Home » ලොව පීරා සිනමාවට ආ සිරිමල් එතනා

ලොව පීරා සිනමාවට ආ සිරිමල් එතනා

සෙනාලි ෆොන්සේකා

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ පවුලේ සාමාජිකාවක වූ ඇය සිනමාවෙන් පුංචි තිරයෙන් ජනප්‍රියත්වයට පත්වුයේ රංගන ක්ෂේත්‍රයට පැමිණ වැඩි කාලයක් යන්නට මත්තෙනි. 2013 වසරේ ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ සිරිපැරකුම් චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වූ ඇය තම කලුඳුල් චිත්‍රපට රංගනයෙන්ම අසීමාන්තික ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තාය. එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටියදී සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමක් දැක චිත්‍රපටයක රඟපෑමේ ආශාව නිසාවෙන් තම පියාගේත් මවගේත් පෙරැත්ත මත රංගනයට ප්‍රවිෂ්ටයක් ලැබු ඈ සෙනාලි ෆොන්සේකාය. සිරිපැරකුම් චිත්‍රපටයේ සිරිමල් එතනා -(නඟා) චරිතය ඔස්සේ අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් සෙනාලි ඉන්පසු විටින් විට චිත්‍රපට නිර්මාණ කිහිපයක් වෙනුවෙන් දායක විය. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලය චිත්‍රපටයේ නීලමනී ගේ චරිතය හරහා ද තව තවත් පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් තමන් සතු කරගත් සෙනාලි විසින් 2024 වසරේ පැවැත්වූ තිස් පස්වැනි සරසවිය සම්මාන උලෙළේදී 2019 වසර සඳහා ජනප්‍රියම නිළිය සඳහා සරසවිය සම්මානය දිනාගන්නා ලදි. සිරස නාලිකාවේ පුංචි පැංචි ළමා වැඩසටහනේ නිවේදන කටයුතු සිදුකරමින් කලා ලෝකයට අයනු ආයනු කියූ සෙනාලි පුංචි තිරයේද ජනප්‍රිය චරිතයක් බවට පත්වුයේ ටෙලි නාට්‍ය රංග ශිල්පිනියක් වශයෙනි. හාර කෝටිය – (දිලී), නාඩගම්කාරයෝ – (පාඨලී – සුදු චුටි) මෙගා ටෙලිනාට්‍ය තුළින් පුංචි තිරයේ අසීමිත පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනාගත්තාය. දුවිලි අහස, මනුසත් විමන, ජෝජියා ආදී ටෙලි නාට්‍ය කිහිපයක රංගනයෙන් ඈ කතාබහට ලක්විය. ආචාර්ය සෝමරත්න දිසානායකයන් සිනමාවට සොයාගත් සෙනාලි ෆොන්සේකා සිරිපැරකුම් චිත්‍රපටයෙන් පසු චිත්‍රපට නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේම සිනමා නිර්මාණයන් සඳහා දායක වූවාය. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ යාත්‍රා, ජැක්සන් ඇන්තනීගේ එකගෙයි සොකරි, ධනුෂ්ක රේමන්ගේ පරිස්සමින් ඉන්න. හර්ෂ උඩකන්දගේ කබඩි ආදී චිත්‍රපට කිහිපයකම රැඟුවාය.

කොළඹ විශාඛා විද්‍යාලයේ හා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන්, අධ්‍යාපනය ලැබු ඈ ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක ලෙසින් පළමුපෙළ උපාධිය ද ලබාගත්තාය. උපාලි ෆොන්සේකා, සේනානි ෆොන්සේකා යුවළගේ එකම දියණිය වූ සෙනාලි එංගලන්තයේ වාසය කළ ද විටින් විට ශ්‍රී ලංකාව විත් රංගනයට දායක වීම ද සිදුකෙරේ. කලා ක්ෂේත්‍රයේ සෙමින් ගමනක් අපේක්ෂා කරන සෙනාලි මේ වන විට සරසවිය ජනපි‍්‍රය නිළිය සම්මානයට අමතරව ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ් (2014) ජනපි‍්‍රය නිළිය සම්මානය ද සුමති සම්මාන උලෙළේ ජනපි‍්‍රය නිළිය සම්මානය ද, ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සහය නිළිය. හොඳම නිළිය සඳහා නිර්දේශය වීම් ද මේ වනවිට ලබා ඇත. හා පුරා කියා රඟපෑ මුල්ම චිත්‍රපටය වූ සිරිපැරකුම් හි සිරිමල් එතනා චරිතය නිසාම සෙනාලි රටෙන් නෙමෙයි ලෝකෙම පීරලා හොයාගත්ත සිරිමල් එතනා ලෙසින් හැඳින්වීමට සිනමා ක්ෂේත්‍රයේ අයවලුන් කටයුතු කරනු ලැබිණි. නිළියක ලෙස සිනමාව ඔස්සේ කරළියට ඒමට වඩාත් ආශාවක් දක්වන සෙනාලි පුංචි තිරයේ රඟපෑ චරිත නිසාම ප්‍රේක්ෂකයන් ඇයව ඒ චරිත වල නමින් ආමන්ත්‍රණය කරන්නට තරම් ලෙන්ගතු වී තිබීම ද ඇගේ කෙටි කලා ජීවිතය තුළ දැකිය හැකිය.

නිළි රැජන මාලිනී ෆොන්සේකා සෙනාලි ගේ ලොකු නැන්දා ද ප්‍රවීණ රංග ශිල්පිනි දමයන්ති ෆොන්සේකා ඇගේ පොඩි නැන්දා වන නිසාවෙන් ඇගේ රංගන ජීවිතය ආලෝකවත් වන්නට මේ දෙපළගෙන් ලැබෙන දායකත්වය ද සුළුපටු නොවෙති.

සේයාරුව ශාන් රූපස්සර

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT