නිවස විශේෂාංග ලංකාවේ සිනමාවේ මුල්යුගයේ ප්‍රොස්තටික් මේක්අප් ඩමි භාවිත කර තියෙනවා

ලංකාවේ සිනමාවේ මුල්යුගයේ ප්‍රොස්තටික් මේක්අප් ඩමි භාවිත කර තියෙනවා

බාහිර කථිකාචාර්ය-විශේෂ ප්‍රයෝග අංග රචනා ශිල්පී ඔෂාන් යාපා අමරසේකර

by Mahesh
August 8, 2024 12:30 am 0 comment

නිර්මාණ හා රංගන කාර්යයට සම්බන්ධ විශේෂිත ම විෂයක් වනුයේ අංග රචනයයි. එහි ප්‍රවීණතාව ලැබූවෝ බොහෝ ය. එහි තවදුරටත් විහිදුණු විෂයක් ලෙස බද්ධ අංග රචනය නැතිනම් විශේෂ ප්‍රයෝග අංග රචනය අපට හඳුනාගත හැකිය. ((Prosthetic Make up Special effects Make up) ඒ අනුව මේ වනවිට ඒ විෂයෙහි සුවිශේෂ ව නිර්මාණ කාර්යයේ යෙදෙන නව නිර්මාණවේදියකු ලෙස ඔෂාන් යාපා අමරසේකර හඳුනාගත හැකිය.
මේ වනවිට වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යායතන හතරක බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔෂාන් එහි මෙම විෂය පිළිබඳ ඉගැන්වීම් කටයුතුවල නියැළී සිටියි. තරුණ නිර්මාණවේදීයකු ලෙස මේ විෂය ඔස්සේ කළ සිය නව නිර්මාණ මෙන්ම එහි සුවිශේෂත්ව පිළිබඳ කළ කතා බහකි මේ.

– සිනමාවට මගේ විශේෂ ඇල්මක් තියෙනවා
– කැඩපතක ඡායා චිත්‍රපටයේ රංජිත් මතඟවීර මහත්මයා විසින් විජය කුමාරතුංගයන්ට යෙදූ ඇසිඩ් පිලිස්සුම මා දුටු හොඳම නිර්මාණයක්
– සිනමාව ඇතුළේ පර්යේෂණාත්මක සිනමාවක් බිහිවෙන්න ඕන
– අපට තාක්ෂණය උපරිමයෙන් තියෙනවා නමුත් සංකල්ප හිඟයි
– Prosthetic Make up භන කලාව ලංකාවේ යාවත්කාලීන විය යුතුයි

නිර්මාණ හා රංගන කාර්යයට සම්බන්ධ විශේෂිත ම විෂයක් වනුයේ අංග රචනයයි. එහි ප්‍රවීණතාව ලැබූවෝ බොහෝ ය. එහි තවදුරටත් විහිදුණු විෂයක් ලෙස බද්ධ අංග රචනය නැතිනම් විශේෂ ප්‍රයෝග අංග රචනය අපට හඳුනාගත හැකිය. (Prosthetic Make up Special effects Make up) ඒ අනුව මේ වනවිට ඒ විෂයෙහි සුවිශේෂ ව නිර්මාණ කාර්යයේ යෙදෙන නව නිර්මාණවේදියකු ලෙස ඔෂාන් යාපා අමරසේකර හඳුනාගත හැකිය.

මේ වනවිට වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ විද්‍යායතන හතරක බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔෂාන් එහි මෙම විෂය පිළිබඳ ඉගැන්වීම් කටයුතුවල නියැළී සිටියි. තරුණ නිර්මාණවේදීයකු ලෙස මේ විෂය ඔස්සේ කළ සිය නව නිර්මාණ මෙන්ම එහි සුවිශේෂත්ව පිළිබඳ කළ කතා බහකි මේ.

මොකක්ද මේ සුවිශේෂී අංග රචනා කලාව

බද්ධ අංගරචනය එහෙම නැතිනම් විශේෂ ප්‍රයෝග අංග රචනය කියලා අපි මේ කලාව හඳුන්වන්නේ. (Prosthetic Make up Special effects Make up) අපි සරලව කිව්වොත් මේකප් කිරීම කියලා අපි හඳුන්වන්නෙ නිර්මාණ ශිල්පියෙකුගේ සම මත සිදුකරන පින්තාරු කිරීමක්. යම්කිසි චරිත ලක්ෂණ ඉස්මතු වන ආකාරයට. නමුත් මේ විදිහට පින්තාරු කිරීමක් ඇසුරෙන් ඒ හැඩතල මතු කර ගත නොහැකි අවස්ථාවක් එන්න පුළුවන්.

එතනදි සිදුවෙනවා සම මත ගොඩනැඟීමක් සිදු කරන්න. එතනදි කෘත්‍රිමව නිර්මාණය කරන ස්තරයක් පිටතින් සමට බද්ධ කරන්න සිදුවෙනවා. එනම් සම මත චිත්‍රණය කර ඒ හැඩතල මතුකරගන්න බැරි අවස්ථාවක අපට සිදුවෙනවා සම මත ගොඩනැඟීමක් කරන්න. එය තමයි අපි බද්ධ අංග රචනය කියලා හඳුන්වන්නේ.

ඒ වගේම බද්ධ අංග රචනා කලාවේ පැතිකඩ ගණනාවකුත් අපට හමුවෙනවා. එකක් තමයි Prosthetic Dummy කියන එක. ඒක තමයි යම් රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට නිරූපණ කාර්යයේ සැබෑ ලෙස පෙනී සිටිය නොහැකි හෝ රංගනයේ යෙදිය නොහැකි අවස්ථා.

ඒ කියන්නේ අදාළ රංගන අවස්ථාව සඳහා තමාගේ ශරීරය පාවිච්චි කරන්න බැරි අවස්ථාවක ඒ ශිල්පීන් ශරීරයට සමාන අනුරුවක් හෝ කොටසක් කෘත්‍රිමව නිර්මාණය කරන්න.

උදාහරණයක් ලෙස ලංකාවේ තිරගත වූ නොමියෙන මිනිසුන් චිත්‍රපටයේ (ගාමිණී ෆොන්සේකා මහතාගේ) තිබෙනවා ගාමිණී ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් හදපු ඩමියක්. ඒ කතාවේ ඔහු යුද්ධයට මැදි වූ අවස්ථාවක සිදුවන මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ සිරුර දෙකට කැඩී යන අවස්ථාවක් ඒ චිත්‍රපටයේ නිරූපණ කළ යුතුයි. එතනදි එතුමාගේ සිරුරේ උඩ කොටස ගසකට විසිවෙනවා. එතනදි නිර්මාණකරුවන්ට සිදුවෙනවා ඔහුගේ හැඩරුව සහිත ඩමියක් භාවිත කරන්න. ඒක එක උදාහරණයක්. ඒ වගේ තව බොහෝ උදාහරණ දක්වන්න පුළුවන්.

චිත්‍රපටයක දර්ශනයක ඇති කෙනෙකුගේ අතක් කපන දර්ශනයක් ගනිමු. එතනදි නිර්මාණකරුවන්ට සිදුවෙනවා ඇත්තම ආකාර කෘත්‍රිම අතක් නිර්මාණය කරන්න. ඒ වගේ අවස්ථාවක තමයි අපි ප්‍රොස්තටික් ඩමියක් නිර්මාණය කරන්නේ.

ඒ වගේම තමයි Prosthetic tools ලෙස හඳුන්වන වර්ගයක් තිබෙනවා එතනදි යම් නිර්මාණයක සටන් දර්ශන තිබෙනවා නම් කපන කොටන දර්ශන තිබුණොත් ඒ වගේ අවස්ථාවක ඇත්ත අවි ආයුධ භාවිත කළ නොහැකියි. නමුත් ගැටුමක ඇති සජීවී බව පෙන්වීමට නිර්මාණකරුවාට සිදුවෙනවා. එබඳු අවස්ථාවක කෘත්‍රිමව සැකසූ ආයුධ නිර්මාණය කිරීමක් සිදුවෙනවා. එබඳු අවස්ථාවල එම නිර්මාණය කරන අවි ආයුධ Prop Department නමැති අංශයෙන් නිර්මාණය කරයි. ඒවගේ අවස්ථාවක ප්‍රොස්තටික් ඩමි හා ටූල් කියන දෙවර්ගයම නිර්මාණය කිරීමක් සිදුවිය හැකියි. ඒ ගැටුමේ බිහිසුණු බව පෙන්වන්න ඒ වගේම එයින් රංගන ශිල්පීන්ට හානියක් නොවන්නත්.

ඊළඟට අපට අවධානය යොමු කරන්න පුළුවන් Prosthetic food කියන වර්ගයට.

අපි බැලුවොත් අද්භූත කතා ඇති චිත්‍රපටවල එහෙම නැතිනම් සොම්බි කතා පුවත් සහිත චිත්‍රපටවල රුධිරය පානය කරන එහෙම නැතිනම් සර්පයන් හා සතුන්ව ආහාරයට ගන්නා දර්ශන අපට දැකගන්න පුළුවන්. එබඳු අවස්ථාවක රංගන ශිල්පීන්ට ඒවා ආහාරයට ගත හැකි ලෙස නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. එබඳු අවස්ථාවලදී එම නිර්මාණය කරන Prosthetic food, Prosthetic food Department නමැති අංශයෙන් නිර්මාණය කරයි.

උදාහරණයක් විදිහට මම මතක් කරන්න පුළුවන් 1984 ලංකාවේ රූගත කළ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටය. එහි තියෙනවා රාත්‍රී භෝජන අවස්ථාවක්. ඒ අවස්ථාවේ රංගන ශිල්පීන්ට නිරූපණය කරන්න වෙන්නේ පණ ඇති සර්පයන් සහ කුරුමිණියන් අනුභව කරන දර්ශනයක්. නමුත් ඒ සියල්ල ජෙලටින් හා කස්ටඩ් වැනි අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කළ ආහාර. නමුත් ප්‍රේක්ෂකයාට ඒ බව අනුමාන කරන්න බැහැ. එතැනදි නිර්මාණය කරන්නේ අපි මේ කතා කරන ආකාරයේ කෘත්‍රිමව සැකසු නමුත් මිනිස් ශරීරයට ආහාරයට ගත හැකි දේවල්. ඉතින් එබඳු ආකාරයට කාණ්ඩ හතරක් විදිහට මේ විෂය පැතිරී තියෙනවා.

ඔබ මේ විෂයට ආකර්ෂණය වෙන්නේ කොහොමද?

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ මේ විෂය කෙරේ මගේ ඇල්මක් ඇතිවෙනවා. විශේෂයෙන් සිනමාවට. එකක් තමයි මගේ ගුරුවරුන්. ඔවුන් ඉගැන් වූ විලාසය සහ ශෛලියත් සමඟ සිංහල සිනමාවට ආකර්ෂණය වීමක් වුණා. ඒත් එක්කම තමයි මම මේ විෂයටත් නැඹුරු වෙන්නේ. ඒ කාලෙ මගේ කැමැත්ත වුණේ කලා අධ්‍යක්ෂවරයකු වන්න. එතකොට ඒ අරමුණත් එක්ක මම පුංචි පුංචි පර්යේෂණයන් කරන්න නැඹුරු වුණා. ලංකාවේ සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය ඇසුරෙන් මෙවැනි විශේෂ ප්‍රයෝග අත්හදා බලන්න නැඹුරු වුණා. එබඳු වටපිටාවක් තුළ මම විශ්වවිද්‍යාලයෙන් එළියට එද්දී සම්බන්ධ වෙනවා Film Team ආයතනයට 2018 වර්ෂයේ. ඒ සඳහා ගයාන් මදුශංක සොයුරා මාව සම්බන්ධ කරන්නේ එතනදි මට මුණගැහෙනවා එරල් කෙලි මහත්මයාව. (production designer ඒ අවස්ථාවේ එතුමා එංගලන්ත නිෂ්පාදනයකට සූදානම් වෙමින් හිටියේ.

එය රූපවාහිනී කතා මාලාවක් ගූඩ් කර්ම හොස්පිටල් කියලා. ඒ කටයුත්තට සම්බන්ධ වෙන්න ඇමරිකාවේ හොලිවුඩ් හි විශේෂ ප්‍රයෝග අංග රචනයේ යෙදෙන ඩේවි ජෝන්ස් කියන ශිල්පියා ලංකාවට පැමිණීම සිදුවුණා. ඒ ගමනේදී ඔහු ෆිල්ම් ටීම් ආයතනයෙන් ඉල්ලීමක් කොට තිබුණා මේ පිළිබඳ පුහුණුවක් ලබාදීමට අයෙකු සම්බන්ධ කර දෙන ලෙස ලංකාවෙන්. ඒ අනුව තමයි මට ඒ සුවිශේෂී අවස්ථාව හිමිවන්නේ. ඩේවි ජෝන්ස් මහත්මයා යටතේ මාස හයක කාලයක් මේ විෂය හදාරන්න.

එතනදී තමයි මට ගොඩක් විධිමත් ලෙස මෙය හදාරන්න පුළුවන් වුණේ අදටත් එතුමා සමඟ මම සම්බන්ධ වෙමින් මේ පිළිබඳ දැනුම ලබා ගන්නවා.

මේ වන විට ලංකාව මේ විෂය පිළිබඳ මොන වගේ අවබෝධයකින් ද ඉන්නේ?

ලාංකේය සිනමාවේ මුල් යුගයේ ප්‍රොස්තටික් මේකප් ඩමි භාවිත කර තියෙනවා. 1958 වගේ සිට දිගටම මම මේ නිරීක්ෂණය කළා. උදාහරණයක් විදිහට මම අර කිව්ව නොමියෙන මිනිසුන් චිත්‍රපටයේ, ඒ වගේම ‘වන මෝහිනී’ චිත්‍රපටයේ. එතකොට කැඩපතක ඡායා චිත්‍රපටයේ ආදී වශයෙන්. ඒ යුගයේ හැටියට ඒවා ගොඩක් හොඳ මට්ටමක තිබුණා කියන එකයි මගේ හැඟීම. විශේෂයෙන් කැඩපතක ඡායා චිත්‍රපටයේ රංජිත් මතඟවීර මහත්මයා විසින් විජය කුමාරතුංගයන්ට යෙදූ ඇසිඩ් පිලිස්සුම අපේ සිනමා ඉතිහාසයේ මා දුටු හොඳම නිර්මාණයක්. එවැන්නක් ලංකා ඉතිහාසයේ මා දැක නැහැ. ඒ ආකාරයට චිත්‍රපට ගණනාවක මා මෙම මේකප් කලාව දැක තිබෙනවා.

ඉතින් ඒ නිසා මගේ අදහස මේ කලාව ගැන ලංකාවේ ඉන්න නිෂ්පාදකවරු හා අධ්‍යක්ෂවරු යාවත්කාලීන විය යුතුයි කියන එක.

ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි කතාවේ පිටපතෙන්මයි මේ චරිත ගොඩනැඟෙන්නත් ඕනේ කියන එක. සිනමාව ඉහළට එන්න නම් අලුත් චරිත නිර්මාණය වෙන්න ඕන ඒක පිටපතෙන්ම වෙනස් විය යුතු කාරණයක්. මේ වන විට අපට තාක්ෂණය උපරිමයෙන් තියෙනව. නමුත් සංකල්ප හිඟයි. අපි මේ ගැන ගොඩක් කල්පනා කළා.

උදාහරණයක් විදිහට මේ වන විට අපි අපේ විශ්වවිද්‍යාල විද්‍යායතන හතර මඟින් ඒ වගේ අලුත් චරිත දොළහක් නිර්මාණය කර තියෙනවා. දැනට ඉන් එකක්වත් ලංකාවේ චිත්‍රපටයකට යොදාගෙන නැහැ.

උදාහරණයකට දැන් ලෝකයේ නව ප්‍රවණතාවක් තමයි සොම්බි චරිත. නිර්මාණ වලට සම්බන්ධ කිරීම එවැන්නක් කොහොම ද අපේ නිර්මාණයකට යොදා ගන්නේ කියන එක ගැන අපි තවම කල්පනා කර නැහැ. මම විශ්වාස කරන විදිහට ලංකාවේ බොහෝ දෙනෙකුට සිනමා සාක්ෂරතාවක් නැහැ. එනමුත් දැන් දැන් ලොකු තරුණ පරම්පරාවක් සිටිනවා හොඳ යාවත්කාලීන වීමක් සහිත සිනමාව ඇතුළේ. එතකොට අපේ නිර්මාණ තුළත් ඔවුන් යාවත්කාලීන වීමක් ඉල්ලන්නේ හොලිවුඩ් කොලිවුඩ් මට්ටමටයි. අපට ඔවුන් රවට්ටන්න බැහැ සිනමාව ඇතුළේ. ඒ නිසා මම යෝජනා කරන්නේ පර්යේෂණාත්මක සිනමාවක් බිහිවෙන්න ඕන කියන එක. මොකද මම විශ්වාස කරන්නේ කලාවට සීමා මායිම් අවශ්‍ය නැහැයි කියන එක.

මේකට බලපාන විශාලම ගැටලුවක් තමයි නිෂ්පාදනය පිරිවැයත්. ඒ සියලු කාරණාත් එක්ක ලංකාවේ නිර්මාණ පිටුපසින් තියෙන්නේ. නමුත් දැන් අලුත් පරපුරේ නිර්මාණකරුවන් මේකට යොමු වෙමින් ඉන්නවා. මමත් නිර්මාණකරුවෙක් විදිහට ඉන්නේ ඒ අතර. 2018 මම මීට යොමුවන කොට කුඩාම තැනකින් මම මේක පටන් ගත්තේ මගේ මුහුණු පොත කියන මාධ්‍ය ඔස්සේ. මුල් කාලෙ විවිධ ප්‍රතිචාර හිමිවුණා. මේ වෙනකොට ඉතා යහපත් පැත්තට ප්‍රතිචාර තියෙන්නේ. මේ වෙද්දි මම ඉන්දියාවෙ කොලිවුඩ් සිනමා කර්මාන්තයටත් සම්බන්ධ වී කටයුතු කරන කෙනෙක්. එහි රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වී මම කටයුතු කළා. පසුගිය කාලයේ ඊළඟට දැන් තවත් චිත්‍රපටයක නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබී තියෙනවා. ඊළඟට ලංකාවේ තවත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබී තියෙනවා. ඉතින් ඒවාටත් අවධානය දී මේ දිනවල කටයුතු කරනවා.

ඉන්දීය සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙන්න ලැබීම නිර්මාණකරුවකුට භාග්‍යයක්. ඔබ මොනවද හිතන්නෙ?

පැහැදිලිවම විශාල සතුටක් තියෙනවා. ඔවුන්ගේ සිනමා කර්මාන්තයේ මට වැඩ කරන්න ලැබීම සතුටක්. හැබැයි ඇත්තටම මේ කලාව ඔවුන් පවා බහුලව ඉස්මතු කරන බවක් මම දුටුවේ නැහැ.

නමුත් හොලිවුඩ් සිනමාව ගත්තොත් හාත්පසින් වෙනස්. එහි මේ කලාව වෙන ම අංශයක් විදිහටම එහි වර්ධනය වී තිබෙනවා. නමුත් ඉන්දියාවේ එහෙම වාතාවරණයක් මා දුටුවේ නැහැ.

ඔබ දායකත්වය දුන් ප්‍රථම දේශීය නිර්මාණය මොකක්ද?

‘විය සිදුර’ චිත්‍රපටය. ඊට අමතරව ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත චිත්‍රපට දෙකක් සමඟ වැඩ කරන්න ආරාධනා ලැබී තියෙනවා. ඒ වගේම කෙටි චිත්‍රපට කීපයකට හා ටෙලිනාට්‍ය කීපයකයටත් මම මේ විෂය ඔස්සේ දායක වී තියෙනවා.

ඔබේ ඊළඟ අරමුණ මොකක්ද ?

මූලික ව මගෙ PhD උපාධිය සම්පූර්ණ කිරීම. මේ විෂයටම සම්බන්ධ. ඒ වගේම දැනට මේ විෂය යටතේ ලියවුණු පොත් ලංකාවේ නැහැ. ඉතින් ඒ පිළිබඳ පොතක් ප්‍රකාශයට පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා ලබන වසර වෙද්දී. ඊට අමතරව කුඩා රූපවාහිනී කතා මාලාවක් නිර්මාණය කරන්නත් සැලසුමක් තියෙනවා එහි පිටපතත් මේ වනවිට ලියමින් ඉන්නේ.

මේ කලාව ස්පර්ශ කරන නිර්මාණකරුවකුට ඇති බාධක මොනවාද ?

මූලික ව ගත්තොත් මේ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යවල හිඟතාව නැතිනම් නොමැතිකම. මොකද මේකට භාවිත කරන සිලිකොන් කියන අමුද්‍රව්‍යය ඉතාමත් මිල අධික යි. ඒ වගෙම මෙය අපට ගෙන්වාගන්න වෙන්නෙ අමෙරිකාව හෝ එංගලන්තය වැනි රටවලින්. ඒ කටයුතුවලදි විශාල බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුවනවා. ඒක ප්‍රධාන ගැටලුවක්. අනිත් එක තමයි මේ තරම් වෙහෙසක් දරා කැපවීමෙන් කටයුතු කළත් අපට ඇති අවස්ථා ඉතාමත් අවම වීම. නමුත් මේ තාක් පැමිණි ගමන පිළිබඳ නිහතමානී සතුටක් තියෙනවා. විශේෂයෙන් දරුවන් ට මේ විෂය ඉගැන්වීමට ලැබීම. මා සමඟ සම්බන්ධ වී මේ විෂය ඉගෙන ගන්න උනන්දු දරු පිරිසක් ඉන්නවා. ඒ ගැන සතුටුයි. විශේෂයෙන් අපි කතා කළ විදියට දැනටමත් නිර්මාණ වෙනුවෙන් යොදා ගන්න පුළුවන් විදිහේ අලුත්ම චරිත දොළහක් දැනටමත් අපි නිර්මාණය කර තියෙනවා. අපේ අදහස තමයි එබඳු චරිත බැංකුවක් හදන්න. ඒක ලංකාවේ පළවෙනි වතාවට සිදුවන දෙයක්. මම ගොඩක් විශ්වාස කරන්නේ මෙවැනි දේ දැන් අපේ නිර්මාණවලට එක් විය යුතුයි කියන එකයි.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT