නිවස විචාර ලංකාවේ බිහිවූ එකම ගුරුකුලය අපි පටන් ගත්තා

ලංකාවේ බිහිවූ එකම ගුරුකුලය අපි පටන් ගත්තා

නිමන්ත හේෂාන්

by Mahesh
October 3, 2024 12:30 am 0 comment

– මගේ ජීවිතේ රිවයින්ඩ් කරන්න පුළුවන් නම් මම ගායකයෙක් වෙලා ගුරා වුණා නම් හොඳයි කියල හිතෙනවා
– නන්දා මාලිනී මහත්මියට පස්සේ මගේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය ජැක්සන් ඇන්තනී
– මට තනියෙන් බිහිවෙන්න අවශ්‍යතාවයක් තිබුණේම නෑ
– මම කළේ ගෝලයෝ හදල ඒ දිහා බලල සතුටු වෙන එක
– අපේ බෑන්ඩ් එකේ ඉලක්කය මනුෂ්‍යත්වය

සංගීතයට සේම රංගනයට ද ඔහු සැබෑ දක්ෂයෙකි. රංගනය පසෙක තබා ඔහු සංගීතයේ පරතෙර සොයායන්නට විය. අද වන විට දහසකුත් සිසු දරුවන්ට සංගීතයේ පරතෙර සොයායන්නට ඔහු පාලමක් වී හමාරය. මනුශ්‍යත්වයේ ගුණාංගයන්ට අසීමාන්තිකව ආදරය කරන එවැනි ගුණාංගයන්ගෙන් සුපෝෂිතවන්නට අදිටන් කරගෙන සිටින ඔහුගේ ෆැෂන් එක, කලාව, ලේ ධාතුව වී තිබෙන්නේ සංගීතයයි. කලා පවුලක ඉපිද කලාවේ නොයෙක් පැතිකඩයන් ස්පර්ශ කරමින් සංගීතයේ පරතෙර සොයා යන ඔහු නමින් නිමන්ත හේෂාන්ය.

තාරුණ්‍යයේ සංගීත සිත්සතන් වලට නුඹ විතරයි මා ළඟ ඉඳන් හිතපුරා ආලය කළේ…ගීතය ගායනා කරමින් තම කුලුඳුල් ගීත ගායනය ඉදිරිපත් කළ නිමන්ත හේෂාන් හා කතාබස් කරමු.

හේෂාන් සංගීතයට ආලය කරන්න පටන් ගත්තේ?

මට වයස අවුරුදු පහේදී හයේදී විතර ඉඳල මම සංගීතයට බොහොම ළැදි කෙනෙක්. ගුවන් විදුලිය තමයි මගේ සංගීත දිවියේ පාසල මහින්ද අල්ගම මාමා සුමනා ජයතිලක නැන්දා ගුවන් විදුලියේ කළ හඳමාමා, ළමාපිටිය මගේ සංගීත දිවියේ ආරම්භය සනිටුහන් කරන වැඩසටහන්. මම ගුවන්විදුලියේ ළමා ගුවන් විදුලි ශිල්පියෙක් ලෙස කටයුතු කළා. මගේ මුල්ම සංගීත ගුරුවරිය වන්නේ නන්දා මාලිනී මහත්මිය. එතුමියගේ සංගීත ආශ්‍රමයේ මම දිගුකාලයක් සංගීතය හදාරනවා. වීනිතා කරුණාරත්න ගුරු මහත්මියත් මගේ සංගීත ජීවිතයේ ගුරු මවක්.

නන්දාමාලිනි මහත්මිය නිසාවෙන් ඔබව චිත්‍රපට පසුබිම් ගායකයෙක් බවට පත්වෙන්න අවකාශ උදාවෙනවා. නොවේද?

මට වයස අවුරුදු දහයක් විතර ඇති. අරගලය චිත්‍රපටයේ පසුබිම් ගායනය ඉදිරිපත්කරන කොට මේ අවස්ථාව මට ලැබෙන්නේ නන්දා මාලිනී මහත්මිය හරහා මේ චිත‍්‍රපටය තමයි මගේ මුල්ම චිත්‍රපට පසුබිම් ගායනය ඇතුළත් වෙන්නේ. මේ මගෙ යාළු නෙලමු ද ඕලු ගීතය තමයි මම එහිදී ගායනා කරන්නේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයකුව ඉන්නා අවධියේ ඔබේ සංගීත දිවියට ලොකු පිබිදීමක් ඇති කරනවා. නොවේද?

මගේ දක්ෂතා උරගා බලන්න. මගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න මට ගොඩක් අවස්ථාවන් උදාවෙනවා පාසල වටපිටාව. අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීල පාසල් අධ්‍යාපනය නිමාකරනවාත් සමඟම මම සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට ගියා. 1998 වර්ෂයේ ආසියාවේ තිබෙන එකම සංගීත විශ්වවිද්‍යාලය වූ ඉන්දිරා කලා සංගීත් විශ්වවිද්‍යාලයේ මම අවුරුදු හතරක් සංගීතය ඉගෙන ගත්තා. ඉන්පසු මම ලක්නව් භාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් අවුරුදු හතරක් විතර සංගීතය ඉගෙන ගැනීම සිද්ධ කළා. සම්පූර්ණයෙන් අවුරුදු අටක් නමයක් මම සංගීතය හැදැරීමක් කළා ඉන්දියාවේ සිට.  

සංගීතය පිළිබඳ ඉන්දියාවේ අධ්‍යාපනය අවසන් කර ලංකාවට පැමිණිමත් සමඟ ඔබගේ නිර්මාණ එකතුවකට පියමැන්නේ නැද්ද?

එහෙම උත්සාහයක් ගත්තා මගේම සිංදු ටිකක් කරගෙන ඒවා ජනගත කරන්න. ජනපි‍්‍රය කරගන්න මම රේඩියෝ චැනල් පස්සේ ගියා. නමුත් ඒ කිසිදු ආයතනයකින් මට සහයක් ලැබුණේ නෑ. මගේ ගීත ඔවුන් ප්‍රතික්ෂේප කළා. මගේ සංගීත විඥානය ඒ ආයතනවල මාකටින් එක්ක ගැළපුණේ නෑ. එවක තිබුණු සංගීත රැල්ලට මගේ ගීත අනුගත වුණේ නෑ කියල මම හිතනවා ඒ ආයතන මගේ ගීත ප්‍රතික්ෂේප කරන්න.

ඔබේ සංගීත දිවියට පාසලක් වූ ගුවන්විදුලියවත් ඔබේ හා පුරා කියා තැනූ ගීත නිර්මාණ සඳහා ඉඩකඩක් ලබාදුන්නේ නැද්ද?

ගුවන් විදුලියේ මට කවදාවත් සින්දුවක් කියන්න අවස්ථාවක් ලැබුණේම නෑ. මට ගුවන් විදුලියේ ලැබුණේම ගුවන් විදුලි නාට්‍ය රඟපාන්න. පොඩි කාලේ ඉඳලම මට අවස්ථාවක් නොලැබීමේ ගතියක් තිබුණා. ගායකයෙක් විදියට ගුවන් විදුලියේදී මම වැඩිපුර ලැබුණේ ඩ්‍රාමා. ඩේවිඩ් කොෆර්ෆීල්ඩ්, සිටුවර මොන්තක්‍රිස්තෝ වගේ නාට්‍යවල මට ප්‍රධාන චරිත රඟපාන්න ලැබුණා.

සංගීතයට ඉඩකඩක් නැතුව ඩ්‍රාමා වෙනුවෙන් ඉඩකඩක් වෙන්වන්න හේතුවක් තිබුණ ද?

මම හිතන්නේ අපේ පවුල් පසුබිමත් ඒ සඳහා තදින් බලපාන්න ඇති කියලා. තාත්තා හෙක්ටර් කුමාරසිරි අම්මා ශිරාණි ගමගේ. මගේ ගෙදර නාට්‍ය පසුබිමක් තිබුණා. ඒ නිසාම මට ඩ්‍රාමා සඳහා සම්බන්ධවීමේ පහසුවක් තිබුණා. හැබැයි මගේ ආශාව තිබුණේ ගීත ගායනයට.

තාත්තා අම්මා ඩ්‍රාමා පසුබිමක සම්බන්ධවීමේ කටයුතු කළ නිසාවෙන් ඔබවත් ඒ ගොන්නට දමා දක්ෂතා උරගා බැලුවාද දන්නේ නෑ නේද?

මට මතක හැටියට ගුවන් විදුලිය මඟින් නිෂ්පාදනය කළ මුල්ම ළමා කැසට් පටයට මට සින්දු කියන්න ලැබුණේ නෑ. ගොඩක් අයට ගායනා කරන්න ලැබුණා. මට කැසට් එකේදී ලැබුණේ පේළියක් ගායනා කරන්න. එහෙම නොලැබුණා කියල මම කාගෙවත් පස්සේ ගියේ නෑ ලැබුණ දේ කළා. නිවේදනයත් කළා.

ඔබගේ මුල්ම ගීත ගායනා එකතුව ඔබේම ගීත එකතුවක් ද?

මගේ අම්මාගේ තාත්තාගේ සිංදු තමයි මම ගත්තේ පිට අයගේ කිසිදු සිංදුවක් මම ගත්තේ නෑ. මගේ අම්මා තාත්තා ලිව්ව ගීත තමයි මම ගත්තේ. මගේ මාමා කෙනෙක් හිටියා තුෂාර කුරුවිට කියලා එතුමා සංගීතවේදියෙක්. ගීතවල මෙලඩිය මගේ මියුසික් කරන්නේ මගේ මාමා මේ විදියට ගීත හයක් හතක් හදාගෙන තමයි මම ගුවන් විදුලි ආයතන පස්සේ ගියේ. ප්‍රචාරයක් බලාපොරොත්තුව.

ඒ උත්සාහය කවදද මල්ඵල ගැන්වුණේ?

තවම නෑ. ඒ ගීත සියල්ල මගේ පෙට්ටගමේ තවම තියනවා. ඒ ගීත සියල්ලේම. කොලිටිය වෙනස් දැන් තියන ගීතත් එක්ක ගත්තහම ඒ ගීත නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න මගේ අදහසක් තියනවා.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙසත් විශාල සිසු දරුවන් පිරිසකට දැනුම බෙදන්න අද ඔබට අවස්ථාව උදාවෙලා නේද?

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතාට තමයි විශේෂ ස්තූතියක් පුදකරන්න ඕනේ. මේ වගකීම මට භාර කිරීම පිළිබඳ එතුමන් නිසා තමයි මමත් මගේ බිරිය ආචාර්ය අංජලී මිශ්රාත් කථිකාචාර්යවරුන් ලෙස විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ 2005 වසරේ මගේ බිරිය ඩාන්සින් පැත්ත ප්‍රගුණ කරපු කෙනෙක්. මෙහිදී විශේෂත්වයක් වෙනවා මාව ඇතුළත් වෙන්නේ සංගීත අංශයට නොවෙයි. මගේ බිරිය කථක් නර්තනය කරන්නේ ඒ කථක් වලට අවශ්‍ය සංගීතය දෙන්න කවුරුවත් හිටියේ නෑ. ඒ නිසා මමත් ඩාන්සින් වලට ආදරය නිසා එදා පටන් මමත් වයිෆ් එක්ක විශ්වවිද්‍යාලයේ නර්ථන පීඨයේ රාජකාරී කරනවා.

අප්‍රසිද්ධියේ ගමනක් ගිය ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයේ එක් කොටස් කාරයෙක් නේද? සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී?

මම දන්නෑ ජැක්සන් ඇන්තනී මහතා මා ගැන දැනගත්ත විදිය කොහොමද කියල. මගේ කලා ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂ්‍යය වූ නන්දා මාලිනී මහත්මියට පස්සේ මගේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය ඇති කළේ ජැක්සන් ඇන්තනී මහත්මයා. එතුමා ගෙන් මට ආරාධනයක් ආවා. ස්වර්ණවාහිනියේ පටන් ගත්ත සතර අලංකාරය වැඩසටහනේ විසේකාර අලංකාරය වැඩසටහනට සම්බන්ධ වෙන්න කියල භාතිය, රවිත, සමන් ලෙනින් ඇතුළු මමත් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා හිටියා. මේ අතරින් මම තමයි නවක. මම ජැක්සන් ඇන්තනී මහත්මයාට යෝජනාවක් කළා අයියේ මගේ යාළුවෙක් වන පේෂල මනෝජ් ඉන්දියාවේ ඉඳල ඇවිත් ඉන්නවා. එයාවත් එක්කන් එන්නම් කියලා. ඒකට ජැක්සන් අයියාගෙන් අවසර ලැබුණා. අපි දෙන්නාගේම හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඔය ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එක මාසයට එක් වරක් කළා. මාස කීපයක් පුරා වැඩසටහන ගොඩක් ජනපි‍්‍රය වුණා. ජැක්සන් අයියා නිරන්තරයෙන් මාව දිරිමත් කළා. නිරන්තරයෙන් ඔහු මට ආශිර්වාද කළා මගේ ගමනට. මගේ පියත් ජැක්සන් ඇන්තනී අයියත් බොහොම සමීප මිත්‍රයෝ. ඒ මිත්‍රකම මම හෙක්ටර්ගේ පුතා කියල දැනගන්නත් එක හේතුවක්.

කලක් ඔබ සංගීත කණ්ඩායමක ගායකයෙක් ලෙසත් කටයුතු කළා නේද?

කමල් අද්දරආරච්චිගේ රිද්මායා සංගීත කණ්ඩායමේ ගායකයෙක් ලෙස කටයුතු කළා. ටයිරොන් පෙරේරා නම් වූ දක්ෂ ඩ්‍රම්ස් වාදකයා පවා එහි සාමාජිකයෙක් වෙලා හිටියා. කමල් අද්දරආරච්චි වගේ නළුවෙක්ගේ බෑන්ඩ් එකක සිටීම මම සැලකුවේ මට ලැබුණු වාසනාවක් හැටියට.

නිමන්ත හේෂාන් සිරස සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා. නොවේද?

ස්වර්ණවාහිනියේ සතර අලංකාරය වැඩසටහන තුළින් මාව දකින සිරස මාධ්‍ය ආයතනය මට ආරාධනා කරනවා. සිරස සුපර්ස්ටාර් සීසන් ත්‍රී සඳහා තෝරාගත් ළමුන් සිය දෙනෙකුට වැඩමුළුවක් කරන්න. ඒ වැඩමුළුවේදී ළමයි බොහෝ දෙනෙක් අඬනවා. මගේ සිංදු අහල ඒකට හේතුව වන්නේ මගේ ශෛලියේ ගීත ඔවුන් එතෙක් අසා නොසිටිම කියලයි මම හිතන්නේ. බහුතරයක් ළමයි එතනදී හඬනවා. ඒ සිද්ධිය අදටත් යුටියුබ් එකේ බැලුවොත් කාට වුණත් දකින්න පුළුවන්. ඊට පස්සේ සිරස සුපර් ස්ටාර් සීසන් ෆෝ එකේදී මම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් වෙනවා.

ගායකයෙක් නොවී ඔබ ගායක ගායිකාවන් තෝරන තරඟයක විනිශ්චයකරුවෙක් වෙනවා?

සාමාන්‍යයෙන් ඔය වගේ තැනක සිද්ධ වෙන්නේ ගායනය කරපු කෙනෙක්නේ විනිශ්චයකරුවෙක් වෙන්නේ. හැබැයි මම මගේ කියල සිංදුවකින් ජනපි‍්‍රය වෙලත් නැතුව ඒ විදිහට සුදුසුකම් ලබනවා.

තමන්ගෙම කියල ගීතයක් ගයන්න අවස්ථාවක් නොලැබෙන්න මොනයම් හෝ හේතුවක් ඇතිනේ?

ඒකට හේතුව මම කියලයි මට හැඟෙන්නේ. සමාජයත් ඒ සඳහා හේතුවක් වෙනවා අපි හැමෝගෙම ලයිෆ් එකට. හැබැයි ඒ සඳහා ප්‍රධාන හේතු වෙන්නේ තමන්මයි. මට මුල් කාලයේ ඇති වු යම් සිද්ධිවල බලපෑම හේතුවෙන් මගේ පසුබෑමක් ඇතිවුණා. මට මෙතනදී ඇති වූ බලපෑම් කියල අදහස් කළේ මගේ මුල් කාලයේ ඇතිවුණු ආශාව මට නැති වීමයි. ඒ නිසා මාව ඉදිරියට යාමක් සිදුවුණේ නෑ. මගේ ප්‍රධාන ආශාව තිබුණේ ගුරුවරයෙක් වෙන්න.

ඔබේ ගුරුවරයා වන්නේ?

උස්තාද් ඊර්ෂාද් බාර්සි ඛාන්. මම විශ්ව විද්‍යාලයට ගියාම ඉන්දියාවේ ඉගෙන ගත්තේ ගුරු කුලයකින් එහිදී ඒ ගුරු කුලයේ ගුරුවයාගේ අභාසය මට ලැබුණා. මට මගේ ගුරුවරයා කිව්වේ උඹ උගන්වපන් කියල මගේ ගායනය කියන පාත් එක මගෙන් මඟ හැරෙන කොට මම ඊළඟට උත්සාහ කරන්නේ ගුරාවෙන්න. අදටත් මම ගුරා. අවුරුදු 15ක් පුරා අදටත් මම ගායනයට යොමු නොවෙන්නේ මගේ ප්‍රධාන ඉලක්කය නිසා. අන්න එතනදී අනික් සියලු දේ මට අමතක වෙනවා.

ඒ ගැන ඔබට පසුතැවීමක් නැද්ද?

මගේ ලයිෆ් එක රිවයින් කරන්න පුළුවන් නම් සමහරක් විට මම ගායනයෙන් වෙලා ගුරා වුණානම් හොඳයි කියල මට හිතෙන අවස්ථා තියනවා. හැබැයි අන්තිමේ ඒ සියලු තර්ක බිඳගෙන ඒ පදවියට මම තවමත් ආදරය කරනවා සහ එතන කිසිම තෘෂ්ණාවක් මෝහයක් නැති භෞතික දේවල් ලබා නොගන්නා තැනක තමයි මම හිටියේ එහිදී මගේ අවශ්‍යතාවය වුණේ ශිෂ්‍ය පිරිසක් හදන්න. ලංකාවේ කිසිම රජයක් අත නොගැසු දෙයකට සංගීතය කලාව උරුම කරගෙන ඉපදුණ දරුවෙක්ට තමන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කරගන්නා තැනක් තිබුණේ නෑ. හැදෑරීමට ආයතනයක් තිබුණේ නෑ. එහෙම අවශ්‍ය කෙනෙක්ට ඉන්දියාවට යා යුතු වුණා. ඒ දේට වියපැහැදම් කරන්න හැම කෙනාටම මුදල් තිබුණේ නෑ. ඉන්දියාවට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක් වුණත් යළි මෙරටට පැමිණ අනාගත ගෝල පිරිසක් හදන්න වුවමනාවකුත් තිබුණේ නෑ. තමන් ඉගෙන ගත් දේ තමන්ට සීමා වුණා. තමන් ඉගෙන ගත් දේ තුළින් භෞතික දේ උපයාගත්තා හැරෙන්න තමන් පරයා තව පිරිසක් බිහිවිය යුතුයි කියන තැන ඔවුන් හිටියේ නෑ. මගේ ක්‍රමය වුණේ ඔවුන්ව මම පරයා කෙසේ හෝ ගෙන යා යුතුයි සහ ඔවුන්ට කලාව ගැන තියන ගැඹුර පෙන්වා දිය යුතුයි කියන තැන තමයි මම හිටියේ. එතනදි මම දන්නවා මම සියයට සීයක් එළියට එන්නෑ කියලා.

ඔබ කළේ ගෝලයෝ හදන එකද?

ඔව්. මම කළේ ගෝලයෝ හදල උන් දිහා බලල සතුටු වෙන එකනේ. මම අවුරුදු පහළොවක සිට මේ දක්වාම කර තිබෙන්නේ ගෝලයෝ හදල මම පරයා ඔවුන් යන හැටි බලල සතුටු වෙන එක. මම ලංකාවට දක්ෂ සංගීතඥයෝ ගොඩක් දායාද කළා.

තමන් ගැන නොසිතා අනුන් ගැන සිතන හේෂාන් මේ වන විට බිහිකළ ශිල්පීන් කවුරුන්ද?

මම සහ මගේ ටීම් එක එවැනි ගොඩක් අය බිහි කළා. මම ගෝලයෝ බිහි කළා කියල කියන්න කැමැති නෑ. මොකද මම ඉන්ද්‍රජාලිකයෙක් නොවෙයි. තරුවක් බිහි කරන්න. හැබැයි ඒ තරුවට අවශ්‍ය මොළය හදන්න මට ශක්තියක් තියනවා. මාව ගුරෙක් කරගෙන මගෙන් ඉගෙන ගත්ත බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් තරු වුණ අයත් ඉන්නවා. හැබැයි මම කැමැති නෑ මම මේ අය හැදුවා මමයි ඔවුන්ට තරු වෙන්න මඟ කිව්වේ කියල කියන්න. යම් යම් මනුස්ස ගුණාංග තියනවා ඔබ ඉදිරියේ වර්ණණාඩකළ යුතු නැති. නමුත් ලෝකයා ඉදිරියේ වර්ණණා කළ යුතු දේවලුත් තියෙනවා. ඒක නිසා මගේ ගෝලයෝ තරු වුණත් ඔවුන් දන්නවා ඒ තරු වෙන්න ආලෝකය එක් කළේ මම කියලා. මට ඕනෙ නෑ මම හදපු තරු අහවල් එක කියල කියන්න. ඒ හදපු තරුම කියයි කවුද ඒ තරු හැදුවේ කියලා.

ගුරු පදවියේ අවුරුදු පහළොවක් ඉන්නකොට ඒ පදවිය එපා වුණේම නැද්ද?

මම මැරෙනකම්ම උගන්වයි. නමුත් මගේ සිතට ටිකෙන් ටික සිතිවිල්ලක් ගොඩනැඟුණා. දැන් මම වෙනස් විය යුතුයි කියල මම ගොඩක් කළේ නැති බැරි අය ගෙනත් ඔවුන්ට ශිෂ්‍යත්ව දීල උගන්වන එක සල්ලි තියන අයගෙන් සල්ලි ගත්තා. එහෙම නැතුවත් බෑ. අපේ ඇඩකමිවල බිල් ගෙවන්න තියනවා. නඩත්තු කරන්න තියනවා. බත්තරමුල්ලේ පිහිටි ආවාස් සංගීත ඇකඩමිය, ආලාප් ස්ටුඩියෝ එක තමයි මගේ මේ උත්සාහයේ ගෝලයන් බිහි කරන නවාතැන් දෙක. පිට පළාත්වල අග හිඟකම් තිබු දරුවන්ට මම ඉගැන්වුවා සමහරුන්ට ඉන්දියාවට පවා යවා ඔවුන්ට ඉගෙන ගන්න අවකාශ උදා කරල දුන්නා.

හේෂාන් ඔබ ඔබවම එළියට ගන්න මොනවගේ වැඩපිළිවෙළක් වෙත ද යොමුවෙන්නේ?

මාව බිහි කිරීමේ අවශ්‍යතාවයක් මට තිබුණා. ඒ සඳහා මට තනිව බිහිවෙන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. කණ්ඩායමක් විදියට අපි බිහිවෙන්න ඕිනෙ කියල මම හැමතිස්සේම බැලුවේ. ටීම් වර්ක් එකක් විදියට බිහිවෙන්න මිනිස්සු මාව ජජ් කෙනෙක් විදියට දැනගන්නවා. එක සිංදුවක්වත් නොකියා මට ආදරය කරනවා. සංගීතඥයෙක් ලෙස මගේ ආශාවන්ගෙන් කොටසක් මේ වන විට ඉෂ්ට වෙලා ඉවරයි. මට අවශ්‍ය වුණේ නෑ. මේ විදියට මාව එළියට ගේන්න. එතනදි මම සොයා ගන්නවා මගේ බැටෑලියන් එක කවුද කියල මට හම්බවෙනවා ඉතා දක්ෂ මියුසිෂිීයන්ස්ල කීප දෙනෙක්ම. හැබැයි ඔවුන් මටත් වැඩිය දක්ෂයෝ. නමුත් ඔවුන්ගේ මොනවා හෝ දක්ෂතා කොටුවෙලා හිරවෙලා තියනවා කියල මට හැගෙනවා. නමුත් ඔවුන් සිටින තැන ගැන ඒ අයට සතුටු ඇති. නමුත් මගේ මිම්ම අනුව ඔවුන් සිටිය යුතු තැන එයට එහා ගිය එකක්.

කවුද ඔබේ ඔය සුපිරි බැටෑලියන් එක.

මාධව බණ්ඩාර, රශ්මිත තලකොටුන්න, ජුඩ් ජෙනිට අයෝධ්‍ය රවී ශංකර්, සඳුන් මිහිසර, ලංකේෂ්වර ධර්මසේන, දිලීප ධනංජය, නෙල්කා තිළිණි, ධනුෂ්ක චන්දිමාල්, දමිත්‍රා හසිනි, ප්‍රසාද් අරුණ මේ වගේ අතිදක්ෂ පිරිසක් සමඟ මම පටන් ගන්නවා හියුමාන්ස් බෑන්ඩ් එක මෙහි මැනේජර් ලෙසින් කටයුතු කරනවා නිවුනි දයාංගා.

හියුමාන්ස් බෑන්ඩ් එකේ තියන විශේෂත්වය?

අපේ බෑන්ඩ් එකේ ඉලක්කය මනුස්සත්වය. කොරෝනා වකවානුව එන්න කලින් ඉදල අපි ටික ටික ඩිවලොප් වීම පටන් ගත්තා. අපේ නිර්මාණවල විප්ලවවාදී මනුස්සත්වයක් කතා කරනවා. කැකෑරෙන ඇතුළාන්තයේ තියන ආවේගයක් කතා කරයි සංගීතය හරහා. හුදෙක් භෞතික දේ එකතු කරගන්නත් අපිට මංගල උත්සව, උපන්දින සාද ප්ලේ කරන්න හදපු බෑන්ඩ් එකක් නොවෙයි. හැබැයි එවැනි තැන් ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි අපේ මූලික ඉලක්කය මනුස්සයාට සංගීතය හරහා කතා කරන්න.

හියුමාන්ස් බිහි කරන්න. අර්ථපතිත්වයෙන් එහෙමත් උදවු කළ අයත් ඇති?

ඔව්. අපිට ඉරහඳ පෙන්නපු අයත් හිටියා. නිර්මාණයක් එළියට ගන්න අපිට ආශිර්වාදයක් අවශ්‍යයයි. එතනදි ඉරහඳ පෙන්වන අය ඕනෙ තරම් හිටියා. ඔය අතරේ එක් කෙනෙක් ආවා. එයා ඉර පෙන්නුවෙත් නෑ. හඳ පෙන්නුවෙත් නෑ. අපිට ආශිවාර්ද කළා. ඔහු ක්‍රිෂ් නිරංජන් වික්‍රමසිංහ මා ඔහුව හඳුනාගත්තේ මගේ තාත්තා හරහා ඔහු තමයි තාත්තාගේ අනෝරා චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදකවරයා.

ඔබගේම කියල ගීතයකුත් පසුගිය දා නිකුත් කළා නේද?

අපිට කියල යු ටියුබ් නාළිකාවක්වත් තිබුණේ නෑ. අගෝස්තු මස 30 වැනිදා මගේ පළමු ගීතය නිකුත් කළා. නුඹ විතරයි මා ළඟ ඉඳන් හිතපුරා ආලය කළේ ගීතය. අද මට අලුත් යු ටියුබ් චැනල් එකතුත් තියනවා. එහි එක සිංදුවකුත් මගේම කියල තියනවා. නිමන්ත හේෂාන් කියල නම ගැහුවම අහන්නත් පුළුවන්.

ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කාලයකට පස්සේ ද ඔබේම ගීතයක් එළි දක්වන්නේ?

මම හිතන්නේ මම මේ ක්ෂේත්‍රයට පිවිසිලා මාසයයි කියලා කාගෙවත් සිංදුවක් කියලා නොවෙයි. මගේම කියල මම ආදරය කරන සිංදුවක් වීඩියෝ එකක් විදියට එළියට එන්නේ අගෝස්තු මාසයේ මම සලකන්නේ මම ආයෙත් ආරම්භකරන යුගය මේක කියල මේ ගීතයේ තනුව මගේ ගීත රචනය කරන්නේ නිවුනි දයාංගා සංගීතය හියුමාන්ස්.

ඔබටම කියල විශේෂිත ගීත රචනා තියනවාද?

මගේ ලයිෆ් එකේ ගායකයෙක් හැමෝගෙම ගීත පාවිච්චි කරන්න පෙලඹෙනවා. යම් කිසි තැනකට එනකොට ආර්ථික ප්‍රතිලාභ ලැබීම සඳහා කරන දේකුත් වෙනවා. නමුත් මගේ එහෙම දේකුත් නෑ. මම දකින්නේ මගේ ගීත වලට සාධාරණය මට අවශ්‍ය තැන මම දැක්කේ සංගීතය ඇතුළේ එහි මම දකින ව්‍යුහය. වචන වලින් මම දැක්කේ මගේ තාත්තා මගේ අම්මා ගේ රචනා වලින් ඊට පස්සේ ඒ දේ මම දැක්කේ නිවුනි දයාංගාගෙන්.

ඔබේ පළමු ගීත හැරුණු කොට තවත් නිර්මාණ වෙත මේ වන විට ඔබ යමින් ඉන්නවාද?

මගේ බෑන්ඩ් එක තුළ සංගීතය පිළිබඳ මනා දැනුමක් තියන පිරිසක් ඉන්නේ. සියලු සාමාජිකයන් මම දකින මනුස්ස ගුණාංග රැදිල තියනවා. මේ සාමාජිකයන් එක ශානරයක ජීවත් වන අය නොවෙයි. ශෛයිලින් බොහෝ ගණනක් අතපත ගාන බොහෝ සංගීත ශෛයිලින් මික්ස් කරමින් වෙනම විදියේ සංගීත නිර්මාණ වෙත තමයි අපි පිවිසිලා ඉන්නේ. අපිට අවශ්‍ය නෑ මාකට් එකට ඕනෙ දේ දෙන්න.

ඔබ රසික ඉල්ලීම් බැහැර කරනවාද?

එතන තියෙන්නේ මම දකින විදියට වෙන දෙයක් මාව පෝ්ෂණය කරන්න අනික් අය පෝෂණය කරන්න භෞතිකමය දේ ලබාගන්න පෙලඹෙනවා මාකර්ට් එකට අවශ්‍ය දේ දුන්නොත් රියල් ආර්ටිස් කෙනෙක් එහෙම කරල නෑ ලෝකෙ. පපු කැවුත්තේ තියන දේ එළියට ඇදල දාල මෝලේ තියන දේත් ඒකට දාල පෙන්වනවා මෙන්න දෙයක් කියල ඒ දේ තේරුම් ගැනීම අනික් අයගේ කාර්යන් මම හදන සුප් එකේ වෙන රහක් තියෙන්න පුළුවන්.

ඔබ ආස සුප් හදන්න?

මට ඕනේ හදන සුප් එකේ රස දිවට නෙමේ මොළයට සහ පපුවට දෙන්න. අපේ බෑන්ඩ් එකේ ලීඩර්ස් ලා නෑ. අපි ඔක්කොම එකයි. මගේ බිරිය අංජලි මිශ්රා තමයි. ඉන්දියාවට සේන්දු වෙන පාලම තනන්නේ අපි අපේ නිර්මාණයන් සමඟ ඉන්දියාවට කතා කරන්න බොහොම ළඟයි.

ඔබලාගේම ශෛලියක් ගොඩනැගීමේ වෑයමක් තියනවාද?

අපේම කියල ගායන සංගීත ශෛලියක් නිර්මාණය කරමින් පවතිනවා. මේකෙ ඇතුළත මම හිතනවා ලෝකේ බිහි වූ බොබ්මාලේ, ක්වීන්ලා, ඊ ගල්ස්ලා, බීටල්ස්ලාගේ අනුගාමීන් ඒ අයට ෆලෝ කරන තැනට යන්න මම කැමැතියි. ඒ ගොල්ලෝ හුදෙක්ම සංගීතය පටන් ගත්තේ භෞතික දේ ලබාගන්න නොවෙයි. මේ හරහා අපි බිහි කරන සංකල්පනාවක් ලෝකයා බාර ගනියි. ඒක අහන්න දකින්න අපිට ආරාධනා ලැබෙයි. අපි තමයි ලංකාවේ ඉන්න එකම බොලිවුඩ් බෑන්ඩ් එක අපිට පුළුවන් පැය ගාණක් බොලිවුඩ් ගහන්න. අපි හිතනවා ඉන්දියන්ස්ලට අමතන්න. ඒ අයට වෙනසක් නොදැනෙන්න අමතන්න ඉන්න එකම කට්ටිය අපි විතරයි කියලා අපි හිතනවා. අපි භාවිත කරන භාෂාව පවා හින්දි. අපි දණගාල දණගාල නැගිටින ප්‍රථම අවස්ථාව තමයි මේක.

රංගනය පැත්තටත් ඔබ දායක වූ ශිල්පියෙක්?

මට රංගන අවස්ථා බොහොමයක් ලැබුණා. විමලරත්න අධිකාරිගේ සුන්දරයි. කියන ටෙලි නාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරාගේ ළමා අවධිය මට රඟපාන්න ලැබුණා. පසුවටත් මට ටෙලි නාට්‍යවල රඟපාන්න ආරාධනා ආවත් මට ඒ ගැන ආශාවක් නැතුව ගියා. ඊට පස්සේ මම තාත්තාගේ අභිනික්මන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළා. තාත්තාගේ අනෝරා චිත්‍රපටයේ මම රඟපෑවා. වගේම එහි සංගීත අධ්‍යක්ෂණයත් කළා. මගේ පළමු චිත්‍රපට රංගනය වන්නේ අනෝරා මෙය ඉදිරියේදී තිරගත වෙන්න තියනවා. ක්‍රිෂ්නිරංජන් වික්‍රමසිංහ ගේ ගීස්බීස් කාටුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පූසාගේ චරිතය කරන්නෙත් මම. එහි සංගීත අධ්‍යක්ෂණයත් කළේ මම. ඉදිරියේදී එය තිරගත වෙන්නත් තියනවා.

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය ඉදිරියටත් කරන්න ඔබේ බලාපොරොත්තුවක් තියනවද?

මම මේ පිළිබඳ පුළුල් ලෙස හැදෑරීමක් කරල තියනවා. ඒ ගැන ප්‍රායෝගික වගේම න්‍යායාත්මක පුහුණුුවක් පවා මම ඉන්දියාවේදී මගේ අධ්‍යයනයන් සඳහා ලබල තියනවා. මම ආසයි එවැනි දේකට මට ආරාධනා ලැබුණොත් සතුටින් භාරගෙන අලුත් දෙයක් කරන්න.

ගුරුකුලයක නිර්මාණකරුවෙක් ඔබ?

ලංකාවේ බිහි වූ එකම ගුරු කුලය අපි පටන් ගත්තා. තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ තමයි මෙයට මුල පිරුවේ. අයි යූ එච් එස් කැම්පස් එක ඇතුළේ අපි මේ ගුරුකුලය පටන් ගන්නවා. ඉමදුව පැත්තේ ලස්සන පරිසරයක පවුල් 500ක පිරිසක් සම්මුඛ පරීක්ෂණය සඳහා එනවා. එයින් ළමයි 50කට අවස්ථාව උදාවෙනවා. වසර හතරක පාඨමාලාවක් සඳහා බටහිර, ඉන්දීය සංගීතය භාෂාව, මේ හැම දෙයක් ගැනම ඔවුන්ට ඉදුම් හිටුම් කැම බීම නොමිලේ ලබා දෙමින් අපි ඔවුන්ට සංගීත ගමනක් එක්කරගෙන යනවා. ගුරා ළඟ ගෝලයා තබාගෙන ශිල්පය දෙන එක තමයි අපි කරන්නේ මේ ක්‍රමය පහතරට උඩරට සාම්ප්‍රදායික ක්‍රමවේද වලත් තිබිල තියනවා. මම ඉන්දියාවේ ගුරුකුලය මත හිදිමින් ලබාගත් දැනුම ප්‍රතිසන්ධි කිරීමක් කරනවා. මෙතනදී මම ඔප්පු කරනවා විශ්වවිද්‍යාලයෙන් බිහිවන දරුවට වඩා ප්‍රායෝගික හා න්‍යායාත්මකව මෙතනින් බිහිවන දරුවන් ඉදිරියෙන් ඉන්නවා කියලා. මේ දැවැන්ත කාර්යයට මට ශක්තියක් වෙලා තියනවා මලිත් පෙරේරා, අමිත් පුස්සැල්ල මහත්වරු දරුවන් දැනුමෙන් සන්නද්ධ කරන්න.

පවුලේ තොරතුරු කිව්වොත්?

මගේ බිරිය අංජලී මිශ්රා මට පුතාල දෙන්නෙක් ඉන්නවා. ක්‍රිෂ් ඊෂාන් හා විශ් තෝෂාන් නමින් මේ අයගෙන් මගේ ගමනට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා නිරතුරුවම.

චන්දන දයාසිරිවර්ධන  සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT