විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ කැරිස්මාවකි. ජනප්‍රිය තරුවකි. ගායකයෙකි. දේශපාලඥයෙකි. කඩවසම් බවත් සිනමා තිරයට උචිත රංග පෞරුෂයෙන් අගතැන්පත් වූ විජය කුමාරතුංගට අභියෝග කළ හැකි නළුවෙකු සිටියේ නැත. ඔහුගේ කඩවසම් රූපය විසින් එතරමින්ම දැවැන්තබවක් අත්කරගෙන තිබුණි. යම් යම් කලා නිර්මාණවලට දායක වූ කලාකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ගම්මුලාදෑනියෙකු වූ බෙන්ජමින් කුමාරතුංග සහ ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග යන යුවළට දාව කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග 1945 ඔක්තෝබර් 09 වැනි දින කටානේදී උපත ලැබීය. විජය සිය මූලික අධ්‍යාපනය ලැබුවේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙනි. වර්ෂ 1965 දී සෙරන්ඩ්බ් කලායතනයට බැඳී ශේෂා පලිහක්කාර යටතේ නර්තනයත් පී. වැලිකල, ජේ.එච් ජයවර්ධන යටතේ වේදිකා නාට්‍ය කලාව හැදැරුවේය.
වර්ෂ 1967 දී සරසවිය පුවත්පතේ පළ වු දැන්වීමකට අයදුම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සුගතපාල සෙනරත් යාපා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා දායක වීමට විජයට අවස්ථාව හිමි විය. ඉන් අනතුරුව විජය කුමාරතුංග සිනමා ක්ෂේත්‍රයේ දිදුලන සුපිරි තරුවක් බවට පත් විය. විජය කුමාරතුංග කලාත්මක සිනමාවේ, වාණිජ සිනමාවේ සහ මැද මාවත සිනමාවේ එකම සුපිරි තරුවයි. නිදර්ශන ලෙස බඹරු ඇවිත්, බැද්දේගම, පාර දිගේ, අහස් ගව්ව, මමයි රජා, යස ඉසුරු වැනි චිත්‍රපට ගෙනහැර දැක්විය හැක.
උප්පත්තියෙන් ලද සහ වාසනා ගුණයෙන් හෙබි කටහඬක් උරුම වූ නිසාම විජය ගායකයකු ලෙස වඩාත් කැපී පෙනිණ. ඔහු ගැයු ගී අතර ‘පායා සීත රැයේ’, ‘ගඟ අද්දර’, ‘දඟගෙයි දඬුවම්’ වැනි ගීත විසින් ගීත අසන්නන්ගේ ප්‍රියතම ගී අතර ඉහළින් වැජඹුණි. විජය සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත. ඒ 1991 පැවති සරසවිය සම්මාන උළෙලෙහි “සහරාවේ සිහිනය” චිත්‍රපටයේ ‘’වළාකුළක් ගෙන මුවා කරමු හිරු” ගීතය සහ 1992 වසරේ “දොළොස් මහේ පහන” චිත්‍රපටයේ “පෙමක සුවඳ දැනිලා” ගීතය වෙනුවෙන් පිට පිට දෙවතාවක් හොඳම ගායකයාට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට දිවෙන විජයගේ කලා ජීවිතය තුළ ඔහු චිත්‍රපට 120කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වන අතර, ඉන් 114කම ඔහු ප්‍රධාන චරිත නිරූපණය කිරීම අතිශයින්ම විශේෂ කරුණකි. හෙළ සිනමාවේ ජනප්‍රියම පෙම් යුවළ වූ විජය සහ මාලිනී සුසංයෝගය විසින් ප්‍රේක්ෂක සිත් සොරා ගන්නට සමත් විය. විජය – මාලිනීගේ ජනප්‍රියතම චිත්‍රපටය වූයේ තුෂාරා චිත්‍රපටයයි. ඔහුගේ බිරිඳ වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.
වර්ෂ 1983 සිට 1988 දක්වා පැවැති 11, 12, 13, 14, 15, 16 වැනි සරසවිය සම්මාන උලෙළවලදී විජය පිට පිටම සය වරක් ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය. වර්ෂ 1975 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔස්සේ ක්‍රියාකාරී දේශපාලනයට එක් විය. ඔහු සතු මානව හිතවාදී ගුණය නිසාම මෙරට පැවති උතුරු – නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සාමදූතයෙකු ලෙස මැදිහත් විය. වර්ෂ 1988දී සාහසිකයකු විසින් එල්ල කළ මිලේච්ජසහගත වෙඩි පහරින් විජය අහිමි වී ගියේ කලාවටත්, දේශපාලනයටත් දැවැන්ත හිඩැසක් ඇති කරමින්. ඔහුගේ අවසන් කටයුතු 1988 වසරේ පෙබරවාරි 21 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ අතර, එය මෙරට රූපවාහිනිය හරහා විකාශනය කරන ලද ප්‍රථම අවමංගල උලෙළ ලෙස ඉතිහාසයට ද එක් විය. විජය මියගිය පසුව තිරගත වූ ‘මමයි රජා’, ‘නොම්මර 17’ යන චිත්‍රපට ද්විත්වය දින 200ක් පසු කරමින් ඉහළ ආදායම් වාර්තා තැබීය. ඉන් සනාථ වන්නේ විජය සතු වූ තරු ගුණයේ බල මහිමයයි. විජය වැනි මානවහිතවාදී ගුණයෙන් හෙබ් දුර්ලභ නළුවෙකු සේම මනුෂ්‍යයෙකු අහිමි වීම තවත් වසර ගණනාවක් යන තුරු රසික හදවත්වල නොමැකී පවතීවි.
සේයාරුව අතුල මුණසිංහ
මලින්ත විතානගේ