Home » රංගනයට මගේ ලොකු ඇරියස් එකක් තියෙනවා

රංගනයට මගේ ලොකු ඇරියස් එකක් තියෙනවා

රංගන ශිල්පී ‍රුක්මන් තිලකරත්න

by Thanushika
July 24, 2025 12:30 am 0 comment

ඉකුත් දා විකාශය නිම වූ “මුරුගසං වරුසාව, මේ දිනවල විකාශය වන සැන්ඩි, සීසෝ” ටෙලිනාට්‍ය සහ “සින්දුකාර කවිනළුව” වේදිකා නාට්‍යය ආදියේ රංගනයෙන් දායක වන ඔහු හාස්‍ය රංගනයට ද දස්කම් දක්වන්නෙකි. අංග රචනා ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි හෙතෙම අද වනවිට ගෝලයන් රැසක් ද බිහිකර සිටියි. ගායකයකු , ගී පද රචකයකු මතු නොව වෘත්තියෙන් ගුරු භූමිකාවට ජීවය දෙන ඔහු රුක්මන් තිලකරත්නයි. රුක්මන් සිය නිර්මාණ කලා දිවිය පිළිබඳ කතාකිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.

මේ දිනවල රංගනයෙන් දායක වන නිර්මාණ කාර්යයන් ගැන මතක් කළොත් ….?

මේ දිනවල මම රඟපෑ ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. රවින්ද්‍ර තන්ත්‍රිගේ “සීසෝ” ටෙලිනාට්‍යයත් සංඛ වීරසිංහගේ “මුරුගසං වරුසාව” ටෙලිනාට්‍යය පසුගිය දිනවල ජාතික රූපවාහිනියේ විකාශය අවසන් වුණා. ගයාන් කහවත්ත අධ්‍යක්ෂණය කළ “සැන්ඩි” ටෙලිනාට්‍යය හිරු නාළිකාවේ විකාශය වෙනවා. ඒක සීරීස් කොමඩියක්. “සින්දුකාර කවිනළුව” වේදිකා නාට්‍යයටත් දායකවී ඉන්නවා. එය මංගල සේනානායකයන්ගේ අධ්‍යක්ෂණයක්. නූර්ති, නාඩගම්, මීනර්වා යන යුගයන් ස්පර්ශ කරමින් මේ නාට්‍යය ලියවී තියෙන්නේ. එය ගීතමය නාට්‍යයක් වගේම සුන්දර වැඩක්.

මේ දිනවල විකාශය වන “ඉර හැංගිලා” ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැනත් කීවොත් ….?

චාරුක දිල්හාර විසින් අධ්‍යක්ෂණය කරන ලද, සුනෙත් වර්ණසූරිය විසින් රචිත අපූරු නිර්මාණයක් තමයි “ඉර හැංගිලා” කියන්නේ, මෙහි මා නිරූපණය කරන්නේ “හපුට්ටා” කියන චරිතය, ඔහු දෙමව්පියන් අහිමි පවුලක වැඩිමල් සොහොයුරා යි, ඔහුට ඉන්නේ තම බාල සහෝදරිය පමණි, නමුත් විවිධ හැලහැප්පීම් මධ්‍යයේ අපේක්ෂා භ‍ංගත්වයෙන් සිටින අතර, නිතරම බීමතින් සිටින අයෙකි, යම් යම් අවස්ථාවන්වල ඔහුගේ හැසිරීම් හාස්‍ය, උපහාසය උපදවයි. නමුත් තම නැඟණිය ඉදිරියේ ඔහු ඉතාම සීරියස් චරිතයක්, ඉතිං මම ඉතාම ආසාවෙන් මේ දිනවල මේ හපුට්ටා චරිතය රඟපානවා.

“මුරුගසං වරුසාව” වෙනස්ම තේමාවක් සහිත නිර්මාණයක්. එයට සම්බන්ධ වූ අයුරුත්, එහි ඔබේ චරිතය ගැනත් පැහැදිලි කළොත් …..?

“මුරුගසං වරුසාව” නම තුළම තිබෙනවා ඛේදවාචක රැසක්ම. සුළිසුළං හමාගෙන, ගොඩබිම් යටකරගෙන විශාල විනාශයක් කරගෙන යන වරුසාවක්නේ මේක. මේ තුළ වරුසාවට එහා ගිය කෝණයකින් සමාජ, සංස්කෘතික, දේශපාලන සෝදාපාළුව ගැන කියවෙනවා. ගමක් තුළ එකී විනාශයන් සිදුවන ආකාරය මෙහි පෙන්වනවා.මිනිසුන්ගේ චර්යාවන් තුළ, ගැමි සංස්කෘතියේ, සාරධර්මවල පරිහානිය සංකේතවත් කරමින් මේ ටෙලිනාට්‍යය නිර්මාණය වී තිබෙනවා .සංඛ වීරසිංහ අධ්‍යක්ෂවරයා හරහායි මට සම්බන්ධ වෙන්න ලැබුණේ. රංගන ශිල්පියකු, අංගරචනා ශිල්පියකු ලෙසත් මා ඔහුව හඳුනනවා. මම එහි නිරූපණය කරන්නේ ගමක හිඳීමින් ගොවිතැන් කරන අහිංසක තරුණයකුගේ චරිතයක්. ගමේ සිටින බීමත් පුද්ගලයකුව යහමඟට ගන්න උපදෙස් දෙන තරුණයෙක්. වෙනත් නිර්මාණවල මට ප්‍රහසන, නපුරු චරිත ලැබුණත් මේ චරිතය ඊට වඩා වෙනස්

දැනට විකාශය වන ඔබ රඟපෑ ටෙලි නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයාගේ වඩාත් කතාබහට ලක්වූ චරිතයක් හෝ චරිත වේද….?

මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය අතරින් “සැන්ඩි” ටෙලිනාට්‍යය විශේෂයි. එය සීරීස් කොමඩියක්, දේශපාලන ප්‍රහසනයක්. මෙහි අපි අපටම ආපසු සිනාවීමක් කෙරෙන්නේ. මගේ චරිතය ජයන්ත. මෙහි එන මන්ත්‍රීවරයාගේ බිරිඳගේ අයියා. මේ චරිතය යටින් ප්‍රහසනාත්මක බවක් දිවෙනවා. ජයන්ත ජනතාව අතර ජනප්‍රියයි. ඊට අමතරව “දෙකොන් මාරු” ටෙලිනාට්‍යයේ “ගම්කුකුළා” චරිතයත් ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියයි. “පුංචි අන්දරේ” හි “හොඳ මාමණ්ඩි” චරිතයත් ප්‍රේක්ෂකයා අතරට ගියා. විශේෂයෙන් ළමුන් අතර ජනප්‍රිය වුණා. මගේ ඇතුළත චරිත ගබඩාවක් තිබෙන බව මා හඳුනාගෙන තියෙනවා. මම රංගනයට පිපාසයෙන් ඉන්නේ. මගේ හැදෑරීම් සමඟ ඒවාට සරිලන චරිත මට තවමත් හමුවී නැහැ කියා මට සිතෙනවා. රංගනය සඳහා මගේ ලොකු ඇරියස් එකක් තියෙනවා .

එම නිර්මාණ අතර ඔබ පෞද්ගලිකව වඩාත් කැමැත්තක් දක්වන නිර්මාණයක් වේද…….?

ඔව්, මම රඟපෑ චරිත අතර ආසාවෙන්ම රඟපෑ චරිතයක් තමයි සුරංග සතරසිංහ රචනා කළ “දෙකොන් මාරු” ටෙලිනාට්‍යයේ “ගන්කුකුළා” චරිතය

වසර 26ක් ඔබ කලා ක්ෂේත්‍රයේ සක්‍රියව නිරතවෙනවා . එකී ගමන්මඟ දෙස නැවත හැරීබැලුවොත් මොකද හිතෙන්නේ ….?

ඔව්, මම වසර 26ක් මේ ක්ෂේත්‍රයේ කටයුතු කරමින් ඉන්නවා.ඉන් වසර 15ක් පමණ වෘත්තිය අංගරචනා ශිල්පියෙක් ලෙස කටයුතු කළා. අංගරචනය පිළිබඳ හැදෑරීමෙන් පසුවයි අංගරචනා ශිල්පියෙක් ලෙස කටයුතු කළේ. අංගරචනා කටයුතු නිසා රංගනය කියන දේ මට බොහෝදුරට මඟහැරුණා. බොහෝදෙනා අංගරචනා ශිල්පියකු ලෙසයි මාව හඳුනාගත්තේ. රංගනය පිළිබඳ විශාල පිපාසයකින් මම මේ ක්ෂේත්‍රයට ආවේ. මට ලැබුණු නිර්මාණ පිළිබඳ සතුටුවෙනවා වගේම මට තවත් නිර්මාණ ලැබිය යුතුයි කියන තැන මම ඉන්නේ. වසර 26ක් පුරා විඳී දුෂ්කරතා , කාපු කටු, කළ කැපකිරීම් බොහෝමයි. මට සමකාලීනව ආ පිරිස මාව පසුකරගෙන ගිහින් වගේ හැඟීමකුත් මට, තිබෙනවා. අංගරචනයට නොගොස් සමකාලීනයන් එක්ක රංගනයේ යෙදුණානම් මීට වඩා ඉදිරියට යන්න තිබුණා කියලා මට සිතෙනවා. මා බලාපොරොත්තු වූ ඉලක්ක කරා මට තවම යාගන්න බැරිවුණා. වසර 26ක කලාදිවිය තුළ මා තවමත් තෘප්තිමත් නැහැ කියා,සිතෙනවා.

කලාවට පිවිසුණු ආකාරය සිහිකළොත් ..?

1997/ 1998 වසරවල ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය සංචිතයක් තිබුණා කෑගලු දිස්ත්‍රික් සංචිතය නමින්. මේහරහා තමයි වැඩමුළුවලට මම බොහෝදුරට සම්බන්ධ වුණේ. ඒ හරහාත් වීදි නාට්‍ය, සංස්කෘතික මධ්‍යස්ථාන හරහා නිර්මාණය වූ නාට්‍ය ආදියටත් සම්බන්ධ වුණා. පාසල් වේදිකාවත් මට රංගනයට තෝතැන්නක් වුණා.මා දැනට සේවය කරන තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයේමයි මා උසස්පෙළ හැදෑරුවේත්. ඒ පාසලමයි මගේ මුල්ම වේදිකාව වුණේත්. උසස්පෙළ හදාරද්දි පාසල් වේදිකාවට ගොඩවෙන්න අවස්ථාව ලැබුණා.. මගේ මුල්ම නාට්‍ය ගුරුවරයා වුණේ සෝමරත්න රිදීමාන සර්. ඔහු තමයි මාව වේදිකාවට ගොඩකළේ. ඒ ගැම්මෙන් තමයි මේතාක් මම කලාවේ නිරතවන්නේ. ඉන්පසුව ටවර් හෝල් රඟහල පදනමෙන් කළ නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමාව සඳහා මම සම්බන්ධ වෙනවා. ටවර් හෝල් නාට්‍ය පාසලට සම්බන්ධ වෙනවා. එහි වසර 2ක පාඨමාලාව හැදෑරුවා. ඒ පාඨමාලාව හදාරන අතර තමයි මම යෞවන සම්මාන නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. ඒ සමඟම අංග රචනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරනවා. අංග රචනය පිළිබඳ මගේ ගුරුවරයා ජයන්තා රණවක මහතායි. ඉන්පසු අංග රචනා ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙනවා.

පාසල් අවධියේත් කලාවට සම්බන්ධ වුණාද…..?

පාසල් වේදිකාව තමයි මගේ මුල්ම රංග භූමිය. සෝමරත්න රිදීමාන සර් මාව නරියකුගේ චරිතයට තෝරාගත්තා. නරියෙක් ලෙස වේදිකාවට නැග්ග මම අද යම් ස්ථාවරයකට පැමිණ තිබෙනවා. “උස්මිටිකම් සුළඟේ ගිහින්’ වේදිකා නාට්‍යයට තමයි පාසල් වේදිකාවේ මම මුලින්ම සම්බන්ධ වෙන්නේ

වේශ නිරූපණය නමැති විෂයය පිළිබඳ යම් හැදෑරීමක් කළා නේද…..? එහි මූලාරම්භය සිදුවුණේ කෙසේද …..?

ටවර් හෝල් නාට්‍ය පාසලෙන් මම ඉවත්වෙද්දිම ජයන්තා රණවක ගුරුතුමා මට ඔහු ආරම්භ කරන අංගරචනා ඩිප්ලෝමාවට සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා අහනවා. සරල අංගරචනයේ සිට චරිතාංග අංගරචනය, ප්‍රොස්තටික් අංගරචනය, බද්ධ අංගරචනය දක්වා අදියරෙන් අදියර ඔහුගෙන් හදාරනවා.ඉන්පසු මම සහායකයකු ලෙස නොව කෙළින්ම අංගරචනා ශිල්පියකු ලෙසම ක්ෂේත්‍රයට එනවා. මුලින්ම අංගරචනයෙන් දායකවෙන්නේ චනික පෙරේරාගේ “සඳ ගොම්මන් රෑ” ටෙලිනාට්‍යයට. ඊටපස්සේ ඔහුගේම “සඳළුතලෙන් එහා” චිත්‍රපටයටත් සම්බන්ධ වෙනවා. ඉන්පසු දිගින්දිගටම අංගරචනා ශිල්පියකු ලෙස වැඩකළා. වසර 15ක් පමණ අංගරචනා ක්ෂේත්‍රයේ රැඳීසිටියා. ගෝලයෝ රැසකුත් මම බිහිකළා. ඔවුන් අද ක්ෂේත්‍රයේ යම්යම් තැන්වල සිටිනවා. වැඩමුළු හරහාත් මම ශිල්පීන් බිහිකළා.

ඔබේ වේශ නිරූපණ කාර්යය තුළ සුවිශේෂී සංධිස්ථාන මොනවාද….?

ඔව්, සුවිශේෂී සංධිස්ථාන තමයි මම යෞවන සම්මාන දිනාගැනීම. 2006 වසරේ මුලින්ම යෞවන සම්මාන දිනාගත්තා “සින්දු පහයි කෝල් පහයි” කෙටි නාට්‍යය වෙනුවෙන්. එය නිර්මාණය කළේ ජෙහාන් අප්පුහාමි. ඉන්පසු 2006 සිට 2012 තෙක් වසර 06ක්ම යෞවන සම්මාන හොඳම අංගරචනා ශිල්පියා ලෙස සම්මාන දිනාගන්නවා කෙටිනාට්‍ය අංශයෙන්. 2008, 2009, 2010 වසරවල පිටපිටම හොඳම අංගරචනා ශිල්පියා ලෙසත් රාජ්‍ය සම්මාන දිනාගන්නවා.

වේශ නිරූපණ විෂයය පිළිබඳ අර්ථකථනය කරනවානම්…..?

වේශනිරූපණයට වඩා අංගරචනය නමින් මේ විෂයය හඳුන්වන්න මම කැමැතියි. පෙළරචකයා නිර්මාණය කරන යම් චරිතයක් වේ නම් ඒ චරිතය නිර්මාණය කරන රංගන ශිල්පියා පෙළට අදාළ ලෙස , පිටපත් රචකගේ සිතේ මැවුණු චරිතය , නළුවාගේ ප්‍රතිරූපය හරහා නිර්මාණය කරගැනීම තමයි බොහෝදුරට අංගරචනයේදී සිදුවන්නේ. චරිතයට අදාළ ලෙස නළුවාගේ / නිළියගේ බාහිර ස්වරූපය සැකසීම තමයි සිදුවෙන්නේ. නළුවාගේ තිබෙන අංගයන් ඒ චරිතයට අදාළ ලෙස උද්දීපනය වීමක්, ඉස්මතු වීමක් කර පෙන්වනවා. වයස කෙනෙක් තරුණ කරන්නත්, තරුණ කෙනෙක් වයස්ගත කරන්නත් පුළුවන්. පුරුෂයෙක් ස්ත්‍රියක් සහ ස්ත්‍රියක් පුරුෂයෙක් කරන්නත් පුළුවන්. එසේ විවිධ ශිල්පීය කුසලතා සහිත අයකුට පුළුවන් ඒ ඒ චරිතයට අදාළ බාහිර ස්වරූපය ඉස්මතු කර පෙන්වන්න. මේක එක්තරා විදිහක මැජික් එකක්, ප්‍රාතිහාර්යයක් වගේ එකක් කියන්නත් පුළුවන්. මම පාස්කු නාට්‍යවලත් අංගරචනා ශිල්පියකු ලෙස වැඩකළා. එහිදි මා ළඟටළ

රංගන ශිල්පියා, වේශනිරූපණ ශිල්පියා යන භූමිකා ද්විත්වයේ වෙනස ඔබ කෙසේද දකින්නේ ….?

ඔව්, මේක ක්ෂේත්‍රයන් 2ක්. ක්ෂේත්‍රයන් 2ක් වුණාට අංගරචනා ශිල්පියකු ලෙස වැඩකළ කාලය තුළ මම බොහෝ දේ ග්‍රහණය කරගත්තා. අංගරචනා ශිල්පියා බොහෝදේ දකිනවා කැමරාව පිටුපස ඉඳන්. ඔහු නළුවගේ දුර්වලකම්, දක්ෂකම්, දෙබස් උච්චාරණය කරන විදිහ, දෙබසට දෙන අර්ථකථනය මොකද්ද, හැඟීම් දෙන විදිහ වැනි දේ අධ්‍යයනය කරනවා. එසේ අධ්‍යයනය කරන කෙනා නිවැරදි අංගරචනා ශිල්පියෙක් ලෙස මම දකිනවා. මටත් රංගනය වැඩිදියුණු කරගන්න අංගරචනා ශිල්පියකු ලෙස නළු නිළියන්ගේ මුහුණු සමඟ ගනුදෙනු කළ විදිහ වැදගත් වුණා. කැමරාව පිටුපස සිට නළුනිළියන් අධ්‍යයනය කිරීමත් වැදගත් වුණා. එහිදි නළු නිළියන්ගේ දුර්වලතා, දක්ෂතා මම දැකතිබෙනවා. ඒ දේවල් සමඟ මට සිතුණා රංගනයේ අඩුපාඩු හදාගෙන රංගන ශිල්පියකු විය හැකියි නේද කියලා. සාර්ථක අංගරචනා ශිල්පියෙක් කියන්නේ සාර්ථක නළුවෙක්. උදාහරණයක් විදිහට වසන්ත විට්ටච්චි, ප්‍රියන්ත සිරිකුමාර, ජයලාල් රෝහණ, ජගත් චමිල, රොෂාන් රවීන්ද්‍ර ආදිය හඳුන්වන්න පුළුවන්. බොහෝ දක්ෂ රංගන ශිල්පීන් ඔවුන්ගේ මුල් කාලයේ අංග රචනා ශිල්පීන්. නළු නිළියන් අධ්‍යයනය කිරීමේ හැකියාව ඔවුන්ට තදින්ම තියෙනවා.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය ගැන ඔබේ දෘෂ්ටිය කවරාකාරද …..?

ටෙලිනාට්‍ය කලාවේ වත්මන් තත්ත්වය මටනම් ශෝචනීයයි. අපිනම් මේ ක්ෂේත්‍රයට ආවේ යම් හැදෑරීමක්, කැපකිරීමක් කර අත්දැකීම් ලබාගෙන.අද මාධ්‍ය නාළිකා රැසක ටෙලිනාට්‍ය රැසක්ම නිර්මාණය වෙනවා. අද තිබෙන සමාජ මාධ්‍ය එදා තිබුණේ නැහැ. ඒවගේම අද වගේ ජංගම දුරකතන තිබුණෙත් නැහැ. අද ස්මාර්ට් ෆෝන් එකෙන් ඕනෑම කෙනෙක්ට ගෙදර ඉඳන් ටික් ටොක් එකක් කරලා සමාජ මාධ්‍යයට මුදාහරින්නත් පුළුවන්. ඒ නිසා ඉතා කෙටිකලකින් පුළුවන් හොඳ හෝ නරක දේකින් ජනප්‍රිය වෙන්න. මේවායින් බිහිවූ පිරිසක් අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ඇවිත්. චැනල්වලින් අවුරුදු කුමාරයෝ, කුමරියෝ හදාගන්නවා. ඔවුන්ගේ බාහිර අලංකාරයට පමණක් ප්‍රධාන චරිත ලබාදෙනවා. ඔවුන්ට හැඟීම් ග්‍රහණය කරගන්න පුළුවන් ද, දෙබස් කියන්න පුළුවන් ද කියා බැලීමක් නැහැ. දෙබසක් ඔහේ කියාගන්න පුළුවන් නම් ඔවුන්ව ප්‍රධාන චරිතවලට අරන්, ක්ෂේත්‍රයේ කාලයක් පුරා සිටින ප්‍රවීණයන්ව අතුරු චරිතවලට ගන්න තත්ත්වයක් තියෙන්නේ.

සිනමාව තුළ ඔබේ භූමිකාව මොනවගේද….?

සිනමාව තුළ අංගරචනයෙන් දායකවී තිබෙනවා “සඳළුතලෙන් එහා, සිකුරු හතේ, ෆේස් ටු ෆේස්, රාක්ෂා” වැනි චිත්‍රපට රැසකට.. රංගනයෙන් දායක වුණා “යකඩ දියණියෝ, රුවන් තාරකා, සඳළුතලෙන් එහා, වාලම්පුරි, කාලි, මිස්ට මිසිස්” ආදී චිත්‍රපටවලට.

හාස්‍යෝත්පාදක රංගනයට ද ඔබ දක්ෂයි…?

ඔව්, ප්‍රේක්ෂකයා මාව හඳුනාගන්නේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් ලෙස. එක් එක් ක්‍රම ඔස්සේ හාස්‍යය මතුකරන්න පුළුවන්. සමහරු අතිශයෝක්තියෙන් හාස්‍යය මතුකරනවා. මම එසේ හාස්‍යය මතුකරන්නේ නැහැ. අපේ භාෂාව පොහොසත්. ඒ භාෂාව තුළ යම් යම් ව්‍යංග්‍යාර්ථ සහ පදපෙළ තිබෙනවා. වචන උච්චාරණයේදීත් අපට පුළුවන් හාස්‍යජනක ලෙසත්, ශෝචනීය ලෙසත් උච්චාරණය කරන්න. විවිධ හැඟීම් ඔස්සේ උච්චාරණය කළ හැකි භාෂාවක් අපට තිබෙනවා. හරවත් ලෙස බුද්ධිගෝචර හාස්‍යයක් මතුකරන්නයි මම උත්සාහ කරන්නේ. “ගොන් ජෝක්කාරයෙක්” වෙන්න මම කැමැති නැහැ. හාස්‍යය ඇතුළේ සීරීස් කොමඩි, බ්ලැක් කොමඩි තියෙනවා. සීරීස් කොමඩිවලටත් මම වඩාත් කැමැතියි.

වේදිකාවේ ඔබේ භූමිකාව විග්‍රහ කළොත් ….?

අසේල රුවන්ගේ “පල්හොරු” වේදිකා නාට්‍යයේ මම මහාචාර්යවරයෙක් ලෙස රඟපෑවා. “පෙට්ටියක් 2000යි” නාට්‍යයට දායකවුණා. ප්‍රදීප් රාජපක්ෂ එය නිර්මාණය කළේ. මංගල සේනානායකයන්ගේ “ජුලියස් සීසර්” හිත් රංගනයට එකතුවුණා. සමන් සොයිසා අධ්‍යක්ෂණය කළ මක්සිම් ගෝර්කිගේ “අම්මා” නාට්‍යයට දායකවුණා. මේ දිනවල වේදිකාගත වන “සින්දුකාර කවිනළුව” වේදිකා නාට්‍යයටත් දායක වෙනවා. ඒකත් මංගල සේනානායකයන්ගේ නිර්මාණයක්. එහි විරිඳුකරුවකුගේ චරිතයක් මම කරන්නේ. මෙහි විරිඳුකරු හරහායි මුළු වේදිකා නාට්‍යයම දියත්වෙන්නේ. නූර්ති, නාඩගම්වල සිට මීනර්වා නාට්‍ය දක්වා අදියරයෙන් අදියර විස්තරාත්මකව විග්‍රහ කෙරෙන නිර්මාණයක්.

ඔබ සම්මානිත වූ අවස්ථාත් ඇති…..?

සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “මද්දහන” ටෙලිනාට්‍යයේ අංගරචනය වෙනුවෙන් සිග්නිස් සම්මාන උලෙළේ සම්මානයට නිර්දේශ වුණා. මුලින් කී ලෙස හොඳම අංගරචනා ශිල්පියා ලෙස 2006 සිට 2012 තෙක් වසර 6ක් එකදිගටම යෞවන සම්මාන දිනාගත්තා. 2008, 2009, 2010 වසර 3ක් එකදිගටම රාජ්‍ය සම්මාන දිනාගත්තා. මම වැඩමුළු පැවැත්වූ පාසල්වලින් සමරු ඵලක, මතක සටහන් ලැබුණා . ජනතාවගේ සම්මානය මට හැමදාම වටිනවා.

ගී පද රචකයකු, ගායකයකු ලෙස රුක්මන් තිලකරත්න භුමිකාව මොනවගේද කිව්වොත්….?

මේ වෙද්දි මම ගීත 12ක් 13ක් පමණ නිර්මාණය කර තියෙනවා. ප්‍රසංග වේදිකාවේත් මම ගීත ගායනා කරනවා. “නවතින්න හිතුණා, හීනෙකින් දුටුවා, පුදුම තරමට ජිවිතේ, කළුමැණිකේ, සදාකල් සමරනා” වැනි විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා හමුවට මම එනවා. මගේ යූටියුබ් චැනලය හරහාත් එය ප්‍රචාරය කරනවා. ගායකයකු ලෙස කාලයක් සෑහෙන කට්ටක් කෑවා වේදිකාවට ගොඩවෙන්න බලාගෙන. ගායනය මට සහජයෙන් ලැබුණු දක්ෂතාවක්. ටෙලිනාට්‍ය තේමා ගීතත් මම ගායනා කළා. ගායකයකු ලෙස ගීත 12ක් ගායනා කර තිබෙනවා. මේ දිනවල නවතම නිර්මාණයක් කරමින් ඉන්නවා. සුබෝධිනී මීගහකිවුල සිල්මාතාව, මහාචාර්ය මංගල සේනානායක, සංජීව බෝගහවත්ත වැන්නන් මා වෙනුවෙන් ගීත රචනා කර තිබෙනවා. මගේ බිරිඳ රසිකා කුමාරි දිසානායකත් මට “පුරඟනන් අතර” කියලා ගීතයක් රචනා කර දුන්නා. ඇයවත් ආදරයෙන් මතක් කරනවා. මගේ ගීතවලට ශාන්ත පීරිස්, ශාන් ජයසිංහ වැන්නන් සංගීතය සැපයුවා

කලාවට පිවිසෙන නවකයන්ට විවිධ චෝදනා තිබෙනවා. ඒ ගැන ඔබේ මතය දැනගන්න කැමැතියි …?

ඇතැම් නවකයන් ගැන නොයෙක් චෝදනා තිබෙනවා. හැමෝටම මේක අදාළ නැහැ. ඔවුන් සිතාගෙන සිටිනවා නෙගටිව් මාකටින් තමයි දැන් ජනතාව අතරට යන්න හොඳම ක්‍රමය කියලා. මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න තමයි ඔවුන් යම් යම් නිර්මාණ කරන්නේ. අපි දකින සුබවාදී කලාව වෙනුවට අසුබවාදී කලාවක් තමයි එයාලා ජනතාව තුළට ගෙනියන්න හදන්නේ.බැණුම් අහන තරමට ඔවුන් ජනප්‍රිය වෙනවා කියලා මතයක් එයාලගේ තියෙනවා. අව් කණ්ණාඩියි, කොණ්ඩ මෝස්තරයි, ටැටූ එකයි, කරාබුයි, ඇඳුමයි නෙවෙයි ගායකයකුගේ තිබිය යුත්තේ. ගායකයකුගේ නම් තිබිය යුත්තේ මනා හඬ පෞරුෂයක් සහ ජනතාවට දැනෙන කටහඬක්. කටහඬින් තමයි ප්‍රයෝග දක්වන්න පුළුවන් ගායකයකු නම්. රංගනයත් එහෙමයි. ඔවුන් සිතාඉන්නේ හිනාවෙන එකයි, අඬන එකයි, රවන එකයි, ආදරය කරන එකයි. කිස් කරන එකයි රංගනය කියලා. ඊට එහා ගොඩාක් දේ තියෙනවා. මිනිස්සුන්ගේ හැඟීම් අපි ග්‍රහණය කරගන්න ඕනේ.

ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්. එකී භූමිකාව ගැන කීවොත්….?

මම තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විදුහලේ රංගනය පිළිබඳ උගන්වන ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ගුරු භූමිකාවේ සිටින අතරමයි රංගනයටත් දායකවෙන්නේ. දරුවන්ට රංගනය ඉගැන්වීම හරහා මගේ රංගනයත් තවදුරටත් ප්‍රතිපෝෂණය වෙනවා. මගේ පාසලේ විදුහල්පති ඉන්ද්‍රජිත් ජයකොඩි මහතා මට ලොකු සහායක් දක්වනවා, මාව දිරිගන්වනවා රංගන කාර්යයන් සඳහා දායකවෙන්න. ඒ සහාය මට හරිම වටිනවා. මම පාසලටත් ගෞරවයක් දීලා තියෙනවා.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන කීවොත් …?

මා රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ, ටෙලි නිර්මාණ කිහිපයක් තිරගත වීමට නියමිතයි. අලුත් ආරාධනා කිහිපයකුත් ලැබුණා නව නිර්මාණ කිහිපයකට

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය මොනවගේද …?

මගේ බිරිඳ රසිකා කුමාරි දිසානායක. ලොකු දුව ඉඳුනි ආදිත්‍යා තිලකරත්න, චූටි දුව පහන්සා ප්‍රභාශාලි තිලකරත්න. දරුවෝ තවම කුඩායි. බිරිඳගෙන් මගේ කලා දිවියට හොඳ සහායක් ලැබෙනවා. ඇය මට ගීතයකුත් රචනා කරදුන්නා “පුරඟනන් අතර” නමින්, ඇගෙන් මට කිසිම බලපෑමක් නැහැ. මගේ පවුලට යම් යම් අතපසුවීම්වෙලාත් තියෙනවා මේ කලා ක්ෂේත්‍රයේ වැඩත් එක්ක. බිරිඳට පළමු දරුවා ලැබෙද්දිත් මට ළඟ ඉන්න බැරිවගියා. එදා මම අනුරාධපුරයේ නාට්‍යයකට ගිහින්. කලා කටයුතු නිසා අත්‍යවශ්‍ය වැඩ මඟහැරුණා. මගේ පියා ජී. තිලකරත්න. ඔහු මට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න විශාල සහයෝගයක් දුන්නා. මගේ අංගරචනා පෙට්ටිය පවා කරමත තබාගෙන පාරට ගෙනැවිත් දී තිබෙනවා. ටවර් හෝල් නාට්‍ය පාසලේ මම සිටියදී මගේ වියදමට සල්ලි පවා දුන්නා. අදටත් එතුමා අප සමඟ සිටිනවා. මගේ ජයග්‍රහණය කොතැනද එතැන එතුමාත් ඉන්නවා. අම්මාත් එහෙමයි. ඇය චිත්‍ර ශිල්පිනියක්. කලාවට ලැදියි. ඇයත් මාව උනන්දු කරවනවා. අයියා සංගීත් නිදර්ශන. ඔහුත් චිත්‍ර ශිල්පියෙක්. නංගි නිමාලි ප්‍රාර්ථනා. ඇය රැකියාවක් කරනවා. ඔවුන් සියල්ලන්ම මට කිවනොහැකි තරම් සහයෝගයක් දක්වනවා. ඒවගේම රංගනයට පය තැබීමට පළමු වේදිකාව සකස් කර දුන් මගේ ගුරුවරුන්, ටෙලිනාට්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, සහාය අධ්‍යක්ෂවරුන්, කලා අධ්‍යක්ෂවරුන් සහ මගේ හිතමිතුරන් මේ මොහොතේ සිහිපත් කරන්න කැමැතියි.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT