Home » රොන් සොයා වෙනස් විදිහේ මෙගා ටෙලි නාට්‍යයක්

රොන් සොයා වෙනස් විදිහේ මෙගා ටෙලි නාට්‍යයක්

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර

by Thanushika
February 20, 2025 12:13 pm 0 comment

වර්තමානයේ රූපවාහිනී නාලිකා ඔස්සේ වැඩි වශයෙන් විකාශය වන්නේ මෙගා ටෙලිනාට්‍ය රැල්ලකි. මෙම ටෙලි නාට්‍ය නැරැඹීමට බාල තරුණ මහලු වයස් භේදයකින් තොරව එක්රැස් වීම අරුමයක් නොවේ. ආදර කතා, පවුලේ කතාවලින් මෙගා නාට්‍ය හැඩවී ඇත. මෙම සම්ප්‍රදාය ශ්‍රී ලංකාව තුළ මුල්බැස ගැනීමට ප්‍රධානම හේතුව වුයේ අපේ අසල්වැසියා වන ඉන්දියාවේ නිර්මාණය කරන ලද ටෙලි කතා ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවල පෙන්වීමට පටන් ගැනීමත් සමඟය.

එය කොළඹට තදාසන්න මධ්‍යම පාංතික ජන ජීවිතය ගලායන ප්‍රදේශයකි. එහි ජීවත් වනුයේ ජාති, ආගම, කුල භේදයකින් තොරව ජීවිතය ගෙන යන ජන කොට්ඨාශයකි. විවිධ වූ ජීවන රටා පවතින චරිත අතර ඇතිවන ආදර කතවක් සහ එම පවුල් අතර සිදුවන නොයෙකුත් හැලහැප්පීම් ගැන කියවෙන රොන්සොයා පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදී ටෙලි නාට්‍ය ලෝලීන්ට තිළිණ විය.

එකම ප්‍රදේශක ජීවත් වන චණ්ඩි කොල්ලන් දෙදෙනෙක් එම ප්‍රදේශයේම ජීවත් වන සුන්දර තරුණියකට ආදරය කිරීමට පටන් ගනී. දෙයාකාරයකට තරුණියගේ සිත දිනාගැනීමට වෙර දරන මේ තරුණයන් දෙදෙනාගෙන් කාහට මේ සුන්දර තරුණියගේ ආදරය හිමිවේද? එයට පිළිතුරු ලැබෙන්නේ සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රි 8.30 ට හිරු ටීවී ඔස්සේ විකාශය වන රොන් සොයා තුළින්ය.

රොන් සොයා පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීමට එහි අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර සරසවිය සමඟ එක්විය.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් දක්වා පැමිණි ගමන්මඟ පිළිබඳ කෙටියෙන් කතා කළොත් ?

මම මුලින්ම කලාවට යොමු වුණේ වේල්ස්කුමර විද්‍යාලයේ නාට්‍ය ගුරුවරයා වූ තිස්ස ගුණවර්ධන සර් නිසා. එතුමාගේ පුහුණුවීම්, ගුරුහරුකම් සමඟ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ විදිහට තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. මම දැන් හිරු ටීවී ආයතනයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

ඔබ විසින් අධ්‍යක්ෂණය වූ ටෙලි නාට්‍ය මොනවාද ?

මුලින්ම මම අධ්‍යක්ෂණය කළේ ආටක නාටක හාස්‍ය ටෙලිනාට්‍ය මාලාව. සසර සෙවනැලි නමින් පෝදා ටෙලිනාට්‍ය පෙළක් අධ්‍යක්ෂණය කළා. ඉන්පසුව අහස් මාළිගා, සිහින ගෙනෙන කුමාරියේ වැනි ජනප්‍රිය මෙගා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ මා විසින්. රැල්ල වෙරළට ආදරෙයි මෙගාටෙලි නාට්‍යයත් මගේ අධ්‍යක්ෂණයක්. එය අවසන් වුණා පෙබරවාරි 13 දා.

ඔබේ නවතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ගැන සඳහන් කළොත් ?

රොන් සොයා මගේ නවතම අධ්‍යක්ෂණය. එය හිරු ටීවී නිෂ්පාදනයක්. එහි පිටපත ලිව්වේ චිත්‍රපට සහ අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් වන අරුණ ජයවර්ධන.

විශේෂ දිනයකදි නේද රොන් සොයා විකාශය වෙන්න පටන් ගත්තේ ?

ඔව්. හරියටම පෙබරවාරි 14. ආදරවන්තයින්ගේ දිනයේදී. එය විශේෂත්වයක්. රොන් සොයා ආදරය මුසු වූ නාට්‍යයක් නිසා.

සාමාන්‍යයෙන් මෙගා නාට්‍ය කොටස් සිය ගණනකින් සමන්විත වෙනවා. මෙයත් ඉතා දීර්ඝ කතාවක් වේවිද ?

තවමත් මෙහි කොටස් ගණන මෙතෙකැයි කියා තීරණය කරල නැහැ. පිටපත අනුව තමයි එය තීරණය වන්නේ. කෙසේ වෙතත් රොන් සොයා කාටත් නැරඹිය හැකි, රසවිඳීය හැකි ටෙලි නාට්‍යයක් වෙයි. ඒ වගේම වෙනස් මඟක් ගත් මෙගා නාට්‍යයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

රොන් සොයා ස්වනිර්මාණයක්ද? දෙමළ නිර්මාණයකට සමීප ලෙස නිර්මාණය වූවක්ද ?

ඔව්. රොන් සොයා ටෙලි නාට්‍ය තුළ දෙමළ නිර්මාණවලට සමීප රූපරාමු යොදාගෙන තිබෙනවා. එසේ කිරීමෙන් අපේ නිර්මාණයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. අද රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයක් දක්වනවා එවැනි ටෙලි නාට්‍ය නරඹන්න. එවැනි පිරිසක් ඉන්නවා ලංකාවේ.

ඔබ සඳහන් කළා රොන් සොයා රූගත කිරීම් සඳහා ඊට ගැළපෙන ප්‍රදේශයම තෝරා ගත් බව?

ඔව්. බොහෝ මෙගා නාට්‍යවල තියෙන්නේ නිවෙස්වල හෝ වෙනත් ස්ථානවල ඇතුළත දර්ශන. ඒත් රොන් සොයා ඊට හාත්පසින් වෙනස්. මෙහි කතා තේමාව දිවයන්නේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශය ආශ්‍රිත පදිංචි මිනිස්සු පිළිබඳව. ඒ නිසා අපි තෝරාගත්තේ ආමර් වීදිය සහ ඒ අවට ප්‍රදේශ. මම අධ්‍යක්ෂණය කළ රැල්ල වෙරළට ආදරෙයි මෙගා නාට්‍ය මාලාවටත් මම තෝරා ගත්තේ ඒ කතාවට සරිලන දර්ශනතල. එහි බොහෝ දර්ශන රූගත කෙරුවේ මුහුදුබඩ ප්‍රදේශවල. නිර්මාණයට අදාළ දර්ශනතල යොදාගත් විට එය සාර්ථක වෙනවා.

රොන් සොයා සඳහා දායකත්වය දෙන රංගන ශිල්පී ශිල්පිනියන් කවුද ?

මේ සඳහා ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් රැසක් දායකත්වය සපයනවා.

ජගත් චමිල, තාරුකා වන්නිආරච්චි, මිෂෙල් දිල්හාරා, ශිරෝෂි රොමේෂිකා, අකලංක ප්‍රභාෂ්වර, දර්ශන් තවරාජ්, නෙසර සෙනෙවිරත්න, චින්තක වාස්, කුමාර තිරිමාදුර, හර්ෂිකා රත්නායක, මිහිරි සිරිතිලක, මධුෂාන් නානයක්කාර, ඉඳුවර සයාගී ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපානවා. මේ සියලු දෙනාම දක්ෂයන්. චින්තක වාස් මීට කලින් රඟපෑ ටෙලි චරිතවලට වඩා වෙනස් වූ චරිතයකින් දැකගන්නට පුළුවන්. කතාවට අනුව ඔහුගේ චරිතය රෙදි මෝලේ විජේ. ඔහු චිත්‍රපට ලෝලියෙක්. ඔහු සැබෑ ජීවිතයේ හැසිරෙන්නේත් චිත්‍රපටයක් ඇතුළේ හැසිරෙනවා වගේ. ඔහුගේ පෙනුම ඇඳුම පැලඳුම පවා චරිතේ අනුව වෙනස් විදිහකට පෙන්නුම් කරනවා. මෙහි එන තවත් චරිතයක් තමයි රාජුගේ චරිතය. රාජුගේ චරිතය රඟපාන්නේ දර්ශන් තවරාජ්. ඔහුගේ රංගනයත් විශේෂයි. රොන් සොයාහි රාජුගේ අම්මා සිංහල, තාත්තා දෙමළ. ඒ නිසා දර්ශන් තමයි ඒ චරිතයට සුදුසු කෙනා. රොන් සොයා හි රංගන ශිල්පී ශිල්පිනියන් සියලු දෙනා ඉතා හොඳීන් මේ කටයුත්ත සඳහා සහයෝගය ලබා දෙනවා. ඔවුනොවුන්ගේ චරිත වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරනවා.

ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන ඔබ සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?

බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මේ පටන් ගත්ත වැඩ කොටස නිමාකළ යුතුයි. රැල්ල වෙරළට ආදරෙයි නිමවීමත් සමඟ රොන් සොයා රූගත කිරීම් දිගටම සිදුවෙනවා. කවදා හෝ සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රොන් සොයා සාර්ථක කරගැනීම සඳහා ශක්තිය දෙන පිරිස මතක් කළොත් ?

ඔව්, බොහෝ පිරිසක් ඉන්නවා. රොන් සොයා විකාශය වෙන්නේ හිරු ටීවී ඔස්සේ. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම දෙනාටත් සහයෝගය දෙන සියලුම දෙනාටත්, රොන් සොයා රංගන ශිල්පීන්ටත් මුළු නිෂ්පාදන කණ්ඩායමටත් මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා.

ඒ වගේම මගේ දියණිය සහ බිරිඳවත් ආදරයෙන් මතක් කරනවා. ඔවුන් දැනට පදිංචි වෙලා ඉන්නේ නවසීලන්තයේ.

ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ට කුමක්ද කියන්න තියෙන්නේ ?

මුලින්ම ඔවුන්ටත් ස්තුති කළ යුතුයි. ප්‍රේක්ෂකයන් අපට ශක්තියක්. අපේ නිර්මාණ සමඟ හැමදාම රැඳීලා හිටියා වගේ රොන් සොයා සමඟිත් එකතු වෙන්න කියල ආරාධනා කරනවා. මෙය කාටත් සුදුසු වෙනස් මඟක් ගත් මෙගා ටෙලිනාට්‍යක්.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT