Home » රෝස ආදරෙන් සිනමාවට පැයූ රුමලී කෙෂීඩා

රෝස ආදරෙන් සිනමාවට පැයූ රුමලී කෙෂීඩා

by Thanushika
February 6, 2025 12:00 pm 0 comment

රුමලී කෙෂීඩා , ඇය සිනමාවට නවක නිළියක්. එහෙත් ටෙලි තිරයට ආගන්තුක නැත. රූ රැජිනක් ලෙස කිරුළ දරා ඇති ඇය ඇත්තෙන්ම රුවැත්තියකි. සිනහවෙන් සතුටින් ජීවිතය ගත කරන සුන්දර තරුණියකි. නිළියක ලෙසින් ඇය සිනමාවට පිවිසෙන්නේ රෝස ආදරේ සිනමා සිත්තමෙනි. හර්ෂ උඩකන්දගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ රෝස ආදරේ හී සොනාලී ලෙස රඟපාන්නේ රුමලීය. බොරුවෙන්, වංචාවෙන් මිනිසුන් රවටන සොනාලීගේ අවසානය දුක්බරය. එහෙත් සොනාලීට පණ පොවන රුමලීගේ අනාගතය පැහැබරය. ඇයගේ රංගනයෙන් ඔපවත් වූ තවත් සිනමාපට කිහිපයක් ඉදිරියේදී සිනමා තිරයමත දිගහැරීමට නියමිතයි.

තම රංගනයෙන් හැඩවූ රෝස ආදරේ පිළිබඳ කතා කිරීමට ඉතාමත් ආදරණීය ලෙස සරසවිය සමඟ මෙසේ එක් වූවාය.

නිළියක් ලෙස ඔබේ ආරම්භය සිදුවූයේ කෙසේද ?

දෙරණ නාලිකාවෙන් තමයි මම මුලින්ම රංගනයට අත්පොත් තබන්නේ. ඊට පෙර වෙළෙඳ දැන්වීම්වලට නිරූපිකාවක් ලෙස සම්බන්ධ වුණා. දෙරණ නාලිකාවේම විකාශය වූ පාවෙලා වලාකුළේ, දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය දෙකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉන්පසුව ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. මේ වසරේත් අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තියෙනවා.

රෝස ආදරේ ඔබේ ප්‍රථම සිනමාපටය නේද ?

රෝස ආදරේ තමයි රිලීස් වුණ පළමු චිත්‍රපටය. මීට කලින් තව චිත්‍රපට දෙකක් කළා. ඒත් එම චිත්‍රපට තාම රිලීස් වුණේ නැහැ. ඉතින් මගේ පළමු චිත්‍රපටය විදිහට රෝස ආදරේ හඳුන්වන්න මම කැමතියි.

රෝස ආදරේ චිත්‍රපටයට ඔබට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද ?

ඒක අහම්බයෙන් සිදු වූ දෙයක්. මම උපන් දින සාදයකට ගිය අවස්ථාවක මට මුණ ගැසුණා හර්ෂ උඩකන්ද අයියවයි, ශලනිවයි. හර්ෂ අයියා කිව්වා ඔහු චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඒකට සම්බන්ධ වෙන්න කිව්වා. ස්ක්‍රිප්ට් එක දෙන්නම් කිව්වා කියවල බලන්න. එය මම බලාපොරොත්තු නොවූ දෙයක්. ශලනිත් මාව දිරිමත් කළා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා. ස්ක්‍රිප්ට් එක ලැබුණට පස්සේ මම ඒක කියෙව්වා. ඒක කියවගෙන යන කොට හිතේ පොඩි කුතුහලයක් ඇතිවුණා. මෙවැනි චරිතයක් මට ගැළපෙනවද කියල හිතුනා. මම කල්පනා කළා මට එවැනි චරිතයක් රඟපාන්න හැකිවෙව්විද කියලත්. සොනාලී කියන්නේ අමුතු කෙනෙක්. එය මට අභියෝගයක් ලෙස මුලින්ම දැනුනත් පසුව මම එයට එකඟ වුණා. මගේ පවුලේ අයත් ඒ සඳහා මාව උනන්දු කළා. රෝස ආදරේ කියන්නේ ටීම් වර්ක් එකක්. ඔක්කොම එක පවුලක් වගේ වැඩ කළා. අන්තිමට මම ඒ අභියෝගය ජය ගත්තා. රෝස ආදරේ රිලීස් වෙනකන් පොඩි බයකුත් හිතේ තිබුණා මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද කියලා.

අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණ සහයෝගය කෙසේද ?

හර්ෂ උඩකන්ද කියන්නේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මින්පෙර චිත්‍රපට හයක් නිෂ්පාදනය කරපු කෙනෙක්. රෝස ආදරේ ඔහුගේ වාසනාවන්ත හත්වෙනි චිත්‍රපටය. සිනමාවට නවක නිළියක් ලෙස ආපු මට ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. කිසිම වෙලාවක බලකළේ නැහැ චරිතය කෙසේද කරන්න ඕන කියලා. අපිට අපේ චරිත නිසියාකාරව ගොඩනඟා ගන්න ඔහු උපදෙස් දුන්නා පමණයි. අපිට අපේ හැකියාවනුත් එකතු කරගන්න ඔහු නිදහස දුන්නා. කිසිම වෙලවක ඔහු අධ්‍යක්ෂවරයා කියල හිතුවේ නැහැ. අපිත් එක්ක එකට එකතු වෙලා විනෝදෙන් වැඩ කළා. මම ඔහුගෙන් දකින හොඳ ගුණාංගයත් ඒකයි.

රෝස ආදරේදී ඔබත් සමඟ රඟපාන්නේ රංගනය පිළිබඳ අත්දැකීම් තියෙන පිරිසක්. ඔවුන්ගේ සහයෝගය කෙසේද?

මමත් සමඟ එකටම රඟපෑවේ පැතුම් රුක්ෂාන්. ඔහු ටෙලි නාට්‍යවල නිතරම දකින්න ලැබුණ කෙනෙක්. ඒත් ඔහුගේත් පළමු චිත්‍රපටය තමයි රෝස ආදරේ. ඔහුට මට වඩා අත්දැකීම් තියෙනවා රංගනය පිළිබඳ. ඒ වගේම දිනක්ෂි කියන්නෙ ලංකාවේ ජනප්‍රිය දක්ෂ නිළියක්. ඒත් ඇය මට සැලකුවේ සහෝදරියකට වගේ. අනෙකුත් ජ්‍යේෂ්ඨ ශිල්පීන්ගෙනුත් මට හොඳ සහයක් ලැබුණා.

රෝස ආදරේ සොනාලිගේ චරිතය ඔබ දකින්නේ කෙසේද ?

සොනාලි කියන්නේ විනෝදයට බර, බොරුවෙන් ජීවත් වන චරිතයක්. අද සමාජයේ දිහා බැලුවත් එවැනි තරුණියන් ඉන්නවා. වංචාවෙන්, බොරුවෙන් මිනිස්සු මුලාකරන අය ඉන්නවා. සොනාලිත් එවැනි කෙනෙක්. රෝස ආදරේ අවසානයේ තමයි සොනාලි කොයි වගේ කෙනෙක්ද කියල ප්‍රේක්ෂකයන් දැනගන්නේ. බොරුව හොඳ දෙයක් නෙවෙයි. ආදරයේදීත් බොරුකරන එක හොඳ නැහැ. සැබැ ජීවිතයේදී නම් ආදරය වෙනුවෙන් මගේ හිත එක තැනක තියෙනවා. ආදරය කරද්දී අපි ආදරය කරන අයට බොරුකරන එක වැරදියි. සොනාලි කෙනෙක් නොවී යහපත් ජීවිතයක් ගත කරන්න කියන පණිවිඩය රෝස ආදරේ තුළින් මතුකරන්න උත්සාහ කරලා තියෙනවා.

ඔබ නිළියක් වීමට පෙර රූ රැජිනක්. ඒ ගැන විස්තර කළොත් ?

ඔව් මම 2018දී මිස් ශ්‍රී ලංකා තරඟය නියෝජනය කළා. Miss Sri Lanka for Miss World. එහි අවසානයට මාව තේරුණා. ඉන්පසුව Miss Earth හි අනුශූරතාවය දිනාගත්තා. 2022 දී Miss Global  තරඟය සඳහා ලංකාව නියෝජනය කරන්න හැකිවුණා.

ඊට පෙර රෝසි සේනානායක මහත්මිය තමයි එවැනි තරඟයකට සහභාගී වෙලා තිබුණේ. එවැනි කෙනෙක් සහභාගි වූ තරඟයකට පසු කාලයක මටත් සහභාගී වෙන්න ලැබීම ආඩම්බරයක්.

ඔබේ කුලුඳුල් සිනමා රංගනය වෙනුවෙන් ලැබුණ ප්‍රතිචාර කොහොමද ?

ලැබුණ ප්‍රතිචාර ගැන නම් හරිම සතුටුයි. රෝස ආදරේ මංගල දර්ශනය දා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත, ප්‍රවීණයන් රැසක් ඇවිත් හිටියා. මගේ ළඟින් හිටියේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙක්. රංජන් රාමනායක සහ චන්න පෙරේරා. ඔවුන් දෙපළගෙන් ලැබුණ සුබ පැතුම් සහ ආශිර්වාදය මට ගොඩාක් වටිනවා. ඔවුන් මාව අගය කළේ හදවතින්මයි. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර ඉහළයි. මටත්, රෝස ආදරේ අපි හැමෝටම එදා ලස්සන දවසක් වුණා.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද ?

හොඳ නිර්මාණ තුළින් ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටින්න තමයි බලාපොරොත්තුව. 2025 දීත් මගේ නිර්මාණ එළිදකිවි.

රෝස ආදරේ චිත්‍රපටයේ ලස්සන ආදර කතාවක් ගැබ්වෙලා තියෙනවා. තරුණියක් විදිහට ආදරය ඔබට දැනෙන්නේ කොහොමද ?

ආදරය කියන්නෙ අපිට ලැබෙන්න ඕන කියල හිතෙන දෙයක් නෙවෙයි. ආදරය අපි ලබාදිය යුතු දෙයක්. ආදරය කරන්න හැමවෙලාවෙම එකතු වෙන්නේ නොදන්නා දෙන්නෙක්. ඔවුන්ගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඔවුන් පවුල් දෙකක. මට හිතෙන්නේ ඒ දේවල් හොඳීන් තේරුම් අරගෙන ආදරය කිරීම තමයි වැදගත්. ආදරය අපි හැමෝටම අවශ්‍යයි. ඒත් රැවටීමෙන්, බොරුවෙන් තොරව කරන ආදරය සුන්දර යි. රෝස ආදරේත් අවසානයේ ජයගන්නේ අවංක ආදරය.

ඔබට ආදරය කරන රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ ?

මම ගොඩක් ආදරෙයි මගේ රසිකයන්ට. මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා රෝස ආදරේ නරඹන්න කියලා. නරඹලා ඔබේ ප්‍රතිචාර, මගේ රංගනය ගැන ඔබේ අදහස් කියන්න.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT