Home » යාපනයේ ඉදිවූ සිනමා සිහින මාළිගය Dreamline

යාපනයේ ඉදිවූ සිනමා සිහින මාළිගය Dreamline

by Thanushika
July 24, 2025 9:15 am 0 comment

අප නිතර නිතර කතා කරන්නේ සිංහල සිනමාව ගැන පමණි. එහෙත් අපේ රටේ අමතක කළ නොහැකි , ඉතා සුන්දර සිනමා නිර්මාණ බිහිකරන පිරිසක් ලෙස ශ්‍රී ලාංකික දෙමළ සිනමා සහෘදයන් හැඳීන්විය හැකිය. උතුර, දකුණ ලෙස වෙන්කර හැඳීන්වුවත් අප සැවොම ජීවත් වන්නේ ලක් මෑණියන් තුරුළේය. කලාවට ජාති, ආගම්, භාෂා භේදයක් නොමැත.

කාලයක් තිස්සේ අප කවුරුත් සිංහල සිනමාව ගැන කතා කළත් අතීත සිංහල සිනමා නිර්මාණ පිටුපස සිට ශක්තිය සපයා ඇත්තේ දෙමළ සිනමාකරුවන් සහ දෙමළ කාර්මික ශිල්පීන්ය. එසේ විමසා බැලීමේදී සිනමාව සිංහලද, දෙමළද කියා වර්ගීකරණය කිරීමත් අසාධාරණය.

දෙමළ චිත්‍රපට ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම ආරම්භ වූයේ 1951 බව කියැවේ. 1970 දශකය වන විට ශ්‍රී ලංකාවේ දෙමළ සිනමාව ඉතා ප්‍රබල තත්වයක පැවති බවද සඳහන් වේ. එදා සිට මේ දක්වා මෙරට තුළ දෙමළ භාෂා චිත්‍රපට 50 ට අධික සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. එහෙත් 1983 දී රටතුළ පැවති කළු ජූලිය සමඟ දෙමළ සිනමාව පසු බැස්සේය. වර්තමානය වන විට දෙමළ සිනමාවට නැවතත් ප්‍රාණවත් බවක් එක්වී ඇත. එයට කදිම උදාහරණයක් ලෙස යාපනයේ ඉදිවූ Dreamline චිත්‍රපට නිෂ්පාදනාගාරය පෙන්වා දිය හැකිය.

පසුගිය දා පැවති 36 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළෙ විශේෂත්වයක් තිබුණි. එහි තරඟ කළ සිනමාපට 37 අතරට ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපට ද්විත්වයක් ඇතුළත් වී තිබුණි. Dak Dik Dos සහ Ooli චිත්‍රපයයි. එම චිත්‍රපට ද්විත්වය නිසාමඑහි තොරතුරු සොයා යාමේදී උතුරේ සිනමාකරුවන් ඉතාම සුහදශීලිව සරසවියට ඔවුන්ගේ සහයෝගය දැක්වීම පැසසිය යුතුයි. ඒ අතරේ උතුරුකරයේ සිනමා කරුවන්ගෙන් සරසවියට ඉතා වටිනා ආරාධනාවක් ලැබීණි. ඒ අනුව සරසවිය ප්‍රධාන කර්තෘතුමන්ගේ අනුදැනුම ඇතිව සරසවිය පුවත්පතේ මධ්‍යවේදිනියන් දෙදෙනෙක් , නිල ඡායාරූප ශිල්පියෙක් සහ ලේක්හවුස් ඩිජිටල් මාධ්‍ය අංශයේ මාධ්‍යවේදියෙක් යාපනයේ සිනමා කරුවන් හමුවීමට නෑගම් යන්නට සැරසුණහ.

එම ආරාධනාව ලැබුණේ යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද Dreamline චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ සුබ මොහොත වෙනුවෙන් සහභාගී වීමටයි.

එය පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙස විවෘත වූයේ දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් සහ දකුණු ඉන්දීය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙනි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලාංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ඇතුළු සිනමා කර්මාන්තයේ නියැළෙන තවත් සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

Dreamline ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ සිනමාවේ වර්ධනය කිරීමේ අරමුණින් වුවත් සිංහල සිනමාවටත් මහඟු අත්වැලකි.

Dreamline හි මූලික අරමුණ වී ඇත්තේ සිනමාපට නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලු සේවාවන් සහ රූගත කිරීම් සඳහා අවශ්‍ය කරන සියළුම අංගෝපාංග සැපයීම එකම වහළක් යටින් සිදුකර දීම තුළින් දෙමළ සිනමා කර්මාන්තය නඟා සිටුවීමයි. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලාංකික සිනමාව ප්‍රචලිත කිරීම ඔවුන්ගේ තවත් අරමුණකි. මේ තුළින් දක්ෂ චිත්‍රපට නිෂ්පාදකවරුන්ට සහ කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණත්මක හැකියාවට ශක්තිමත් වේදිකාවක් තැනෙනු ඇත.

එමෙන්ම දෙමළ සිනමාව පුළුල් කිරීම සඳහා ගෝලීය නිෂ්පාදකයන් සමඟ අත්වැල් බැඳ ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමට Dreamline Productions ඉදිරියේදී කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වේ. චිත්‍රපට නිෂ්පාදනය ආරම්භයේ සිට පසු නිෂ්පාදන කටයුතු සහ චිත්‍රපටයේ සියලු වැඩ අවසන් වන තෙක් සේවා රාශියක් සැපයීමට ඔවුන් ඇපකැප වී සිටී.

දක්ෂතා ඇති කලාකරුවන් සඳහා අවස්ථා නිර්මාණය කරදීම, උසස් තත්වයේ පිටපත් තෝරාබේරා දීම, රටපුරා සිනමා ශාලා ස්ථාපිත කිරීම, චිත්‍රපට බෙදා හැරීම සහ වෙළඳ දැන්වීම් ව්‍යාප්තිය සහ ලංකාව තුළ නිෂ්පාදනය වන චිත්‍රපට ලෝකයට ගෙනයාම ඔවුන්ගේ ඉදිරි සැලසුම් ලෙස පෙන්වා දී ඇත.

කොන්ත්‍රාත් පදනම යටතේ චිත්‍රපට තැනීම සඳහා උපකරණ හුවමාරුව, පූර්ව නිෂ්පාදන කාර්‍යාල පහසුකම් සැපයීම, චිත්‍රපට කර්මාන්තයේ වෘත්තිකයන් සමඟ සබඳතා සහ සහයෝගීතාවය ඇතිකිරීම , නිෂ්පාදන පහසුකම් සැපයීම, අන්තර්ජාතික මට්ටමින් චිත්‍රපට බෙදා හැරීම සහ ප්‍රවර්ධන කටයුතු සඳහා මැදිහත් වීම, චිත්‍රපට ව්‍යාපෘති සඳහා පසු නිෂ්පාදන සේවා වැඩි දියුණු කිරීම සහ චිත්‍රපට නිෂ්පාදන අධීක්ෂණය සහ කළමනාකරණය වැනි විශාල සේවාවන් රැසක් Dreamline Productions වෙතින් ලබා ගත හැක.

එමෙන්ම චිත්‍රපට සඳහා අවශ්‍ය වන විශේෂ වෙඩි තැබීමේ උපකරණ සහිත ශබ්දාගාර පහසුකම්, ග්‍රැෆික් පහසුකම්, නවීන පන්නයේ ආලෝකකරණ උපකරණ, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, වර්ණ සංයෝජන රසායනාගාර , සහ අති දියුණු තාක්ෂණය සහිත සිනමා ශාලා පහසුකම් එකම වහලක් යටින් ලබා ගතහැකිවීම Dreamline Productions සතු විශේෂත්වයයි.

එමෙන්ම Dreamline වෙතින් තවත් සිත් ඇඳගන්නා සුලු පහසුකම් රැසක් සිනමාකරුවන් වෙත ලබා දීමට ඔවුන් සැදී පැහැදී සිටී.

විශේෂ සාකච්ඡා සඳහා වෙන්වූ කාමර, ඉංජිනේරු සහ කාර්මික සේව අවශ්‍යතා සඳහා වෙන්වූ කාමර මෙහි ඉදිකර තිබීම විශේෂත්වයකි. කලාකරුවන්, විශේෂ අමුත්තන්, ගනුදෙනුකරුවන් සහ සේවකයන් සඳහා නවාතැන් පහසුකම් සහ පිහිනුම් තටාකයක්ද පවත්වා ගෙන යාම Dreamline Productions හි කැපී පෙනෙන අංගයන්ය.

මෙවන් වටිනා සිනමා නිෂ්පාදනාගාරයක් යාපනයේ ඉදිකිරීමට මුල්වූ ඒ සොඳුරු මිනිසා ගැනද සටහනක් තැබීම සරසවියේ යුතුකමකි.

ඔහු ශ්‍රී ස්කන්ධරාජාය. ඔහුගේ එකම සිහිනය වී ඇත්තේ දෙමළ සිනමා ක්ෂෙත්‍රයට සම්බන්ධ වී එහි නිෂ්පාදන කාර්යට උර දීමටය. ඔහු ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් තම පුතුගේ සිත තුළද එම සිහිනය තැන්පත් කරන ලදි. මේ වන විට ඔහුගේ පුතු ප්‍රංශයේ, සිනමාව පිළිබඳ හදාරමින් සිටී. කෙසේ හෝ තම එකම සිහිනය සැබෑකරගත් ශ්‍රී ස්කන්ධරාජා මහතා මේ වන විට දෙමළ සිනමා නිර්මාණ පහකට අර්ථපතියෙකු වී ඇත. ඔහුගේ එම සිනමාපට නුදුරේදීම සිනමා ලෝලීන්ට දැක බලා ගත හැකිය.

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT