ජීවිතය, සමාජය හා මිනිස් සබඳතා පිළිබඳ සංකීර්ණ හා පුළුල් කතිකා පොහොසත් කරමින් ඒ ඔස්සේ රසික නැණැස නන් අයුරින් පාදන සිනමාපට සිරිලක සිනමාව හසුරුවන සමයක මුළුමනින්ම රසාලිප්ත වූ සිනමාපටයක් සේ ‘මන්දාරා’ පැමිණෙන්නේ ඊට උචිත පසුබිමක් තිබෙන්නේය යන විශ්වාසය සහිතවය. ‘විසල් ආදරේ’ හා යම්තාක් දුරකට ‘සිංහබාහු’ , ‘මන්දාරා’ හි පැමිණීම යුක්ති යුක්ත කරන බවද පෙනේ. ‘මන්දාරා’ සිනමාකරු ප්‍රියන්ත කොළඹගේ පෙර අවස්ථා දෙකකදීම මෙයට සමාන අත්දැකීම් ලබා ඇති වග අමතක නොකළ යුතුය. විරාමයකින් තොරව සිනමාපට නිර්මාණයට ප්‍රිය නොකරන ප්‍රියන්ත සිය සිනමා භාවිතයට යම් ප්‍රමාණවත් ප්‍රමිතියක් ලබා දීමට දරණ තැත අගය කළ යුත්තකි. රසාලිප්ත සිනමාව , යම් සිනමා කලාපයක පැවැත්ම වෙනුවෙන් ඇවැසිම වූවක්ය යන අදහස සැබෑවක් කරලීමේ ඔහුගේ ප්‍රයත්නය මෙසේ ප්‍රමාණවත් ප්‍රමිතිය යන්න සමඟ තදින් බැදී තිබීම අතිශය වැදගත්ය. මෙම ප්‍රමාණවත් ප්‍රමිතිය යන්න නියත වශයෙන්ම සාපේක්ෂ වූවකි. මෙහි චලනය වීම් හා නැඹුරුවීම් වටහා ගත යුත්තේ තුලනාත්මකවය.
‘මන්දාරා’ සඳහා ඔහු විසින් සපයා ගනු ලබන්නේ රසාලිප්ත සිනමාවට හුරුපුරුදු පැරණි තාලයේ පුවතකි. මෙහි කිසිදු නවමු බවක් නොමැති වීමේ අභියෝගයට ප්‍රියන්ත විවෘතවම මුහුණ දෙයි. කෙසේ නමුදු සම තිරනාටක රචක වජිර කස්තුරි සමඟ ප්‍රියන්ත උත්සුක වන්නේ රූපණය හා වර්ණය මුල් කරගත් රූප රචනයකින් උක්ත සුලබ ලකුණු මඟ හැර යන්නටය. මෙහි කිසියම් සාර්ථකත්වයක් ප්‍රකට වන අයුරුද පෙනේ. මෙයින් කියැවෙන්නේ ‘මන්දාරා’ සඳහා වූ රසික දැක්ම පසුගාමී වුවමනා පෙන්නුම් කරන බව නොවේ. උපයුක්ත පුවත ඉක්මවා ගිය රසාලිප්ත අත්දැකීම් විඳගන්නට ඔවුන් තුළ පවතින සූදානමයි.
වංශවත් වැඩිහිටියන් දියණියගේ ආදර සබඳතාවට හරස් වීම, එය නොතකන දියණිය පෙම්වතා විවාහ කර ගැනීම, ඔවුනගේ සමීපතමයන්ගේ උදව් උපකාර නොමඳව ලැබීම, අලුත උපන් දරුවා වෙනත් පවුලකට භාර දීම, වසර දොළහකට පසු එම දරුවා සැබෑ දෙමාපියන් හඳුනා ගැනීම , මේ අතරට වැදෙන උපන්ගෙයි අදමිටුවකුගේ ප්‍රචණ්ඩත්වය යනාදී පැරණි තාලයේ සිදුවීම් නිරූපණයට ප්‍රියන්ත කැඳවන්නේ උචිතම පිරිස්ය. සිනමා රූපණයේ පළපුරුදු අයවලුන් සේම ප්‍රතිභාවක් විශද කරන නවකයන්ය. එකම තලයක ඔවුන් හැසිරවීමේ සමත්කම ප්‍රියන්ත කිසිදු ආයාසයකින් තොරව ප්‍රකට කරයි. චාන්දනී සෙනෙවිරත්න හා ලක්ෂ්මන් මෙන්ඩිස් සිය පළපුරුද්ද සිනමාපටයට එක් කරන්නේ ජවනිකා කිහිපයකිනි. ප්‍රමුඛ චරිතයක් නිරූපණය කරන නවක මේඝ සූරියආරච්චි ගෙන එන ප්‍රාණවත් රූපණය කැපී පෙනේ. තරමක සංකීර්ණ චරිත නිරූපණයට වුව ඔහු අනාගතයේදී සමත් වනු ඇතැයිද සිතේ. වෙසෙසින්ම ඒ කෘතහස්ත සිනමාකරුවන්ගේ තෝරා ගැනීමට යටත්වය. සිනමාපටයට වුවමනා තරු ගුණය ඉස්මතු කරලීමට ඔහු දරණ වෙහෙස අවප්‍රමාණ කළ යුතු නොවේ. රසාලිප්ත සිනමාවේ පැවැත්ම සහතික කරලීමේදී රූපණය තීරණාත්මක වන හෙයින් මේඝ බඳු නවකයන්ට ඇති ඉඩකඩ සුළු පටු නොවන බව පැහැදිලිය.
ප්‍රියන්ත වෙසෙසින් හඳුන්වා දෙන්නේ බිමල් ජයකොඩි නිරූපණය කරන අදමිටුවාගේ චරිතයයි. සමකාලීන ඉන්දියානු ප්‍රචණ්ඩ සිනමාපට මෙතැනදී සිහිපත් වන්නේ නිරායාසයෙනි. වෙස් ගැන්වීම ඊට පළමු හේතුවයි. මේ පළිගැනීම, ඝාතනය , නුරුස්නා බව පිරුණු චරිතයකි. බිමල් බඳු අත්දැකීම් සහිත අයකුට මෙබඳු චරිතයක් ප්‍රතිනිර්මාණය කිසිසේත්ම අපහසු නොවේ. මහ පොළොවේ කොතැනකවත් නොමැති චරිතයක් නිරූපණය අසීරු නොවන බවද ඔහු ඉඟි කරයි. මෙනිසාම ප්‍රියන්තගේ මෙහෙයවීමට අමතර අංග ඇවැසි නම් එක්කර ගැනීමේ හැකියාවද ඔහුට තිබිණි.
සිනමාපටය විකාශය කෙරෙන්නේ එකිනෙක හා නොබැඳෙන පුවත් දෙකක් සහිතවය. කොයි මොහොතේ හෝ මේ පුවත් ද්විත්වය එක් පුවතක් බවට පත් වන බව රසිකයාට රහසක් නොවේ. එනමුදු ප්‍රියන්ත හැකි තරම් පමා වන්නට වෑයම් කරයි. රසික ඉවසීමේ සිමාව ගැන ඔහු නොසිතුවේ යැයිද සිතේ. අවසනදී පුවත් ද්විත්වය එකම පුවතක් වන්නේ රසික නොමනාපය සමඟය. මෙවැනි අභියෝගාත්මක දෑ සමඟ ගනුදෙනු කරන්නට ප්‍රියන්ත මිට පෙරද පියවර ගත් වග සිහිකටයුතුය. ඉන් එක් අවස්ථාවක් වනුයේ ‘ආදරණීය කතාවක්’ හි ජනකාන්ත තරුණ ගායකයා සුව කළ නොහැකි රෝගයකින් මිය යන්නට සැලැස්වීමය. තවත් අවස්ථාවක් වනුයේ ‘දේදුනු ආකාසේ’ හිදී දරුණු රිය අනතුරකින් සුරූපී යුවතියක් මිය යන්නට සැලැස්වීමය. මේවා රසිකයා සසල කළද ප්‍රතික්ෂේප නොවූ බව පෙනේ.
සරල රසාලිප්ත සිනමාපටයකදී වුව විශ්වාසනීයත්වය අකුරටම රැකීම සිනමාකරුවකුගේ වගකිමක්ය යන්න පැහැදිලිය. ප්‍රියන්ත මෙතැනදී හැසිරෙන්නේ ප්‍රශ්නකාරී ලකුණු සහිතවයි. තිරනාටකය ඉක්මවා යෑමේ අභිලාසයක් ඔහු වෙතින් දක්නට නොලැබෙන තරම්ය. සම්මත දෛවෝපගත පුවතකදී වුව තාර්කික පිළිවෙත් සාක්ෂාත් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. වැඩිහිටියන් හමුවට හදිසියේ පැමිණෙන දියණිය ඔවුනට සිය පෙම්වතා හඳුන්වා දීම මෙසේ ප්‍රියන්ත පළමුවෙන්ම ගෙන එන ප්‍රශ්නකාරී අවස්ථාවයි. අවසන් අවස්ථාව වනුයේ ඝාතනය කරලීමේ හැකියාව ඉහළින්ම තිබියදීත් තිදෙනෙකු සිහි මුර්ඡා කොට දුම්රිය මඟේ දමා යෑමේ අදමිටුවාගේ කාර්යයයි. කෙසේ වුවද මෙම අවසන් ජවනිකාව සිනමාපටයේ උද්වේගකර අවස්ථාව බවට පත්වේ. රසිකයා හෝරා දෙකක් තිස්සේ සිනමාශාලාව තුළ රඳවා ගැනීම පිණිස මෙබඳු පිළිවෙත් වැදගත් වන බව රසාලිප්ත සිනමාව උගන්වා ඇත්තේ දශක ගණනාවකට පෙරාතුවයි.
සිනමා වෙළෙඳ පොළ ජය ගැනීම පිණිස රසාලිප්ත සිනමාව සතු හැකියාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා සිනමාකරුවකු බවට ප්‍රියන්ත පත්වීම දෙස වපරැ’සින් බැලීම අනුචිතය. මේ ඔහුගේ මුල් කාලීන සිනමා භාවිතය කිසිවිටෙකත් අමතක නොවන නිසාවෙනි. ‘දැහැන’, ‘විමුක්ති’ හා ‘අරුමෝසම් වැහි’ බඳු සිනමාපට තවදුරටත් නිර්මාණය කරන්නට වැර දැරුවේ නම් ඇතැම් විට ප්‍රියන්ත කොළඹගේ සිනමාකරුවකුසේ අද දවසේදී හමු නොවන්නටද ඉඩ තිබිණි. මෙයින් අදහස් කරන්නේ ඔහුගේ අතීතයට වඩා වර්තමානය සඵලදායී නොවන බව නම් නොවේ. වැදගත් වන්නේ ඉහළ ප්‍රමිතියකින් යුතු සිනමාපට නිර්මාණයයි. ප්‍රියන්ත මේ හා බැඳෙන සිනමාකරුවකුය යන්න නම් නොරහසකි.
තුසිත ජයසුන්දර