ඉන්දියානු ජනප්‍රිය සිනමා ධාරාවෙන් (indian popular cinema) විතැන්ව විකල්ප සිනමාවක් ලෙස ඉන්දියානු සමාන්තර සිනමාව (indian popular cinema) මහඟු කාර්යභාරයක් ඉටු කරන ආවෙිණික ලක්ෂණ සහිතව ගතිකබවින් පරිපූර්ණවූවකි. 1980 දශකයේ සිටි ශ්‍යාමි බෙනෙගල්, ගෞතම් ඝෝෂ්, ගුල්සාර්, අදූර්ගෝපාල් ක්‍රිෂ්ණන් වැනි සම්භාව්‍ය සිනමාව පෝෂණය කළ සිනමාකරුවන් අතර ෂාජි කරුන් වැදගත් සිනමාකරුවෙක් විය. ඉන්දියානු විකල්පධාරි සිනමාවේ සුප්‍රකට මලයාලමි සිනමාකරුවකු වන ෂාජි එන්. කරුන් පසුගිය 28 වැනි දින තම දිවි සැරියට සමු දුන් බව සැළ විය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 73කි. ඉන්දියානු සිනමාව තුළ ෂාජි එන්. කරුන් නම් අපුරු සිනමාකරුවාගේ අනන්‍යතාවය සිදුවන්නේ වර්ෂ 1988 දී අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් චිත්‍රපටය වන ‘පිරව්’ චිත්‍රපටයත් සමඟය. එය ඉන්දියාවේ පමණක් නොවේ. ලාංකේය ප්‍රේක්ෂකාගාරයට වඩාත් සමීප වූ ජනප්‍රිය චිත්‍රපටයක් විය.
ප්‍රේක්ෂකයාගේ වින්දනයට, විඥානය අවදිකරනු වස් බිහි වූ සෙලියුලොයිඩ් පටය සිය ආත්මය කරගත් ‘ෂාජි එන්. කරුන්’ හෙවත් ‘ෂාජි නීලකාන්තන් කරුණාකරන්’ සිනමාකරුවා උපත ලබන්නේ වර්ෂ 1952 ජනවාරි 1 වැනිදා අලුත් අවුරුදු දිනයේ ඉන්දියාවේ කේරළයේදී ය. වර්ෂ 1963 දී ඔහු තිරුවානපුරම් විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඉන්දියාවේ චිත්‍රපට හා රූපවාහිනී ආයතනයට ඇතුළත් වූ අතර එහිදී ඔහු සිනමා කැමරාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගන්නේ අනාගතයේ සිනමාකරුවකු ලෙස පත්වීමේ අභිලාෂය ඇතිවයි.
ෂාජි අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගොනුව අතරින් ‘පිරවි’ චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපටය විය. ‘පිරවි’ චිත්‍රපටය වර්ෂ 1989 දී පැවති ප්‍රංශයේ කෑන්ස් සම්මාන උළෙලෙහි ‘කැමරා ඩී ඔර්’ සමිමානය දිනා ගනු ලැබීය. එමෙන්ම වර්ෂ 1989 දී එක්සත් රාජධානියේ පැවති ‘එඩින්බර්ග් අන්තර්ජාතික සමිමාන උළෙලෙහි ‘සර් චාලි චැප්ලින්’ සම්මානය හිමි විය. පිරවි චිත්‍රපටයේ කතාව අනුවේදනීය වූ එකකි. උසස් අධ්‍යාපනය වෙනුවෙන් නගරය වෙත බලා ගිය රඝූ නැවත නිවස වෙත පැමිණෙන්නේ නැත. රඝුගේ පියා ඔහු නිවස පැමිණෙතෙක් මඟ බලා සිටිති. පියා තම පුත්‍රයා වෙනුවෙන් මානසික අරගලයක යෙදී සිටිති. ආත්මය බඳු තම දරුවාගේ අහිමිවීම පියෙකු කෙසේ නම් දරාගන්නද? ෂාජි විසින් ‘පිරවි’ හරහා ගෙන එන්නේ මිහිපිට සිටින පියෙකුහට තම දිවියෙහි කිසිසේත්ම සිදු නොවිය යුතුම සිදුවීමක තත්ත්වයකි. පිරවි චිත්‍රපටය මෙරට වඩාත් ජනප්‍රියවන්නේ ලංකාවේ පුද්ගලයන් අතුරුදන්වීම් සම්බන්ධ පුවත් වඩාත් සුලබ නිසා ය. ‘පිරවි’ චිත්‍රපටය සඳහා පාදක වූයේ සත්‍ය සිදුවීමක් ඇසුරින් බව බොහෝ දෙනා නොදනී.
කේරළයේ කැලිකට් ප්‍රාදේශිය ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු වී සිටිය දී එවකට ඉන්දියාවේ ජනාධිපති වූ ඉන්දිරා ගාන්ධි විසින් පනවන ලද හදිසි නීති සමයේ අතුරුදහන් වූ රාජන් වාරියර් පිළිබද අනුවේදනීය සිදුවීම ‘පිරවි’ තිර පිටපත ලියන්නට පාදක වී ඇත. ඉන්දිරා ගාන්ධි විසින් එසේ හදිසි නීතිය පැනවීම හරහා ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ නැක්සලයිට්වාදින් මෙල්ල කිරිමේ අරමුණ විය. එම නිසා තරුණයන් රැසක් අත්අඩංගුවට ගත් අතර එයින් බහුතරයක් දෙනා අතුරුදහන් විය. එලෙස අතුරුදහන් වූ තරුණයෙක් වන රාජන්ගේ සිදුවීම ඔහුගේ පියා විසින් ප්‍රශ්න කරනු ලැබ ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයට හේතු විය.
ෂාජ් එන්. කරුන් ඉන්දියානු සිනමාවේ නමක් දිනා සිටියේ කැමරා අධ්‍යක්ෂවරයෙකු ලෙසිනි. එම්. ටී. වාසුදේව නායර්, ජී.අරවින්දන්, අධූර් ගෝපාලක්‍රිෂ්ණන් වැනි සුප්‍රකට සිනමාකරුවන් කිහිප දෙනකුගේ චිත්‍රපට කිහිපයකම කැමරාව මෙහෙයවා තිබුණේ ෂාජි විසිනි. ඔහුගේ කුට්ටි ශ්රන්කු චිත්‍රපටයේ ලාංකේය සිනමාවේ ජනප්‍රිය නිළි මීනා කුමාරි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම ලාංකිකයන් වන අපට විශේෂිත මොහොතකි. කිහිප වතාවක්ම ලංකාවට පැමිණි ෂාජි අවසන් වතාවට ලංකාවට පැමිණියේ 2019 වසරේ යාපනයේ පැවති අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසිනි.
සිය දිවියේ හොඳම අවධිය සිනමාව වෙනුවෙන් කැප කළ ඔහුගේ ජීවිත කාලය තුළ නිර්මාණය කළ වෘතාන්තමය චිත්‍රපට හතකි. එනම් පිරවි (1988), ස්වහම්(1994), වානප්රස්තම් (1999), Entertainment (2002), කුට්ටි ශ්රාන්කු (2010), ස්වපනම් (2014) සහ ඕලු (2018) යන චිත්‍රපට වේ. තවද ඔහු කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට දුසිමක් පමණ නිර්මාණය කළේය. චිත්‍රපට නිර්මාණයට අමතරව, ෂාජි කරුන් බොහෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළේය. 1998 සිට 2001 දක්වා අන්තර්ජාතික කේරළ චිත්‍රපට උළෙලේ (ධ්ජ්ජ්ම්) විධායක සභාපතිවරයා වූයේ ද ෂාජි කරුන් ය. ඉන්දියාවේ ප්‍රමුඛතම සිනමා සහ ටෙලිවිෂන් අධ්‍යාපනය පිළිබඳ ආයතනයක් වන ‘කේරළ ප්‍රාන්ත චලන චිත්‍ර ඇකඩමිය’ සහ ලෝක සිනමාව සහ දකුණු ආසියාව අතර පාලමක් සේ යා කරන ප්‍රධාන පෙළේ සිනමා උලෙළක් වන ‘කේරල අන්තර්ජාතික සිනමා උලෙළ’ ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ ෂාජි එන්. කරුන් සම්මානනීය සිනමාවේදියා ලෝක සිනමාව වෙනුවෙන් සිදු කළ මෙහෙය සදානුස්මරණීයයි.
මලින්ත විතානගේ