Home » ලතාට පෙම් බැඳී ඇය

ලතාට පෙම් බැඳී ඇය

ලතා රසික හවුලේ නිර්මාතෘවරිය මල්ලිකා පීරිස්

by Thanushika
September 18, 2025 11:51 am 0 comment

ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ ගීත කෝකිලාව ලෙස හැඳීන්වෙන්නේ කලාශූරී ලතා වල්පොලයි. මියුරු ගැයුමෙන් රසික හදවත් සියුම්ව ස්පර්ශ කළ ඇයගේ හඬ තවමත් තරුණය. ඇය ගැයූ ගීතවලට, ඒ මියුරු හඬට වශී වූවන් , පෙම්කළ රසික රසිකාවන් මේ බිමේ කෙතරම් නම් ඇත්ද? එවන් රසිකාවක් පත්තර මහගෙදරට පැමිණියේ ඇය ලතා වල්පොල මහත්මියට අතිශයින් සමීප චරිතයක් බව පවසමිනි.

කලාකරුවන්ට මෙන්ම කලාවට ආදරය කරන රසික රසිකාවන්ටද කවදත් අතහිත දෙන සරසවිය ඇගේ කතාව සරසවියේ පිටු අතර රඳවන්නට ඉඩහසර සලසා දෙන ලදි.

ඇය ප්‍රථමයෙන් ඇයව සරසවියට හඳුන්වා දුන්නේ මෙසේය.

වෙමි සමාජ සේවිකාව
රසික හවුලෙ නායිකාව
නැති වෙන්නට සාංකාව
අඳුන ගන්න මල්ලිකාව

මම මල්ලිකා පිරීස්. කලාව තමයි මගේ ජීවිතේ. මගේ පණ වගේ ආදරය කරන්නේ කලාවට සහ කලාකරුවන්ට. මම වෙනත් කාන්තාවන්ට වඩා වෙනස් වූ චරිතයක්. බොහෝ කාන්තාවන් ආසා කරන්නේ රන් රිදී වලට, ඇඳුම් පැලදුම් යාන වාහන වලට. එහෙත් මම ඊට හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. මම ආදරය කරන්නේ කලාකරුවන්ට. කලාව මගේ ජීවිතය බවට පත්වෙලා. මම ලතා වල්පොල මහත්මියගේ සමීප රසිකාවක්. සුළගට දැවටී එන ඇගේ හුස්ම පොදටත් මම ආදරෙයි.

කලාවට , කලාකරුවන්ට තිබෙන ආශාව නිසාම කලා සංගම් වලට මම සම්බන්ධ වුණා. ඒ අනුව 1972 දී ලයනල් සිල්වාගේ මල් පියලි කලා සංගමයටත් මීගමුවේ ‘ මුතු’ කලා සංගමයට හවුල් වුණා. මම ඒවට කවි ලිව්වා. 1989 දී රුක්මණී දේවි කලා හවුලට බැඳුණා. මා සතුව පැරණි කලා පොත් , කලා සඟරා සිනමා පුවත්පත් කැසට් ආදිය එකතුවක් තියෙනවා. සුනිල් ආරියරත්නයන් රචනා කළ පොත් සෑම එකක්ම පාහේ මා ගාව තිබෙනවා.

මේ අතරේ මටත් ආශාවක් ඇතිවුණා කලා සංගමයක් පිහිටුවා ගන්න. 2002 දී මම පැරණි ගී රසික හවුල පිහිටුවූවා. අතීතයේ කාන්තාවන් වැඩිදෙනා ජීවිතය ගෙවූයේ නිවසටම කොටුවෙලා. මටඒ ක්‍රමය වෙනස් කරන්නට උවමනා වුණා. මම තීරණයක් ගත්තා. කාන්තාවන්ව ගෙදරින් මිදුලට ගන්න. මිදුලෙන් වේදිකාවට ගන්න. එය මම කෙසේ හෝ කළා. පැරණි ගී රසික හවුල මම පටන් ගත්තේ මට වයස 49 දී. මුලින්ම සාමාජිකයන් 16 දෙනෙකුගෙන් ආරම්භ කළා.

ඒ අතරේ 2007 වසරේ නොවැම්බර් මාසේ එකොළොස් වන දින මම ලතා රසික හවුල පිහිටවූවා. ඇගේ උපන් දිනය යෙදී තිබෙන්නෙත් එදිනට.එය මම ආරම්භ කළේ ලතා මහත්මියගේ ගෙදරටම ගිහින් .එහි අනුශාසක ධූරය දැරුවේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ආරියදාස පීරිස්. එතුමා ජීවිතයෙන් සමුගත්තාට පසුව ජයන්ත පීරිස් මහතා අනුශාසක ධූරය ලබා දුන්නා.

මම ඇයට පුදුමාකාර විදිහට ආදරෙයි. ඇයත් ඒ ආකාරයෙන්ම මට ආදරෙයි ඇති කියා මා හිතනවා. ඇයත් සමඟ ඇතිකර ගත් දැන හැඳුනුම්කම නිසා අදටත් මම ඇගේ සමීප රසිකාවක්. ඇය රෝගීවන අවස්ථාවල පවා නොවරදවාම මම ඇය බැලීමට යනවා. රෝහල් ගත කළත් කෙසේ හෝ රෝහලටත් යනවා. දිනක් එක්තරා පෞද්ගලික රෝහලකදී මම ඇයගේ ඡායාරූපයක් ගත්තා. එසේ කිරීම හේතුවෙන් එම රෝහලේ පාලන අධිකාරිය එය වැරැද්දක් බව පවසමින් පොලීසියට පැමිණිලි කරන්න සූදානම් වුණා. පසුව ලතා අක්කා කිව්වා මේ ඉන්නේ මගේ හොඳම රසිකාව කියලා. ඉන්පසුව මට කරදරයක් වුණේ නැහැ.

ඇය ගිලන්ව සිටි අවස්ථාවේ මම ඇය වෙනුවෙන් භාරහාර වුණා. නුවර දළදා මළිගාවටත් , අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේටත් ලතා අක්කා ගැන කියලා භාර වෙලා බෝධි පූජා ආදිය පැවැත්වූවා. ලතා අක්කා හරිම ගුණයහපත් කෙනෙක්. අනුන් වෙනුවෙන් උණුවන සිතක් ඇයට තියෙන්නේ. ලතා අක්කා අනුන් වෙනුවෙන් කරන උදව් උපකාර මාධ්‍යයේ පළවෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ සිද්ධිය මම මාධ්‍යයට කියනවා.

දවසක් ලතා අක්කා මගේ නිවසට පැමිණියා. ඇයට සවස ප්‍රසංගයකට සහභාගී වීමටත් තිබුණා. ඔය අතරතුරේ මගේ නිවසට යාබද නිවසක කෑගැසීමක් ඇසුණා. ඒ ගෙදර පුංචි දරුවට අසනීප වෙලා. ලතා අක්කා මගෙන් ඇහුවා සිද්ධිය ගැන. මම ඇයට සියලු විස්තර කිව්වා. ඇය ඒ වෙලාවේම ක්‍රියාත්මක වුණා. ඇගේ රියැදුරුට කතා කරලා දරුවාව රෝහලට ගෙනයන ලෙස අණ කළා. ඇයට යන්න තිබුණ ගමන ගැන ඇය සිතුවේ නැහැ. එදා ලතා මහත්මිය පිහිට වූ නිසා ඒ දරුවාගේ ජිවිතය බේරුණා. ඔහු දැන් කාඩවසම් තරුණයෙක්. විවාහ වෙලා යහපත් ජීවිතයක් ගත කරනවා. ඒ වගේ සිද්ධීන් තව බොහෝ තිබෙනවා.

මම ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් පිහිට වූ ලතා රසික හවුලෙන් විවිධ වූ වැඩසටහන් සිදු කෙරෙනවා. මේ වසරේ තවත් විශේෂ කලා කටයුත්තක් සිදු කරනවා. සැප්තැම්බර් විසිඑක් වෙනිදා ලතා රසික හවුලෙන් විශේෂ ගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. අපිට හැකි අයුරින් තමයි එය පවත්වන්නේ. මහා පරිමාණයෙන් පැවැත්වීමට අපට අනුග්‍රාහක භවතුන් නැහැ. එහෙත් මට උදව් කරන හිතවතුන් ඉන්නවා. ඔවුන්ගේ පිහිටෙන් තමයි මම මේ සියලු දේ කරන්නේ. ප්‍රසංගය පැවැත්වෙන්නේ මොරටුව විල්ලෝරා වත්තේ පිහිටි ශාලාවක. එහිදී මමත් ගීත ගායනා කරනවා.

මම මේ හැමදේම කරන්නේ කලාකරුවන්ට තිබෙන ආදරය නිසා. කලාවට තිබෙන ආශාව නිසා. මටත් ගීත ගැයීම , රංගන හැකියාව තිබෙනවා. රුක්මණී දේවි රසික හවුලෙන් සාමජිකාවක් මම. එහෙත් මට එහි ප්‍රසංගවල ගී ගැයීමට අවස්ථාව ලැබුණේ වසර දහයකට පසුව. නැසීගිය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් ගේ ‘ සම්‍යප්‍රයෝග’ අකලට පරවූමල් කියන වේදිකා නාට්‍යවල මම රඟපාල තිබෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය කිහිපයකත් මම රඟපෑවා.

මම වයෝවෘද්ධ වුවත් කලාකටයුතු නතර කරන්නේ නැහැ. කලාවෙන් පුළුවන් හදවත් සුවපත් කරන්න. සුන්දර මිනිසෙකු බිහිකරන්න. මම ලතා මහත්මිය වෙනුවෙන් මට කළහැකි දේ උපරිමයෙන් කරනවා. මේ අවස්ථාවේ එතුමියගේ දූ දරුවන් සියලුම දෙනාවත් ආදරයෙන් මතක් කරනවා.

සැප්තැම්බර් විසිඑක් වෙනිදා පැවැත්වෙන ලතා රසික හවුලේ ගී ප්‍රසංගයේ ගැයෙන සියලුම ගීත ‘ ස’ අකුරෙන් පටන් ගන්නේ. එයට හේතුව කලාවට අධිපතිනි ‘ සරස්වතී’ කියන නමේ ‘ ස’ අකුර නිසා. ඒ වගේම මම සරසවිය පුවත්පතටත් ආදරෙයි. ඉස්සර මම සරසවිය පුවත්පතට විටෙන් ටිට මගේ අදහස් ලියා එව්වා.

මම සෑම දෙනාටම කියන්නේ කලාවට ආදරය කරන්න කියලා. ඉතින් සැප්තැම්බර් විසිඑක් වෙනිදා පැවැත්වෙන ලතා රසික හවුලේ ගී ප්‍රසංගයට පැමිණෙන ලෙස මම ඇයට ආදරය කරන රසිකයන් සෑම දෙනාටම ආරාධනා කරනවා. මේ මා විසින් ගීත කෝකිලාව ලතා වල්පොල වෙනුවෙන් ලියූ ගී පද පෙළක්.

ලතා වල්පොල ගැයූ

ගී නද ලොවේ දසඅත රැවුදෙනා
ඇගෙ උපන්දින ඇගේ
නාමෙන් මිතුරු හවුලක් බිහිවුණා
ඉල්මහේ දෙදහස් හතේ
එකොළහම එය හට මුල් වුණා
සීනු නාදෙන් නමෝ මරියනි
ගීත ලොව වෙත පිවිසුණා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT