රිදී තිරයේ තවත් සුවිශේෂි චරිතයක් පසුගියදා නිහඬවම සිය දිවියට සමු දුන්නාය. සිය ජීවන ගමනේ අවසන් අදියර ඉතා නිහඩව ගතකළ ඇය මිය යන මොහොත වනවිටත් සිනමාවෙන් දුරස්ථව ගෙවුණු කාලය දශක හතරකටද වැඩිය. එබැවින් ඇය පිළිබඳ මෙරට බොහෝ ප්‍රේක්ෂකයින්ට ඇය ගැන මතකයක් ඇතැයි සිතිය නොහැකිය. 70-80 දශකයන්හි සිනමා ප්‍රේක්ෂකයින්ට නම් ඇගේ රුව අමතක වන්නට හේතු කාරණා නොමැත. මන්ද ඒතරම්ම ආකර්ශණීය රැවක් , සමඟ අමුතු පැහැයක් සහිත නාරි දේහයක් ඇය සතු විය. ඇය අකුෂ්ලා සෙල්ලයියා ය.
අකුෂ්ලා ගේ සිනමා ගමන් මඟ නිර්මාණය වනුයේ, ඇගේ මුල්ම වෘත්තිය ජිවිතය වූ නිරූපණ ක්ෂේත්‍රය නිසාය. ඇයටම ආවේණික වූ සුවිශේෂී පෙනුම සහ දක්ෂතාවය ඇගේ මේ ගමන් මඟට හේතුවක් වුවාය. දක්ෂ නිරූපණ ශිල්පිනියක ලෙසින් ස්ථාපිත වී සිටි ඇය එකල ‘මංගල ඉනසන්ස්ට්’ නමින් ප්‍රසිද්ධ වී සිටි මෝස්තරකරුවකු වූ, පසු කලෙක ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් වූ මංගල සමරවීර මහතාගේ විලාසිතා සන්දර්ශනයන්හි ප්‍රමුඛතම නිරූපිකාව බවට පත්වී සිටියාය.
අකුෂ්ලා සෙල්ලයියා දේශීය චිත්‍රපට සඳහා සම්බන්ධ වීමට ප්‍රථම අන්තර්ජාතික නිෂ්පාදන කිහිපයකටම දායකත්වය ලබා දුන්නාය. ඒ අතර Slave of the Cannibal God (1978)” Rampage (1978)”
Tarzan the ape Man (1981) වැනි චිත්‍රපට විය. දේශීය සිනමා ඉතිහාසයේ අකුෂ්ලා ගේ නාමය සනිටුහන් වනුයේ 1981 දි නිෂ්පාදනය වූ ‘තවලම’ චිත්‍රපටයෙනි. ඉන් අනතුරුව ඇය ‘බාදුරා මල්’ (1981) රෑ මනමාලි (1982), සුර දුතියෝ (1985) යන චිත්‍රපටයන්හි කැපි පෙනුණ චරිත නිරූපණයකට එක් වූවාය.
ඇයගේ සිනමා ජීවිතයේ වඩාම කැපී පෙනෙන සිනමා පටය වූයේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘රැ මනමාලිය’. ගාමිණී ඉන් පෙර හා පසු අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයකටම ඔහු ප්‍රධාන නළුවා ලෙසින් රංගනයට එක් වුවද, එසේ නොවුණු එකම චිත්‍රපටය වුයේ රෑ මනමාලිය. මෙම චිත්‍රපටයේ අකුෂ්ලා රඟපෑවේ ප්‍රවීණ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය සමඟය. බොහෝ විචාරක මතයන්ට අනුව ඇගේ රංගනයේ හොඳම අවස්ථාව මෙම චිත්‍රපටයේ ඇය කල භූමිකාව බවයි.
ඈ රඟපෑ රැම්පේජ් (1978) චිත්‍රපටය ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම ඉංග්‍රීසි චිත්‍රපටයට හිමි සම්මානය මෙන්ම රංගනය වෙනුවෙන් ගාමිණි ෆොන්සේකා හා ක්‍රිස් ග්‍රීටි ද කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් වී. වාමදේවන් ද දිනා ගත්තේය. මනික් සන්ද්‍රසාගර විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය මනික් සමඟ එඩ්චඩ් බොයිල් ගේ නිෂ්පාදනයකි. එය ශ්‍රි ලංකා- එංගලන්ත හවුල් නිෂ්පාදනයක් විය.
අකුෂ්ලා ඉන් පසු තම හැකියාවන් රිදී තිරය මත ප්‍රකට කරනු ලැබුවේ මෙරට තිරගත වූ වාණිජ චිත්‍රපටයකට රංගන දායකත්වය සැපයීමෙනි. ඒ රොබින් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ‘සුර දුතියෝ’ චිත්‍රපටයේ රංගනයට එක් වීමෙනි. එවකට ප්‍රසිද්ධ ඉංග්‍රිසි ටෙලි නාට්‍ය මාලාවක් වූ ‘චාලිස් ඒන්ජල්ස්’ නම් වු ටෙලිනාට්‍ය මාලාව ඇසුරෙන් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ සුරදූතියන් තිදෙනාගෙන් එක් අයෙකු වූයේ අකුෂ්ලාය. අනෙක් සුර දූතියන් දෙදෙනා වූයේ රෝසි සේනානායක සහ විශාඛා සිරිවර්ධනය. මෙම චිත්‍රපටය හරහා දේශීය සිනමාවේ අකුෂ්ලා ජනප්‍රිය තලයේ නිළියක බවට පත් වූවාය.
අකුෂ්ලා ගේ රංගන ශෛලිය වෙනත් නිළියන් සියල්ලගෙන් වෙනස් වුවක් වූවාය. ඇගේ පැහැය, ඇගේ පෙනුම පවා මෙරට සාමාන්‍ය නිළිපෞරුෂයන් ගෙන් එහා ගිය එකක් වූවාය. කෝපි පැහැති සමකින් යුතු නිරූපිකාවකටම ඔබින සිහින් ශරීරය දේශිය සිනමාවේ එතෙක් ජනප්‍රියව පැවැති නිළියන්ගේ ස්වභාවයෙන් වෙනස් වුවකි. බොහෝ විට ඇගේ රංගන ශෙලිය සේම ඇගේ රූප ස්වභාවයද වඩා ළං වුයේ හොලිවුඩ් ස්වරූපයකටය. ඇගේ රංගනය සිනමාත්මක පසුබිමක පිහිටා ප්‍රේක්ෂක මනසෙහි දෘශ්‍යමය බලපෑමක් ඇති කිරිමට සමත් වන්නකි. ඇගේ රංගන ජිවිතය සීමා මායිම්වලින් බැදුණු එකක් නොවීය. ඉතාමත්ම නිර්භයව තම රංග කාර්ය සිදු කිරීමට කිසිවිටෙකත් පසුබට නොවූ චරිතයක් වූවාය.
ඇය මෙරට රංගන ක්ෂේත්‍රයේ සැරි සැරුවේ ඉතාම කෙටි කාල පරිච්ඡේදයකි. සුර දුතියෝ හි රංගනයෙන් පසු ඈ පිළිබඳ හෝඩුවාවක් නොවීය. ඒ මොහොත වන විට ඇය රංගන ක්ෂේත්‍රයෙන් මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයෙන්ද අතුරුදන්ව සිටියාය.
පසුකලෙක එනම් 2011 – 2012 කාලයේදී ඇය ලංකාවේ ප්‍රධාන පර්යේෂණ ආයතනයක ලේකම්වරියක ලෙසින් සේවයට බැඳුණු බව ආචාර්ය උදයන් ප්‍රනාන්දු ඇය වෙනුවෙන් ලියූ සටහනක සඳහන් කර තිබිණ. ඔහු එහි අකුෂ්ලා පිළිබඳ මෙසේද සටහන් කර තිබුණි.
“නිරූපිකාවක හා නිළියක ලෙස අපගේ මතකයේ රැඳී තිබුණ අකුෂ්ලාගේ සෙලිබ්‍රිටි සේයාවේ නශ්ටාවශේෂ ලෙස රැඳී තිබුණේ ඇයගේ පෞරුෂය හා කටහඩ පමණි. එමෙන්ම එක්තරා ආකාරයකට නිහතමානි, සරල, නිස්සරණ ස්වරූපයේ දර්ශනයක් හා ආකල්පයක් බවට පෙරලී තිබුණ බව අපට හැඟිණ. අප බලාපොරොත්තුවන වෘත්තියට ඔබින ලෙස ඇයගේ කුසලතාවය, ධාරිතාවය මනා ලෙස තිබූ නිසා අකුෂ්ලා අප වහා සේවයට බදවා ගත් අතර, ඈ අපගේ කාර්යාලයේ සියලුම මට්ටමේ අය සමඟ වැඩ කටයුතු කළේ සෙලිබ්‍රිටිවරියක් ලෙස නොව සරල සාමාන්‍ය ගැහැනියක ලෙසය.”
ආචාර්ය උදයන් පවසන ආකාරයට අකුෂ්ලා සිනමාවෙන් සහ නිරූපණ ක්ෂේත්‍රයෙන් සමුගත් පසු ජීවත් වී ඇත්තේ සරල සාමාන්‍ය ගැහැනියක් ලෙසය. ඇය ජීවන වෘත්තියක් ලෙස ආචාර්ය උදයන් පවසන මෙම ආයතනයේ ලෙකම්වරියක වශයෙන් සේවය කර ද තිබේ. ආචාර්ය උදයන් ඇගේ සරල බව සාමාන්‍ය බව උකහා දක්වන්නට ඈගේ ඇඳුම් පැලඳුම් පිළිබඳ විස්තර කර තිබුණේ මෙපරිද්දෙනි.
“අකූ” ලෙස අපගේ කාර්යාලයේ සියලු දෙනා ඇමතු ඈ සම්මුඛ පරීක්ෂණයට පැමිණියේද, ඉන්පසුව කාර්යාලයට දිනපතා පැමිණියේද කිසිදු ආකර්ෂණයක්, හැඩයක් හා ලකයක් නැති පාණ්ඩු පාට සායක් හා කමිසයක් ඇදගෙනය. සාය ගෝණියක හැඩය ගත් අතර, එය ඇයගේ වලලුකර දක්වා දික්ව තිබිණ. සැලුනයකට අවුරුදු ගණනාවක් නොගිය බවක් මුහුණෙන් හා කොණ්ඩයෙන් හැගවුම් කළ අතර, සිනාසෙන විට හැලුණ දතක හිඩැස එලෙසම තිබිණ.”
ඔහු සඳහන් කරන ආකාරයට ඇය ඇයගේ පෙනුම පිළිබඳ, ඇදුම් පැලඳුම් පිළිබඳ සිනමා නිළියක හෝ නිරූපිකාවක ලෙස සිතා උවමනාවෙන් මේන්ටේන් කර නොමැත. ඇය ජීවත් වී ඇත්තේ මායාවෙන් මිදුණු සාමාන්‍ය ගැහැනියක විලාසයෙනි. වරක ඔහු ඇගෙන් ප්‍රශ්න කර ඇත්තේ නිරූපිකාවක ලෙස එක් අක්ෂයක සිට මෙලෙස තවත් අක්ෂයකට පැමිණියේ ඇයිද? යනුවෙනි. එවිට ඇගේ උත්තරය වි ඇත්තේ “හු කෙයාර්ස්” මෙන්…… යනුවෙනි.
ඉන් කලකට පසු 2015 වසරෙන් පසු මංගල සමරවීර මහතා විදේශ ඇමැති වශයෙන් කටයුතු කළ කාලයේ අකුෂ්ලා එංගලන්තයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පරිපාලන මට්ටමේ රැකියාවක නියුතුව සිටි බවද දැන ගන්නට ඇත.
පෙර සදහන් කළ පරිදිම අකුෂ්ලා සිනමා තිරය මත නිර්භීතව තම රංගනය ප්‍රකාශ කල ශිල්පිනියක් වූවාය. ලංකා ඉතිහාසයේ පළමුවරට කැමරාවක් ඉදිරිපිට සිය උඩුකය නිරුවත් කළ නිළිය වුයේද අකුෂ්ලා සෙල්ලයියාය. 1978 වැනි කාලයක ‘නිරුවත’ යන්න අමුතු අර්ථයකින් නොගෙන, එය සිනමාවට ඔබින ආකාරයෙන් ඉදිරිපත් කරන්නට තරම් ඇය නිර්භීත වුවාය. ඇගේ මෙම රංගනය ඇතුළත් චිත්‍රපටය වුයේ ‘la a Montagna del dio cannibale ය.
අකුෂ්ලා ගේ ඥාති පරම්පරාවන් පිළිබඳ අවධානයට ගත් කල ඇය ප්‍රවීණ මාධ්‍යවේදි රිචඩ් ද සොයිසා සහ වෛද්‍ය මනෝරානි සරවනමුත්තුටද ඥාති සම්බන්ධතාවයක් දක්වයි.
කෙසේ වෙතත් එක්තරා යුගයක මෙරට සිනමාව සහ නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්ව සිට පසුව අප්‍රසිද්ධියේම තම ජීවිතය ගෙනගිය අකුෂ්ලා සෙල්ලය්යා නම් වූ ඇය පසු ගියදා සිය ජීවිතය හැරපියා අවසන් නින්දට එක් වූවාය.
හේමාලි විජේරත්න