වයස අවුරුදු නවයක් පමණ කුඩා දැරියක ප්‍රපාතයක් අද්දරට ඇවිදගෙන යයි. ඇය විසින් පැලඳගෙන සිටින තම පරණ පටි සපත්තු ගලවා දමයි. බලාපොරොත්තු විරහිතබව හඟවන මුහුණින් යුතු ඇය තම හිස පිටුපසට හරවා බලන සමීප රූපයකට ජේදනය වෙයි. කුඩා දැරිය ප්‍රපාතයෙන් පනින්නට සිටින බව ප්‍රේක්ෂකයා දැනටමත් දනී. ප්‍රපාතය අද්දර පිහිටියා වූ ඇගේ නිරුවත් දෙපාහි සමීප රූපය ජේදනය වෙයි. ඇය හැඟීම් විරහිතව මරණය තෝරා ගත් බවට සාක්ෂි ලෙස නිරුවත් දෙපයේ චලන සහිත රූප ප්‍රේක්ෂකයා වෙත දනවයි. බොඳ වු තිරයේ “Turtles Can Fly” යනුවෙන් චිත්‍රපටයේ තේමාව ජේදනය වෙයි. ඇය සියදිවි නසාගන්නේ ඇයි ද? යන්න පිළිබඳ මෙතැන් සිට ප්‍රේක්ෂකයා කෙරෙහි කුතුහලයේ ශ්‍රාවය වෑස්සෙන්නට පටන් ගනී. මරණීය ආරම්භයක් සමඟ “Turtles Can Fly” තුර්කි සිනමාපටය මෙසේ ආරම්භ වෙයි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට සැරසෙන මොහොතවල් කීපයකට පෙර, ඉරාක – තුර්කි දේශසීමාවේ කුර්දි ජාතික සරණාගත කඳවුරක් පිහිටුවා ඇත. චිත්‍රපටයේ මුළු කතාන්තරයම ගෙතෙන්නේ මෙම සරණාගත කඳවුර වටායි. “සැටලයිට්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන දහතුන් හැවිරිදි “සෝරන්” නම් තරුණයෙකු මෙම සරණාගත කඳවුරේ වාසය කරයි. ඉරාක නායක සදාම් හුසේන් පිළිබඳ ප්‍රවෘත්ති නරඹන ගම් වැසියන් සඳහා චන්ද්‍රිකා පීරිසි සහ ඇන්ටනා සවි කිරීම සඳහා සෝරන් වඩාත් ප්‍රසිද්ධ ය. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සීමිත දැනුම නිසා ද ප්‍රසිද්ධ ය. මෙම සරණාගත කඳවුරේ බොහෝ සරණාගත දරුවන් සහ ආබාධිතභාවයට ලක් වූ දරුවන් රැසකි. සරණාගත තරුණ දරැවන් කල්ලි ලෙස සංවිධානය වී සිටින අතර සෝරන් එහි නායකයා වේ. සෝරන්ගේ සහ මිතුරා එක් පාදයක් අහිමි පැෂෝ ය. සරණාගත කඳවුරට අලුතින් පැමිණුන වයස අවුරුදු නවයක් පමණ වයසැති කුඩා යුවතියක් වන “ඇග්‍රින්”, “රිගා” නම් තුන් හැවිරිදි අන්ධ දරුවකු සහ බිමිබෝම්බ ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෑත අහිමි වු “හෙන්ගොව්” නමි ත්‍රිත්වය සොරාන් හා මිත්‍ර වෙයි. චිත්‍රපටය මින් අනතුරුව ගලා යන්න සෝරාන් සහ මෙම ත්‍රිත්වය අතර ඇති සබඳතාවය මුල් කරගෙන ය.
චිත්‍රපටයේ ඉස්මතු කරන ගැඹුරු දේශපාලනික, සාමාජිය, සංස්කෘතික, ආගමික අදහස් ප්‍රබල ය. චිත්‍රපටයේ භාෂාව බවට පත්වන්නේ රූපයයි. වාර්තා චිත්‍රපටයක ඇති සිනමාරූපී ලක්ෂණ පෙන්වයි. පිරිමි ලිංගික ආශාවේ ගොදුරක් බවට පත්වන වයස අවුරුදු නවයක් පමණ වන ඇග්‍රින් හරහා ස්ත්‍රිය පිළිබඳ ඇති ආන්තිකරණය සම්බන්ධ අරුත් ජනනය කරන්නට “ටර්ටර්ල්ස් කැන් ෆ්ලයි” චිත්‍රපටය සමත් වෙයි. වයස අවුරුදු 12, 13ක් පමණ කුඩා දියණියක වන ඇග්‍රින්ට නරුම පුරුෂාධිපත්‍යයික සමාජයෙන් අවසානයේ උරුම වුයේ සිය පිටෙහි තබාගෙන යන තුන් හැවිරිදි අන්ධ පුත්‍රයෙකි. ඇග්‍රින් ළදරු මවක් වූයේ මිලේච්ජසහගත යුද්ධය නිසා නොවේද? නරුමවාදය, අධමත්වය පිළිබඳ අදහස් උතුරා ගලා යයි. තුන්වැනි ලෝකයේ කාන්තාවගේ අවතැන් බව, ආන්තරායදායක බව, දැඩි පීඩාකාරී ස්වභාවය ඇග්‍රින් තුළින් පිළිබිඹු වෙයි.
කුඩා ඇග්‍රින් විසින් ඉබ්බෙකු මෙන් බර සහිත කටුවක් ඇගේ පිට තබාගෙන ඔබ මොබ ගමන් කරයි. ඒ ඇයට පුරුෂාධිපත්‍යයික සමාජය විසින් බලහත්කාරයෙන් පැටවු බර ය. චිත්‍රපටයේ ඇස ගැටෙන දෙයට වඩා යුද්ධයෙන් ළමුන් පීඩා විඳීන අයුරු පිළිබඳ ඉරාන – කුර්දි සිනමාකරු ‘බහ්මාන් ඝෝබාදි’ සහකම්පනය දනවමින් ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. එය ප්‍රේක්ෂකයා කෙරෙහි සහකමිපනය ජනිත කරන්නේ නිරායාසයෙන් ය. චිත්‍රපටයේ සියලුම ළමා නළු නිළියන් ඉරාක යුද්ධය නිසා අවතැන් වූ සැබෑ සරණාගතයින් වීම විශේෂිත වේ. මෙම ළමුන්ගේ රංගනය අව්‍යාජ වූ යථාර්ථවාදීබව තීව්‍ර එකකි. සදාම් හුසේන්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු ඉරාකයේ නිෂ්පාදනය කරන ලද පළමු චිත්‍රපටය වූයේ ද Turtles Can Fly’ සිනමාපටයයි.
චිත්‍රපටයේ යටිපෙළින් හඟවන අර්චනකාමී භාණ්ඩයක් වී ඇති රූපවාහිනියත් විසින් මහජනතාවට එල්ල කර ඇති දැඩි බලපෑම දුරස්ථ පාලකය විසින් හඟවයි. දුරස්ථ පාලකය විසින් රිසි සේ චැනල් එහා මෙහා කළ හැකි ය. සැටලයිට් රූපවාහිනිය විසින් ලොව පුරා වෙළාගත් ඇමරිකානු – යුරෝපීය ජනප්‍රිය සංස්කෘතිය නිතර දෙවේලේ ප්‍රේක්ෂකයා වෙත කවයි. කුර්දිස්ථානයේ යුද්ධයට මැදිව ගෙවන සරණාගත දරුවන් ඇමරිකානු සිහිනය අඟල් විසි එකේ රූපවාහිනි තිරයෙන් දකියි. චිත්‍රපටයෙන් මතු කරන උපහාසාත්මක කාරණාව එයයි. ඇමරිකානුවන් මැදපෙරදිග කලාපය තමන්ගේ ප්‍රමෝදය ලෙස පත්කරගෙන ඇත. ඇමරිකානුවන් මෙම යුද්ධයේ ප්‍රේක්ෂකයන් ය. එය ඇමරිකානුවන්ට වීඩියෝ ගේම් එකක් සෙල්ලමි කරනා හා සමාන ය.
ඇමරිකානු දේශපාලනික අත පෙවීමට මෙම කලාපය පත්ව ඇත. යටත්විජිතවාදී සංකල්පයන් ඇමරිකානුවන්ගේ අතපෙවීම හරහා මතුව එයි. ඝෝබාදි චිත්‍රපටය හරහා මතු කරන්නේ එයයි. ආබාධිත වූ අනාථ දරුවන් විසින් ජීවත් වීමට දරන අරගලය සමඟ අතිශය සංකීර්ණ හා ගැඹුරු සමාජ දේශපාලන තතු පිරික්සීමටත්, විනිවිද දකින්නට “ටර්ටල්ස් කැන් ෆ්ලයි” චිත්‍රපටය සමත්කමි දක්වයි. නොඑසේනම් මිනිස් ජීවිතයේ අඳුරු හා ගූඪ ප්‍රදේශ සිනමාරූපිව ප්‍රකාශ කරන්නට ඝෝබාදිගේ සිනමා කැන්වසය සමත්ව ඇත. එය අතිශයින්ම නැරැඹීම වටී. කම්පනයේ ප්‍රවාහයට නිතැතින්ම ප්‍රේක්ෂකයා හසුවනවා නියතයි.
මලින්ත විතානගේ