Home » රොකට් එකට පාර කියූ ඇදුරුතුමිය

රොකට් එකට පාර කියූ ඇදුරුතුමිය

ර/කුමර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි

by Thanushika
December 12, 2024 11:40 am 0 comment

දෙමව්පියන්ට පසු දරුවන් යහමඟට යොමු කරන්නට සිටින අනෙක් පාර්ශවය වන්නේ ගුරුවරුය. පාසැලට පා තැබූ දා සිට දරුවන්ගේ අනාගතය භාර වන්නේ ගුරුවරුන්ටයි. නිසි මඟපෙන්වීමක් කර දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දී සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමට පාර කියා දෙන මුරදේවතාවන් ලෙස ගුරුවරු හැඳීන්විය හැකිය .

දරුවා යහපත් පුද්ගලයෙක් බවට පත්කිරීමට නම් පොත පතේ දැනුමෙන් සන්නද්ධ වී තිබීමම ප්‍රමාණවත් නොවේ. බාහිර ක්‍රියාකාරකම් ද අවශ්‍යමයි. විශේෂයෙන් පාසැල් දරුවන් සෞන්දර්ය විෂය කෙරෙහි නැඹුරු කිරීමෙන් ගුණයහපත්, සංවේදී චරිතයක් බිහිකිරීමේ හැකියාව ඇත. එයට නිසි මඟපෙන්වීම කළ යුත්තේ දෙමව්පියන්ගෙන් පසු ගුරුවරුය.

තම සිසු දරු දැරියන්ව පොතේ දැනුමෙන්ම පෝෂණය නොකොට සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වලින් සන්නද්ධ කිරීමට උරදුන් අපූරු චරිතයක් පසුගිය දා මුණගැසුණි. ඇය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු නර්තනය, නාට්‍ය හා රංග කලාව භාර ආචාරිනී සකුන්තලා මුණසිංහයි.

පසුගිය දා සිංහල සිනමාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් විය. එයට හේතුව පාසැල් ළමුන් පිරිසක් එක්ව තැනූ චිත්‍රපටයක් තිරගතවීම නිසාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් එක්ව “නිම්වළල්ල” චිත්‍රපටය සිංහල සිනමාවට දායාද කළාක් මෙන් පසුගිය දා රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් එක්ව තවත් චිත්‍රපටයක් නිර්මාණයක් කිරීමය.

පසුගිය දා වැල්ලවත්තේ සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් තිරගත වීම ආරම්භ වූයේ සීවලී සිසුන් තැනූ රොකට් චිත්‍රපටයයි. සිසුන්ට ඒ සඳහා මඟ පෙන්වූයේ සකුන්තලා මුණසිංහ ගුරුතුමියයි. ඇය රොකට් චිත්‍රපටයට රංගනයෙන් දායක වීමද විශේෂත්වයක්.

” මම උගන්වන්නේ නර්තනය, නාට්‍ය හා රංග කලාව. මම සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ඉන්න කාලේ ඒ විෂයයන් ඉගැන්වීම කළත් මම දැන් රාජකාරි කරන්නේ රත්නපුර කුමර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස.

සීවලී විද්‍යාලයේ ඉන්නේ දක්ෂ සිසු පිරිසක්. ඒක මම හොඳීන් අවබෝධ කරගෙන හිටියෙ. “ස්වර්ණ හරිත” නමින් සිනමා සංගමයක් පාසැල තුළ පිහිටවල තිබුණා. ඒත් මන්දගාමී ස්වභාවයක් තමයි තිබුණේ. මම, සිනමාවට ප්‍රිය කරන දරුවන් සමඟ එකතු වෙලා ඒක සංක්‍රීය කළා. මුලින්ම අපි වීදිනාට්‍යයක් කළා. ඉන්පසුව කෙටි චිත්‍රපටයක් කළා “සේයා” නමින්.

” ස්වර්ණ හරිත” සිනමා සංගමයේ සභාපති වුණේ නඳුන් දර්ශන පේමතිලක. ඔහු තමයි සේයා පිටපත ලිව්වේ. රොකට් අධ්‍යක්ෂණය කරපු දෙනුවන් සමරසිංහ තමයි සේයා කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත්.

සේයා කළාට පස්සේ නඳුන් පුතාට ඕන වුණා සිනමාව සම්බන්ධයෙන් තවත් වැඩක් කරන්න. නඳුන් ඇවිත් මට ඔහුගේ අදහස කිව්වා. මම ඒකට හරි කැමැති වුණා. මම නඳුන්ට පොරොන්දු වුණා මගේ උපරිම සහයෝගය දෙන්න.

ඒත් මේ කටයුත්ත කරන්න කලින් විදුහල්පතිතුමාව දැනුම්වත් කරන්න අවශ්‍ය වුණා. අපි සියලු දෙනා ගිහින් විදුහල්පතිතුමාට අපේ අදහස දැන්වූවා. එවකට විදුහල්පතිතුමා විදිහට කටයුතු කළේ කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත. අපි ගුරුවරු විදිහට පාසැල තුළ ව්‍යාපෘතියක් කළ යුතුයි. ඒ අනුව මගෙත් කැමැත්ත තිබුණේ චිත්‍රපටය කෙසේ හෝ කරන්න. අපේ අදහස අහල එතුමා අපිට පූර්ණ අනුමැතිය දුන්නා. ඉගෙනීම් කටයුතු වලට බාධාවක් නොවෙන විදිහට මේ කටයුත්ත කරගෙන යන පොරොන්දුව පිට තමයි සියලු දෙනාම රොකට් චිත්‍රපටය කරන්න සැලසුම් සකස් කළේ. අපි 2022 වසරේ තමයි චිත්‍රපටය කරන්න ආරම්භ කළේ.

අපේ මුල්ම කර්තව්‍ය වුණේ චිත්‍රපටය තැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම. රොකට් ගැන අදහස ගෙනාවේ නඳුන් දර්ශන. ඔහුගේ මව ඉන්ද්‍රානි චන්ද්‍රලතා මුලින්ම රුපියල් පනස්දහසක් දුන්නේ මේ කටයුත්ත ආරම්භ කරන්න. අමිල තිලකරත්න, නිමල් ගුණරත්න යන මහත්ම මහත්මීන් රොකට් චිත්‍රපටයට නිෂ්පාදනය පැත්තෙන් දායක වුණා”.

” චිත්‍රපටයට දායක වූ සිසු සිසුවියන් විවිධ ව්‍යාපෘති කරල මුදල් සොයා ගත්තා. ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවත් සහයෝගය දුන්නා. එය අපිට විශාල දිරිගැන්වීමක් වුණා”.

” අපට මුහුණ දෙන්නට සිදුවූ ඊළඟ ගැටලුව වුණේ චිත්‍රපටය රූගත කරන්න අවශ්‍ය කැමරා උපකරණ ආදිය සොයා ගැනීම”.

” ඒ අවස්ථාවේදී අපිට මුලින්ම කැමරාව ලබා දුන්නේ ආදි ශිෂ්‍ය සම්පත් ගුණසේන මහතා. අපිට අවශ්‍ය අනෙකුත් උපකරණ කුලී පදනම මත ලබා ගත්ත”.

තම සිසු දරුවන්ට පෙරමඟ පෙන්වමින් රොකට් සිනමා නිර්මාණයට අතගැසූ සකුන්තලා මහත්මිය සැබැවින්ම ශක්තිමත්, දරුවන්ට ආදර්ශවත් ගුරුවරියක්.

රොකට් නිර්මාණ කටයුතු අවසන් වන මොහොත දක්වාම ඇය තම ගෝලයන් සමඟ රැඳී සිටියාය.

“පාසැලක සිසුන් සහ සිසුවියන් යම් බාහිර වැඩකට යොමු වුණොත් ඔවුන්ට නිසි මඟපෙන්වන්නෙක් අවශ්‍යයි. ඔවුන්ගේ වැඩ කටයුතුවලදී අපි පිටුපසින් සිටිය යුතුයි. රූගත කිරීම්වලදී මම ඔවුන් සමඟම රැඳී සිටියා. ඒ වගේම තමයි දෙමව්පියන් දිවා රෑ නොබලා රැඳී සිටියා. රාත්‍රී කාලයේ රූගත කිරීම් වලදී ඔවුන් දරුවන්ට උපරිම ආරක්ෂාව සැලස්සුවා.

“අපේ දරුවන් ඉතා කීකරුයි. හැසිරීම් අතිනුත් එලෙසමයි. රූගත කිරීම්වලදී කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සිදුවුණේ නැහැ. එය අපේ වැඩ වලට විශාල පහසුවක් සහ හිතට සැනසීමක් වුණා.

“ප්‍රධාන චරිත සඳහා සහභාගී වූ සිසු පිරිසත් සමඟ සමස්ත සීවලී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනීසිටියා රොකට් චිත්‍රපටයේ. චිත්‍රපටය අවසන් අදියරේ එහෙම දර්ශනයක් තිබුණා”.

” අපි තිර පරීක්ෂණයක් තියල තමයි තෝරාගත්තේ චරිතවලට ගැළපෙන ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ව. වැඩිහිටි චරිතවලට ගුරුවරුන් සහභාගී වුණා. ඒ වගේම ආදි සිසුන් සහභාගී වුණා”.

” චිත්‍රපටයේ දර්ශන තල සොයාගෙන අපි පිට පළාත් වලට ගියේ නැහැ. පාසැල ඇතුළේ සහ රත්නපුර නගරය සහ අවට ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදුකෙරුණේ”.

චිත්‍රපටයක් නිපදවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සීවලී සිසුන් රොකට් තැනීමේදී බොහෝ ගැටලුවලට මුහුණ දුන්හ. ඒ පිළිබඳ සකුන්තලා ගුරුතුමිය මෙසේ අදහස් දැක්වූවාය.

රොකට් තැනීමේදී අපි බොහෝ ගැටලුවලට මුහුණ දුන්නා. අපි පාවිච්චි කරපු මැෂින් නිතර නිතර කැඩුනා. අන්තිමට ණයක් අරගෙන අලුත්ම මැෂින් ගත්ත. සිනමාපටයක් කරනව කිව්වාම සුළු පිරිසකගෙන් පුංචි පුංචි බාධා ඇතිවුණා. ඒත් එවැනි බාධාවලින් අපේ වැඩේට බලපෑමක් ඇතිවුණේ නැහැ බොහෝ පිරිසක් අපිට උදව් කරපු නිසා.

” රොකට්” චිත්‍රපටයට දායකත්වය දැක්වූ සියලුම සිසුන් කුමන හෝ අංශයකට දක්ෂතාවය දැක්වූ පිරිසක්. මෙම චිත්‍රපටය තැනීමෙන් පසු ඔවුන්ට තවත් නිර්මාණයක් බොහෝම පහසුවෙන් කිරීමට හැකි දැනුමක් ලැබුණ බව සකුන්තලා ගුරුතුමිය සරසවිය හමුවේ පවසා සිටියාය.

“අපේ දරුවන් ඉතා දක්ෂයි. තිරපිටපතේ සිට සියලු දේ කළේ සීවලී දරු දැරියන්. ඒ නිසා තමයි මම නිතරම කියන්නෙ ” රොකට් ” සියයට සීයයක් සීවලී වැඩක් කියල”

” තිරපිටපත ලියපු නඳුන් දර්ශන පේමතිලක මෙහි රංගනයෙනුත් දායක වුණා. ඔහු ඒ දෙඅංශයටම දක්ෂයෙක්. ඒ නිසා නඳුන්ට රංගනය පැත්තෙනුත් ඉදිරියට යන්න පුළුවන්. ඔහුට දැනටමත් ආරාධනා ඇවිත් තියෙනවා තිරපිටපත් ලියන්න”.

දෙනුවන් සමරසිංහ මෙහි අධ්‍යක්ෂවරයා. ඔහු රඟපෑමටත් දක්ෂතාවය දක්වනවා. ඔහුටත් කවදා හෝ මඟ පෑදේවී සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට සිංහල සිනමාවේ දස්කම් දක්වන්න.

එපමණක් නෙවෙයි දෙනුවන් සංස්කරණයටත් දක්ෂයෙක්. ඒ අංශයෙනුත් ඔහුට ඉදිරියට යන්න හැකියාව තියෙනවා.

විශේෂයෙන් චන්දික ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඔහු තමයි කුඩු ජාවාරම්කරුගේ ගෝලයා විදිහට රඟපෑවේ. ඔහු ඉතාමත් දක්ෂ බව ඔහුගේ රඟපෑම් දුටු බොහෝ දෙනා කිව්වා. රංගන ශිල්පියෙක් ලෙස ඔහුටත් අවස්ථා හිමිවේවි ඉදිරියේදී. ඔහු හොඳ නර්තන ශිල්පියෙක් වගේම දක්ෂ බෙරවාදකයෙක්. රොකට් චිත්‍රපටයට සම්බන්ධ වුණු ශිෂ්‍යයාවන් කිහිපදෙනත් නර්තනයට, රඟපෑමට දක්ෂයි. රොකට් චිත්‍රපටයට සම්බන්ධ වුණ සියලුම දරුවන් දක්ෂයි.

මෙතෙක් සකුන්තලා ගුරුතුමිය කතා කළේ තම ගෝලයන් ගැන පමණි. එහෙත් සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ව දිරිගන්වා සිංහල සිනමා වංශකතාවේ සීවලී නම සනිටුහන් කරන්නට මඟපෑදූ ඇය ගැනත් ඇයගේ දස්කම් ගැන ඇය වෙනුවෙන් අප කතා කළ යුතුයි.

සකුන්තලා මුණසිංහ නර්තනය පිළිබඳ උපාධිය ලබා ඇත්තේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙනි. ඇය කැළණිය විශ්ව විද්‍යාලය මඟින් නාට්‍ය හා රංග කලාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් තැනැත්තියකි. ඇය දැනුමින්, හැකියාවන් සපිරි නර්තනාචාර්‍යනියක්. සකුන්තලා නර්තන ගුරුතුමිය සමස්ත ලංකා නර්තන ජයග්‍රහණ තම පාසැලට හිමිකර දෙන්නට සමත් වූ ගුරුවරියක්. ඇය ගැන තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතුයි. රොකට් තැනීමේදී විටින් විට මතුවූ මුදල් ප්‍රශ්න වලදී තම ස්වකැමැත්තෙන් තමාට ලැබෙන වේතනය පවා චිත්‍රපටය වෙනුවෙන් යොදන්නට තරම් නිර්ලෝභී වී ඇත. ඒ බව චිත්‍රපටයට සම්බන්ධ වු සීවලී සිසුන් පැවසූවේ ඇය ගැන මහත් වූ ආදරයකිනි.

” මම දැන් සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කටයුතු නොකළත් මට තවමත් දැනෙන්නේ සීවලී දරුවන් සමඟ ඉන්නවා වගේ. එයට හේතුව රොකට් චිත්‍රපටයේ වැඩ කටයුතුත් සමඟ තවමත් සම්බන්ධ වෙලා ඉන්න නිසා වෙන්න ඇති. ඇත්තටම මට හරිම ආඩම්බරයි සීවලී විද්‍යාලයේ ගුරුවරියක් වෙලා සිටිය අවධියේ මෙවැනි භාරදූර කටයුත්තකට සම්බන්ධ ලැබුණ එක ගැන.

රොකට් චිත්‍රපටය හදන්න අඩිතාලම දානකොට අපි හිතුවේ නැහැ අපිට මේ තරම් දුරක් එන්න ලැබේවි කියල. සීවලී දරුවන් මුළු රටේම ප්‍රසිද්ධියට පත්වේවි කියලත් හිතුවේ නැහැ . ඒ නිසා ලොකු සතුටක් සහ අභිමානයක් හිතේ තියෙනවා”.

” මම ඉල්ලා සිටිනවා රටේ අනෙකුත් පාසැල් වල දරුවන්ගෙනුත් බාධක මැද හෝ මෙවැනි නිර්මාණ කරන්න සූදානම් වෙන්න කියල”.

” රොකට් චිත්‍රපටය ඉතා සාර්ථකව රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල තිරගත වෙනව. ඉදිරියේ දී දිවයින පුරා රොකට් තිරගත වේවී”.

“අවසාන වශයෙන් මම ප්‍රේ‍ක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පාසැල් සිසු පිරිසක් විසින් නිපැයූ මේ රොකට් චිත්‍රපටය නොවරදවාම නරඹන්න” .

රොකට් චිත්‍රපටයට ඇය මඟපෙන්වූවා පමණක් නොව එයට රංගනයෙන් ද දායක වීමට ඇය ඉදිරිපත්වීම පැසසිය යුතුයි .

” මම මුලින්ම කිව්වා වගේ මගේ විෂයයන් වුණේ නර්තනය, නාට්‍ය හා රංග කලාව. ඒ නිසා මට රඟපෑම් අපහසු වුණේ නැහැ. ගැළපෙන චරිතයක් ලැබුණොත් සිනමාවට හෝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. දැනටමත් ගුරුවරියකගේ චරිතයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා”.

විශේෂයෙන් මම භාර ගන්න චරිතය ගැන මම වඩාත් සැලකිලිමත් වෙනවා. මම මගේ වෘත්තිය ගැන පළමුවෙන් හිතන්න ඕන. ඒ නිසා එයට හානියක් නොවන විදිහට ඉදිරියේ දී රඟපෑම් කටයුතු වලට සම්බන්ධ වෙන්න ආසයි. සරසවිය කතා බහට එක් වූ මේ මොහොතේ සීවලී විද්‍යාලයේ හිටපු විදුහල්පති කපිතාන් නීල් වතුකාරවත්ත, වත්මන් විදුහල්පති රොෂාන් වෙදගේ, ර/කුමර විද්‍යාලයේ විදුහල්පති පිසසිරි පතිරගේ සහ රොකට් දිවයිනපුරා ප්‍රදර්ශනය කිරීමට සහාය දෙන රොෂාන් සංජේ හේරත් සහ උපේන්ද්‍ර බණ්ඩාර මහත්වරුන්ට විශේෂ ස්තූතිය පුද කරන අතර, දරු දැරියන්, ගුරුවරුන්, සේවකයන්, ආදි සිසුන්, දෙමව්පියන් ඉතා ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම අපට රොකට් නිර්මාණය කරන්න මුදල් අතින් උපකාර කළ නිෂ්පාදන කණ්ඩායමට විශේෂ ස්තුතිය පුද කරනවා.

රත්නපුර සීවලී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔපමට්ටම් කර කවදා හෝ හෙළ සිනමාවට දායාද කරන්නට වෙර දරන සකුන්තලා ගුරුමෑණියනි ….

ඔබටත් ඔබේ ගෝල පිරිසටත් ජයෙන් ජය ම අත්වේවා !

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT