Home » ලැබෙන ඕනෑම චරිතයකට මම උපරිම කැපවෙනවා

ලැබෙන ඕනෑම චරිතයකට මම උපරිම කැපවෙනවා

රංගන ශිල්පි අශාන් හේවාවසම්

by Thanushika
September 18, 2025 11:50 am 0 comment

වර්තමානයේ රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන ශිල්පීන් බොහෝය. එහෙත් ක්ෂේත්‍රයේ රැඳී සිටීමට හැකියාව ඇත්තේ රංගනය පිළිබඳ හැකියාවක් ඇති ශිල්පීන්ට පමණි. ඇතැම් ශිල්පීන් රඟපෑමට අවතීර්ණ වන්නේ එය ඔවුන්ගේ විනෝදාංශයක් ලෙස සිතාය. එහෙත් රංගනය, කලාව කුමක්දැයි හොඳීන් දන්නා පිරිස එසේ සිතන්නේ නැත.

අශාන් හේවාවසම් එවැනි රංගන ශිල්පියෙකි. ඔහු රංගන ක්ෂේත්‍රයට පැමිණ තවමත් කෙටි කාලයකි. එහෙත් ඔහු තම හැකියාව පියවරෙන් පියවර වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍රය තුළ ස්ථාවර ගමනක් යාමට උත්සාහ දරමින් සිටින රංගන ශිල්පියෙකි. ඔහු සරසවිය සමඟ ඒ පිළිබඳ අදහස් දැක්වීමට එක්වූයේ ඔහු රංගනයෙන් දායක වන ‘ දඩාස් ‘ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරය.

මම කුඩා කාලයේ පාසල් තුනක අධ්‍යාපනය හැදෑරුවා. කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ තමයි කලාවට, රඟපාන්න ආසාවක් ඇතිවුණේ. පාසල් කාලයේ චිත්‍ර සහ සංගීතය විෂයයන් ඉගෙන ගත්තත් රංගනය නම් හැදෑරුවේ නැහැ. අපේ රටේ වර්තමානයේ සිටින ජනප්‍රිය නළුවෙක් වන අමිල කරුණානායක අයියත් නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අමිල අයියයි මමයි හොඳ යාළුවෝ. 2024 වර්ෂයේ තිරගත වූ කම්බිලි චිත්‍රපටයේ අමිල අයියා ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ දවස්වල අමිල අයියත් එක්ක කම්බිලි රූගත කරන තැන්වලට නිතරම ගියා. එහිදී එහි අධ්‍යක්ෂවරයා වූ ප්‍රසාද් කළුපහන සහෝදරයාව හමුවුණා. ඔහු මට ආරාධනා කළා කම්බිලි චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපාන්න. ඒ වගේම එහි චරිත දෙකකට හඬ කවන්නත් අවස්ථාව ලැබුණා. ඒ තමයි මගේ රංගන ජීවිතයේ ආරම්භය.

රංගන ශිල්පියෙක් වෙන එක මගේ හීනයක් වෙලා තිබුණේ. රඟපෑම හිතන තරම් ලෙහෙසි නැහැ. මට ලැබුණ සුළු චරිතයත් මට වටිනා අවස්ථාවක්. මා ඒ සුළු චරිතය හරි රඟපෑවේ බොහෝම ආසාවෙන්. මේ වන විට මම කම්බිලි , මොනරසන්නිය චිත්‍රපට දෙකෙහි රඟපාල තිබෙනවා. මීට අමතරව ඉසුරු නිෂ්පාදන වෙනුවෙන් අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළ චාමර රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘ දඩාස්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. එහි මම රඟපාන්නේ යූටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන කපටි තරුණයෙක්ගේ චරිතයක්. මම බොහෝ විට රඟපාල තිබෙන්නේ කළු චරිත වගේම ප්‍රතිවීර චරිත. කුමන චරිත ලැබුණත් එය සාර්ථකව රඟපාන්න මම නිතරම උත්සාහ කරනවා. ‘දඩාස්’ චිත්‍රපටයේ මට ලැබුණේ යමක් කරන්න පුළුවන් ප්‍රධාන චරිතයක්. එය මගේ රංගන ජීවිතයේ සංධිස්ථානයක් කියලා හිතනවා. නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට එය තිළිණ වෙනවා. සිනමාවට අමතරව ටෙලි නාට්‍යවල රඟපාන්න ලැබීමත් මගේ රංගන ජීවිතය හැඩකරගන්න ලැබුණ හොඳ අවස්ථාවක්. සිදාදියේ සමනළියෝ, වැකේෂන්, ෆෝචූන් රෙසිඩන්සි, හෙළිදරව්ව සහ ඇගේ කතාව වැනි ටෙලි නාට්‍යවල මම රඟපෑවා. ඒවගේම රසික චන්දනගේ ‘ හැඩකාරි’ සහ දයානන්ද දේශප්‍රියගේ ‘ හිත ඉල්ලන ආදරේ’ යන ගීත දෙකෙහි රූප රචනා වල ප්‍රධාන චරිතය සඳහා දායක වුණා. දිසාපති, චිලිපේස්ට්, නොකවුට්, 4ක් වැනි ටෙලි නාට්‍ය වලටද මම සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී විකාශය වන්නට නියමිතයි. නිරූපණ ශිල්පියෙකු ලෙස වෙළඳ දැන්වීම් දහයකට පමණ පෙනී සිටියා. ඉදිරියේදීත් තවත් වෙළඳ දැන්වීම් කිහිපයකට පෙනී සිටින්නට ආරාධනා ලැබී තිබෙනවා.

රංගනය කියන දේ ලෙහෙසි නැහැ. දක්ෂ රංගන ශිල්පියෙකු වන්නට නම් හැදෑරීමක් අවශ්‍යයි. එහෙත් කලාතුරකින් කෙනෙකුට රංගනය පිළිබඳ සහජ හැකියාව තිබෙන්නට පුළුවන්. තරුණ රංගන ශිල්පියෙක් ලෙස මමත් හැම වෙලාවෙම රඟපෑම ගැන අධ්‍යයනය කරන කෙනෙක්. දර්ශන තලයට ගිහාම අපට ජ්‍යේෂඨ ශිල්පීන් හමුවෙනවා. ඒ හමුවෙන සෑම අවස්ථාවකම ඔවුන්ගේ රංගනය, හැසිරීම් රටා, චරිතයට අනුගතවෙන ආකාරය දිහා බලල මමත් යමක් ඉගෙන ගන්නවා.

වර්තමානයේ විවිධ වර්ගයේ ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මණ බිහිවෙනවා. තරුණ රංගන ශිලිපීන් වගේම තරුණ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු බිහිවෙලා තිබෙනවා. එය කලාවට හොඳ කාලයක්. ඒ අතර හරසුන් නිර්මාණත් බිහි වෙනවා. එය කනගාටුවට කරුණක්. මම තාම කලා ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයයි. මට ලැබුණ සෑම අධ්‍යක්ෂවරයෙක්ම නිර්මාණවලට උපරිම සාධාරණයක් කළා.

මම නිරූපණ ශිල්පියෙකු ලෙසත් කටයුතු කරනවා. ලංකාව වගෙ රටක වෘත්තීය රංගන ශිල්පියෙකු විදිහට ස්ථාවර වෙන්න අපහසුයි. ඒ නිසා වෙනත් අංශයකටත්‍ යොමුවිය යුතුයි කියා මා සිතනවා. රංගන කටයුතුවලට අමතරව මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඇඟළුම් අංශයට සම්බන්ධ ව්‍යාපාරයක්. ක්ෂෙත්‍රයේ තරුණ රංගන ශිල්පීන් මගෙ ඇඟළුම්වලින් හැඩවෙන අවස්ථා තිබෙනවා. මගේ නිෂ්පාදන වල නිරූපණ ශිල්පියා විදිහට පෙනී සිටින්නෙත් මම.

රංගන ක්ෂෙත්‍රයට පැමිණ කෙටි කාලයක් වුවත් මට ලැබෙන ප්‍රතිචාර හොඳයි. සමාජ මධ්‍ය ඔස්සෙ මා වටා රසික පිරිසක් ඉන්නවා.

මගේ රංගන කටයුතුවලට මගේ පවුලෙන් අනගි සහයක් ලැබෙනවා. මගේ බිරිඳ නවෝද්‍යා ගොඩමුන්නගේ. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. ඇය කෙතරම් කාර්‍ය බහුල වුවත් මගේ රංගන කටයුතුවලට සහ ව්‍යාපාර කටයුතු වලට දෙන සහය අතිමහත්. ඒ වගේම මගේ අම්මා, තාත්තා සහ මල්ලීවත් මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ යහළුවන්. ඔවුන් තමයි මගේ ප්‍රේක්ෂකයෝ.

මේ සෑම දෙනාගෙන්ම ලැබෙන සහය, ආදරය සහ දිරිගැන්වීමත් එක්ක රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේ සාර්ථකව රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ රංගනය වෙනුවෙන් කැපවීම සහ යාවත්කාලීන වීම.

වර්තමානයේ විශේෂයෙන් සිනමාවට යළිත් ස්වර්ණමය යුගයක් උදාවෙමින් පවතිනවා. ගුණාත්මක නිර්මාණ සහ විනෝදාත්මක නිර්මාණ බිහි වෙනවා. ඒ අතර මට ලැබෙන නිර්මාණවලට උපරිම දායකත්වයක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

තවත් අලුත් කලා කටයුතු කිහිපයකට ඉදිරියේදි සහභාගී වෙන්න සැලසුම් කරමින් ඉන්නේ. මේ වන විට තවත් මියුසික් වීඩියෝ දෙකකට ආරාධනා ලැබී තිබෙනවා. මින්පෙර රූගත කිරීම් කළ ටෙලි නාට්‍ය කිහිපයක ඉතිරි රූගත කිරීම් සඳහා නුදුරේදීම සහභාගී වෙන්න තිබෙනවා. ඒ අතර ප්‍රසංග සංවිධානය සහ කලා ශිල්පීන් සම්බන්ධීකරණ කටයුතුත් සමඟ තරමක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ.

කෙසේ වෙතත් මුල්තැන දෙන්නේ රංගනයට. ඒ පිළිබඳ නිසි පුහුණුවක් ලබමින්, ඒ ගැන අධ්‍යයනය කරමින් සාර්ථක රංගන ශිල්පියෙක් වීම මගේ එකම හීනයයි.

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT