Home » රූපවාහිනිය හරහා රටට ඉටුවූ සේවය ගැන සතුටුයි

රූපවාහිනිය හරහා රටට ඉටුවූ සේවය ගැන සතුටුයි

- වැඩසටහන් අධ්‍යක්ෂ කමල් කාරියවසම්

by Thanushika
June 20, 2024 9:11 am 0 comment

දක්ෂතා බොහොමයකින් සුපෝෂිත ඔහු විටෙක පුරකයෙක් ලෙසින් අප හමුවට පැමිණේ. විටෙක වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙසින් කටයුතු කරන ඔහු පිටපත් රචනයෙන් ප්‍රවෘත්ති නිවේදනයෙන්. වැඩසටහන් සම්පාදනයෙන් ගීත රචනයෙන් ප්‍රේක්ෂක ජන ප්‍රජාව සමඟ අත්වැල් බැද සිටී. යුද පුවත් වාර්තාකරුවකු පුවත්පත් ප්‍රවෘත්ති විචාරකයකු ලෙසින් ද කලක් රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට එක් වූ ඔහු කවදත් අසීමාන්තිකව පරිසරයට සතා සිවුපාවාට ගහ කොළට ආදරය කළේය. තමන් අතින් නිර්මාණය වන වැඩසටහන් වලින් වැඩිමනක් පරිසරය අලළා නිර්මාණය කරන්නට ඔහු කවදත් ප්‍රමුඛත්වයක් දෙනු ලැබිය. මහ පොලවට බරක් නොවන ජීවන රටාවකට කවදත් කැමැත්තක් දැක් වූ අද අපේ කතා නායකයා තමන්ට ලැබෙන හැම ගුවන් කාලයකදීම උත්සාහ ගනු ලැබුවේ මිනිසුන්ට හරවත් යමක් දී දැනුම්වත් නැණවත් මිනිසුන් පිරිසක් බිහි කරන්නටය. ලියන කියන කරන කෙනෙක් ලෙසින් බොහෝ හැකිවයාවන්ගෙන් පිරිපුන් ඔහු ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙසින් මාධ්‍ය මෙහෙවෙරේ නියැළෙන හේ ඔහු නමින් කමල් කාරියවසම්ය.

කමල් කොයි වගේ පුද්ගලයෙක් කියා ද මම ඔබව හඳුන්වනවා නම් වඩාත් සුදුසු?

ලියන කියන කරන කෙනෙක් කිව්වොත් මම ගැන ඒ වචන තුළ ගොඩක් දේ ලියවිලා තියෙනවා කියල මම හිතනවා.

ජාතික රූපවාහිනිය තුළ මම වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස කටයුතු කරනවා. බොහෝවිට වැඩසටහන් නිෂ්පාදකවරයාම තමයි එහි අධ්‍යක්ෂකවන්නෙත් මම. මේ වැඩසටහන් නිෂ්පාදක කියන භූමිකාව තුළ හිදිමින් පිටපත් රචකයෙක් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් (නිවේදකයෙක්). මගේ වැඩසටහන් නිෂ්පාදනයේ ද මම ඒ සඳහා අංශ කීපයකින් විශාල කාර්ය භාරයක් සිද්ධ කරනවා. පිටපත් ලිවීම, හඬ මුසු කිරීම, ඉදිරිපත් කිරීම සංස්කරණ ශිල්පියෙක් සමඟ එය සංස්කරණය කිරීම වැඩසටහන් නිෂ්පාදනයට අවශ්‍ය සෑහෙන කාර්ය භාරයක් මගේ අතින් මට ඉෂ්ට කර ගන්න පුළුවන්. මම එහෙම කිව්වහම කාටවුණත් මම පවසන දේ තේරුම් බේරුම් ඇතුව වැටහෙයි.

ඔබ ජාතික රූපවාහිනිය හා අත්වැල් බැඳ ගන්නේ කොයි කාලයේද, කවුරු හැටියටද?

2004 වර්ෂයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයේ සහකාර නිෂ්පාදකවරයෙක් ලෙස තමයි මම ජාතික රූපවාහිනියට පා තබන්නේ. ඊට පස්සේ වසර කීපයකට පස්සේ මම වැඩසටහන් නිෂ්පාදක තනතුරට උසස්වීමක් ලැබෙනවා. මේ වනවිට වසර විස්සක් මම ජාතික රූපවාහිනියේ කටයුතු කරල තියෙනවා.

ජාතික රූපවාහිනියත් සමඟ මෙපමණ කාලයක් ඔබ රැදී සිටිමට හේතු වූ කරුණු කාරණත් ඇති නේද?

2004 වසරේ මම ජාතික රූපවාහිනියට එකතු වූ කාලයේම ජාතික රූපවාහිනිය අතිමහත් ජාතික මෙහෙවරක් සිද්ධ කළා. මුළු රටටම ප්‍රවෘත්ති කියන ගමන් දැවැන්ත ප්‍රජා සත්කාරක සේවයක් සුනාමි ව්‍යසනය සමඟ ජාතික රූපවාහිනිය කිසිදු තනතුරු තානාන්තර භේදයකින් තොරව සහාපතිතුමන් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සංස්ථා සේවක ප්‍රජාවම මුළු රටේට ආදරණීය ජනතාව වෙත හෙළු ආදරණීය බැල්ම ප්‍රජාසත්කාරය වෙනුවෙන් මටත් නායකත්වය දෙන්න ලැබුණා. එවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසකට එදා මෙදාතුර අද දක්වාම මම දායක වෙලා තියෙනවා. මේ සිදුවීම මට ජාතික රූපවාහිනියත් එක්ක බැඳෙන්න තීරණත්මක සාධකයක් වුණා.

ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයේ සියලු දේශපාලන පරිවර්තන සිදුවන අවස්ථාවන් හිදී ඒ සඳහා සක්‍රියව කියන්න ඉදිරිපත් කරන්න. දායක වන්නේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකය මෙහිදී මම කාලීන දේවල් එක්ක සංවේදී වෙමින් පුවතකට වැඩි යමක් කරන්න. මෙරට ජනතාව දැනුම්වත් කරන්න නැණවත් කරන්න හරවත් යමක් දෙන්න මම උත්සාහයක නිරත වුණා.

දෙවන නිදහස් අරගලයේ යුද වාර්තාකරුවකු විධියට ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකය නියෝජනය කරමින් මට දායක වෙන්න ලැබුණා. උතුරු නැගෙනහිර නාවික මෙහෙවර පිළිබඳ මුළු රටේම ජනතාව දැනුම්වත් කරපු ප්‍රමුඛ කාර්ය භාරය ඉටු කළේ ජාතික රූපවාහිනීය.ඒ කටයුත්තේ නිෂ්පාදකවරයා හා නිවේදකයා වුණේ මම. ඒ සඳහා මාත් සමඟ ජාතික රූපවාහිනියේ කැමරා ශිල්පීන් කැමරා සහායකයින් රියදුරන් දායක වුණා. මගේ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස චන්දන සෙනෙවිරත්න ගුවන් හමුදාව අමල් සමන්ත, සමන් කුමාර රාමවික්‍රම යුද හමුදාව මම නාවික හමුදාව වාර්තා කළා. සමස්ත හමුදාවම ආවරණය වන පරිදි ප්‍රශෂ්ථම යුද වාර්තාකරණය කරන්න අපේ කණ්ඩායමට හැකිවුණා. දෙවන නිදහස් අරගලය විජයග්‍රහණයකින් නිමාකරනවා කියලා ප්‍රමුඛව රටට කිව්වේ ජාතික රූපවාහිනිය.

මගේ මාධ්‍ය ජීවිතයේ වැඩියෙන්ම සතුටු වන තීරණාත්මක සංදිස්ථානයක් තමයි උතුරු නැගෙනහිර නාවික මෙහෙවර සඳහා සම්බන්ධ වීම. මගේ කාර්ය ජාතික රූපවාහිනිය හරහා රටට කළා කියල ආත්ම තෘප්තියක් අදටත් මට තියනවා.

වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් ඔබ කටයුතු කළා නේද?

කාලයක් මම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් කටයුත කළා. අපේ උරුමය උරුමයක මහිමය අපේ හර පද්ධතීන් අපේ සම්ප්‍රදායන් අපේ අස්පර්ශනීය උරුමය ගැන කියවෙන අපේ ගම වැඩසටහනේ ආරම්භක නිවේදකයා වුණේ මම. මේ වැඩසටහන ආචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ සංකල්පයක් අනුව තමයි නිර්මාණය වුණේ.

නොයෙක් වැඩසටහන්වල විශේෂයෙන් සජීවි විකාශයන් තුළ මම නිවේදකයෙක් ලෙස කටයුතු කළා. 2004 වසරේ සිට 2022 වසර දක්වා උදෑසන පුවත්පත් විග්‍රහය ඉදිරිපත් කිරිමේ නිවේදන කටයුත්ත කළා. ජාතික රූපවාහිනිය තුළ වැඩිම කාලයක් පුවත්පත් විග්‍රහය ඉදිරිපත් කරපු පුද්ගලයාත් වන්නේ මම.

වාර්තා වැඩසටහන් එහෙමත් ඔබ අතින් නිර්මාණය වෙනවා නේද?

2015 වසරේ මම වාර්තා වැඩසටහන් අංශයට සම්බන්ධ වෙනවා. එහිදී මම නිෂ්පාදනය කරන තවලමෙන් කතරගමට වාර්තා වැඩසටහන ඒ වසරේ රයිගම් සම්මාන උලෙළේ දී වසරේ හොඳම වාර්තා වැඩසටහන හැටියට සම්මාන ලබනවා. රූපවාහිනියට සම්මාන රැසක් ගෙනා ජ්‍යෙෂ්ඨ නිෂ්පාදයන් රැසක් සමඟ තමයි මම වාර්තා වැඩසටහන් ඒකකයේ වැඩ කරන්නේ. ඔවුන් සමඟ එකතුවෙලා අද දක්වා වාර්තා වැඩසටහන් ඒකකයේ වාර්තා වැඩ සටහන් රැසක් නිෂ්පාදනය කරල තියෙනවා. දෙහිපිටියේ පොල්පිටිය අස්පර්ශනීය උරුමයන් පිළිබඳ බලිතොවිල් ශාන්තිකර්ම පිළිබඳ සඳහන් වැඩ සටහනක් යුධ හමුදාවේ කාන්තා බලකාය නාවික හමුදාව, ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා වැඩසටහන් රාශියක් කරල තියනවා. කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් වාර්තා වැඩසටහන්, තෙත් බිම් ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම වෙනුවෙන් දයාලූ දියාලුවෝ නමින් වාර්තා වැඩසටහන් මාලාවක් මම කරල තියනවා.

විවිධ මාතෘකා ඔස්සේ වැඩසටහන් නිෂ්පාදනය කරමින් ජන මනසට ආමන්ත්‍රණය කරන කමල් කාරියවසම් පෞද්ගලික ජිවිතයෙත් බොහෝ සේ පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් කියන්නේ ඇත්තද?

නිරන්තරයෙන් ඊයේ අද මෙන් හෙටත් පෞද්ගලික ජීවිතයෙත් මාධ්‍ය ජීවිතයෙත් පරිසරය වෙනුවෙන් ඇප කැප වෙන පුද්ගලයෙක් මම. පරිසරයට අපි සදාකාලිකව ණය ගැතියි. මේ පරිසරය මිනිස්සුන්ගේ අවභාවිතා නිසා බරපතළ විධියට හානි වෙනවා. සමස්ත පරිසරයට මිනිසා දැන හෝ නොදැන වේගයෙන් විනාශයට පත්කරමින් ඉන්නවා. එතකොට අපි වගේ වේදිකාවක ඉන්න මිනිස්සු හඬක් නැගීම තුළ ජනතාවගේ ඇස්කන් ඇරවීමට හේතුවක් වෙනවා. ඒ වෙනුවෙන් මට හමු වූ ජාතික රූපවාහිනියේ ජාතිකවේදිකාව මම පාවිච්චි කරනවා. ජනතාව දැනුම්වත් කරන්න නැණවත් කරන්න සහ පරිසර සංරක්ෂණයට පොලඹවන්න.

ඇත්තද මේ බිරියත් ඔබත් එකතු වී පරිසර සංරක්ෂණය ප්‍රායෝගිකව පෞද්ගලිකවම කරනවා කියන්නෙත්?

මමත් බිරියත් එකතු වී මේ රටට හෙවණ දෙන්න ගස් වැල් සමුහයක් කොළඹත් රට වටේත් හිටවනවා. පෞද්ගලිකව ඒකෙන් මම විශ්වාස කරන්නේ ඉර කොච්චර සැර වුණත් ගහක් යට හීතලයි කියන සංකල්පය මත පදනම් වෙලා මේ කටයුත්ත කරන්න. ගස් සිටවන්න උචිත බිම් කඩවල් තෝරාගෙන ඒවායේ ගස් සිටවනවා. කොහේ හෝ චාරිකාවක් අපි දෙන්නා ගියොත් අපි වාහනයේම පැළ ගෙනහින් හිමිකරුවන් ගේ අවසරය පරිදි ගස් හිටවනවා. පසුගිය වෙසක් පෝය දවසෙත් එවැන්නක් කළා. පමුණුව පාරේ ඉඳල එනකොට වැව ළඟ ජයවර්ධනපුර රෝහලට හැරෙන තැන පාර දෙපස තියෙන්නේ මමත් බිරියත් හිටවපු මී, කුඹුක් ගස් යායක්.

ඉරිදා ආයුබෝවන් වැඩසටහන නිෂ්පාදනය වන්නෙත් ඔබේ දායකත්වය තුළ ද?

සෑම මසකට පළමු සතියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන නිෂ්පාදනය වන්නේ අපේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදිකා මයුරි වානගුරු හා මගේ දායකත්වය මත. අපි දෙන්නා හැමවිටම පරිසරයටත් කලාවටත් කලාකරුවන්ටත් සාහිත්‍යයටත් මුල් තැන දෙමින් කරපු වැඩසටහන් රාශියක් ගෙවුණු වසර වල ඉදිරිපත් කරලා තියනවා. මේ මාතෘකා තුළ වැඩි ඉඩක් අපි වෙන් කළේ මේ කාලීන මාතෘකා වෙනුවෙන්. කඩොලාන පරිසරය ගැන කියන්න ආන විලුන්දාව සිට අපි දෙන්නා සජීවී විකාශයක් ගෙන ආවා. පසුගිය ලෝක පරිසර දිනය වෙනුවෙන් එහිදී නිවේදන කටයුතු කළෙත් මම.

පරිසරයට මෙතරම් ආදරය කරන්න ඔබව කවුරුන් හෝ පෙලඹේව්වද?

පුංචි කාළේ ඉඳලා මම ගස්වැල් වලට ආදරය කළා. ඇළ දොළ සතා සිව්පාවට ළැදියාවක් තිබුණා. මේ ආශාව තවත් වේගවත් වුණා. මගේ බිරිය අනුෂා ගොඩකන්ද හමුවීමත් සමඟ ඇය උඩහමුල්ල විජයරාම මහා විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. බිරියගේ සිතුම් පැතුම් බොහෝ විට මගේ සිතුම් පැතුම් සමඟ සමීප බවක් තිබුණා. ආචාර්ය ඩබ්ලිව්. විජේසිංහ තෙත්බිම් සම්බන්ධයෙනුත් මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි කඩොලාන පරිසර පිළිබඳවත් අපිව දැනුම්වත් කිරිමේ සුවිශාල කාර්ය භාරයක් සිද්ධ කළා.

මේ දවස්වල කමල් සුවිශේෂි කාර්ය භාරයකත් නිතර වෙලා ඉන්නවා නේද?

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයත් සමඟ එකතු වී අපේ අස් පර්ශනීය උරුමය පිළිබඳ වාර්තා වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කරනවා. යුනෙස්කෝවේ සංරක්ෂණය උදෙසා ඒ යටතේ කරන වැඩසටහන් වලින් දෙකක් මේ වෙනකොට නිෂ්පාදනය කරල ඉවරයි. අතට හසුනොවන දිගුකාලීන අපේ උරුමයන් වී තිබු දැනට වේගයෙන් අපෙන් බැහැර වෙලා යන අභාවයට යන අපවිසින් රැක ගත යුතු මතු පරපුරට දායාද කළ යුතු අපේ දැනුම උරුමය අස්පර්ශණීය ජාතික උරුමයන් පිළිබඳ සංරක්ෂණ පෙළක් මෙතනදී අපි කරන්නේ. ඒ යටතේ මම කළා. වප් මඟුල වාර්තා වැඩසටහනක් හා මාතර කඹුරුගමුවේ ගම්මැද්ද පොල්පිටිය හා ගම්මඩුව මේ වැඩසටහන් දෙකම අපි මේ වෙනකොට යුනෙස්කෝවට යවල තියෙන්නේ. වප්මඟුල තුළ අපේ පාරම්පාරික වප් මඟුල් චාරිත්‍ර විධි පිළිබඳවත් මාතර කඹුරුගමුවේ ගම්මැද්දේ වසර පහකට සැරයක් පැවත්වෙන අතිශයින් ජනපි‍්‍රය මුළු පුරවරයක් විසින් කරන සංස්කෘතික මංගල්‍යයක්. මේක ගමේ සාමාදානය අභිවෘද්ධිය සඳහා තමයි මේක කරන්නේ. ඒ අයට අනනා්‍යවූ පාරම්පරික නර්තන අංග රැසක් සමඟ දකුණට අනන්‍ය වූ පහතරට නර්තන සම්ප්‍රදායන් රැසක් වෙස්මුහුණු කෝලම් මුහුණ පැලඳවීම ආදිය තුළින් ඔවුන්ගේ පාරම්පාරික උරුමය ප්‍රකට කරන කාර්යන් ඔවුන්ගේ පාරම්පාරික උරුමය තුළ දකින්න තිබුණා.

ඔබ රැකියාවේ නියුතු ජාතික රූපවාහිනිය සැබැවින්ම ජාතික උරුමයන් රකින සංරක්ෂිත ආයතනයක්?

මම හිතන්නේ නෑ මේ වගේ ජාතික වගකීමක් කිසිම මාධ්‍යයකට කරන්න පුළුවන් කියල. ඒ වගකීම හරියටම කරන්න පුළුවන් එකම තැන ජාතික රූපවාහිනිය ඒ සඳහා සම්පත් තියන ශ්‍රම බලය තියන එකම තැන ජාතික රූපවාහිනීය වියැකී යන අපේ උරුමයන් පිළිබඳ කළ දළදා තේවාව, තල්පත් ලිවීම, කිරි අම්මාවරුන්ගේ දානය, වෙස් මුහුණු කර්මාණ්තය ආදී නොයෙක් වැඩසටහන් රාශියක් ලෝකයා ඉදිරියේ ජාතික රූපවාහිනිය කරල තියනවා සැබැවින්ම ඒක ආඩම්බරයට කාරණයක්.

කුඩා කල පටන් ඔබේ ගීතයක් තිබුණ ද කවදා හෝ මාධ්‍ය ජිවිතයේ ගමනක් යන්න?

මම ඉපදුනේ ගාල්ල ඇල්පිටියේ ගා /වත්තහේන කණිෂ්ඨ විද්‍යාලය, ඇල්පිටිය ආනන්ද කනිෂ්ඨ විද්‍යාලය, ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය පාසල්වලින් පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මගේ අතට මුලින්ම මයික්‍රෆෝනයක් අතට දීලා නිවේදනයට මට ආරාධනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න සර්. මගේ විශ්ව විද්‍යාලයේ හැටවන සංවත්සරය වෙලාවේ එහි නිවේදකයා බවට පත්වුණේ මම. සුනිල් ආරියරත්නයන්ගේ ගී පැදුර ඇතුළු සංස්කෘතික උලෙළ රැසක මට නිවේදක කටයුතු කරන්න ලැබුණා. අදටත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විවිධ වැඩසටහන් සඳහා ආරාධනා ලැබෙනවා. නිවේදන කටයුතු වෙනුවෙන් ඒ හැම දෙයක්ම මම සතුටින් භාරගෙන ඉටු කරනවා.

නිවේදකයෙක් ලෙස ඔබට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

එළිමහන් වේදිකාව මම එතරම් රුචි කරන්නෙ නෑ. නමුත් ගෘහස්ථ ප්‍රසංග සංස්කෘතික කටයුතු වෙනුවෙන් කෙරෙන උත්සව අවස්ථා මම බොහොම කැමැත්තෙන් නිවේදන කටයුතු භාරගෙන ඉටු කරනවා. එතනදී මට බොහෝ විට ප්‍රේක්ෂක ප්‍රතිචාර සජීවිව අත්විඳින්න ලැබිල තියෙනවා. ඒ සජිවී බව රූපවාහිනී මාධ්‍ය තුළ ලබන්න අපහසුයි. ලැබෙන රසික ප්‍රතිචාර ගැන මම බොහොම සතුටින් ඉන්නවා. කමල් කාරියවසම් කියන පුද්ගලයා රූපවාහිනිය තුළ පසුකළ කඩඉම් තමයි පුවත්පත් විචාරකයන් ලෙස මැදිහත් වීම මව්බිමේ තීරණාත්මක මොහොතේ යුද පුවත් වාර්තා කරුවකු ලෙසින් කටයුතු කිරීම විශේෂයෙන් ගොඩබිම් යුධ පුවත් වාර්තාකරණයට බොහෝ අය යොමු වෙද්දී නාවූක ක්ෂේත්‍රය ගැන අමතක කරන කොට මට ඒ සඳහා ඉදිරිපත්ව නාවික මෙහෙවර වාර්තා කිරීම. ඒක මම දකින්නේ මාධ්‍යකරුවෙකුට ලැබෙන ඉතා විරල අවස්ථාවක් හැටියට ඒ බිහිසුණු අවස්ථාව කැමරාකරුවන් සමඟ මම ඉටු කළා. මට හැදෙන හැම ගුවන් කාලයකින්ම මම උත්සාහ ගත්තේ මිනිස්සුන්ට හරවත් යමක් දෙන්න. රසවත් හරවත් යමක් දීල නැණවත් දැනුම්වත් මිනිස්සු කරන්න මම හැමවිටම උත්සාහ ගන්නවා.

රූපවාහිනී මාධ්‍යයට ප්‍රවේශවෙන්න කලින් ඔබ ගුවන්විදුලි මාධ්‍යයේ නිවේදකයෙක් ලෙසත් ශ්‍රාවකයන් අතරට ආවා නොවේද?

ගුවන්විදුලි නිවේදයෙක්, වැඩසටහන් සම්පාදකවරයෙක්, පිටපත් රචකයෙක් ප්‍රවෘත්ති නිවේදකයෙක්. මගේ ජීවිතයේ ස්වරණමය යුගය තමයි ගුවන් විදුලි මාධ්‍ය ජිවිතය මම ගුවන් විදුලි නිවේදකයෙක් ලෙස ගමනක් අරඹන්නේ සවන ගුවන් විදුලියෙන්. ඒ 1998 දී ජැක්සන් ඇන්තනී මහතාගේ ආරාධනයෙන් සවන ගුවන්විදුලියත් සමඟ මම එකතු වෙනවා. 96 දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර 97 දී පශ්චාත් උපාධිය අවසන් කර තමයි මම 98 දී සවන හා අත්වැල් බැද ගන්නේ. එදා මාත් සමඟ වසන්ත දුක්ගන්නාරාල, සෞම්‍ය ලියනගේ, සංජිව පුෂ්පකුමාර, තනුජ් හේමන්ත කළුගල්ල, සවන ගුවන් විදුලියට එක්වෙනවා. එහිදී අපිව රාජකාරීමය වශයෙන් භාරවෙන්නේ ආසිරි පි‍්‍රයන්ත මුම්මුල්ලගේ නම් වූ ජ්‍යෙෂ්ඨ නිවේදක මහතා වෙත.

සවන ගුවන් විදුලියත් ජැක්සන් ඇන්තනී කියන පුද්ගලයාත් ඔබගේ ජිවිතයේ අමතක නොවන නාමයන් දෙකක් කිව්වොත්?

මගේ මාධ්‍ය ජීවිතයේ ගුරුතරුව තමයි ජැක්සන් ඇන්තනී මහතා. ඔහුගෙන් මට මාධ්‍ය ජීවිතයේ ලැබුණු දැනුම සදාඅනුස්මරණීයයි. ඔහු ලබාදුන් ගුරුහරුකම් ආදරය වගකීම තාම මගේ ජිවිත කාලයේ පුරා අමතක නොකරන මතකයන් එතුමන් අපිට කිව්වේ නිවේදකයා දැන උගත් ලෙන්ගතු කෙනෙක් වෙන්න ප්‍රේක්ෂකාගාරයට කියලා ඒ දුන්න උපදේශය අදටත් මම භාවිතයේ තියාගෙන ඉන්නවා. ජැක්සන් ඇන්තනී කොයිවෙලාවෙත් කිව්වේ වඩා හොඳ දෙයක් තිළිණ කරන්න කියලා.

සවන තුළ ඔබ ශ්‍රාවකයන් අතරට එක්වන්නේ?

සෑම රාත්‍රියකම විකාශය වූ එන්න මද නලේ ආදරණීය හෝරාව සජීව තත්ත්ව විස්තරයන් තුළින් ශ්‍රාවකයන් අතරට ආවා. ඊට පස්සේ සවන ගුවන් විදුලිය ආයතනික පරිපාලන තීරණ මත ශ්‍රි එෆ් එම් වුණා. එහිදී ශ්‍රී ගමින් ගමට වැඩසටහන කළා. ඉන්පස්සේ ශ්‍රි එෆ් එම් රජ එෆ් එම් වුණා. එහිදී මම උදෑසන ගුවන් විදුලි වැඩසටහන කළා. රජ එෆ් එම්. ගුවන් විදුලියේ පළමු ප්‍රවෘත්ති නිවේදකයා වුණෙත් මම. රජ රඟමඬල නමින් සිනමාව කලාව පිළිබඳ මම වැඩසටහනක් කළා. සමස්ත සියලු කලාකරුවන් ඒ වැඩසටහනට සහභාගි වුණා.

නිවේදකයෙක් වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස හැරුණු කොට ඔබ ගීත රචකයෙක් ලෙසිනුත් කලා ක්ෂේත්‍රයේ වැජඹෙන පුද්ගලයෙක්?

ගුවන් විදුලි මාධ්‍ය තුළ කටයුතු කරන කොට මම ගොඩක් කලාකරුවන් හඳුනාගන්න ලැබුණා. ඒ අතරින් මම කීර්ති පැස්කුවල් මහතාට ගීත කීපයක් රචනා කළා. සරා ගී දැසේ… මේ රෑ මා ළඟින් ඉන්න… නමින් ඔය වගේ තව ගායක ගායිකාවන් කීප දෙනෙකුටම මම ගීත ලියල තියෙනවා. ගුණදාස කපුගේ, කීර්ති පැස්කුවෙල්, මහින්ද බණ්ඩාර, නවරත්න ගමගේ ඒ ගීත සඳහා තනු නිර්මාණය කරල තියනවා.

ඔබේ බිරිය අනුෂා ඔබට හම්බවෙන්නෙත් මේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දී ද?

නෑ. අපි දෙන්නාම ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ බැජ් එකේ ඇය ආර්ථික විද්‍යා උපාධිධාරිණියක්. අදත් මම කරන වැඩසටහනක් රසවත් කරගන්න දුර්ලබ ගීතයක් පිළිබඳවත් කලාකරුවන් පිළිබඳවත් තොරතුරත් අහගන්නේ මගේ බිරිඳගෙන්…

ඔබ වඩාත් රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ?

යුද පුවත් වාර්තාකරුවකු හැටියටත් කාලයක් උදෑසන පුවත්පත් ප්‍රවෘත්ති විශ්ලේෂකයකු ලෙස කටයුතු කළ ‘පත්තර කමල්’ හැටියටත්.

මාධ්‍ය ක්ෂේත්‍රයට ඔබට පාර කිව්වෙත් ඔබේ බිරිය කියල ආරංචියි?

ඒක ඇත්ත. මම පුංචි කාලෙ කථික තරඟවලින් ජයග්‍රහණය ලබල තියනවා. විශ්වවිද්‍යාලය තුළ මහා ශිෂ්‍ය සංගමයේ කථිකයෙක් වුණ මට විශ්වවිද්‍යාල භූමිය තුළ ඕනෙම වැඩකදී මයික් එක ලැබුණේ මගේ දෑතට. කොහොම හරි සවනට ඇප්ලිකේෂන් එක දැම්මෙත් මගේ බිරිය. සවන ගුවන් විදුලියට නිවේදකයන් ගන්න. දැන්වීම් පළ කරල තිබුණා. ඒ දැන්වීමකට තමයි මගේ බිරිය අනුෂා මගේ ඇප්ලිකේෂන් එකක් සවනට යවල තිබුණේ. ජෝ අබේවික්‍රම මහතා තමයි මාව සවන ගුවන් විදුලියේ ජැක්සන් ඇන්තනී මහතා ළඟට යවන්නේ. මගේ බිරියගේ ලොකු මාමා තමයි ජෝ අබේවික්‍රම සවනට මාව ගන්න ජැක්සන් ඇන්තනී මහතා මාව ඉන්ටවිව් කළා. පැයකට වැඩිය ඒ සම්මුඛ පරීක්ෂණය පවා මාධ්‍ය පාඨමාලාවක් වුණා. මගේ සකල දැනුමම ඔහු පිරිස්සුවා. ඊට පස්සේ ඔහු මම එදාම ප්‍රතිඵලයල ලබාදුන්නා. මෙහෙම කියමින් ජෝ මහත්තයා එවපු නිසා නොවෙයි. මට ඔයාව ගන්නේ ජෝ මහතාතයා එවපු කෙනෙක් මම හරවල යවන්නෙත් නෑ. ඒවගේම තමයි මට හරවල යවන්නතරම් කෙනෙක් ජෝ මහත්තයා එවන්නෙත් නෑ. කොහොම හරි ජැක්සන් ඇන්තනී මහතාගේ අවමංගල උත්සවයේ සජීවි දත්ත විස්තර රූපවාහිනියට ගෙනාවෙත් මගේම හඬින්.

අපේ රටේ මිනිස්සුන්ට ටෙලිවිෂන් සංස්කෘතිය කියා දුන්න ඇසි දිසි සන්නිවේදනයේ පුරෝගාමීන්ගේ පූජා භූමිය වූ ජාතික රූපවාහිනිය වගේ තැනක ගත කරන්න ලැබීම මගේ ජීවිතයේ මා ලැබු භාගයක්. ඒ මඟ හැරුණු ආඩම්බරය නැවත කැන්දාගෙන ඒම තමයි අපි හැමෝගෙම ඒකායන බලාපොරොත්තුව.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT