නිවස විශේෂාංග රැඟුමටත් ද්වි භාෂා ජනමාධ්‍යවේදයටත් දස්කම් පාන සුනාලි

රැඟුමටත් ද්වි භාෂා ජනමාධ්‍යවේදයටත් දස්කම් පාන සුනාලි

by Thanushika
October 10, 2024 12:32 am 0 comment

නිර්මාණශීලි හැකියා⁣වන්හිදි ඇය කාටත් නොදෙවැනිය. ඕනෑම අභියෝගයක් තමා බාර ගන්නේ අධිෂ්ඨානශීලි හැකියාව නිසාමය, මාධ්‍යවේදිනියක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක්, ගුවන් නියමුවරියක්, රංගන ශිල්පිනියක්, මාධ්‍ය ලේකම්වරියක්, පරිවර්තාකාවක් වශයෙන් ක්ෂේත්‍ර රැසක විස්කම් පාන ඇය සුනාලී රත්නායකයි. මේ සුනාලී පසුගිය දින සරසවිය සමඟ කල කතාබහයි

ලාංකේය ඉංග්‍රීසි ජනමාධ්‍ය, නිරූපණ, මෙන්ම, රංගන ක්ෂේත්‍රයට අලුතින් හඳුන්වාදීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන ඇය: නමින් සුනාලී රත්නායක යි. වසර 22 කට අධික කාලයක්; ඇය, මෙම ක්ෂේත්‍රයන් සියල්ලටම ඇගේ පූර්ණ කාලීන, සහ අර්ධ කාලීන දායකත්වය ලබා දී ඇත.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ඉංග්‍රීසි ජනමාධ්‍යවේදී, ලේක් හවුස්හි සේවය කළ ආර්. එස්. කරුණාරත්නයන් යටතේ ජනමාධ්‍ය පිළිබඳ න්‍යායාත්මක හැදෑරීම් කිරීමෙන් අනතුරුව, ජනමාධ්‍ය කටයුතු පිළිබඳ: මෙට්‍රොපොලිටන් අධ්‍යාපන ආයතනයෙන් 2004 වසරේදී අධ්‍යාපන සුදුසුකම් ලබා සුනාලී මීට වසර විසි දෙකකට (22) පෙර, එනම්, 2004 වසරේ දී, ඉංග්‍රීසි ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පා තැබුවේ, ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු සහ නීතීඥවරයෙකු වූ, එමෙන්ම 2009 වසරේදී ඝාතනයට ලක්වූ, ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනූ ලසන්ත වික්‍රමතුංග කතෘ මණ්ඩල අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ; “The Sunday Leader” පුවත්පතේ කර්තෘ මණ්ඩලයට, එහි සාමාජිකාවක් වශයෙන් සම්බන්ධ වීමත් සමඟය. වසර ගණනාවක් සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ මණ්ඩලයේ පුවත්පත් කලාවේදිනියක් වශයෙන් සේවය කළ සුනාලී, ඇයගේ ජනමාධ්‍ය ජීවිතයේ ගුරුවරයා ලෙසින්, අදටත් ඉතාම ගෞරවයෙන්, භක්තියෙන් සහ ආදරයෙන් සිහිපත් කරනුයේ ලසන්ත වික්‍රමතුංග මහතායි. සුනාලී ඇගේ මාධ්‍ය ජීවිතයේ ඈ ලද වටිනාම වෘත්තීමය අත්දැකීම ලසන්ත වික්‍රමතුංග වැනි උගත්, කීර්තිමත්, අවංක, නිර්භීත මාධ්‍යවේදියෙකු යටතේ මාධ්‍ය කටයුතු පිළිබඳ පුහුණුවීම් ලබා ගැනීමට වාසනාව ලැබීම බව පවසන්නීය.

කුඩා කල සිටම ඇගේ නිවසේ මෙන්ම පාසල් පරිසරයේද කෙළින් අදහස් ප්‍රකාශ කිරීමට පුරුදුවී සිටි සුනාලී සත්‍ය වෙනුවෙන්, නොබියව සැම මොහොතකම හිට ගැනීමට ධෛර්යවත් වූයේ, “The Sunday Leader” පුවත්පතේ කර්තෘ මණ්ඩලය යටතේ ලත් පුහුණුවෙන් බවයි ඇය පවසන්නේ.

එමෙන්ම ඊට නොබෝ කලකට පසුව සුනාලී රත්නායකව සිංහල ජනමාධ්‍ය සහ ලේඛන කලාව වෙත යොමු කළ, ලාංකේය පුවත්පත් සමූහයක කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ මෙන්ම එම පුවත්පත් ආයතන හිමිකරු වශයෙන් කටයුතු කළ ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ මහතාවද මෙහිදී ගෞරවයෙන් ඇය සිහිපත් කරයි. අර්නස්ට් වඩුගේ “කලාරස” පුවත්පත සඳහා, 2008, 2009 වර්ෂයන් හිදී සුනාලී සිංහල මාධ්‍යයෙන් “Visit To Hollywood” නමින් දීර්ඝ, සවිස්තරාත්මක මෙන්ම අධ්‍යාපනික ලිපි පෙළක් ඉදිරිපත් කළේ, ඒ වකවානුවේදී, ඇමරිකාවේ ජීවත් වෙමින්, හොලිවුඩ් නුවර ප්‍රසිද්ධ ස්ථානයන්හි සංචාරය කරමින් වීම සුවිශේෂත්වයක් ලෙස සැලකිය හැකිය.

සුනාලී, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් ද්විත්වයම චතුර ලෙස පරිශීලනය කරන්නීය. ඇය, මෙම භාෂාවන් ද්විත්වයේම විවිධවූ පරිවර්තන කටයුතුද, රාජකාරි මට්ටමින්, වසර විසි දෙකක් පමණ සිට සිදුකරනු ලබන්නීය.

කුඩා අවධියේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (United Arab Emirates) තම දෙමාපියන් සමඟ ජීවත් වෙමින් එහි පිහිටි රෝසරි නම්වූ (Rosary International School) ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපන කටයුතුද හැදෑරූ සුනාලී ඉන්පසුව මවගේ ගම වන කුරුණෑගල නගරයේ පිහිටි මලියදේව බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා වසර දහඅටක් කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වූ අතර එහිදී ඇය ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරනු ලැබිය. ඉන් අනතුරුව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඇමරිකාවේ රැකියාවන්හිද නිරත වූවාය.

ඊට ප්‍රථම 1997 වසරේ දී සුනාලී ශ්‍රී ලංකාවේ රත්මලාන ගුවන් තොටුපොළේ පිහිටි ලයන් එයාර්(Lion Air Aviation) ගුවන් ආයතනයෙන් ගුවන්යානා පැදවීම සම්බන්ධව න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුවීම් ලබා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් (Civil Aviation Authority of Sri Lanka) පැවැත්වූ ගුවන් නියමුවකු වීමට සුදුසුකම් ලැබීම සඳහා එම අදාල විභාගයන් සමත්වූ අතර 1998 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇමරිකාවේ ඔරේන්ජ් කවුන්ටි (Orange County) හි ජෝන් වේන් (John Wayne Airport) ගුවන්තොටුපොළේ ලෙන් එයාර් (Len Air Aviation ගුවන් ආයතනයෙන් පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය (Private Pilot License and Instrument Rating) ලබා ගත්තාය. සුනාලී පෞද්ගලික ගුවන් නියමුවරියක් ලෙසින් සුදුසුකම් ලැබුවේ එලෙසින්ය.

සුනාලී, ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වූ වකවානුවේදී 2011 වසරේදී ඇමරිකානු නාවික හමුදාවේ Active Duty සඳහාද සම්බන්ධ වී, චිකාගෝ ප්‍රාන්තයේ පිහිටි (Great Lakes Naval Station, Illinois, Chicago) ඇමරිකාවේ විශාලතම නාවික හමුදා පුහුණු කඳවුරෙන් (Boot Camp) පුහුණුවීම්ද ලබා ගත්තාය. නැවත ඇය පෞද්ගලික හේතූන් මත, ශ්‍රී ලංකාවට පැමිණිමට සිදු විය. සුනාලීගේ මව අසනීප වීම හේතුවෙන් පවුලේ එකම දරුවා වශයෙන් ඇයගේ සියලු කටයුතු තමන් අතින් සිදු කරමින්, එම යුතුකම් ඉටු කිරීම සඳහා සුනාලී නැවත ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඉන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වූ සමයේදී, සුනාලී රත්නායක, ලොස් ඇන්ජලීස් නුවර පිහිටි, Miss California වශයෙන් කිරුළු පැලදූ පැට්‍රීශියා ස්ටූර්ලා Patricia Sturla Studios) ගේ රංගන සහ නිරූපණ කටයුතු පිළිබඳ ආයතනයෙන්, “මෝස්‌තර නිරූපණය” (Modeling) පිළිබඳවද හැදෑරීම් කළාය. හොලිවුඩ් නුවර සයන්ටොලොජි Scientology Building, Hollywood, California) ආයතනයේ එවකට පැවැත්වූ විවිධ මෝස්‌තර නිරූපණ වැඩසටහන් (Fashion Shows) සඳහාද සුනාලී නිරූපණයෙන් දායක වුවාය. පසුව විවිධ රටවල බොහෝ ජාතීන්වලට අයත් පිරිස් සමඟ, RAMP MODELING සඳහා සුනාලී තම දායකත්වය ලබා දුන්නේ ඇමරිකාවේ ජීවත්වූ මුල්ම සමයේය. එකිනෙකට වෙනස් වූ ක්ෂේත්‍ර ගණනාවක නියැළෙමින්, මේ සියලු කර්තව්‍යයන් සඳහා ඇය දායක වූයේ, ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථමයි.

ඒ පැමිණි අතර ශ්‍රී ලංකාවේ කඩින් කඩ ජීවත්වූ සුනාලී, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගනය සඳහාද, විටින් විට දායක වුවාය.

* සිරස නාළිකාව ඔස්සේ, 2010 වසරේදී විකාශය වූ, ප්‍රියන්ත සමරකෝන්ගේ අධ්‍යක්ෂණයක් වූ “සඳ මැදියම” ටෙලි නාට්‍යය සුනාලී රත්නායක, ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ, ‘ගුණවතී’ නමින් ප්‍රේක්ෂකයාට මතක හිටින ගැමි චරිතයක් නිරූපණය කළාය.

පසුව ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ සමඟද, අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක ද, බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ අධ්‍යක්ෂණයකද විවිධ චරිත නිරූපණය කිරීමට හැකිවිය.

සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ 74 වැනි නිෂ්පාදනය වන, “මේක පුදුම කතාවක්” චිත්‍රපටයේ වෛද්‍යවරියගේ චරිතයට රංගනයෙන් සුනාලීට දායක විමට හැකිවිය. විවිධ නිර්මාණ සඳහා විටින් විට දායක වූයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීනව නියැළෙන අතරතුරේදීය. ඉදිරියේදීද සුදුසු චරිත අවස්ථාවන් හිමිවුණොත් ඒ සඳහා රංගනයෙන් දායක වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

සුනාලී, වෙළඳ දැන්වීම් සඳහාද සිය රංගන දායකත්වය ලබා දී ඇත. 2007 වසරේදී ඇය, රංගන ශිල්පි කංචන කොඩිතුවක්කු සමඟ රූපවාහිනී දැන්වීම සඳහාද, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදරයන් 2008 වසරේදී අධ්‍යක්ෂණය කළ; රූපවාහිනී වෙළඳ දැන්වීම සඳහාද සිය රංගන දායකත්වය ලබාදීමට ඇය සමත්වුවාය. එමෙන්ම සුනාලී ගේ රුවින්, වසර විස්සක පමණ කාලයක් මුළුල්ලේ, ලංකේය පුවත්පත් මෙන්ම සඟරා කවරද විශාල සංඛ්‍යාවක් හැඩගැන්වී ඇත. සුනාලී ප්‍රථම වරට fashion Page එකක ඇගේ රුවින් පත්තර පිටුවක් සැරසුවේ, 1997 වසරේදිය.

මේ ගෙවුණු කාලය පුරා සුනාලී, උඩරට, පහතරට, දමිළ ආදී වශයෙන් මනාලියන් ලෙස ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් අතින් හැඩගැන්වී ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයට හසු වෙමින්;”BRIDAL MODELING” සඳහාද දායක වී ඇත. එම ඡායාරූපද, පත්තර පිටු වල ඇගේ රුවින් පළවි ඇත. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ, ඉංග්‍රීසි ජනමාධ්‍ය වේදිනියක් වශයෙන් වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ සේවය කිරීමෙන් අනතුරුව, නැවතත් 2009 වසරේදී පමණ ඇමරිකා එක්සත් ජනපදයේ නැවත පදිංචියට ගිය සුනාලී, යළිත් වරක් ශ්‍රී ලංකාවට පැමිණියේ 2016 වසරේදීය. එසේ පැමිණීමෙන් අනතුරුව ඇය, එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් කටයුතු කළ වෛද්‍ය බුද්ධික පතිරණ මහතාගේ “මාධ්‍ය ලේකම්” වශයෙන් ද, එම අමාත්‍යංශයේ වසර එක හමාරක් පමණ කටයුතු කාලය. පසුව නැවතත් රංගන කටයුතු, නිරූපණ කටයුතු, ලේඛන කටයුතු ඇතුළු කලා කටයුතු සඳහා ඇයට හැකි අයුරින් අවස්ථාව ලැබෙන අයුරින් දායකවිය. එමෙන්ම ඇය සිංහල, ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම කෘතින් පරිවර්තන කටයුතු වලද නිරන්තරයෙන් නියැළී සිටින්නීය.

මෑතකදී සුනාලී රත්නායක රංගනයෙන් දායක වූ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුනිල් ධර්මසේනයන්ගේ සංගීත නිර්මාණයක් වන “සඳ පායා නැතිදා” යන ගීතයේ Music Video එකක් ලෙසින් YouTube ඔස්සේ රසවිඳීමට හැකිවනු ඇත. ඊට ප්‍රථමවද, මීට වසර ගණනාවකට පෙර, සුනාලී රංගන ජීවිතයට පාතැබූ මුල් වකවානුවේද මියුසික් වීඩියෝ කීපයකටම රංගනයෙන් දායක වී ඇත. තවද, සුනාලී, නුදුරු අනාගතයේදී, ඇය විසින් රචිත නවකතාවක්ද එළිදැක්වීමට අපේක්ෂාවෙන් සිටින්නීය. ඇය එම නවකතාව සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, එම ලේඛන කටයුත්තේ වර්තමානයේ නිරතව ඇය දැනට ඇමරිකාවේ රැකියාවක් කරමින් සිටින අතර සුනාලී, නැවත ලංකාවට පැමිණ අනිකුත් කලා කටයුතු සඳහාද දායක වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT