නූතන දකුණු කොරියානු සිනමාව ඊට අනන්‍යම වූ ගතිකයන් (Dynamics) ආවේණික කරගත් ලෝක සිනමාව තුළ විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින ප්‍රමුඛ ගණයේ සිනමා ධාරාවකි. කොරියානු සිනමා ධාරාව තුළ කුතුහලය (Thriller) සහ භීම (horror) රසය ප්‍රධාන කොටගත් සිනමාපට නිර්මාණය කිරීම සුලබ කරුණකි. Horror ශානරය ගත්විට කොරියානු සිනමාවෙහි එතෙක් මෙතෙක් තුළ නිර්මාණය වූ හොඳම Horror චිත්‍රපටය ලෙස විචාරකයන් හඳුන්වන්නේ ‘The Wailing'((2016) සිනමාපටයයි. එම චිත්‍රපටයට සම කළ හැකි වෙනත් කිසිදු හොරර් ශානරයේ කොරියානු චිත්‍රපටයක් මෙතෙක් බිහි වී නොමැත. මන්ද හොලිවුඩ් සාම්ප්‍රදායික වූ හොරර් ශානරයේ චිත්‍රපට වට්ටෝරුවෙන් විතැන්ව කොරියානු පන්නයට සැකසු චිත්‍රපටයක් වීම නිසා ම ’The Wailing’ කියන්නේ වෙනම හැඩයක් ගත් විශිෂ්ට ගණයේ Horror චිත්‍රපටයක්.
2024 වසරට අදාළව කොරියානු සිනමාව තුළ නිෂ්පාදනය වූ Horror ශානරයේ චිත්‍රපටයක් විදියට ‘Exhuma” චිත්‍රපටය කොරියානු සිනමාවෙන් නිර්මාණය වු ගුණාත්මක මට්ටමේ සහ සිනමාත්මක (cinematic) බවින් පොහොසත් චිත්‍රපටයක්. මා එසේ කියන්නේ කාරණා කිහිපයක් නිසාවෙනි.’Exhuma’වැනි චිත්‍රපටයක් නිරික්ෂණය කිරීම තුළින් පෙනෙන්නට තිබෙන දෙය නම් වක්‍රාකාරව හෝ සෘජුව ලංකාවේ ජන සමාජයට බෙහෙවින් සමීප කාරණාවක් පිළිබඳ සාකච්ඡා කිරීම සහ චිත්‍රපටය තුළ ලාංකිකයන් ලෙස අපට පෞද්ගලිකවම සම්මුඛ වන වැදගත් මොහොතවල් කිහිපයක් තිබෙන බවයි. මෙම නිරික්ෂණය ‘The Wailing’ චිත්‍රපටය තුළ ද අති සමීපව දකින්නට ලැබුණා.
‘Exhuma’ චිත්‍රපටයේ කතාව බවට පත්වන්නේ දකුණු කොරියාවෙි වෙසෙන එක්තරා ධනවත් පවුලක් වෙත ඔවුන්ගේ අතීත මළගිය ප්‍රාණීන්ගෙන් සිදුවන අනර්ථදායක තත්ත්වයන් පිළිබඳවයි. සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යවහාරයෙන් නමි මෙම තත්ත්වයට කියන්නේ, ”මළගිය ප්‍රාණියෝ පවුලට ලෙඩ කරවනවා” කියලා. අන්න එවැනිම වූ තත්ත්වයක් තමයි මෙම ධනවත් පවුලට සිද්ධ වෙන්නේ. ප්‍රථමයෙන් ධනවත් පවුලට සමිබන්ධ මළගිය ප්‍රාණියාගේ ශාපලත් සොහොනක් කැණීමේ ක්‍රියාවලිය සිද්ධ කළ යුතු වෙනවා. ශාපලත් භුමියක පිහිටි සොහොන යටින් වැළලී ඇති භයානකවූත් භීෂණාත්මකවූත් බලවේගයක් පවතිනවා. මළගිය ප්‍රාණින්ගේ බැල්ම නැතිකරන්න නමි තොවිලයක් කරලා බිලි පුජා තියලා යාග හෝම එහෙම කරලා මළගිය ප්‍රාණියාව පළවා හැරිය යුතු බව යකැදුරන් පවසනවා. ලංකාවේ දකින්න පුළුවන් තත්ත්වයම තමයි සන්දර්භය වෙනස් වුණාට. නිදර්ශනයක් විදියට ලංකාවේ තොවිල් කර්තව්‍යය තුළ කුකුළා නම් පක්ෂියාව බිලි දීම සඳහා යොදාගනු ලබනවා. අන්න ඒ ආකාරයටම කොරියානු තොවිල් සංස්කෘතිය ඇතුළේ යොදා ගන්නේ කුකුළෙක්ව. බෙර වයමින් ස්තෝත්‍ර ගායනා කරමින් යකැදුරා ප්‍රලය වීමකුත් සිදු වෙනවා. ලංකාවේ ජනශ්‍රැතිය (Folklore) තුළ මුල්බැසගත් අති ප්‍රබල ජනප්‍රවාදයන් වන කළු කුමාර, පෙරේතයන්, යක්ෂ, රාක්ෂ, අවතාර, හොල්මන් වැනි අමනුෂ්‍යයන් මිනිස් ශරීරයෙන් පළවා හරින බලි තොවිල්, බිලි පූජා, යාග හෝම වැනි පුද පූජා විධි ක්‍රම දකුණු කොරියානු ජනශ්‍රැතිය තුළ ද එහිකාරයෙන් පවතී.
කොරියානු සමාජයට මේ බලිතොවිල්, යාග හෝම, මළගිය ආත්ම පිළිබඳ විශ්වාස පැමිණෙන්නේ චීනයේ ආරම්භ වූ තාඕවාදය හරහායි. නපුරු ආත්මයන් සහ අවතාර වැනි අද්භූත ජීවීන් පිළිබඳ තාඕවාදී අදහස්, චීනය සමඟ සංස්කෘතික හුවමාරුව සහ වෙළඳාම හරහා කොරියානු සංස්කෘතියට ප්‍රවේශ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසේදී පමණ කොරියාවට බුදුදහම හඳුන්වාදීමත් සමඟ අද්භූත ජීවීන් සහ යක්ෂයන් පිළිබඳ නව සංකල්ප හඳුන්වා දීම සිදු වෙනවා. තාඕවාදයත්, බුදුදහමෙි නපුර පිළිබඳ විශ්වාසයන් කොරියානු සමාජයට ඇතුළු වීම එය කලාව තුළට ද තේමා වීම දැකිය හැකි සුවිශේෂී ප්‍රවණතාවයක්.
යමෙකුට ‘Exhuma’ වැනි චිත්‍රපටයක් තුළින් ගොඩනඟන දෙය හුදු මිථ්‍යාවක් (myth) හෝ ප්‍රබන්ධයක් (Fiction) යනුවෙන් බැහැර කළ හැකි ය. නමුත් එය එසේ සෘජුවම බැහැර කිරීම නොවටිනා දෙයකි. මිනිස් ඇසට නොපෙනෙන අභූත බලවේග පිළිබඳ අධිවිශ්වාස සමාජයේ තිබිය හැකි ය. එය භෞතිකව යමෙකුට මුණ ගැසිම හෝ මුණ නොගැසීම මඟින් ගොඩ නඟන දේ ‘මම හොල්මනක් දැක්කා සහ දැකලා තියෙනවා’ යන අත්දැකීම් මඟින් පමණක් තීරණය කළ නොහැක. එම අත්දැකීම සම්පූර්ණයෙන්ම පාහේ බැහැර කළ නොහැකි හෝ මඟ හැර යා නොහැකි දෙයකි. මන්ද ලංකාවට පමණක් අදෘශ්‍යමාන නපුරු බලවේග පිළිබඳ විශ්වාසවලින් සමන්විත නොවේ. අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විශ්වාසයන් ලොව පුරා පිහිටි රටවල විවිධ ස්වරූපයන්ගෙන් සමන්විත වන බැවිනි. දකුණු කොරියාව එහි එක් කලාපයක් බව සිනමාපටය විසින් යෝජනා කර සිටී.
චිත්‍රපටය තුළ නිරූපණය වන කොරියානු යකැදුරන්, හෝ එම යාතුකර්ම ක්‍ෂේත්‍රයට සම්බන්ධ ශාරීරික හා මානසික රෝග සුවකර ගැනීමට සිදු කරන ක්‍රියාදාමයන් තුළ අවතාර, යක්ෂ, භූත, ප්‍රේත, පිසාචයන් පළවා හැරීම හෝ පිල්ලි යැවීම ලංකාවේ සමාජය තුළ ද එයාකාරයෙන් පවතින බව සාධක රැසකි. මළ ගිය ප්‍රාණින් වෙනුවෙන් වෙන්විය යුතු පුද සත්කාර පිළිබඳ සහ එය ඉටු නොකිරීමෙන් ප්‍රලය වන මළගිය ප්‍රාණියා විසින් පවුල හෝ මුළු ගමක් විනාශ මුඛයට ඇද දැමු අවස්ථාවන් ලංකාවේ සමාජ නිදර්ශන ඔිනෑ තරමි තිබේ. සිනමා කැමරාව ඉදිරියේ මානව විද්‍යාත්මක, සංස්කෘතිමය කාරණා අභියෝගයට ලක් කිරීම සහ ප්‍රකාශ කිරීම පිළිබඳ සිනමාකරුවකුගේ නිදහසයි. ඊට එකඟ වීම සහ එකඟ නොවීම පිළිබඳ ප්‍රේක්ෂකාගාරය සතු කාර්යයකි.
‘Exhuma’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ ‘Jang Jae-hyun’ය. ඔහු චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් පැවසුවේ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග (vfx) භාවිතා කිරීමට වඩා දර්ශන ප්‍රතිනිර්මාණය කිරීමට රංග භාණ්ඩ (props) සැබෑවට නිෂ්පාදනය කළ බවයි. ‘Exhuma’ චිත්‍රපටය ලැබූ සාර්ථක ප්‍රතිචාර සමඟ 2024 වසරේ තිරගත වූ දකුණු කොරියානු චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ලැබු චිත්‍රපටය ලෙස ඉතිහාසගත වෙයි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 97ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගනිමින්. චිත්‍රපටය පුරාවටම සිනමාත්මක බවින් පොහොසත් කරන සිනමා රූප නිමැවුම සමඟ යාවන මද ආලෝකකරණය (Low Lighting), වර්ණ සංයෝජනය, සංස්කරණය කැපී පෙනෙන අංශ බවට පත් වෙනවා. භයංකාරත්වය මුසු ලේ වැකි භීෂණය ද අභූතරූපි බව ද තීව්‍ර කරන පසුබිම් සංගීතය කැපී පෙනෙන අංශයකි.
මෙවැනි ගණයේ අදෘශ්‍යමාන බලවේගවලට විද්‍යාවෙන් පිළිතුරු සෙවීම හෝ ඒවා ම්ථ්‍යාව යැයි සම්පූර්ණයෙන්ම බැහැර කිරීම හොඳම යෝජනා නමි නොවේ. ඒ නිසා ම මෙවැනි ගණයේ චිත්‍රපටයක් සමඟ ඉතා ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතු ය. ‘Exhuam’ යනු වැදගත් කොරියානු චිත්‍රපටයකි. චිත්‍රපටය විසින් පුරාණ නැගෙනහිර ආසියාතික පුරාවෘත්ත සහ චාරිත්‍ර, භූතයන් දුරු කිරීම හෝ භූතයන් අල්ලා ගැනීම, සෝම්බිකරණය (Zombification) හෙවත් පිල්ලි පිළිබඳ අදහස සිනමාගත කිරීම පිළිබඳ කදිම හැඟවුමකි. කොරියානු සිනමාවේ ‘Horror’ ශානරය තුළ දේශීය හැඩයක් නිමැ වූ අභූතරූපී බව වෙනස්ම ආකරයෙන් කියා පෑ කදිම සිනමා නිෂ්පාදනයකි. දකුණු කොරියානු සිනමාකරුවන් සැමවිටම සිනමා කැමරාව නාභිගත කරන්නේ ඔවුන්ගේ ජන සමාජයේ සංකීර්ණතා ඇති ඉසවි වෙතට ය. මනුෂ්‍ය ගති ස්වභාවය තුළ බහා ඇති මනෝභාවයන්ටය. ‘Exhuma’ චිත්‍රපටය හැකි නම් නරඹන්න. එය බොහෝවිට ඔබට මෙතෙක් හමු වී අත්දැකීම් ඇවිස්සීමට හෝ ලාංකේය ජනශ්‍රැතිය පිළිබඳ අදහස්වලින් මනස කළඹනු ඇත.
ඉමල්ක විතානගේ