නිවස වේදිකා නාට්‍ය ලාංකේය නාට්‍ය කලාව ප්‍රකට කරවන එංගලන්තයේ ලාංකිකයන්ගේ ‘හෙළ පරපුර’

ලාංකේය නාට්‍ය කලාව ප්‍රකට කරවන එංගලන්තයේ ලාංකිකයන්ගේ ‘හෙළ පරපුර’

by Thanushika
June 20, 2024 9:22 am 0 comment

” අපේ රටේ නාට්‍ය කලාව එංගලන්තයේ වෙසෙන විවිධ ජාතීන්වල මිනිසුන් බොහොම ආදරයෙන් වැලඳ ගැනීම නිසාමයි නාට්‍ය වෙනුවෙන් අප වෙහෙසෙන්නේ .. ආර්ථික ලාභ බලාගෙන නම් නෙවෙයි. ”

හිරු නොබසින අධිරාජ්‍යය හෙවත් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්ව ලාංකේය නාට්‍ය කලාව එහි වේදිකාවේ ඔප් නංවන්නට කටයුතු කරයි. මේ ලාංකේය කණ්ඩායම “හෙළ පරපුර” නමින් හැඳීන්වෙන අතර මවුබිමෙන් නික්ම එහි විවිධ රැකියාවල නිරත ස්ත්‍රි පුරුෂ දෙපිරිසම මෙයට දායක වී සිටිති.

මෙහි බොහෝ සාමාජිකයන් දිගුකාලීනව එහි පදිංචි වූයේය…නාට්‍ය කලාවට සිත් ඇත්තෝ විවිධ වෘත්තීන්හි නිරතව පසුවෙමින් “හෙළ පරපුර ” සමග එක්ව අපේ නාට්‍ය කලාව එහි වේදිකාවේ ප්‍රකට කරති.

මේ සුන්දරනීය තේමාව යටතේ සරසවිය වෙනුවෙන් කතාබහ කරන්නට අපට මුණගැසුණේ දිගු කාලයක සිට එංගලන්තයේ පදිංචි ව එහි ගරු කටයුතු වෘත්තීයකද යෙදෙනා අපූර්වතම රසවතෙකි.

“හෙළ පරපුර” කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු වන මේ තෙමේ හෙළ පරපුර ඉදිරිපත් කරන නාට්‍යයන්හි ප්‍රධාන චරිතයට ජීවය දෙමින් සම්මාන තිළිණයටද පාත්‍ර වූ චරිතාංග නළුවකු වන ඔහු ඩබ්ලිව් .එම්. ලයනල් විජේසිරි බණ්ඩාර මහතාය.

එංගලන්තයේ බ්‍රිටිෂ් ට්‍රාන්ස්පෝට් පොලිස් ආරක්ෂක ආයතනයේ පරිගණක ශිල්පියකු ලෙසින් කටයුතු කරන හෙතෙම වසරකට දෙතුන් වරක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තම වියපත් මෑණියන් දැකබලා නැවත එංගලන්තය බලා යන්නට සූදානමින් සිටියදී අප අතර පැවැති සුහද පිළිසඳර මෙලෙසය.

“ඔව්. අපේ හෙළ පරපුර කියන්නෙම ශ්‍රී ලාංකිකයන්ගෙ එකමුතුවක්..විශේෂයෙන් නාට්‍ය කලාව වෙනුවෙන්. මෙහි වෙනත් කුසලතා ඇති අයත් ඉන්නවා. නාට්‍ය කලාවට සම්බන්ධ පිරිස අතර ඉදිරියෙන් ඉන්න කෙනෙක් හැටියට මම අපේ නාට්‍ය කලාව එංගලන්තෙ වැනි රටක එහි විවිධ ජාතීන්වල අයට අපේ නාට්‍ය කලාව නරඹන්නට මින් අවස්ථාව සැලසී තියෙනවා. ලංකාවේ නාට්‍ය කලාව ගැන කිසිවක් ම නොදැන සිටි එක් එක් රටවලට අයත් බොහෝ පිරිසක් පුදුමාකාර අගයකින් කතා කරන හැටි දැක්කාම ලංකාවෙ පුරවැසියෙකු හැටියට ඇතිවන අභිමානය මහා සතුටක්. “අපේ ආදරණීය රංගන ශිල්පියා තවත් එක් දිනයකින් මවුබිමින් එතෙරට යන්නට පෙර සූදානමිනි. හෙළ පරපුර කණ්ඩායමේ තවත් තොරතුරු දැනගනු රිසියෙන් ඔහුගේ කතාවට ඉඩහසර දුන්නෙමි.

” මේ හෙළ පරපුර නම යෙදුවෙත් අපේ රටේ නාට්‍ය කලාව ඒ රටේ ප්‍රකට කරවන්නෙත් ලංකාවේ සිංහල සිනමාවේ කලක් රංගනයෙන් නමක් තැබූ ජනප්‍රිය නළුවකු වන ගාමිණී අබේසිංහ මහත්මයායි. එතුමාගෙ සංකල්පනාවක් තමයි ඒ රටේ මේ තරම් ඉහළට නැගී තියෙන්නෙ…”

ආදරණීය ලයනල් බණ්ඩාර කියයි. හෙළ සිනමාවේ 70 දශකය තුළ ප්‍රධාන චරිත මෙන්ම උප ප්‍රධාන චරිත තුළින් හෙළ සිනමා රිදී තිරය ඔපකළ ආදරණීය ගාමිණී අබේසිංහයන් එංගලන්තයේ පදිංචියට පැමිණ වසර 50ක් බවද හෙතෙම කීවේය.

” අපේ හෙළ පරපුර ත් පිහිටුවල දිගු කාලයක්. මෙමඟින් තමන් උපන් රටේ රඟපෑමක් තබා වේදිකාවකටවත් ගොඩ නොවූ ඇත්තන් හෙළ පරපුර වේදිකා ගත කරවන නාට්‍යවල අපූරුවට රඟපානවා…”

හෙළ පරපුරේ සාමාජිකයන් විවිධ වෘත්තීන්වලය. ඒ අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඉහළ පෙළේ ආයතන ප්‍රධානීන් සේම නොයෙක් තරාතිරම්වලට අයත් වූවෝ ද මෙහි වෙති.

“මුල් අවධියේදී අපේ ලංකාවේ වේදිකා ගතවුණු ජනප්‍රිය නාට්‍ය මෙහි වේදිකා ගතකළේ අපේ හෙළ පරපුරේ පිරිස යොදාගෙනයි. එම පිටපත වෙනුවෙන් එහි හිමිකරුවනට සාධාරණ මිලක් ගෙවා නීත්‍යානුකූලව එම නාට්‍ය පිටපත හෙළ පරපුරට ලබා ගන්නවා. හෙළ පරපුරේ නාට්‍ය කලාව පිළිබඳ දැනුමැති ප්‍රවීණ පිරිසක්ද ඉන්නවා. ඔවුන් එම පිටපත කියවා බලා සුදුසු තත්ත්වයේ පවතී නම් එය මිලදී ගැනීමට අනුමැතිය ලබාදෙනවා. ඇත්තමයි …පාසල් කාලයේදීවත් නාට්‍යයක රඟ නොපෑ අය හොඳීන් රඟපානවා. සත පහක අය කිරීමක්වත් ඔවුන් බලාපොරොත්තු නැහැ. දැන් දැන් ඉස්සරට වඩා හෙළ පරපුරේ අය අතරේ පෙරටත් වඩා ලොකු උනන්දුවක් පෙනෙනවා”

අපේ කතාබහට එක්වූ ලයනල් බණ්ඩාර කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පරිගණක ක්ෂේත්‍රය ජීවන මඟ හැටියට කුඩාවියේදීම තෝරාගත් හේ ලංකාවේ විවිධ ආයතනයන්හි කටයුතු කළේය.. පරිඝගණක වෘත්තීය සම්බන්ධයෙන් අත්දැකීම් හා පළපුරුදුකමින් ඉහළම තලයක පසුවන ඔහු එතෙර රටවල් කිහිපයකද කටයුතු කොට එංගලන්තයේ ආරක්ෂක අංශයේ පරිඝනක කටයුතු පිළිබඳ නිලධාරියකු ලෙසින් එංගලන්තයට පැමිණ වසර 25 කටද වැඩිය.

ලයනල් බණ්ඩාර මහතා මෙසේද කීවේය.

” අපේ හෙළ පරපුර වේදිකා ගතකරවන්නට තෝරා ගන්නෙ ප්‍රේක්ෂකයාට රුචි උපදවන නාට්‍යයන් විතරයි. ලංකාවේ කැලණි පාලම, බෝඩිම, වගේ ජනප්‍රිය නාට්‍ය වගේම විවිධ ගණයේ නාට්‍ය ඉදිරිපත් කරනවා. ඒ අතර ලෝක සාහිත්‍යයේ අපූර්වතම කතන්දරවල පරිවර්තනයන් වේදිකාවට ගෙන එනවා. “අපේ ලයනල් තම අධ්‍යක්ෂක ගාමිණී අබේසිංහ මහතා පිළිබඳව ද කතා කළේ මහත් ඕනෑකමකිනි.

“ගාමිණී අබේසිංහ මහත්තයාට මම පින් දෙනවා. මගෙ ජීවිතයේ රංගන ශිල්පියකු ලෙසට මාව පරිවර්තනය කළාට. බෝඩිම නාට්‍යයේ ගුණපාල මමයි. අඬන්න ඕනෑ මට අඬන්න තේරෙන්නෙ නෑ. මුලදි මට හිනා ගියා. හැමෝගෙම සරදමටත් ලක්වුණා. මම ගාමිණී මහත්තයා ට සදා ණය ගැතියි. මම එතුමාගෙන් බැනුම් අහපු වාර අනන්තයි . ගුටි නොකෑ එක විතරයි. ඒත් අද මගේ රඟපෑම් ගැන වර්ණනාවෙන් කතා කරන බොහෝ පිරිසක් එතෙර ඉන්නා බව දකිනවිට හිතට ලොකු සතුටක් දැනෙනවා. ගාමිණී අබේසිංහ මහත්තයා අධ්‍යක්ෂකවරයා හැටියට ඒ වෙලාවෙ සැරවැර කරල එතුමාට අවශ්‍ය රංගනය අපෙන් මතු කරගන්නවා. පසුව අපි හොඳ යහළුවෝ වෙනවා. ”

අපේ ආදරණීය ලයනල් බණ්ඩාර හෙළ පරපුරේ සාමාජිකයන් එකතුපහදුව සිරි ලංකාවේ අවිහිංසක පාසල් දූ පුතුන් වෙනුවෙන් සුභ සාධන ව්‍යාපෘතියක් පිළිබඳව ද කියන්නට විය.

“මේ උතුම් කටයුත්ත ලංකාවෙ අඩුආදායම්ලාභී පාසල් දූ දරුවනට කෙරෙන සත්කාරයක්. මේ සුභ සාධන මෙහෙවර මේ වනවිට ලංකාවේ පාසල් 46 කට සිදුකොට තියෙනවා. විශේෂයෙන් අඳ ගොළු බිහිරි පාසල්වල දරුවනට.

දිවයින පුරා අඩුආදායම්ලාභී පාසල් දූ පුතුනට සේම අඳ ගොළු බිහිරි පාසල් දරුවනට පරිගණක, සී.සී.ටී.වී කැමරා මෙවලම්, රූපවාහිනී, ෆොටෝ කොපි මැෂින්, ආදී අතවශ්‍ය උපකරණ මෙන්ම පාසල්වලට පිට්ටනියක් තනා දීම, පාසල්වල වහළ තනවා දීම ආදී පාසල්වල පවතින අඩුපාඩු විමසා ඊට සහය දැක්වීමද මේ තුළින් සිදු කෙරේ. මේ වෙනුවෙන් හෙළ පරපුර සාමාජිකයන් එක්ව ලැබදෙන සත්කාරය ඉමහත් යැයිද ඔහු කීවේය.

ඡායාරූපකරණයෙහි ද සමත් රංගන ශිල්පී අපේ ආදරණීය ලයනල් බණ්ඩාරයන් වඩාත් මුල්තැන දෙන්නේ නාට්‍ය රංගනයටය. ලාංකිකයන්ගේ එකමුතුවක් සේ සැලකෙන හෙළ පරපුර සංවිධානය එතෙර මෙතෙර සිදුකරනා විවිධ කටයුතු වෙනුවෙන් සරසවිය වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් ඔහුට සමුදෙනවිට මුවපුරා කියන්නට වූයේ මං කුඩා කාලෙත් අපේ ගෙදර තිබුණෙත් සරසවිය පත්තරයයි. අදටත් සරසවියට හරිම ආදරෙයි”

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT