ඈත අතීතයේ සිටම කලාව ජනතාව අතරට ගෙන යෑමට ලේඛනය මෙන්ම රූපය සහ ශබ්දයද ඉතා වැදගත් විය. ඒ අතරින් හඬේ වැදගත්කම අතීතයේ වේදිකා නාට්‍යවල සිට වර්තමානයේ youtube වැනි සමාජ මාධ්‍ය භාවිතය දක්වා සිදුකර ඇති මැදිහත්වීම දෙස බැලූවිට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ගුවන් විදුලිය ක්‍රියාකාරී ලෙස ජනතාව අතර සන්නිවේදන මාධ්‍යයක් ලෙස ප්‍රමුඛව පැවැති යුගයේ ගුවන් විදුලි නිවේදන, ප්‍රවෘත්ති, ගුවන් විදුලි නාට්‍ය සහ වැඩසටහන් ජනතාවට කළ බලපෑම සන්නිවේදනය තුළ හඬෙහි ඇති වැදගත්කමට මනා ලෙස සාක්ෂි දරයි.
1895 වසරේදී ලුමියර් සහෝදරවරුන්ගේ දායකත්වයෙන් ඇරඹෙන නිහඬ සිනමා යුගයෙන් පසු චලන චිත්‍රය රූපය පමණක් තත්පරයට රූප රාමු විසිහතරක වේගයකින් ජනතාවට සමීප වී තිබුණත් ශබ්දය ඊට එක්කාසු වී 1927 වසරේ කථානාද යුගය ඇරඹීමත් සමඟ චලන චිත්‍රයේ ආඛ්‍යානයට සම්පූර්ණ බවක් ලැබුණි. එය පසුව තවත් වෙනස්ම තලයකට රැගෙන යමින් ලොව නිර්මාණය වන කුමන හෝ ප්‍රවර්ගයක ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයක් ආර්ථික ප්‍රතිලාභයන් සහ ගෝලීය රසාස්වාදය උදෙසා නිර්මාණය කරන ලද භාෂාවෙන් තවත් භාෂාවකට හඬ කවා පුළුල් රසික ප්‍රසාදයක් සහ ආකර්ෂණයක් ලබා ගැනීම ආරම්භ වුණි. ඒ නිසා හඩ කැවීම් කලාවක් වෙනමම ක්‍රමයෙන් ලෝකය තුළ පුළුල් වශයෙන් ලලිත කලාවක් ලෙස ස්ථාපනය වීමට පටන් ගැනුණි.
හඬ කැවීම් කලාවට මෙරට රසික ආකර්ෂණය හා ආදරය ලැබීමට විශාල වශයෙන් මූල බීජය සැපයූ ප්‍රධානම කාරණය ලෙස 1984 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ ටයිටස් තොටවත්ත මහතා විසින් හඩකැවීම් ඒකකයක් පිහිටුවා ලෝක සාහිත්‍යයේ ප්‍රකට සිනමා, මාලා නාටක, වාර්තා වැඩසටහන් සහ කාටුන් වැඩසටහන් සිංහල බසින් හඩකවා ජනතාවගේ රසාස්වාදය උදෙසා ඉදිරිපත් කිරීම හැඳීන්විය හැක. අද වන විට එය මෙරට ටෙලිවිෂන් කලාවේ සහ සමාජ මාධ්‍යවල ප්‍රධාන භාවිතයක් ලෙස පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇත.
මුල් පිටපතේ දෙබස්වලට සමාන ලෙස ස්වදේශීකරණය වූ දෙබස් පිටපතක් සකසා ගැනීමෙන් අනතුරුව අදාළ කර්තව්‍ය සාර්ථක ලෙස කරගැනීමට හැකි දක්ෂතාවයක් සහිත හඬ නළුවන් සහ නිළියන් පිරිසක් හඬ නළු නිලවරණයකින් තෝරා ගන්නා අතර සාර්ථක නිර්මාණයක් සඳහා පිටපත් රචකයා, හඬකැවීම් අධ්‍යක්ෂකවරයා සහ හඬ නළු නිළියන්ගේ දායකත්වය ඉතා වැදගත් වේ.
ඒ ඒ වැඩසටහන් සඳහා වූ ප්‍රධාන හඬ කැවීම් ක්‍රම තුනක් සාකච්ඡා කළ හැක. ඒවා පිළිවෙළින් දෙතොල් සම හඬකැවීම (Lip sync dubbing), මත රෑ හඬකැවීම Over lay dubbing) සහ පිළිවිතර හඬකැවීම (Off commentary dubbing)) දැක්විය හැක.
1 – දෙතොල් සම හඬකැවීම් ක්‍රමයේදී මුල් නිර්මාණයේ අදහස, රඟපෑම සහ දෙතොල යන කරුණු සඳහා ප්‍රමුඛ අවධානය ලබාදෙමින් හඬකැවීම් පිටපතක් නිර්මාණය වේ. මෙහිදී මුල් කෘතියේ දෙබස් අඩංගු ශබ්ද පථය සම්පූර්ණයෙන් ඉවත් කරන අතර මනා උච්චාරණයක් සහිතව මුල් නිර්මාණයේ හැඟීම් එලෙසම ප්‍රතිනිර්මාණය වන පරිදි දෙතොල හා සමව යමින් නිර්මාණය වන හඬකවීම් පථය නිෂ්පාදනය කර එකතු කරයි. විදෙස් නාට්‍ය චිත්‍රපට සහ කාටූන් සඳහා මෙම ක්‍රමය භාවිත කරයි.
2 – මත රූ හඬකැවීම් ක්‍රමවේදය යටතේ ඇතැම් වාර්තා චිත්‍රපටි, රාජ්‍යනායක සමුළු සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ දේශන සඳහා හඬකැවීම් පථය නිර්මාණය වේ. මෙහිදී මුල් නිර්මාණයේ භාෂාව සියයට හතළිහක් (40%) සහ හඬ කවන ලද භාෂාවේ ශබ්දය සියයට හැටක් (60%) වන පරිදි නිර්මාණය සැකසේ.
3 – පිළිවිතර හඬකැවීම් ක්‍රමවේදයේදී මුල් නිර්මාණයේ හඬපථය සම්පූර්ණයෙන්ම ඉවත් කරන අතර වාර්තා වැඩසටහන් සඳහා ඉතාම යෝග්‍යම හඬකැවීම් ක්‍රමවේදය මෙය වේ. මෙහි පසුබිම් කථනය සඳහාද පිටපතක් මුල් නිර්මාණය හා ගැළපෙන පරිදි සැකසේ.
මේ කුමන හඬකැවීම් ක්‍රමවේදය කුමන වැඩසටහන් සඳහා භාවිතා කළත් මහජනතාවගේ ආකර්ෂණය සහ පිළිගැනීම ලැබෙන්නේ එම නිර්මාණය බිහිකිරීම සඳහා මූලික වූ හඩකැවීම් පිටපතේ ගුණාත්මකභාවය, හඬකැවීම් අධ්‍යක්ෂකවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ හඬ නළු නිළියන්ගේ මනා වෘත්තීය කුසලතාවයන්ගේ ඉදිරිපත් කිරීම මතයි.
හේමාල් සෙන්දනායක