නිවස විචාර රචකයෙක් කියන්නේ එක්තරා විදිහක මානව විද්‍යාඥයෙක්

රචකයෙක් කියන්නේ එක්තරා විදිහක මානව විද්‍යාඥයෙක්

ප්‍රවීණ තිරරචක රසික සුරවීරආරච්චි

by Mahesh
August 1, 2024 12:30 am 0 comment

– පරිකල්පනයට සීමා නැහැ: අන්තරීක්ෂයෙන් එහාට වුණත් එය මෙහෙයවිය හැකියි
– මගේ පාඨමාලාව ඇරඹුණේ තිරරචනය පිළිබඳ මා ලද පරිචය මෙකී විෂයයට උනන්දුවන්නන්ට ලබාදීමේ අරමුණින්
– අධ්‍යක්ෂවරයා සහ තිරරචකයා අතර සම්බන්ධය ගසට පොත්ත වගේ
– නවකයන්ගේ චින්තනය බොහෝවි‍ට තාක්ෂණිකයි. ඔවුන් මිනිස් චෛතසිකයන් ගැන සංවේදී වීම අඩුයි
– විශ්වවිද්‍යාලයේදී තිරරචනය ඉගෙනගත්තේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගෙන්
– කාර්මික තිරරචනය කියන්නේ සාහිත්‍යමය තිර රචනය ඇසුරින් කෙරෙන රූප වි‍භේදනයක් සහිත සැකැස්මක්

ටෙලිනාට්‍ය තිර රචනා කලාව තුළ මෑතකාලීනව දැඩි කතාබහට ලක්වූ එමෙන්ම සම්මානයන්ට ද පාත්‍රවූ දක්ෂ, තරුණ තිර රචකයකු වන රසික සුරවීර ආරච්චි, සිය තිර රචනා කලාව ඇතුළු නිර්මාණ දිවිය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.

මේ දිනවල ඔබේ තිර රචනයෙන් නිර්මාණය වූ ටෙලි නිර්මාණ පිළිබඳ සඳහන් කරනවා නම්….?

ඔව්, පසුගිය දා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය අවසන් වූ “තත්පරයක් දෙන්න” සහ ස්වර්ණවාහිනියේ මේ දිනවල විකාශය වන “ලලයි ලිලයි ලයි” ටෙලිනාට්‍යයේ කොටස් 114ක් දක්වා මම රචනා කළා. ඊට අමතරව මේ දිනවල ජාතික රූපවාහිනියේ මා රචනා කළ “මිරිඟු ඉම” ටෙලිනාට්‍යය විකාශය වෙනවා. එය මීට කලකට පෙර මා විසින් රචනා කරන ලද්දක්.

“තිර රචනය ගැන මාත් එක්ක” යනුවෙන් ඔබ ආරම්භ කළ පාඨමාලාව පිළිබඳ පවසනවා නම්….?

මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායම ලෙස 06 දෙනෙක් පමණ බඳවාගෙන අධ්‍යයන කටයුතු කරගෙන යනවා. එකී පාඨමාලාව මගේ නිවෙසේම පැවැත්වෙන්නේ. එක් කණ්ඩායමක් සඳහා නිර්මාණකරුවන් 06ක් පමණයි සහභාගී කරගන්නේ.

එකී පාඨමාලාව ආරම්භ කිරීමට යොමුවූයේ කුමන හේතු පදනම් කරගෙනද….?

ඇත්තටම අනෙකුත් ශිල්පීන් වගේ තිර රචකයන් බිහිවෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ කුසලතාවක්, කැපවීමක් අවශ්‍යයි. තිර රචකයෙක් විදිහට මම කිසියම් පරිචයක් ලබා ඇත්නම් එය තිර රචනය සඳහා උනන්දු වන නිර්මාණකරුවන් වෙත ලබාදීමේ අධිෂ්ඨානයෙන් තමයි මෙම “තිර රචනය ගැන මාත් එක්ක” පාඨමාලාව ආරම්භ කළේ.

දක්ෂ තිර රචකයන්ගේ හිඟය ඔබ ආරම්භ කළ පාඨමාලාව තුළින් සපුරාලිය හැකි යැයි විශ්වාස කරන්නේද….?

එබඳු නිගමනයන්ට පැමිණිය නොහැකියි. මම කරන්නේ මගේ අත්දැකීම් සහ ක්‍රමවේදයන් තිර රචනය සඳහා උනන්දු වන නිර්මාණකරුවන් සමඟ බෙදාහදා ගැනීම පමණයි. එහෙත් නිර්මාණ ශක්‍යතාවන් සහිත පිරිස් මාත් සමඟ එක්වුණොත් ඔබ ඔය කියන මානයන්ට ළඟාවීමට උත්සාහයක් ගතහැකියි.

තිර රචනය ඉගෙනීමට මෙරට තිබෙන අධ්‍යයන ආයතන සහ පාඨමාලා පිළිබඳ සෑහීමකට පත්විය හැකිද….?

විශ්වවිද්‍යාල මට්ටමින් මේ පිළිබඳ ඉගැන්වීම් සිදුකරනවා. විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය මඟින් විශේෂවේදී උපාධියක් පවා ලබාදෙනවා. අනෙකුත් විශ්වවිද්‍යාලවලත් යම් යම් මට්ටම්වලින් තිරරචනා කලාව පිළිබඳ ඉගැන්වීම් කෙරෙනවා. එහෙත් තිර රචනය යන්න ඉගැන්වීම් තුළින් පමණක්ම සාක්ෂාත් කරගත හැකි දෙයක් නෙවෙයි.එය දීර්ඝකාලීනව ප්‍රගුණ කළයුතු කලා මාධ්‍යයක්. විෂයයක්….

ටෙලිනාට්‍ය-සිනමා නිර්මාණයකට තිර රචනයක් ලිවීමට පෙර ඔබ මූලික වශයෙන් සලකා බලන විශේෂිත වූ කරුණු තිබේද….?

ඔව්, තිබෙනවා. වැදගත්ම කරුණ නම් අනුභූතියයි. එනම් කතා වස්තුව කුමක්ද යන්නයි. එය දුලභ තේමාවක් සහිතවීම නම් වැදගත්. එවිට නැවුම් ආකාරයෙන් තිර රචනාවක් සිදුකිරීමට අවකාශය ලැබෙනවා. එසේම නිර්මාණාත්මකභාවය තීව්‍ර කරගැනීමට හැකියි. ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගැනීමට එමඟින් අවස්ථාව සැලසෙනවා

තිර රචනයක් ලිවීමේදී චරිතවල ප්‍රබලත්වය ඉස්මතු කරලීම සඳහා (කළු-සුදු පැතැලි චරිත නිර්මාණය) ඔබ යම් උපක්‍රම අනුගමනය කරන්නේද….?

ඒක සිද්ධවෙන්නේ කතාවේ ස්වාභාවය අනුවයි. කොහොමත් කළු, සුදු, පැතැලි චරිත කියලා චරිත වර්ගීකරණයක් මම කරන්නේ නැහැ. මම කරන්නේ චරිතවල යථා ස්වභාවය නාටකීය මුහුණුවරකින් ඉදිරිපත් කිරීම. චරිත අතර සිදුවන එකී නාටකීය ඝට්ටනයන් තුළින් තමයි චරිත ගොඩනැඟීම සිදුවෙන්නේ. චරිතවල ප්‍රබලත්වය තීරණය වෙන්නේ කතාවේ ගලායාම අනුවයි. විටෙක ප්‍රබල චරිතය තවත් විටෙක පරාජිත දුර්වල එකක් බවට පත්වෙන්න පුළුවන්. ඒවගේම එහි අනිත් පැත්තත් වෙන්න පුළුවන්

චිත්‍රපටයක, ටෙලිනාට්‍යයක තිර රචනය ලිවීමේ කාර්යයේදී අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ ගනුදෙනුව කවරාකාර ද ….?

අධ්‍යක්ෂවරයා සහ තිරරචකයා අතර සබඳතාව ගසට පොත්ත වගේ වියයුතුයි කියන එක තමයි මගේ නම් හැඟීම. ඔවුන් දෙදෙනා අතර තිබෙන මෙම අවියෝජනීය බැඳීම විසින් තමයි සාර්ථක නිර්මාණයක් බිහිවෙන්නේ. නිර්මාණයක මවු කාර්යය සිදුවන්නේ තිරරචකයා අතින්. ඔහු විසින් සිදුකරන එම නිර්මාණාත්මක කාර්යය පිළිබඳ මනා අවබෝධයක් අධ්‍යක්ෂවරයා සතුව තිබිය යුතුයි. තිරරචකයා විසින් ගොඩනඟනු ලබන අර්ධ සාහිත්‍යමය වියමනක් දෘශ්‍ය රූප ධාරාවක් බවට පෙරළීමේ වගකීම පැවැරෙන්නේ අධ්‍යක්ෂවරයාටයි. එකී රූප සංරචනය සඳහා තිරරචනයේ සාරය මනාව උකහාගත යුතුයි. දෙදෙනා අතර සම්බන්ධය ඉතා වැදගත් වන්නේ ඒ නිසයි…

සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණ යන ද්විත්ව මාධ්‍යයේ තිර රචනය වෙනස්වනුයේ කවරාකාරයෙන් දැයි පැහැදිලි කළොත්….?

මෙම දෙවර්ගයම දෘශ්‍ය ආඛ්‍යාන වුණත් සිනමාව සහ ටෙලිනාට්‍ය අතර විශාල පරස්පරතා පවතිනවා. කාලය සහ අවකාශය යන සාධකයේ සිටම මෙය එකිනෙකට වෙනස්. සරලව කිව්වොත් චිත්‍රපටයක ධාවන කාලය සහ ටෙලිනාට්‍යයක ධාවන කාලය හාත්පසින්ම වෙනස්. ඝට්ටන අවස්ථා ගොඩනැඟීම, කතාවේ ගලායාමේ තීවෘතාව, අනුභූතීන් මේ සියල්ල අතරම වෙනස්කම් පවතිනවා. ඒ පිළිබඳ කෙටියෙන් විග්‍රහ කිරීම අපහසුයි.

නවකතාවක් ආශ්‍රිත කරගනිමින් තිරරචනයක් ලිවීමේ කාර්යයේදී එකී නවකතාව සහ තිර රචනය යන මාධ්‍ය ද්විත්වයෙහි වෙනස තිරරචනයට බලපාන ආකාරය කෙසේදැයි කීවොත්….?

නවකතාවක් යනු පූර්ණ වශයෙන්ම සාහිත්‍යමය ලියවිල්ලක්. එහෙත් තිරරචනය මම පෙර සඳහන් කළ ආකාරයට සැලකෙන්නේ අර්ධ සාහිත්‍යමය වියමනක් ලෙසින්. තිර රචනයක් යනු රූපයෙන් කතාවක් කීම සඳහා වන නිශ්චිත ආකෘතියකට අනුව සිදුකෙරෙන්නක්. ඒ තුළ සාහිත්‍යමය ප්‍රයෝග ඉතාම විරලයි. ඒ කියන්නේ උපමා, රූපක, ස්ථානීය වර්ණනා, චරිත වර්ණනා, අලංකාරෝක්ති, චිත්ත චෛතසික විග්‍රහයන්, ධ්වනිතාර්ථ නැංවීම, ව්‍යංග්‍යාර්ථ ආදී වශයෙන් සාහිත්‍යමය රචනයේදී භාවිත කෙරෙන අනේකවිධ ප්‍රයෝග තිරරචනයේදී භාවිත නොකෙරෙන තරම්. මා කලින් සඳහන් කළ පරිදිම මේ පිළිබඳ මෙසේ කෙටියෙන් විග්‍රහ කිරීම අසීරුයි..

පාසල් අවධියේත් ඔබ ලිවීමේ දක්ෂතා පෙන්වුම් කළා ද….? එයින් ජයග්‍රහණත් ලබා තිබේ ද…..?

පාසල් වියේ සිටම මම කෙටිකතා, කවි ආදිය රචනා කරනවා. විශ්වවිද්‍යාල සමයේත් එහෙමයි. විවිධ අවස්ථාවල මගේ නිර්මාණ ඇගයීමට, සම්මානයට පාත්‍රවෙලා තියෙනවා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේදී ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ පුහුණු නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කළා. එම අවධියේදී තමයි තිරරචනාකරණයට පෙළැඹුණේ.

තිර රචනා කලාව අධ්‍යයනයේදී ඔබ ගුරුකොටගත් පිරිසක් වේද…..?

ඔව්, ඉන්නවා.. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මට මේ පිළිබඳ ඉගැන්වීම් කළේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්. ශී‍්‍ර ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී ද එතුමන් ඇතුළු ප්‍රවීණයන් රැසකගේ ගුරුහරුකම් ලැබුණා. රූපවාහිනී නාට්‍ය අංශයේ කටයුතු කළ සමයේ විමලරත්න අධිකාරි, ගයාරම්‍ය අල්විස් වැනි නිර්මාණකරුවන් විශේෂයෙන්ම ටෙලිනාට්‍ය රචනය පිළිබඳව ශක්‍යතාවන් ලබාදුන්නා. වසර ගණනාවක් මම ස්වයං අධ්‍යයනයක නිරතවුණා. එහිදී සිඩ් ෆීල්ඩ් වැනි තිරරචනා උපදේශකයන්ගේ පොත්පත් පරිහරණයට ද යොමුවුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා, මෙම විෂයය සම්බන්ධයෙන් අපට දැනුම ලබාගත හැකි ස්ථාන අල්පයි කියන දේ. විදේශීය විශ්වවිද්‍යාල මට්ටමින් අපට මේ පිළිබඳ හැදෑරීමට අවකාශ ලැබේනම් කෙටිකාලීනව වර්ධනීය තත්ත්වයකට පත් වූ කලාවක් ලෙස මේ ගැන දැනුම් සම්භාරයක් ලබාගත හැකියි. විදෙස්ගතව සිටින මගේ හිතවතුන් එබඳු අධ්‍යයනයන් සඳහා බොහෝ අවස්ථාවල මට උදව් කරනවා.

තිර රචනාව තුළ දෙබස්වල ප්‍රබලත්වය ඉස්මතු කරලීමට ඔබ යම් යම් විධික්‍රම උපයෝගි කරගන්නවා ඇති….?

තිර රචනාවකදී දෙබසට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ රූපයට. එහෙත් රූපයෙන් ඉදිරියට යානොහැකි තැනකදී දෙබස් ඉදිරියට පැමිණෙනවා. දෙබස් රචනයේදී උපක්‍රම භාවිත වෙනවා. විශේෂයෙන්ම චරිතවල ස්වභාවය සහ පසුබිම අනුව දෙබස් රචනය අත්‍යාවශ්‍යයි.. මෙහිදී මා පිළිබඳව පැවැසුවොත් මම දෙබස් රචනය සඳහා භාෂා දැනුම උපක්‍රමශීලීව භාවිත කරනවා.

ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයක් තුළ ඔබ පළමුවරට තිර රචනයක් ගොඩනැඟූ ආකාරය මතකාවර්ජනය කළොත් ….?

මුලින්ම තිර රචනයක් කළේ හෝර්ටන් තැන්න පිළිබඳ වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමට. ඒ 1993 වසරේදී. එහෙත් ඒ කාර්යය සිදුවුණේ නැහැ. 1994දී ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පාඨමාලාවකදී ඒකාංගික ටෙලිනාට්‍යයක් රචනා කළා. ඒකත් කරගන්න බැරිවුණා. ඊටපස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේදී කොළඹ විශ්වවිද්‍යාලය ගැන වාර්තා වැඩසටහනක් රචනා කළා. රූගත කෙරුණු පළමු තිර රචනය ඒකයි. එම වාර්තා වැඩසටහන කළේ 1999දී……

කලාකෘතියක තිරරචනා කාර්යයේදී කාර්මික තිර රචනය පිළිබඳ ඔබේ දැක්ම කවරාකාර ද…..?

කාර්මික තිර රචනය කියන්නේ රූගත කිරීම සඳහා සාහිත්‍යමය තිර රචනය අනුසාරයෙන් කෙරෙන රූප විභේදනයක් සහිත සැකැස්මක්. වර්තමානයේ ලාංකේය ටෙලිනාට්‍ය තුළදී නම් එහෙම එකක් භාවිත කෙරෙන්නේ නැහැ. එහෙම දෙයක් සිද්ධවුණොත් ඒ ඉතාමත්ම කලාතුරකින්. එහෙත් සිනමා නිර්මාණවලදී තත්ත්වය ඊට වඩා වෙනස්. අලුතින්ම කාර්මික තිර රචනයක් නොලිව්වත් අධ්‍යක්ෂවරයා සහ කැමරා අධ්‍යක්ෂවරයා අතර සංවාදයකින් දර්ශනාවලිය රූප බවට ඛණ්ඩනය කෙරෙනවා.රූප සංරචනයේදී එය අත්‍යවශ්‍යයි.

කතාවක් ගොඩනැඟීමේදී ඔබේ පරිකල්පනය භාවිත වන සීමාවන් සහ එකී පරිකල්පන ශක්තියට අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය එකතුවන ආකාරයත් පැහැදිලි කළොත්…..?

පරිකල්පනයට සීමාවන් නැහැ.අන්තරීක්ෂයෙන් එහාට වුණත් පරිකල්පනය මෙහෙයවන්න පුළුවන්.ගැටලුව තිබෙන්නේ පරිකල්පිත දුර, රූප බවට පත්කර ගැනීමේදී පවතින සීමාවන් සහ දුෂ්කරතා. එනිසා අපට මහපොළොවේ එදිනෙදා ඇස ගැටෙන මානව විද්‍යාත්මක කාරණා මත අපගේ නිර්මාණාවලිය ගොඩනඟනවා. රචනය හුදකලාව සිදුකළත් අධ්‍යක්ෂවරයා අතර සංවාදය අඛණ්ඩව පවතිනවා. මොකද සෑම අවස්ථාවකම මම ලියන දේ තවකෙනෙක්ගේ තෙවැනි ඇසට ගෝචර වෙන ආකාරය දැනගන්න මම කැමැතියි. කතාව සුමටව ඔපමට්ටම් වීමට ඉන් විශාල පිටුබලයක් ලැබෙනවා.

ඔබේ තිර රචනයෙන් හැඩවුණු කලා නිර්මාණ මොනවාද….?

ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ, ජනක සුරංජිත් අධ්‍යක්ෂණය කළ “ඇබෑර්තු ඇත, බොරලු පාර, සිල්ලර කාසි” , ආචාර්ය ජයලත් මනෝරත්නයන් අධ්‍යක්ෂණය කළ “තාත්තේ අපි ආවා, ඊළඟට මොකද වෙන්නේ, සමනලී”, ආනන්ද අබේනායකයන්ගේ “සංසාරේ පියසටහන්” උදෙසා රචනා කළ “අලුත් ජීවිතයක්, මරණයට මාසයයි, වැඩිහිටියෝ, ජීවක, පිංබර, සහෝදරයෝ, කේන්තිය, පසුතැවිල්ල, දවසක්, දරුවෝ, අත්හැරීම, පැණි වළලු, නොහිතම දවසක්” වැනි ඒකාංගික ටෙලිනාට්‍ය. සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ “භාවතිර්ථ” වෙනුවෙන් මම රචනා කළ “සාක්ෂිය, ආදරණීය තත්පරයක්” ටෙලිනාට්‍ය සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂවරයා කළ “හුස්ම වැටෙන මල්, ලංසුපතිනියෝ, මිරිඟු ඉම, පැණි කුරුල්ලෝ” වැනි ටෙලි නිර්මාණ සඳහන් කළ හැකියි. එමෙන්ම මා විසින්ම ලියා අධ්‍යක්ෂණය කළ “අවසන් හුස්ම තෙක්” සහ “උමතුවෝ දෙන්නෙක්”. මෑතකදී සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ “මෙට්රෝ හීන, හියුමන් එරර්ස්, ලලයි ලිලයි ලයි, තත්පරයක් දෙන්න” ආදී වශයෙන් නිර්මාණ ගොන්නක් මගේ අතින් පසුගිය දශක දෙකකට අධික කාලය පුරා තිර රචනය වුණා. පළමුවෙන්ම මම තිරරචනය කළ ටෙලිනාට්‍යය වුණේ ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ “අත්තම්මා” නම් වූ අවුරුදු ටෙලිනාට්‍යයක්. ඉන්පසු ස්වර්ණවාහිනියට “නන්දුත්තරා” නමින් කොටස් 28ක ටෙලිනාට්‍යයක් රචනා කළා. ඒ ටෙලිනාට්‍ය දෙකම නිර්මාණය වුණේ 2000, 2001දී වගේ.. “තොටිල්ල, අත්ගුණය, සේයාරුව, වෙනස්කම, ගින්න” ආදී වශයෙන් තවත් ඒකාංගික ටෙලි නිර්මාණ කිහිපයක්ම ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කළා…ඒකාංගික ටෙලිනාට්‍ය රචනයට මගේ විශේෂ ආසාවක් තිබෙනවා.

ඔබ සම්මානනීය වූ අවස්ථා මොනවද….?

2004දී ජාතික රූපවාහිනියට රචනා කළ “තොටිල්ල” ඒකාංගික ටෙලිනාට්‍යය වෙනුවෙන් අන්තර්ජාතික ඒබීයූ (ඒඕඋ) සම්මාන උලෙළේදී ජූරියේ විශේෂ සම්මානයක් හිමිවුණා. ඉන්පසුව 2011දී “ඇබෑර්තු ඇත” ටෙලිනාට්‍යය වෙනුවෙන් සුමති සහ රයිගම් ටෙලිනාට්‍ය සම්මාන උළෙලවලදී හොඳම තිර රචනයට, හොඳම ගීත රචනයට සම්මාන හිමිවුණා. “බොරලු පාර” සහ “සිල්ලර කාසි” ටෙලි නාට්‍ය නිර්මාණයන්හි තිර රචනය සහ ගීත රචනය වෙනුවෙන් සම්මානයන්ට නිර්දේශිත වුණා. 2014දී “භාවතීර්ථ” උදෙසා රචනා කළ “සාක්ෂිය” ටෙලි චිත්‍රපටයේ තිර රචනය සඳහා රාජ්‍ය සම්මාන හිමිවුණා. 2019දී “අවසන් හුස්ම තෙක්” ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය, තිරරචනය සහ ගීතරචනය උදෙසා ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය හිමිවුණා. ඒ හැරුණුකොට “සංසාරේ පියසටහන්” ටෙලිනාට්‍ය මාලාව වෙනුවෙන් රචනා කළ “දරුවෝ, පසුතැවිල්ල, වැඩිහිටියෝ” ඒකාංගික ටෙලිනාට්‍ය හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්‍රවුණා. තවත් නිර්මාණ කිහිපයක්ම සම්මාන සඳහා නිර්දේශ වුණා.    

සිනමා තිර රචනය තුළ රසික සුරවීරආරච්චි භූමිකාව ස්ථානගතවනුයේ කුමන තැනකද….?

2017දී තිරගත වූ “පහ සමත්” චිත්‍රපටය තිරරචනය කළා. එය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. එතැන් සිට වර්තමානය දක්වා සිනමා නිර්මාණයකට තිර රචනයෙන් දායකවෙන්න අවකාශ ලැබුණේ නැහැ. ඒත් දැන් ටෙලිනාට්‍යවලට වඩා වැඩි ඉඩක් සිනමා නිර්මාණ වෙත ලබාදීමේ ආසාවෙන් පසුවෙනවා. මේ දිනවල රුක්මල් නිරෝෂ් සමඟ සිනමා නිර්මාණයක නිරත වෙනවා. ඊට අමතරව තවත් සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබී තිබෙනවා.

ඔබ අතින් යළිත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණ කාර්යය සිදුවේවිද….?

ඔව්, ඉදිරියේදී අවකාශය ලැබෙන පරිදි අධ්‍යක්ෂණ කාර්යයේ නියැළෙන්න තමයි මගේ අපේක්ෂාව.

තිරරචනා කලාවට පිවිසෙන නවකයන් පිළිබඳ ඔබේ දැක්ම මොනවගේද….?

නවකයන් දක්ෂයි. ඔවුන්ගේ චින්තනය බොහෝවිට තාක්ෂණිකයි. එම නිසා සාමාන්‍ය මිනිස් චෛතසික ස්වභාවයන් පිළිබඳ ඔවුන්ගේ සංවේදීත්වය අඩු මට්ටමක තිබෙන්නේ.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා නිර්මාණ දිවියට ලැබෙන අනුග්‍රහය කවරාකාරද….?

මගේ බිරිඳ රුවිනි මනම්පේරි. ඇයත් කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. දියණිය කිවිඳී කසුන්දරා. ඇය මේවනවිට උසස්පෙළ හදාරමින් ඉන්නේ….

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT