බොහෝ දෙනා ජීවත් වන්නේ හීන රාශියක් සිත තුළ රඳවාගෙනය. ඒ හීන එකිනෙක සැබෑ කරගත හැක්කේ තමාම උනන්දු වුවහොත් පමණි. මව්පියන් හීන දකින්නේ තම දරුවන් සමාජයේ ඉහළින් වැජඹෙනවා දැකීමටය. මව්පියන්ගේ හීන සැබෑ කරමින් ගම් පියසෙන් කොළඹට සේන්දු වී තම හීන සැබෑ කරගත් අපූරු තැනැත්තෙක් පසුගියදා සරසවියට අහම්බෙන් මුණගැසුණි. ඔහු පත්තර මහගෙදරට පිය නැඟුවේ මාධ්‍ය ක්ෂෙත්‍රයේ අනාගතය බාර ගැනීමට වෙර දරණ සිසු පිරිසකට අත්වැලක් සපයන්නටය. ඔහුට පත්තර මහගෙදර , සරසවිය නුහුරු තැනක් නොවේ. ඔහු කලක් මාධ්‍යවේදියෙක් ලෙස පත්තර මහගෙදරට නෑකම් කියූ චරිතයකි. ඔහු වසන්ත ජයසිංහආරච්චිය. වසන්තව වර්තමානයේ දකින්නට ලැබෙන්නේ නිවේදකයෙක් ලෙසටය. සැළලිහිනියාගේ සෙවණෙහි රැඳෙමින් තම හඬ වාතලයට මුසු කරන ඔහු නිවේදන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් පුද්ගලයෙකි. වසන්තගේ කඩවසම් රුව සහ රංගනයට ඇති හැකියාවත් නිසා ඔහුට පුංචි තිරයේ රඟන්නටද අවස්ථාව හිමි විය. ඔහු පත්තර මහගෙදරට පැමිණි මොහොතේ සරසවිය කර්තෘ මණ්ඩලයේ තම මිතුරු මිතුරියන් හමුවීමට අමතක නොකළේය. ඒ පැමිණි මොහොතේදී සරසවිය සමඟ කතාබහකට ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ආකර්ෂණීය සිනහවක් රඳවාගෙන සරසවිය ඉදිරියේ වසන්ත තම හඬ අවදි කළේය.
මම ජාතික රූපවාහිනියේ නිවේදකයෙක් විදිහට කටයුතු කරන්න පටන්ගෙන අවුරුදු 23 ක් පමණ වෙනවා. ශනිදා ආයුබෝවන් , රටා ඇතුළු විවිධ වැඩසටහන් වල නිවේදකයෙක් ලෙස සම්බන්ධ වෙලා ඉන්නවා. ජාතික රූපවාහිනියේ නිවේදකයෙක් ලෙස කටයුතු කරන්න ලැබීම භාග්‍යයක්. මම ඉතාමත් ආසාවෙන් කරන වැඩසටහනක් ලෙස ‘ රටා’ හඳුන්වා දෙන්න පුළුවන්. එය සම්මානනීය වූ වැඩසටහනක්. රයිගම්, සුමති සහ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ වැඩසටහනක්. එහි නිත්‍ය නිවේදකයා විදිහට මට කටයුතු කරන්න ලැබීම භාග්‍යයක්. රටා කියන්නේ මගේ ජීවිතයට ආශිර්වාදයක් වූ වැඩසටහනක්. රටා නිසා රට වටා යන්න ලැබෙනවා. විවිධ මිනිසුන් මුණගැසෙනවා. දුෂ්කරතා වලින් පීඩාවට පත්වූ මිනිසුන්ට ජීවිත ගොඩනඟා ගන්නට අත්වැලක් සපයන්න හැකිවෙලා තියෙනවා. ඇතැම් ප්‍රදේශ වලට ගමන් පහසුකම් නැහැ. හරිහමන් මාර්ගයක් නැහැ. එහෙත් අපි කෙසේ හෝ දක්ෂ නිර්මාණශීලී මිනිසුන් සොයා යනවා. අපේ රටේ ඉන්නවා අපි නොහිතන විදිහේ විවිධ දක්ෂතා වලින් පිරිපුන් මිනිසුන්. ඒ නිසා එවැනි මිනිසුන්ට වීරියක් වෙන්න උත්තේජනයක් වෙන්න රටා වැඩඩටහනට හැකිවී තිබෙනවා. ඔවුන් සිටියාට වඩා ඉහළ තලයකට ගන්න හැකිවුණා. ඔවුන්ගේ නිර්මාණ ශක්තිය ඉහළයි.ඔවුන්ගේ ඒ හැකියාවට නිසි වටිනාකමක් ලබා ගන්න වෙළඳ පොළක් සොයා ගන්න අවස්ථාව ලැබෙන නිසා ඔවුන් ආර්ථික මට්ටම යහපත් තත්වයකට ඇවිත් තියෙනවා. අපේ රටේ පමණක් නොවෙයි විදෙස් රටවලින්ද ඔවුන්ගේ නිර්මාණ සඳහා ඉල්ලුමක් තියෙනවා. කඩා වැටුණු ජීවිත නැවත ගොඩනඟා ගැනීමට ශක්තිය දෙන ශනිදා ආයුබෝවන්, ජාතික රූපවාහිනී අධ්‍යාපන ඒකකයේ සහ රටා වැඩසටහනෙහි අධ්‍යක්ෂක සංජය ඉන්ද්‍රකුමාර, නිෂ්පාදක විරාජ් ධර්මදාස යන දෙපළ ඉතාමත් ආදරයෙන් මතක් කළ යුතුයි.
මා මෙහෙය වන අනෙක් වැඩසටහන වන්නේ ජාතික රූපවාහිනියේ ශනිදා ආයුබෝවන්. එම වැඩසටහන අවුරුදු 40 ක් පමණ පැරණියි. ඒ කාලේ ශනිදා ආයුබෝවන් මෙහෙය වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්, පාලිත පෙරේරා, බුද්ධදාස විතානච්චි යන ප්‍රවීණයන්. ඒ අසුන්වල මා වැනි කෙනෙකුට වාඩිවෙන්න ලැබීමත් වාසනාවක්. ශනිදා ආයුබෝවන් බ්‍රෑන්ඩ් එකක් වගේ.
නිවේදන කටයුතු කරන අතරතුර මට රඟපාන්නත් අවස්ථාව ලැබුණා. හඳපාන, ආයෙමත් ආදරෙන් , සංසාර ප්‍රාර්ථනා වගේ ටෙලිනාට්‍යවල මම රඟපෑවා. පසුව මම රංගනයෙන් ටික කාලෙකට ඈත් වුණා. අවුරුදු දොළහකට පමණ පසු මම නැවතත් රංගනයට ආරාධනා ලැබුණා. මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන මායාවී සඳහා. මට ඒ ආරාධනාව ලැබුණේ මගේ හිතවතුන් වන ලලිත් වසන්ත සහ මහේෂ් සත්සර මද්දුමආරච්චිගෙන්. මම හරි සතුටින් ඒ අවස්ථාව බාර ගත්තා. නමුත් මට එහි රූගත කිරීම් සඳහා යන්න ලැබුණේ එක් දිනයක් පමණයි. මගේ වෘත්තීය නිසා මට එයින් ඉවත් වෙන්න සිදුවුණා. මම මේ ලක්බිමට දැඩි සේ ආදරය කරන කෙනෙක්. මහ පොළොවට ආදරය කරන කෙනෙක්. කෘෂිකර්මාන්තයට සහ මහපොළොවට සම්බන්ධ රැකියාවක නිරත වෙන්න ලැබීමත් එක්තරා අන්දමකින් මම ලැබූ ජයග්‍රණයක්. මම රැකියාව කරන්නේ ශී‍්‍ර ලක් පොහොර සමාගමේ. මම එහි සාමාන්‍යාධිකාරිවරයා විදිහට කටයුතු කරනවා. මායාවී අතහරින්න වුණේ මගේ වෘත්තීමය රාජකාරියකට විදෙස් ගත වෙන්න තිබූ නිසා. ඒ අවස්ථාව ලැබුණේ මායාවී ටෙලිනාට්‍යය රූගත කිරීම් ආරම්භ වීමත් සමඟයි. ඒ නිසා මට මායාවී ටෙලිනාට්‍යය මඟ හැරුණා. මට ඒ ආරාධනාව ලැබුණේ වසර දොළහකට පසුව. මගේ රාජකාරී ගමන යායුතුම නිසා මම ඒ ගමන ගියා. මායාවී වර්තමානයේ අතිශයින්ම ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. එහි දිගටම රැඳී සිටියානම් රංගනය පැත්තෙන් මගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදී වෘත්තීමය පැත්තත් කලා කටයුතු සඳහාත් කාලය කළමණාකර ගනිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නිවේදනයට මම කවදත් කැමතියි. මට උපාධිය තියෙන්නෙත් ජනසන්නිවේදනය සම්බන්ව. ලේක්හවුස් එක මට නුහුරු තැනක් නෙවෙයි. මාධ්‍යවේදියෙක් ලෙස වසර දහ හතරක් මම එහි රැකියාව කළා. ජාතික පොසොන් මංගල්‍යය කළේ මම. නොකඩවා වසර 5ක් මම ඒ වැඩසටහන කළා. නිවේදනයට තියෙන කැමැත්ත නිසාම මම ලේඛන කලාවෙන් ඈත් වුණා. නිවේදකයෙක් විදිහට ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටිනවා. නිවේදයෙක් ලෙස වසර 23ක අත්දැකීම් සහ පළපුරුද්දක් මා සතුයි. මම මාධ්‍ය ක්ෂේත්‍රයට පා තැබුවේ ඒ පිළිබද මනා දැනුමකින් සන්නද්ධව. එහෙත් වර්තමානයේ ඒ සඳහා යොමුවන උදවියගෙන් බොහෝ දෙනෙක්ට නිවේදනය පිළිබද නිසි අවබෝධයක් සහ අධ්‍යයනයක් නැහැ. ප්‍රමිතියක් නැහැ. කතා කරන්න පුළුවන් නම් දැන් ඕනෑම කෙනෙක්ට නිවේදකයෙක් හෝ නිවේදිකාවක් වෙන්න පුළුවන්. සින්දු කියන අය, රඟපාන අය අද වන විට නිවේදක නිවේදිකාවන් වෙලා. අතීතයේ එවැනි තත්වයක් තිබුණේ නැහැ. අතීතයේ සිටි ප්‍රවීණයන් තුළ ප්‍රමිතියක් සහ ඔවුන්ගේ භාෂා විලාසයේ ගුණාත්මකභාවයක් තිබුණා. ප්‍රේමකීර්ති ද අල්විස්, පාලිත පෙරේරා, රොස්මන්ඩ් සේනාරත්න, අරුණ් ඩයස් බණ්ඩාරනායක වැනි දැවැන්තයන් දිහා බලලා අපි ඉගෙන ගත්තා. අද බොහෝ නිවේදකයන් මාධ්‍ය ආචාර ධර්මවත් දන්නේ නැහැ. ඒත් මගේ සමකාලීන පරපුරට නිසි දැනුමක් තිබුණා. ඔවුන් භාෂාව හැසිරවීමේදී ප්‍රමිතියක් තිබුණා. හරසුන් දේ කතා කළේ නැහැ. වත්මන් පරපුරේ ඇතැම් නිවේදක නිවේදිකාවන් බොහෝ විට කියවන්නේ හරසුන් දේවල්. එසේ වීමට හේතුවක් තියෙනවා. ඇතැම් පෞද්ගලික නාලිකා වල භාෂාව හැසිරවීමේදි විවිධ රිද්මයන් තියෙනවා. ඇතැම් අයට කතා කරන්නේ මොනවද කියලවත් තේරුමක් නැහැ. නිවේදන ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි රංගන,ගායන ක්ෂේත්‍ර වලත් මේ දේම සිදුවෙනවා. නිසි අධ්‍යයනයකින් තොරව පැමිණීම නිසා ඒ ඒ අංශවල ප්‍රමිතියට දැඩි හානියක් සිදුවෙලා තියෙනවා. මෙයට කදිම පිළිතුරක් දී තිබෙනවා සරසවිය වත්මන් කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් රචිත ගඩ්ඩරිකා ප්‍රවාහය හෙවත් සුකිරි බටිල්ලන්ගේ ලෝකය නැමති ග්‍රන්ථයේ. වර්තමානයේ සිදුවන සිද්ධීන් ඔහු කලින්ම දුටුවා. ඒ ග්‍රන්ථය ලියැවුණේ 2008 දී පමණ. එදා ඔහුත් මමත් වර්තමානයේ මේ වෙන දේ ගැන පුළුල්ව කතා කළා.
වර්තමානයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වාම ජංගම දුරකතනයට හුරුවෙලා.ඔවුන් වැඩිපුර කාලය ගත කරන්නේ ජංගම දුරකතනය සමඟ. පොතපත, පුවත්පත් කියවනවා අඩුයි. ඒ කාලය පොතක් කියවන්න යොදනවානම් කොපමණ හොඳද. මම මුහුණු පොත පරිහරණය කරන කෙනෙක් නෙවෙයි. ඒ කාලය මම යොදවන්නේ පොතක් කියවන්න.
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ දේශකයෙක් ලෙස කටයුතු කරන්න මට වරින් වර අවස්ථාව ලැබෙනවා. මා එයට සහභාගී වෙන්නේ ඉතාමත් සතුටින්. මා සතු දැනුම අනාගත පරපුරට දායාද කරන්න ලැබීම සතුටක්. ඒ පිළිබද කතා කිරීමේදී මෙම කාරණාව ගැනත් කතා කළ යුතුමයි කියා මා හිතනවා. අද තරුණ පරපුරට අතීත තොරතුරු පිළිබද දැනුම අඩු බවක් පේනවා. මම දේශනවලට යන තැන්වලදී ප්‍රශ්න අසනවා. කියන්න කනගාටුයි ඔවුන් දැනුමෙන් පොහොසත් නැහැ. සාමාන්‍යයෙන් මම දේශන පවත්වද්දී හිතාමතාම වැරදි කරුණක් පවසනවා. මා එසේ කරන්නේ ඔවුන් ඒ පිළිබද දැනුමත් ද කියල පරීක්ෂා කරන්න. එහෙත් ඒ වැරැදි කරුණත් ඔවුන් අනුමත කරනවා. ‘නැහැ එය නෙවෙයි පිළිතුර’ කියන්නට තරම්වත් ඔවුන් දැනුමත් නැහැ. පොතපතින් ඈත් වීම නිසයි එසේ වන්නේ. නිතර කියවීමට හුරු වුණොත් තමයි දැනුම වර්ධනය කළහැකි වන්නේ. එවිට තමයි යාවත්කාලීන වන්නේ
මව්පියන් බොහෝ විට උත්සාහ කරන්නේ තම දරුවන් විදේශීය රටකට පිටත් කරන්න. ඒ නිසා ඔවුන්ට කුඩාකල සිටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙනවා. අන්තර් ජාතික පාසැල්වලට යවනවා. එය වරදක් ලෙස මා දකින්නේ නැහැ. එහෙත් අපේ දරුවන්ට අපේ රට ගැන, එහි ඉතිහාස තොරතුරු ගැන, අපේ රටේ වටිනාකම ගැන දැනුම්වත් කළ යුතුයි. වර්තමානයේ තම කුටුම්භය ඇතුළත එකමුතුකම ගිලිහී ගොසින්. හැම දෙනාම හුදකලා වෙලා. පවුලේ අම්මා තාත්තා දරුවන් වෙන වෙන ලෝක වල තනිවෙලා. ඔවුන් ළං කරගෙන සිටින්නේ ජංගම දුරකතනය හෝ පරිගණකය. ඒවාට ඔවුන් ඇබ්බැහි වෙලා. අතීතයේ අපේ ආච්චිලා සීයලගේ අම්මලගෙ තාත්තලාගේ ජීවිත ලස්සන වුණේ ඔවුන් තුළ සමඟිය, එකමුතු බව, ආදරය තිබූ නිසා. විශේෂයෙන් වර්තමාන සමාජයේ සංවේදී මිනිසුන් අඩුයි. ප්‍රශ්නයක් වුණාම දරාගන්න බැහැ. ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා. එසේ වන්නේ සංවේදී නොවීම හේතුවෙන්. විශේෂයෙන් අපේ දු පුතුන්ව සෞන්දර්ය විෂයයන් සඳහා යොමු කළ යුතුයි. කුඩාකල සිටම ඔවුන්ව රසාස්වාදනයට හුරුකළ යුතුයි. අපිට කුඩා කළ අසන්නට ලැබුණේ හරවත් රසවත් ගීත. දකින්නට ලැබුණේ ගුණාත්මක ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ. වර්තමානයේත් ඉඳහිට ප්‍රමිතියෙන් උසස් ගීත, ටෙලි නාට්‍ය, සිනමා නිර්මාණ බිහිවෙනවා. අද අපිට බොහෝ විට අසන්නට ලැබෙන්නේ ඝොෂාකාරී සංගීතය මුසු වූ හරසුන් ගීත. මම පාසැල් වලට යනවා. විශේෂ දේශන පැවැත්වීම සඳහා. මම ඔවුන්ගෙන් ප්‍රශ්න අසනවා.
‘ දරුවනේ ඔබලා ටෙලිවිෂනය නරඹනවාද’
ඔවුන් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දෙනවා.
ඔබ නරඹන්නේ කුමන වැඩසටහන්ද කියා ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් වැඩිදෙනා කියන්නේ ඉංග්‍රීසි චිත්‍රපට කියලා. ඔවුන් හුරුවෙලා තියෙන්නෙ ඒවාට. ඔවුන් අධ්‍යාපනික, කාලීන වැඩසටහන් නරඹන්නේ නැහැ. වර්තමානයේ ජාතික රූපවාහිනියේ ගුණාත්මක බවින් උසස් ටෙලි නිර්මාණ විකාශය වෙනවා. අමුතු දොස්තර , ඉරගිනි මද්දහන, සීසෝ, අමුතු දීගේ වගේ නිර්මණ නැරඹීමට හැමදෙනාටම අවස්ථාව ලැබී තිබෙනවා.
නිවේදකයෙක්, වැඩසටහන් මෙහෙය වන්නෙක්, දේශකයෙක් විදිහට මට අවශ්‍ය සමාජයේ වෙනසක් ඇති කරන්න. පාසැල් වල දේශන පවත්වද්දී මම කතා කරන්නේ ජීවිතය ගැන. ජීවිතය යහපත්ව ගොඩනඟා ගන්නා ආකාරය පිළිබදව. මගේ දේශනා හරහා මා බලාපොරොත්තු වන්නේ යහපත් සමාජයක් තැනීම. සංවේදී හදවත් ඇති පුද්ගලයන් බිහි කිරිම.
ගමක ජිවත් වෙලා ගමක පාසැලකට ගිය මම ජීවිතය දැක්කේ කොළඹට පැමිණීමත් සමඟ. කැලණිය සරසවියට පැමිණීමත් සමඟ මට අවස්ථාවන් රැසක් හිමිවුණා. එහිදී හමුවුණ මිතුරන් වගේම ලබපු අත්දැකීම් වලින්, පත්තර මහගෙදරින් ලැබුණ මාධ්‍ය පන්නරයෙන් මාව පෝෂණය වුණා. සැළලිහිණියාගේ සෙවණේ උණුසුම ලබන්නට පත්තර මහගෙදරින් ලැබුණ අත්දැකීම් ප්‍රයෝජනවත් වුණ බව කිව යුතුයි.
ජාතික රූපවාහිනියේ නිවේදකයෙක් ලෙස වසර විස්සකට වැඩි සේවා කාලය තුළ මේ දක්වා මට ශක්තියක් වූ රියදුරු මහතාගේ සිට මාව නිවේදන කලාවට හැඩගැස්වූ සැමට පිං. යහපත් පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට ශක්තියක් ලබා දුන් මගේ මව්පියන් මම ආදරයෙන් සිහිපත් කරනවා. තාත්තා සතුව තිබූ කලා හැකියාව මට උරුම කරදී ඔහු ජීවිතයෙන් සමුගත්තත් ඔහුගේ ආශීර්වාදය මට ලැබෙනවා ඇති. මගේ පියා ටීටර් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. විවිධ බාධක හමුවේ මෙපමණ දුරක් එන්නට ශක්තියක් වූ මගේ ආදරණීය බිරිඳ මහේෂා මගේ ජීවිතයට විශාල ශක්තියක්. සහෝදරයන් හතර දෙනෙක් සහ සහෝදරියෝ හතරක් මැද පවුලේ බාලයා වූ මට සැමගේ ආදරය හිමිවුණා.
ඉටුකර ගැනීමට අසීරු බලාපොරොත්තු මා සතුව නැහැ. සරලව ජීවත්වන එක විතරයි එකම බලාපොරොත්තුව. ප්‍රතිපත්ති ගරුකව වෘත්තීය ගරුත්වය ඉහළින් රකිමින් මම මගෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කරනවා. මිනිසුන්ට වචනයෙන් හෝ ශක්තියක් වෙන්න මම නිතර උත්සාහ කරනවා. මගේ එකම ප්‍රාර්ථනාව මේ රටට උපරිම සේවයක් කරන එක. මේ රට ලස්සන පුංචි දූපතක්.
මම හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ මෙපමණයි. මේ පිං බිම හැරදා විදෙස් රටකට ඉඟිළී යන්න එපා.
සේයාරූ – මාලන් කරුණාරත්න
නයනාංජලි දෙහිපිටිය