නිවස විශේෂාංග රංගන ජීවිත‍ෙයත් පවුල් ජීවිතයෙත් අභියෝග භාරගන්න කැමැතියි

රංගන ජීවිත‍ෙයත් පවුල් ජීවිතයෙත් අභියෝග භාරගන්න කැමැතියි

රංගවේදිනි කුමුදු කුමාරසිංහ

by Thanushika
July 25, 2024 9:40 am 0 comment

වර්තමානයේ ජීවත් වන කාන්තාව අතීතයේ ජීවත් වූ කාන්තාවට වඩා බොහෝ සෙයින් ඉදිරියට පැමිණ ඇත එදා තම නිවසට කොටුවී රැකියාවක් නොකර තම පවුල් ජීවිතය ගැනම වෙහෙසෙමින් ඇයට ගෙවීමට සිදුවූයේ ඒකාකාරී ජීවන රටාවකි. එහෙත් වර්තමානය වන විට ශ්‍රී ලාංකික කාන්තාව සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ තම හැකියාව පෙන්නුම් කිරීම කාන්තාව ලද ජයග්‍රහණයකි. සමාජයේ විවිධ වූ රැකියාවන්වල නිරත වන කාන්තාවන් අතරේ රංගනයට පිවිසීම විශේෂයෙන් කැපී පෙනෙන කරුණකි.

සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් රංගනයට ලේඛන කලාවට හඬ කැවීමට එකසේ හපන්කම් දක්වන කුමුදු කුමාරසිංහ සරසවිය පිළිසඳරකට කැන්දාගෙන එන්නට හැකි වීම සතුටට කරුණකි. ඇය සතුව ඇත්තේ අපූරු රසවත් කතාවකි. නිතරම මුහුණේ රඳවා ගෙන ඇති සුන්දර සිනහව ඇයට ආභරණයකි. කුමුදු මා සමග කතාබහට එක්වූයේද ඒ අපූරු සිනහවත් සමඟයි.

මම ප්‍රශ්න අසමින් සිටිනවාට වඩා ඇයගේ කතාව ඇයටම ආරම්භ කිරීමට මම ඉඩ දුන්නෙමි.

“මම පාසැල් ගියේ ගෝතමී බාලිකාවට පොඩි කාලේ ඉඳන්ම මම කලා කටයුතුවලට හරි ආසයි උනන්දුයි. පාසලේදී මම විවිධ ප්‍රසාංගික වැඩසටහන්වලට සම්බන්ධ වුණා. අ.පො.ස. සාමාන්‍ය පෙළ කරල ගෙදර ඉන්නකොට තමයි රඟපාන්න සම්බන්ධ වුණේ. ඒ අවමානය කියලා වේදිකා නාට්‍යයක. ඔහොම ඉන්නකොට මමත් මගේ අක්කත් නාට්‍ය වැඩමුළුවකට ඇප්ලිකේෂන් දැම්මා. අපි දෙන්නම තෝරාගන්නා පරීක්ෂණයට ගියා. ඒත් මාව තේරුණේ නැහැ අක්කාව තේරුණා දුකක් දැනුණේ නම් නැහැ මට එයා නාට්‍ය වැඩමුළුවට යනකොට මාත් එයා එක්ක ගියා. එයාගේ තනියටත් එක්ක.”

ඇයගේ කතාව වේගවත්ය. එහෙත් කතාව ඉතා පැහැදිලිය.

“මම උසස් පෙළ කරන කාලෙත් රඟපෑවා. අපේ රටේ අති විශිෂ්ට නාට්‍යවේදීන් වූ පරාක්‍රම නිරිඇල්ල, මානෙල් ජාගොඩ සහ එච් ඒ පෙරේරා යන ශිල්පීන්ගේ “මායා ශක්ති” කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒක අවුරුදු දෙකක වැඩමුළුවක්. මම හරි උනන්දුවෙන් ආසාවෙන් ඒකට සම්බන්ධ වුණා. එහි නිෂ්පාදනයක් විදිහට සමන් පුෂ්ප ලියනගේගේ “මැක්බට්” වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න මට පුළුවන් වුණා. ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ රඟපෑම සඳහා මට කුසලතා සහතිකයක් ලැබුණා අනූ එකේ අවුරුද්දේදී.”

ඉන්පසු කුමුදු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායකවී ඇත ජර්මානු නිෂ්පාදනයක් වූ කස්පා රෝයිස්ටන් ජූඩ්ගේ රඟහල කපිල කුමාර කාලිංගගේ අපි ගෙවන්නේ නැහැ. බුද්ධික දමයන්තගේ පුතා එනකං වැනි වේදිකා නාට්‍යවලට කුමුදු දායක වී ඇත.

ඇය තම වේදිකා නාට්‍යය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් කිරීමට අමතක නොකළාය.

විශේෂයෙන් ආරියවංශ ධම්මගේ වැනි ප්‍රවීණයෙක් යටතේ වැඩ කරනු ලැබුණ එක මට ලොකු සතුටක්. එතුමාගේ “ප්‍රේමලාල ආවට පස්සේ සිසි නාට්‍යයට මට සම්බන්ධ

වෙන්න ලැබුණා. එය අජිත් තිලකසේනයන්ගේ කෙටිකතාවක්. ඒ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් යෞවන සම්මාන දිනා ගන්නත් පුළුවන් වුණා. හොඳම නිළිය විදිහට එක්දාස් නමසිය අනූ දෙකේ දී. ඉන් පසුවත් මම තවත් වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණා.

වේදිකා නාට්‍ය හා සම්බන්ධ වීමේදී ඇයට ලැබුණු විශේෂ අවස්ථාවක් ගැන කුමුදු මාහා පැවසුවේ මහත් ආඩම්බරයකිනි. ඒ මන්ද එම නාට්‍ය චරිතය කුමුදුට අභියෝගයක් වූ නිසාවෙනි. ඇය යළිත් ඇගේ කතාව ආරම්භ කළාය

“මම ඒ විදිහට දිගටම නාට්‍ය කරගෙන යනකොට දක්ෂ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන විසාකේස චන්ද්‍රසේකරම්ගෙන් මට ආරාධනාවක් ලැබුණා; “තහනම් අඩවිය” කියන නාට්‍යයට. ඒ නාට්‍යයේ චරිතය සඳහා වෙනත් නිළියක් තමයි තෝරාගෙන තිබුණේ. ඒත් අවසන් මොහොතේදී ඇය එය ප්‍රතික්ෂේප කරල තියනව පිටපත නිසා. ඉන්පසු විසාකේස මහත්මයා තවත් නිළියන් එකොළොස් දෙනෙකුට පමණ කතා කරලා තියෙනවා. ඒත් යම් යම් හේතූන් නිසා ඔවුන්ව තෝරාගන්න බැරිවෙලා තියෙනවා. ඒ අතරතුර තමයි මට ආරාධනය ලැබුණේ. මම ඒක බාරගත්තා. මම කවදත් කැමතියි අභියෝග බාරගන්න. රංගන ජීවිතයේදී මගේ පවුල් ජීවිතයේදී ඒ දෙකේදීම. පිටපත කියවීමෙන් පස්සේ මම ඒ චරිතය කරන්න කැමැති වුණා. ඇත්තටම කියන්න සතුටුයි අනූ හත වසරෙදි ඒ චරිතය සඳහා යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය විදියට සම්මාන දිනාගන්න පුළුවන් වුණා.

කුමුදුගේ කතාවට සවන් දීමේදී ඇය ඉතා නිර්භීත කාන්තාවක් බව මට වැටහුණි. කිසිදු ලෙසකින් ආපස්සට නොයා සියලු අභියෝග ජය ගනිමින් ඇය තම කලා කටයුතු කරගෙන යන බව පැහැදිලිය.

නිළියන් එකොළොස් දෙනෙක්ම ඒ චරිතය ප්‍රතික්ෂේප කරද්දී ඔබ ඒ චරිතය භාර ගැනීම පිළිබඳව ඔබගේ පවුලෙන් ප්‍රශ්න බාධා මතුවුණේ නැද්දැයි මම ඇසූ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ එඩිතර ලීලා වෙන්බව මට වැටහුණි.

නැහැ කොහෙත්ම නැහැ? ඔවුන් දන්නවා එය රඟපෑමක් බව එය මගේ හැකියාව විදහා දැක්වීමක් බව ඒ නිසා මට හරි පහසු වුණා රඟපාන්න පවුලේ අයගෙන් සහ මගේ මහත්මයාගෙන් මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. ඒ සහයෝගය නිසා තමයි මම රඟපාන අතරේ රැකියාවකුත් කරන්න පුළුවන් වුණේ.

මම රාජ්‍ය නොවන සංවිධානයක රැකියාවක් කළා. ඒත් මම ඒක කලා කටයුතුවලට බාධාවක් කර ගත්තේ නැහැ.

කුමුදු කුමාරසිංහ වේදිකාවට දක්ෂ නිළියක් සේම ටෙලි නාට්‍යවලටද සම්බන්ධ වී ඇත. “මහා ඇත් පවුර”, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්ගේ ‘ඔබ කවුද’ දි.ග. සෝමපාල මහතාගේ ‘දේදුනු පාලම’, ‘කළු මොනරු’ වැනි ටෙලි නාට්‍යවල විවිධ චරිත නිරූපණය කර ඇත. වේදිකා නාට්‍ය ටෙලි නාට්‍යවල රඟන අතරතුර ඇයට සිනමාවට පා තැබීමට වාසනාව හිමිවී ඇත.

“මට මුලින්ම ලැබුණේ නම් ආරියවංශ ධම්මගේ මහතාගේ කෙටි චිත්‍රපටයක චරිතයක් චරිතයක්. ඒත් ඒක කුමන හෝ හේතුවක් නිසා තිරගත වුණේ නැහැ.

ඉන් පස්සේ මට විසාකේස චන්ද්‍රසේකරම් මහතාගේ “සය පෙති කුසුම” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ මුල්ම චිත්‍රපටය. ‘සයපෙති කුසුම’ චිත්‍රපටයෙන් පස්සේ ඔහුගේම ‘පාංශු’ චිත්‍රපටියේ මට රඟපාන්න ලැබුණා. ‘පාංශු’ චිත්‍රපටය වගේ දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වුණ චිත්‍රපටයකට මට දායක වෙන්න ලැබීම මගේ ජීවිතේ ලැබූ ජයග්‍රහණයක්.

කුමුදු කුමාරසිංහ රංගන ශිල්පිනියක් පමණක්ම නොවේ. ඇය සමඟ කතාබහ කරන අතරතුර මම අනෙකුත් හැකියාවන් ගැනදී විමසීමට අමතක නොකෙළෙමි.

“මම හඬකැවීමේ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා”.

“ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ “තනි තටුවෙන් පියාඹන්න”, චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රියගේ “බහුවිතවාදියා” චිත්‍රපටවල වගේම පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වුණු හින්දි ටෙලි නාට්‍යයක් වූ “මේ ආදරයයි” සහ “රාමා” නාට්‍යවල චරිත සඳහා හඬකැවීම්වලට සහභාගි වෙලා තියෙනවා.”

“ඔය විදිහට වැඩ කරගෙන යනකොට 2019 දී විතර රංගන කටයුතුවලින් පොඩ්ඩක් ඈත් වුණා ගෙදරට වෙලා විවේකයෙන් හිටියා. ඒ විවේක කාලයේදී මට හිතුණා ලියන්න. මම පොඩි කාලේ ඉඳන් පොත් කියවපු කෙනෙක්. මම පොඩි පොඩි දේවල් ලිව්වා. හිතට එන දේ හිතට දැනුන දේවල් ගැන. ඒ අනුව තමයි “කොළඹ මතක” කියන පොත ලිව්වේ. ඒ පොත 2023 දී එළිදැක්වූවා.”

“රඟපාන්න ආස වුණත් දැන් නම් ආසයි දිගටම ලියන්න මම ලියපු කෙටි කතාවක්

විදර්ශන සාහිත්‍ය සම්මාන සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල තව කතාවක් ලියමින් ඉන්නවා.

මෙම වැඩ කටයුතු අතරතුර ඇයගේ ඉදිරිත් වැඩ කටයුතු ගැනද මම විමසූවෙමි.

“විශේෂයෙන් මම මේක අවස්ථාවක් කරගන්න කැමතියි මගේ අලුත්ම පොත එළිදැක්වීමේ උත්සවය ගැන කතා කරන්න. කොළඹ මතක – 2 නමින් මගේ අලුත් පොත ජූලි 31 සවස තුනයි තිහට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කරන්න කටයුතු යොදලා තියෙනවා. හරවත් දේශන දෙකකින් රසවත් වන මගේ මේ පොත ජනගත කිරීමේ උත්සවයට සරසවිය පාඨකයින්ටත් මම විවෘත ආරාධනාවක් කරන්න කැමතියි.”

“මම ජීවත් වෙන්නේ කොළඹට ඉතා ආසන්නව.1989 – 2009 කාලවකවානුවේදී මාලද අත්දැකීම් තමයි මම කොළඹ මතක 2 පොතෙන් ඔබ සමග බෙදා හදා ගන්නේ.

හොඳ බිරිඳක්, සොහොයුරියක් වගේම රංගන ශිල්පිනියක්, හඩකැවීමේ ශිල්පිනියක් වගේම දක්ෂ ලේඛිකාවක් ලෙස භූමිකා තුනක නියැළී සිටින කුමුදු කුමාරසිංහ සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයකි. කාන්තාවන්ට ඇගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය.

මෙම ජූලි 31 දා සවස ජනගත වන කොළඹ මතක-2 සමඟින් එක් වන්නට ඔබ සැමට ආරාධනා කරමින් මම ඇයට ආයුබෝවන් කීවෙමි.අනාගතයේදී තව තවත් රසබර ග්‍රන්ථ බොහොමයක් ඇයට රචනා කිරීමට හැකි වේවා යැයි සරසවිය අපගේ ද ප්‍රාර්ථනාවයි.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT