහැ. මෙගා බිහිවීම ගැන මට එකඅතකට සතුටුයි. හේතුව අපේ නළුනිළියන්ට ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟාගන්න එය හේතුවෙනවා. ඉස්සර තරගකාරී ටෙලිනාට්‍ය කලාවක් නැතත් දැන් ටෙලිනාට්‍ය කලාව තරගකාරී වෙලා. එදා ටෙලිනාට්‍ය කලාව අදට වඩා ගුණාත්මක අතින් අතිශය ඉහළයි. මෙගා මීට වඩා ප්‍රමිතියකින් කරගෙන යනවානම් හොඳයි.

අද වෙද්දි ලාංකේය සිනමාව තුළ ජ්‍යෙෂ්ඨයන් සේම තරුණ අධ්‍යක්ෂවරුන් ජයග්‍රහණ ලබමින් සිටිනවා ….ඒ ගැන මොකද හිතෙන්නේ….?

අද චිත්‍රපට නිෂ්පාදනය ගැන සතුටුයි. නවක පිරිස වගේම ජ්‍යෙෂ්ඨයන්ද චිත්‍රපට නිර්මාණයට යොමුවී තිබෙනවා. මෑතකාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්න, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, පරාක්‍රම නිරිඇල්ල, ජයන්ත චන්ද්‍රසිරි, සුදත් දේවප්‍රිය වැන්නන් චිත්‍රපට අධ්‍යක්ෂණය කරනවා. ඊට අමතරව ජගත් මනුවර්ණ, සංජීව පුෂ්පකුමාර වැනි නවක අධ්‍යක්ෂවරුන් ද චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවී තිබෙනවා. මෙසේ සිදුවීම හොඳයි …වෙන්න ඕනත් ඒකයි. මේ දෙඅංශයටම චිත්‍රපට ප්‍රදර්ශනයේදී එක හා සමාන අවස්ථා ලැබේනම් වටිනවා.

පැරණි සිනමාශාලා වැසීයාමත් ව්ඥබටතඪය, රධභ බභඡඥ වැනි නව තාක්ෂණික සිනමා ප්‍රවාහයන් බිහිවීමත් ඔබ දකින්නේ කෙසේද …?

ලෝකය දියුණු වෙද්දි හැමදේම දියුණු වියයුතුයි. සිනමාශාලාත් දියුණු වෙන්න ඕන. නිර්මාණයක් රසවිඳීන්න අවශ්‍ය තාක්ෂණික මෙවලම් එහි තිබේද ඒවා සමඟ රැඳෙන්න බැරි සිනමාශාලා වැහෙනවා. සිනමාශාලා පවතින්න ඕන. ඒවගේම ව්ඥබටතඪය, රධභ බභඡඥ වැනි දේත් බිහිවෙන්න ඕන. එවැනි දේවල් තිබෙන එක චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සිතට සහනයක්. ව්ඥබටතඪය තිබ්බා කියලා හැම චිත්‍රපටයක්ම ඒකට දාන්න බැහැ. එහි යම් ප්‍රමිතියක් තියෙනවා. රධභ බභඡඥවලත් ප්‍රමිතියක් තිබ්බොත් හොඳයි. සමාජ මාධ්‍ය පාලනය කරන්න අමාරුයි. ර්‍ථපඪථඥ ඍඪඤඥධ වගේ මාධ්‍යයකින් යම් ප්‍රමිතියක් නැතිව චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න බැහැ. ප්ලැට්ෆෝම් අඩුවැඩි වශයෙන් ප්‍රේක්ෂකයාට තිබෙන්න ඕන. අන්තර්ජාතික උළෙල බොහෝ ප්‍රමාණයක් දැන් තියෙනවා. ඒකට හේතුව චිත්‍රපට උළෙල සඳහා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය වී තිබීම. කාන්ස්, ටෝකියෝ උළෙල තියෙද්දිත් කොවිඩ් එකත් එක්ක ගොඩනැඟුණු ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා චිත්‍රපට උළෙල වෙනුවෙන්.

අද වෙද්දි වේදිකාවේ ක්‍රියාකාරීත්වය ඔබ දකින්නේ කෙසේද…..?

අශෝක හඳගම නැවත වේදිකාවට ඒම මට ඉතා සතුට දනවන්නක්. ජයන්ත චන්ද්‍රසිරි වසර ගණනකට පෙර වේදිකා නාට්‍යයක් කළා. ප්‍රවීණයන් වේදිකාවට දායකත්වය දෙන්න ඕන. අලුත් අය බිහිවෙන්නත් ඕන. එවිටයි වේදිකාව පවතින්නේ.ප්‍රවීණයන්, නවකයන් අන්‍යෙන්‍ය අවබෝධයකින් කටයුතු කරන්න ඕන. අතීතයේ තිබූ රංගවිධි නෙවෙයි අද තියෙන්නේ. එසේවුවත් අපට අතීතය හෙළාදකින්න බැහැ .

වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන ත්‍රිත්ව මාධ්‍ය අතරින් ලක්ෂ්මි දමයන්ති නම් රංගනවේදිනියගේ රංගන වපසරිය පුළුල් පරාසයක පවත්වාගත හැක්කේ කුමන මාධ්‍යයේද…..?

සිනමාවේ මම රැඳුණේ ඉතා අඩුවෙන්. වේදිකාවේත් විශාල පරිමාණයේ නිර්මාණවලට දායකවී නැහැ. රූපවාහිනියේත් එහෙමයි එහෙමවුණා කියා මම තෘප්තිමත් නැත්තේ නැහැ. මම කළදේට උපරිමය දීලා තියෙනවා. තව වැඩකරන්න තිබ්බා නම් හොඳයි. එයින් කියවෙන්නේ නැහැ මම අතෘප්තිකරයි කියා. මම අද ලංකාවේ නැතත් කලා ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරියි. මම මානසිකවත් කායිකවත් කලාවට සමීපයි.

අද දක්ෂ නවක රංගන ශිල්පීන් සිටියද ඔවුන්ගේ දක්ෂතා එළිදක්වන්න අවස්ථා නොමැති බවත් හොඳ අධ්‍යක්ෂවරුන් නොමැති බවටත් මතයක් තිබෙනවා…..?

මේ කරුණු දෙකටම මම එකඟ නැහැ. අද හිතාගන්නවත් බැරිතරම් බොහෝ දක්ෂ නවකයන් ඉන්නවා. හොඳ අධ්‍යක්ෂවරුත් ඉන්නවා. නළුනිළියන් කියා නළුනිළියන් නොවන පිරිසකුත් බිහිවී තිබෙනවා. රංගනයට පමණක් නොවෙයි අංගරචනය, කලා අධ්‍යක්ෂණය, කැමරාකරණය ආදී අංශවලත් දක්ෂයන් අද සිටිනවා.

කලාව, සිනමාව ආදි විෂයයන් අධ්‍යයනයට මෙරට පවතින අධ්‍යයන ආයතන සහ පාඨමාලාවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔබේ දැක්ම කෙසේද…..?

ඒ ගැන නම් මට පැහැදීම අඩුයි. යම් යම් අංශවල පාඨමාලා ගැන එකඟවිය හැකිවුවත් හතු පිපෙනවා වගේ බිහිවෙන පාඨමාලානම් නැවැත්වීම හොඳයි. විෂයය පිළිබඳ නිවැරදි දැනුමක් තිබේනම් පමණයි එයින් මුදල් ඉපයිය යුත්තේ. රංගනය, අධ්‍යක්ෂණය ආදිය ගැන අත්දැකීම් වෙනයි ඒවා ඉගැන්වීමේ කලාව වෙනයි. සමහරුන්ට මේ දෙකම පුළුවන්. අධ්‍යක්ෂවරු අධ්‍යක්ෂණය කරලයි එකී විෂයය ඉගෙනගත්තේ. පොතපත කියවීමෙන්, නිර්මාණ නැරඹීමෙන්, බහුශ්‍රැතයන් ඇසුරින් උගත් දේ තිබෙනවා. එවැනි පිරිස මේ විෂයයට අදාළ ඉගැන්වීම් කළාට කමක් නැහැ

මෙරට සිනමාව, සාහිත්‍යය ආදි කලාවන් දියුණු කිරීමට රාජ්‍ය මට්ටමින් ලැබෙන දායකත්වය ගැනත් ඒ වෙනුවෙන් ඔබ ඉදිරිපත් කරන යෝජනා ගැනත් කීවොත්…..?

රාජ්‍ය අනුග්‍රහය ලැබේනම් හොඳයි. අපි එකතුවී ස්වාධීනව නැඟීසිට කලාව පවත්වාගෙන යෑමේ හැකියාව තිබිය යුතුයි. කලාව උදෙසා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. රාජ්‍ය ප්‍රතිපාදන මතම කලාව පවතින්නේ නැහැ. එයට හොඳ ප්‍රේක්ෂකාගාරයක් අවශ්‍යයි. එය පාසල් මට්ටමින් කළ හැකියි. පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ නාට්‍යය විතරද ළමුන් බලන්න ඕන. හොඳ ප්‍රේක්ෂකාගාරයක් බිහිකරන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් අඩිතාලමක් දාන්න පුළුවන් නම් ඒක දීර්ඝකාලීනව අපට වාසිදායක මට්ටමට හරවාගන්න පුළුවන් එය හොඳ ආයෝජකයක් වෙයි.

මිනිස් අධ්‍යාත්මය පෝෂණය කර දියුණු මානසිකත්වයකින් මෙන්ම මනා පෞරුෂත්වයකින් පිරිපුන් පරපුරක් බිහිකිරීමට කලාව ඉවහල් වන ආකාරය පිළිබඳ ඔබේ දෘෂ්ටිය පැහැදිලි කරනවා නම්…..?

සමබර මනසක් පවත්වාගෙන යාමට සෞන්දර්ය විෂයයන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි. අපි දුකටත් සතුටටත් සින්දු කියනවා. මේවා අපේ ජීවිතවලට බද්ධවෙලා තිබෙන දේවල්. කලාව පිළිබඳ අවබෝධය දරුවාගේ මනසට විශ්වවිද්‍යාල මට්ටමින් දියහැකිනම් හොඳයි. මනා පෞරුෂයක්, එකිනෙකා කෙරෙහි සංවේදී හදවතක් සහිත මිනිසුන් බිහිකිරීමට කලාවට තිබෙන හැකියාව පුදුමාකාරයි. සංවේදීත්වය කලා නිර්මාණ හරහා මතුවෙන්නේ නිරායාසයෙන්. නාට්‍යයක් බලද්දී අපි ඒක එක්ක බැඳෙනවානේ. කලා නිර්මාණයක් රසවින්ඳාට වැඩක් නැහැ එහි අර්ථය දන්නේ නැත්නම්. කලා නිර්මාණයක අන්තර්ගතය අපේ ජීවිතවලට මොන විදිහේ බලපෑමක් කරන්නේද කියන දේට අපේ මනස අවදිකරන්න ඕන.

අමෙරිකාවේ දිවිගෙවන ඔබ එරට සිට කලාව වෙනුවෙන් දායකවන්නේ කවරාකාරයෙන්ද…..?

ප්‍රධානවශයෙන් මම අමෙරිකාවේ නාට්‍ය හා රංගකලා ආචාර්යවරියක් ලෙස කරන කාර්යය මෙහිදී වැදගත්. එහිදී මම දකුණු ආසියානු නාට්‍ය කලාව ගැන වගේම ආසියානු නාට්‍ය කලාව ගැනත් ඒවායේ අද තත්ත්වය, ඒවා අනෙක් රටවල් හා සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම වැනි දෑ මම උගන්වනවා. ඊයේ අමතරව කාන්තාවන් පිළිබඳ අධ්‍යාපනය ගැන කතා කිරීමේදී මම සිනමාව උපයෝගී කරගන්නවා දකුණු ආසියානු සහ ලංකාවේ සිනමා නිර්මාණ ගෙන ඒවා සංසන්දනාත්මකව අධ්‍යයනයට උගන්වනවා. සිනමාව, නාට්‍යකරණය, නර්තනය ආදී විෂයයන් ආවරණය කරනවා. ඒවගේම බන්දුල ජයවර්ධනයන්ගේ “බෙරහඬ” අමෙරිකාවේ ඉංග්‍රියෙන් කළා. වෘත්තියමය සුදුසුකම් සහිත බොහෝ අමෙරිකානු ජාතිකයන් මට එහිදී සහය වුණා ලාංකේය නාට්‍ය කලාව ගැන පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලෙස ඉංග්‍රිසියෙන් මගේ පොතක් එළිදැක්වුණා. රට්ලේජ් නමැති ප්‍රකාශකයන් එය එළිදැක්වූවේ. රට්ලේජ් කියන්නේ ලෝකයේ තිබෙන ප්‍රධානතම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශකයෝ.. එය විශාල ජයග්‍රහණයක්.

ඔබ සම්මානයට හා ඇගැයුමට ලක්වූ අවස්ථාව වෙතොත්…..?

සම්මානවලට නිර්දේශ වී තිබෙනවා. මුලින්ම සම්මානයක් ලබන්නේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස. ඒ ධර්මප්‍රිය ඩයස්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ “ලයිසස් ට්‍රාටා” නාට්‍යයට. එය “ගැහැනු වැඩ අරඹති” නාට්‍යයේ සිංහල පරිවර්තනය. හොඳම ඇඳුම් නිර්මාණයට රාජ්‍ය නාට්‍ය උළෙලේදී මට සම්මානය හිමිවුණා. අධ්‍යාපනික වශයෙන් මට ඉහළ ඇගයීමක් ලැබුණේ මගේ පශ්චාත් අධ්‍යාපන කටයුතුවලදී. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නවිට. මට සංගීත, නර්තන අංශවලින් සම්මාන ලැබුණා. පාසල් අවධියේත් සම්මානයට ලක්වුණා. අමෙරිකාවට ආවට පසුව බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේදී මට හොඳම පර්යේෂණ කළ කෙනාට හිමි සම්මානය ලැබෙනවා. ඒ 2018දී වගේ. “බෙරහඬ” කරද්දිත් අමෙරිකා විශ්වවිද්‍යාලයේදී ඇගයුමට ලක්වුණා. මගේ පර්යේෂණ කටයුතුවලට තිබෙන ඇගැයීම් හරිම ඉහළයි. මගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය වූ “සුළඟ නුඹ ඇවිදින්” සඳහා විවිධ අන්තර්ජාතික උළෙලවලින් සම්මානයට පාත්‍රවුණා.

ආචාර්ය ලක්ෂ්මි දමයන්ති ලෙස ඔබව හඳුන්වනවා. ඒ පිළිබඳ පැහැදිලි කළොත් ….?

ආචාර්ය ලක්ෂ්මි දමයන්ති කියන දේ ජීවිතයේ සිහිනයකින්වත් නොසිතූ දෙයක්. මම ජීවිතයේ වැටුණු සෑම මොහොතකම නැඟිට්ටේ ඊටත් වඩා ශක්තිමත්ව. එහි ප්‍රතිඵලයක් තමයි ආචාර්ය ලක්ෂ්මි දමයන්ති. යම් කලෙක නාට්‍ය කටයුත්තකදී සිදුවූ සිත් රිදවීමකින් මම සිතනවා මගේ අධ්‍යාපන ගමන ඉදිරියට ගෙනයන්න ඕන කියලා. ඒ ගමන කෙළවර වෙන්නේ නාට්‍ය කලාව තුළ ලක්ෂ්මි දමයන්ති ලෙස සිටි කෙනා ආචාර්ය ලක්ෂ්මි දමයන්ති ලෙස වෙනස්වීමෙන්

ලේඛන කලාව තුළ ඔබේ භුමිකාව කෙසේද…..?

මුලින්ම මම 2018දී ” විරහව” නමින් කවිපොතක් එළිදැක්වුවා. මගේ ආචාර්ය උපාධිය එක්ක මට දීපු තෑගි කිහිපයක් තිබෙනවා, එකක් නිෂ්පාදන කාර්යය. අනෙක ලේඛන කලාව. කලක් මම කවි ලිව්වා. ඒවා එකතු කරගෙන කවි පොත කළා. ඒවගේම නවකතාවක් සහ දකුණු ආසියානු නාට්‍ය හා රංගකලාව පිළිබඳ පොතක් පළකිරීමත් ලබන වසරේදී සිදුවේවි. විශාලම ජයග්‍රහණය තමයි “සිංහල නාට්‍ය කලාව” පිළිබඳ ඉංග්‍රිසියෙන් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් රට්ලේජ් ප්‍රකාශකයන් මගින් එළිදැක්වීම. එය මේ වසරේ අප්‍රේල්වල සිදුවුණේ. අමෙරිකාවේ පොත් ප්‍රකාශනය කියන්නේ වෙනස්ම ප්‍රොසෙස් එකකට වෙන දෙයක්.

ලක්ෂ්මි දමයන්ති නමැති නිෂ්පාදිකාව ගැන කීවොත් …..?

මම නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙන්න පුදුම ආසාවකින් හිටියේ. කලාවට කරන මෙහෙයක් ලෙස දිගටම නිෂ්පාදන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම නිෂ්පාදනය කළේ “සුළඟ මහමෙරක” ටෙලිනාට්‍යය. එය සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළේ. 2018දී මේ ටෙලිනාට්‍යය ජාතික රූපවාහිනියෙන් විකාශය වුණා. ඊට පසුව “සුළඟ නුඹ ඇවිදින්” චිත්‍රපටය නිෂ්පාදනය කළා.. ඒකත් සුදත් දේවප්‍රියගේ අධ්‍යක්ෂණයක්. ඉදිරියේදීත් සුදත් දේවප්‍රිය වගේම වෙනත් අධ්‍යක්ෂවරුන් එක්කත් නිෂ්පාදන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?

චිත්‍රපට 02ක් තිරගත වීමට නියමිතයි. ජයන්ත චන්ද්‍රසිරිගේ “දේවි කුසුමාසන” සහ සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ මගේ නිෂ්පාදනයක් වන “සුළඟ නුඹ ඇවිදින්” චිත්‍රපට දෙක. සිවගුරුනාදන්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටයක් සහ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනයටත් සැලසුම් කර තිබෙනවා

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා කටයුතුවලට ලැබෙන සහය ගැන කිව්වොත්….?

පවුලෙන් ලැබෙන සහය එක්ක මම හරි වාසනාවන්තයි. අපි හරිම ආදරණීය පවුලක්. මගේ සැමියා කවදාවත්ම මගේ කලා කටයුතුවලට, අධ්‍යාපන කටයුතුවලට බාධා පැනවූයේ නැහැ. ඒවගේම මගේ දියණිය ගයනි චතුරිකා. ඇය ර්.ඒ. උපාධිධාරිනියක්. ඇගෙන් ලැබෙන සහයත් හරිම වටිනවා. ඇය විටෙක මට දියණියක්, මිතුරියක්, සහෝදරියක්, මවක් වගේ කිව්වත් හරි. මගේ මව වගේ මාව රැකගන්නවා. සචින්ද්‍ර කියන්නේ ඇය අපේ පවුලට ගෙනා පුතා.ඔහුගෙනුත් හොඳ සහයක් ලැබෙනවා. දුවගේ දරුවා මහිම සනහස් සිරිමාන්න. ඒ දරුවා මතක් වුණත් සතුටුයි. ඔහු අපේ ජීවිතයේ ආලෝකය. ලෝකය දිනපු ගැහැනු අතර මාත් එක්තරා ගැහැනියක් කියා කියන්නේ හරිම ආඩම්බරයෙන්.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT