1970 දශකයේ සිරිලක කලාව සම්බන්ධයෙන් ඇත්තේ විටෙක ආස්වාදජනක, තවත් විටෙක ජීවිතය පොහොසත් කරන, අධිතක්සේරු හා අවතක්සේරුද සහිත අදහස් සමුදායකි. මෙය නියත වශයෙන්ම සාපේක්ෂ සැසඳීමක් වේ. එසේම මේ අතීත කාමය උද්ධරණය කෙරෙන්නකි. ඉන් හැඟවෙන්නේ මේ පිළිවෙත හා යථාර්ථය අතර එකඟතා නොපවතින්නටද ඉඩ ඇති බවය. පවතින එකඟතා තාර්කිකව විශ්ලේෂණය ඇවැසි වන බවය. මෙහෙයින්ම තුලනාත්මක ප්‍රවේශයකින් 1970 දශකයේ සිරිලක කලාවේ හැඩ රුව විමසා බැලීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවන බව පෙනේ.
අරුණ ජයවර්ධනට ‘1970 ලව් ස්ටෝරි’ සිනමාපටය නිර්මාණය කිරීම සඳහා උක්ත පසුබිම නිරනුමානවම බලපාන්නට ඇතැයි සිතේ. සිනමාපටයේ මුල් රූප පෙළම මේ වග ආයාසයකින් තොරවම පවසයි. මෙනිසා අදාළ ප්‍රචාරක යාන්ත්‍රණයට හසු නොවී සිනමාශාලාවට පැමිණෙන රසිකයන් හා සිනමාපටය අතර දුරස්ථ බවක් ජනිත නොවන සුලුය. මේ අරුණ අත් පත් කර ගන්නා පළමු ජයයි. එසේම වැදගත්ම අවතීර්ණ වීමයි.
සිරිලක සිනමාවේ ස්වර්ණමය අවධිය 1970 දශකය සේ හඳුන්වා දෙනු පිණිස ඉදිරිපත් කරන හේතු මෙතැනට සහභාගී කර ගැනීම ඵලදායකය. ප්‍රමිතිය පිළිබඳ වඩාත් සැලකිලිමත් වූ රසාලිප්ත සිනමාපට දිගින් දිගටම සිනමාශාලා කරා පැමිණෙන්නට විය. දශකයේ එක් අවස්ථාවක සක්‍රිය සිනමාශාලා සංඛ්‍යාව තුන්සියයකට ආසන්න වූ බවද කියවේ. රසික සංඛ්‍යාවේ ක්‍රමික හා වරෙක ශීග්‍ර වර්ධනයක් දක්නට ලැබිණි. 1979 වසර සැලකෙන්නේ එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම රසික සංඛ්‍යාව සනිටුහන් වූ කාල වකවානුව ලෙසයි. කලාත්මක හා විවාදාත්මක සිනමාපටද මෙසමයේ සිනමාශාලා කරා පැමිණියේ යම් පමණක හෝ රසික මනාපය දිනා ගනිමිනි. ‘එයා දැන් ලොකු ළමයෙක්’ හා ‘පළඟැටියෝ’නිදසුන්ය. සිනමා පුවත්පත් ආදිය නොකඩවා නිකුත් වන්නට විය. සාකච්ඡා , සම්මන්ත්‍රණ සංවිධානය වන්නට විය.
මෙසේ 1970 දශකයේ සිරිලක බොහෝ සිනමාපට තරුණ චරිත සඳහා ඉහළම පිළිගැනීමක් ලබා දී තිබූ බව නොරහසකි. මෙහිලා සමකාලීනව ප්‍රචලිතව පැවැති විලාසිතා, කථන විලාස, පාරිසරික ලකුණු නන් අයුරින් නිරූපණයට පියවර ගෙන තිබිණි. විශේෂයෙන්ම ගීතමය ජවනිකා විෂයෙහි මේ බව මනාව දැකිය හැකි විය. ‘තුෂාරා’,’හතර දෙනාම සූරයෝ’, ‘සැණකෙළිය’, ‘ මරුවා සමඟ වාසේ’ නිදසුන් කිහිපයකි.
අරුණ වෙහෙස වන්නේ 1970 දශකය මූර්තිමත් කෙරෙන මෙම අංගෝපාංග ‘1970 ලව් ස්ටෝරි’ සඳහා කෙසේ හෝ එක් කර ගැනීමටය. අනතුරුව සිනමාපටය නිර්මාණය අපහසු නොවන බව ඔහුට ඒත්තු ගොස් ඇති සැටියකි. මන්ද මෙහි එන පුවත එපමණ දුලබ වුවක් නොවන නිසාවෙනි. එක අතකට මෙපුවත 1970 දශකයේ වැජඹුණු රසාලිප්ත සිනමාවේ ආ පොදු ලක්ෂණ බහුල පුවත් සිහි ගන්වයි.
වර්තමාන මෙදවස හා අතීත 1970 දශකය එක පෙළට නිරූපණයේදී අනුචිත පටලැවිලි උද්ගත නොවන පරිදි කටයුතු කරන්නට අරුණ විමසිලිමත් වූ අවස්ථා ගණනාවකි. පුවතේ එන සුලබ දෛවෝපගත අවස්ථා නිසි කළමනාකරණයකින් හසුරුවාලීමට ඔහු අවසනදී සාපේක්ෂව හෝ සමත් වෙයි.අවසන් ජවනිකාව දක්වාම රසිකයා ඇඳ බැඳ තබා ගැනීමට නම් ඔහු සමත් වන සෙයකි. මෙය දෙවන හෝ තෙවන වර සිනමාපටය නැරඹීමට බාධාවක් සේ නොපෙනේ. මන්ද 1970 දශකය මෙසමයේ සිනමාපටයකින් දැක ගැනීමේ කැමැත්ත සහිත රසික පිරිසක් නිහඬව හෝ රැඳී සිටින නිසාවෙනි.
අරුණගේ මෙම ප්‍රයත්නය හා ධනාත්මකව එක්වන්නවුන් අතර පෙරමුණේම සිටින්නේ හේමාල් රණසිංහ හා අශාන් ඩයස්ය. හේමාල් 1970 දශකයේ සුපුරුදු සුකුමාර පෙම්වතාට යුක්තිය ඉටු කරලීමට අසමත් නොවෙයි. විලාසිතා ප්‍රමාණවත්ව තිබුණද මෙවැන්නක් සාර්ථක කර ගැනීම රූපණවේදියකුට අපහසුය. ගීතමය අවස්ථා ද්විත්වය හේමාල්ගේ සමත්කම ඔප් නංවන සාධකයි. නොපමාවම විජය කුමාරතුංග හා ගාමිණී ෆොන්සේකා සිහියට නොනැඟෙන්නේම නොවේ. එනමුදු හේමාල් මේ කිසිවකු අනුකරණයට වඩා සිය සමත්කම මත රැඳී සිටීමට උත්සුක වන බව පැහැදිලිය. වත්මන් සිරිලක රසාලිප්ත සිනමාවේ සුපිරි තාරකාවක් වීමට හේමාල් සතුව සුදුසුකම් පවතින බව ‘1970 ලව් ස්ටෝරි’ තවදුරටත් කියා සිටී. වඩා සංකීර්ණ චරිත නිරූපණයකට සූදානම් බව පවසන අශාන් 1970 දශකයේ සුපුරුදු අදමිටුවා රසිකයා හමුවේ ප්‍රතිනිර්මාණය කරන්නේ රසික විශ්වාසනීයත්වය කෙරෙහි අපමණ සැලකිල්ලක් දක්වමිනි. මේදවස අභිනවයෙන් රූ ගත කරන සිනමාපටයේ අදමිටුවා හා ප්‍රධාන නළු නිළි යුවළගේ අදමිටුවා සේ එකවර චරිත ද්විත්වයක් ඔහු විසින් නිරූපණය කරනු ලබන්නේ රසාලිප්ත සිනමාව යනු කුමක්දැයි යන පැනයට පිළිතුරක්ද සපයමිනි.
‘1970 ලව් ස්ටෝරි’ නිර්මාණය වන්නේ අදින් වසර කිහිපයකට පෙරාතුවය යන්න කියැවේ. එහෙත් යම් කල් ඉකුත් වීමේ ලකුණක් මෙහිලා හඳුනා ගත නොහැකි තරම්ය . මෙය අරුණ ජයවර්ධනගේ දස්කමක් සේ සඳහන් කිරීමයි වඩා උචිත වන්නේ. එසේම ප්‍රමාණවත් විශ්වාසනීයත්වයක් සහතික කිරීම කෙරෙහිද ඔහු අවධානය යොමු කරයි. යම් අපැහැදිලි බවක් මතු වන්නේ අතීත සැබෑ අදමිටුවාට දඬුවම් කිරීම වත්මන් අවදිය දක්වා පමා කළේ මන්දැයි යන්න පැනයක් සේ මතුවද්දීය.
1970 දශකයේ රජ කළ සාර්ථක රසාලිප්ත සිනමාවේ එන ප්‍රේමය, වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව, කුමන්ත්‍රණ, සටන්, ගීත , හාස්‍ය අතරට කුතුහලය, භීතිය හා ත්‍රාසය රැගෙන එමින් වත්මන් සිනමා රසිකාගාරයේ රැඳී සිටින වැඩි දෙනෙකුට ඔබින සිනමාපට නිර්මාණය කිරීමේ වෑයම් කිහිපයක්ම පසුගිය සමයේ දක්නට ලැබිණි. ඉන් ඇතැම් සිනමාපටයක් සාර්ථකත්වයේ අද්දරටවත් නොපැමිණි බව රහසක් නොවේ. මේ තතු මැද අරුණ ලබා ගන්නා ජය අතිශයෝක්තියෙන් ගෙන හැර පෑම අනුචිතය. එසේම ආකාර කිහිපයකින් සිනමාකරණයෙහි නිරත වීමට තමා මනාප බවද ඔහු මෙහිදී පවසයි. මේ ‘නිකිණි වැස්ස’ හා ‘හැපී බර්ත් ඩේ’යන ඔහුගේ සෙසු සිනමාපට සමඟිනි.