ඔහු උපත ලබන්නේ අගෝස්තු 16 වැනිදාය. දීපනාත් චන්න පෙරේරා රංගන ශිල්පියෙකි. තිර රචකයෙකි අධ්යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ සිප් සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකි. රංගනයට පිවිසීමට පෙර ඔහු බැංකු නිලධාරියෙකි. ඔහු රංගනයට අත්පොත් තැබුවේ 1990 දීය. සිංහල සිනමාවේ කිවිඳීය ලෙස විරුදාවලිය ලත් සුමිත්‍රා පීරිස් මහත්මියගේ අධ්‍යක්ෂණයක් වූ ගොළු හදවත ටෙලි සිත්තමේ රංගනයට දායක වීමට චන්න පෙරේරාට අවස්ථාව හිමිවිය. එසේ රංගන වරම් ලැබූ ඔහු කෙටි කලකින්ම ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ තම ස්ථාවරය ගොඩනඟා ගත්තේය.
සෙනෙහෙවන්තයෝ, එකගෙයි කුරුල්ලෝ, අවසන් හෝරාව, භාර්යාවෝ, දහස් ගව්දුර, දේදුනු යානය, දිය සුළිය, කනේරු, මකර විජිතය, ප්‍රේම පාරමී, සක්වා ලිහිණියෝ, සඳ හිරු තරු, සත් මහල, සව්සිරි උයන, සූර්ය දරුවෝ, සුදු මහත්වරු, සුවඳ පද්ම, තරු පබා, තිමිර පව්ව සහ විහඟ ගීතය වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත්වලට සමීප වීමට චන්න පෙරේරාට හැකිවිය. ඔහු ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ඉහළින් තම නම රඳවා ගත්තා පමණක් නොව සම්මාන රැසක් හිමි කර ගත්තේය. ටෙලි නාට්‍ය සඳහා ඔහු හිමිකර ගත් සම්මාන මෙසේය. 1998 වසරේදී තිමිර පව්ව ටෙලිනාට්‍යය සඳහා සුමති ටෙලි සම්මාන උලළේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. 2001, 2002, 2003 වසරවල ජනප්‍රියම නළුවා ලෙස සුමති සම්මානයෙන් සම්මානනීය වුයේද ඔහුය.
රංගනයට පමණක් සීමා නොවූ ඔහු පුංචි වීරයෝ, වස්සානයේ හිරු ඇවිදින්, සඳ දිය දහර, ටිකිරි හපන්නු, භවත්මා වැනි ටෙලි නාට්‍ය නිර්මාණය කරමින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයේද අධ්යක්ෂවරයෙක් බවට පත්විය. ඒ වෙනුවෙන් 2001 වසරේ හොඳම නිර්මාණශීලි අධ්‍යක්ෂකවරයා ලෙස සම්මාන දිනා ගත්තේය. ඔහුගේ හැකියාවන් හඳුනාගත් ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ දයා විමලවීරයන් ඔහුට සිංහල සිනමාවේ දොරටුව විවර කර දුන්නේය. 1994 වසරේදී දයා විමලවීරයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද’ සුජාතා’ චිත්‍රපටයේ සනත් නැමති චරිතය රඟපාමින් චන්න පෙරේරා සිනමා රංගන ශිල්පියෙක් ලෙස සිනමා තිරය මත තම නාමය සනිටුහන් කරගැනීමට සමත්වීම විශේෂත්වයකි. ඉන්පසු චණ්ඩියාගේ පුතා , ගිනි අවි සහ ගිනි කෙළි, තීර්ථ යාත්‍රා, ධවල පුෂ්පය, නින්ජා ශ්‍රී ලංකා, උණ්ඩය, මිල්ලේ සොයා, අංජලිකා, හදවත මල් යායයි, සෙනසුරු මාරුව, කල්පාන්තයේ සිහිනයක්, යුගාත්‍රා, බඹර වසන්තේ අදී චිත්‍රපටවල රඟපාමින් සිනමා නළුවෙක් ලෙස ක්ෂේත්රයේ තම අනන්‍යතාවය ගොඩනඟා ගත්තේය. ඔහු 2006 දී අංජලිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂකවරයෙක් බවට පත්විය. ඉන්දියාවේ කේරළයේ ජනප්‍රිය නිළියක වූ පූජා උමාශංකර්, අංජලිකා චිත්‍රපටය ඔස්සේ සිංහල සිනමාවට හඳුන්වා දුන්නේ චන්න පෙරේරාය. අංජලිකා චිත්‍රපටය 2006 වසරේ අතිශයින් ජනප්‍රිය මෙන්ම වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටයක් බවට පත්විය. 2007 වසරේ පැවැත්වූ 31 වැනි සරසවිය සම්මාන උලෙළේ 2006 වසරේ ජනප්‍රියම නළුවාට හිමි සරසවිය සම්මානය දිනා ගැනීමට ඔහුට හැකිවිය. එමෙන්ම 2009 වසරේ සිග්නීස් ර්‍ණඛ්ධ්ඛ් සම්මාන උලළේදී අංජලිකා චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනා ගත්තේය.
2008 වසරේදී දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලළේදී හොඳම දර්ශන සහිත චිත්‍රපට ගීතයට හිමි සම්මානය හිමි වූයේ චන්නටය. එම වසරේදීම ජයප්‍රියතම නළුවාට හිමි ස්ලිම් නීල්සන් ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවේද චන්න පෙරේරාය. විවිධ සම්මාන වලින් තම රංගන ජීවිතය ජයග්‍රාහී මාවතකට රැගෙන ආ චන්න 2014 වසරේදී කල්පාන්තයේ සිහිනයක්, 2017 වසරේදී එකයි දෙකයි තුනයි, 2020 වසරේදී යුගාත්‍රා, 2023 දී සිහින අනන්තය ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්රයේ තම ජනප්‍රියතාවය සහ රංගන පෞරුෂය එක ලෙස රඳවා ගනිමින් සාර්ථක චරිතයක් බවට පත්වීමට චන්න පෙරේරාට හැකිවීම ඔහු ලැබූ ජයග්‍රහණයකි.
සේයාරුව ටෙනිසන් එදිරිසිංහ
නයනාංජලී දෙහිපිටිය